Spring is far away - 73
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 73 | Impossible
"මම ආස නෑ වැඩිය කියවන්න. So be careful."
ඇන්ඩෲස් හොටෙල් එක පැත්තට යද්දි මම කාර් එක ලඟට ගියා. මගෙ නෙක්ලස් එකයි ඇන්ඩෲස් අතරයි ලොකු සම්බන්ධයක් තියෙනවා. මට ඒක දැනගන්න ඕනි. අනික අයියා ඇන්ඩෲස් එක්ක මෙච්චර තරහක් තියාගන්නත් ලොකු හේතුවක් ඇති. මට ඕනි ඒ හේතුවත් දැනගන්න අයියාට නොකියා, මගෙම උත්සහයෙන්.
පහුවෙනිදා උදේම ඔෆිස් එකට ගිහින් මම තියෝව හොයාගෙන එයා ලඟට ගියා. අද කොල්ලට හෙනට වැඩ ගොඩ ගැහිලා වගේ, ලැප් එක දිහා බලාගෙන ටයිපින් ඉවරයක් නෑ. ඒ අස්සෙන් කෝල්ස් ගන්නවා එහෙට මෙහෙට.
"තියෝ.. ඔයා වැඩක්ද ?"
මම රූම් එකට එද්දි එයා මං දිහා බලලා අහක බලාගත්තා. ඒ කියන්නෙ මෙයා තාම මං එක්ක තරහින් වගේ. අර පූස් පැටියාටත් මොනා කරාද දන්නෙ නෑ.
"පූස් පැටියාට මොකද දැන්."
එහෙම අහගෙන මම එයාට ඉස්සරහින් ඉඳගත්තා. දැන් මම ඒ දෙන්නා රණ්ඩු වෙන්න යද්දි ඉස්සෙල්ලාම බේරන්න ඕනි හේෂාන්වද නැත්තම් තියෝවද. තියෝ කෙසේ වෙතත් හේෂාන්ගෙ ලිමිට් එක පැන්නම එයා කව්ද කියලා මම හොඳට දන්නවා. ඒ නිසයි මම තියෝගෙ පැත්ත නොගෙන එතනින් හේෂාන්ව ඇදගෙන ගියේ. ඒත් ඒකට මෙයා තරහා වෙලා ඉන්නේ පොඩි බබෙක් වගේ.
"ඔයා හැප්පෙන්න හදන්නේ වැරදි කෙනා එක්ක තියෝ. හේෂාන්ට ඇඟිල්ලෙන් ඇනලා පැත්තකට වෙලා ඉන්න හිතන්න එපා. මොකද ඔයාට ඒක කරන්න වෙන්නෙ නෑ."
"ඇයි එයාට මොකක් හරි පවර් එකක් තියෙනවද. He is just a boy."
"No.. එයා කව්ද කියලා වෙන කව්ද දන්නේ අවුරුදු අටක් ආදරේ කරපු මම ඇර. හරි මට සේරටම කලින් කියන්නකෝ මොකක්ද ඔයාට හේෂාන් එක්ක තියෙන ප්‍රශ්නේ කියලා. ඇයි ඔයා ඒ නම ඇහෙන හැම වෙලාවකම එයාට විරුද්ධව කතා කරන්නේ. I mean ඇයි ඔයා හේෂාන් එක්ක රණ්ඩුවටම යන්නේ. ඔයාට මොකක්ද එයා එක්ක තියෙන ප්‍රශ්නේ."
"මම එවෙලෙ ඒක ඔයාලා දෙන්නා ඉස්සරහ පැහැදිලි කරා මින්දි."
එයා කියන්නෙ එවෙලෙ එයා හේෂාන්ට බැන්න එක ගැනනේ. ඒත් රාදිතා මගෙ කනට ගහද්දි හේෂාන් ඉවසගෙන හිටියේ එයා ගෑනු ළමයෙක්ට එහෙම අත උස්සන කෙනෙක් නෙවෙයි නිසා. අනික එයාගෙයි රාදිතාගෙයි මැරේජ් එක වෙන්න එපැයි අම්මගෙ අවසාන බලාපොරොත්තුව ඒක නම්. එහෙම තියෙද්දිත් ඉතින් එයා රාදිතාට ගහන එක නෙවෙයි හරි, එයා බය කරලා බැනලා හරි රාදිතාව හදාගන්න ඕනි.
