පොසයිඩන් (Poseidon)

පොසයිඩන් (Poseidon)


#GreekMythology

Photo generated via AI by DrgNo

පොසයිඩන් කියන්නෙ සාගරයට අධිපති හැටියට සැලකෙන වගේම ඔලිම්පියන්ස් දෙවිවරු දොළොස් දෙනා අතරින් කෙනෙක් බව ගොඩක් අය දන්න කරුණක්. සහ පොසයිඩන් කියන්නෙ, අපි ග්‍රීක මිත්‍යාවේ ආරම්භය කියන ලිපියෙන් කතා කෙරුව වගේ, ක්‍රෝනස් ගෙ දෙවනි පුතා.


පොසයිඩන් ගැන ග්‍රීක මිත්‍යා වල ස‍ඳහන් වෙන්නෙ, එයා ඉක්මනට තරහ යන කෙනෙක් සහ භූකම්පා වලට අධිපති දෙවිවරයා හැටියටයි. ඒ වගේම පොසයිඩන් කියන්නෙ මිනිසුන් සහ අනෙකුත් දෙවිවරු එක්ක නිතරම ආරවුල් ඇතිකරගත්ත කෙනෙක්. හොඳම උදාහරණ තමයි ඇතීනා සහ ඔඩිසියස් සමග දාගත්ත වළි ටික.


ඒ වගේම පොසයිඩන් කියන නමට විවිධ අර්ථකථනයන් ඉදිරිපත් වෙනව. එයින් සමහරක් තමයි, "ජලයට අධිපති", "පෘථිවියේ ස්වාමියා" සහ "බොහෝ දේ දන්නා" ආදිය.


පොසයිඩන්ව ගොඩක් වෙලාවට නිරූපණය කරන්නෙ අශ්වයන් හතර දෙනෙක්ව බැඳපු මායාකාරි අශ්ව කරත්තයක, ඔහුගේ ත්‍රිශූලයත් සමග සාගරයේ රළ මතින් ගමන් කරන විදිහටයි. ඒ වගේම හැඩිදැඩි ශරීරයක්, ඝන රැවුලක් සහ ක්‍රේල් කොණ්ඩයක් එයාගෙ බාහිර ලක්ෂණ හැටියට කැපිල පේනව.


පොසයිඩන්, අනෙකුත් දෙවිවරුන් සහ මිනිසුන් එක්ක ගොඩක් ආරවුල් ඇතිකරගත්ත කෙනෙක් බව මම කලින් කිව්වනෙ. ඒ බව තහවුරු වෙන සිදුවීම් කීපයක්ම ග්‍රීක මිත්‍යාවල සඳහන් වෙනව. මේ පහළින් දක්වල තියෙන්නෙ ඒ සිදුවීම් දාමය.


ටයිටන්වරු සමග ඇති උන මහා යුද්ධයෙන් පස්සෙ සියුස් ප්‍රමුඛ ඔලිම්පියන්ස් දෙවිවරු ලෝකය පාලනය කරන්න ගත්තා. ඒත් පොසයිඩන් ටික කාලෙකින්ම සියුස් ගෙ ඒකාධිපති තීරණ වලට එරෙහිව ඇතීනා සහ හේරා සමග සියුස්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරා. නමුත් අවසානයේ සියුස් මේ කැරැල්ල මර්ධනය කරන්න සමත් උනා.


පොසයිඩන්ගෙ මේ කැරැල්ලට දඬුවමක් විදිහට, සියුස් පොසයිඩන්ට සහ ඇපලෝ ට නියෝග කලා ට්‍රෝජන් දේශය පාලනය කරපු Laomedon (ලයොමෙඩෝන්) රජතුමාට සේවය කරන්න කියල. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පොසයිඩන්, ලයොමෙඩොන් රජතුමාගෙ රාජ්‍යය වටේට විශාල අලංකාර තාප්පයක් ඉදි කළා. කොහොම උනත් මේ හැමදේටම පස්සෙ, ලයොමෙඩොන් රජතුමා පොසයිඩන්ට කිසිම ගෙවීමක් නොකර එයාව මගහැරියා. කෙලින්ම කිව්වොත් පොසයිඩන්ට පොල්ල තිබ්බ. 


ඒකට පළිගැනීමක් විදිහට ට්‍රෝජන් යුද්ධය වෙලාවෙදි, සියුස්ගෙ අණ නොතකා පොසයිඩන් ට්‍රෝජන් දේශයට විරුද්ධව ග්‍රීක හමුදා වලට එකතු වෙලා සටන් කළා. සහ ට්‍රෝජන් බල සේනා වලට පහර දෙන්න cetus (සීටස්) කියන මුහුදු රකුසව මුදා හැරල තියෙනව.


