Spring is far away - 70

Spring is far away - 70

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 70  |  The Birthday Invitation

Previous


"මම ඔයා කියන විදිහටද වැඩ කරන්න ඕනි ?"


මගෙ මූණටම ලං වෙලා හේෂාන් එහෙම කියද්දි මම මගෙ මූණ පැත්තකට හරවගත්තා. ඒ හුස්ම සැරෙන් සැරේට මගෙ කම්මුල් වල වදිද්දි මට දැනුණේ මීට අවුරුදු ගාණකට කලින් එයාගෙන් වින්ද ඒ ආදරයයි උණුහුමයි..


"ඒ කියන්නේ ඔයා තාමත් ටනාෂියාට ආදරෙයි."


"ඇයි ඔයාට ජෙලස්ද ?"


එයාගෙ තද අළුපාට ඇස් දිහා බලපු මම හිනා වුණා. මොකටද මට එච්චර ඉරිසියාවක්. දැන් වුණ දේවල් වෙලා ඉවරයි. මම දන්නේ ඒ උන හැම දේකටම මට විතරක්ම රිදුනා කියලා විතරයි.


"මට ජෙලස් වෙන්න මම ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්වත් වයිෆ්වත් නෙවෙයි."


"එහෙනම් ඇයි මට නීති දාන්න හදන්නේ."


"මම ඔයාගෙ Ex. ඒ වගේම මම ඔයා ගැන හොඳටම දන්න නිසා."


"මගෙ දේවල් වලට ඔයා ඇඟිලි ගහන්න ඕනි නෑ මින්දි. එදා රෙසිග්නේෂන් ගද්දි ඔයා කියපු දේවල් ඔයාට මතක නැද්ද."


මගෙ දෙතොල් වලට ලං වෙලා එයා එහෙම කියද්දි මට මතක් උනේ මීට මාස ගාණකට ඉස්සෙල්ලා වුණ ඒ සිදුවීම. මම යුවසිංහ ගෲප් එකෙන් යන්නම ගියේ සතුටින් නෙවෙයි. ලොකු වේදනාවක් හිතේ රඳවගෙනයි මම කම්පැනි එකෙන් එළියට ආවේ.


❝ ආයෙ මම ඔයා ගැන හොයන්නෙ නෑ. අවුරුදු අටක ආදරේට ඔයා ගෞරවය කරන්නෙත් නැත්තම් මමත් ඒ ගෞරවය අදින් පස්සෙ ඔයාට දෙන්නෙ නෑ.. මිස්ටර් යුවසිංහ ❞


පොඩි වේදනාවක් නෙවෙයි ඒක. මාත් එක්කවත් නොකරපු දේවල් ටනාෂියා එක්ක කරන්න ඔයා හිත හදාගෙන ඉවරයි කියලා දැනගද්දි දරාගන්න බැරි වේදනාවක් මට දැනුණා. ඒකයි මම කැමති නැත්තේ, ඒ මතක ආයෙත් මට මතක් වෙනවට.


"Nevermind."

(කමක් නෑ)


මගෙ ඇස් වල ලාවට කඳුළු පටලයක් එක්කාසු වෙද්දි එයා එහෙම කිව්වා. සමහරවිට 'Nevermind' කියන වචනේ එයා කියන්න ඇත්තේ මගෙ ඇස් වලට තවත් කඳුළු පුරන එක නවත්තන්න වෙන්න ඇති.


"අනිත් අයට අමතක උනාට මට මතකයි. මින්දි අමේලියා රූපසිංහ කියන්නේ මගෙ ෆ්‍රස්ට් ලව් එක වගේම මගේ Ex. ඔයා කිව්වා වගේම ඔයා තරම් මං ගැන දන්න කෙනෙක් නෑ. ඒත් මේක හොඳට අහගන්න.."


එහෙම කියපු එයා මගේ මූණට තවත් ලං උනේ ඈශ්ලිත් අපි දෙන්නා දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි. මම ඒ අත් වලින් වත් ඇල්ලුවේ නෑ නවතින්න කියලා සංඥා කරන්න.


"ටනාෂියා දැන් මගෙ ප්‍රයිවට් සෙකට්‍රි නෙවෙයි. අභිමානි තමයි දැන් ඒ පොසිෂන් එකේ ඉන්නේ. මම හිතනවා මෙතනින් එහාට ඔයාට මගෙ ප්‍රයිවට් ඩේටා ඕනි වෙන එකක් නෑ කියලා. I'm going now."


