වඩින තුරු සඳ-20

වඩින තුරු සඳ-20

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 20

පෙර කොටසට


https://telegra.ph/%E0%B6%AF%E0%B6%BD-%E0%B7%80-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1---19-10-10


ඉමේෂාට දෙකක් නෙලන්නම් කියලා අත උස්සපු මම එතනම නැවතුනේ එතන ඉඳන් කතා කරපු කෙනා දැකලා.


වෙන කවුරුත් නෙවෙයි අපේ පන්ති භාර සර්. මූත් එන්නේ මේ වෙලාවටම තමා. මේකිගෙ දත් ඇන්ද ගලවන්න තිබ්බ චාන්ස් එක එහෙම්ම නැති වුණේ මේ හරකා නිසා. ඇරත් මුගේ මේ මගුල් විභාග නැත්තං මේ වගේ කුණු කතා අහගන්න ඕනේ නෑනේ. මං සර් දිහා රවලා බලන ගමන් හිතුවා.


"කෝ කටවල්? කතා කරනවා ඉක්මණට. ඕයි? මොකද උනේ? ඉමේෂා?"


මං සර් දිහා රවාගෙන බලන් හිටියත් ඉමේෂා හිටියේ බිම බලාගෙන. ජීවිතේ පළවෙනි වතාවට මම දැක්කා සර්ගේ මූණේ තරහක්. නළල රැලි ගැහිලා ගිහින් ඇස් ලොකු වෙලා උල් නිකට තවත් හොඳට උල් වෙලා පේනවා.


"ලැජ්ජා නැද්ද තමුසෙලාට ලෝකෙට පේන්න පොර කිකිළියෝ වගේ රණ්ඩු කරන්නේ? රණ්ඩු කරනවා නම් පන්තිය ඇතුළේ වලි දාගනින්. සින්ක් හදලා තියෙන්නේ කල්ලි බෙදිලා මරාගන්න නෙවෙයි. පලයව් ඔක්කොම පන්තියට මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව."


සර් කීව ගමන් හැමෝම සද්ද නැතුව ගියා. කොච්චර වාචාල උනත් ඉමේෂා සර්ට පණ බයයි කියලා මට ඒ වෙලාවේ තේරුණා. අපි පස්සෙන් පන්තියට ආපු සර් මේසෙ උඩින් පොත් ටික තිබ්බා. සර් ආව ගමන් ළමයි ඔක්කොම නැගිට්ටා.


"ආයුබෝවන්"


අපි අපේ තැන් වලට යනකල් ඉඳලා සර් කීවා.


"ආයුබෝවන් සර්"


මං නම් කීවේ නෑ. යන්තම් අත් දෙක එකතු කරා විතරයි.


"හරි වාඩිවෙන්න. අපි අද පාඩම පටන් ගමු. අන්තිමට ඔයාලාට කරේ ශුන්‍යාදි නියමය නේද? අපි එතන ඉඳන් ම පටන් ගමු. හැමෝම පොත් පෙරළාගන්න."


එහෙම කීවට පස්සෙ අපි පොත් ගත්තා. අන්තිමට ලීව තැන පෙරළලා බලද්දි මං රත් වෙලා ගියා. මොකද මං අන්තිමට ලියලා තියෙන්නේ මීට සති තුනකට කලින්. ඒකත් තාපය පාඩමේ මූලික කරුණු ටික.


"හරි අහගන්න. දැන් ඔයාලා යාන්ත්‍ර විද්‍යාවේදී නිව්ටන්ගේ නියම ඉගෙන ගත්තා නේද? ඒ වගේ තමා තාපගති විද්‍යාවෙත් මූලික නියම තියෙනවා........"


සර් පාඩම උගන්නන්න පටන් ගත්තා. සර් එක්ක තරහින් හිටපු නිසා මට පාඩම අහගන්න උවමනාවක් තිබ්බේ නෑ. ඇරත් මට පන්තියේ ඉන්න උවමනාවක් තිබ්බෙත් නෑ. කරන්න තියෙන එකම දේ තමා අනික් උන්ට දුන්න රිටර්න් එකම මුටත් දෙන එක.


එහෙම හිතපු මම දඩාස් ගාලා පුටුවෙන් නැගිට්ටා. පන්තිය ඉස්සරහා ඉඳන් බෝඩ් එකේ සමීකරණයක් ඔප්පු කර කර හිටපු සර් ගැස්සිලා පස්සහ හැරිලා බැලුවා.


මුළු පන්තියම මගේ දිහා බලන් ඉද්දි මම මුකුත් නොකියා පන්තියෙන් එළියට ගියා. අර යකා පස්සෙන් ඇවිත් ප්‍රශ්න අහයි කියලා බයට මං පට පට ගාලා පඩිපෙළ බැස්සා. පඩිපෙළ බැහැලා ෂේප් එකේ මම ඇවිදන් ගියේ ඉස්කෝලෙ කෙළවරේ තිබ්බ මාර ගහ යටට. මෙතන එළිමහන් පන්ති කාමරයක් වගේ හදලා තිබ්බා. එතන බංකුවක වාඩිවෙච්ච මම ඈත තියෙන වලාකුළු දිහා බලාගෙන කල්පනා කරන්න ගත්‍තා.