"හ්ම්ම්.. එහෙනම් මේකත් මතක තියාගන්න තියෝ. ඔයා හේෂාන්ට විරුද්ධව කතා කරද්දි මම ඉවසන්නෙ නෑ ඊලඟ පාර. ඔයාට එයාට බනින්න ඕනි නම් ගිහින් රූම් එකේ දොර ලොක් කරගෙන ඒක ඇතුලට වෙලා බනින්න. හැබැයි හේෂාන් ඉස්සරහට ඇවිත් එයාට බනින්න එපා. මොකද මට එවෙලෙට ගොඩාක් තරහා යනවා."
"ඔයාට අමතක උනාද හේෂාන් ටනාෂියා එක්ක පිසිකල් කනෙක්ෂන්ස් තිබ්බා කියලා."
"No.. මට හොඳට මතකයි මම මගෙ ඇස් වලින් දැකපු දේවල්. ඒත් ඒ වරදට අමතරව හේෂාන් කූඹියෙකුටවත් වරදක් කරලා තියෙන, අහිංසක මිනිස්සුන්ට අසාධාරණකම් කරලා තියෙන බිස්නස්මන් කෙනෙක් නෙවෙයි."
"නෑ.. හේෂාන් වැරදියි."
එහෙම කියපු තියෝන් පුටුවෙන් නැගිටලා මගෙ ලඟට ආවා. මම ඉඳගෙන ඉන්න පුටුවේ ඇන්දට එක අතක් තියලා, අනිත් අත පුටුවේ අතකට තියලා එයා මගෙ මූණට එබුණේ මමවත් නොහිතපු විදිහට.
"ඔයා වගේ අහිංසක, අවංක, හොඳ හදවතක් තියෙන ගර්ල් කෙනෙක් මේ විදිහට අතෑරපු එකට."
"මෙලෝ රහක් නැති ජෝක් වලට මම ආස නෑ කියලා ඔයා හොඳටම දන්නවා තියෝන්."
මගෙ තරහා ටිකක් ඇවිස්සුන නිසා මම පුටුවෙන් නැගිටලා එහාට වුණා. හේෂාන්ට නම් එක සැරයක් කිව්වම හදාගන්න පුළුවන්. ඒත් තියෝන්ට දහ පාරක් ඇන ඇන කිව්වත් ඒ තියෙන උද්දච්චකම යවන්න බෑ. සුද්දෙක් නිසා වෙන්න ඇති.
"Mind your own business. I'm going."
එහෙම කියපු මම එයාගෙ රූම් එකෙන් එළියට ගිහින් බිල්ඩින් එකෙනුත් එළියට ඇවිත් කාර් පාක් එකට ගියා. තියෝ හේෂාන්ව තේරුම් ගන්නෙ නැත්තම් මට තරහා යනවා ඉවසන්න බැරි විදිහට. ඒකයි මම එළියට ආවේ හිත නිදහස් කරගන්න හිතාගෙන.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
ෆෝන් එකට කෝල් එකක් එනවා. මම ලඟම තිබුණු ඇසෙලියා ගහක් එක්ක තියෙන බෙන්ච් එකකින් ඉඳගත්තේ කෝල් එක ආන්ස්වර් කරන ගමන්. දුල්නෙත්මිගෙන් කෝල් එක ඇවිත් තියෙන්නේ.
"කියන්න දුල්."
"මොකද ඔය බෙන්ච් එක උඩ."
කෙල්ල එහෙම අහද්දි මම බිල්ඩින් එකේ උඩ බැලුවා. තර්ඩ් ෆ්ලෝර් එකේ ග්ලාස් එක ලඟට වෙලා දුල් ෆෝන් එක කනේ තියාගෙන ඉන්නවා පෙනුණා මට.
"තියෝ.. එයා හේෂාන්ට බනිනවා 😤."
"ඒකද මේ."
"හ්ම්ම්."
"එහෙනම් තරහා නිවෙන්නත් එක්ක යන්ද රවුමක් දාලා එන්න. මම දැන් ෆ්‍රී වෙලා ඉන්නේ. අනික හෙන බඩිගින්නකුත් එනවා."
හොඳ අදහසක්. තියෝ කට හද හද හේෂාන්ට බනින විදිහ මතක් කරගෙන මට යකෙක් උනත් කෑවැහැකි මෙවෙලේ. විශේෂයෙන්ම හොඳට ඩෙවල් කරපු චිකන් ලෙග්ස් ඉරාගෙන කනවා වගේ.
