මිනිසාගේ මැවීමේ කතාව
#GreekMythology

Follow the rules and regulations when interacting with these articles
Titanomachy යුද්ධයෙන් පස්සෙ, ඔලිම්පියන්ස් දෙවිවරු විසින් ටයිටන්ල කීප දෙනෙක් ඇරෙන්න, ඉතුරු හැම ටයිටන් කෙනෙක්ම පාතාල ලෝකයේ හිර කළා. මේ ඉතිරි උන ටයිටන්ල දෙන්නෙක් තමයි Prometheus (ප්‍රොමිතියස්) සහ Epimetheus (එපිමෙතියස්) කියන්නෙ. ඔවුන්ට සමාව ලැබෙන්න හේතුව තමයි, යුද්ධය අතරතුරේ මේ දෙන්නම ඔලිම්පියන්ස් ලට විරුද්ධව සටන් කළේ නැති එක.
පාතාළ ලෝකයේ හිර කරනව වෙනුවට, ඔවුන්ට සියුස්ගෙන් විශේෂ කාර්යයක් පැවරුනා. ඒ තමයි "මිනිසා" ව නිර්මාණය කිරීමේ කාර්යය.
ප්‍රොමිතියස් , මඩ වලින් මිනිසෙක්ව ඇඹුවට පස්සෙ, ඇතීනා දෙවඟනගෙ හුස්මෙන් ඒ පිළිමෙට පණ ආව බව සඳහන් වෙනව.
Epimetheus ට පැවිරුන ජීවින්ට ගුණාංග ලබා දීමේ කාර්යය
Prometheus, Epimetheus ට කිව්වා, පෘථිවියේ ඉන්න ජීවින්ට විවිධ ගුණාංග ලබාදෙන්න කියල. ඒ කියන්නෙ වේගවත් බව, කපටිකම, ශක්තිය, ලෝම, පියාපත් වගේ බාහිර සහ අභ්‍යන්තර ගුණාංග.
Epimetheus, තමන්ට හිතුණු හිතුණු විදිහට, ගුණාංග එකින් එකට විවිධ ජීවින්ට ලබා දුන්නා. ඒත් අන්තිමට මිනිසාට ගුණාංග දෙන්න හදනකොට, මිනිසට දෙන්න ගුණාංගයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.
Prometheus විසින් මිනිසාට ගින්දර ලබා දීම
Prometheus විසින් මිනිසාවත් දෙවියන්ට සමාන කරන්න කියල හිතාගෙන, ඔවුන්ට දෙපයින් නැගී හිටින්න පුලුවන් වෙන්න තමයි මිනිසාව නිර්මාණය කලේ. ඒත් මිනිසට දෙන්න ගුණාංග මුකුත් නැති නිසා, prometheus මිනිසාට "ගින්දර" ලබා දුන්නා.
Prometheus විසින් සියුස්ව රැවටීම
Prometheus තමන් විසින් නිර්මාණය කළ මිනිසාට ගොඩක් කැමති උනා. ඔලිම්පියන්ස් දෙවිවරුන්ට වඩා මිනිසාට කැමති උනා. කොහොම උනත් සියුස්ට ඕනෙ උනේ නෑ මිනිසාට ලෝකයේ ලොකු තැනක් එනවට. ඒ නිසා බලය පෙන්වීමේ පරමාර්ථයෙන්, සියුස් නියෝග කලා සෑම මිනිසෙක්ම ඔවුන් ගන්නා ආහාරයෙන් යම් කිසි නිශ්චිත කොටසක් දෙවිවරුන්ට පිළිගන්වන්න ඕනෙ කියල.
ප්‍රොමිතියස් මෙතනදි මිනිසුන්ට වාසියක් වෙන විදිහට සියුස්ව රවට්ටන්න හිතුව. ප්‍රොමිතියස්, සියුස්ට ආහාර ගොඩවල් දෙකක් පෙන්නල කිව්වා, මේ ආහාර වර්ග දෙකෙන් එකක් තෝරන්න, එතකොට මිනිසුන් ඒ කොටස දෙවියන්ට ඉතුරු කරයි කියල.