විනාඩි දහයක් විතර මං ඔහේ කල්පනා කර කර හිටියා. එකපාරටම කවුදෝ එන අඩි සද්දයක් නිසා මගේ කල්පනාව බිඳුනා. සද්දෙ ආපු පැත්ත දිහා හැරිලා බලද්දි මගේ කටේ කෙළ හිඳිලා ගියා. වෙන කවුරුත් නෙවෙයි. ඊයේ වගේම අදත් මාට්ටු වුණේ වෙන කාටවත් නෙවෙයි ප්‍රින්සිපල් මැඩම් ට.


"ඔය ළමයා මොකද මෙතන කරන්නේ?"


මැඩම් ඇහුවා.


මොනවා කියලා උත්තරයකට දෙන්නද? එහෙම හිතපු මම උත්තරයක් නොදී හිටියා.


"මොනවාද දැන් තියෙන්නේ?"


ඒත් මං මුකුත් නොකියා හිටියේ කට ඇරියොත් වැලේ වැල් නැති වෙන්න කෙලවෙන නිසා.


"කෝ තමුන්ගේ කට?"


මැඩම් ඇහුවා.


ඒත් මං උත්තරයක් නොදී හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා.


"ආ දැන් කතා කරන්නත් බැරිද? යමුකො එහෙනම්."


එහෙම කියපු මැඩම් මගේ අතින් අල්ලන් පන්තිය පැත්තට ආවා.


පඩිපෙළ නැගලා පන්තිය ගාවට ආවා. ඔලුව පන්තියට ඇතුළට දාපු මැඩම් ආපහු මං දිහා හැරිලා බැලුවා.


"එක්ස්කියුස්මී සර්"


මැඩම් පන්තිය ඇතුළට යන ගමන් කීවා. පොතක් අතේ තියාගෙන පන්තියේ පස්සහා හිටන් හිටපු සර් මායි මැඩමුයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.


"සර් මේ ළමයා මොනවාද පන්තියේ එළියේ ඉදන් කරන්නෙ?"


මැඩම් කෙළින්ම ඇහුවා. පන්තියේ එවුනුත් මීක් සද්දයක් නැති වුණේ මැඩම් ඒක අහපු විදිහ නිසා.


"එළියේ ඉඳන් කීවෙ?"


සර් ඇහුවෙ කිසි කලබලයක් පෙන්නන්නෙ නැතුව. මට පුදුමත් හිතුනෙ අර ඩබල නම් මෙළහකට මාව අහු කරලා දීලා ඉවර නිසා. ඒකට මේකා. බය නැතුව මැඩම්ගෙන් ප්‍රශ්න අහනවා.


"ඒ කියන්නෙ සර් ඔබතුමා පන්තිය ඇතුලේ උගන්නනකොට මේ ළමයා පන්තියේ එළියේ ඉන්නෙ ඇයි? මේ ළමයා ඉන්න් ඕනේ පන්තිය ඇතුලේ නේද?"


මැඩම් ඇහුවා.


"ආහ් මැඩම්. අපි අද කර කර හිටපු පාඩම තාපය. තාම සංවහනය ගැන ප්‍රායෝගික වැඩක් කර කර හිටියේ."


"ඉතින්?"


"ඉතින්? ඉතින් කියන්නේ ඒ නිසා තමා මෙයා පන්තියෙන් එළියේ හිටියේ?"


ඇස් දෙක ලොකු කරගත්ත මම සර් දිහා බැලුවා. දෙයියනේ මේ මනුස්සයා කියන බොරු. මොකක් නිසාද මේ මනුස්සයා මෙච්චර බොරු කියන්නෙ?


"තව පැහැදිලි කරන්න?"


මැඩම් කීවා. හැබැයි ඒ පාර නම් මැඩම්ගෙ සැර පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා.


"මැඩම් අපි කරේ තාප සංවහනය. මොකද තාප සන්නයනය ඉවර නිසා. තාප සංවහන අවස්ථාවක් විදිහට ගන්න පුලුවන් තැන් සිසුන්ට පැහැදිලි කරලා දෙන්න කියලා ගුරු අත්පොතේම තියෙනවා. මට එක එක ළමයා එක්කං ගිහින් පෙන්නන්න බෑනෙ. ඒ නිසා අපි කණ්ඩායම් හතරක් දැම්මා. එක කණ්ඩායමක නායිකාවක් පත් කරලා එයා තමා එළියට ගිහින් නිරීක්ෂණය කරලා එන්නේ."


