Spring is far away - 77

Spring is far away - 77

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 77  |  The mysterious house

Previous


"ඇත්තටම කියනවා නම් ඔයාලා ගොඩාක් දේවල් දන්නෙ නෑ මින්දි 😌."


"මොනවද මම දන්නෙ නැත්තේ ?"


"අපි මේ එෆෙයා එක පටන් අරගත්තේ ඔයා අක්කයි අයියයි දෙන්නා ලඟට ගියපු දවසට පස්සෙ දවසේ."


"What."


ඒ කියන්නෙ සජී අපිට හොරෙන් ලව් එකකුත් රන් කරලනේ. දැන් දුල්නෙත්මි මේක දැනගත්තොත් ගෙදරත් එක්ක ගිනි තියයි ඇයි මෙච්චර කල් හංගගෙන හිටියේ කියලා. මම ඒ කාලේ දැනන් හිටියේ සජී අහස්ගේ නම ඇහුවම ඇඹරෙන එක විතරයි. බලන් ගිහාම මේ දෙන්නම අපිව රවට්ටලා.


"හේෂාන් විතරයි තාම දන්නේ. හැබැයි මම ළඟදිම අපේ ගෙදරටත් කියනවා. ඊට පස්සෙ අපිට තියෙන්නෙ මැරි කරන්න."


"ඔයාලා නම් මාර මිනිස්සු තමයි. අඩුම මටවත් කිව්වා නම් මම සපෝර්ට් එකක් දෙනවනේ.'


"දෙන්නම දෙන්නට කැමතියි නම් මොකටද ආයෙ සපෝර්ට්. එයාගෙන් මම ඇහුවා. එයා හා කිව්වා. ඉතින් දැන් අපි කපල් එකක්."


"හ්ම් හ්ම්.. ඔහොම යමුකෝ."


"ඇයි ?"


"නෑ ඉතින්. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට කියලා කතාවක් තියෙනවනේ."


"අපි එළිපිට නටනවා ළඟදිම 😌."


"හාකෝ.. සේරටම කලින් අල්ලගන්න ඕනි අර හෙරීව. පොඩි කාලෙ ඉඳන් අම්මා වගේ ළඟ හිටපු මටවත් කිව්වෙ නෑනෙ මේ ගැන. ඉන්නකො ගෙදර ගිහින් මම සේරම පාපොච්චාරණය කරගන්නම් හෙරීට කියලා."


දුල් මේ ගැන දැනගත්තම කියවන්න ගනීවි එයාට විතරක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා. ඇයි ඉතින් මට Ex කෙනෙක් හරි ඉන්නවානේ. අනික කෙල්ල මීට කලින් කාටවත් ආදරේ කරලා තිබුණෙත් නෑනේ. ඒ නිසා කොල්ලෙක් ඉස්සරහා සංවරව හැසිරෙන්න දන්නෙත් නෑ. එයාටත් මොකක් හරි සෙට් කරන්න වෙනවා මම මැදිහත් වෙලා හරි.


"අහස් ආවේ මොකක් හරි විශේෂ කාරණාවකටද ?"


"එහෙමමත් නෑ. ගොඩ දවසකින් ඔයාව බලන්නත් බැරි වුණ නිසා මීට් වෙන්න හිතුණා."


"හ්ම්ම්."


අහස්ගෙන් මට අහන්නත් හිතයි අර අරුෂි මැඩම් කිව්ව කොළ දෙක ගැන. හේෂාන්ගෙ හොඳම යාළුවා නිසා අහස් මට ඒක නොකියයිද දන්නෙ නෑ. මොකද හේෂාන් එයාට කියලා තිබුණොත් මට ඒ ගැන කියන්න එපා කියපා, අහස් ඒක කරන එකක් නෑනේ.


"මම අහස්ගෙන් දෙයක් ඇහුවට කමක් නැද්ද ?"


"මොන වගේ දෙයක්ද ?"


"රාදිතා ගැන නෙගටිව් නිව්ස් යනවා නේද."


"ඒක ඇත්ත.. හැබැයි ඒ නිව්ස් යන්නෙ මායි හේෂානුයි අතර විතරයි. ඉතින් ඔයා කොහොමද දැනගත්තෙ ඒක 🤔."


මට දැනුයි මතක් උනේ අරුෂි මැඩම් කිව්ව එක. එයාට අහම්බෙන් ඇහුණු කන්වර්සේෂන් එකක් නිසානේ මටත් මේ ගැන මෙහෙම හරි දැනගන්න ලැබුණේ. එහෙව් එකේ මම මේ රහස රකින්න ඕනි අනිත් අයට දැනගන්න නොතියා. නැත්තම් අරුෂි මැඩම්ගෙ ජොබ් එකටත් ප්‍රශ්නයක් වෙයි.


"නෑ මට නිකන් හිතුණා."


"පුදුමයි ඔයාට ඒක නිකන් හිතුණා කිව්වම. ඇත්තටම අපි නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා අපිට ලැබුණු එවිඩන්ස් දෙකක් නිසා."


"එවිඩන්ස් දෙකක් ?"


