Spring is far away - 14

Spring is far away - 14

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 14 | Where are you


Previous


හේෂාන්..


මං ඉක්මනින් මගෙ මූණෙ තිබ්බ කඳුළු ටික පිහද ගත්තේ කරගන්න දෙයක් නැති කමට. හේෂාන් දැක්කා නම් රාදිතා මාව ඇඬෙව්වා කියලා ඒ කෙල්ලව ඉතුරු කරන්නෙ නෑ. හැබැයි එයා දැක්කා මං අඬනවා. මට හිතාගන්න බෑ ඊලඟ තත්පරේ හේෂාන් කොහොම හැසිරෙයිද කියලා.


"රාදී.."


එයා රාදිතා ගාවට ඇවිත් මං දිහා බැලුවා. මගෙ ඇස් එක්කම මූණ රෝසපාට වෙලා. එයා තාමත් මං දිහා බලාන. ඒත් මං බිම බලන් හිටියා. නැත්තම් මං ඇඬුවා කියලා ‍රාදිතාට බනී.


"මින්දි.. ඔයා ඇඬුවාද ?"


ඒ කටහඬ.. එයා මට කතා කරනවා. ඉතින් මං ඔළුව උස්සලා බැලුවා. එයා මං දිහා බලන්. ඒ ඇස් වල තිබුණේ අනුකම්පාවක්. එයා අපි දෙන්නා වෙන් උනාට පස්සෙ මෙහෙම බැලුවාමයි, මෙහෙම ඇහුවා මයි. පළවෙනි වතාවට.


"අ.. මේ.. නැ.."


"එයා ඇඬුවා හේෂාන්."


‍රාදිතා මට කලින් ඉස්සර වෙලා එහෙම කිව්වා. එයාට දැන් එයාව බේරගන්නත් එපැයි. ඒ නිසා එයා හේෂාන් එක්ක කතාවට බැස්සා.


"ඇයි ඒ ?"


"මං එයාගෙන් ඇහුවා ඔයාලගෙ කලින් Relationship එක ගැන. ඒත් එයාට ඒක කියද්දි ඇඬුනා."


"ඔයා ඇයි ඒ ගැන ඇහුවේ. ඒක දැන් අදාල දෙයක් නෙවෙයි."


එයාට තරහා ගියොත් මේ කිව්ව බොරුවටත් රාදිතාට බනීවි. ඉතින් මං මැද්දට පැන්නෙ රාදිතාව බේරන්න හිතන්.


"කමක් නෑ හේෂාන්. එයා ඔයා ගැන ඇහුවේ. ඔයා කන්න ආසම මොනවද, කරන්න ආස දේවල්.. ඒවා ඇහුවේ."


මං එහෙම කියලා බිම බලාගත්තා. එයා මං දිහා තත්පර දෙක තුනක් බලන් ඉඳලා රාදිතා දිහා බැලුවා.


"ඔයා ආයෙ ඒ වගේ දේවල් මින්දිගෙන් අහන්න එපා රාදී.. තේරෙනවනෙ ඔයාට ?"


"අහ් ඔව් හේෂාන්. මං ආයෙ අහන්නෙ නෑ. Im sorry මින්දි 😔."


"ඒකට කමක් නෑ."


මගෙ පපුව ඩක් ඩක් ගාලා ගැහෙනවා. ඇවිලෙන්න තිබ්බ දේකින් රාදිතාව මං බේරගත්තු එකට එයා මට ස්තූති කරලා මදි..


"ඒක නෙවෙයි. මං මේ මින්දිට කිව්වේ කම්පැනි එකේ වැඩ තව ටිකක් උනන්දුවෙන් කරන්න කියලා. එයාට එදා ඉඳන් ලොකු ලොකු වැඩ බෑනේ කොහොමත්.."


"රාදී.."


"ම්ම් ?"


හේෂාන් රාදිතාගෙ අතින් අල්ලගත්තා. මං බලන් හිටියේ ඊලඟට එයා මොනවා කියයිද කියලා. මොකද වචනයක් වැරදුනත් හේෂාන්ට තරහා යනවා. ඒක රාදිතා දන්නෙ නැති උනාට මං දන්නවා. මොකද මං එයාව අවුරුදු ගාණක් ආශ්‍රය කරා.


"මින්දි බොළඳයි ළාමකයි තමයි. ඒත් එයාට දෙයක් අල්ල ගත්තොත් කරන්න බැරි වැඩක් නෑ. ඔයා කොහොමද මින්දි ගැන දන්නෙ. අවුරුදු 8 ආශ්‍රය කරපු මම ඇර."


"ඔව් නේද.. ඔයාලා දෙන්නගෙ Relationship එකට අවුරුදු 8 ක් නේද. ඒත් ඔයාටයි මටයි තාම අවුරුදු එක හමාරයි."


