ඇතීනා (Athena)

ඇතීනා (Athena)


#GreekMythology

Image Generated by AI

ඇතීනා (Athena) කියන්නෙ, ප්‍රඥාව සහ යුද්ධයට අධිපති හැටියට කටයුතු කළ ඔලිම්පියන්ස් දෙවඟනයි. ඒ වගේම ඇතෑන්ස් (Athens) නගරයේ අනුග්‍රාහක දෙවඟනයි. ඇතීනා කියන්නෙ කන්‍යාවියක්. (ලිංගික හැසිරීම් වලින් වැළකී සිට ඇත). ඒ වගේම සමහර වෙලාවට සාමය සහ විවිධ හස්ත කර්මාන්ත සඳහාත් ඇයගේ මැදිහත් වීම් දක්නට ලැබෙනව.


ඇතීනා කියන්නෙ තේජාන්විත රණශූරියක්. ග්‍රීක වීරයන් සියලුම දෙනා පාහේ ඇයගේ උපකාර සහ උපදෙස් ඉල්ලල තියෙනව.



ඇතීනාගේ නිරූපණය සහ සංකේතයන්


ගොඩක් වෙලාවට සාහිත්‍යානුකූලව, ඇතීනව නිරූපණය වෙන්නෙ අලංකාර, දැඩි මුහුණක් ඇති, සිනහවක් නැති, බලය සහ ශක්තිය පෙන්නුම් කරන කාන්තාවක් විදිහටයි. සහ ඇය සෑම විටම සම්පූර්ණ යුධ ආයිත්තම් වලින් සන්නද්ධ වෙලයි ඉන්නෙ. ඒ වගේම ඇය එක අතකින් දිග හෙල්ලයක් සහ අනිත් අතින් විශාල පලිහක් දරාගෙන ඉන්නව.


මේ පලිහෙ මැද මෙඩූසගෙ හිස කොටසෙ යම් සංකේතයකුත් තියෙන බවට සඳහන් වෙනව. (මේ පලිහෙ උපකාරයෙන් තමා පර්සියස් මෙඩූසව පරාද කළේ). ඒ වගේම මෙඩූසගෙ හිස කොටස මේ පළිහ තුළට කාවද්දපු බවත්, ඒ නිසා පළිහ මගිනුත් මිනිසුන්ව ගල් පිළිම බවට පත් කරන්න පුලුවන් බවත් සමහර තැන් වල සඳහන් වෙනව.



ඇතීනාගේ අන්වර්ථ නාමයන්


ඇතීනා කියන්නෙ ගොඩක් කාර්‍යයන් වලට සක්‍රීයව දායක උන දෙවඟනක්. ඇය ප්‍ර‍ඥාවට අධිපති වීම, ඒකට හේතුවක් වෙන්න පුලුවන්. මේ නිසාම ඇයට ගොඩක් අන්වර්ථ නාමයන් පටබැඳිල තිබ්බා. "නගරයෙන් කෙනෙක්" , "දීප්තිමත් ඇස් ඇති තැනැත්තා" , "ඉදිරි පෙළින් සටන් කරන්නා" , "කන්‍යාවිය" , "pallas" කියන්නෙ එයින් කීපයක්.



ඇතීනාගේ උපත


සියුස්, මෙතිස් (metis) කියන ටයිටන්වරිය එක්ක පළමුවරට විවාහ උනාට පස්සෙ, ඔහුට අනාවැකියක් අහන්න ලැබෙනව, 'තමන්ගෙ පළවෙනි දරුවා තමන්ව බලයෙන් පහ කරනව' කියල. ඉතින් සියුස්, තමන්ගෙ පළවෙනි බිරිඳ උන metis ව ගිලදමල තියෙනව. ඒ, එම අනාවැකිය සත්‍යක් වෙන එක වළක්වන්න කියල හිතාගෙන.


ඒත් ඒ වෙනකොටත් metis ගෙ කුසේ, සියුස්ගෙ දරුවෙක් පිළිසිඳගෙනයි හිටියෙ. කාලයත් එක්කම ඒ දරුවා සියුස්ගෙ ඇඟ තුළම වැඩුනා.


ඒ දරුවා නිසි කාලයට ආවට පස්සෙ, සියුස්ට තමන්ගෙ හිස තුළ දරාගත නොහැකි වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට Hephaestus, ඔහුගේ පොරවෙන් සියුස්ට පහර දුන් බවට සඳහන් වෙනව. (පිටට ගහන්නෙ මොනා හරි හිර උනාම. ඒ වගේ වෙන්න ඇති).