එහෙම කිව්ව හේෂාන් රූම් එකෙන් එළියට ගියා. මම තාමත් හැට් එක අතේ තියන් කල්පනා කරනවා එයා කියපු වචන ගැන. වෙනදට එයාගෙ කටින් පිටවෙන්නෙ නැති වචන අද මගෙ ඉස්සරහා මේ විදිහට පිට වුණේ එයා මට දැන් වෛර කරන නිසාද.


"මෑම්.. හේෂාන් සර්ට තරහා ගිහින් වගේ."


"ඈශ්ලි දන්නවද එයාට තරහා ගියේ ඇයි කියලා ?"


"අනේ මංදා."


"හ්ම්ම්.."


ඔෆිස් ආවේ හවස් වෙනකම්ම ඉන්න හිතාගෙන. ඒත් හේෂාන් නිසා අද මගෙ මූඩ් එක අවුල් වෙලා ගියා. තවත් මට මෙතන ඉන්න බෑ.


"මම ගෙදර යනවා ඈශ්ලි. අයියට කියන්න මම ගියා කියලා."


"හරි මෑම්."


ඈශ්ලි මීටින් රූම් එක පැත්තට යද්දි මම රූම් එකෙන් එළියට ඇවිත් එන්ට්‍රන්ස් එකෙනුත් එළියට ගියා. හේෂාන්ට රාදිතාට ආදරේ කරන්න පටන් ගන්න ඇති එහෙනම්. දැන් රාදිතා ඉස්සරට වඩා සන්සුන්. ඒ වගේම සයිලන්ට්. එයාව එහෙම වෙනස් කරන්න ඇත්තෙත් හේෂාන් වෙන්න ඇති.


❝ ටනාෂියා දැන් මගෙ ප්‍රයිවට් සෙකට්‍රි නෙවෙයි. අභිමානි තමයි දැන් ඒ පොසිෂන් එකේ ඉන්නේ ❞


කිව්ව විදිහටම එයා ටනාෂියා එක්ක ආයෙමත් කනෙක්ෂන් තියන්නෙ නැති වෙයිද. එයා ටනාෂියාවත් ප්‍රයිවට් සෙකට්‍රි කියන පොසිෂන් එකෙන් අයින් කරලා නම් මගෙ ටාගට් එකක් දැනටමත් සක්සස්ෆුල්. ටනාෂියා කරා වගේ අභිමානි කවදාවත් හේෂාන්ට ලං වෙන එකක් නෑ. මොකද ඒ හේෂාන්ගෙම Cousin කෙනෙක් නිසා.


හේෂාන්.. මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අකුරු තුනක්. මගෙ තනි වුණ, අසරණ වුණ ඒ වේදනාත්මක ජීවිතෙන් මාව වසන්තයක් මැදට අරගෙන ආවෙ එයා. පසුකාලීනව ඒ වසන්තේ මාව ඉස්සරටත් වඩා රිද්දපු නියඟයක් වුණා. ඒත් දැන් හේෂාන් නැතිකොට මට වසන්තෙ උදා වෙලා. හැබැයි,


මගෙ ජීවිතේ කියන උද්‍යානයේ මොන මල පිපිලා සුවඳ හැමුවත්, මම ආසම මල් වුණ ඩේසි මල් තවමත් පිපිලා නෑ. ඉතින් මම සදහටම අසම්පූර්ණ වේවි..


"තාමත් මෙතනද."


ආයෙමත් හේෂාන්ගෙ කටහඬ. මගෙ කාර් එක මගෙ ඉස්සරහට එද්දි මම පිටිපස්ස හැරුණා. හේෂාන් මට එහාපැත්තෙන්ම හිටගත්තා.


"මම කිව්ව දේවල් මතකයි නම් ආයෙමත් මගෙන් ඒ දේවල් අහන්න හිතන්නවත් එපා මින්දි."


එයා එහෙම කියද්දි මම අහක බලාගෙන හිනා වුණා. කිසිම දෙයක් නොවුණු ගානට එයා කතා කරද්දි මට ඒ දේවල් අමතක වෙන්න බලනවා. ඒත් මගෙ යටිහිත ආයෙමත් මට සුළුවට හරි මතක් කරලා දෙනවා එදා හොටෙල් එකේ වුණ සිද්ධිය.


"පරිස්සමින් ඉන්න."


