ඇතීනා පරිච්ඡේදය 03

ඇතීනා පරිච්ඡේදය 03

©™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)

■පරිච්ඡේදය 01■

පරිච්ඡේදය 02.5«««««



ඈතින් ඇසුණේ බල්ලෙකුගේ උඩු බිරීමකි. අදුර හාත්පසම පැතිරුණත් හදක් තිබුණාද නොතිබුණාදැයි නොදනිමි. මම ඇවිද ගියේද නැත. නමුත් මම මහා මාර ගස පසු කළෙමි. එය වැණුනේ වියරුවෙනි; සීතල පතුරුවමිණි. මට සිතුණේ ප්‍රදේශය පුරාම පැතිර ගිය මහා සුළග ඇති කළේ ඒ වෘක්ෂය කියායි.

බල්ලාගේ මූසල නාදය නැවතේ, නොනැවතේ. මට අදහසක් නැත. දෑස් පිය සලයිද? මා හුස්ම ගත්තාද? මා කුමක් කළාදැයි මාද නොදනිමි. සිත නොසන්සුන් බව නම් දනිමි. හදවතේ රිද්මයද වේගවත්‍ ය. දෑස නම් ගස්ස ගස්සා රූප පෙන්වයි. 

දැන් මා නැවතී සිටිමි. දොළක් අද්දර! ඕ නැත දොළ අද්දර!!, මම මෙතැන දනිමි. මා මෙතැනට ආවේ කොයි වෙලාවෙද? කොහොමද? ඇයි? ඒවා මට ප්‍රශ්නයක් නොවිණි, ප්‍රශ්නය දැන් දෑස් ඉදිරිපිට මැවී ඇත.

මගේ හදවත කීරි ගැස්සිනි. ඒ රූපය? දෙපයින් නැගිට පිහියක් අතට ගත් ඒ රූපය? මට පිටුපස හැරී ඇති ඒ රූපය? ඔහු වෙනස් වී ඇත, හිස මුඩු කර ඇත, තර වී ඇත. ඒත් ඒ ඔහුමයි; ඒ එදා ඔහු අත රැදි පිහියමයි; මගේ , මගේ ...... සැමියාගේ ගෙල සිද දැමූ ඒ පිහියමයි.

නිශ්ශබ්ද බව..... , ඔව් ඒ කුරිරු නිශ්ශබ්ද බව, හිත තිගස්සන ඒ නිශ්ශබ්ද බව. ඔහු නොසෙල්වෙයි. නමුත් සිනාසෙයි, කුරිරු ලෙස සිනාසෙයි. බිය තීව්‍ර කරමින් සිනාසෙයි. නමුත් නිශ්ශබ්දයි!!!

ඔහු මා දෙස බලයි. පැත්තක තව කෙනෙක්,ඔ....ඔහු මගේ සැමියා. 'මුර්ඝයා,  උඹ තමයි මිනීමරුවා, කාලකණ්ණියා මං කෑ ගහන්නට උත්සාහ කළෙමි.' උගුර සිර වී ඇත. වචන පිට නොවේ. කිමද ඒ? 

ඔහු තව බෙල්ලක් කපන්නද හදන්නේ? ඔව් ඒ වගේ..... කවුද ඒ? පොඩි කෙල්ලෙක්, 

☆         ☆         ☆          ☆       ☆


"අනේ මගේ දරුවා....." ඇතීනා කෑ ගැසුවාය. දෑසගින් රූරා ගලන කඳුළු කණ දෙපසින් පැමිණ වරලස තෙත් කරන්නට විය. දෑත හිස වටා ගමන් කළේ කෙස් උගුල්ලමිනි. මුහුණ දිගේ බේරෙමින් හුන් කඳුළු කැට ඇදගෙන ගමන් කළ දෑත අවසන හදවත ඉදිරියෙන් නතර වූයේ වේදනාව ස්පර්ශ කරමිනි. ඇද හුන් වස්ත්‍රද තෙත්කර, කොහු මෙට්ටයද නාවමින් දහදිය ගලා ගොස් තිබුණේ කැලරි දහනය කරන්නේ ශාරීරික මහන්සිය පමණක් නොවන බව කියාපාමිනි.