"නෑ.. ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. මින්දි කියන්නේ මගෙ හොඳම යාළුවා අවුරුදු 8 ක් පුරාවට. ලවර් වගේම. එයා මං ගැන නොදන්න දෙයක් නෑ. මාත් එයා ගැන නොදන්න දෙයක් නෑ. So ඔයා මින්දි ගැන කිසි දෙයක් නොදැන කතා කරන්න එපා රාදිතා. මං ඒ ගෑනු ළමයාට ඉස්සර වගේම අදත් රෙස්පෙක්ට් කරනවා. ඒ රෙස්පෙක්ට් එක ඔයාත් එයාට දෙන්න ඕනි අනිවාර්යයෙන්ම."


එයා මොකක්ද ඒ අන්තිමට කිව්වෙ කියලා මට ආයෙමත් අහන්න පුළුවන් නම්. එයා මට රෙස්පෙක්ට් කරනවා කියලාද කිව්වේ. මම ඒ ඇස් දිහා කෙලින් බැලුවා. ඒ චූටි ඇස් දෙකත් මට යොමු වෙලා. එයා මට ඒ තරම් රෙස්පෙක්ට් කරනවා නම් මට වෙන මුකුත් ඕනි නෑ. මගෙ ඇස් වලින් ආයෙ කඳුළු කඩන් වැටෙන්න ගත්තා. එයා මට අහිමි උනේ මගෙ පෙර අවාසනාවකට.


"Of course. මාත් එහෙම තමයි හේෂාන්."


රාදිතා ඒ මූණත් අතගාලා කියද්දි මගෙ පපුව ආයෙමත් ගිනි ගන්න ගත්තා. හේෂාන් ඒ අත අරගත්තේ මං ආයෙමත් බිම බලාගද්දි.


"හ්ම්.. එහෙනම් ආයෙ එහෙම කියන්න එපා."


"නෑ මං කියන්නෙ නෑ."


"Good girl. අපි ඉක්මනින් ගෙදර යන්න ඕනි. ඔයා කාර් එකට යන්න. මං එන්නම්."


"Ok."


රාදිතා කාර් එකේ යතුරත් උඩ දදා යන්න ගියා. මං එහෙම්ම බිම බලන් හිටියේ හේෂාන් මං ගාව නැවතුණ නිසා. එයා මගෙ ඉස්සරහා හිටන් ඉන්නවා රාදිතා කාර් එකට යන දිහා බලන්. මාව වෙවුලනවා වගේ එයා ඉස්සරහා මෙහෙම ඉද්දි. වටෙන් එන් සීතල හුලං එක්ක මට කොහොමත් සීතලයි වගේ.


එකපාරටම ඒ ඇස් මගෙ ඇස් එක්ක යා උනේ මගෙ ඇස් වලින් ඉතුරු වුණ කඳුළු කම්මුල් දිගේ පල්ලම් බහිද්දි. එයාගෙ ඒ හිත උණු වෙනවා මගෙ කඳුළු දැක්කම එදා ඉඳන්.


"රාදිතා ඔයාට මොනවද කිව්වේ ?"


"මු.. මුකුත් නෑ."


"මට ඇත්ත කියන්න මින්දි. මං රාදිතාට මුකුත් කරන්නෙ නෑ."


"නෑ.. එහෙම මුකුත් කිව්වෙ නෑ."


එයාට මං කිව්ව එක විශ්වාස කරන්න බෑ. මොකද මං මෙහෙම අඬන්න නම් ලොකු හේතුවක් තියනවා කියලා එයා හොඳටම දන්නවා.


"Sure ද ?"


"ඔව්.."


"හ්ම්.. දැන් අඬන එක නවත්තන්න. මේක අරගන්න."


එයාගෙ කලිසමේ සාක්කුවෙන් මට සර්වියට් එකක් දුන්නා. ඒකෙ කොනක ගහලා තිබුණේ යුවසිංහ ගෲප් එකේ ලෝගො එක. මං කොහොමද එකපාරටම එයාගෙන් ඒක ගන්නේ.


"නෑ.. එපා Thank You."


"කියන දේ අහලා ගන්න."


ඒ ඇස් නලියන්න ගත්තා. එයාගෙ තරහා බොරුවට අවුස්සන්න ඕනි නෑනේ. ඉතින් මං ඒ සර්වියට් එක මගෙ අතට ගත්තා. එහෙම්ම එයා මාවත් පාස් කරගෙන ගියා. හැබැයි ඒ කටහඬ ආයෙ අවදි උනා.


"රාදිතා ඔයාට මොනවා හරි කිව්වොත් ඔයා බය නැතුව මං ගාවට ඇවිත් කියන්න මින්දි."


ඒ එක්කම මට ඇහුණේ එයාගෙ සපත්තු දෙකේ අඩි සද්දෙ. එයා ටිකෙන් ටික මගෙන් ඈතට යද්දි මගෙ කඳුළු මාව ආක්‍රමණය කරලා මාව ආයෙමත් ඇඬෙව්වා. ඒ සර්වියට් එක මං පපුවට ගුලි කරන් ඇඬුවා. කොච්චර වෙලාද මතක නෑ. මට ඇහුණා එයාගෙ කාර් එකේ සද්දෙ. එයාලා ගියා. ඒත් මං තාමත් හිටි තැනමයි. එයා එක්ක ගෙවුණ ඒ විනාඩි ගානත් මගෙ හිතට පොඩි හරි සැනසීමක් දුන්නා. හැබැයි දැන් මං ආයෙත් මගෙ පපුවෙ ගින්දර එක්ක දැවෙනවා..