"හ්ම්ම්.. එවිඩන්ස් කිව්වට ඒක නිකන් කොළ දෙකක්. හැබැයි ඒ කොළ දෙකට ලොකු බලයක් තියෙනවා ඇන්ඩෲස්ව හේෂාන් ඉස්සරහා නෙවෙයි, ඔයා ඉස්සරහා උනත් දණ ගස්සන්න."


"ඒ කියන්නෙ ඇන්ඩෲස් ඉස්සර කරපු දේවල් ගැන ඔයාලට රිපෝට්ස් ලැබුණද ?"


"ඒක නම් මම කියන්නෙ නෑ මින්දි. ඔයා පුළුවන් නම් හිතාගන්න ඒ මොනාද කියලා."


ඇන්ඩෲස්ව මගෙ ඉස්සරහා දණ ගස්සන්න පුළුවන් නම් ඒක ඇන්ඩෲස්ගෙ අතීතය ගැන හරි, කරපු වැරදි වැඩ ගැන හරි සාක්ෂියක් වෙන්න ඕනි. මොනවා උනත් මට සතුටුයි මෙයාලා ඒ වගේ දෙයක් හරි හොයාගත්තට. නැත්තම් රාදිතා හරි ඇන්ඩෲස් හරි හේෂාන්ගෙ කරේ නගින්න උත්සහ කරනවනේ.


"තියෝන් කියන්නේ මින්දිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද ?"


අහස් එහෙම කියද්දි මම අහක බලාගෙන හිනා උනා. තියෝන් වගේ කෙනෙක්ව මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කරගත්තොත් මම ඒ කරන්නෙ ලොකු මෝඩ කමක්. මොකද තියෝන් කියන්නේ පොඩි බබෙක් වගේ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති, මගෙන් උපදෙස් ගන්න, මම විසින් ඇන ඇන එකේක දේවල් කියලා දෙන කෙනෙක්නේ. එහෙව් එකේ එයාව මැරි කළොත් මට මැරේජ් ලයිෆ් එක ගැනත් එයාට වෙනම උගන්නන්න වෙනවා.


"රාදිතා හිතන් ඉන්නෙ එහෙම. එයා හේෂාන්ටත් කියලා ඇති තියෝ මගෙ අලුත් ලවර් කියලා."


"ඔව් එයා කියලා තිබුණා. ඒත් මම නම් විශ්වාස කරන්නෙ නෑ මින්දි තව කෙනෙක්ට හිත දෙයි කියලා."


"ඒ කියන්නේ අහස් හේෂාන්ටත් වඩා මං ගැන දන්නවා නේද."


"මම දන්නවා. හැබැයි මම ඔයා ඉස්සරහට ඇවිත්, මම ඔයා ගැන දන්නවා කියලා මෙහෙම කිව්වට හේෂාන් කවදාවත්, එයා ඔයා ගැන දන්න තරම් කාටවත් කියන්නෙ නෑ."


එයා මං ගැන ඒ තරම්ම දන්නවා නම්, එදා ටනාෂියා එක්ක එහෙම හැසිරිලා මාව රිද්දන්නෙ නෑ. එයා මං ගැන ඒ තරම් වද වෙනවා නම්, ඇයි මම යුවසිංහ ගෲප් එකෙන් රෙසිග්නේෂන් ගන්න යද්දි එකේක ඒවා කියලා මගෙ හිත පුළුවන් තරම් රිද්දුවේ.


❝ ඔයා මාව පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා දාන්න ❞


❝ බොරුවට ඔයා ඔයාව රිද්දගන්න එපා ❞


❝ ප්ලීස් මින්දි.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යන්න. මම මෙච්චර කියන දේවල් වලින් ඔයාට තේරෙන්නෙ නැද්ද ❞


එදා ඔයා කියපු දේවල් එක අකුරක් නෑර මතක හිටින්න තරම් මගෙ හිත කොච්චර නම් රිදිලා තියනවද කියලා හිතුවම මටම පුදුමයි. ඒ අතින් බැලුවම කොච්චර ඇඬුවත් මගෙ හිත ශක්තිමත්. සමහරවිට මේ තරම් කාලයක් මගෙ ඇස් වලින් වැටුණු කඳුළු වෙන්න ඇති මාව මේ තරමටම ශක්තිමත් කරන්න හේතුවක් උනේ.


"ටනාෂියා තාමත් හේෂාන්ගෙ මිස්ට්‍රෙස්ද ?"


මම එහෙම ඇහුවේ ඇස් වල කඳුළු යටපත් කරගෙන. මම දන්නවා කවුරු මොනා කිව්වත් අහස්, හේෂාන් ගැන මට බොරු කියන එකක් නෑ කියලා. මොකද අහස් තරම් හේෂාන් ගැන දන්න වෙන කෙනෙක් මේ ලෝකෙ ඇත්තෙ නෑ.


"ටනාෂියා කවදාවත් හේෂාන්ගෙ මිස්ට්‍රෙස් උනෙත් නෑ, හේෂාන් ටනාෂියාව මිස්ට්‍රෙස් කරගන්න බලාපොරොත්තුවෙන් හිටියෙත් නෑ මින්දි. ඒක අදටත් හෙටටත් මතුවටත් වෙනස් වෙන්නෙ නෑ."


