Titanomachy (Gods vs Titans)
#GreekMythology

Titanomachy (ටයිටනෝමකි) කියන්නෙ, පළමු පරම්පරාවෙ ටයිටන්ල සහ සියුස් ප්‍රමුඛ ඔලිම්පියන්ස් දෙවිවරු අතර ඇති උන මහා යුද්ධයට. සරලවම පැරණි පරම්පරාවට, අලුත් පරම්පරාවෙන් රෝලක් ගැහුව.
මේ යුද්ධය අවුරුදු 10ක් තිස්සෙම පැවතුනා කියල සඳහන් වෙනව.
විශ්වයේ පාලකයා : Uranus (යුරේනස්)
පළමු පරම්පරාවෙ ටයිටන්වරු ලෝකය පාලනය කරන කොට, Uranus (යුරේනස්) තමයි විශ්වයේ පාලකයා හැටියට සැලකුනෙ. Uranus ගෙ බිරිඳ උනේ Gaea (පෘථිවි මාතාව). Uranus විසින්, ඔහුට gaea ගෙන් ලැබුණ දරුවන් දෙකොට්ඨාසයක් වෙච්ච Cyclopes ල සහ Hecatonchires ලව පෘථිවියේ අඩියෙම තිබ්බ Tartarus (ටාටරස්/පාතාල අඩවිය) වල හිර කලා.
Uranus මේ කරපු වැඩේ නිසා Gaea ට හොඳටම තරහ ගිහිල්ල, එයා Uranus ගෙන් පළිගන්න තීරණය කළා. ඒ නිසා gaea විසින් යෝධ දෑකැත්තක් නිර්මාණය කරල තියෙනව. මේ ආයුධයත් එක්ක, ඇය Cronus ලව්වා Uranus ව විනාශ කරවල තියෙනව. පොළවට වැටුන Uranus ගෙ රුධිරයෙන් Gigantes, Erinyes සහ Meliae කියන දරුවන් තිදෙනෙකුත්, සාගරයට වැටුන රුධිරයෙන් (හෝ ශුක්‍රාණු වලින්) Aphrodite දෙවඟනත් උපත ලබල තියෙනව.
පාලනය Cronus අතට පත් වීම
Uranus ගෙ පරාජයෙන් පස්සෙ පාලන බලය ලැබුනෙ Cronus ට. ඒත් පාලනය අතට අරන් ටික කාලෙකින්ම cronus ට එක්තරා අනාවැකියක් අහන්න ලැබෙනව. ඒ අනාවැකියට අනුව, කවදහරි දවසක තමන්ගෙ දරුවන් එකතු වෙලා තමන්ව විනාශ කරන බවක් සඳහන් වෙලා තියෙනව.
ඉතින් cronus බය උනා තමන්ට තමන්ගෙ පාලනය අහිමි වෙයි කියල. ඒ නිසා ඒ අනාවැකිය සත්‍ය වෙන එක වළක්වන්න හිතාගෙන, එයාගෙ බිරිඳට උපදින උපදින දරුවව ගිල දාල තියෙනව. ඒත් cronus ගෙ බිරිඳ උන Rhea, මේකට විරුද්ධ වෙලා, cronus ට හොරෙන් සියුස්ව වෙනත් තැනකට පිටත් කරල ඇරල. ඒ නිසා තමයි සියුස්, cronus ගෙන් බේරුනේ.
දෙවිවරුන්ගේ කැරැල්ල
Cronus ගෙන් බේරුන සියුස්, වැඩිවියට පත් උනාට පස්සෙ, cronus විසින් ගිලදාපු තමන්ගෙ අනිත් සහෝදර සහෝදරියන්ව බේරගන්න උත්සාහ කරල තියෙනව. එතනදි ඔහුට Metis කියන ටයිටන්වරිය උදව් කරල තියෙන බව සඳහන් වෙනව. මේ Metis, පසුකාලෙක සියුස්ගෙ පළමු බිරිඳ බවට පත් උනා.