......


හේෂාන්ගෙ හිතෙත් රාදිතා ගැන සැකයක් තියන නිසා වෙන්න ඇති එයා මට,


❝ රාදිතා ඔයාට මොනවා හරි කිව්වොත් ඔයා බය නැතුව මං ගාවට ඇවිත් කියන්න මින්දි ❞


කියලා කිව්වේ. ඒ කියන්නේ එයා ඉන්නෙත් මගෙ මානසිකත්වෙද. රාදිතා ගැන මොකක්ම හරි එයාටත් දැනිලා තියනවා. මට පුළුවන් නම් රාදිතා මං ඉස්සරහා හැසිරෙන විදිහ එයාට කියන්න. ඒත් මට දැන් හේෂාන් ඉස්සරහට යන්න බෑ. එහෙම පුළුවන් තත්වයක් තිබුණා නම් මං ගිහින් නොකියා ඉන්නෙත් නෑ. රාදිතා කියන්නෙ නරක කෙල්ලෙක් නම් හේෂාන් තමා අමාරුවේ වැටෙන්නෙ. එයාට ලස්සන ජීවිතයක් කොහෙන්ද ඒ වගේ නපුරියක් එක්ක ?


'ඔයා ඕවා ගැන හිතන්න එපා මින්දි. දැන් නිදාගන්න.'


එයා මට දුන්න සර්වියට් එක මං නහයට ලං කලා. ඒකෙන් එන්නෙත් එයාගෙ සුවඳමයි. සාමාන්‍යයෙන් එයා අනිත් අය වගේ ඇඳුම් වලට පර්ෆියුම් ගහන්නෙ නෑ. එක්කො එයා සර්වියට් එකට ගහගෙන සාක්කුවට දාගන්නවා නැත්තම් Body Spray ගහනවා. ඒවා සැර සුවඳවල් නෙවෙයි. හරි චාම් සුවඳක් තියන පර්ෆියුම් එයා පාවිච්චි කරන්නේ. සල්ලි තිබුණා කියලා එයා ලොකුවට අඳින්න, පළඳින්න, කරන්න ගියේ නෑ. සාමාන්‍ය අය වගේ එයත් සරල විදිහට ජීවත් උනා. මාත් ආස ඒ විදිහට.


"ගුඩ් නයිට්.. හේෂාන්.."


පපුව උඩින් තියන් හිටපු එයාගෙ සර්වියට් එක මං එහා පැත්තෙ කොට්ටෙ උඩින් තිබ්බා. ටික කාලයක් යනකම් ඒ සුවඳ ඒකෙ තියෙයි. නෑ ඒක ගොඩක් කල් සුවඳට තියෙයි මං ගාව තියෙද්දි..


අලුත් දවසක් 🌿🌳🍃..


"නටන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න බ්ලින්කි. ඔයාගෙ අනිත් ඇහැටත් මොකක් හරි වෙයි අතු ඇනිලා."


එයාගෙ අනාත ජීවිතෙන් මං එයාව නිදහස් කර ගත්තාට පස්සෙ එයා හරි සතුටින් ඉන්නේ. මං ලිලී පිලී ගස් ටික රවුමට කපනවා. එයා ඒ බිමට වැටෙන අතු එක්ක සෙල්ලම් කරනවා. දැන් ඉතුරු ඇහැත් නැතිවෙයි ඕවා ඇනුණොත්.


මං රට ගිහින් ආයෙ ගෙදර එද්දි මේ ගස් මං යද්දි තිබුණා වගේම ලස්සනට තිබුණා. එහෙම කොහොමද උනේ. කවුරු හරි ඇවිත් ගස් ටික කපලා ගිහින්. සමහරවිට පියසීලි මාමා කැපුවද දන්නෙ නෑ. ඒත් එයා ඔය වැඩ දන්නෙ නෑනේ. සමහර දේවල් මට තාමත් අමුතුයි. ඒවාට උත්තර හොයන්න මට බැරි උනා අද වෙනකම්. මං නැතිකොට ගොඩාක් දේවල් වෙලා කියලා මාමත් කිව්වා. ඒ වගේම මටත් ඒක දැන් තරයේම දැනුණා.


"දැන් මේ ටික උස්සන් යන්නකෝ."


මං ගස් අතු ටිකත් උස්සන් ගිහින් ඇදලා දැම්මා පිටි පස්සට. ඊට පස්සෙ රේක්කෙත් අරන් ආවේ බිම තියන ටික ඇදලා එකතු කරලා ඒ ටිකත් ගිහින් දාන්න.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


කාගෙන්ද මංදා කෝල් එකක්. මං ඉදලෙන් එකතු කරපුවාත් තියලා ෆෝන් එක අර ගත්තා. තේෂාන් තමා කෝල් කරන්නේ. ඒත් මෙවෙලෙ මොකටද.