"එහෙනම්......"


පුටුවේ අතක් තදින් අල්ලගෙන මම මාව පාලනය කරගත්තා. නැත්තම් මං අහස්ගෙන් තව මොනවා අහයිද දන්නෑ හේෂාන් ගැන. ඉස්සර වගේම හැඟීම් වලට ඉඩ දෙන්න ගියොත් මට මම කව්ද කියලත් අමතක වෙනවා. මේක හොඳට මතක තියාගන්න මින්දි. ඔයා දැන් ඉස්සර කෙනා නෙවෙයි. දැන් ඔයා මින්දි අමේලියා රූපසිංහ. ඔයා දැනගන්න ඕනි ඔයාගෙ කට පරිස්සම් කරගෙන නිශ්ශබ්ද වෙලා ඉන්න. එහෙම නොවුනොත් ඔයා මේ අමාරුවෙන් හදාගත්තු හිත ආයෙමත් වීදුරුවක් වගේ බිඳගනීවි.


"මොකක්ද අහන්න හැදුවේ."


"Nothing.. දැන් ඔයා ඔයාලගෙ එෆෙයා එකට මොකද කරන්නේ. දැන්ම ගෙදරට කියලා මැරේජ් එක ගැන කතා කර ගන්නවද ?"


"එකපාරටම තාත්තාට කියන්න බෑ. තව මාසයක් විතර ගියාට පස්සෙ සංජනාව එක්කගෙන ගිහින්ම හැමෝටම කියනවා."


"හ්ම්."


සජීට මට වගේම අම්මයි තාත්තයි නැති නිසා කවදා හරි කෙල්ලගෙ මැරේජ් එක දවසට හයියක් වෙලා ඉන්න වෙන්නේ මටමයි. ඒ විතරද දුල්ටත් එහෙමයි. අයියයි අක්කයි ඉන්න නිසා මට අඩුවක් දැනෙන එකක් නෑ. ඒත් මගෙ කෙල්ලො දෙන්නාට තනි වෙන්න නොදී මම එයාලා වෙනුවෙන් ඉන්නම ඕනි අවසානය වෙනකම්. මොකද අක්කයි අයියයි මාව හොය හොයා ඉද්දි එයාලා ඒකටත් උදව් කලා. ඉතින් මේ අලුත් ජීවිතේ හොයලා දුන්න එකට මම එයාලටත් ණයයි හේෂාන්ට වගේම.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකපාරටම අහස්ට කෝල් එකක් ආවා. එයා මට ටිප් එකක් දීලා පුටුවෙන් නැගිටලා ඈතට ගියා. එයත් එයාගෙ ජොබ් එක එක්ක බිසී කෙනෙක්නේ. ඉතින් අර්ජන්ට් මැටර් එකක් වෙන්න ඇති.


"මින්දි."


"ඔව් ?"


"මම ඔෆිස් එකට යන්න ඕනි දැන්."


"ආ හරි ඔයා යන්න අහස්."


කෝල් එක කට් කරපු ගමන්ම අහස් එහෙම කියලා යන්න ගියා. ඒ එක්කම මමත් පුටුවෙන් නැගිටලා බිල්ඩින් එක පැත්තට යන්නයි ගියේ. ඒත් ඈශ්ලි මම එනකම් පඩිපෙළ ළඟ මග රැකගෙන ඉන්නවා මොනා හරි කියන්න බලාගෙන.


"What's the matter Ashley."


"මහීක සර් කියනවා මෑම්ට හෙට උදේම කැන්ඩි යන්න රෙඩි වෙන්න කියලා."


"කැන්ඩි ?"


"ඔව්.. සර් වෙන මුකුත් කිව්වෙ නම් නෑ මෑම්."


ඒ පාර මොකක්ද අයියා කරන්න හදන්නේ. කැන්ඩි වල අපේ හවුස් එකක් තියෙනවා නම් තමයි. ඒත් එහෙ ගිහින් මොනා කරන්නද මම. සමහරවිට අක්කයි අයියයි මාවත් එක්කන් වැකේෂන් එකකට වගේ එහෙ යන්න හදනවද දන්නෙ නෑ. ගොඩ කාලෙකින් අපිට කොහෙවත් යන්න හම්බුණෙත් නෑනේ. ඒ තරමටම අපි බිසීනේ.


රෑ උනා 🌨️🌛💙..


ඇඟට දැනෙන මහන්සිය යවාගන්න මම රෙස්ට් කරාට, මගෙ හිතට දැනෙන මහන්සිය නිවාගන්න මම කරන එකම දේ හාප් එක ප්ලේ කරන එක. පොඩි පොඩි මුතු ඇට ටිකක් සංවෘත වීදුරුවකට දාලා වහලා එහෙට මෙහෙට හොල්ලද්දි එන හඬට සමාන හඬක් තියෙන මේ මියුසික් එක මගෙ කන් දෙකට ඇහෙද්දි ගිනි ගොඩකට වතුර වැටිලා නිවිලා යනවා වගේම මාවත් නිවිලා යනවා.


