Spring is far away - 24

Spring is far away - 24

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 24 | Don't hurt her 2


Previous


මං ලඟට යනකම්ම එයා මං දිහා බලන් හිටියා. ඒ ඇඳුමට එයා ආස නැද්ද එහෙම බලන් ඉන්නේ. නැත්තම් ආසාවෙන්ද බලන් ඉන්නේ ?


මට පස්සෙයි මතක් උනේ කොණ්ඩෙ ගැන. ඉස්සරහින් දාලා තියන බැන්ග්ස් දැක්කම එයාට පේන්න ඇති මගෙ කොණ්ඩෙ කපලා කියලා. එයා මගෙන් ඒ ගැන අහයිද දන්නෙ නෑ. මොකද එයාට මගෙ වෙනස තේරෙනවා. අවුරුදු 8 ක් එකට හිටපු මගෙ වෙනසක් හොයා ගන්න බැරි නම් හේෂාන් හොල්මනක් තමයි.


"අපි යමුද."


"අ..හ්.. හරි.."


මං පැසෙන්ජර් ශීට් එකට නගින්න යද්දි එයා ඇස් වලින් පෙන්නුවේ ෆ්‍රන්ට් ශීට් එක. දෙවියනේ මං කොහොමද එයා එක්ක ඉස්සරහා යන්නේ. ඒත් එහෙම කියලා මට මැඩම් වගේ පිටි පස්සෙ යන්නත් බෑනෙ. එහෙම උනොත් ඒ ඇස් හොරෙන්ම මිරර් එකෙන් මගෙ දිහා බලයි. ඊට පස්සෙ අපි දෙන්නා ඇක්සිඩන්ට් වෙයි. අන්තිමට අතපය කඩන් හොස්පිටල් එකේ.


එච්චර ඉරණමක් ඕනි නැති නිසා මං සද්ද නොකර ඉස්සරහට නැග්ගා. එයා කාර් එක ස්ටාර්ට් කරා විතරයි මට මතක එහෙම්ම දාලා ඉගිල්ලුනා වගේ. ඉස්සරට වඩා එයාගෙ වේගෙ දැන් වැඩියි. මං අනන්තවත් බනින්නෙ වේගෙන් යන්න එපා කියලා. ඊට පස්සෙ මොනා හරි උනාම මටමයි දුක.


"දැක්කද ඊයෙ නිවුස් ?"


"ඔව්.. මං ෆෝන් එකෙන් ආටිකල් එක කියෙව්වා."


"මං එදා කිව්ව ගාණ නෙවෙයි මින්දි. ඒක අද ඔයා ගාව තිබ්බා නම් ඔයා තමයි වර්ල්ඩ් රිචස්ට් වුමන්."


ඔව් මං ලෝකෙ ඉන්න ධනවත්ම කාන්තාව වෙනවා. ඒක අද මං ගාව තිබ්බා නම්. ඒත් මට ඒ කුණුගොඩ ආයෙ එපා. මාව ප්‍රතික්ෂේප කරපු අම්මගෙනුයි තාත්තගෙනුයි මට කිසිම වටිනාකමක් එපා.


"කමක් නෑ හේෂාන්. මට ඒකෙන් වැඩක් නෑ. මගෙ සතුට අද මෙහෙම හරි තියෙන්නෙ ඒක විසි කරපු නිසා."


එයා එදා කිව්ව දේ මට ඉක්මනින් මතක් උනා. එයාටත් ඒක මතකයි නම් මට එච්චරයි.


"ඔයා එදා කිව්වනේ. ඒක කවුරු හරි අරගෙන සතුටු වෙයි කියලා. ඒක උනා. ඒ වගේම මම සතුටු උනා. මං ඒක අතෑරපු නිසා."


"මට ඒක එදා දැනුණා. ඒත් ඔයාට දෙයක් හිතෙන්නෙ නැද්ද මින්දි.."


"මොකක්ද හේෂාන් ?"


"ඔයාගෙ අම්මයි තාත්තයි ජෙම් ඩීලර්ස්ලා දෙන්නෙක් කියලා."


