The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
විසිවන කොටස
මතක වෘක්ෂය දිහා බලපු අපේ වීරයෝ තුන්දෙනා දැක්කේ උඩ ම අත්තේ දිලිසෙමින් තියෙන රත්තරං පාට රෝස පෙත්තක්.
මෙයාලට එහා පැත්තෙන් මතු වුණ ඩියා බලන් හිටියේ මේ තුන්දෙනාව අධීක්ෂණය කරන්න වගේ.
" දැන් අපි මේ ගහට නඟින්න ඕන ද එතකොට?" යෑන් ඇහුවා.
" කුමන ආකාරයකට හෝ එය ලබා ගැනීමයි වැදගත්." ඩියා කිව්වා.
" අපිට ආයුධ භාවිතා කරන්න පුළුවන් ද?" මේධා ඇහුවා.
" ඔව්.ඔබලාට ආයුධ භාවිතා කරන්න පුළුවන්." ඩියා කිව්වා.
" ඔයාට අදහසක් තියෙනවද මේධා?" කේෂි ඇහුවා.
" හරියට ම නෑ,ඒත් මේක හරියයි." මේධා කිව්වා.
" මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් ආයුධ?" මේධා ආයෙත් ඇහුවා.
ඩියා එක් වරක් අත්පුඩියක් ගැහුවා.එවිට ම වෘක්ෂය අසලින් මතුවුණේ ආයුධ කීපයක්.කඩුවක්,හෙල්ලක්,දුන්නක් සහ ඊතල,බූමරංගයක්.අඩු ම එතන ත්‍රිශූලයකුත් තිබුණා.
ආයුධ දෙස මඳ වෙලාවක් බලා සිටි යෑන් බූමරංගය අතට ගත්තා.
ඉහළ ම අත්තේ තිබුණ රෝස පෙත්ත ඉලක්ක කළ යෑන් බූමරංගය මුදා හැරියා.අවාසනාවට වගේ බූමරංගය රෝස පෙත්තේ ගෑවී නොගෑවී ගිහින් යෑන්ගේ අතට ම ආයෙත් ආවා.
අයුධ අතර තිබුණු දුන්න සහ ඊතල ගත්ත මේධා පිළිවෙලට ඊතල එක බැඟින් සමාන්තරව සිටින සේ ගසේ කඳට එල්ල කළා.ඒ දෙස බලාගෙන හිටපු කේෂිට නම් මේධාගේ අදහස තේරුම් ගියත් අපේ අසරණ යෑන් කොල්ලා මේ මක්කැයි කොරන්නේ කියලා බලන් හිටියා.කොහොමත් ඉතිං යෑන්ට පොඩ්ඩක් වෙලා යනවනේ දෙයක් තේරුම් ගන්න.
තමන්ගේ වැඩේ ඉවර කරපු මේධා යෑන් දිහාට හැරුණා.
" දැන් ඔයාගේ අවස්ථාව යෑන්." මේධා එහෙම කිව්වත් යෑන්ට නම් මේ ලෝකේ දෙයක් තේරුණේ නෑ.
ප්‍රශ්නාර්ථකාරී බැල්මකින් මේධා දිහා බලන් හිටපු යෑන්ට එයාට ඕන උත්තරේ ලැබුණේ කේෂිගෙන්.
" අයියෝ යෑන්,ඔය ඊතල ආධාර කරගෙන ගහ මුදුනට නඟිනවා මෝඩයෝ බලන් ඉන්නේ නැතුව." කේෂි කිව්වා.
තවත් විනාඩියක් විතර ම ගහ දිහා බලන් හිටපු යෑන් මේධා දිහාත් බලලා ගහට නඟින්න ගත්තා.