හිතට දැනෙන විදිහට මම හාප් එක ප්ලේ කලා. කොහොම ප්ලේ කලත් මට ඒ හඬ මිහිරියි. ඒ වගේම මහන්සියක් දැනෙන්නෙම නෑ. හැබැයි අවුලකට තියෙන්නේ ලඟදිම දවසක මට අහල පහල ගෙවල් වල මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන එක. මොකද මහ රෑ බැල්කනියෙ හාප් එක ප්ලේ කරද්දි ඉඩම කොච්චර ලොකු උනත් හඬ ඈතටම ගලාගෙන යනවා.


දැන් නම් 12:30 යි වෙලාව. තවත් මේක ප්ලේ කළොත් මිනිස්සු දැනගනීවි මම මෙච්චර රෑ වෙලත් ඇහැරලා කියලා. ඉතින් මම හාප් එක පරිස්සමට අරන් තියලා ඇඳට නැග්ගා. තනියම ගෙවන ජීවිතේ අමාරුයි තමයි. මොකද මට අද දවසේ දේවල් සාරාංශ කරලා කියන්න කෙනෙක් නෑ, කරදරයක් උනත් බලන්න කෙනෙක් නෑ, අඩුම ගානේ පතුලටම වැටිලා ඉද්දි උපදෙස් දෙන්න කෙනෙක්වත් නෑනේ.


❝ මමයි අක්කයි තනියම ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න ඔයත් හුරු වෙන්න නංගි ❞


❝ මොකද අවසානෙට අපි ළඟ අපි මිසක් වෙන කවුරුවත් ඉතුරු වෙන්නෙ නෑ ❞


❝ ඉස්සර අපි ළඟ තනියට හිටපු අයත් මග හරියක් යද්දි අපිටම දුකක් දීලා ඈතට යනවා ❞


❝ ඒ නිසා දැන්ම තනිකමට හුරු උනාම පහුවෙද්දි ගාණක් නැතුව යනවා ❞


එක දවසක් මම හේෂාන් ගැන මතක් කරලා අඬද්දි අයියා එහෙම කිව්වා මට අද වගේම මතකයි. ඇත්තටම එයයි අක්කයි තනියම ජීවත් වෙන්නෙ කොහොමද කියලා මට ඒ දවස් වල තිබුණේ ලොකු කුතුහලයක්. හැබැයි දැන්, මගේ හිතේ තිබ්බ ඒ කුතුහලය ගොඩාක් දුරට අඩු වෙලා ගිහින්. හේතුව මාත් එන්න එන්නම තනිකමට හුරුවෙන්න උත්සහ ගන්න නිසා.


"ගුඩ් නයිට්."


එදා හේෂාන් මට කඳුළු පිහදගන්න දුන්න ලේන්සුව මම තාමත් තියාගෙන ඉන්නවා කබඩ් එක උඩ. කාටවත් අල්ලන්න දුන්නෙ නෑ මං ඒක. හේතුව ඒ සුවඳ යන නිසා. දැන් ඉන්න හේෂාන් නෙවෙයි, ඉස්සර හිටපු අවංක හේෂාන්ගෙ ඒ සුවඳ මගෙ ළඟින් යනවට මම පොඩ්ඩක් වත් ආස නෑ. මොකද ඉස්සර හිටපු ඒ කෙනා ආයෙ මගෙ ඉස්සරහට එන්නෙ නැති නිසා.


වෙනදා වගේම ලේන්සුවට ගුඩ් නයිට් කියපු මම ඇඳේ අනිත් පැත්තට හැරිලා ඇස් දෙක තදින් පියා ගත්තේ නිදාගන්න හිතන්. හෙට උදේම මෙහෙන් පිටත් වෙන්නත් ඕනිනේ අයියා එක්ක කැන්ඩි යන්නත්. ගෙනියන්න ඕනි දේවලුයි, ඇඳුනුයි, කෑමයි, හැමදෙයක්ම මම ලෑස්ති කරලා තිබුණේ හවස ඉඳන්ම. ඒ නිසා හෙට උදේට අමුතුවෙන් දඟලන්න ඕනි නෑ.


අලුත් දවසක් 🌞☁️🍃..


උදේ හයට විතර මම කහපාට දිග ගවුමක් ඇඳලා කොණ්ඩෙත් කඩලා දාලා ලෑස්ති වුණා. අයියා මග එනවා ඇති මෙලහකට. එයා මාව එක්කන් යන හේතුව හරිහැටි නොදන්නවා උනාට, මම හිතනවා අපි යන්නෙ මොකක් හරි හොඳ දේකට වෙන්න ඇති කියලා.


"නෝනා.. ලොකු මහත්තයා ආවා."


අවාරා කාමරේට ඇවිත් එහෙම කියද්දි මම ෆෝන් එකත් අරගෙන එළියට ආවා. සෝෆා එකකට වෙලා අයියා කෝල් එකක. ඉතින් මම ගෙදර ගාඩ්න් එකේ වැඩ කරන පිරිමි ළමයාට කියලා කාර් එකට බඩු ටික දාගත්තා.


