Spring is far away - 27
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 27 | Pain
කලන්තෙ දාන්න වගේ මගෙ ඇස් නිලංකාර වෙද්දි ඒ අත් දෙක මගෙ බඳ වටේ එතුනා. මාත් ඒ ටී ශර්ට් එක මිරික ගත්තා. මට ඇස් ඇරගන්න පුළුවන් උනේ එයා ටිකක් එහාට උනාම. ලැජ්ජාවට ඒ මූණයි මගෙ මූණයි දෙකම රතු වෙලා. මං රතු උනාට වැඩිය පේන්නෙ නෑ. මං දුඹුරු පාටයිනේ. ඒත් එයා සුදු නිසා මට දැන් පේන්නෙ තක්කලි ගෙඩියක් වගේ. මම රෙවෙලෝ ක්‍රිස්පි චොකලට් එකක් නම් එයා රිට්ස්බරි වයිට් චොකලට් එකක් වගේ. මම හැම තැනකදිම සුදු ගෑනු ළමයෙකුට චොකලට් පාට පිරිමි ළමයෙක් මැච් වෙනවා කියලා අහලා තිබුණත්, චොකලට් පාට ගෑනු ළමයෙකුට වයිට් චොකලට් පාට පිරිමි ළමයෙක් ලැබුණම පේන ඒ අමුතුම මැචින් එක අපේ එෆෙයා එකෙන් දැක්කේ.
එයා තොලකුත් හපාගෙන ම ඈත පහුවෙන තේ වතු දිහා බලන් ඉන්නවා. මම එයා දිහා බලාගෙන. එකපාරටම එයා මං දිහාට ඇස් හරවද්දිම මගෙ ඇස් තේ වතු පැත්තට හැරුණා.
"අලුත් සෙල්ලමක්ද ?"
"මොකක්ද ?"
"බලාගෙන ඉඳලා අහක බලාගෙන ඉන්න එක."
"නෑ."
මං අත් දෙකත් බැඳගෙනම ලොකුකමට කතා කරද්දි එයා මං දිහාම එක එල්ලෙ බලන් හිටියා. ඒත් මගෙ පපුව සිස්ටර් කිව්ව දේවල් වලින් ගිනි අරගෙන. මට ඕනි හේෂාන්ගෙන් ඇත්ත අහන්න.
"හේෂාන්.."
"ම්ම්.."
එයා මගෙ ඇස් දිහා බලන් හිටියා. ඒ ආදරණීය බැල්ම දැක්කම නම් මට හිතෙන්නෙ නෑ එයා මාව රවට්ටයි කියලා. ඒත් සිස්ටර්ගෙ කටහඬත් එක්කම එයා කියපු දේවල් මගෙ මනස පුරාම පැතිරිලා.
"ඔයා මාව දාලා යනවද ?"
ඒ බැල්ම ක්ෂණයකින් තරහකට පෙරළුණා. තත්පරයක් දෙකක් යන්නත් කලින් එයා ඇවිත් මගෙ උරහිස ගාවින්ම කෝච්චියේ දොරට අත තියලා මගෙ මූණට ලං උනා..
❝ මං බොරු කරන මනුස්සයෙක් නෙවෙයි මින්දි.. ඔයාට දුන්න පොරොන්දුව අද ඒ විදිහටම ඉශ්ට වේවි ❞
එයා උදේ ට්‍රේන් එකෙන් බහිද්දිම මට එහෙම කිව්වා. ඉතින් ඇයි මගෙ හිත එයා ගැන මේ ටිකට අවිශ්වාසයක් ගොඩනගා ගත්තේ.
"සිස්ටර් මොනාද කිව්වේ ?"
එයා එහෙම අහද්දි මං ගැස්සුනා. මට තේරුණා එයා මගෙ වෙනස හොයා ගන්න ඇති කියලා. එයාට ඕනිම මනුස්සයෙක් හැරෙද්දි වෙන දේ හිතා ගන්න පුළුවන්. විශේෂයෙන්ම එයාගෙ ආදරේ උන මම.
"නෑහ් මේ මං කිව්වේ.."
"මං අහපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්න."
එයා ටිකක් සද්දෙන් මගෙ මූණට ලං වෙලා කියද්දි මගෙ ඇස් වලින් එන්න තිබ්බ කඳුළු මම, ආයාසයකින් නවත්ත ගත්තේ එයාගෙ හිතත් රිද්දන්න බැරි නිසා.
"සිස්ටර් කිව්වද මං ඔයාව රවට්ටයි කියලා, ඔයාට යන එනමක් නැති කරයි කියලා, ඔයාව අනාථ කරයි කියලා."