"ආ හරි කෝ අංක එක කණ්ඩායමේ නායිකාල්ව."


ඒක කියනකොටම අමාලි නැගිට්ටා.


"හ්ම්, කෝ දෙක?"


එතකොට නැගිට්ටෙ ඉමේෂා.


"තුන?"


චමාලි නැගිටලා මැඩම් දිහා බැලුවා.


"හතර?"


අංක හතර කීවෙ අපේ ලයින් එකයි ඊට ඉස්සරහා ලයින් එකයි. හතර කීවට පස්සෙ නායකයා විදිහට කවුරුත් නැගිට්ටෙ නෑ. මේ වගේ පිනා චාන්ස් එකක් ආයෙ නම් එන්නෙ නෑ කියලා මට තේරුණා. මැඩම්ට පස්සහින් මං හිටපු නිසා මං ෂේප් එකේ අත උස්සව්වා.


"කෝ අංක හතරේ නායිකාව?"


මැඩම් ඇහුවෙ සැරට.


"මැඩම් මේ මම."


මම හිමීට කීවා.


මැඩම් පට ගාලා ආපස්සට හැරුණා. සුදුවට තිබ්බ මැඩම්ගේ මූණ රතු වෙලා ගියා.


"හ්ම් හ්ම්. සර් මේ ළමයා හිටියේ එළිමහන් පන්ති කාමරය යට. ඒකත් ඈත තියෙන ගස් දිහා බලාගෙන? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?"


මදැයි. මෙච්චර හොඳට ගහපු ගේම කෙළවෙන්න ඔන්න මෙන්න ගියා.


"ආ ඒක නම් පොඩි දෙයක්නේ? මං ළමයින්ට දුන්නා විශේෂ ප්‍රශ්නයක්. ඇයි ශාක පත්‍ර ආශ්‍රිතව තරමක් හෝ පැහැදිකි මිරිඟුවක් දකින්නට නැත්තේ කියලා. සර් ඉස්සරහ හිටපු නිකේෂලාගෙ පොත අරන් මැඩම්ට පෙන්නුවා.


"කෝ ඔය ළමයගෙ පොත?"


එහෙම කියපු මැඩම් අපේ සෙට් එක ගාවට ගියා. මගේ පොත අතට ගත්ත මැඩම් වටේ ඉන්න උන්ගෙත් පොත් බැලුවා. අන්තිමට සුසුමක් පිට කරලා මැඩම් පන්තිය ඉස්සරහට ආවා.


"සර් මේ ළමයා මං අහපු එක ප්‍රශ්නෙකටවත් උත්තර දුන්නේ නැ. මේ වගේ ළමයි එවන්න එපා එළියට. අපිට නිකන් සැක හිතෙනවා. උත්තර නොදී ඉන්නකොට."


"සමාවෙන්න මැඩම් ඒක නම් මගේ වැරැද්ද. මොකද මං තමා කීවෙ කාත් එක්කවත් කතා කරලා අහුවෙන්න නම් එපා මට ඕනේ නිරීක්ෂණ විතරයි කියලා. මෙයා ඒක හොඳටම පිළිපැදලා වගේ."


සර් කීවෙ අහිංසක හිනාවක් දාලා.


"හ්ම් හ්ම් කමක් නෑ පාඩම කරන් යන්න."


එහෙම කියපු මැඩම් පන්තියෙන් එළියට ගියා.


"යන්න වාඩිවෙන්න."


සර් මට කීවා.


සර් දිහා මං බලන් හිටියා තත්පර දහයක් විතර. ඇයි සර් මාව ඔහොම බේරන්නේ? බේරුවත් ඒක සැක නොවෙන්න. මොකක්ද සර් මේ වැඩේ තේරුම? දාහක් ප්‍රශ්න මගේ හිත පුරා රැව්දෙන්න පටන් ගත්තා.


මගේ මේසේ ගාවට ගියපු මම වාඩි වුණා. මට මුලින් බලන්න ඕනේ මැඩම්ට අහු නොවෙන්න මගේ පොතේ වාක්‍යය ලිව්වෙ කවුද බලන්න. රළු අකුරකින් ලියලා තිබ්බ ඒකේ නම් මගේ අකුරු වලට යම් සමානකමක් තිබ්බා.


"කවුද බන් මේකේ ලීවේ?"


මං ඇහුවේ මේධනාගෙන්.


මං දිහා මල් හිනාවක් දාලා මේධනා බැලුවා.


"වෙන කවුද බන් ඉතින්........."

--------------------------------------------------------

කවුද ලියන්න ඇත්තේ? කියාගෙන යමු බලන්න. දවස් 10කට පස්සෙ නේද? අනේ සමාවෙන්න ඇත්තටම වැඩ වැඩි වෙලා තිබ්බේ. කරන්න දෙයක් තිබ්බෙම නෑ. කොහොමහරි අන්තිමට ලීවා. එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.


--විදූ

Report Page