ආටෙමිස් (Artemis)
#GreekMythology
Artemis කියන්නෙ දඩයම, සඳ සහ නිර්මලත්වය පිළිබඳව වගකීම් භාර උන ඔලිම්පියන්ස් දෙවඟනයි. ඒ විශය පථයන්ට අමතරව කාලයත් එක්ක ඇයට, දරු ප්‍රසූතිය, ස්වභාවධර්මයානුකූල සිදුවීම් සහ තවත් සුළු සුළු පථයන් කීපයකගේ වගකීම් කීපයකුත් භාර උනා.
Artemis ඉපදිලා දින කිහිපයක් ගත වෙද්දිම, ඇය ඇයගේ මවට (Leto) තමන්ගේ නිවුන් සහෝදරයාගේ (Apollo) උපත සඳහා උදව් උපකාර කලා කියලත් සඳහන් වෙනව.
Artemis සම්බන්ධ වැදගත්ම කරුණ තමයි, ඇය කන්‍යාවියක්. සහ තමන්ගෙ කන්‍යාභාවය වගේම, තමන්ව අදහස පූජකවරියන්ගේ කන්‍යාභාවය ගැනත් ඇය ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනව. ඒ නිසාම, තමන්ගෙ සමහර පූජකවරියන් නොසැලකීමත් උන අවස්ථාවලදි (කන්‍යාභාවය බිඳගත් විට) Artemis, ඒ අයට කිසිම කරුණාවක් දක්වල නෑ.
'Artemis' නමේ මූලාශ්‍රය
ප්ලේටෝ කියන විදිහට, Artemis කියන නම ඇයගේ කන්‍යාභාවයට සහ 'නිර්දෝෂී' සහ 'පිරිසිදු' කියන අදහසට අදාළ ග්‍රීක වචනයකට සම්බන්ධයි. කොහොම උනත් වර්තමානයේ පිලිගන්නේ, ප්ලේටෝගේ අදහස වැරදි බවත්, Artemis කියන්නෙ පර්සියානු සම්භවයක් සහිත වචනයකින් ගොඩනැගුන නමක් විදිහටයි.
ආටෙමිස් ගේ නිරූපණය සහ සංකේතනය
ආටෙමිස් දෙවඟනව නිරූපණය කරන්නෙ, ඊතල සහ දුන්නක් රැගත්, දණහිස දක්වා තියෙන කබායක් වගේ ඇඳුමක් පැළඳගත්ත, රූමත්, ජවසම්පන්න දඩයක්කාරියක් හැටියටයි. සඳ භාරව හිටපු දෙවඟන නිසා, සමහර වෙලාවට ඇය අඩ සඳක් වගේ ඔටුන්නක් පැළඳ ඉන්න බවකුත් නිරූපණය කරනවා.
ආටෙමිස් ට පටබැඳී ඇති වෙනත් නම්
"The Mistress of Animals” , “She of the Wild” , “arrow-pouring” , “deer-shooting.” වගේ නම් ඇයට පටබැඳිලා තිබිල තියෙනව. (සිංහල අර්ථයට පරිවර්තනය කළොත් අදහස් කරන දෙයට හානි වෙන නිසයි ඉංග්‍රීසි බසින්ම දැම්මෙ)
ආටෙමිස්ගේ උපත සම්බන්ධ සිදුවීම
ආටෙමිස් කියන්නෙ සියුස් සහ Leto ගෙ දියණියයි. Leto කියන්නෙ ටයිටන්වරු වන Coeus සහ Phoebe ගේ දියණියයි. ඔයාල දන්නව ඇති සියුස්ගේ රියල් නෝනා හේරා කියල. ඉතින් Leto එක්ක සියුස්ට තිබ්බ සම්බන්ධය හේරා දැනගත්තම හේරාට හේරා වැහුනා.
හේරා, ඊට පස්සෙ මුලු විශ්වය (හෝ ග්‍රහලෝකය) පුරාම Leto ව හඹා ගිහින් තියෙනව. සහ Leto ට මිහිමත කිසිම තැනක දරු උපතක් ලබා දීම තහනම් කරල තියෙනව.
කොහොම උනත්, ග්‍රීක මිත්‍යා වලට අනුව, Leto 'Delos' කියන දූපතට ගිහිල්ලා, ඒ දූපතේ තිබ්බ ඔලිව් ගහක අත්තක් මත සමබරව සිටින ගමන්, ආටෙමිස් ට උපත ලබා දීල තියෙනව.