"Hello. කියන්න තේෂාන්."


"මින්දි.. අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරා."


"ආ.. මොනවා වෙලාද 😨 ?"


"එයාගෙ පපුව රිදෙනවා කියලා ඊයෙ පෙරේදා ඉඳන් කිව්වෙ හදිස්සියේ අද පාන්දර වැඩි උනා."


"එහෙමද.. මොන හොස්පිටල් එකේද ඉන්නේ. මං දැන් එන්නම්."


"නෑ කලබලයක් නෑ."


එයා කිව්ව විදිහට ඒක ලොකු ප්‍රයිවට් හොස්පිටල් එකක්. මං වැඩෙත් නවත්තලා ගවුමක් දාගෙන මාමා එක්ක ගියේ අම්මව බලන්න. එයාට කොලෙස්ටරෝල් එදා ඉඳන් තිබුණා කිව්වනේ. ඒ නිසා එහෙම වුණාද දන්නෙ නෑ. මොනවා උනත් ඒ හේෂාන්ගෙත් තේෂාන්ගෙත් අම්මා. මම නොබලා ඉන්නෙ කොහොමද ?


"Excuse me. මිසිස් නුවන්ති යුවසිංහ මොන රූම් එකේද ?"


"ඔයා එයාගෙ කව්ද මිස් ?"


"අ.."


මං දැන් මොකක්ද කියන්නේ. මට තේෂාන්ගෙන් අහන්න බැරි උනා අම්මා ඉන්නෙ මොන රූම් එකේද කියලා. මෙයාලගෙන් මෙතනින් යන්න නම් මට අපි අතර තියන ලඟම නෑකම කියන්න වෙනවා.


"මං මිස්ටර් තේෂාන් යුවසිංහගෙ ෆියන්සි."


"ආහ්.. මැඩම් ඉන්නෙ Second Floor එකේ 45 වෙනි රූම් එකේ."


මම තේෂාන් යුවසිංහ මැරි කරන්න ඉන්නවා කිව්වා විතරයි අර කෙල්ලො දෙන්නා උඩ ගියා. එයාලා දැකලා ඇති මං හේෂාන් එක්ක ඉන්නවා. හැබැයි මං එවෙලෙ කිව්වා නම් මං හේෂාන් යුවසිංහගෙ හොඳම යාළුවා කියලා. මාව මෙයාලා එතෙනට වඩාගෙන උස්සන් යන්නත් තිබ්බා.


ඉතින් මං ඉක්මනින් උඩ තට්ටුවට ගිහින් 45 වෙනි රූම් එක හොයන් ගියා. ඒ යද්දි මට හම්බුණා හේෂාන්වයි අර තොරොම්බල් කරත්තෙයි. හොස්පිටල් එකට ඇඳන් එන්න ඕනි ඇඳුමක් නෙවෙයි ඇඳන් ඉන්නෙ. නිල් පාට කොට කකුල් වලින් බාගයක්ම පේන කැත ගවුමක්. එයා හිතන් ඉන්නෙ එයා බාබි ඩෝල් කෙනෙක් කියලා. ඒ උනාට සුදු වැඩි උනාමත් මිනිස්සු කැතයිනේ. හරියට නිකන් සුදුමැලි වෙලා වගේ. හැබැයි මට වඩා එයා ලස්සනයි. මං ඉතින් ඒ තරම් ලස්සන කෙල්ලෙක් නෙවෙයිනේ.


කොහෙද මට එච්චර ලස්සන හොට් සෙක්සි බොඩී එකක් ?

ඒ වගේ දිග දුඹුරු ඇස් දෙකක් ?

ඒ වගේ දිග දුඹුරුපාට කොණ්ඩයක් ?


අඩුම මට ලස්සනවත් තිබුණා නම් හේෂාන්ව මැරි කරන්න තිබ්බා. ඒත් ඒ වාසනාවත් මට නෑනේ.


"බබා.. අපි දැන් මොනාද අම්මට ගන්නේ.. චොකලට් ඩෝනට් එකක් එක්ක කැපචිනෝ එකක්. නැත්තම් හොට් බර්ගර් එකක් වගේ මොනා හරිද ?"


"අපේ අම්මව මරන්නද ඕනි 🙄 ?"


"ඇයි ?"


"කොලෙස්ටරෝල් හැදුනම කාලා මැරෙන්න පුළුවන් හොඳම කෑම ටිකක නම් ටිකක් ඔයා කිව්වේ."


"එතකොට අම්මාට මොනාද දෙන්නේ."


"ඕට්ස් වගේ. ගාර්ලික් ගොඩාක් පාවිච්චි වෙනවා නම් හොඳයි. සමහර විට ගාර්ලික් සුප්, කරපිංචා කැඳ, ස්වීට් පොටෑටෝස් කන්න වෙයි."


"ඊයා.. ගාර්ලික් සුප්.. කරපිංචා කැඳ.. මට ඒ ගඳ එද්දිත් වොමිට් වෙන්න එනවා 🤢."