"එහෙනම් සජීවත් එක්කගෙන එන්න."
"සජී නෑ මෙතන. එයා පල්ලෙහාට ආවා අහස් එයාව හම්බවෙන්න ඇවිත් කියලා."
"එහෙමත් එකක්ද."
"යස්."
කෝල් එක කට් කරලා මම මගෙ කාර් එක දිහා බැලුවා. තාමත් මම බෙන්ස් එකක ගමන් බිමන්. ලංකාවේ අංක එකේ ෆැෂන් බ්‍රෑන්ඩ් එක හැටියට මම කොහොම හරි ඉදිරියට ගිහින් Rolls R*yce එකක් ගන්නම ඕනි. එතකොට තමයි මගෙයි රාදිතාගෙයි එයාගෙ මහලොකු ඩැඩීගෙයි අතර තියෙන රේස් එකෙන් මම වින් කරන්නේ.
"මං ආවෝ."
එලෙවේටර් එකෙන් ඇවිත්ද කොහෙද දුල් දුවගෙන මගෙ ලඟට ආවා. මගෙ කාර් එකෙන් කළු කුඩෙත් අරගෙන මම එළියට බැස්සෙ දුල් එක්ක ටවුන් එකේ තියෙන හොඳම රෙස්ටුරන්ට් එකට යන්න.
ටික වෙලාවක් ගියා. මායි දුල්නෙත්මියි රෙස්ටුරන්ට් එකට වෙලා හොඳට කනවා. සජීට කෝල් කරත් සජී තවම ආන්ස්වර් කලේ නෑ. සමහරවිට අහස් එක්ක ඉද්දි හැමදේම අමතක වෙලා ඇති. මොකද ඒ කෙල්ලගේ ක්‍රශ් එකනේ.
"මං නම් ඩෙසර්ට් එකට මිල්ක් ශේක් එකක් බීලා යනවා. තාම බඩේ ඉඩ තියෙනවා."
"මට චොකලට් අයිස් තිබ්බා නම් ශෝක්."
මම එහෙම කියලා ෆෝන් එක අතට ගත්තේ වේටර් කෙනෙක් අපේ ප්ලේට් දෙක අරගෙන යද්දි. මාව ජනප්‍රිය නොවෙන තාක්කල් මම මෙහෙම නිදහසේ, කඩවල් වලින් කාලා බීලා ඉන්නවා. ඒත් බැරිවෙලා වත් මේ අය දැනගත්තොත් මමයි මින්දි අමේලියා කියලා, සේරම ඉවරයි.
"ඔයා යනවද අහස් ?"
ෆෝන් එක බලන ගමන් හිටපු මට එකපාරටම සජීගෙ කටහඬ වගේ ඇහුණා. ඒ කියන්නෙ කෙල්ල අහස් එක්ක මෙතන ඉන්නවා ඇති.
"එහෙනම් පරිස්සමින් යන්න."
කටහඬ ඇහුණු පැත්තට ඔළුව හරවද්දි දැකපු දෙයින් මම පුදුම වුණා. සංජානායි අහසුයි දෙන්නා අපිට ඈත තියෙන ටේබල් එකකින් නැගිටලා ෆ්‍රෙන්ච් කිස් කරනවා.. පොඩ්ඩක් ඉන්න.. ෆ්‍රෙන්ච් කිස් කරන්නෙ කොහොමද එයාලා ?
"දුල් අර බලන්නකෝ."
මම දුල්ගෙ අතට තට්ටු කරලා අර දෙන්නව පෙන්නුවා. කෙල්ලත් කන්ෆියුස් වෙලා බලාගෙන හිටියා අහස් සංජානාව කිස් කරපු විදිහ. ඒ කියන්නේ මේ කපල් එක අපි කියන්නත් කලින්ම ජෝඩු වෙලා වගේ
"මේකි දැක්කෙ නෑ වගේ යන හැටි විතරක්."
"ඒකනේ."
සජී අහස් එක්කම රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියේ අපි දිහා බලන්නෙ නැතුව. හැබැයි අපි මෙතන ඉන්නවා කියලා දන්නවා නම් දෙන්නා යන්නේ තක්කලි ගෙඩි දෙකක් වගේ.
"ඒ කියන්නේ මේකි අපිට හොරෙන් අහස් එක්ක ටිලිං ටිලිං නේද."