අනන්තවත් මට එහෙම නොහිතුණා නෙවෙයි. එච්චර වටින එකක් කාටවත් සල්ලි දීලා ගන්න බෑ. හම්බ වුණොත් විතරයි එහෙම කරන්න පුළුවන්. අනික මිල නියම කරන්න බැරි මැණිකක් දාලා හොරෙන් මාලයක් හදන්න නම් එයාලා ගොඩාක් බල පුළුවන්කාරකම් තියන අය වෙන්න ඕනි. ඒත් අද ඉන්න මැණික් ව්‍යාපාරිකයො දැක්කම මට හිතෙන්නෙ නෑ ඒ මගෙ කවුරුවත් කියලා.


"එහෙම වෙන්නත් පුළුවන්."


"මං වැඩිය ඔය ගැන දන්නෙ නම් නෑ. ඒත් අපේ තාත්තා එහෙම දන්න ජෙම් ඩීලර් කෙනෙක් හිටියා. එයා තමා ඒ කාලෙ ලංකාවෙ නම්බර් වන් කෙනා. එයා ගාව ගොඩාක් වටින ඒවා තිබුණා. ඒත් එයා ගැන දැන් තොරතුරක් නෑනේ."


කවුරු උනත් මොකද. මට ඕනි නෑ දැනගන්න මාව අතෑරපු අය ගැන. මං ඒ අයව සදහටම අමතක කරලා ඉවරයි.


"එයාලා දැන් ජීවතුන් අතර නැතුව ඇති හේෂාන්."


"ඔව්.. හැබැයි එහෙම කියන්නත් බෑ. ඔයාගෙ අම්මයි තාත්තයි, එයාලගෙ අනිත් අය එක්ක කොහෙ හරි ඇති. ඔයා ගැන හිත හිතම."


"මගෙ ඇස් ඉස්සරහට එයාලව කවදාවත්ම හම්බවෙන්න එපා."


මං කඳුළු පිරුණ ඇස් හිමිහිට තද කරගත්තේ ග්ලාස් එකට හේත්තු වෙන ගමන්. හේෂාන්ට ඕනි උනේ නෑ මගෙ මානසිකත්වය අවුල් කරන්න. ඒත් මම ම ඒක කර ගත්තා. ආස නැති හැමදේම මතක් කරද්දි මගෙ පපුව රිදෙන්න ගන්නවා.


"ඔයා ඒ ගැන හිතන්න එපා."


එයා එහෙම කියද්දි මං ලාවට මගෙ ඇස් වලින් ඒ මූණ දිහා බැලුවා. කඳුළු පිරිච්ච බොඳ උන ඇස් වලින් මං දැක්කෙ එයා මං දිහා බලන් ඉඳලා අහක බලා ගන්නවා.


"ශීට් එකට හේත්තු වෙලා ටිකක් නිදා ගන්න."


බිම විදුලි වේගෙන් පහුවෙන තණකොළ ගසුයි පාරෙ කොනේ සුදු පාට ඉරයි බලාගෙන මං හිමිහිට ඇස් පියා ගත්තා. කාර් එක පුරාම එයාගෙ සුවඳ පැතිරිලා. මම හුස්මක් උඩට අදින වාරයක් පාසාම මට ඒ සුවඳ හරි හරියට දැනෙනවා.


ටික වෙලාවක් යද්දි මට රේඩියෝ එකෙන් ඇහුණේ මං ආසම ලස්සන සින්දුවක්. ආසයි මං පියාඹන්න කියන ෆිල්ම් එක මගෙ ආසම ෆිල්ම් එක..


වලාකුල් වියන් තනලා

ඉරේ රැස් නිව දමා..

වසන්තේ අරන් අවිල්ලා

සිහිල් සේලයෙන් වෙලා..


අනේ මන් බලාන උන්නා

යලිත් ඔබ එතැයි කියා..

සිනා රන් කැලුම් සලලා

මගෙ සඳ උදාවෙලා..


පැතූ පෙම් පැතුම් මල්.. ඉහිරීලා..

ගැලූ පෙම් ගඟුල් දැන්.. ඉතිරිලා..

අනන්තේ සිසාරා.. රහසේ මා..

පියාඹන්න ආසයි.. ඔබ හා මා...


දසන්තේ පියා සලා ලා

සඳේ රැස් හෙමින් වුනා..

