ඇතීනා පරිච්ඡේදය 2.5
©𝘄𝗮𝗪𝘂𝗹𝗮™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)
තවමත් නොපිපුණු මල් ගෙන ආ සුවඳ නාහෙට ඇතුළු වුණා විතරයි. ඒත් වෙනදට දැනෙන සුවඳ මාව හැරදා ගිහින්. දවස් හයකට ම නින්ද හෝරා දහයකට වැඩි නොවුනට මං දොරෙන් එළියට අඩිය තිබ්බේ හරිම ප්‍රබෝධයෙන්. ඒ දෑස් වල කෝල බැලුම මං දිහාට නාභි ගත වෙනවා දැනෙනවා මැවෙනකොට නොසන්සුන් බවේ මදුරුවා කෑගන්න ගත්තා. ඒ අස්සෙන් දැනුණු වේදනාව යටපත් වෙලා තිබුණත් ලෝදිය හැලිය වගේ නටනවා තාමත්.
රබර් සෙරෙප්පු දෙක සනීපයි බූට් සපත්තු දෙකට වඩා. කකුල් සුදුමැලි වෙලා තැන් තැන් වල රුධිරය පිරී තිබුණත් හිතේ සහනය වුණු ඔයා මට ගෙන ආවේ ගතේද සහනයක්. ඒ ඉරිද මං බලන් හිටියේ එයා එනකන්. ඒ කෝල බැල්ම හැමදාම දෑසෙ ගැටුනත් මෙහෙම ඇවිදින්නේ මාසෙකට පාරක්. සරසවියේ එදා නිවාඩු දවසක්. ඉරිදා නිසා මටත් ලැබුණා නිවාඩුවක්.
හෝරා ගත වුනේ දින ගණන් වගේ. ඇය අවසානයේ මාව හොයාගත්තා. කාර්යබහුල බව අස්සෙ අපි දෙන්නා හිටියේ තනිවෙලා. පාක් ගානේ ගිහින් ටිකට් වලට ආලේ විකුණන්න අපි සූදානම් වුණේ නැහැ. මද්දහනේ ඉර අපිට විහිළු කරනකම්ම අපි නගරයේ හැමතැනකම ඇවිද්දා. අපි කතා කෙරුවා; සිනහා වුණා; තරහ වුණා ඒත් කඳුළු සැලුවේ නෑ, මොකද අපි දෙන්නම දැනගෙන හිටියා කඳුල උත්තරයක් වෙච්චි තැන් ගැන.
අපිට හැමදාමත් උරුම වුණේ දුක වුණාට අපි කතා කළේ සතුට ගැන. අපි කතා කරේ අපි වෙනුවෙන් සිහින දකින අයගේ සිහින සැබෑ කරන්න, එහෙම නෙවෙයි අපි ඔවුන් වෙනුවෙන් දකින සිහින සැබෑ කරන්න අපි කරපු දේවල් ගැන. ඔබ හිතනවා ඇති මේ ෆැන්ටසිමය ප්‍රේම වෘත්තාන්තයක් කියලා, ඔබ වැරදියි. අපි වාසනාවන්ත ප්‍රේමවන්තයෝ; අභව්‍ය ප්‍රේමවන්තයෝ.
අපි දෙන්නා හමුවුණේ අභව්‍යව. ඈ කොහෙන් කඩන් වැටුණාද දන්නේ නෑ. අපි දෙන්නගේ අදහස් ගොඩක් තැන්වල ගැලපුණා. ඒක නිසා විරසකභාවයනුත් ඉක්මනින් සමනය වුණා. ඈ මගේ හිත කියෙව්වේ පොතක් වගේ. ඒ තරම් අවබෝධයක් අපි අතර තිබුණා. අභව්‍ය බව හා වාසනාව අපිට පිහිට වුණේ එහෙමයි.
පහුගිය මාසෙම පවුල වෙනුවෙන් වියදම් වෙච්චි මොණර කොල තොගය අස්සෙන් මා ඈ වෙනුවෙන් එකක් දෙකක් ඉතිරි කර ගත්තා. ඒ එදා මද්දහනේ කුසටත් හැගීම් දැනීම් ඇතිවෙන නිසා. අපි දෙන්නා ගොඩ වුණේ සුපුරුදු අවන්හලට. කොත්තුවක මිහිරේ ගිලී ඉන්න ගමන් අපි දිගටම කතා කළා.
