හෙස්ටියා (Hestia)
#GreekMythology

Hestia (හෙස්ටියා) කියන්නෙ නියමාකාර ඔලිම්පියන් දෙවිවරුන්ගෙන් කෙනෙක්. මිත්‍යාවන්ට අනුව, ඇයට භාර වෙලා තිබ්බේ 'නිවස' සහ 'ගිනි උඳුන'. ඇය Cronus සහ Rhea ගෙ කුළුඳුල් දරුවා. හෙස්ටියා කියන්නෙ නිර්මල සහ සාමකාමී දෙවඟනක්. කොහොම උනත් හෙස්ටියා දෙවඟන සම්බන්ධ, මිත්‍යා කතා ගොඩක්ම අඩුයි. ඒකට හේතුව තමා ඇයට නිරන්තරයෙන්ම ඇයගේ නිවසට වෙලා, නිවසේ ගිනි උඳුන රැකබලා ගන්න වෙලා තියෙනව.
Hestia ගේ නම
Hestia කියන වචනයේ, 'උණුසුම' හෝ 'ගිනි උඳුන' කියන අර්ථයන් තියෙනව. අතීත සමාජය තුළ ගිනි උඳුනක් කියන්නෙ ඉතාමත් වැදගත් සංකේතයක් බව ඒකෙන් ඇඟවෙනවා. ඒ කාලේ ගිනි උඳුනක් රැක බලාගන්නව කියන්නෙ ගොඩක් අමාරු දෙයක්. මොකද 'ගින්දර' කියන සංකල්පයෙන් බැහැර උන ප්‍රාථමික සමාජයකට අත්‍යවශ්‍යම වුන සහ පවත්වගන්න අමාරුම උන දෙයක් තමයි 'ගිනි උඳුනක්' කියන්නෙ. ඉතින් මේ වැදගත් කටයුත්තේ ප්‍රතිමූර්තියක් බවට පත් උනේ, අද අපි මේ කතා කරන හෙස්ටියා දෙවඟනයි.
හෙස්ටියාගේ රූප විලාසය
හෙස්ටියා ගැන ග්‍රීක මිත්‍යාව තුළ ලොකු සඳහනක් නෑ. ඇයට සාමාන්‍ය, නිහතමානී, මැදි වයසේ කාන්තා නිරූපණයක් තමා මේ ග්‍රීක මිත්‍යාවන් තුළ හිමි වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට ඇයව නිරූපණය කරන්නෙ ගිනි ගොඩක් අසල, අතේ මල් කිහිපයක් අල්ලන් ඉන්න ආකාරයටයි.
හෙස්ටියාගේ හැඳුනුම
පුරාණ ග්‍රීක ජනතාව, ඇයව විස්තර කරල තියෙන්නෙ, 'ආදරණීය' , 'සදාකාලික' වගේ පද වලින්.
හෙස්ටියාගේ පවුල
හෙස්ටියා කියන්නෙ ටයිටන්වරු උන Cronus ට සහ Rhea ට දාව උපන් කුළුඳුල් දරුවා. Cronus, ඔහුගේ දරුවන් හැම කෙනාවම ගිල දැම්ම බව ඔයාල දන්නවනෙ. ඉතින් ඒ විදිහට ගිල දැම්ම පළමු දරුවා තමයි හෙස්ටියා කියන්නෙ. පළමු දරුවා උනත්, cronus ගෙ සිරුරෙන් අවසානයට එළියට ඇවිල්ල තියෙන්නෙ ඇය නිසා, ඇයව ඊට පස්සෙ හඳුන්වල තියෙන්නෙ බාලම දරුවා විදිහටයි. ඇයට සහෝදරයන් තුන් දෙනෙක් : Hades, Poseidon, Zeus සහ සහෝදරියන් දෙදෙනෙක් : Demeter, Hera ඉන්නවා.
නිර්මලත්වයේ භාර කිරීම
'ගින්දර' කියන්නෙ පිරිසිදුකමේ සහ පවිත්‍ර කිරීමේ මූලද්‍රව්‍යක් හැටියට ඒ කාලෙ මිනිස්සු සලකල තියෙනව. ඉතින් ගිනි ගොඩකට අනුරූපව වන්දනාමාන කළ හෙස්ටියා දෙවඟනටත්, මිනිසුන් නමස්කාර කලේ කන්‍යා දෙවඟනක් කියන අදහසින්.
හෙස්ටියා කන්‍යා දෙවඟනක් බවට පත් උන තවත් එක සිදුවීමක් තියෙනව. Apollo සහ Poseiden දෙන්නටම ඕනෙ උනා හෙස්ටියාව විවාහ කරගන්න. ඒත් ඒ දෙදෙනගෙන් කෙනෙක් තෝරගත්තොත්, ඒකෙන් දේවලෝකයේ කැළඹීමක් ඇති වෙයි කියන බය නිසා, හෙස්ටියා, සියුස් ඉදිරියේ දිවුරල තියෙනව ඇය සදාකාලිකවම කන්‍යාවියක් ලෙස ජීවත් වෙනව කියල.