"නෑ.. එහෙම.. නෙවෙයි."
"එයා කිව්වද මගෙන් පරිස්සම් වෙන්න, මාව ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කියලා ?"
"අනේ නෑ.."
"මට කමක් නෑ මින්දි. ඔයා අද මං එක්ක මේ ගමන ආවෙ නැති උනා නම් ඔයාට කොහොමවත් යන එනමක් නැතුව යනවා. ඔයා දන්නවනෙ ඕෆනේජ් එකේ ඉන්න පුළුවන් ඔයාට ටික කාලයයි. විස්සක් උනාම එයාලා ඔයාලව සල්ලි දීලා වත් තියා ගන්න එකක් නෑ. ඊටපස්සෙ මොකද වෙන්නේ.. ම්ම්.."
මට හිතාගන්න පුළුවන් මීට පස්සෙ වෙන දේ. සල්ලි හොයන්න අනේක දුක් විඳින්න වෙයි. හැමදාටම විඳවන්න වෙයි කාත් කවුරුත් නැතුවම. මට දැනුයි දැනෙන්නේ මට හේෂාන්ව හම්බුණේ පෙර පිනකට කියලා.
"ඔයාට ඔය කේක් කෑලි දෙක තුනක් කඩේට දාලා දවසකට ඇති වෙන්න සල්ලි හොයා ගන්න පුළුවන්ද, එහෙම හොයාගෙන ගෙයක් දොරක් හදා ගන්න පුළුවන්ද, තමන්ට කියලා සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුළුවන්ද, තමන්ට කියලා ඇඳුමක් ගන්න පුළුවන්ද, අඩුම ගානෙ හාල් ටිකක් අරගෙන බත් ටිකක් හදලා මාලු දෙකක් වත් හදා ගන්න පුළුවන් වෙයිද ?"
එයා අත් දෙකත් දිගෑරලා ඔළුව දෙපැත්තට වැනුවා. දැනටමත් මගෙ ඇස් වලින් කඳුළු ඇවිත්. එයා කියන විදිහ මට මැවිලා පෙනුණා මං ඉන්න විදිහ.
"බැහැ.. ඔයා ගෑනු ළමයෙක්. ඔයාට තව මොන තරම් අවශ්‍යතා තියනවද. ඔයාට පුළුවන්ද ඒවා කරගන්න.. බෑ.. ඔයාට අඩුම එක තත්පරයක් සැනසීමෙන් ඉන්න පුළුවන්ද.. ඒකත් බෑ.."
මගෙ ඇස් වලින් කඳුළු වැටෙද්දි මං ඒ පපුවට තුරුලු උනේ එයාගෙ අත් දෙක මගෙ ඇඟ වටේ එතෙද්දි. ඒ උනුහුමට මං ගුලි වෙද්දි මගෙ කඳුළු ඉබේටම නැවතුණා වගේ. එයා කිව්ව හැමදේම ඇත්ත. මම හිඟන්නෙකුටත් වඩා අන්තවෙයි අද හේෂාන් නැත්තම්..
ටික වෙලාවක් යද්දි මං ටිකක් ඈත් උනා. හිටගෙන ඉඳලා මගෙ කකුල් පවා රිදෙනවා.
"බොරු කියන්න ඕනි නෑ මින්දි. මම ආදරේ ඔයාගෙ මෙතෙනට නෙවෙයි."
එහෙම කියලා එයා මගෙ ගවුමෙන් ඇරුණ පපුව උඩට ඇඟිල්ල තියද්දි මං නිකන්ම රතු උනා. ඒ පළවෙනි වතාව එයා මගෙ ඇඟේ වෙන තැනකට අත තියපු.
"මං ආදරේ ඔයාගෙ ඇතුළෙ ඉන්න කෙනාට, ඒ ගතිගුණ වලට. ඒ විතරක්ම නෙවෙයි. ඔයාගෙ පිට පෙනුමට. මට ඉස්සෙල්ලාම ඔයා දැක්කම හිත ගියේ ඔයාගෙ රූපෙට. නැතුව හදවතට නෙවෙයි. ඒක මට පේන්නෙ නෑ. මොකද ඒක ඇඟ ඇතුළෙ තියෙන්නේ. එහෙමයි කියලා මං ඇඟ පළලා ඒක බලන්න යෑ."
එයා එහෙම කියද්දි මගෙ අත් දෙක ගියේ ඒ කම්මුල් වලට. වෙලාවකට එයා කියන ඒවට හිනාත් යනවා. විශේෂයෙන්ම තරහා ගිහාම.