අපේ යෑන්ගේ වාසනාව කොච්චර ද කියනවා නම් යන්තම් පොළොවෙන් උඩට අඩි දෙකක් තුනක් ගියා විතරයි කොහෙදෝ තිබ්බ කළු පාට වෑලක් ඇවිත් යෑන්ගේ කකුල ඔතාගත්තා.එක අතකින් ගහේ අත්තකුත් බදාගෙන අනිත් අතින් කඩුව අල්ල ගත්ත යෑන් වැල කපලා දාන්න හැදුවත් ඒක එච්චර ලේසි වුණේ නෑ.ඒත් එක්ක ම තවත් වැලක් ඇවිත් යෑන්ගේ අතත් ග්‍රහණය කර ගනිද්දී යෑන්ට කරකියා ගන්න දෙයක් නැති වුණා.
ඒත් එක්ක ම මේධායි කේෂියි දෙන්නා තමන්ගේ කඩුවලින් යෑන්ව ඔතාගත්ත වැල කපලා දැම්මත්, ඒ කපපු තැනින් ආයෙමත් වැල දෙකට බෙදිලා විහිදිලා වැඩෙන්න ගත්තේ යෑන්ගේ පසුපස යමින්.පුළුවන් තරම් ඉක්මනට යෑන් ඊතල ආධාරයෙන් ගහට නඟින්න හැදුවත් ගසේ අතු පිහිටලා තිබුණ පරතරය ඒකට බාධාවක් වුණා.යෑන්ව ග්‍රහණය කරගන්න නොදී මේධායි කේෂියි දෙන්නා වැල කපලා දැම්මත් ඒකෙන් වුණේ වැල තව තවත් වර්ධනය වෙන එක.
වැල කපලා විනාශ කරන්න බෑ කියලා තේරුම් ගත්ත කේෂි තමන්ගේ බලය පාවිච්චි කරන්න හැදුවත් වතුර යට දී ගින්දර දැල්වෙයි කියලා එයාට ලොකු විශ්වාසයක් නම් තිබුණේ නෑ.
හැබැයි ඉතිං යෑන්ගේ වාසනාවට ද කේෂිගේ වාසනාවට ද මන්දා පුදුමෙකට වගේ කේෂිගේ ගින්දර වතුර යටදිත් වැඩ කරා.කොහොමින් කොහොම හරි ගින්දරවලින් වැලේ ආරම්භක ස්ථානය ම කේෂි පුච්චලා විනාශ කරා.වැල ක්‍රමයෙන් අඩපණ වෙනවත් එක්ක ම ඒක කුඩක් වෙලා අතුරුදහන් වුණා.
රෝස පෙත්ත අරගන්න ඔන්න මෙන්න කියලා ඉද්දී යෑන්ගේ කකුල ලිස්සලා ගියේ යෑන් බොහොම අමාරුවෙන් අත්තක එල්ලෙද්දී.
" අනේ ඇත්තට කෙල්ලෙක් නිසා මමත් කන කට්ටක්.මොන කරුමයක් පටිසන් දෙනවද මන්දා." යෑන් මුමුණ මුමුණ ම ආයෙත් ගහේ මුදුනට ළඟා වුණා.
ගසේ ඉහළ ම අත්තේ දිදුළමින් තිබුණ ඒ රත්තරන් පාට රෝස පෙත්තට අත තියනවත් එක්ක ම හිතාගන්න බැරි තරමේ ආලෝකයක් ඒ රෝස පෙත්තෙන් විහිදුණා.ඇස් දෙක ඉබේම පියවෙලා යද්දී යෑන් රෝස පෙත්ත අත අරින්නේ නැතුව ම හිටියා.
එළිය අඩුවෙලා යනවත් එක්ක ම හෙමීට ඇස් ඇරපු යෑන් දැක්කේ තමන් තවදුරටත් ඉන්නේ ගහ උඩ නෙවෙයි කියලා.ඒ වෙනුවට යෑන් හිටියේ විශාල පිට්ටනියක් මත හිටගෙන තමන්ගේ කඩුවත් එක අතකින් අල්ලගෙන.