"කරන්න දෙයක් නෑ. අපි හැමෝම වයසට ගිහාම ඔය වගේ ලෙඩ හැදුණම ඕවා කන්න බොන්න වෙනවා. ඊයා නෙවෙයි."


"මං නම් කන්නෙ මගෙ බොඩී එකට හෙල්දි කෑම..."


එයාලා දෙන්නා මාව නොදැක්කා වගේ කතා කර කර ගියා. සමහරවිට මාව දකින්න නැතුව ඇති. ඇයි ඉතින් ඩොක්ටර්ස්ලා නර්ස්ලා එහාට මෙහාට යනවනේ. ඉතින් මං රූම් එකේ ඇතුලට ගියා. යද්දි තේෂානුයි තාත්තයි දෙන්නා අම්මා ගාව ඉන්නවා. මාත් අම්මා ගාවට ගිහින් බැලුවා.


"මොකද උනේ අම්මාට ?"


"බලන්නකො දෝණි.. අම්මට පපුවෙ අමාරුවක් ආවනේ."


තාත්තා එහෙම කියද්දි මං එයාගෙ අතට මං ගෙනාපු පළතුරු ටික දුන්නා. කොලෙස්ටරෝල් වලට පළතුරු කන එක හොඳයි. මං නොදැනුවත්ව ගෙනාවේ. ඒත් හරිම දේ ගෙනවිත් තියනවා.


"මොනාද දෝණි මෙච්චර උස්සන් ආවේ ?"


"අම්මට පළතුරු හොඳයිනේ කොලෙස්ටරෝල් වලට."


"අපිත් ගෙනවිත් දුන්නා. ඒත් කන්න බෑ. එයාට තාම සිහිය ආවෙ නෑනේ."


"එතකොට කන්නෙ බොන්නෙ කොහොමද 😨 ?"


"එයාට තව ටිකකින් සිහිය එයි කියලා තමයි කිව්වේ."


"හ්ම්.. කවුරු හරි එයා ගාව ඉන්නවද අද ?"


"නෑ.. මෙහෙ නර්ස්ලා බලනවනේ."


මාත් මෝඩයා වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඉන්න තැන අමතක වෙලා. ලංකාවෙ ලොකුම ප්‍රයිවට් හොස්පිටල් එකක්නේ මේක. නැතුව මේවා අපි වගේ දුප්පත් මිනිස්සු යන රජයේ රෝහලක් වගේ නෙවෙයිනේ.


"මිස්ටර් යුවසිංහ.."


එකපාරටම ඩොක්ටර් කෙනෙක් ආවා. මායි තේෂානුයි පැත්තකට උනා. මං දැනුයි දැක්කෙ තේෂාන් දිහා. සුදුපාට අර ඩොක්ටර්ස්ලා දාන කෝට් එක දාලා එයා අද ලස්සනයි. එහෙනම් මේක වෙන්න ඇති එයා ඉන්න හොස්පිටල් එක. ඇත්තටම මට අමතක උනානේ නිකම්ම තේෂාන් යුවසිංහ නෙවෙයි මේ ඉන්නේ ඩොක්ටර් තේෂාන් යුවසිංහ කියලා. මම කොහොමද ඩොක්ටර් කෙනෙක්ව මැරි කරලා ඉන්නේ. මං දුප්පත් කෙල්ලෙක් නේ. හේෂාන්ව දෙන්න බැරි මට නුවන්ති අම්මා මොකට එයාගෙ පොඩි පුතාව දෙන්න හදනවද මංදා.


මෙතන මොකක් හරි හොරයක් තියනවා මං නොදන්න..


"පේශන්ට සිහිය ආවට පස්සෙ එකපාරටම කන්න දෙන්න එපා. පැය භාගයක් වගේ තියලා එයාට කන්න දෙන්න. වතුර ඉල්ලුවොත් දුන්නට කමක් නෑ."


"එතකොට ඩොක්ටර්.. මොනාද කන්න දෙන්න හොඳ."


"පළතුරු දුන්නට කමක් නෑ. ඕනිම දෙයක් දෙන්න හැබැයි කොලෙස්ටරෝල් වලට හිතකර ඒවා විතරක් දෙන්න වග බලාගන්න."


"හරි ඩොක්ටර්."


"ඔය පොඩි පුතා ඉන්නේ. එයාගෙන් අහගන්නකෝ වෙන මොනා හරි තිබුණොත්."


ඩොක්ටර් එහෙම කියලා යන්නයි ගියේ. ඒත් එයාට තව දෙයක් කියන්න ඕනි වෙලා වගේ නැවතුණා..


"හේෂාන්ගෙ ඩොක්ටර් මට හම්බුණා.. ඩොක්ටර් විජේසිංහ ව. එයාගෙ කලින් රිපෝට්ස් ටිකත් එක්ක.... අ...."


ඩොක්ටර් එකපාරටම කිව්ව එක නතර කරා. එයා මොකක්ද ඒ කියන්න ගියේ. හේෂාන්ගෙ රිපෝට් එකක් ගැන. මං නිකමට තාත්තා දිහා බැලුවා. එයා ඩොක්ටර් දිහා ඉතුරු ටික කියන්න එපා වගේ බලන් ඉන්නවා. තේෂාන් මං දිහායි ඩොක්ටර් දිහායි මාරුවෙන් මාරුවට බලනවා.