"ඔයාට ඉස්සෙල්ලාම මාව දකිද්දි කැමැත්තක්ද ඇති උනේ ?"
"ම්ම්හ්.. නෑ.. මට දැනුණා.. ඒක එක එල්ලෙම ඇති උන ආදරයක්.."
ඈත මුදුන් වෙන ඉර දිහා බලාගෙනම එයා කියෙව්වා. ඉර එළියට ඒ ඇස් වල පාට අළුපාටට වගේ හැරුණා. මං අද මයි දැක්කෙ ඒ කළුපාට ඇස් වෙනමම පාටකට. ඒකත් දුඹුරු පාට නෙවෙයි. අළු පාටට ?
"මතකද එදා හවස.. ස්පෝර්ට් මීට් වලට ලෑස්ති වෙන කාලේ. ඔයා කලර් කිට් එකෙන්ම කොණ්ඩෙත් කඩාගෙන ආවේ බස් එකට නගින්න. එදා මං හිටියේ බස් හෝල්ඩ් එකේ අපේ සෙට් එකත් එක්ක. එවෙලෙ තමයි මං ඔයාව ඉස්සෙල්ලාම දැක්කේ."
මට ලැජ්ජත් හිතුණා එයා එහෙම කියද්දි. ඉස්සර මං වැලහින්නක් වගේ. ඒ විතරද හපුටු ශේප් එකක් තිබ්බේ. එහෙම එකේ එයා මොන හේතුවකට මට ආදරේ කලාද මංදා.
"පස්සෙ ඔයා ඇතීනා යන ඉවෙන්ට් එකට හිටියා. ඔයා හිටියේ අන්තිම පෝළිමේ දකුණු පැත්තෙ අයිනේ. එදා ඔයා කොණ්ඩෙත් කඩලා මල් ගැහුවම සුරංගනාවියක් වගේ ලස්සනට හිටියා මින්දි. මං දැක්කා ඔයාගෙ ඒ ලස්සන හිනාව. ඔයාගෙ දිග සුදු පාට දිළිසෙන ගවුම මට අදටත් මතකයි මින්දි.. මං ගිය සතියෙ අපේ ස්කූල් එකේ ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් විදිහට හවුස් මීට් එකට ගියා. ඒ ඇදුම් හැම දෙයක්ම වෙනස් වෙලා. ඔයා ඇන්ද ගවුම අද නෑ."
එතකොට ඒ කාලෙ ඉඳන්ම එයා මං දිහා බලාගෙන ඉඳලද. ඒ හිතද්දි තමයි මට මතක් උනේ.
එදා රුවිනි මට බැන්න දවසෙ මං ගල් පඩිය ගාවට වෙලා අඬ අඬා ඉද්දි එයාගෙ ඇස් කොනෙන් මං දිහාවට හැරිලා තිබුණා මං දැක්කා. දෙවියනේ මං එයා ගැන හිතන් ඉඳලා, එයා මං ගැන හිතන් ඉඳලා මෙච්චර කල් මොනාද කරේ. ඇයි අපි කවුරුත් ඉස්සර නොවුනේ. ඇයි පරක්කු වෙලා අපිව හම්බුණේ ?
"එදා ඉඳන් තිබ්බ ඒ ආදරේ.."
එයා ඒ අත් දෙකට මාව මැදි කරගත්තේ මගෙ මූණට ආයෙමත් සැරයක් ලං වෙන ගමන්..
"අදටත් අඩුවෙලා නෑ සුදු නෝනා 😌."
ඒ දෙතොල් මගෙ ලඟටම එද්දි මං එයාව තල්ලු කරලා ගියේ ශීට් එකට. අඬන්න වගේ හිටපු මම දැන් මූණටත් අත් දෙක ගහගෙන ග්ලාස් එකට හේත්තු වෙලා ඈත කඳු දිහා බලන් හිටියා. ටික වෙලාවකින් එයත් ඇවිත් මං ගාවින් ඉඳගෙන තුරුලු උනා. අද තමා මගෙ ජීවිතේ සතුටුම දවස. අපි දෙන්නා අපේම කියලා ලෝකෙකට යන දවස..
කාටත් හොරෙන්ම..
