Secret Marriage - 03
ඕෂධී🌸✍
🪭Chapter -3
''ආලියා අපි ඉන්නේ ගෙදර ලග... ''
නින්දත් නොනින්දත් අතරේ වෙතාරා මෙහෙම කියනවා ඇහෙද්දියි මං ඇස් ඇරියේ... අපි ගෙදර ලගටම ඇවිත්... වෙතාරා එනවා කිව්ව නිසාම වෙන්න ඇති අම්මත් ගේට්ටුව සම්පූර්ණයෙන්ම වගේ ඇරලා... අම්මා මල් වලට වතුර දාන ගමන් හිටියේ, මාව දැක්කා විතරයි එයා අතේ තිබ්බ හෝස් එක බිමට වැටුනා...
''අම්මා! ''
''මගේ දූ! මහත්තයා... '' කියලා තාත්තටත් කතා කරන ගමන් අම්මා මගේ ලගට එද්දි මමත් අම්මා ලගට ගිහින් එයාව බදාගත්තා... අම්මට තුරුල් වෙලා අඩ අඩ ඉද්දි තාත්තා ගෙදර ඇතුලේ ඉදන් හිමින් හිමින් එනවා දැක්ක නිසා මං අම්මගෙන් ඈත්වෙලා තාත්තා ලගට ගියේ එයාව ඇවිද්දවලා මහන්සි කරන්න හොද නැහැයි කිව්ව නිසා... කොහොමහරි තාත්තවත් හග් කරද්දි පඩිපෙල බැහැගෙන ආව නංගිත් කෑ ගහගෙන දුවගෙන ඇවිත් තාත්තට තුරුල් වුනේ මුළු ලේන් එකටම මං ආපහු ගෙදර ආවා කියන පණිවිඩේ දීගෙනමයි...
''අක්කේ ඔයා නැතුව අපි පාළුවෙන් නේ හිටියේ... අනේ ආයේ යන්නේ නෑ කියන්න... ''
''ආයේ යන්නේ නෑ පැටියෝ... කලින්ම කිව්වනේ මේ පාර ලංකාවට එන්නේ ආපහු යන්න බලාගෙන නෙවෙයි කියලා... ''
''ඔව් මගේ දුව තවත් දුක් විදින්න ඕන නෑ... ''
''අනේ ඒවා ගාණක් නෑ තාත්තේ... ''
මගේ හිතට මේ වෙලාවේ දැනෙන හැගීම අවුරුදු ගාණක් තමන්ගේ රටෙන් තමන්ගේ පවුලෙන් ඈත්වෙලා ඉන්න මනුස්සයෙක්ට හොදට තේරනවා... තමන් ආදරේ කරන තමන්ට ආදරේ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න ලැබෙනවා කියන්නෙම දරාගන්න බැරි දුකක්...
''වෙතාරා! එන්න ඇතුලට තේ එකක් බොන්න... ''
''අනේ දැන් බෑ ආන්ටි... දෝණි ඇහැරිලාද දන්නේ නෑ, මං දැන් යන්න ඕන... ''
''ආලියා! වෙතාරට කරදර කරන්නේ නැතුව අපිට ඇත්තම කිව්වා නම් අපි එයාර්පෝට් එනවනේ... ''
''අයියෝ මේක මට කරදරයක් නෙවෙයි අංකල්... ස්පෙෂලි ආලියාව මට කොහොමත් කරදරයක් නෙවෙයි... '' කියද්දි මං ගිහින් කාර් එකේ පිටිපස්ස ශීට් එක ඇරලා බෑග් ටික ගනිද්දි මගේ සපෝර්ට් එකට නංගිත් ආවා...
වෙතාරා ගියාට පස්සේ බෑග් එකකුත් උස්සගෙන සාලෙට එන ගමන් නංගි,
''මොකද කියන්නේ අපි හතරදෙනා අද රෑට දාමුද පාටියක්... මං පීසා ඕඩර් කරන්නද? '' ඇහුවා...