ගලා යන කඳුළු කැට හා දහදිය අතරින් ලපටි කඳුළකින් ඇගේ උරහිස තෙත්කර ඇති බව ඇයට දැනුණේ වම් කන අද්දර විරහව ගයන සිගිති හඩක්ද ශ්‍රවණය කරවමිණි. කදුල අතර රකින්නට වස්තුවක් ඈට ඉතිරි වී ඇත.ඈ ඇද මත හිද ගත්තාය; දරුවාව උකුළට ගත්තාය; හිස පිරිමදිමින් ඔහුව නැළෙව්වාය. 

දුක් කන්දක් අභිමුව ඈ මුව පිපෙන සිනා රැල්ල අපිද දැන් දකීමු. මාතෘ සෙනේහය මේ යැයි කියමු.

නැළවීම අතරමග දරුවා දෑත ගෙනගියේ ඇගේ තනපුඩුව වෙතටයි. තවමත් හැඩීම හමාර නැත. ඇතීනා හැට්ටය තුලින් පිටතට ගත් තන පුඩුව දරුවාගේ මුවට එබුවාය. දරුවාගේ හැඩීම් හඩ ඒ සුමුදු පියයුර හමුවේ හමාර වී කෙදිරිල්ලක් බවට පත් විය.

ක්ෂීරමය සාරය සමග එක්වූයේ ඇගේ ආදරයයි; ගලාගියේ ජීවනීය සැනසීමයි; මනුෂ්‍යත්වයේ සංකීර්ණ බව හුවා දක්වන ආදරයේ මූලික හරයයි. 

රුධිර නාල අතරින් දිවගොස් ආලය ඇතිකරමින් නිපදෙන ක්ෂීරය දරුවා වෙතට පෝෂණයකි. මව් වෙතට ශක්ති හානියකි. නමුත් දෙදෙනා අතර ඇතිවෙන අකාලික සම්බන්ධයට මූලිකම පුරුකකි. 

ඇතීනාට සිහිනය හා එක්වූ ඒ මතක කන්දරාව ඒ වේලාවට හෝ අමතක කළ දරුවා නම් මත්ත්‍රව්‍යයක්ම විය. මරණය හා ගැටෙන ජීවිතයේ අවසන් දෙවසරක සතුට ඔහුම විය; සංජානනීය ආදරේ විකල්ප නැති කල්පයද ඔහුම විය; ජීවිතේට වූ බලාපොරොත්තුවද ඒ සිගිත්තාම විය.

ආදරයේ සුන්දර නවාතැන්පොලක ගිමන් හරිමින් සිටි ඇතීනාට ඇසුණේ දඩස් ගාමින් කුමක් හෝ බිමට වැටෙන ශබ්දයකි. ඒ සමගම අමානුෂික කෑ ගැසීමකි. නැවතත් කවුරුන් හෝ වේදනාවෙන් දගලන ශබ්දයකි!

ඇතීනා බිය වූවාය, ඈ කලබලෙන් නැගිට්ටාය. ඈට සිහින අමතක විය; දරුවාද අමතක විය; ආදරයද අමතක විය. ඇති වූයේ භීතිය හා මුසු කුහුලකි. 

දරුවා දෑතේ සිටියදීම ඔහුගේ මුවෙන් උදුරාගත් තන පුඩුව හැට්ටය තුලට දා ගත්තාය.දරුවා හඩන්නට විය, නමුත් එය ඇයට නෑසුණි. ඈ ඇවිද ගියේ මුළුතැන්ගෙය දෙසටයි.



පරිච්ඡේදය 03.5»»»»


 ©𝘄𝗮𝗪𝘂𝗹𝗮™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)

Report Page