හය හමාර විතර වෙද්දි අපි මෙහෙන් පිටත් උනා මහනුවර යන්න. මහනුවර කියන නම ඇහෙද්දිම මට මතක් වෙන්නේ එක තැනයි. ඒ දළදා මාලිගාව. පුළුවන් නම් අයියාට කියලා එතනටත් යන්න ඕනි වැඳලා හිත නිදහස් කරන් එන්නත් එක්ක.


"අපි කොහෙද යන්නෙ අයියේ ?"


"ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා."


"මොන වගේ දෙයක්ද ?"


"ගෙයක්."


"ගෙයක් ?"


"හ්ම්ම්."


ආස උනත් ඔය යන ගෙදර ගැන දැනගන්න, අයියා ඒ ගැන තවත් වැඩිදුර විස්තරයක් කියන එකක් නැතිවෙයි කියලා හිතපු නිසා මම නිශ්ශබ්ද වෙලා ග්ලාස් එකෙන් එළිය බලාගත්තා. එන්න එන්නම නාගරික පරිසරය පහුවෙලා ගිහින් හෙල්මළු ක්‍රමයට එළවළු වගා කරපු බිම්, තේ වතු, කඳු බෑවුම් ඇස් දෙකට පේන්න ගනිද්දිම මගෙ හිතට අමුතුම සැහැල්ලුවක් දැනුණා.


එදා ඉඳන්ම මම ආස කලා මේ පරිසරයට. ඔහියේ ඉන්නකම්ම මගෙ ඇස් වලට ගැටුණු මේ ලස්සන වටපිටාව අද වෙනකම් මට දැකලා එපාවීමක් වෙලා නෑ. කොහොමත් දවස තිස්සෙම බිත්ති හතරකට කොටු වෙලා මාස එකොළහක් ජීවත් උන මට මේ යන්න ලැබුණු ගමනත් පොඩි වෙලාවකට හරි සැනසීමක් ගෙනවිත් දෙනවා කියලා මම දැනගෙන හිටියා.


මහනුවර පහුකරගෙන ටික දුරක් ගිහින් අයියා, කාර් එක හැරෙව්වේ තැනින් තැන කැඩිලා වලවල් වලින් පිරුණු පොඩි තාර පාරකට. දෙපැත්තේ තියෙන වගාබිම් වලට පිනි බිංදු වැටිලා ඉර එළියට දිළිසෙනවා. ඒ දිහා බලාගෙන ගියපු මම එකපාරටම කල්පනාවෙන් මිදුණේ ලොකු ගස් දෙකක් මැදින් තිබුණු උස ගේට්ටුවක් පහු කරන් අපේ කාර් එක වත්තක් මැදට ඇතුළු උන නිසා.


කවාකාර පාර මැද ලොකු බංගලාවක් තිබුණා. පෙනුමෙන් නම් ඒක ගොඩාක් පරණ පාටයි. ඒ වගේම වටේම තිබ්බ ගස්, ගොළු වලින් හිතාගන්න පුළුවන් මේක අවුරුදු දහයකින්වත් සුද්ද කරලා නෑ කියලා. හරියට නිකන් භූත මන්දිරයක එන්ට්‍රන්ස් එකක් වගේ දොරකඩ ඉඳන් වේළුණු කොල පිරිලා.


අයියා කාර් එකෙන් බහිද්දිම මාත් කාර් එකෙන් බැස්සා. වටේටම හිස් බිමක් මිසක මල් පිරුණු පැළයක් වත් තිබුණේ නෑ. අඩුම තරමේ උඳුපියලිය මලක්වත්. පාළු වෙලා තියෙන ගෙදර දොර ලඟට ගියපු අයියා යතුරු කැරැල්ලක් අරගෙන දොරේ තිබ්බ ලොකු ඉබ්බෙක් ගලවලා බාගෙට කැඩිලා ගියපු කොන්ක්‍රීට් මල් පෝච්චියක් උඩින් තිබ්බා.


ක්රීක්..


අවුරුදු ගාණකින් ඇරලා නැති දොරක් ඇරෙනවා වගේ මහා සද්දෙකින් ඒ දොර ඇරුණා. හැබැයි ඒ දොර තවත් පිටිපස්සට තල්ලු වෙන්න අයියට තදින් තල්ලුවක් දාන්නම උනා. කළුපාට වුණ සාලේ තියෙන්නෙ මොනවද කියලාවත් හරියටම පේන්නෙ නෑ. හැබැයි සමහර තැන් වලින් දිළිසෙන දේවල් පෙනුණා.


"මේ කාගෙ ගෙදරද ?"


"කාගෙ කියලද හිතන්නේ ?"


"ඇත්තටම මට අයිඩියා එකක් නෑ."


"පෙනුමෙන් පාළු ගෙයක් වගේ පෙනුණට.. මේ ගෙදර ඔයාගෙ අම්මගෙ ගෙදර."


සාලෙ බිත්තියක් අල්ලලා අයියා ලයිට් එකක් පත්තු කරන ගමන් එහෙම කිව්වා. ඒ එක්කම 'ජර බර' සද්දෙන් ලයිට් එකක් නිවි නිවි පත්තු වෙලා එළිය ඒකාකාරී වුණා. ඉතින් මම හිමිහිට ඇතුලට ගියා.


"මගෙ අම්මගෙ ගෙදර ?"