යුද්ධයෙන් පස්සෙ පොසයිඩන් විසින් ඉදි කරපු විශාල තාප්ප ඇරෙන්න, එයා ට්‍රෝජන් දේශයේ අනිත් හැම ගොඩනැගිල්ලම විනාශ කරන්න තරන් දරුණු උනා. ඒ, 'එයා ඉදි කරපු තාප්පය පමණක් අනාගතයට ඉතුරු උනාම ඇති' කියන අත්තනෝමතික ප්‍රකාශයකුත් කරන ගමන්මයි.


පොසයිඩන් දරුණුයි වගේම, ලෝභ කෙනෙක්. සමස්ථ සාගරයේම බලය පොසයිඩන්ට තිබුණත්, ඔහුට අවශ්‍ය උනා භූමි ප්‍රදේශයේ බලයත් අත්පත් කරගන්න.


වරක් පොසයිඩන් විසින් ඇතීනා දෙවඟනගෙන් ඉල්ලීමක් කළා, ඇතෑන්ස් නුවර ඔහුට භාර දෙන්න කියල. ඇතීනා දෙවඟනට වඩා ඔහුට ඒ භූමි ප්‍රදේශය ගොඩක් වටිනව කියන කාරණය මත තමා පොසයිඩන් ඒ ඉල්ලීම කලේ.


ඇතෑන්ස් නුවර පාලකයට ඒ බව ඒත්තු ගන්වන්න, පොසයිඩන් විසින් ඇතෑන්ස් නුවර පිහිටි දේවස්ථානයක මුහුදු ජල ධාරාවක් නිර්මාණය කරල තියෙනව. (මේ කියන්නෙ ඇත්තටම මුහුදු ජලයෙන් බලගන්වපු වතුර මලක් ගැන. අලංකාරයට ඇරුණම ඒකෙන් වෙන වැඩක් ගන්න බෑ.)


පොසයිඩන් කරපු මේ චීත්ත වැඩේට අභියෝග කරන්න හිතාගෙන, ඇතීනා දෙවඟන ඇතෑන්ස් නුවර ඔලිව් ගසක් හිටෙව්වා. මේ ඔලිව් ගසෙන් හම්බුන පළතුරු, තෙල් සහ දැව නිසා, ඇතෑන්ස් නුවර පාලකයා විසින්, පොසයිඩන් තෑගි කරපු වතුර මලට වඩා ඇතීනා දීපු ඔලිව් ගස වටිනව කියල හිතුව. ඒ නිසා ඇතෑන්ස් නුවර දිගටම ඇතීනා දෙවඟනටම හිමි උනා.


එදවසෙ ඉඳන්, ඇතෑන්ස් නුවර හිටවපු මේ ඔලිව් ශාකාව, සාමයේ විශ්ව සංකේතය හැටියට සැලකුනා.


ඇතෑන්ස් නුවර සිද්ධියෙන් පස්සෙ තමයි පොසයිඩන්, ඇතීනා එක්ක උරණ උනේ. ඊට පස්සෙ ඇතීනාගෙන් පළිගන්න හිතාගෙන ඇතීනගෙ දෙවොලක හිටපු පූජකවරියක් උන, මෙඩූසා ට කරපු දේ ඔයාල දන්නව ඇතිනෙ.


පොසයිඩන් සම්බන්ධ වෙන අනිත් වැදගත්ම කරුණ තමයි ඉතිහාසයෙන් සැඟවිලා ගිය බවට සැලකෙන ඇට්ලැන්ටිස් නගරයට ඔහු සම්බන්ධ වෙන ආකාරය. දාර්ශනිකයෙක් උන ප්ලේටෝට අනුව, පොසයිඩන් තමයි මේ අද්විතීය සහ මනෝරාජික දිවයිනේ නිර්මාතෘ සහ අනුශාසක දෙවිවරයා හැටියට සැලකෙන්නෙ.


පොසයිඩන් සම්බන්ධ ඔයාල දන්න තවත් කරුණු තියෙනව නං ඒ දේවල් comment section එකට හෝ @DrgNo කියන මගේ පෞද්ගලික එකවුන්ට් එකට එවන්න. මම ඒ දේවලුත් මේ ලිපියට එකතු කරන්නම්.


More Poseidon Pics


#Greek Mythology

Report Page