"අහ්.. පස්සෙ මිස්ටර් යුවසිංහ මාව හම්බවෙන්න එන්නකො."


එහෙම කියලා ඩොක්ටර් යන්න ගියා. ඒත් මොකද ඒ දෙන්නා බය වෙලා වගේ. මට දැනගන්න ඕනි මොකක්ද ඒ රිපෝට් එක කියලා.


"තාත්තේ.."


"දෝණි ?"


"මොකක්ද ඒ හේෂාන්ගෙ රිපෝට් එකක් ගැන කිව්වෙ ?"


මං එහෙම අහද්දි තාත්තයි තේෂානුයි දෙන්නා මූනට මූණ බලන් ඉන්නවා. මං අමුතු දෙයක් ඇහුවෙ නෑනේ. ඒ රිපෝර්ට්ස් මොනාද කියලනෙ ඇහුවේ. අනික හේෂාන් මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා තමා එයාලා හිතන් ඉන්නෙ. ඉතින් මං ඇහුවට මොකක්ද තියන වැරැද්ද.


"අ.. මේ.. මං අර දෝණිට කිව්වේ.. ලොකූව අරන් ගියා කියලා. සයිකෙයට්‍රිස්ට් කෙනෙක් ගාවට."


"ඔව්.."


"අන්න එයා එවපු රිපෝට්ස්."


ආහ් ඒකද මෙයාල මේ කියන්නේ. ඒත් මොකද මේ බය වෙලා මං දිහා බලන් ඉන්නේ. වෙලාවකට යුවසිංහ පරම්පරාවටම පිස්සුද කියලා මට හිතෙනවා. හේෂාන්ට ඇර.


"අ..හ්.."


අම්මට සිහිය ඇවිත්. ඇස් ඇරගෙන නැගිටින්න හදනවා. ඉතින් ඉක්මනින් තාත්තයි පුතයි දෙන්නම ගිහින් අම්මව නැගිට්ටවලා කොට්ටෙ හේත්තු කරේ මං බලන් ඉද්දි.


"අම්මා ටිකක් රෙස්ට් කරන්න.."


"කෝ.. අයියා.."


"එයා රාදිතා අක්කා එක්ක ඔයාට මොනා හරි අරන් එන්න ගියා."


"මේ පේනවනේ.. දෝණි ඔයාව බලන්න ඇවිත් පළතුරුත් උස්සන්."


මං ඉතින් හිනා උනා. අම්මටත් හෙන සතුටෙ මං බලන්න ඇවිත් කියලා. ඔයාට ඉතින් මං වගේ ලේලියක් කොහෙන්වත් හම්බවෙන්නෙ නෑ නැන්දම්මේ.


"රාදිතා දුව වගේ නෙවෙයි මේ කෙල්ල. කවදාහරි ඔයාට ලේලියක් විදිහට සලකන්න ඉන්නෙ මෙයා විතරයි. රාදිතා දුව ඔයාට මුකුත් උනත් බලන එකක් නෑ නුවන්ති."


"එ..හෙම.. කියන්න එපා මහත්තයා.. රාදිතා දුවත් හොඳයි.. එයාට ඉතින්.. වැඩ වැඩීනේ."


"පස්සෙ කාලෙක ඔයාට තේරෙයි."


"තාත්තා ප්ලීස්.. අම්මට සිහිය ආවා විතරයි 😑."


තේෂාන්ට එපාම වෙලාද කොහෙද අම්මගෙ බෙඩ් ශීට් එක හදන ගමන් එහෙම කිව්වා. හැබැයි මොනාද ඔය රාදිතාට ඔච්චරටම තියන වැඩ. එයාගෙ වැඩ කරලා දෙන්න අතට පයට සර්වන්ට්ලා ඉද්දි. අනික එයාලගෙ කම්පැනි එක Handle කරන්නෙ එයාගෙ තාත්තා. ඒකට මං ඔෆිස් යන්න ඕනි, පොළට යන්න ඕනි, හැමදාම ගේ අතුගාන්න ඕනි, හැමදාම මොප් කරන්න ඕනි, බාත්රූම් හෝදන්න ඕනි, පූසට බේත් දාන්න ඕනි, කේක් හදන්න ඕනි, මිදුල අතුගාන්න ඕනි, මල් ගස් වලටයි තණකොල වලටයි වතුර දාන්න ඕනි, කාර් එක හෝදන්න ඕනි, මුළු ගෙදරම දූවිලි පිහින්න ඕනි, මකුළුදැල් කඩන්න ඕනි. තව මොනාද මතක් කරන්න ඕනි මං ?


"මං එහෙනම් යන්නම් තාත්තේ.."


"දෝණිට වැඩ ඇති නේද."


"ඔව්.. හෙට ඔෆිස් යන්නත් ඕනිනේ. කේක් ටික හදන්නත් ඕනි."