ඉතින් metis ගෙ උදව් ඇතුව, විවිධ උපක්‍රම භාවිත කරල අවසානයේදි සියුස්ට පුලුවන් වෙනව cronus ගිල දාපු එයාගෙ සහෝදරයොන්ව නිදහස් කරගන්න. ඊට පස්සෙ සියුස් ඒ නිදහස් උන සහෝදරයන්ට ඒත්තු ගන්වනවා එයාලගෙ තාත්ත උන cronus ට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න.
ටයිටන්වරුන්ට එදිරිව දෙවිවරුන්
සියුස් ප්‍රමුඛ සහෝදර සහෝදරියන් එකතු වෙලා, ටයිටන්ලට විරුද්ධව ඇති කරපු මේ කැරැල්ල තමයි Titanomachy කියන ග්‍රීක මිත්‍යාවෙ ප්‍රධාන සන්ධිස්ථානයේ ආරම්භය.
සියුස් මුලින්ම කළේ Tartarus වල හිර කරල හිටපු Hecatonchires ලව සහ Cyclopes ලව නිදහස් කරපු එක. සියුස් එයාලගෙන් උදව් ඉල්ලල හිටිය ටයිටන්ලට විරුද්ධව සටන් කරන්න. ඔවුනුත් ඒකට එකඟ වෙලා තියෙනව. සියුස්ගෙ සුප්‍රකට අවිය උන අකුණු සැර (Thunderbolt) නිර්මාණය කරල තියෙන්නෙ මේ cyclopes ල විසින්.
කොහොම උනත් මේ යුද්ධයේදි, ටයිටන්ල වෙච්ච Themis සහ Prometheus, සියුස්ගෙ පැත්තට එකතු වෙලා තියෙනව. ඒකට හේතුව ඔවුනුත් තමන්ගෙ සහෝදරයා උන cronus ගෙ පාලනය ප්‍රතික්ෂේප කරපු නිසා වෙන්න පුලුවන්. ඒ වගේම Oceanus කිසිම විදිහකට මේ යුද්ධයට සම්බන්ධ උනේ නෑ.
දෙවිවරුන්ගේ ජයග්‍රහණය
පුරා වසර දහයක් තිස්සෙම තිබුණ යුද්ධය අන්තිමට අවසන් උනේ, සියුස් ප්‍රමුඛ දෙවිවරුන්ගේ ජයග්‍රහණයත් එක්ක. යුද්ධයෙන් පස්සෙ සියුස්, Themis, oceanus සහ Prometheus ඇරෙන්න සෙසු ටයිටන්වරු ඔක්කොමලව, පාතාල ලෝකයේ (Tartarus) හිර කෙරුව.
ඊට පස්සෙ දෙවිවරුන්ගේ පැත්තෙන් සටන් කල ප්‍රධානම රණශූරයන් උන සියුස්, පොසයිඩන් සහ හේඩිස් විසින් ලෝකයේ බලය බෙදාගත්තා. සියුස් විසින් සියලුම මිනිසුන්ගේ සහ දෙවිවරුන්ගේ පාලනයත් එක්කම අහසේ පාලනයත් ඔහු අතට ගත්තා. සමස්ථ සාගරයේ පාලනයත්, පාතාල ලෝකයේ පාලනයත් පිළිවෙලින් පොසයිඩන් සහ හේඩ්ස් විසින් බාර ගත්තා.
එතනින් පස්සෙ තමයි ලෝකයේ පාලනය ඔලිම්පියන්ස් දෙවිවරු අතට පත් උනේ.
යුද්ධයට සම්බන්ධ නොවුන Oceanus ට, සියුස් විසින් සාගරයේ බලය දිගටම තියාගෙන ඉන්න ඉඩ දීල තිබුනත්, Oceanus ඒ වගකීමෙන් ඉවත් වෙලා ඊළඟ පරම්පරාවට බලයට එන්න ඉඩ සලසල පැත්තකට වෙලා තියෙනව.