එතකොටම සියුස්ගේ හිසෙන් පිටතට දරුවෙක් පැන්නා. ඒ තමයි ඇතීනා දෙවඟන. ඇය ඒ එළියට එන මොහොතෙත් සම්පූර්ණ සන්නද්ධවයි ඉඳල තියෙන්නෙ. සහ එළියට පැන්න විගසම, ඇය ඉතා බලවත් සහ භයානක යුධ හඬක් නගල තියෙනව. මේ යුධ හඬට යුරේනස් සහ ගායා (Gaea) පවා භීතියට පත් වෙලා තියෙනව. මේක දැකපු සියුස්, අර අනාවැකිය අමතක කරල, තමන්ගෙ දරුවව දැකල ඇය ගැන සතුටු වෙලා සහ ආඩම්බර වෙලා තියෙනව.



ඇතීනා ගෙ ළමා කල මිතුරා : Pallas


ඇතීනාට කුඩා කාලයෙ ඉඳලම යාලුවෙක් හිටියා pallas කියල. මේ කියන්නෙ මොන pallas ගැනද කියන එක ගැන හරියටම සඳහනක් නෑ. (දෙවන පරම්පරාවෙ ටයිටන්වරයෙක් උන pallas). කොහොම උනත් මේ කියන pallas, ඇතීනාත් සමග එකට යුධ වැදපු කෙනෙක්. ඒත් දවසක් මේ දෙන්න යුධ අභ්‍යාස වල නියැළෙනකොට, අත්වැරැදීමකින් ඇතීනා අතින් pallas මරණයට පත් වෙනව. ඒ ගැන ගොඩක් දුක් උන ඇතීනා, තමන්ගෙ යාලුවව සදහටම මතකයේ තියාගන්න කියල හිතාගෙන, pallas ගෙ නමත් තමන්ගෙ නමට එකතු කරගත්තා. ඒ නිසයි සමහර තැන් වල ඇතීනගෙ නම Athena Pallas කියල සඳහන් වෙන්නෙ.



කන්‍යා දෙවඟන - ඇතීනා


Artemis සහ Hestia වගේම, ඇතීනාත් කිසි වෙලාවක ආදරයට හෝ ආශාවට ඉඩ දීපු කෙනෙක් නෙවෙයි. සංස්කරණය නොකර කියනව නං 'ගහන්න දුන්නෑ කාටවත්''. ඉතින් ඇතීනාට කවදාවත් දරුවන් හිටියෙ නෑ. ඒත් සමහර මූලාශ්‍ර වල Erichthonius නම් ඇතීනාගෙ දරුවෙක් ගැන සඳහන් වෙනව.


ඒත් ඇත්තටම ඇතීනා ඒ දරුවව හදා වඩා ගත්ත විතරයි. ඇතීනා Hephaestus සමග සටන් කරන වෙලාවෙ, hephaestus ඔහුගේ බීජ පෘථිවිය පුරාම විසිරුවල තියෙනව. ඒ නිසා ඒ බීජ වලින් ගායා (gaea - පෘථිවි මාතාව) ගැබ් ගෙන තියෙනව. ඉතින් Erichthonius ඉපදුනාට පස්සෙ, ඇතීනා ඔහුව ඇයගේ රැකවරණයට බාර ගෙන තියෙනව.



ඇතෑන්ස් නුවර අනුශාසකවරිය


පොසයිඩන් සහ ඇතීනා අතර, ඇතෑන්ස් නුවර අනුශාසකත්වය ලබාගන්න යම් තරඟයක් තිබ්බ බව ප්‍රසිද්ධ කරුණක්. මේ ගැන වැඩි විස්තර පොසයිඩන් සම්බන්ධ ලිපියෙන් ඔයාලට කියවන්න පුලුවන්.



ඇතීනාගේ හස්ත කර්මාන්ත හැකියාවන්


ඇතීනා කියන්නෙ රණශූරියක් වගේම අත්කම් සහ විවිධ කලා ශිල්ප සම්බන්ධව, පැන්ඩෝරාව නිර්මාණය කළ Hephaestus ගේ හැකියාවට සමාන හැකියාවක් තිබ්බ දෙවඟනක්. සමහර මූලාශ්‍ර වල සඳහන් වෙන විදිහට, ඇය යුධ රථ සහ යුධ නැව් නිර්මාණයට පවා දායක වෙලා තියෙනව.