එකපාරට තමන්ට කඩන් පාත් වුණ මරාලය මොකක්ද කියලා කල්පනා කරන ගමන් ම යෑන් අවට වටපිටාව සම්පූර්ණ අධීක්ෂණයට ලක් කළා.මනුස්සයෙක් තියා මනුස්සයෙක්ගේ කෑල්ලක් වත් යෑන්ට දැකගන්න පුළුවන් වුණේ.අච්චර වෙලා තමන් එක්ක හිටපු මේධාවත් කේෂිවත් මෙතන හිටියේ නෑ.යෑන්ට පොඩ්ඩක් හරි සතුටු වෙන්න කියලා එක ම එක කූඹියෙක්වත් එතන පේන්න හිටියේ නෑ.
" අර කෙහෙම්මල් රෝස පෙත්ත ගන්න ගිහින් මම මොන ලෝකෙකට ආවද මන්දා.නැත්තම් මම මැරිලාවත් ද? " තමන්ට ම කියාගත්ත යෑන් අඩියක් ඉස්සරහට තිබ්බා.
අඩියක් ඉස්සරහට තියනවත් එක්ක ම පොළොව දෙදරුම් කෑවේ යෑන්ගේ පියවරක බර දරාගන්න බැරුව වගේ.
" අඩේ! මං ඇවිදිද්දී පොළොව හෙල්ලෙනවා කියලා මං දැනගෙන හිටියේ නෑ නේ." යෑන් තමන් එක්ක ම සංවාදයේ යෙදුණා.
හැබැයි ඉතිං වැඩි වෙලාවක් නොගිහින් ඒ දෙදරුමට හේතුව තමන් නොවන බව යෑන්ට තේරුම් ගියා.ආයෙත් පාරක් පොළොව හෙල්ලෙද්දී ඒක නම් කොහොමත් තමන් නිසා නොවන බව යෑන් අවබෝධ කරගත්තා.තවත් විනාඩියක් විතර යද්දී හෙන සද්ධන්න යෝධයෙක් තමන් දිහාට එනවා කියලා දැක්ක යෑන් හිටිය තැන ම ගල් වුණා.
යෝධයා තමන්ට අඩි දහයක් විතර දුරින් නැවතිලා එකපාරට බිමට නැවෙද්දී යෑන් තව අඩියක් පස්සට ගියා.ඒත් හිතුවෙවත් නැති විදිහට යෝධයා තමන්ගේ කර උඩ හිටපු පුංචි කුරුමිට්ටෙක්ව බිමින් තියද්දී යෑන් බලන් හිටියේ පුදුම වෙලා.
" මෙයයි ඔබේ ඊළඟ අභියෝගය.ඔබ පරාද කළ යුතුයි මේ කුරුමිට්ටාව.එවිට සම්පූර්ණ වේවී පරීක්ෂණය." තමන්ට උඩින් ඇහුණ කටහඬක් නිසා ගැස්සිලා ගියපු යෑන් ඒ පැත්ත බැලුවහම දැක්කේ ඩියාව.
තමන්ට සටන් කරන්න තියෙන්නේ යෝධයා එක්ක කියලා හිතන් හිටපු යෑන්ට එකපාරට ම ඩියා කියපු දේ ඇහෙද්දී නිකන් ම හිනා ගියේ මේ කුරුමිට්ටත් මහ කජ්ජක් ද කියලා හිතිලා.
බඩත් අල්ලන් දෙකට නැමිලා හිනා වෙන යෑන් දිහා අර කුරුමිට්ටා නම් බලන් හිටියේ රවාගෙන.එකපාරට ම යෝධයා ආපහු යද්දී ඒ දෙදරුමට පින් සිද්ධ වෙන්න අපේ යෑන් කොල්ලගේ සමබරතාව නැතුව බිම ඇදගෙන වැටුණා.ඒත් ඒකවත් ගාණක් නැතුව බිම ඉඳගෙන ම හිනා වෙන අපේ යෑන් කොල්ලා ඇස්වලින් කඳුළු එනකම් ම හිනා වුණා.