"අපි දන්නෑ වගේ ඉමු. පස්සෙ බැරියෑ හාර්ට් ඇටෑක් එකක් එන සයිස් එකට දෙන්නව සප්‍රයිස් කරන්න."
"ආයෙත් අහලා."
සංජානාගේ බර්ත්ඩේ එක තව මාස තුන හතරකින් තියෙනවානේ. එදාට අපි එකතු වෙලා දෙන්නව ප්‍රපෝස් කෙරෙව්වා නම් හරි, බලෙන් හරි. නැත්තම් හැමදාම ඇඹරි ඇඹරි ඉඳීවි උදලු තලේට කැපුණු ගැඩවිල්ලු දෙන්නා වගේ.
අද දවසත් ඔහොම්ම ගෙවිලා ගියා. රෑට කන්න පිරියක් තිබුණෙ නැති නිසා මම වොශ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකත් ඇඳගෙන බැල්කනි එකට ගියා. දැන් ටිකකට කලින් අක්කා මැසේජ් එකක් දාලා හෙට වත්තලට එන්න කියලා. හේතුව තව සති දෙක තුනකින් මගෙ බර්ත්ඩේ එකත් තියෙන නිසා. මොකද පාර්ටි එකට ඩ්‍රෙස් එකක් ලෑස්ති කරගන්න ඕනිනේ.
❝ ගිෆ්ට් එකක් දෙන්න ඕනි ඒක අමතක නොවෙන විදිහට ❞
❝ මට කවදාවත් මේක අමතක වෙන එකක් නෑ ❞
ඇඳට නැඟලා ඇස් දෙක පියාගන්න හදද්දිම මට ඇහුණේ හේෂාන්ගෙ කටහඬ. එයා දැන් ආයෙමත් මගෙ ජීවිතේට ඇවිත් නිසා මට හැමවෙලේම ඒ මූණයි කටහඬයි මතක් වෙනවා. ඒත් මේක දිගින් දිගටම උනොත් එහෙම කලින් මින්දිට වගේම දැන් මින්දිටත් සැනසීමක් නැතුව යයි. මම ආස නෑ මම පරණ මින්දිම වෙනවට. මොකද දැන් ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ ඩී මාර්ටිනස් එකේ CEO වුණ මින්දි අමේලියා රූපසිංහට විතරයි.
හඳ එළිය මුළු බැල්කනියම ආක්‍රමණය කරලා තියෙද්දි මම තදින් ඇස් දෙක වහගෙන නින්ද හෙව්වා. සුදුපාට සිනිදු ඇඳ ඇතිරිල්ල මගෙ ඇඟට දැනුණු සීතල මකලා දාලා උණුහුමක් ගෙනාවේ නොදැනුවත්වම මට නින්ද යද්දි.
........
"හේෂාන්.."
තැඹිලිපාටින්, රතු පාටින් සේද වෙලලා වගේ ලස්සන අහසක් යට ඉර හිමින්ම මුහුද ගිලගද්දිම මම වැල්ලෙ එරෙන කකුල් වලින් අමාරුවෙන්ම අඩිය තියලා ඒ රූපය පැත්තට ගියා..
තැනින් තැන විසිරුණු සිප්පි, බෙල්ලො මගෙ කකුල් වලට වේදනා දෙද්දි මං නොනවත්වාම මගේ යටි පතුලටත් වඩා දිග දම්පාට අත් වැටුණ විසිරුණ ගවුම ඇදගෙන ගියා. සැරෙන් සැරේට එන රැල්ල මගෙ රෝස පාට යටි පතුල් සිපගන්නෙ මගෙ ඇඟට අමුතුම ජවයක් දීලා. ටිකෙන් ටික ඉස්සරහට ඇදුණ මම නැවතුණේ ඒ ලස්සන රූපෙ ළඟ 💜️..
මගෙමයි කියලා හිතපු මට අහිමි ඒ දෑස් මගෙ දෑස් එක්ක ශක්තිමත් දම්වැලක් වගේ බැඳුණා. වටෙන් එන සීතල සුලං ධාරාවන් මගෙ ඇඟ හිරිවට්ටවද්දි මං නූලක පරතරයකින් එයා ගාව නැවතුණා..
"ආයෙමත් මට ලං උනේ මාව ආයෙමත් දාලා යන්නද හේෂාන්.."