°•°•°•°
❝ මම ඔයාට ආදරේ නෑ දැන්. මම ආදරේ රාදිතාට. ඒ නිසා මාව අමතක කරලා මගෙ ජීවිතෙන්ම යන්න. ප්ලීස්.. ආයෙ මට වදයක් වෙන්න එපා ❞
හේෂාන්ගෙ කටහඬ මගෙ මනස පුරාම දෝංකාර දෙද්දි මං ඇඳේ ගුලි උනේ කොට්ටෙන් කනත් වහගෙන. ඒ ලස්සන මිහිරි අතීතය වෙනස් වෙන්න එකම එක නිමේෂයයි ගියේ. තත්පරයක් ගාණක් වගේ. අද මං ඒ මතක අතරේ ගිලෙනවා වගේ. එච්චර මං එක්ක ආදරෙන් හිටපු කෙනා කොහොම වෙනස් උනාද මට හිතා ගන්න බෑ. එදා එයා එයාපෝර්ට් එකේදි මට එහෙම කියද්දි මං හිතුව එයා මට ජෝක් එකක් කරනවා කියලා. ඒත් ඒක ඇත්තක් වෙලා.
❝ අද නෙවෙයි. අනාගතේ කවදාම හරි දවසක මං ඔයාව මගේම කරගන්නවා මින්දි. ඒක නවත්තන්න බෑ කාටවත් ❞
ඒ කටහඬ ආයෙමත් මගෙ ඔළුව ඇතුලෙන් ඇහෙනවා. හඳ එළියෙන් එළිය උන කාමරේ.. නෑ.. අවුරුදු ගාණක එයා එක්ක මතක පිරුණ ඒ පුංචි කාමරේ, කඳුළු වලින් පෙඟුණ සුදු ඇතිරිල්ලකට ගුලි උන මං ඒ ශාපය විඳිනවා. එයා මට ඉතුරු කරලා ගියපු ප්‍රශ්න වලට මම තාමත් තනියම උත්තර හොයනවා..
අලුත් දවසක් 🌞☁️🍃..
"පොඩ්ඩක් ඉන්න නෝනා.. තව විනාඩි පහකින් මාළුව ඉදෙයි."
"අහ් කමක් නෑ. මට බඩිගිනි නෑ."
මං කහ පාට ගවුමකුත් දාගෙන සෝෆා එකෙන් ඇල උනේ දිනුමි කුස්සියට යද්දි. එයාගෙ නරක පාටක් නෑ. හොඳයි වගේ. ඒත් මට එයාව මෙතනින් යවා ගන්න ඕනි. ඉස්සෙලා මට කාර් එකයි ගේයි දුන්නා. ඊට පස්සෙ ඩ්‍රයිවර්ව. ඒ පාර වැඩ කරන්න ගෑනු ළමයෙකුත් දීලා. වෙන කව්ද ඉතින් ඔය මුරණ්ඩු හේෂාන් ම තමයි. දැන් මේ ගෑනු ළමයා ශේප් එකේ ගෙනත් දැම්මෙ මට පංගාත්තු කරන්න.
ඊයෙ රෑ හරියට නින්දක් නෑ මට. හේෂාන් මගෙ හිතට ආයෙමත් ආපු දවසෙ ඉඳන් මගෙ නින්දත් නැති වෙලා ගිහින්. ඉතින් මං චුට්ටක් නිදාගන්න හිතුවා සෝෆා එක උඩ. ජනෙල් ඇරියම මාර හුලඟක් එන්නේ සාලෙට.
ඉතින් මං සැපට නිදි..
........
"මොකද උනේ ?"
"සිගන්ල් අවුල් බන්. මං පස්සෙ ගන්නම්."
"හ්ම්.."
සියුම් සද්දයක්වත් නොඑන්න හේෂාන් මින්දිගෙ ගෙට ඇතුල් උනේ ෆෝන් එක කට් කරන ගමන්. කෙල්ල සෝෆා එක උඩ නින්ද ගිහින් ඉන්නවා දැක්කම එයා බය උනා. ඒත් අවුලක් නෑ හොරෙන්ම යනවා කියලා කොල්ලා හිමිහිට කුස්සියට ගියා.
දිනුමි හේෂාන් කුස්සියට එද්දිම හිනා උනේ හොද්දත් හැඳිගාන ගමන්.
"ඔයා ඉක්මනින් ඇවිත්නේ අයියේ. මං හිතුවා පරක්කු වෙයි කියලා."
"මං එනවා කියලා මින්දිට කිව්වෙ නෑ නේද ?"
"නෑ අයියේ."
කොල්ලා මේසෙ උඩින් පාර්සල් එකක් තිබ්බා. දිනුමි ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ ඒ මොකක්ද කියලා. සුවඳින් නම් තේරුණා මොනාද කියලා.
