වරක් සුරූපි තරුණියක්ව සිටි මෙඩූසා
#Greek_Mythology

අපි හැමෝම වගේ මෙඩූසා ගැන කතා අහල තියෙනව. ඕනෙ තරන් ෆිල්ම් , ටීවි සීරීස් උනත් බලල තියෙනවනෙ. වර්තමානයේ බහුතරයක් දෙනා හිතන්නෙ මෙඩූසා කියන්නෙ සදාකාලිකවම රාක්ශයෙක් වැනි කෙනෙක් කියල. ඇය භයානක සතෙක් කියලත් සමහරු හිතනව.
ඒත් ඇත්තටම මෙඩූසා කියන්නෙ ස්වභාවයෙන් එහෙම කෙනෙක් නෙවෙයි. අද ලිපියෙන් අපි බලමු පුරාවෘත වල සඳහන් වෙන විදිහට , මේ මෙඩූසා කියන්නෙ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියල.
මෙඩූසා කියන්නෙ , සාගරය භාර දෙවිවරුන් වන Phorcys සහ Ceto කියන දෙවිවරුන් දෙදෙනාට දාව උපදින සහෝදරියන් තිදෙනෙක් යුතු පවුලක එකම අමරණීය නොවන දියණියයි.
මෙඩූසගෙ සහෝදරියන් දෙදෙනා වන Stheno සහ Euryal යන දෙදෙනාම අමරණීය අය. මේ අයට කියන්නෙ Gorgons කියල. එයාලගෙ දේහය හරියට කාන්තා සිරුරකට සර්ප ලක්ෂණ ඇතුලත් වෙලා වගේ කියල තමයි ග්‍රීක පුරාවෘත්ත වල සඳහන් වෙන්නෙ.
මෙඩූසා, කුඩා කාලයේම ඇය ඇතීනා දෙවඟන වෙනුවෙන් තමන්ගෙ දිවිය කැප කලා. ඒ මතු දිනක ඇතීනා දෙවඟනගේ දේවාලයේ පූජකවරියක් වෙන්න. මෙඩූසා පොඩි කාලෙ ඇයගේ සහෝදරියන් එක්ක සෙල්ලම් කරනකොට පවා ඇය ඇතීනා දෙවඟනව තමයි අනුකරණය කලේ.
ඉතින් කාලයත් එක්ක මෙඩූසා තරුණ වයසට එනකොට ඇය එන්න එන්නම ලස්සන උනා. මෙඩූසා කියන්නෙ මිහිපිට විසූ ලස්සනම කාන්තාවන් අතරින් එක්කෙනෙක් බවට ග්‍රීක මිත්‍යා වල සඳහන් වෙනව.
ඇතීනා දෙවඟනගෙ දෙවොලේ පූජකවරියක් වෙන්න ඕනෙකම නිසාම මෙඩූසා කිසිම පිරිමි ඇසුරකින් තොරව පිරිසිදු කන්‍යාවක් විදිහට ජීවත් උනා. සුදුසු වයසට ආවම මෙඩූසා ඇය ජීවිතයම කැපකරපු ඇගේ සිහිනය වෙනුවෙන් , ඇතීනා දෙවඟනගේ දෙවොලේ පූජකවරියක් වෙන්න සූදානම් උනා.
ඇතීනා දෙවඟනගේ දෙවොලේ පූජකවරියක් වෙනව කියන්නෙ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මොකද පූජකවරියන්ගෙ විනය , හැසිරීම වගේ හැම දෙයින්ම සංකේතවත් වෙන්නෙ අදාල දෙවොලේ දෙවඟනව. ඉතින් ඒ දේවල් ගැන ගොඩක් විමසිලිමත් වෙන්න වෙනව.
මේ හැමදේම දරාගෙන , පිරිසිදු කන්‍යාවක් හැටියට අන්තිමට මෙඩූසා , එම දෙවොලේ පූජකවරියක් වෙනව.
කාලයත් එක්කම මෙඩූසා විසින් මෙහෙයවන චාරිත්‍ර සඳහා මිනිස්සු වැඩි වැඩියෙන් සහභාගි වෙන්න පටන් ගන්නව. මෙඩූසා කියන්නෙ ලෝකයේ පහල වුන රූමත්ම කාන්තාවක් කියල උඩ කිව්වනෙ. ඉතින් ඇතීනා දෙවඟනගේ දෙවොල වන්දනා කරන්න ආපු මිනිස්සු , මෙඩූසාගෙ රූපයට වසඟ උනා. ඒ නිසාම මෙඩූසා සම්බන්ධ වන චාරිත්‍ර වලට මිනිස්සු වැඩි වැඩියෙන් සහභාගි උනා.