ඒ ඇස් කඳුළු වලින් දිළිසුනා. කවදාවත්ම මං ඉස්සරහා කඳුළු පෙන්නපු නැති මනුස්සයෙක් මං ඉස්සරහම අඬද්දි මටත් දරාගන්න බැරි උනා. හරියට නිකන් මගෙ පපුවට හීයකින් විද්දා වගේම.
"මට කියන්න.. ආයෙමත් මට ලං උනේ මාව දාලා යන්නද ?"
මගෙ ඇස් වලින් කඳුළු කම්මුල් වලට පල්ලම් බහිද්දි ඒ ඇස් ගැස්සුනා. මට ඔච්චර ආදරෙයි නම් ඇයි ඔයා මාව මෙහෙම රිද්දන්නෙ හේෂාන්. ඇයි ඔයා මගෙ ඇස් ඉස්සරහට ආයෙමත් ඇවිත් මෙහෙම මගෙ ඇස් කලබල කරන්නේ. මේ මින්දි හිතුවා ඉස්සර වගේ කවදාවත් වෙනස් නොවී ඉන්න. ඒත්,
"ආයෙ.. මං ඔයාව දාලා යන්නෙ නෑ මින්දි.."
ඒ කටහඬින් ගැස්සුන මං ආයෙමත් එයාගෙ හීනි ඇස් එක්ක බැඳුණා. මම නොදැනුවත්වම එයා ආයෙමත් මගෙ ජීවිතේට ඇතුළු වෙලා මට කියනවා මේ වතාවෙ කලින් වුණ වැරැද්ද හදනවා කියලා. ඉතින් ඒ වචන නිසාම මම එයාව විශ්වාස කරා. අපි එතන හිත් ඇතුලාන්තයෙන් ලොකු සටනක, අපිට අහිමි උන බැඳීමක.
"කවදාවත්ම දාලා යන්නෙ නෑ මං.. පොරොන්දු වෙනවා.."
"ඇත්තටම ?"
"අවුරුදු ගාණක්ම විශ්වාස කරපු මාව ඔයාට දැන් විශ්වාස නැද්ද මින්දි."
"මට විශ්වාසයි."
මම දන්නෙ නෑ මං ඇයි එහෙම කිව්වෙ කියලා. ඒත් එයා මගෙන් එහෙම ඇහුවේ මගෙ වෙනස් වුණ ගතිගුණ එයාට නුරුස්න නිසා වෙන්න ඇති. තවත් මොහොතක් යන්නත් කලින් මම හිටියේ ඒ පපුව උඩ. මටත් වඩා ඉස්සර උන කඳුළු මාව ආක්‍රමණය කරා. මං ඇඬුවා ගොඩාක් වෙලා. එයාගෙ ශර්ට් එක තෙත් වෙනකම්ම. මගෙ අත් ඒ බඳ වටේ එතිලා ඇඟිලි වලින් ශර්ට් එක මිරිකගෙනම. එයා හිටියේ මගෙ කෙහෙරැලි අස්සට මූණ වෙලාගෙන.
ඒත්..
තත්පරයක් ගත වෙන්නත් කලින් මාව පස්සට විසි වෙලා ගියේ කවුරු හරි තල්ලු කලා වගේ. ඒ එක්කම මම දැක්කෙ නොහිතපු දෙයක්..
රාදිතා.. ඔව් ඒ එයා..
එයා ඇවිත් හේෂාන්ව තුරුලු කරන් පිටි පස්සෙන්ම. ඒ දෑඟිලි එයාගෙ පපුව උඩ සක්මන් කරනවා ඒ මේ අතට. රාදිතාගෙ මූණට ලං උන එයා ඒ අත් දෙකම අල්ලගත්තේ පපුව උඩට මිරිකගන්න ගමන්. මගෙ හේෂාන්ව උදුරගත්තු, දැන් මගෙ ඉස්සරහා බොරු රඟපෑමක් කරන කපටි කෙල්ල. ඇයි මං බලාගෙන ඉන්නේ. තෑග්ගක් තෑගි කලා කියලද හිතන් ඉන්නෙ මින්දි. ඒ ඔයාගෙ ගැහෙන හදවත, ඒ ඔයාගෙ මතක ගොන්න, ඔයාගෙ නොමියෙන ආදරේ. ඇයි ඔයා රාදිතාට ඔයාගෙ සැනසීම තෑගි කලේ. ඇයි එච්චර මෝඩ උනේ..