"මේ ඇයි ?"
"බත් එකක්."
"තමුසෙ හදන කෑම කන්න පුළුවන්ද බන්. අර කෙල්ලට දවසෙම ඉන්න වෙන්නෙ වොශ් රූම් එකේ."
දිනුමි හේෂාන්ට කින්ඩියට හිනා වෙවී එහෙම කියද්දි කොල්ලට තරහා ගිහින් ඔළුවට පාරක් ගහලා ෆැන්ට්‍රියට හේත්තු උනා. කෙල්ල ඔළුවත් අල්ලගෙන හේෂාන්ට රැව්වා.
"තමුසෙගෙ කට වැඩියි දැන් 😑."
"මේ.. මට මේ මාසෙට හරියන්න ලක්ෂයක් දෙනවා.. හාද.. මට ශොපින් කරන්න යන්න ඕනි."
"තමුසෙ මෙහෙ ඉඳන් උයනවායි ගේ අස් කරනවායි විතරයිනේ. මොකටද ඕකට ලක්ෂයක් ?"
"ඇයි මං මින්දි ගැන ඔත්තු දෙන එකට."
"කට වහගන්නවකෝ.. ඒ කෙල්ල ඇහැරෙයි."
"ආයෙ ඇහැරෙන එකක් නෑ. ඊයෙ රෑ එකත් පහුවෙලා නිදාගත්තේ."
"මොකක් ?"
හේෂාන් බය වෙලා වගේ දිනුමිගෙන් ඇහැව්වා. එයා දන්නවා ඇයි ඒ කියලා. මොකද දවල් උන සිදුවීම් නිසා. එයා ඒ ජීවිතේට එන හැම සැරේකම මින්දි ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නවා වගේයි ඉන්නේ. ඒක හේෂාන්ට නෝට් වෙලා තිබ්බා.
"තමුසෙ කියන්න එපා මම තමුසෙගෙ අයියා කියලා."
"අනේ නෑ මං කියන්නෙ නෑ මගෙ සුදු අයියේ 😚."
දිනුමි හේෂාන්ගෙ කම්මුල් දෙක මිරිකද්දි කොල්ලා ඒ අත හැපුවේ දිනුමි කටත් තද කරගෙන අත අහකට ගද්දි. දිනුමි කියන්නේ හේෂාන්ගෙ අම්මගෙ නංගිගෙ දුව, ඒ කියන්නෙ පුංචිගෙ දුව, නුවන්ති අම්මාගෙ නංගිගෙ දුව. දෙන්නාගෙ වයස් පරතරේ නම් අවුරුද්දක් වගේ.
"මං දැන් යනවා. මොකක් හරි දෙයක් උනොත් මට මැසේජ් එකක් දාන්න. එයාට මේක දෙන්න අනිවා."
"කව්ද දුන්නෙ ඇහුවොත්."
"ළඟ ගෙදරක දානයක් හම්බුණා කියන්න."
"පව් අසරණ කෙල්ල 😴."
දිනුමිට ආයෙමත් රිදෙන්න පාරක් ගහපු හේෂාන් කුස්සියෙන් සාලෙට ආවේ මින්දිව හොයන්. එයාට හොඳටම නින්ද ගිහින්. ඉතින් කෙල්ලට එහයින් සෝෆා එකෙන් ඉඳගත්තු හේෂාන් ඒ මූණට ලං වෙලා කෙහෙරැලි අතරේ අත දාලා ඔළුව පිරිමැද්දා. අවුරුදු ගාණකට කලින් හිටපු කෙල්ල දැන් වෙනස් වෙලා පෙනුමෙනුත්..
"Im sorry මින්දි.. මං දන්නවා ඔයාට මේක අමාරුයි කියලා. ඒත් ඔයාට මේකට මූණ දෙන්නම වෙනවා.. මං වෙනුවෙන්."
ඒ කනට නෑහෙන හඬකින් මුමුණපු හේෂාන් ඉක්මනින් ඒ නළල මත සියුම් සිපුමක් තියලා නැගිට්ටා. විනාඩියක් දෙකක් ඒ මූණ දිහා බලන් හිටපු කොල්ලා එතනින් යන්න ගියේ ඒ පර්ෆියුම් එකේ සුවඳ මුළු ගේ පුරාම පැතිරිලා තියෙද්දි..
.................................................. 🖤 ...
බය වෙන්න එපා මම හේෂාන්ට මුකුත් කරන්නෙත් නෑ. ඒ දෙන්නවම සදහටම වෙන් කරන්නෙත් නෑ
Sachy Collins