''තමුසේ ඩොක්ටර් කෙනෙක් නේද? ''
''හරි හරි හලෝ ඉදලා හිටලා කඩෙන් කෑවා කියලා මුකුත් වෙන්නේ නෑ... ''
''ඔන්න ඉතින් දෙන්නා අවුරුදු ගාණක ඇරියස් අද රෑම කවර් කරන්නද යන්නේ? '' කියලා තාත්තා ඇහුවට එයයි අම්මයි දෙන්නම හොදටම දන්නවා මායි නංගියි එහෙම රණ්ඩු වුනාට තරහා හිතේ තියාගන්න අය නෙවෙයි කියලා... හැබැයි ඉතින් අක්කලා නංගිලා ඉන්න ගෙවල් වල පොදු රණ්ඩු විදියට ඇතිවෙන ඇදුම් වලට, පර්ෆියුම් වලට රණ්ඩු කරගැනිලි නම් අඩුවක් නැතුව තියෙනවා... ඉස්සර ඉදන්ම අල්මාරියක් පුරවලා ඇදුම් තිබ්බත් අපේ නංගිට හරි යන්නේ මගේ අල්මාරියේ තියෙන ඇදුම් විතරයි ලු... අනේ මන්දා ඒකී කියනවා, මගෙන් බැනුම් අහලා ඇදගෙනත් යනවා අන්තිමේදි...
''අනේ අම්මේ මේ කඩෙන් නම් කන්න බෑ... ඔයාලට ඕන නම් කඩෙන් ඕඩර් කරගෙන කන්න... මං ඔයාට පොලුත් ගාලා දෙන්නම් මට පොල් රොටියක් හදලා දෙන්නකෝ ඔයාගේ කොච්චි ලුණු මිරිසත් එක්ක... ''
පිටරටවල් වල මොන විදියේ කෑම තිබ්බත් වැඩක් නෑ, ඒවට කවදාවත් ශ්‍රී ලාංකේය කුළුබඩු යොදාගෙන හදන කෑම වලට සමාන වෙන්නත් බෑ එතනින් එහාට යන්නත් බෑ...
''හදලා දෙන්නම් ආලියා බෑ කිව්වේ නෑනේ... බලන්න ඔයාගේ ඇගේ හැටි, වෙන මිනිස්සු රට ගියාම ටිකක් හරි මහත්වෙනවා... ඒකට මෙයා හිටපු ගානමද කොහෙද ? ''
''හරි හරි සන්ධ්‍යා මේ ලමයට ඇගපත හෝදගෙන එන්න දෙන්නකෝ... '' තාත්තා කියද්දි අම්මා කුස්සියට ගියා... තාත්තත් ඉතින් එයාගේ දෝණි පස්සෙන් කුස්සියටම ගියා...
'' දැන් නම් මේ ඇදුම් බෑග් අදින්න බෑ හලෝ... තමුසෙගේ මොකක් හරි ඇදුමක් දෙනවා... '' කියන ගමන් මං නංගිත් එක්ක උඩ තට්ටුවට ආවා...
අපේ ගෙදර පහල තට්ටුවේ අයිතිය තියෙන්නේ අම්මටයි තාත්තටයි... උඩ තට්ටුවේ රජ කරන්නේ මායි නංගියි... උඩ තට්ටුවේ තිබ්බේ අපි දෙන්නගේ නිදාගන්න කාමර දෙකයි, පොඩි ලිවින් ඒරියා එකකුයි බාත් රූම් එකයි විතරයි... අවුරුදු ගානකට පස්සෙත් මගේ කාමරේට එද්දි වෙනස් වෙලා තිබ්බේ බිත්තියේ පේන්ට් එක විතරයි... බෙඩ් ශීට්ස් පවා අලුතෙන් දාපු ඒවා තියෙන්නේ...
''ඇත්ත කියනවා තමුසේ මං ගියාට පස්සේ මගේ කාමරෙත් අල්ලගත්තා නේද? ''
''නෑ හලෝ... ඔයා ගෙදරින් ගියාට පස්සේ ගෙදර තවත් පාළු වුනා... පාඩම් කරන වැඩවලට ඇදුම් මාරු කරගන්න උඩට ආවට මං නිදාගත්තේ පහල ගෙස්ට් රූම් එකේ... හැබැයි අම්මා ඔයා නැති වුනාට මේ කාමරේ පාළුවට යන්න දුන්නෙත් නෑ... මට තමුසෙව ගොඩාක් මතක් වුනා හලෝ... '' කිව්ව නංගි මාව හග් කලා...