එහෙම කියපු එයා එතනින් එයාගෙ කාර් එකට ගියා. අව්ව නිසා තොප්පියත් ඔළුවට දාගත්තු මං එයා කාර් එකට නැඟලා යන හැටි බලන් හිටියා. ටික වෙලාවක් යද්දි,


"සර් මෑම් ගැන කෙයා කරනවා වගේ."


"හ්ම්ම්.. ඒ වගේ.."


ඈශ්ලි මගෙ ලඟට ඇවිත් එහෙම කියද්දි මගෙ දෙතොල් වලට ආයෙමත් හිනාවක් ආවා.


"I'm going."


අව්ව වැටුණු ගාඩ්න් එක මැද්දෙන් ගිහින් මම කාර් එකට නැග්ගා. ටික වෙලාවක් යද්දි මම ගෙදරටත් ගියා. නාගෙන කොණ්ඩෙත් වේලගෙන තිබුණු වැඩ වගයක් කරද්දි නොදැනුවත්වම වෙලාව ගිහින් රෑත් වෙලා..


ඉතින් නයිට් ඩ්‍රෙස් එකත් ඇඳගෙන මම බැල්කනියෙ මේසෙන් වාඩි වුණා. මට අද වෙනදා නොදැනුණු නොපුරුදු හැඟීමක් දැනෙනවා. මේ ගෙවුණු මාස එකොළහට වත් මට එහෙම හැඟීමක් දැනිලා නෑ. උදේ හේෂාන් මාත් එක්ක කතා කරලා ගියාට පස්සේ මගේ හිතට අමුත්තක් දැනෙනවා. හරියට නිකන් හිස් බවක් වගේ. ඒ හිස් බව දැනෙන්න හේතු වුණ කාරණාව මොකක්ද කියලා මම කල්පනා කරලා බැලුවා. ඒත් එහෙම කාරණාවක් ගැන ඉඟියක් වත් මට දැනුණේ නෑ.


❝ මම කිව්ව දේවල් මතකයි නම් ආයෙමත් මගෙන් ඒ දේවල් අහන්න හිතන්නවත් එපා මින්දි ❞


❝ පරිස්සමින් ඉන්න ❞


ඒ කියන්නේ හේෂාන්ද මගෙ මේ හිතට දැනෙන හිස් බවට හේතුව. එයා දැන් මගෙ ඇස් දෙකට පේන්න නැති නිසාද මට මේ තරම් හිස් බවක් දැනෙන්නේ. ඒත් ඇයි එහෙම. මම එයාව අමතක කරලා දැම්මා. මගෙයි එයාගෙයි අතර ආයෙමත් කිසිම විදිහකින් සම්බන්ධයක් තියෙන්න බෑ කියලා මම හිතුවා. එහෙම වෙලත් මට මෙහෙම දැනෙන්නේ එයා ආයෙමත් මගෙ ජීවිතේට ඇතුළු වුණ නිසාද ?


බැල්කනියෙ ටේබල් එකෙන් නැගිටපු මම මගෙ වැඩ කරන ටේබල් එක ලඟට ගියා. තද නිල්පාට පොතක් අස්සේ දාලා තිබුණු එයාගෙ ෆොටෝ එක අතට අරගත්තා මං.


හ්ම්ම්.. මෙයා නිසා තමයි. මේ තද අළුපාට ඇස් නිසාම තමයි මට මෙහෙම ආගන්තුක හැඟීමක් දැනෙන්නේ. අද දවසම ඒ ඇස් සමච්චලයට හිනා වෙන ගමන් මගෙ මූණ හරියට රසවින්දා කියලා මට තේරුණා. මම කියපු සමහර දේවල් එයා ඉස්සර තරම් ගණන් නොගෙන කතා කලා. හේෂාන්ගෙ මේ අමුතුම වෙනස්වීමද මට මෙහෙම ආගන්තුක හැඟීමක් ගෙනාවේ ?


"Good night."


එයාගෙ ෆොටෝ එක දිහා බලන් මම එහෙම කිව්වා. ඒත් මම හිතන්නෙ නෑ මම ඒක කිව්වෙ මේ ෆොටෝ එකේ ඉන්න හේෂාන්ට කියලා. තව දුරටත් ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නෙ නැතුව මම ගිහින් නිදාගත්තා.


අලුත් දවසක් 🌞☁️🍃..