මේක දැනගත්ත හේරා තවත් යක්ෂාවශේෂ වෙලා, හේරාගෙ දියණියක් වන 'දරු උපත භාර දෙවඟන - Eileithyia' ට නියම කරනව, Leto ට තවදුරටත් උදව් කරන්න එපා කියල. කොටින්ම දරු ප්‍රසූතියේ ස්වභාවධර්මීය ආශ්චර්‍යය, Leto ගෙන් ඈත් කරනවා.
අපි කලින් කතා උනා ආටෙමිස්ගෙ නිවුන් සහෝදරයා තමා ඇපොලෝ (Apollo). ඉතින් ආටෙමිස්ගෙ උපතින් පස්සෙ හේරා කරපු වැඩේ නිසා, Leto ට පුළුවන් කමක් තිබිල නෑ Apollo ට උපත ලබා දෙන්න. මෙන්න මෙතනදි තමයි, ආටෙමිස් තමන්ගෙ මවට උදව් උපකාර කරල, දින නවයකට පස්සෙ Apollo ට උපත ලබා දෙන්න මැදිහත් වෙන්නෙ.
මිත්‍යා වල සඳහන් වෙන විදිහට, ආටෙමිස්ගේ උපකාර නොවෙන්න, Leto ට තව කොච්චර කාලයක් Apollo ට උපත ලබාදෙන්න බැරුව ඉන්න වෙයිද කියල කියන්න පුළුවන් කමක් නෑලු.
ආටෙමිස් විසින් තමන්ගේ මවට ආරක්ෂාව ලබා දීම
ආටෙමිස් සහ ඇපලෝ ඔවුන්ගේ මව උන Leto ට ගොඩක් ආදරයෙන් ඉඳල තියෙනව. මේ බව සහතික වෙන්නෙ ග්‍රීක මිත්‍යාවෙ සඳහන් වෙන සිදුවීම් දෙකක් ඇසුරින්. පළවෙනි සිදුවීමෙදි, Niobe කියන දරුවන් 12 දෙනෙකුගේ මවක් වූ දෙවඟනක්, Leto ට සිටින්නේ දරුවන් දෙදෙනෙක් පමණයි කියල විහිළු කරල තියෙනව. ඉතින්... she fkd up...! ආටෙමිස් සහ ඇපලෝ විසින් Niobe ගේ දරුවන් 12 දෙනාම මරා දැම්මා.
දෙවනි සිදුවීමෙදි Titys විසින් Leto ව දූෂණය කරන්න උත්සාහ කළ අවස්ථාවෙදි, ආටෙමිස් සහ ඇපලෝ විසින් ඔහුව මරා දාල තියෙනව.
ආටෙමිස්, පළිගැනීමේ දේවතාවිය
ආටෙමිස් කුඩා කාලයේදිම, ඇයගෙ පියා උන සියුස්ගෙන් ඉල්ලීමක් කරල තියෙනව ඇයට සදාකාලිකවම කන්‍යාවියක් ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි කියල. ඉතින් සියුස් ඒකට එකඟ වෙලා.
ඊට පස්සේ ඇතීනා, හෙස්ටියා වගේම ආටෙමිස් දෙවඟනත් කන්‍යාවියක් විදිහට එයාගෙ ජීවිතය ගෙව්වා. හැබැයි ආටෙමිස් කියන්නෙ ඇතීනා හෝ හෙස්ටියාටත් වඩා කන්‍යාභාවය දැඩිව ආරක්ෂා කරපු සහ ඊට වටිනාකමක් දීපු කෙනෙක්.
ඒ බව සනාථ කරන්න නිදසුන් කීපයක්ම තියෙනව.
- දඩයක්කාරයෙක් උන Actaeon, දවසක් ආටෙමිස් දෙවඟන නිරුවතින් ස්නානය කරනව දකිනවා. මේකට කෝප උන ආටෙමිස් දෙවඟන, ඔහුව මුවෙක් බවට පත් කරල ඔහුගේම දඩයම් බල්ලන්, ඔහුට එරෙහිව භාවිත කරල මරා දමනවා.
- Siproites කියන කුඩා පිරිමි ළමයත්, ඉහත සිදුවීමෙ වගේම ඇයව නිරුවතින් සිටිනවා දකිනව. ළමයෙක් වීම නිසා, ආටෙමිස් දෙවඟන ඔහුව මරා දමන්නෙ නෑ. හැබැයි ඔහුව කාන්තාවක් බවට පරිවර්තනය කරනව.
- ආටෙමිස්ට ලිංගිකව අතවර කරන්න හදපු සියලුම දෙනාව, ඇය විසින් මරා දැමුවා. හොඳම උදාහරණය වෙන්නෙ Orion කියන ආටෙමිස් ගේ දඩයම් සහකරුවායි. ඔහු දවසක් ආටෙමිස්ගෙ උඩු සළුව ගලවන්න උත්සාහ කරපු නිසා, ආටෙමිස් ඔහුවත් මරා දැමුවා.