මගෙ අත් දෙක දිහා බලාගෙනම මං කල්පනා කරද්දි මම දැක්කේ මම දියවෙලා යනවා වගේ. හරියට නිකන් මගේ තාත්තට මගේ අම්මා අහිමි වුණා වගේ. ඒ කියන්නේ මගෙ අම්මා වගේම ආදරේට රැවටිලාද මම. මේ මින්දි අමේලියා කලින් වගේම හේෂාන්ට වහවැටිලාද.
ඒත් ඒ කොහොම උනත් මට බෑ හේෂාන්ව රාදිතා ගාව තනිකරලා යන්න. රාදිතා හේෂාන්ට අසනීප වුණත් මම වගේ බලාගන්න එකක් නෑ. මම තරම් හේෂාන්ට ආදරේ දීලා එයාට එයාගෙ සැනසීම හොයලා දෙන එකක් නෑ. රාදිතා හේෂාන්ගෙ හැමදෙයක්ම විනාස කරලා දායි මම නැතිකොට..
මට ඕනි උනා හේෂාන්ට කතා කරන්න. මම කෑ ගැහුවා. ඒත් එයාට ගාණක් වත් නෑ. ඒ නිසා මම ආයෙමත් එයා ලඟට දුවන්න හැදුවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් මගෙ මුළු ශරීරෙම අහසට වාෂ්ප උනේ දම්පාට දිළිසෙන කුඩු වෙලා..
"මිස්."
එකපාරටම මම ගැස්සිලා කල්පනාවෙන් එළියට ආවේ මේකප් ආර්ටිස්ට් මට කතා කරපු නිසා. ලා දම්පාට උරහිස් වැටුණු දිග නෙට් ගවුම ඇඳලා මිරර් එක ඉස්සරහා මම පුටුවක ඉඳන් ඉන්නවා දැක්කම මට ඊයෙ රෑ දැකපු මේ හීනෙ මතක් වුණා.
"මූණ පොඩ්ඩක් උස්සනවද."
"හ්ම්."
අද මගෙ 31 වෙනි බර්ත්ඩේ එක. ගෑනු ළමයෙක් වෙලත් මෙච්චර වයස ගියත් මැරි කරන්නෙ නැතුව ඉන්නෙ ඇයි කියලා දහසක් දෙනා අද මගෙන් හිනා වෙලා අහයි. ඒත් මම හැමදාම තනියම, මේ හීනේ හිටපු හේෂාන් ලබන ආත්මෙක හරි මගෙ වෙනකම් බලාගෙන ඉන්නවා කියලා මට එයාලට කියන්න බැරි වේවි. මොකද අහිමි එයාව හිමිවෙනකම් බලන් ඉන්නවා කියන්න තරම් පෞරුෂයක් මේ මින්දිට තවම හැදිලා නෑ.
ගැලැක්සි ඩ්‍රෙස් එක වගේම ලක්ෂ ගණන් වියදම් කරලා සිල්වර් පාටින් පොඩි තරු තැනින් තැනට අලවලා 'ලැවෙන්ඩර් ස්ටාර්ස්' ඩ්‍රෙස් එක හදලා තිබුණා. ඒක මේ මින්දිගේ දුඹුරුපාට ඇඟට අලවලා වගේම ලස්සනයි. ඒත්..
ඒ නපුරු හීනෙත් මම දැක්කෙ මේ ගවුමමයි..
"හහ්.. හහ්.."
පපුවත් අල්ලගෙන මම පුටුවෙන් නැගිට්ටේ මිරර් එක ඉස්සරහා තිබුණු කොණ්ඩෙට ගහන්න තිබුණු ස්වාභාවික මල්, මේකප්, වතුර වීදුරු හැමදෙයක්ම අතකින් ගහලා බිමට වට්ටලා. නෑ ඒක එහෙම වෙන්න බෑ. මම ඊයෙ දැක්ක ඒ නපුරු හීනෙ වගේ දෙයක් මට ආයෙ වෙන්න බෑ. විශේෂයෙන්ම අද වගේ දවසක ඒ තරම් වේදනාවක් මට දැනෙන්න ඉඩ තියන්නෙ නෑ මං.
"අයියේ.. හීනයක් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන අඟවනවද ?"
ගවුමත් උස්සගෙන මම බීච් එක දිගේ ගිහින් අයියාගෙන් එහෙම ඇහුවේ අයියා පොඩි පොල් ගහක් යට යාළුවො වගයක් එක්ක කතා කර කර ඉද්දි. මගෙ මේ කලබලේට අයියත් පුදුම වෙලා.