ඇඟට සැහැල්ලු, මල් වැටුණු හීන් පටි ටයිට් ගවුමක් ඇඳගෙන මම පඩිපෙළ බැහැලා සාලෙට ආවා. තියෙන බඩිගින්නට, මගෙ ඉස්සරහට කවුරු හරි ආවොත් ඒ කෙනාව එක කටට ගිලින්න හිතෙනවා දැන් මට.


"හායි අපේ කෙල්ල."


"ඉතින් කොහොමද මින්දියෝ.. දවස් ගාණකින් දැක්කෙ නෑ තමුසෙව 😩."


සංජානායි දුල්නෙත්මියි දෙන්නා මොනවදෝ උස්සගෙන සාලෙට එද්දි මම සෝෆා එකකින් වාඩි වුණා. දැන් කෙල්ලො දෙන්නා ඉන්නෙ වෙනම එයාලාගෙම නමට තියෙන ගෙදරක. ඒ දෙන්නට අඩුවක් වෙන්න දෙන්නෙ නෑ මං කවදාවත්. මොකද මම බිංදුවටම වැටිලා ඉද්දි මේ දෙන්නා තමයි මට හයියක් වුණේ.


"මොනාද ඔය ?"


"චොක්ලට් පුඩින් තියෙනවා, චොකලට් කුකීස් තියෙනවා. උබ කන්න ආසම දේවල් හදාගෙන ආවා."


"ඒ මොකටද. මොකක්ද තියෙන විශේෂත්වේ."


ඔළුවට අතක් ගහගෙන මම එහෙම අහද්දි දෙන්නා මගෙ අතට කුකීස් දාලා තිබුණු පෙට්ටිය දීලා එහා සෝෆා එකකින් වාඩි වුණා. ඇත්තටම මොකක්ද මට මෙච්චර දේවල් ගේන්න තරම් විශේෂත්වේ ?


"තව වීක් එකකින් හේෂාන්ගෙ බර්ත්ඩේ එක. අපි දෙන්නට ඉන්විටේෂන් එවලා තිබුණා පාර්ටි එකට."


"ඔව් මින්දි.. මට නම් විශ්වාස කරගන්න බෑ එයා අපිටත් එව්වා කියලා 🥳️."


එයාලා කියනකම්ම මට මතක් උනේ නෑ මේ නොවෙම්බර් කියලා. හරියටම නොවෙම්බර් 30 ට තව සතියයි තියෙන්නේ. මම කීයටවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ හේෂාන්ගෙ බර්ත්ඩේ එකට යන්න. ඒත් එයා අයියටයි අක්කටයි ඉන්විටේශන් එක දෙන බව මම හොඳටම දන්නවා.


"උබට එව්වෙ නැද්ද ඉන්විටේෂන් ?"


"තාම නෑ."


"එහෙනම් අයියට දෙයි උබට දෙන්න කියලා."


"ඔව්.. සමහරවිට."


"දුන්නොත් උබ යනවා නේද. නොයා කොහොමද ඉතින්. දැන් ඉතින් හේෂාන් එක්ක ඩීල්ස් හිටන් ගහන්න අරගෙනලුනේ. ඔෆිස් එකේ ඒ ගැන ගොසිප් යනවා හෙනට."


"පර්සනල් ඩීල් නෙවෙයි. බිස්නස් ඩීල්ස් විතරයි මම එයා එක්ක ගැහුවේ."


"හරි හරි ඉතින්. දැන් තමුසෙ යනවද පාර්ටි එකට. මොකක්ද අඳින්න හිතන් ඉන්නේ ?"


අයියටයි අක්කටයි ඉන්වයිට් කරලා, මටත් වෙනම ඉන්වයිට් කරොත් මිස මම යන්න හිතන්නෙ නෑ ආයෙමත් එයාගෙ ඉස්සරහට. මොකද මීට අවුරුද්දකට කලින් එයාගෙ බර්ත්ඩේ එක දවසෙම මට මගෙ ඇස් දෙකට දකින්න ලැබුණු ඒ අසුභ සිද්ධිය මතක් වෙන නිසා. මම ආස නෑ ආයෙමත් ඒ සිද්ධිය මතක් කරගන්න.


"මම යන්නෙ නෑ."


"මොකක් 😱."


"ඇයි ?"


"ඇයි කියලා අපියි ඔයාගෙන් අහන්න ඕනි. ඇයි හේෂාන්ගෙ බර්ත්ඩේ එකටවත් යන්නෙ නැත්තේ ?"