"ආයෙ කේක් හදනවද ?"


තේෂාන් මගෙන් අහද්දි මං ගල් උනා. ඒත් එයා කොහොමද දන්නෙ මං එදත් කේක් හැදුවා කියලා. හේෂාන් ඒ ගැන කියලාවත්ද. ඒ මොනා උනත් දැන් මං මොකක්ද කියන්නේ. මට සල්ලි නෑ කියලද. මං යුවසිංහ පවුලෙ පොඩි පුතාව මැරි කරන්න ඉද්දි මේ වගේ ලැජ්ජ නැති ඒවා කරන්නෙ ඇයි කියලා ඇහුවොත් එහෙම මං මොනා කරන්නද.


"අ.. මේ.. ඔව්."


"ඇයි ජොබ් එක ?"


"නෑ.. කඩේට මං හදලා දෙන ඒවා විතරයිනෙ යන්නෙ. අනික ඒක් මට අමතර ගාණක්නේ."


"හ්ම්.."


"මං යන්නම් එහෙනම්.. අම්මේ මං යනවා."


"හරි දෝණි."


මං ඉක්මනින් එතනින් එළියට ආවා. කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉස්සරහයි ඩොක්ටර් කෙනෙක් ඉස්සරහයි හිටන් ඉඳලා මගෙ කකුලුත් පණ නෑ වගේ. අනික එයාලා ඉස්සරහා මට හරි අපහසුතාවයක් දැනෙනවා.


කොහොම හරි මං එළියට ආවා. ඒ එක්කම මට මතක් උනා ගෙදර කලරින් ඉවරයි කියලා. ඉතින් මං පාර පැනලා එහා පැත්තෙ කඩ පෝලිමට ගියේ ඒවගෙ තියනවද බලන්න.


මේ කඩවල් ගොඩාක් ෆාමසි, බෙහෙත් බඩු, කෑම තියන කඩවල්. කේක් බඩු තියන එකක් කොහෙවත් නැද්ද කියලා මං ටිකක් විපරම් කරල බැලුවා. ටිකක් ඈත තියනවා කේක් තැටි එල්ලපු කඩයක්. සමහරවිට ඒකෙ ඇති. ඉතින් මං ඒ කඩේට ගියා. ඒකෙ තිබුණ නිසා මං රෝසයි කොළයි ගෙනාවා රිබන් කේක් වලට. කේක් හදන එකෙන් මට දවසකට ජීවත් වෙන්න පුළුවන් ගාන හම්බ වෙනවනේ. පුළුවන් නම් තව කඩ ටිකක් අල්ල ගන්න ඕනි. එතකොට මං තව ගාණක් ඉතුරු කරගත්තැහැකි.


"හ්ම්ම්.. දැන් ගිහින් දවල්ට උයන්නත් ඕනි."


මං බෑග් එකත් එල්ලන් කාර් පාක් එකට යන්න කියලා පාරෙ මෙහා පැත්තට පැන්නා. ඒ පනිද්දි මට දැකලා පුරුදු රුවක් වගේ පෙනුණා. ඉතින් මං හැරුණා. රාදිතාගෙ ගවුම තමා මං දැක්කේ. එයා හේෂාන්ව තුරුලු කරන් හිනා වෙවී කතා කර කර එනවා. මට ආයෙමත් කලන්තෙ වගේ. ඒ දෙන්නා එකට හිනා වෙවී එනකොට මට මතක් වෙන්නෙ හේෂාන් මං එක්ක සතුටින් හිටිය විදිහ. මං දන්නෙ නෑ ඔයා දැන් සතුටින්ද කියලා. ඒත් මං ප්‍රාර්ථනා කරන්නෙ රාදිතා කියන කෙල්ල ගාව ඔයාගෙ සතුට තියෙන්න කියලා.


රාදිතා එක්ක හිටපු ටික කාලෙට හේෂාන් මෙහෙම වෙනස් උනාද මං දන්නෙ නෑ. මගෙ හිතේ කිසිම ඉරිසියාවක් නෑ. මොකද මේක එයාගෙ තීරණයක්. හැබැයි මගෙ පපුවත් එක්ක ගිනි ගන්නවා වගේ. එයා මට පේන්න මෙහෙම හැසිරෙනවාද නැත්තම් මුළු ලෝකයාටම පේන්න මෙහෙම හැසිරෙනවාද ?


"හේෂාන්.."


"ම්ම්.. ඇයි ?"


"ඔයා මට කොච්චරක් ආදරෙයිද ?"