ඔය මොකක් කොහොම වුණත් මං තවම දන්නේ නෑ අපි දෙන්නට දෙන්නා ආලය කළාද කියලා. මං හිතන්නේ අපි අපේ අදහස් හුවමාරු කර කර ළගින් දැවටුණා විතරයි. ඒත් අපි ප්‍රේමවන්තයෝ,
දුක්බර ජීවිතයක සතුට විදපු ඒ දවස ගෙවුණේ උඹට සතුට අයිති දෙයක් නෙවෙයි කියන්නාක් වගේ. මං උදේ පහුකරද්දි පිපිලවත් නොතිබුණු මල් පරවෙන සුයාමයක ගේ අස්සට ඇතුළු වුණා. හී ගඩු පිපෙන හීතල නොතකා මං පීල්ලට ඇල්ලුණා. ඒත් දුකයි එයාලාගේ ආදරේ ඇග පුරාම තැවරිලා. වෙනදට කුණු අතුල්ලලා යවනවා වගේ යවන්න ලෝභයි. මං නාගත්තට ඒවා කොහේවත් ගියේ නෑ හිත අස්සේ අලුත උපන් බිළිදෙක් වගේ පිළිසිද ගත්තා.
අම්මා බෙදා දුන්නු බත් පත උගුරෙන් අමාරුවෙන් වුණත් පහලට යවාගත්තු මම කුකුළු නින්දට සැරසුනේ මධ්‍යම රාත්‍රී මුර වරුවට යන්නට හිතාගෙන. පාඩම් කරන්න කියලා මං උන්ට මැටි ගහලා හදා දුන්නු කාමරේ නංගි මල්ලි එක්කලා පාඩම් වැඩ. උංවත් ගොඩ යාවි මං නිසා කියලා හිතාගෙන සොදුරු මතක ගොන්නක් අස්සෙන් නිදි කුමරිය මට සමීප වුණා.
අම්මාගේ අඩ ගැසීමෙන් ඇහැරිලා රාත්‍රී මුරේට ගිය මම උදේට කොන්ක්‍රීට් අණන්නත් ගියේ පවුල පිටින් කොන්ක්‍රීට්වත් නැති පස් ගොඩක් යට ළගදිම යට වෙන්න වෙයි කියලා. දවස් හයක්ම ගෙවී ගියේ මේ හෝරා දෙකේ අඩ නින්දත් එක්ක. ඉරිදට ඇතිවෙන්න මං නිදාගත්තා. මාසේ එක සතියක් හැර.
මාංසපේශි බෑ කියලා අඩද්දි මං උන්ට තරවටු කළා. හැමදාම උන් ඇඩුවා. තරවටුව ගණන් නොගෙන. මං දැනගෙන හිටියේ තරවටුව මදි වෙලා අකාරුණික විදියට මට සලකන දවසකුත් ඒවි කියලා. මං පැතුවේ ඒ දවස මල්ලි රස්සාවක පිහිට ලබාගත් දවසක ලැබෙන්න කියලා. මං ඌ වෙනුවෙන් කරපු දේවල් ඌට අමතක නොවේවි කියල මං බලාපොරොත්තු වුණා. නිදහස කියන සුන්දර හැගීම මගේ හිතයට කරණම් හැමදාම ගැහුවා. කරනම වලක්වන්න වගකීම් රොත්තකින් මාව බැදලා තිබ්බේ.
දවසකට හරි නිදහස් වුණේ මාසේ අන්තිම ඉරිදට. හැමදාම මුණ ගැහුණු ප්‍රේමවන්තයින්ට තිබුණු ප්‍රශ්ණ අපිට තිබුණේ නෑ. අපි ගියේ ආදරේ හොයාගෙන. මොකද මං මුලින් කිව්වා වගේ අපි ප්‍රේමවන්තයෝ, අපි හෙව්වේ ආදරේ.
අපි විශ්වාස කළේ පිවිතුරු ආදරයක් ගැන නෙවෙයි. වින්දනීය ආදරයක් ගැන. අපිට ඕනි වුණේ අපි ගැන බලාකියාගන්න. හිතේ තියෙන සොදුරු හැගීම් පිටකරගන්න. මං හිතන්නේ අපි හැමෝම එහෙමයි, අපි හොයන්නේ විශ්වාස කරන්න කෙනෙක්, අපි ගැන හොයාබලන කෙනෙක්.
අපි ළංවුණේ ඒ තුලින් ගැඹුරට. ඒ ගැඹුරේ අපි කිමිදුණා. අපි දෙන්නගේ ආස්‍රයෙන් අපි සතුට හොයාගත්තා. ඒත් අපි ආලය කළේ නෑ හිත සනසගත්තා, මොකද අපි දෙන්නම ආලය කළේ එක්කෙනෙක්ට!!!!!
©𝘄𝗮𝗪𝘂𝗹𝗮™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)