"එයා තාම මට ඉන්විටේෂන් එක එව්වෙ නෑ. එව්වොත් යනවා."


"අක්කට හරි අයියට හරි එව්වොත් ?"


"එයාලා ගියදෙන්."


"මින්දි ඇයි ඔයා ඔහොම.. හේෂාන් ඔයාට මහලොකු වැරැද්දක් කරලා නෑනේ."


"ඔයාලා කියන්නේ එයා කරපු වැරැද්ද පොඩි එකක් කියලද. එයා හැසිරුණු විදිහට මට රිදුනේ මගෙ හිත ගලක් නිසාද."


ටනාෂියා කිස් කරනකම් බලන් ඉඳලා, මට එයාව අමතක කරන්න කියලා, මාව ඔෆිස් එකෙන් එළව ගත්තේ, හේෂාන් එයාගෙ කැමැත්තෙන්, එයාගෙ හිතට එකඟව නෙවෙයිද. එහෙම නෙවෙයි නම් ඒක ලෝක පුදුමයක්.


"දැන් ඒවා වෙලා ඉවරයි බන්. ඕවා අමතක කරන්න. දැන් ඉන්න හේෂාන් ඉස්සර හේෂාන් නෙවෙයි."


"ඔව්.. මේ ඉන්නේ මගෙ Ex උන හේෂාන් නෙවෙයි. එයා ටනාෂියාව ඒ පොසිෂන් එකෙන් අයින් කරලා. ඒත් කලින් වුණ නෙගටිව් දේවල් නම් මගෙ හිතින් යන එකක් නෑ ලේසියකට."


"කවද්ද බන් උබ හේෂාන්ට වෛර කරන්න පටන් ගත්තේ ?"


"මට එයා එක්ක වෛරයක් නෑ දුල්. එයා කරපු දේවල් වලට මගෙ හිත රිදිලා තියෙනවා මිසක්."


"හරි ඉතින් දැන් ඒවා වෙලා ඉවරයිනේ."


මුලදි මාත් එහෙම කියලා හිත හදාගන්න බැලුවා. ඒත් ඒක ජෝක් එකක් විතරමයි. එයා දැන දැනම මගෙ හිත රිද්දන්න කොහොම හිත හදාගත්තද කියලා මම දන්නෙ නෑ. ඒත් ඒ දේවල් නිසා මට රිදුන තරම් එයා දන්නවා නම්.. අදත් එයා මාව මෙහෙම රිද්දන්නෙ නෑ සැරෙන් සැරේට.


"සජී උබ දන්නවද. මේකි මෙහෙම කිව්වට හිත ඇතුලෙන් හේෂාන්ට පට්ටටම ආදරෙයි. මට ටූ හන්ඩ්ර්ඩ් ප්‍රසන්ට් ශුවර් 😌."


"ඔව්.. මෙයා මේ බොරුවට අපිව අන්දන්න හදනවා. අපි දන්නවනේ තමුසෙ ගැන. ඉබ්බා කෝට්ටෙ එල්ලුනා වගේ තාම අතෑරගන්න බෑ කියලා අපි හොඳටම දන්නවා."


එයාලා එහෙම කියද්දි අවාරා සාලෙට ඇවිත් තේ කෝප්ප තුනක් තියලා ගියා. එයාලා කිව්ව කතාව වැරදියි කියන්න බෑ මට. මොකද අදටත් මගෙ හිතේ ඉඩක් තියෙන එකම කෙනා හේෂාන් විතරයි. ඒ තැන මගෙ අයියටවත් ගන්න බැරි වේවි කවදාකවත්.


"බොරු සමයං දාන්න එපා මින්දියෝ. අපි දන්නවා ඔයා ගැන."


"ඔව්.. දැන් ඔය බලන් ඇත්තේ හේෂාන් ඇවිත් ඉන්විටේෂන් එක දීලා ඔළුවත් අතගාලා යනකම් වෙන්න ඇති. බලන් ඉන්නකො එහෙනම්."