ඒ කටහඬවල් මට ඇහෙන සමීපයටම එයාලා මං ඉන්න දිහාවට ලං වෙනවා. ඒත් මං හිටි තැනම ගල් වෙලා වගේ ඉන්නවා. එකපාරටම මං දැක්කෙ මං නොහිතපු දෙයක්. රාදිතා ඒ ඇඟේ එල්ලිලාම මගෙ ඇස් ඉස්සරහම ඒ දෙතොල් සිප ගත්තා. මගෙ ඇඟ ඇතුළෙ ගිනි ජාලාවක් වගේ. මට ඇහිපිය ගහන්නත් බෑ වගේ ගල් වෙලා. මං කවදාවත් දැකලා තිබුණෙ නෑ රාදිතා එයාට ඒ තරම්ම ලං වෙනවා. හැබැයි අද දැක්කා. මාව දැකපු පාර හේෂාන් රාදිතාව තල්ලු කරලා දැම්මා. ඒ එක්කම රාදිතා බැලුවෙ ඒ දෙන්නට ඉස්සරහින් ඉන්න මං දිහා. මගෙ ඇස් කඳුළු පටලයකින් වැහිලා ගියා.


"ඔහ් මින්දි.. ඔයා එළියෙ මොකද.. අම්මට සිහිය ආවද ?"


රාදිතාගෙ කටහඬේ සද්දෙ මට ඇහුණා. හැබැයි ඒ රූප මට බොඳ වෙලා පෙනුණේ. එයා අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බෑ. මගෙ කටත් වැහිලා. හැබැයි මගෙ ඔළුව නිකන්ම වැනුනා. ඒකෙන් එයාලා තේරුම් ගන්න ඇති අම්මට සිහිය ඇවිත් කියලා.


"හේෂාන්, අම්මට සිහිය ඇවිත්ලු. අපි යමු නේද ඉක්මනින් 🥺.."


"හ්ම්."


ඒ දෙන්නා මගෙ ඉස්සරහින් අයින් වෙලා හොස්පිටල් එක පැත්තට ගියා. මං එහෙන්ම කාර් එකට නැග්ගා. මට මතක එච්චරයි.


"අපි යමු මාමේ.."


හවස් උනා 🍁..


"තාත්තේ.."


තේෂාන් හවස් වෙලා ගෙදර ආවා. එද්දි තාත්තා ලැප් එකෙන් වැඩක්. ශෂීන්ද්‍ර ආස සාලෙ වැඩ කරන්න. ඒත් හේෂාන් ආස රූම් එකේ ඉඳන් වැඩ කරන්න. ඉතින් දෙන්නා දෙතැනක වැඩ.


"ආවද.. ගිහින් වොශ් එකක් දාන් එන්න චූටි. අද අයියා ඉව්වේ දවල්ට."


"කන්න පුළුවන් වෙයිද දන්නෑ 🤧."


"කරන්න දෙයක් නෑ ඉතින්."


"ඒක නෙවෙයි ප්‍රශ්නෙ. අහන්නකො තාත්තේ. මං මින්දිට දැන් පැය ගාණක ඉඳන් ගන්නෙ ගෙදර ගියාද අහන්න. ඒත් එක කෝල් එකකටවත් ආන්ස්වර් කරන්නෙ නෑනේ."


"ආයෙ අරන් බලන්න.. මගදි කරදරයක් වත් උනාද දන්නෙ නෑ."


"වැඩක් නෑ තාත්තේ. මං කෝල්ස් විස්සකට වඩා ගත්තා. මැසේජ් දහයක් විතර දැම්මා."


"ඉන්න බලන්න මගෙ ෆෝන් එකෙන් අරගන්න."


තාත්තා එයාගෙ ෆෝන් එකෙන් මින්දිට කෝල් එකක් ගත්තා. ඒත් එයා ඉස්සුවෙ නෑ. ඒ වෙනුවට ඇහුණේ වාදනයක් විතරයි


❝ ඔබ ඇමතූ දුරකථන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න ❞


තේෂාන් කෝල් එක ගද්දිත් ඔහොමමයි වැටුණේ. දැන් තාත්තටත් එහෙමයි වැටෙන්නේ. ඉතින් ඒ පාර දෙන්නම බය උනා කෙල්ලට කරදරයක්ද කියලා. නැත්තම් වෙනදට ඉක්මනින් මින්දි කෝල් ආන්ස්වර් කරනවනේ.


"මං කියන්නද තාත්තේ.. මං මෙහෙම්ම මින්දිගෙ ගෙදරට යන්නම්. බලන්නම් ඇයි කියලා."


"ඒක හොඳයි පුතේ. දුවට කරදරයක්ද දන්නෙ නෑනේ 😕."


"තාත්තා අයියා එක්ක කන්නකෝ. මං ඉක්මනින් බලලා එන්නම්."


"පුතා පරිස්සමින් යන්නකෝ."


තේෂාන් ඉවසලා බැරිම තැන තමා මේ තීරණය ගත්තේ. එයා දන්නවා රාදිතාගෙ වෙනස. ඉතින් එයාට හිතෙන්නෙ රාදිතා මින්දිට කොහෙන් හරි බලපෑමක් ඇති කරයි කියලා. මොකද රාදිතා කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ෆර්නැන්ඩස් පවුල එයාලට ඕනි දේ ගන්න මිනිස්සු උනත් මරන ජාතියක්. ඒ එයාලගෙ හැටි. ඉතින් ඒ දුව ගැන විශ්වාසය තියන්නෙ කොහොමද ? 


ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---14-Part-2-08-17

Report Page