"නංගි ඔයා හොඳින්ද ?"
මගෙ කම්මුල් දෙකෙන් අල්ලලා අයියා එහෙම ඇහුවා. ගවුමේ දෙකොන මගෙ ඇඟිලි වලට මිටි කරගෙන මම බිම සුදුපාට වැල්ල දිහා බැලුවා. මම කලබලයි. ඇත්තටම මම කලබල නොවී ඉන්නේ කොහොමද හීනෙ දැකපු දේවල් සැබෑ ලෝකෙත් ඒ විදිහටම සිද්ධ වෙන්න යනකොට. මට බෑ හීනෙ වුණා වගේම පරාජය භාර අරගෙන දුක් විඳින්න.
"නෑ මම හොඳින් නෙවෙයි.. ඔයා මේකට උත්තර නොදුන්නොත්. ඔයා ගොඩාක් දේවල් ගැන දන්න කෙනෙක්. ඉතින් ඔයා දන්නවා මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ."
"එහෙම හීන වලට අනාගතේ වෙන දේවල් කියන්න බෑ. හීන කියන්නේ අපි මීට කලින් හිතපු දෙයක්, මතකයට නගපු දෙයක් ප්‍රමුඛ කරගෙන මැද නින්දේ පේන දෙයක්."
එහෙනම් මම පළවෙනි වතාවට මේ ගවුම දැක්ක දවසේ මතකය මගෙ ඔළුව ඇතුලේ තියෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මට පෙණුනේ ඒ වගේ නරක හීනයක්. අයියා කිව්ව දේ නිසා මගෙ හිතට පොඩි හරි සැනසීමක් ආවා. නැත්තම් මට දරාගන්න බෑ එහෙම දෙයක් උනොත්.
"නංගි.. කෝ ඔයාගෙ හෙයා එක රෙඩි නෑනේ."
එකපාරටම අක්කා ඇවිත් එහෙම කියද්දි මම ඒ පැත්තට හැරුණා. එයාලා හැමෝම ලස්සනට ඇඳලා පැලඳලා ඉන්නේ මගෙ බර්ත්ඩේ කේක් එක මම දෙනෝදාහක් ඉස්සරහා කපන විදිහ බලන්න බලාපොරොත්තු තියාගෙන. ඒත් හෙයාස්ටයිල් දාලා රෙඩි කරන්නත් කලින් මම කොණ්ඩෙ කඩාගෙන හැමෝම ඉස්සරහට ඇවිත් ඉවරයි .
"මට මෙහෙම හොඳයි."
කර්ටන් බැන්ග්ස් කපලා ඉන්න නිසා කොණ්ඩෙ කැඩුවම කැතක් පෙණුනේ නෑ. ඒ නිසාම මම අක්කාට එහෙම කිව්වා. එයා මගෙ කොණ්ඩෙ ඇවිස්සුන කෙස් ගස් දෙක තුනක්ම පිටිපස්සට කරලා හදලා මගෙ අතින් අල්ලගත්තා.
"හැමෝම ඇවිත් ඉන්නේ. යමුද කේක් එක කපන්න."
"හ්ම්ම්."
බීච් එකේ හවසක තියෙන බර්ත්ඩේ පාර්ටි එකක් මේක. පහ මාර පහුවුණ නිසා මුහුදෙන් වෙන් වෙලා පේන අහස රෝස පාටින්, තැඹිලි පාටින් හැඩ වෙලා තිබුණා සළු එලලා වගේ. ඒ අස්සෙන් අඩ හඳකුත් අහසේ හිස් බව මකලා දැම්මා.
අක්කාගෙ අතින් අල්ලගෙන මම කේක් එක ලඟට ගියේ හැමෝගෙම අත්පොලසන් නාදය මැද්දෙන්. ඇවිත් ඉන්නෙ කව්ද, මොනවද ඇඳන් ඇවිත් ඉන්නෙ කියලා බලන්න මම උත්සහ කලේ නෑ. ඒ වෙනුවට මගෙ ඇස් යොමු වෙලා තිබුණේ මල් ගොඩකින් හැඩ කරපු රවුම් හැඩේට හදපු දම් පාට කේක් එකට.
Happy birthday to you..
Happy birthday to you..
Happy birthday dear Mindi..
Happy Birthday to you..