ඒ දෙන්නා එහෙම කියද්දි මම අහකට ඇස් හරවන් හිනා වුණේ තේ උගුරක් බොන ගමන්. තේ බොන්න ආස නැති උනත් දැන් බිස්නස් වැඩ එක්ක ටයර්ඩ් වෙද්දි, නිදිමත එද්දි, බීලා ඒ ගතිය නිවාගන්න හුරු වෙලා.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකපාරටම සාලේ තිබුණු ෆෝන් එකට කෝල් එකක් ආවා. මම තේ එකත් ටේබල් එක උඩින් තියලා ගිහින් ෆෝන් එක ආන්ස්වර් කරා. දැන් අර දෙන්නා මගෙ දිහා සූක්ෂම විදිහට බලන් ඉන්නවා කෝල් එකෙන් කතා කරන්නේ හේෂාන් වෙන්න ඇති කියලා හිතලා.


"මින්දි.. මම හේෂාන්."


දුල්නෙත්මියි සංජානායි දිහා බලාගෙන හිටපු මට මගෙ කන ලඟින්ම හේෂාන්ගෙ කටහඬ ඇහුණා. එතකොටයි මට මතක් උනේ මම ෆෝන් එකේ ස්පීකර් එක අතේ තියන් ඉන්නවා කියලා.


"හේෂාන් ?"


"හ්ම්ම්.. මම තමයි."


කෙල්ලොන්ට නොඇහෙන්න මම අහද්දි හේෂාන් එහෙම කිව්වා. පුදුමයක් නෙවෙයි මේක. සමහරවිට එයා මට බර්ත්ඩේ එකට ඉන්වයිට් කරන්න වෙන්න ඇති මෙහෙම කතා කරන්න ඇත්තේ. දුල්නෙත්මිටයි සංජානාටයි දැනටමත් ඉන්විටේෂන් යවලනේ.


"බර්ත්ඩේ එකට ඉන්වයිට් කරන්න කතා කලේ."


"එහෙමද.. මම හිතුවෙ නෑ මිස්ටර් යුවසිංහ මට ඉන්වයිට් කරයි කියලා."


"First of all.. මට මිස්ටර් යුවසිංහ කියන එක නවත්තගන්න මින්දි. මම ආස නෑ ඒකට පොඩ්ඩක්වත්."


එයාගෙ තරහා මුසුවුණු කටහඬ ඇහෙද්දි මම ෆෝන් එකේ ස්පීකර් එක අත් දෙකට තද කරගත්තා. ආයෙමත් ඊයෙ රෑ මට දැනුණු ඒ අමුතු හැඟීම දැනෙනවා. ඇයි මම හේෂාන්ගෙන් දුරස් වෙන්න හැදුවත් මට එයාව බලන්නෙ නැතුව ඉන්න බෑ වගේ දැනෙන්නේ. එයා ආයෙමත් මගෙ ඉස්සරහට ආපු වෙලේ ඉඳන් මොකක්ද මට මේ හැදිලා තියෙන අසනීපේ ?


"හ්ම්."


"ඔයා මගෙ ඉස්සරහා Stranger කෙනෙක් වගේ හැසිරෙන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ මින්දි. මොකද ඔයා මගෙ Ex. ඔයාමයි මට කිව්වේ අපි දෙන්නා අපිව මගාරින්න ඕනි නෑ කියලා."


"......"


මේ ඊයෙ හිටපු හේෂාන් නෙවෙයි. මම හොඳටම දන්නවා. ඊයෙ හිටපු හේෂාන් හුදෙක්ම මහීක රූපසිංහ ඉස්සරහා රඟපාන නළුවෙක් විතරයි කියලා. බිස්නස් වලට වෙන කෙනෙක් වගේම ෆැමිලියර් අයට වෙනම කෙනෙක් එයා. අද අපි එකතු වෙලා හිටියත් වෙන් වෙලා හිටියත් මම දන්නවා එයා මගෙ ඉස්සරහා හාත්පසින්ම වෙනස් පිරිමි කෙනෙක් කියලා. ඒ තමයි මම මීට අවුරුදු 10 කට විතර කලින් දැනගෙන හිටපු හේෂාන් යුවසිංහ. මම හිතුවට අවුරුදු 10 කට පස්සෙ ඉන්න මේ හේෂාන් යුවසිංහ වෙන කෙනෙක් කියලා, ඒත් ඒක වැරදියි වගේ..


"ඔයා දැන් බිසීද ?"


"නෑ හේෂාන්.. කියන්න මං අහන් ඉන්නේ."