සොයන්නේ ඔබේ රුවයි මා

කොහේ හැංගුනේ කියා..


රැයේ සීතලෙන් මිදීලා

තුෂාරෙන් මුවාවෙලා..

හිඳින්නෙ ඔබේ ලඟයි මා

සුසුම් උනුසුමක් පතා..


පැතූ පෙම් පැතුම් මල්.. ඉහිරීලා..

ගැලූ පෙම් ගඟුල් දැන්.. ඉතිරිලා..

අනන්තේ සිසාරා.. රහසේ මා..

පියාඹන්න ආසයි.. ඔබ හා මා..


පියාඹන්න ආසයි.. ඔබ හා මා...


සින්දුව ඉවර වෙද්දිම මට නින්ද ගියා කියලා මටවත් දැනුණෙ නෑ. ඒ කාලෙ හේෂාන්ට හොඳ කටහඬක් තිබුණ නිසා මියුසික් වලින් යන්න කිව්වත් එයා ඒ මුකුත් ගණන් ගත්තෙ නෑ. ටකරමකට ගල් ගහන සද්දෙ ඇහෙන මගෙ කට වගේ නෙවෙයි එයාගෙ කටහඬ. ඒක හරි සෞම්‍යයි. අහන ඕනි කෙනෙක්ට ආස හිතෙනවා. ඒත් එයා සින්දු කියන්න අකමැතියි. අහන්න ගියත් බනිනවා. බලන්න කිසිම කලා රසයක් නැති හැටි.


යක්කලදි මාව නිකන්ම ඇහැරුණේ මගෙ පර්ස් එක බිමට වැටෙද්දි. බලද්දි ශෝල් එකත් ඔඩොක්කුවේ. තව ගොඩාක් දුර යන්න තියේ. ඒත් මට එහෙම ගමන් යද්දි නින්ද යනවා අඩුයි. විශේෂයෙන්ම මට එහා පැත්තෙ ඉන්න කෙනා නිසා කොහොමත් නින්ද යන්නෙ නෑ. මං නැගිටලා ෆෝන් එකත් ඩෑෂ් බෝඩ් එකට දාලා ශෝල් එක පටලව ගත්තා.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


හේෂාන්ගෙ ෆෝන් එක රිං වෙද්දි මං නියම සිහියට ආවා. එයා කෝල් එක ආන්ස්වර් කරලා ඩෑෂ් බෝඩ් එක උඩින් තිබ්බා.


"කියන්න රාදී.."


අම්මෝ යක්සනී කතා කරන්නේ. මං එක්ක හේෂාන් යනවා කියලා දැන ගත්තොත් මාවයි එයාවයි දෙන්නම ගිනි තියයිද දන්නෑ.


"ඔයාලා කොහෙද ඉන්නේ ?"


"තාම යක්කල රාදී.."


"බලන්න අනේ මට උන වැඩේ. මං හොටෙල් ක්ලැරියන් එකේ ඉන්නෙ. කා එක කැඩුනනේ. අනිත් ඩ්‍රයිවර්ස්ලා ඩැඩී එක්ක ගිහින්. ඔයාලා එද්දි මාවත් එක්කන් යන්න බැයිද ?"


"අපි හොටෙල් එකට ගිහින් එද්දි හවස් වෙයි රාදිතා. මට එහෙ මීටින් එකකුත් තියනවා. මං ඩ්‍රයිවර් කෙනෙක් එවන්නද ?"


"නෑ කමක් නෑ හේෂාන්. මාත් එන්නම් ඔයාලා එක්ක යන්න."


"හ්ම්.. එහෙනම් මං මෙහෙ ලං වෙද්දි කියන්නම්. ඔයා එළියට ඇවිත් ඉන්නකෝ."


"ඕකේ. ඩ්‍රයිව් සේෆ්ලි බබා."


මට තේරුණා මෙයා එන්න හදන පොට. ඔච්චරම ඩ්‍රයිවර්ස්ලා නැද්ද ෆර්නැන්ඩස්ලට. ලැජ්ජ වෙන්න ඕනි එහෙම නම්. දැන් ඇවිත් මට මොනා කරයිද දන්නෙ නෑ. ඊයෙ උන දේටත් ඇරියස් කවර් කර ගන්න බලාන ඇති.