මෙතනින් පස්සෙ, හෙස්ටියා දෙවඟනට තවත් අංශයක් බාර වෙනව. ඒ, විවාහයන් වල පිළිවෙල පවත්වගැනීම. ඒ වගේම සියුස් විසින්, දේවලෝකය වෙනුවෙන් ඇය කළ කැපකිරීමට, මිනිසුන්ගේ දිව්‍ය පූජාවල පළමු හා ධනවත්ම කොටස ඇයට ලබා දීල තියෙනව.
හෙස්ටියා, Priapus සහ බූරුවා
ග්‍රීක මිත්‍යා වල සඳහන් වෙන විදිහට, එකම එක පාරක් හෙස්ටියාගේ පවිත්‍රබවට හානියක් වෙන්න ගිහින් තියෙනව. ඒ, හෙස්ටියාගේ නිවසේ පැවැත්වූ භෝජන සංග්‍රහයක් අතරතුරදියි. මේ භෝජන සංග්‍රහය පවත්වන කාලෙදි, Priapus කියන සශ්‍රීකත්වයට අධිපති උන දෙවියා මධ්‍යම රාත්‍රියක බීමතින් හිටපු වෙලාවක, නිදාගෙන හිටපු හෙස්ටියා දෙවඟනව දූෂණයට ලක් කරන්න උත්සාහ කරල තියෙනව.
ඒත් වාසනාවකට ඒ වෙලාවෙ නිවස ගාව හිටපු බූරුවෙක් මහ සද්දෙන් බෙරිහන් දෙන්න පටන් ගත්ත නිසා, නිදාගෙන හිටපු හෙස්ටියා වගේම අනිත් අමුත්තොත් ඇහැරුනා. ඇහැරුන අමුත්තොයි හෙස්ටියා දෙවඟනයි, සිද්දිය තේරුම් අරගත්තට පස්සෙ priapus ව පන්නල දැම්මා.
සැඟවුන සත්‍යන් සහ මිථ්‍යාවන්
හෙස්ටියා ගැන වැඩිය කතා බහක් නැති නිසා සමහරු හිතනව ඇය පොඩි දෙවඟනක් කියල. ඒත් ඇත්තටම, ඇය මුල් ඔලිම්පියන්ස් දෙවිවරුන්ගෙන් කෙනෙක්. අනිත් දෙවිවරුන් හැම කෙනෙක්ටම වගේ ඔවුනොවුන්ගේම දෙවොල් දේවාල තිබ්බත්, හෙස්ටියා දෙවඟනට එහෙම දේවාල ගොඩනගපු බවට සඳහනකුත් නෑ.
ඒත් ඇත්තම තත්වය නම්, ග්‍රීකයන්ගේ දෛනික ජීවිතයේ සංකේතයක් උන සහ පවුලේ සියලුම දෙනා එක්රැස් උන "නිවස" තමයි හෙස්ටියා දෙවඟනගේ නියම දෙවොල හැටියට සැලකෙන්නෙ. ඒ අනුව බැලුවම අනිත් හැම දෙවිකෙනෙක්ටම වඩා, පුරාණ ග්‍රීකයන්ට වඩාත්ම සමීප වෙලා තියෙන්නෙ හෙස්ටියා දෙවඟනයි.
හෙස්ටියා කියන්නෙ මෘදු, ගැටුම්වලින් තොර, පිරිසිදු බව පවත්වගත්ත දෙවඟනක්. ඒ ඇය දුර්වල කෙනෙක් නිසා නෙවෙයි. ඒ හැසිරීම් රටාවලින් පෙන්නන්නෙ, සාමය සහ සමගිය කියන පථය තුළ හෙස්ටියා දෙවඟනගේ කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාවයි.
හෙස්ටියා සහ ඔලිම්පික් ක්‍රීඩා
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධානම අංගයක් වෙන, ඔලිම්පික් දැල්ල (ගිනි දැල්ල) මගින් හඟවන්නෙත්, හෙස්ටියා දෙවඟන විසින් භාරකාරිත්වය දරපු ගිනි උඳුනම තමයි. මේ ගිනි දැල්ලේ පිටුපස තියෙන අදහස තමයි, 'ක්‍රීඩක ක්‍රීඩිකාවන්, හෙස්ටියාගේ පූජනීය දැල්ලෙන් සිය පන්දම් දල්වා, එකමුතුකම සහ ක්‍රීඩාශීලිත්වය පතුරාලමින්, නැවතත් ඔවුන්ගේ නිවෙස් වලට ඔවුන්ව රැගෙන යනු ඇත' කියන එක.
හෙස්ටියා දෙවඟනට කළ පිරිනැමීම්
සාමාන්‍යෙන් හෙස්ටියා දෙවඟන වෙනුවෙන් වෙන් කළේ, උත්සව හෝ මංගල්‍යන් වල පළමු සහ අවසාන පූජා කොටස් ටිකයි. මේ පූජාවලට, වයින්, තෙල් වගේ දේවල් ඇතුළත් උනා.
ඉතින් අවසානයට, හෙස්ටියා දෙවඟන කියන්නෙ නොසලකා හැරිය යුතු දෙවඟනක් නෙවෙයි. හෙස්ටියා දෙවඟන තමයි, සාමාන්‍ය ජන ජීවිතයට වඩාත්ම සමීප උන ග්‍රීක දෙවඟන හැටියට සැලකෙන්නෙ.