ආහාර ගොඩවල් දෙකෙන් එකක්, මේදයෙන් වහපු, ලොකුවට පේන අස්ථි ගොඩක්. අනික ඇත්තටම ආහාර තියෙන කුඩා ගොඩක්. සියුස් ඉතින් නොදැනුවත්වම අස්ථි කොටස් සහිත විශාල ගොඩ තේරුවා. එතන ඉඳල, මිනිසුන් ආහාරයට යමක් ගන්නකොට, ආහාරයෙන් ඉතුරු වෙන අස්ථි කොටස් දෙවිවරුන්ට පූජා කරන්න නියම උනා.
සියුස්ට තේරුනා තමන් ලෝක ලණුවක් මේ කෑවෙ කියල. ඒත් වචනයට පිටුපාන්න බැරි නිසයි, කෝපය නිසයි ඔහු තීරණය කළා මිනිසාගෙන් ගින්දර ඉවත් කරන්න. ඒත් ප්‍රොමිතියස් ආපහු මැදිහත් වෙලා, සූර්යයාගෙ ඉඳල පන්දමක් දල්වාගෙන ඇවිල්ල ඒක මිනිසුන්ට බාර දුන්නා.
සියුස්ට ආරංචි උනා මිනිසුන්ට ආපහු ගින්දර ලැබුනා කියල සහ ප්රොමිතියස්ගෙ මැදිහත් වීම ගැන. ඉතින් සියුස් තීරණය කලා මිනිසාට වගේම ප්‍රොමිතියස් ටත් දඬුවමක් දෙන්න.
සියුස් මිනිසාට දුන් දඬුවම
මිනිසාට සහ ප්‍රොමිතියස්ට දඬුවමක් විදිහට, සියුස් විසින් Hephaestus ට නියෝග කළා, ඉතාමත් සුන්දර වෙනත් මනුෂ්‍යයෙක්ව නිර්මාණය කරන්න කියල. මේ අලුත් මනුෂ්‍යයාට අනිත් දෙවිවරුත් විවිධ අංගයන් එකතු කලා. ඒ අංග එකතු කරපු එක්කෙනෙක් තමයි Hermes කියන්නෙ. Hermes මැදිහත් වෙලා මේ මනුෂ්‍යයට ලබාදුන්නා, 'රැවටිලිකාර හෝ රවට්ටනසුළු හදවතක්' සහ 'බොරු කීමේ හැකියාවක් තියෙන දිවක්'.
ඉතින් මේ නිර්මාණය කරපු අලුත් මනුෂ්‍යයා තමයි Pandora (පැන්ඩෝරා) කියන්නෙ. වෙනත් විදිහකින් කියනව නං, Pandora කියන්නෙ ලෝකෙ පළමු ගැහැණිය. අවසාන අංගය විදිහට දෙවිවරු පැන්ඩෝරාට ලබා දුන්නා, ඇයට විවෘත කිරීමට තහනම් උන බඳුනක්.
මේ ඔක්කොම නිර්මාණය කලාට පස්සෙ සියුස් නියෝග කලා, පැන්ඩෝරාව සහ භාජනය Epimetheus ට තෑගි කරන්න කියල. Epimetheus ඒ වෙනකොට පෘථිවියේ මිනිසුන් එක්කයි ජීවත් උනේ.
පැන්ඩෝරා පෙට්ටිය (හෝ භාජනය)
සියුස් විසින් Epimetheus ට මේ වගේ තෑග්ගක් එවපු බව ප්‍රොමිතියස් දැනගත්ත ගමන්, ඔහු Epimetheus ට අවවාද කලා ඒ තෑග්ග බාර ගන්න එපා කියල. ඒත් පැන්ඩෝරාගෙ අලංකාර ශරීරය සහ මිනිසුන් වසඟ කරවන සුළු ශරීර අංගයන් නිසා, epimetheus ප්රොමිතියස්ගෙ අවවාද නොසලකා හැරල, පැන්ඩෝරාව භාරගත්තා.