හැමෝම තාලෙට සින්දුව කියද්දි මම දම්පාට රිබන් එකක් ඔතපු සුදුපාට පොඩි පිහියෙන් කේක් එකේ කොනකින් කොටසක් කැපුවා. ඉස්සෙල්ලාම මම කවන්න ඕනි හරි නම් හේෂාන්ගෙ තාත්තාට. මොකද මට අයියලා හම්බවෙන්න කලින් මගෙ තාත්තා වගේම මම ගැන හොයලා බලපු එකම කෙනා තාත්තා. ඒකයි මම එයාට බය නැතුව තාත්තේ කියලා කතා කරන්නේ.
මම කේක් කෑල්ලත් අතේ තියාගෙන තාත්තාව හැම තැනම හෙව්වා. ඒත් මගෙ කලබලකාරී ඇස් වලට එයාව පේන්න විනාඩියක් දෙකක් ගෙවුණා. තාත්තා සයිඩ් එකක ඉන්නවා දැකලා මම සෙරෙප්පු නැති කකුල් වලින් වැල්ල දිගේම ඇවිදගෙන ගියා එයා ලඟට.
"අම්මා තාත්තා නැති මට, ඔයාගෙම දුවෙකුට වගේ උපදෙස් දුන්නා නම්, හොයලා බැලුවා නම් ඒ ඔයා විතරයි තාත්තේ. Thank you මෙච්චර කාලයක් මං ගැන හොයලා බැලුවට. මම ඒවට ණයයි ඔයාට."
එහෙම කියපු මම තාත්තාගෙ කකුල් අල්ලලා වැන්දා. අම්මත් මට ඒ විදිහට සැලකුවා. හැබැයි අම්මාට එයාගෙ ලොකු පැලැන්ති වලින් ආපු ගතිගුණ යවාගන්න බැරි වුණා. ඒකයි එයාගෙ එක තීරණයක් නිසා රාදිතා හේෂාන්ගෙයි මගෙයි ජීවිත විනාශ කලේ.
"Don't worry.. දෝණිට කවුරු නැති වුණත් මම ඉන්නවා කියලා මතක තියාගන්න."
තාත්තා එහෙම කියද්දි මගෙ මූණට හිනාවක් ආවා. ඇත්තටම මම කොච්චර නම් අවාසනාවන්තද කියනවා නම්, මට ලැබෙන හැමදේම ඉක්මනින්ම නැතුව යනවා. හැබැයි ඒ අතරින් සමහර දේවල් මගෙ ළඟ හැමදාටම රැඳුනා. සමහරවිට ඒ මට ලැබුණු වාසනාවක් නිසා රැඳුණු දේවල් වෙන්න ඇති.
"Happy birthday නංගි."
මම කේක් කෑල්ල කවද්දි අයියා එහෙම කියලා මාව තුරුලු කරගත්තා. පහුවෙලා හරි මට එයාලව හම්බුණ එකෙන් මම වැටිලා හිටපු නරා වලෙන් මම ගොඩ ආවා. අද මටම වටිනාකමක් තියෙනවා. කාටවත් නැති.
"හැමදාම සතුටින් ඉන්න ඕනි."
අක්කාත් මාව තුරුලු කරගෙන කිව්වා. තියෝනුත් මං එක්ක අවුලෙන් වගේ හිටියට අද අගේටවත් ඇවිත් යාළුවොත් එක්ක කතා කර කර හිටියා. මම එයාටත් කේක් කෑල්ලක් කවන්න කියලා ලඟට ගියා.
"ආ.. මං එක්ක තරහා මිනිස්සුන්ට මම කැමති නෑ."
එහෙම කියපු මම කේක් කෑල්ල තියෝන්ගෙ කටට ඔබලා එතනින් ගියා. කට වටේම අයිසින් නාපු කොල්ලා මට රවද්දි එයාගෙ යාළුවෝ එයාටම හිනා වුණේ බඩත් අල්ලගෙන. පළි ගන්නවා නම් පළි ගන්න ඕනි එහෙම. එවෙලේ ඔෆිස් එකේදි එයා මට දාපු ලොකුකම් වලට හරියන්න මම දැන් ලොකුකම් දාන්න ඕනි.
.................................................. 🖤 ...
කවුරු හරි තියෝට වතුර ටිකක් පෙව්වා නම් හරි 🙄
කව්ද ඉදිරිපත් වෙන්නේ 👋 ?
Sachy Collins