"කමක් නෑ නේද රාදිතා එනවට."


මං ඒ මූණ දිහා උත්තරයක් නොදී බලන් හිටියා. එයත් සැරෙන් සැරේට බැලුවෙ මං දිහා. මට අමුත්තක් දැනෙනවා. රාදිතා නිසා කැඩිලා යාන්තමට හොඳ උන මගෙ අතත් ආයෙ කැක්කුමක් වගේ අල්ලනවා. ආයෙත් මොකක් හරි එකක් අත ළඟ වගේ.


"ඔයාට ඒක අන්කම්ෆටබල් නම් කියන්න. මං වෙන ඩ්‍රයිවර් කෙනෙක් යවන්නම්."


"අහ් නෑ.. එහෙම කරන්න එපා. එයා ඔයාගෙ ෆියන්සි."


"ඔයයි මං එක්ක ගමන් යන්නේ. එහෙම එකෙ මගෙන් ඔයාට වැරැද්දක් වෙන්න බෑනේ."


එයා එහෙම කියද්දි මගෙ හදවත අර අත් දෙකෙන් තවත් මිරිකනවා වගේ. එදා තිබුණ ඒ ආදරේ මට අදත් එයාගෙන් දැනෙනවා වගේ තේරුණා. නෑ මින්දි ඒක මිත්‍යාවක්. හේෂාන්ගෙ ආදරේ මිරිඟුවක්.


"හ්ම්.. කමක් නෑ. එයා එක්කන් යමු."


ටිකෙන් ටික උදේ වෙද්දි අපි දෙන්නා කළම්බු වලට ලං උනා. එහෙම්ම රාදිතාව ගන්න ඕනි නිසා හේෂාන් කාර් එක නතර කරා. හොටෙල් එකේ එන්ට්‍රෙන්ස් එකේ ඉඳන් රාදිතා දුවගෙන ආවේ බෑග් එකකුත් අතේ තියාගෙන. මං ෆ්‍රන්ට් ශීට් එක එයාට දෙන්න ඕනි නිසාම දොර ඇරගෙන පිටිපස්සට නගින්නයි ගියේ. ඒ එක්කම හේෂානුත් බැස්සා කියලා මං දැක්කා. ඒ නිසා මාත් එහෙන්ම නැවතුණා.


"ඕහ්.. කලින් ඇවිත්නේ ඔයාලා. හයි ස්පීඩ් ආවද ?"


"ඔව්. අද ට්‍රැෆික් අඩුයිනේ."


"ඒ උනාට ස්පීඩ් එකේ එන්න එපා කියලා මං කියලා තියනවනෙ ඔයාට. ඔයා ඇක්සිඩන්ට් උනොත් මට බයයි බබා."


රාදිතා හේෂාන් ලඟටම ගිහින් අත් දෙකත් අල්ලගෙන කියද්දිමට දැනුණ වේදනාව නම් එසේ මෙසේ නෙවෙයි. අවුරුදු ගාණකට කලින් මං හැමදාම හේෂාන්ට ඕක කිව්වා.


❝ යන ගමනක් හිමින් යනවා මිස්ටර්. හැබැයි ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා අන්ඩක් කඩා ගත්තොත් මං ඉතුරු අන්ඩත් කඩනවා හොඳේ ❞


එයා කොහෙ හරි යන්න ලෑස්ති වෙද්දි මං එයාට එහෙම කියලා ඒ පපුවට තුරුලු වෙනවා. මට මතකයි අද වගේ. ඒ කාලෙ මට තිබුණ ඒ බය රාදිතාටත් තියනවා කිව්වම මට විශ්වාස කරගන්න බැරි උනා. ඒ කෙල්ල වෙලාවකට අමුතු විදිහට කතා කරලා ඇයි දැන් හේෂාන් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්නේ ?


"කොහෙද මෙහෙ කරන්නේ ?"


"මගෙ බෙස්ටියෙක් මෙහෙ ශූට් එකකට ඇවිත් ඉන්නෙ. එයාව බලන්න ආවේ."


"එහෙමද. එහෙනම් අපි යමු නේද ?"


"හ්ම්.."