ආටෙමිස්, පාරිශුද්ධත්වයේ ආරක්ෂකයා
කලිනුත් කිව්ව වගේ, ආටෙමිස් තමන්ගෙ කන්‍යාභාවය වගේම, තමන්ගෙ අනුගාමිකයන්ගේ කන්‍යාභාවය ගැනත් ඉහළින් සලකපු කෙනෙක්. සහ කන්‍යාහාවට නැතිකරගත්ත අයට අනුකම්පා විරහිතව සලකපු කෙනෙක්. මේ බව සහතික කරන්නත්, ග්‍රීක මිත්‍යාව තුළ සිදුවීම් කීපයක් තියෙනව.
- ආටෙමිස්ට හිටියා Callisto කියල තවත් දඩයම් සහායිකාවක්. Callisto සියුස් සමග එක් වෙලා Arcas නම් දරුවෙක්ට උපත ලබා දුන්නා. මේකට හේරා වගේම ආටෙමිසුත් උරණ වෙලා, දෙන්නම එකතු වෙලා ප්ලෑන් කරල Callisto ව වලසෙක් බවට පත් කලා. හේරගෙයි ආටෙමිස්ගෙයි ප්ලෑන් එක උනේ, මේ වලසෙක් බවට පත් කරපු Callisto ව, ඇයගේ දරුවා උන Arcas ගෙ අතින් මරා දමන එකයි. කොහොම උනත් ඒ දේ වෙන්න කලින්, සියුස් මැදිහත් වෙලා Callisto ව සහ දරුවව (Arcas) දිව්‍යලෝකයට අරන් ගිහින් තාරකා රාශීන් බවට පත් කලා. (මහ වලසා සහ කුඩා වලසා කියන්නෙ එයාලට).
- Iphigenia කියන තරුණ ගැහැණු ළමයව ඔහුගේ පියා විසින් බිල්ලක් ලෙස පූජා කිරීමට ලෑස්ති උන වෙලාවෙ, ආටෙමිස් ඇවිත් ගැහැණු ළමයා වෙනුවට ආදේශකයක් ලෙස මුවෙක්ව තියල ඒ ගැහැණු ළමයව බේරගෙන තියෙනව. පස්සෙ ඇයව, ආටෙමිස් ගෙ නිකායේ පූජකවරියක් බවට පත් කරල තියෙනව.
ආටෙමිස් සම්බන්ධ අප්‍රකට කරුණු
ආටෙමිස් ගැන කතා කරනකොට ගොඩක් අය හිතන්නෙ ඇය දරු ප්‍රසූතිය සම්බන්ධ දෙවඟන කියලයි. ඒත් ඇත්තටම ආටෙමිස්ට බාර උන ප්‍රධානම විශය පථයන් උනේ දඩයම, සඳ සහ නිර්මලභාවයයි. දරු ප්‍රසූතිය ඇයගේ නමට භාර උනේ side quest එකක් විදිහටයි.
ජීවිතය සම්බන්ධ කරුණු කාරණා වලට අදාළව වෙනත් දෙවිවරු හිටපු නිසා, ආටෙමිස් ව සාමාන්‍යෙන් ඒ ගොඩට දාන්නෑ.
ආටෙමිස් සම්බන්ධ තවත් අප්‍රසිද්ධ කරුණක් වෙන්නෙ, ඇයට ඇමෙසන්වරියන් සමග තිබ්බ සම්බන්ධයයි. සමහර මූලාශ්‍ර වල පැවසෙන විදිහට, ඇමසන්වරුන්ගෙ අනුග්‍රාහක දේවතාවරිය හැටියට කටයුතු කරල තියෙන්නෙ ආටෙමිස් දෙවඟනයි. කාන්තා ස්වාධීනත්වය, ආරක්ෂකයෙක් ලෙස ඇයගේ කාර්යභාරය සැලකුවම, ඇත්තටම ආටෙමිස් ඒ තැනට සුදුසු කෙනෙක් හැටියට හිතන්න පුලුවන්.
ඒ වගේම පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් උන එෆීසයේ දෙවොලත්, ආටෙමිස් දෙවඟනට වන්දනාමාන කරන්න ගොඩනගපු එකක්. මිනිසුන් තමන්ගෙ ජීවිත වලට රැකවරණය පතාගෙන මේ දෙවොල වන්දනාමාන කරල තියෙනව.
අවසන් සාරංශයක් හැටියට ආටෙමිස් ගැන කෙටියෙන්ම කිව්වොත්, ඇය හොඳට හොඳ වගේම නරකට පට්ට නරක දෙවඟනක්.