ඇතීනා සහ Arachne ගේ කතාව


Arachne කියන්නෙත් කලාව සහ නිර්මාණ සම්බන්ධව විශ්මිත හැකියාවක් තිබ්බ සාමාන්‍ය ගැහැණියක්. මේ Arachne හිතුවා, තමන් ඇතීනා දෙවඟනටත් වඩා හැකියාවෙන් පිරි කෙනෙක් කියල. ඇතීනට මේක දැනගන්න ලැබුණත් ඇතීනා වැඩිය කලබල නොවී arachne ගෙ උඩඟු කමට සමාව ගන්න අවස්ථාවක් දුන්නා. ඒත් arachne ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළාට පස්සෙ නං ඇතීනාට තරහ ගියා.


ඇතීනා ඇයට අභියෝග කලා රෙදි විවීමේ තරඟයකට. Arachne ත් ඒ අභියෝගය භාර අරගෙන දෙන්නත් එක්කම රෙදි වියන්න පටන් ගත්තා. ඇතීනා, තමන් වියන රෙද්දේ, 'දෙවිවරුන්ට අභියෝග කරන මිනිසුන්ගේ ඉරණම' හැඟවෙන නිරූපණයක් කලා. ඒ වගේම Arachne ත්, 'දෙවිවරු විසින් අසාධාරණ ලෙස මනුෂ්‍යන්ට සැලකෙන බව' හැඟවෙන නිර්මාණයක් ඇයගේ රෙදි කැබැල්ලේ සිත්තම් කලා.


කොහොම උනත් Arachne ට ඇයගේ නිර්මාණය අවසන් කරන්න උනේ නෑ. ඇතීනට මල පැනල, Arachne ගෙ රෙදි කැබැල්ල කෑලි වලට ඉරල දාලා, Arachne ව මකුළුවෙක් බවට පත් කලා. එදවසෙ ඉඳල Arachne ගෙ කාර්‍යය උනේ රෙදි විවීම සඳහා සිල්ක් තන්තු නිපදවීමයි. (මකුළුවන්ගේ උපත මේ සිදුවීම කියල හිතන්න පුලුවන්).



ග්‍රීක වීරයන්ගේ සහායකයා - ඇතීනා


ඇතීනා කියන්නෙ නිකංම නිකං ප්‍රචණ්ඩකාරී දෙවඟනක් නෙවෙයි. ඇය ඉතාමත් ප්‍රඥාවන්ත කෙනෙක්. ග්‍රීසියේ ශ්‍රේෂ්ඨතම වීරයන් සියලුම දෙනා වගේ, ඇතීනගෙන් උපදෙස් සහ අනුශාසනා අරගෙන තියෙනව. උදාහරණ විදිහට, ඔඩිසියස්, හර්කියුලිස්, පර්සියස්, හර්කියුලිස් වගේ නම් දරාපු වීරයන් පවා ඇයගෙන් උපකාර බලාපොරොත්තු වෙලා තියෙනව සහ ලබාගෙන තියෙනව.



ඇතීනා සහ සර්පයන්


ප්‍රඥාව සහ දැනුම පිළිඹිබු කරන බකමූණා කියන්නෙ ඇතීනාගෙ සංකේතයක්. ඒ වගේම වැඩිය ප්‍රසිද්ධ නැති උනාට, ඇතීනාව සංකේතවත් කරන්න සර්පයාවත් යොදාගන්නව. ඒ සර්පයත්, ඇතීනාගේ යම් යම් ගුණාංග නිරූපණය කරන නිසා. සංකීර්ණ අභියෝග වලට මුහුණ දීමය සර්පයන්ට ඇති හැකියාව, ඒ ගුණාංග අතරින් එකක්.



ඇතීනා සම්බන්ධව අවසන් අදහස


ඇතීනා කියන්නෙ නිකංම හුදු යුධ විරූපියෙන් පෙළුන කෙනෙක් නෙවෙයි. ඇය විනාශකාරී ක්‍රම වලට වඩා, සැලසුම් සහගත ක්‍රම වලට යුධ වැදුන කෙනෙක්. හැබැයි ඒ ඇය දුර්වල නිසා නෙවෙයි. ඇය රණශූරියක් නිසා. යුද්ධයට අමතරව, ඇතීනා කියන්නෙ පුළුල් පරාසයක හැකියාවන් සහ දස්කම් පෙන්නපු දෙවඟනක්. සහ අවසානයට, ඇෆ්‍රඩයිටි (Aphrodite) වගේ දෙවඟනන්ගේ හැසිරීම එක්ක සලකන කොට ඇතීනා කියන්නෙ රන් කඳක්.


More pics of Athena


#Greek Mythology

Report Page