"ඔව්.. එයා මෙහෙ තමයි හිටියේ.. තනියම.."


කහ පාටට හුරු සුදුපාට එළියෙන් ගෙදර සාලෙ සාමාන්‍ය ප්‍රමාණයෙන් එළිය වෙලා, තියෙන බඩුමුට්ටු මට පැහැදිලිව පේන්න ගද්දි මට අඳුන ගන්න පුළුවන් උනා තරප්පුවට උඩ බිත්තියේ එල්ලලා තියෙන ෆොටෝ එකේ ඉන්නෙ කව්ද කියලා.


ලී කණුවකට හේත්තු වෙලා අම්මා හිනා වෙලා ඉන්න ෆොටෝ එක යටට ගිහින් මම බැලුවා ඒ ෆොටෝ එක මට වැඩිය කොච්චර ලොකුද කියලා. මුදල් වලින් අඩුවක් නොවුණු පවුලක ඉපදුණ මගෙ අම්මා නිරහංකාර, අහිංසක කෙනෙක්. මේ ගෙදර, මේ දේපල හැමදෙයක්ම එයාට ලැබෙන්න ඇත්තේ උරුමයෙන් වෙන්න ඇති. පෙනුමෙන් නම් මේ ගෙදර තියෙන හැම දෙයක්ම, ගෙදර හදලා තියෙන ස්ටයිල් එක පවා අවුරුදු පනහකට වඩා පරණ ඇති.


"ඔයා ඉපදිලා ඉස්සෙල්ලාම ආවෙ මේ ගෙදරට."


අයියා එහෙම කියද්දි මම එයාගෙ පැත්තට හැරුණා. මෙච්චර බිසී වෙලාවක එයා මාව මෙහෙ එක්කගෙන ආවේ මට මේ ගෙදර භාර දෙන්නවත්ද. ඒත් මේ ගෙදර තියෙන පාළු, මූසල ගතිය දැක්කම නම් මට හිතාගන්න බෑ ආයෙ අලුතෙන් හදන්නෙ කොහොමද කියලා.


"ඒත් මම ඉපදෙද්දිම අම්මා මැරුණා කිව්වා නේද. එදාම හොස්පිටල් එකේ කෙනෙක් නෙවෙයිද මාව අරගෙන ගිහින් පල්ලිය ඉස්සරහින් තියලා තිබ්බේ."


"නෑ ඒක බොරුවක්."


"එහෙනම්.."


"ඔයා ඉපදිලා දවස් තුනකින් ඔයාගෙ අම්මා මැරුණා. එතනක් ඔයා හිටියේ මේ ගෙදර තමයි."


ඒ කියන්නෙ මෙච්චර කල් මම දැනගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි. නොහිතුවට මම ළඟ මගෙ අම්මා දවස් තුනක් හරි ඉඳලා තියෙනවා. ඒත් දවස් තුනකට පස්සෙ එයා මැරුණේ මොනවා වෙලාද. මම පල්ලිය ඉස්සරහට ගියේ කොහොමද ?


"අම්මා නැති වුණේ ඇයි ?"


"ඒක මම ඔයාට හිමිහිට පැහැදිලි කරන්නම්. දැන් මං එක්ක යමු."


එහෙම කියපු අයියා මාවත් පාස් කරගෙන ගිහින් තරප්පුව දිගේම උඩට නැග්ගා. ගෙදර තියෙන පාළු ගතිය නිසා එතන තවත් තනියම ඉන්න බය හිතුණ මමත් ඉක්මනින් එයාගෙ පස්සෙන්ම ගියා. මේ හැම දෙයක්ම පසුවට පැහැදිලි කරන්නම් කියලා අයියා මට නොකියා ඉඳීවිද දන්නෑ. මොකද එයා දැනටමත් ගොඩාක් දේවල් මට නොකියා ඕකම කියලා මග ඇරලා තියෙනවා.


"මේ ගෙදර අන්තිමට යූස් කලේ මීට අවුරුදු තිහකට කලින්. දැන් මේ ගෙදරටත් අවුරුදු අසූවක් විතර ඇති."


"ඒ කියන්නේ මේකෙ අම්මට කලින් අය ඉඳලා තියෙනවද."


"ඔව්.. අම්මගෙ පේරන්ට්ස්ලා ඉඳලා තියෙනවා. මේ ගෙදර ඉස්සර අයිතිය තිබුණේ ඔයාගෙ අම්මාට. අම්මා නැති උනාම තාත්තා අයිතිය අරන් තියෙනවා. ඒත් දැන් තාත්තාත් නැති නිසා ඒ හැම දෙයක්ම මට අයිති උනා. තව ටික කාලයක් යද්දි මම මේක ඔයාට භාර දෙනවා. ඊට පස්සෙ ඔයා මේ ගෙදරට කරන්න කැමති දෙයක් කරන්න."