ඒක එහෙම උනත් මේ සිද්ධිය ඇතීනා දෙවඟනට දැනගන්න ලැබුනා. ඇතීනා දෙවඟන හොයාගත්තා ගොඩක් මිනිස්සු එන්නෙ තමන්ව වන්දනා කරන්න නෙවෙයි , මෙඩූසාගෙ රූපයට වසඟ වෙලා කියල. මේ ගැන මෙඩූසට වැරැද්දක් කියන්න බෑ කියලත් ඇතීනා දෙවඟන දැනන් හිටිය. මොකද මෙඩූසා කරන්නෙ ඇගේ කාර්යය විතරයි. හැබැයි ඇතීනාට , මෙඩූසා කෙරේ සියුම් කෝපයක් සහ ඊර්ෂ්‍යාවක් හටගත්ත.
මේ අතරෙ , ඇතීනා දෙවඟනගේ පරම හතුරෙක් වෙච්ච , 'සාගරයට අධිපති දෙවියා' , ඒ කියන්නෙ පොසයිඩන් (poseidon) අවබෝධ වෙනව ඇතීනා දෙවඟන ඇයගේ දෙවොලක සිටින පූජකවරියක් ගැන පමණට වැඩිය අවධානයෙන් ඉන්නව කියල.

ඉතින් පොසයිඩන් හිතුවා , ඇතීනා දෙවඟනගේ දෙවොලේ ඉන්න සුරූපීම , පිරිසිදුම , ප්‍රසිද්ධම පූජකවරිය යොදාගෙන ඇතීනා දෙවඟනගෙ ප්‍රතිරූපයට හානියක් කරන්න ඕනෙ කියල. මෙඩූසා මේ දෙවියො දෙන්නගෙ යුද්ධයට මැදි වෙන්නෙ මෙන්න මේ අවස්ථාවේ.
මෙඩූසා මේ කිසිවක් දන්නැතුව තමන්ගෙ සාමාන්‍ය ජීවිතය ගෙවාගෙන ඉඳියා.
ඔන්න ඉතින් ටික දවසකින්ම මෙඩූසාගෙ ජීවිතේ හැරවුම් ලක්ශ්‍ය උදා උනා. මෙඩූසා තමන්ගෙ දෙවොල ආසන්නයේ තිබ්බ විලකට ගිය වෙලාවක පොසයිඩන් එතන පෙනී ඉඳල මෙඩූසට කරදර කරන්න හැදුවා. ඒ උනාට මෙඩූසා පොසයිඩන්ව තරයේ ප්‍රතික්ෂේප කරල දාල ඉක්මනටම , තමන්ට වැඩියෙන්ම ආරක්ශිතයි කියල හිතුන ඇතීනා දෙවඟනගේ දෙවොල ඇතුලට ගියා.
හැබැයි පොසයිඩන් එතනින් නැවතුනේ නෑ. පොසයිඩන් , මෙඩූසා පිටිපස්සෙන් දෙවොල ඇතුලටම ඇවිල්ල , මෙඩූසගෙ විලාප හඬ මැද්දෙම මෙඩූසාගෙ පිරිසිදු භාවය නැති කරල දැම්ම. සංස්කරණය කරන්නැතුව කියනව නං "රේප්" කලා.
තමන්ගෙ වැඩේ හිතුවටත් වඩා හොඳින් කෙරුන කියල හිතපු පොසයිඩන් බොහොම සතුටින් දෙවොලෙන් එලියට ගියා. ඇතීනා දෙවඟනගේ වටිනම සම්පතක් වෙච්ච ඇගේ දෙවොල තුළම මෙඩූසාව අපිරිසිදු කරපු එකට පොසයිඩන් තවත් සතුටු උනා.
ඒ උනාට අසරණ මෙඩූසා , පූජකවරියක් සතු විය යුතු ප්‍රධානම ආභරණය බිඳ ගෙන තිබුනෙ.
ඇතීනා දෙවඟනට මේ ගැන සැල උන ගමන්ම ඇතීනා දෙවඟන තමන්ගෙ දෙවොලට ආවෙ කෝපයෙන්. පිරිසිදුකමේ සංකේතයක් වෙච්ච ඇතීනාගෙ දෙවොල තුලම ගැහැණියක් අපිරිසිදු වෙච්ච එකට ඇය මෙඩූසාට දොස් පැවරුවා.