මං එහෙම්ම කාර් එකේ පැසෙන්ජර් ශීට් එකට නැග්ගා. රාදිතා හැමදාම කොටට ඇඳලා ක්‍රීම් එකක් නානවා ඇති. නැත්තම් මෙලහකට ඔය සුදු කකුල් පිච්චිලා.


සුදු පාට කොටම කොට ටයිට් ගවුමක් ඇඳලා උඩින් කෝට් එකක් දාලා ගුචි බ්‍රෑන්ඩ් එකේ හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන එයා කාර් එකට නැග්ගා. අවුලක් නෑ ඒක. ඒත් ඇයි මේ අව්වේ ඕවා අඳින්නේ ?


"ඔයාලා කීයටද ආවේ ?"


රාදිතා මගෙ මූණ දිහාත් හිනා වෙලා මිරර් එකෙන් බලලම හේෂාන්ගෙන් ඇහුවා. මාත් ඉතින් හිනා උනා හේෂාන් ඉන්න නිසාම.


"හය හමාරට ආවේ."


"හ්ම්.. මං පහ මාරට ආවේ කෙල්ලව හම්බ වෙන්න. එයාට ප්‍රශ්නයක් තියනවා කිව්වා. ඒ ගැන කතා කරන්නයි ආවේ. දැන් නිදිමතයි වගේ අප්පා."


"එහෙනම් ටිකක් නිදාගන්න. අපි පැය භාගෙකින් හොටෙල් එකට යනවා."


"හ්ම්.."


රාදිතා ගැන පළවෙනි වතාවට මට අමුතුම හැඟීමක් දැනුණා. එයා යාළුවෙක් ප්‍රශ්නයක ඉද්දි උදව් කරන්න ගිහින් කිව්වම මට මතක් උනේ මාව. මමත් මගෙ කෙනෙකුට ප්‍රශ්නයක් නම් හැමදේම අතෑරලා යනවා උදව් කරන්න. ගොඩාක් වෙලාවට මගෙ හිතේ ගින්දර තියෙද්දි, අනුන්ගෙ හිතේ තියන ගින්දර නිවන්නයි මං හැම වෙලේම බැලුවේ.


රාදිතාත් මං වගේ එයාගෙ යාළුවන්ට ආදරේ ඇති. මොකද නැත්තෙ ඉතින්. එයත් මං වගේ ගෑනු ළමයෙක් නේ.


කොහොම හරි උදේ නවය වෙද්දි අපි යුවසිංහ හොටෙල් එක ඉස්සරහට ආවා. අද ගෙස්ට්ස්ලා නෑ වැඩිය. ඉර එළියට දිළිසෙන ගෝල්ඩ් පාටින් ගහපු ඒ 'Yuvasinghe Group' කියන නම ඒ මාලිගාවක් වගේ බිල්ඩින් එකට එකතු කලේ අමුතුම තේජාන්විත ලස්සනක්. අද වෙද්දි ලංකාවෙ අංක එකේ කොස්ට් එකෙන් වැඩිම, ලක්ස්රියස් හොටෙල් එක යුවසිංහ බවට පත් වෙලා. ඒක මගෙ හිතට ගෙනාවේ හරි සතුටක්. මොකද ඒ කම්පැනි එක හේෂාන්ගෙ නිසා. එයා මේ ඉන්න තැනට වඩා දවසින් දවස දියුණු වෙද්දි මගෙ හිත පිරිලා ගියේ නිමා කර ගන්න බැරි සතුටකින්.


"අයියෝ.. මගෙ ගවුම."


මං බහින්න හැදුවට මගෙ ගවුමේ ඕපන් එකේ කොනක් කාර් එකෙ අයිනෙ කොනකට අහු වෙලා. හේෂාන් රාදිතා දෙන්නම බැහැලා බලන් ඉන්නෙ මං එනකම්.


"මින්දි.. ඊස් දෙයා එනි ප්‍රොබ්ලම් ?"


"නෝ.. ඉට්ස් ඕකේ."