එහෙම කියපු අයියා දොරක් ඇරගෙන කාමරයක් ඇතුලට ගියා. මාත් එයාගෙ පස්සෙන්ම ඒ කාමරේට ගියා. කාමරේ පැත්තක තිබුණ ලොකු ඇඳ, ඊට ලඟින්ම තිබුණ පොඩි ලී තොටිල්ල දිරලා කෑලි වෙලා වැටෙන්න ඔන්න මෙන්න තිබුණේ. තොටිල්ලට උඩින් එල්ලලා තිබුණ පොඩි රෝස පාට රෙදි බූවල්ලාගේ පුළුං පවා එළියට ඇවිත් තිබුණා. ඊට එහයින් පොඩි සමනල්ලු දෙතුන් දෙනෙක් එල්ලපු මැක්‍රම් එකක් තිබුණා. ඒ සමනල්ලුත් මකුළු දැල් වලින් වැහිලා.


මගේ අනුමානය හැටියට නම් මම මේ තොටිල්ල උඩ නිදියන්න ඇති. අම්මා මේ සෙල්ලම් බඩු හොලවලා ඒවා ඇතුලෙන් එන සද්දෙන් මාව නලවන්න උත්සහ ගන්න ඇති. ගෙවුණු දවස් තුනට මම එයාට පුළුවන් තරම් වද දෙන්න ඇති. ඒත් අන්තිම හුස්ම හෙළන්න කලින් එයාට මාව මතක් වෙන්න ඇති කියලා මට මතක් වෙද්දිම දරාගන්න අමාරුයි.


"මම මේ කිසිම දෙයක් අල්ලලා නෑ අද වෙනකම්. ඒ හින්දා ඔයාගෙ අම්මගෙ සුවඳ පවා මේ ගෙදර තාම ඇති. එයා අල්ලපු සමහර තැන් වල තාමත් වෙන අයගෙ ඇඟිලි සලකුණු හිටලා නැතුව ඇති."


අයියා එහෙම කියද්දි මම කාමරේ ඇඳුම් කබඩ් එක ලඟට ගියා. හොඳ ලීයකින් හදලා තිබුණු නිසාද කොහෙද තාම අල්මාරියට කඩා වැටෙන සයිස් අවධානමක් නෑ. කබඩ් එක හිමින් සීරුවේ ඇරලා බලපු මම දැක්කේ මලකඩ කාපු හැඟර්ස් ටිකක් උඩ හරස් බටයක එල්ලලා තියෙන විදිහ. ඒත් ඒ හැඟර්ස් වල වෙන කිසිම දෙයක් තිබුණේ නෑ.


"හැබැයි ඔයා හිතන්න එපා මේ කාමරේ ඔයාගෙ අම්මගේ සුවඳ තියෙයි කියලා."


එකපාරටම අයියා එහෙම කියද්දි මම එයාගෙ පැත්තට ඇස් හැරෙව්වා. දැන් එයාම නෙවෙයිද කිව්වේ මේ ගෙදර තාමත් අම්මගෙ සුවඳයි, ඇඟිලි සලකුණුයි තියනවා කියලා.


"ගෙදර අනිත් හැම තැනම එදා තිබුණු විදිහටම අදත් තිබුණත්, මේ කාමරේ ඔයාගෙ අම්මා නැති වුණ නිසාම අස් කරලා දාන්න උනා."


ඔව් ඒක එහෙම වෙන්න ඕනිනේ. මැරුණු ඇඟක් තියෙන කාමරයක් ඒ විදිහටම තියන්න බෑනේ. ඒ ඇඟ අයින් කරලා, කාමරේ අස්පස් කරලා දාලා ක්ලීන් කරන්නම ඕනිනේ. ඉතින් ඒක අසාධාරණ නෑ එහෙම බැලුවම.


"එතකොට මේ ගෙදර අම්මා මැරුණයින් පස්සෙ කවුරුත්ම යූස් කලේ නැද්ද එකපාරක් වත්. අඩුම ගානේ මේක අස්පස් කරන්නවත් කවුරුත් ඇවිල්ලා නැද්ද ?"


"තාත්තා එක සැරයක් දෙසැරයක් ඇවිත් තියෙනවා. එයා අන්තිමට ආපු වෙලේ මාවත් එක්කගෙන ආවා. එයා කිව්වා කවදා හරි මේ ගෙදර ඔයාට බාර දෙන්න කියලා."


තාත්තා කරපු වැරදි වලට මම එයාට සමාව දෙන්නෙ නෑ කවදාවත්. මොකද මගෙ අම්මා එයා කරපු වරදින් දුක් විඳලා තියෙන නිසා. ඒත් ඒ මගෙ තාත්තා. මට බෑ එයාට ශාප කරන්න මගෙ අම්මා මරාගත්තා කියලා. අනික මගෙ අම්මට කරපු වරද වගේම එයා එයාගෙ වයිෆ්ටත් වරදක් කරලා තියෙනවා. ඒ තමයි මගෙ අම්මා එක්ක එයා අනියම් සම්බන්ධයක පැටළුන එක.


"මම තේ එකක් දාන් එන්නම්."