"හ්ම්.. අපේ කැන්ඩි හොටෙල් එකේ මේ පාර මම බර්ත්ඩේ එක ගන්න හිතුවේ. ඔයාගෙ අයියටයි අක්කටයි දෙන්නටම මම ඉන්විටේෂන් එක යැව්වා. සමහරවිට ඔයාටත් අද හවස් වෙද්දි ලැබෙයි. ලේට් උනාට සොරි."


"ඒකට කමක් නෑ. ඉන්වයිට් කරපු එකත් ලොකු දෙයක්."


"ඇයි එහෙම කියන්නේ ?"


"සාමාන්‍යයෙන් තමන්ගෙ Ex ට කව්ද බර්ත්ඩේ පාර්ටි එකකට ඉන්වයිට් කරන්නේ. එයා ඇවිත් පාර්ටි එක රුයින් කරයි කියලා බය හිතෙනවනේ."


"මින්දි ගැන මම හොඳට දන්නවා කියලා ඔයා දන්නවනේ."


"ඔව්.. ඒත් මේ ඉස්සර මින්දි නෙවෙයිනේ."


"නෑ.. මේ ඉස්සර මින්දිම තමයි. පිටට පෙන්නන බොරු රඟපෑම අයින් කරලා දැම්මොත් මේ ඉන්නෙ කලින් මගෙ Ex වුණ මින්දිම තමයි."


ඔයා සම්පූර්ණයෙන්ම හරි. මම සෙල්ෆ් මේඩ් කෙල්ලෙක් දැන්. ඒත් ඉස්සර හිටපු මින්දි තවමත් මගෙ ඇඟ ඇතුළෙ ඉන්නවා. හැබැයි මම කැමති නෑ ඒ කෙනාව ආයෙමත් පිටට පෙන්නන්න. මොකද මම ඒ කාලේ පොඩි දේටත් දුක් වෙලා අඬපුවා දැන් මට ඇති වෙලා. මම මගෙ කඳුළු වලට දැන් වෛර කරනවා.


"So.. ඔයාට එන්න පුළුවන්නේ ?"


"ඔව්.. මං එන්නම්."


"එහෙනම් අනිවාර්යයෙන්ම එන්න. මං බලන් ඉන්නවා."


බලන් ඉන්නවා කිව්වද එයා. දැන් නම් මට විශ්වාසයි මේ ඉන්නේ ඉස්සර හිටපු හේෂාන් යුවසිංහම තමයි කියලා. ඒත් එයා ඉස්සර වගේ තවමත් මාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.


"කව්ද බන් කතා කරන්නේ. උබට අලුත් කොල්ලෙක් සෙට් උනාද මල් කඩන්න."


එකපාරටම දුල් එහෙම කියාගෙන මගෙ ලඟට එද්දි මම ස්පීකර් එක පහලට දැම්මේ කෝල් එක කට් නොකර. මට හේෂාන්ට 'කෝල් එක තියන්නම්' කියන්නත් බෑ කෙල්ල මගෙ ලඟට වෙලා එහෙට මෙහෙට හැරි හැරි බලන නිසා.


"නෑ.. මේ.. ඉන්ටර්නෙට් සර්විස් එකකින් නිකන් කෝල් එකක් ඇවිත්."


"ඒවාගෙ රෙකෝඩින්ස් නේ යන්නේ. ඇයි එහෙනම් තමුසෙ තනියම කතා කරන්නේ ?"


"මම ඒ කෙල්ල කියන ඒවා රිපීට් කරා. දන්නැද්ද ඉතින් මං ගැන 😄."


මම එහෙම කියද්දි දුල් මගෙ අතින් ෆෝන් එකේ ස්පීකර් එක උදුරලා ගත්තා. මගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එක වින්ටේජ් ෆෝන් එකක්. මොකද මම ඇන්ටික් දේවල් වලට ආසයි. ඉස්සර අපි ඉන්ටර්නෙට් සර්විස් එකකින් කෝල් එකක් ආවම එකේක ඒවා කියලා ඒ රෙකෝඩ් එකේ යන ගෑනු කටහඬට බනිනවා. ඒත් අවුලකට තියෙන්නේ දැන් මේ ෆෝන් එකේ කෝල් එකක හේෂාන් ඉන්නවා කියන එක. දුල් මොනා කියයිද දන්නෑ එයාට.


"හෙලෝ.. කව්ද මේ.."


හේෂාන් සද්ද නොකර ඉන්නවාද කොහෙද. ටික වෙලාවක් යද්දි දුල් අතින් පෙන්නුවේ 'කවුරුත් කෝල් එකේ නෑනේ' කියලා කියන්න වගේ.