රාදිතා හේෂාන්ට පේන්න මට එහෙම කියද්දි මාත් ගරු සරුව කතා කරා. එහෙම්ම ගවුම ගලෝලා ගත්ත ගමන් මං එළියට බැස්සේ ශෝල් එකත් පටලවන්. හේෂාන් ගෲප් එකේ රූෆ් ටොප් එක බැලුවේ එතන ඉඳන් මැනේජර් කෙනෙක් අත වනපු නිසා. මං කාර් එකෙන් එළියට බැහැලා දොර වහන්නත් කලින් රාදිතා මට හිනා වෙලා දොර හයියෙන් තල්ලු කරලා හේෂාන් ගාවට ගියේ මගෙ අත වේගයෙන් වදින්න එන දොරට අහුවෙද්දි.


"අහ්.. අනේ.."


ඩෝ එකත් කාර් එකත් අතරට මගෙ අත හිර උනේ ඇඟත් එක්කම හිරිවැටිලා යද්දි. දැනුණු වේදනාවට මගෙ ඇස් වලට කඳුළු පිරෙන්න තත්පරයක් ගියේ නෑ. ඒ එක්කම රාදිතාත් හේෂානුත් දෙන්නම මං දිහා බැලුවේ මං අතත් අල්ලගෙන කෑ ගහද්දි.


"ආව්ව්.."


හේෂාන් ඉක්මනින් මං ගාවට ඇවිත් මගෙ අත අල්ලගද්දි මගෙ ඇස් වලින් කඳුළු බිංදු දෙක තුන කම්මුල් දිගේ රූටලා ගියා.


"මොකද උනේ මින්දී.."


ඒ ඇස් මගෙ කඳුළු පිරුණු ඇස් එක්ක ලං වෙලා ඇහුවා. එයාගෙ අතත් මගෙ ඉන වටේ එතුනේ අහු උන මගෙ අත එයාගෙ වම් අත උඩට ගද්දි. රාදිතාගෙ මූණ පුපුරන සයිස් එකේ. මට හිතුණා ඊයෙ රෑ වෙච්චි දේට මගෙන් පළි ගන්නවා මයි කියලා. එයා කෝල් එක දුන්න වෙලේම මට හිතුණා මේ වගේ දෙයක් වෙයි කියලා. අනික දොර වහන්න කලින් එයා කට කොනින් හිනා උන විදිහට මට අමුත්තක් දැනුණා.


රාදිතා නිසා කලින් කැඩුණු මගෙ අත ආයෙමත් දොරට අල්ල මැදින්ම අහු උනේ දෙකට වෙන් වෙන්න වගේ. ඒ මදිවට මට දැනුණු වේදනාව නම් අසීමිතයි.


"රාදිතා.. ආ යූ මෑඩ්. ඇයි එහෙම කරේ."


හේෂාන් එයා කරපු එක නොදකියි කියලා හිතපු රාදිතා ගැස්සුනේ එයාගෙ තරහා ගියපු කටහඬට. ඒ සැනින් එයත් ඒ ඇස් වල කඳුළු පුරව ගත්තා.


"අනේ මං හිතුවා මින්දි බැස්සයි කියලා. මං දැක්කෙ නෑ එයාගෙ අත. මට ඕනි උනේ එයාට හෙල්ප් කරන්න 🥺."


........................................................ 🖤 ...


මින්දිගෙ අත දෙවනි පාරටත් කැඩුවා නේද රාදිතා 🙁


ළමයි.. ඔයාලට මම දාන සලකුණු වලින් නොතේරෙන දේවල් තියනවාද ?


හරියට නිකන් මේ වගේ,


°•°•°•° = අතීත සිදුවීමක් සම්බන්ධ කරද්දි

........ = යම්කිසි කාලයක් ගත වූ බවට හඟවද්දි

"......" = නිහඬතාවයෙන් යුත් දෙබසක්

❝ ❞ = පෙර කියූ දෙබසක් සිහියට නැගෙද්දි


වගේ ලකුණු මේ කතාවේ අනන්තවත් හම්බවේවි..


කතාවට ඔයාලා දෙන අදහස් වලට ගොඩාක් ස්තූතියි..

ඒ වගේම රියැක්ට් වලටත්..

ඊළඟ එපි වලදිත් මට සපෝර්ට් කරන්න අනිවාර්යයෙන්..

කතාව එක්ක ඉන්න හැමෝටම ආදරෙයි 😍❤️..


Sachy Collins

Report Page