මෙඩූසා පොසයිඩන්ව ප්‍රතික්ශේප කල යුතුව තිබූ බවට ඇතීනා පොසයිඩන්ට පැවසුවා. ඒත් ඉතින් දෙවි කෙනෙක් හමුවේ මිනිසෙක්ට කරන්න පුලුවන් දෙයක් නැති තරම් කියන එක ඇතීනාට සිහියට ආවෙ නෑ.
අන්තිමට තමන්ගෙ දෙවොල අපිරිසිදු කරපු එකට ඇතීනා , මෙඩූසාට දඬුවම් දුන්නා. ඇතීනා කලින් ඉඳන්ම මෙඩූසා ගැන ඊර්ෂ්‍යාවකින් පසු උනානෙ. මේ හැම දේම නිසා මෙඩූසාට සදාකාලිකවම තනිකමේ ඉන්න සිදුවෙන විදිහට , ඇතීනා මෙඩූසාට ශාප කලා.
අපි හැමෝම දන්න ඔලුව පුරා සර්පයන් සිටින , කුරිරු පෙනුමක් තියෙන විදිහට මෙඩූසා වෙනස් උනේ මේ ශාපය නිසා.

ඇතීනා විසින් කල ශාපය නිසා මෙඩූසාගෙ අලංකාර හිසකෙස් ගොනුව සර්පයන් බවට පත් උනා. ඇගේ මුහුණ සර්ප හමක් මෙන් රැලි වැටුනු ස්වභාවයක් ගත්තා.
මෙඩූසා මේ නිසාම ඉක්මනටම එතනින් පළා යන්න පටන් ගත්ත. ඒ උනාට අසල ගම් වල මිනිස්සුන්ගෙ ඇහැ ගැටෙන්නැතිවෙන විදිහට පැනල යන්න මෙඩූසට හැකි උනේ නෑ. මෙඩූසගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලපු හැමෝම එක වරම ගල් පිළිම බවට පත් උනා. මෙඩූසා එතනින් පළා ගියාට පස්සෙ ලැව් ගින්නක් වගේ මේ පුවත හැමතැනම පැතිරුනා. රාක්ශයෙක් මිනිස්සුන්ව ගල් කර කර යනව කියල.
මිනිසුන් කණ්ඩායම් වශයෙන් එකතු වෙලා මේ කටකතා වල සඳහන් රාක්ශයව විනාශ කරන්න ගියා. ඒ උනාට දවස් දෙක තුනකට පස්සෙ ඒ ගිය මිනිස්සුන්ව හම්බුනේ , හැමෝම ගල් පිළිම වෙලා තියෙනකොට.
අපි අහල තියෙන විදිහට මෙඩූසා රාක්ශයෙක් නෙවෙයි. ඇයට කොහෙත්ම ඕනෙ උනේ නෑ මිනිස්සුන්ට කරදර කරන්න. ඇය හැදුවෙ ඒ මිනිස්සුන්ගෙන් ආරක්ශා වෙන්න විතරයි. නමුත් ඇය නොදැනුවත්මව ඒ මිනිස්සු ඇයගේ ඇස් දෙස බැලූ සැනින් පිළිම බවට පත් උනා.

අන්තිමට මෙඩූසා තීරණය කලා වසර ගණනාවකට කලින් අතහැරල දාපු ප්‍රදේශයකට ගිහින් , එහෙ ජිවත් වෙන්න. එහිදී ඇය සොයාගත්තා ගරාවැටුනු දෙවොලක්. ඇය එම දෙවොල තෝරගත්තා වාසස්ථානයක් විදිහට.
කොහොම උනත් මෙඩූසා ගැන කණ වැකුන රණශූරයො දිගින් දිගටම මෙඩූසාව විනාශ කරන්න හා කුසලානයක් ලෙස ඇගේ හිස රැගෙන යන්න , ඇයව සොයාගෙන ආව. නමුත් ඒ එක්කෙනෙක්ටවත් පණපිටින් ආපහු යන්න ලැබුන්නෑ. ඒ හැමෝටම උරුම උනෙත් පෙර කී මිනිසුන්ට වෙච්ච දේම තමා. හැමෝම ගල් පිළිම බවට පත් උනා.