"කෝ බන්.. උබට අව්ව සැරට මොලේ කරවෙලාද කොහෙද. කෝල් එකකුත් නෑ සද්දෙකුත් නෑ."


"එහෙනම් කට් වෙන්න ඇති."


ඒත් තාමත් දුල් ෆෝන් එකට කන තියාගෙන හොඳට අහගෙන ඉන්නවා. ශුවර් හේෂාන් සිග්නල් නැතුව ඇති කියලා හිතන් කට් කරන්න ඇති කෝල් එක. නැත්තම් දුල් එක්ක කතා කරනවනේ.


"හෙලෝ.. හව් ආ යූ. අයිම් අන්ඩර් ද වෝටර්. ප්ලීස් හෙල්ප් මී."


දැන් මට හිතෙනවා හේෂාන් කෝල් එක කට් කරපු එකම හොඳයි කියලා. මොක්ද මේ කෙල්ල කියන ඒවා අහන් හිටියොත් එහෙම එයා හිතයි මටත් පිස්සු කියලා 🤦.


"ඈව්.. හේෂාන් 😩."


දුල්නෙත්මි එකපාරටම මගෙ අතට ස්පීකර් එක දීලා එහෙම කියාගෙන සෝෆා එකට ගිහින් කොට්ටෙකින් මූණ වහගත්තා. ඒ කියන්නේ මම හිතපු විදිහට හේෂාන් කෝල් එක කට් කරලා නෑ. එයා ඒ සේරම අහන් ඉඳලා.


"සොරි හේෂාන්.. දුල්නෙත්මි දන්නෙ නෑ ඔයා ලයින් එකේ කියලා."


"හ්ම් හ්ම්.. එහෙනම් එයාට කියන්න ඉක්මනින් වතුරෙන් ගොඩට එන්න කියලා. නැත්තම් අසනීප වෙයි කියන්න."


එයාට හිනා යන හැටි මට මැවිලා පෙනුණා. මොකද මට ඒ කටහඬින් තේරුණා එයා හිනා වෙනවා කියලා. මේ කෙල්ලට නම් නිකන් ඉන්න බෑනේ. මගෙ නම්බුව කනවා කොයි වෙලේ හරි.


"අහ්.. මං පාර්ටි එකට එන්නම් හේෂාන්.. Bye."


එහෙම කියපු මං ඉක්මනින් කෝල් එක කට් කරලා කෙල්ලො දෙන්නා දිහාවට හැරුණා. සංජානා දුල්නෙත්මිට ජෝක් කර කර හිනා වෙනවා එයා ඒක එවෙලේ කිව්ව විදිහ රඟපාලා පෙන්නලා. දුල්නෙත්මි ලැජ්ජාවට තාමත් මූණ වහගෙන.


"හේෂාන් කියන්න කිව්වා ඉක්මනින් වතුරෙන් ගොඩට එන්න කියලා. නැත්තම් ලෙඩ වෙයි කිව්වා."


"ඒ බූරුවා මම කියන ඒවා අහන් ඉඳලානේ. ඒ උනාට සද්දයක්වත් කලේ නෑ 🥴️."


"දැන් ඉතින් එයා ඕක කිය කියා හිනා වෙන්නෙ මටම තමයි."


එහෙම කියපු මම සෝෆා එකෙන් ඉඳගත්තේ එයාලා ගෙනාපු කුකී එකක් අතට ගන්න ගමන්. බැරිවෙලාවත් හේෂාන්ට මෙයා කිව්ව එක මතක තිබ්බොත් එහෙම මගෙන් අහයි අනිවාර්යයෙන්ම 'දුල්නෙත්මි තාම වතුර යටද' කියලා. නැත්තම් පාර්ටි එක දවසේ දුල්ගෙන් අහයි 'දැන්ද වතුරෙන් ගොඩට ආවේ' කියලා. හැබැයි ඔය මොන දේ හේෂාන් කිව්වත් ඒකෙන් චාටර් වෙන්නෙ මම ම තමයි.


................................................... 🖤 ...


දුල්නෙත්මි මින්දිගෙ සායම හේදුවා නේද 😂


හෙලෝ හව් ආර් යූ.. අයිම් අන්ඩර්ද වෝටර්.. ප්ලීස් හෙල්ප් මී ගායිස් 🤧


Sachy Collins

Report Page