" ඔයා හිනා වෙලා ඉවරනම් දැන්වත් සටනට එනවද?" එකපාරට ම ගැඹුරු කටහඬකින් එහෙම ඇහෙද්දී යෑන් බැලුවේ ඒ කවුද කියලා.
" හොයන්න දෙයක් නෑ,මමයි කතා කරේ." කුරුමිට්ටා කියද්දී යෑන්ගේ හිනාව නැවතිලා මතු වුණේ පුදුමයක්.
" පුදුම වන්නට දෙයක් මෙතන නැත." කුරුමිට්ටා ආයෙත් කිව්වා.
" ඔයා ඇත්තට ම මාත් එක්ක සටන් කරනවද?" යෑන් ඇහුවා.
" ඔව්." කුරුමිට්ටා කිව්වා.
යෑන්ට හිතන්නවත් වෙලාවක් නොතියා යෑන් දිහාට පැන්න කුරුමිටිටා තමන්ගේ කඩුවෙන් යෑන්ට ප්‍රහාර එල්ල කළා.යන්තමට යෑන්ගේ අතක් සීරිලා යද්දී යෑනුත් සටනට අවතීර්ණ වුණා.හිතුවට වඩා කුරුමිට්ටා වේගවත් කියලා යෑන්ට තේරෙද්දී යෑනුත් පුළුවන් උපරිමයෙන් ම සටන් කළා.
යෑන්ගේ අතේ දෙවැනි පාරටත් කැපුමක් සටහන් වෙද්දී කුරුමිට්ටා සමච්චලයෙන් හිනා වුණා.
" හිතුවට වඩා අමාරුයි නේ." කුරුමිට්ටා අහද්දී,
කිසිදු පිළිතුරක් නොදීම යෑන් කළේ කුරුමිට්ටා වෙත කඩන් පැන්න එක.අනපේක්ෂිත වෙලාවක එල්ල වුණ ප්‍රහාරය නිසා කලබලයට පත්වුණ කුරුමිට්ටා යෑන්ගේ අත්වලට මැදි වෙද්දී යෑන්ගේ කඩුව කුරුමිටිටාගේ ගෙල මත රැදුණා.
" දැන් මොකද කියන්නේ?" යෑන් අහද්දී,
" ඔබට ජය ගන්න නම් මාව මැරිමට ම සිදු වෙනවා." කුරුමිට්ටා කිව්වා.
" මම සටනෙන් ජය ගෙන අවසන්.ඔබව මැරීමට මට කිසිම වුවමනාවක් නෑ." යෑන් එහෙම කියලා කුරුමිට්ටාව අත ඇරියා.
" ඔබ සටනෙන් ජයගත්තා එහෙනම්.පරීක්ෂණය අවසන්.යුරාන්‍යා රැජිනියගේ මතකය ඔබ සතුයි දැන්." ඩියා එහෙම කියනවත් එක්ක ම ආයෙමත් විහිදුණු ආලෝකයත් එක්ක යෑන්ගේ ඇස් පියවුණා.
ඊළඟ වතාවේ ඇස් අරිද්දී යෑන් වගේ ම මේධායි කේෂිත් හිටියේ ආයෙමත් සුපුරුදු තැන වුණ සිංහාසන ශාලාවේ.යෑන්ගේ අත මත රත්තරන් පාටින් දිදුළන රෝස පෙත්ත රැඳී තිබුණා.
" එසේනම් මේ මාණික්‍ය ඔබලාට හිමි වෙනවා." මාණික්‍ය යෑන්ගේ අත මත තැබූ ඩියා අතුරුදහන් වෙලා ගියා.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
ඔන්න එහෙනම් යෑන් කොම්ලා මැණිකත් ගත්තා.දැන් තියෙන්නේ හේෂිව නැඟිට්ටවන්න තමයි.හේෂිගේ අවදිවිමත් එක්ක ඊළඟ කොටසින් හමුවෙමු.ටටා බායි.
මම නුවී💫