මිනිසුන් විසින් මෙඩූසාව රාක්ශයෙක් ලෙස දැක්කත් මෙඩූසා දිගින් දිගටම ඇතීනා දෙවඟන වෙනුවෙන් යාතිකා සිදු කලා. ඇය එතරම් විශිෂ්ඨ කාන්තාවක්. ඇතීනා දෙවඟන කෙරෙහි මෙඩූසාගෙ පක්ශපාතී බව ඇතීනා දෙවඟනට දැකගන්න පුලුවන් උනා. ඉතින් ඇතීනා දුක් උනා තමන් මෙඩූසාට කරපු දේ ගැන.
මේ අතරේ සියුස් දෙවියන්ගේ පුතෙක් වෙන පර්සියස් (Perseus) , මෙඩූසාගෙ හිස රැගෙන ඒමට සැරසුනා. සාමාන්‍යය ආම්පන්න වලට මෙඩූසාව විනාශ කරන්න කොහෙත්ම බෑ කියන එක ඒ වෙනකොට මිනිසුන් දැන සිටියා. ඒ නිසා පර්සියස් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා ඔහුගේ කාර්යය සාර්ථක කරගන්න.
හේඩිස් (Hades) විසින් ඔහුට ලබාදුන්නා හිස් ආවරණයක්. එමගින් පර්සියස්ට හැකියාවක් ලැබුණා මෙඩූසාට නොපෙනී ඇයට ළං වෙන්න.
හර්මිස් (Hermes) විසින් ඔහුට ලබා දුන්නා පියාපත් සහිත සෙරෙප්පු යුගලක්. එමගින් පර්සියස්ට හැකියාවක් ලැබුණා මෙඩූසා සොයා ඉක්මනින් ගමන් කරන්න.
ඇතීනා විසින් ඔහුට ලබා දුන්නා පළිහක්. එමගින් පර්සියස්ට හැකි උනා මෙඩූසාගෙ ඇස් දෙක දෙස කෙලින්ම නොබලා ඇයගේ පරාවර්තිත ප්‍රතිබිම්බය දෙස බලන්න.
අවසානයේ , පුරාවෘත්ත වල පැහැදිලිව සඳහන් නොවුනත් හර්මිස් විසින් පර්සියස්ට කඩුවක් ලබා දුන් බවට සඳහන් වෙනව. එමගින් පර්සියස් ට හැකිවුනා , මෙඩූසාගෙ හිස කඳෙන් වෙන් කරන්න.
ඉතින් පර්සියස් මේ ආම්පන්න වලින් සැරසිලා මෙඩූසාව විනාශ කරන්න පිටත් උනා. මෙඩූසා සාමාන්‍ය පරිදි සටන් කරන්න සැරසුනත් මෙඩූසාට හැකියාවක් ලැබුනෙ නෑ දේව ආම්පන්න වලින් සන්නද්ධව පැමිණි තරුණයා සමග සටන් කරන්න. ඉතින් පර්සියස් එක කඩු පහරින් මෙඩූසාගෙ හිස වෙන් කලා.

මේ වෙනකොටත් පොසයිඩන් විසින් මෙඩූසාගෙ ඇඟේ ඔහුගේ බීජයක් පැල කරල තිබ්බෙ. සංස්කරණය කරන්නැතුව කියනව නං , පොසයිඩන් විසින් මෙඩූසාගේ කුසට ළමයෙක් දීල තිබ්බෙ. ඒ පොසයිඩන් විසින් මෙඩූසාව කෙලෙසන අවස්ථාවෙ.
පර්සියස් , මෙඩූසාගෙ හිස කඳින් වෙන් කරපු සැනින් එතන ලේ විලක් බවට පත් උනා. එම ලේ විලෙන් මතු උනේ රත්‍රන් අසිපතට හිමිකරු ක්‍රයිසොර් (Chrysaor) සහ ඉතාමත් ලස්සන පිරිසිදු සත්වයෙක් වූ පියාපත් සහිත අශ්වයෙක් නොහොත් පෙගසස් (Pegasus) කියන සත්වයායි. පෙගසස් කියන්නෙ ලොව සියලුම සතුන් අතුරින් පිරිසිදුම සත්වයා ලෙස සඳහන් වෙනව.
පෙගසස්ට ලැබුණෙ , ඔහුගේ මවගේ , එනම් මෙඩූසාගෙන් උදුරගත් පිරිසිදුභාවය කියලත් සඳහන් වෙනව.
ඉතින් මෙන්න මේක තමයි රාක්ශයෙක් ලෙස සඳහන් වෙන මෙඩූසාගේ කතා පුවත.
මෙඩුසා ගැන ඔයාලගෙ අදහස මොකක්ද?