ටික කාලෙකින්ම පැන්ඩෝරාට, ගැහැණුන්ට ආවේණික 'ඕන්නැති ඒව අවුස්සන' හැඟීමක් ඇවිල්ල, ඇයට විවෘත කිරීමට තහනම් කරල තිබ්බ බඳුන විවෘත කළා.
එතකොටම බඳුන තුළ හිර කරල තිබ්බ 'නපුර' ලෝකයට නිදහස් උනා. තමන් වැඩේ වරද්දගත්ත බව තේරුන ගමන්ම පැන්ඩෝරා ඉක්මනටම ඒ බඳුන වහල දැම්මා. ඒත් ඒ වෙනකොටත් බඳුනෙ සිරකරල තිබ්බ හැම නපුරු දෙයක්ම එලියට නිදහස් වෙලා තිබ්බෙ. බඳුන තුළ ඉතිරි වෙලා තිබ්බෙ 'බලාපොරොත්තුව' විතරයි.
සියුස් ප්‍රොමිතියස් ට දුන් දඬුවම
සියුස්ට, ප්‍රොමිතියස් එක්ක විසඳගන්න ගැටළු තුනක් තිබ්බා,
- මිනිසුන්ගේ පූජාවල් සම්බන්ධව ඔහු දීපු ලණුව.
- මිනිසාට නැවත ගින්දර ලබා දීම.
- තමන්ව සිහසුනෙන් නෙරපන තම දරුවා කවුද වග ඔහුට නොපැවසීම.
ඉතින් සියුස් ඔහුගේ සේවකයන්ට අණ කලා ප්‍රොමිතියස් ව අල්ලගෙන ගිහිල්ල Caucasus (කොකේසස්) කඳුපන්තියෙ විශාල ගලක ඔහුව ගැටගහන්න කියල. ප්‍රොමිතියස් ව මේ විදිහට ගැටගහල තිබ්බෙ, බිඳ දැමිය නොහැකි දියමන්ති වලින් හදපු දම්වැලකින් බව සඳහන් වෙනව.
ප්‍රොමිතියස් ගේ නිදහස් වීම
ප්‍රොමිතියස් ව බැඳ දාල ඉන්නකොට විශාල රාජාලියෙක් ඇවිල්ල ඔහුට කරදර කළා. ඔහුගේ අක්මාව ඉරා දමල, ඔහුගේ සිරුරට දැඩි ලෙස හානි කළ බවට පැවසෙනව.
ඊළඟට සියුස් ප්‍රොමිතියස්ට කිව්වා, මේ වධ හිංසා වලින් මිදෙන්න මාර්ග දෙකක් තියෙනව කියල. පළවෙනි මාර්ගය තමයි, ඔහු සියුස්ට කියන්න ඕනෙ, සියුස්ව බලයෙන් නෙරපන සියුස්ගෙ දරුවාගෙ මවගේ නම මොකක්ද කියන එක.
ඒක කියන්න බැරි නං, අනිත් මාර්ගය තමයි, ප්‍රොමිතියස් විසින් කොන්දේසි දෙකක් සපුරන්න ඕනෙ.
- අමරණීය කෙනෙක් ප්‍රොමිතියස් වෙනුවට මිය යෑම.
- මිනිසෙක් පැමිණ රාජාලියාව මරා දමා, ප්‍රොමිතියස්ව බැඳ තියෙන දම්වැල බිඳ දමන්න ඕනෙ.
අන්තිමට Chiron කියන Centaur (සෙන්ටෝර් - මිනිස්-අශ්ව මිශ්‍ර ස්වරූපයකින් යුත් ජීවින්) එකඟ උනා, ප්‍රොමිතියස් වෙනුවෙන් ඔහුගේ අමරණීයත්වය කැප කරන්න. ඊළඟට හර්කියුලිස් (Hercules / Heracles / Herakles) විසින් රාජාලියව මරා දමල, ප්‍රොමිතියස් ගේ දම්වැල ගලවල තියෙනව.
ඊට පස්සෙ ප්‍රොමිතියස්, සියුස්ගේ දඬුවමින් මිදිල නිදහස් වෙනව.