එහෙම කියපු අයියා කාමරෙන් එළියට ගියා. ගේ ඇතුලේ ඇවිදිද්දි ඩක් ඩක් ගාලා සද්දෙ දෝංකර දෙනවා පොළව ලීයෙන් හදලා තියෙන නිසා. ඒ නිසා මගෙ හිතට බයයි ඒ කාමරේ ඉන්න. තවත් විනාඩියක් වත් එතන ඉන්නෙ නැතුව මම තරප්පුව බැහැලා සාලෙට ආවා. දැන් සාලෙ තිබ්බටත් වඩා අඳුරු වෙලා. හේතුව අහස කළු පාට වැහි වලාකුළු වලින් බර වෙලා නිසා.


ටිලිං..


එකපාරටම බෙල් එකක් වදිනවා වගේ සද්දයක් ඇහුණු නිසා මම දකුණු පැත්ත බැලුවා. එළියෙන් ආපු හුළං පාරට, එල්ලලා තිබුණු මැක්‍රම් එකක් වැනෙන්න ගත්තා. මලකඩ කාපු මැක්‍රම් එකක් කොහොමද එච්චර ලස්සනට සද්ද උනේ. ඒක නම් මටත් පුදුමයක්. සමහරවිට ඒක ඇලුමිනියම් වගේ මොනවා හරි මෙට්ල් එකකින් හදලා තියෙන නිසා මලකඩ කෑවත් හඬ මිහිරි ඇති.


ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු මම අනිත් පැත්තට හැරෙන්නයි ගියේ. ඒත් මැක්‍රම් එකට පිටි පස්සෙන් හොඳට දැකලා හුරු දෙයක් මගෙ ඇස් වලට ලාවට පෙනුණා. ඒ නිසා මම එතෙනට ගියා. දෙවියනේ ඒ මගෙ ගාව තියෙනවාටත් වඩා ලොකු හාප් එකක්. බිත්තිය අයිනට වෙන්න උස නැති මේසයක් උඩ තියලා තිබ්බ ගෝල්ඩ් පාටට හුරු හාප් එක ලඟට ගියපු මම ඒ තත් ඇල්ලුවා.


ඒකත් දිරලා වැටෙන්න ඔන්න මෙන්න වගේ. අම්මා ප්ලේ කරපු මේ හාප් එක ගොඩාක් වටින එකක් කියලා මම අහලා තියෙනවා. මොකද මේක ලංකාවෙ හදන එකක් නෙවෙයි. අනික මේකෙ ෆ්‍රේම් එක පවා ගෝල්ඩ් මික්ස් කියලා පේනවා තාමත්. මොකද ගෝල්ඩ් මලකඩ කන්නෙ නෑ. අම්මව මතක් වෙන්න මට මේක ළඟ තියාගන්න පුළුවන් උනා නම් ඒක වාසනාවක්. ඒත් අවාසනාවන්ත විදිහට මේ හාප් එකේ බොඩි එක ඇරෙන්න අනිත් හැම දෙයක්ම විනාශ වෙන්න ඇවිත්.


ඒ දිහා බලාගෙනම මම ලඟම තිබුණු බිත්තියක එල්ලලා තිබුණු ෆොටෝ ෆ්‍රේම් ගොන්නක් ලඟට ගියා. සමහර ෆ්‍රේම් වල අම්මගෙ විවිධාකාරයේ ෆොටෝ තිබුණත් සමහර ෆොටෝස් ඒවාගෙන් අයින් කරලා තිබුණා. සමහරවිට ඒවා අයියා ළඟ පරිස්සමට අරන් තියලා ඇති.


"ඔයාගෙ අම්මා ඔයා ලැබෙනකම්ම දන්නෙ නෑ අපේ තාත්තා මැරීඩ් කෙනෙක් කියලා. ඔයා ලැබුණට පස්සෙ තමයි එයා ඒක දැනගෙන තියෙන්නේ."


එහෙම කියපු අයියා මට තේ කෝප්පයක් අතට දුන්නා. උදේම එද්දි මම තේ හදාගෙන ආවේ වීදුරු බෝතලයකට දාගෙන. ඒ නිසාම දැන් හැදුවා වගේම රස්නෙට තිබුණා.


"ඒ කියන්නේ මම හම්බවෙලා දවස් තුනක් ඇතුලත එක දවසක, තාත්තා අම්මට කිව්වද ඇත්ත ?"


"එයා නෙවෙයි කිව්වේ. අම්මා සාක්ෂි ඇතුවම හැම දෙයක්ම දැනගත්තා."


"එතකොට ඒ නිසාද අම්මා නැති උනේ 😧 ?"


"ඒ ගැන මම ඔයාට වෙලාව ආවම කියන්නම්. දැන් ඒක ඔයාට කියලා ඔයාගෙ හිත කලබල කරන්න ඕනි නෑ මට."


දෙවනි වතාවටත් අයියා පසුවට කියන්නම් කියලා අම්මගෙ මරණය ගැන මග ඇරියා. එයා කියන්නෙ නැත්තම් මාත් අහන්න යන එක පුහු වැඩක්. මම නොදන්නවා උනාට අපේ පවුල් වල අතීතය ගැන ලොකු අභිරහසක් හැංගිලා තියෙනවා.


................................................... 🖤 ...


ලොකු අභිරහසක් වගේ නේද පේන්නේ ?


ඔයාට මොකක්ද හිතෙන්නේ අමුතු ගේ ගැන ?


Sachy Collins

Report Page