''දැන් කොල්ලෙක් එහෙම ඉන්නවද? ''
''කෙනෙක් හිටියා බ්‍රේකප් වුනා... ''
''ඕවා ගණං ගන්න එපා... ඔයාට හොද කෙනෙක් අනිවාරෙන්ම ලැබෙනවා... දැන්වත් ටවල් එකකුයි පිජාමා එකකුයි දියන් බං වොශ් එකක් දාගන්න... '' කියද්දි නංගි මගේ උරහිසටත් තට්ටුවක් දාගෙන කාමරෙන් එලියට ගියා...
බැක්පැක් එක ඇතුලේ Wash bag කියලා ප්‍රින්ට් කරලා තිබ්බ පර්ස් එකත් අරගෙන මං නංගිගේ කාමරේට ගියේ එයා ඇදුමක් හොයනවද නැත්තන් මහනවද කියලා බලන්න... ආවට වඩා හොදයි නාවා නම් කියලා හිතුනේ පිස්සන් කොටුවක් වගේ තියෙන දොස්තර නෝනාගේ කාමරේ දැක්කට පස්සේ... සමහරවිට මං මේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ රූම් එකක් දැක්ක පලවෙනි වතාව නිසා වෙන්න ඇති මෙහෙම හිතෙන්නේ... බිත්තිය පුරාවටම හයිලයිට් කරපු ශෝට් නෝට්ස්, බොඩි පාට්වල පින්තූර එහෙම අලවලා තිබ්බා... මේසේ උඩ පොත් දෙකක් තියෙනවා ඒ පොතකින් දමලා ඇරියොත් එකෙක් මැරෙනවා ශුවර්, එච්චරටම විසාලයි... ඔක්කොමත් හරි අපේ එකීගේ පාළු මකන්න කොල්ලෙක් නැතිවුනාට කාමරේ කොනක ඇටසැකිල්ලක් නම් තියෙනවා...
''මේ ඇටසැකිල්ලක් මොකටද කාමරේ තියාගෙන ඉන්නේ? ''
''අමතක වුනාද මං මෙඩිකල් ස්ටුඩන්ට් කෙනක් කියලා... බය වෙන්න එපා හලෝ, එයාගේ නම කතිරිනා... ''
''මොකී කිව්වා... ''
''කතිරිනා... ක-ති-රි-නා- ''
මං ඒ ඇටසැකිල්ල ලගට ගිහින්
'' හෙලොව් කතිරිනා මං තමා ඔයාගේ ට්‍රැක් ඕනර්ගේ අක්කා... ඔයාට මේ විදියට වඩා ඇදුමක් ඇන්දුවා නම් ලස්සනයි... '' කිව්වා විතරයි නංගි අල්මාරිය ඇතුලට ඔළුව දාගෙනම,
''එයාව විහිළුවට ගන්න එපා... '' කිව්වා... මුන්ට පාඩම් කරලා කරලා, එක්සෑම් ලියලා ලියලම ට්‍රැක් පැනලද කොහෙද? එක අතකට ඉතින් අපි කොයි කාගෙ ඇගෙත් හමයි මස් ටිකයි අයින් කලාම කතිරිනා එක්ක වෙනසක් නෑනේ... සත්‍ය බොහොම කටුකයි! සත්‍ය බොහොම කටුකයි! නමුත් අපිට ඒ කටුක සත්‍ය භාර ගන්නම වෙනවා...
''ආ මෙන්න ඔයාට ටවල් එකකුයි අලුත් පිජාමා එකකුයි... ''
''තැන්ක් යූ... '' කියාගෙන කාමරෙන් ඇවිත් බාත් රූම් එකට යද්දි නංගි ආපහු පඩිපෙල බහින්න ගත්තේ,
''අද රෑට පොල් රොටී එක්ක මූවී නයිට් එකක් තියමු...'' කියන ගමන්... ඔව් මට මේ මොහොතේදි පෙනී යනවා තව සුළු වෙලාවකින් අපේ ගෙදර ඇතුලේ යුද්ධය ෆිල්ම් එකක් තේරිම සදහා ඇරඹෙන බවට...
මගේ තාත්තගේ නම මොහාන් කොඩිකාර... එයා වැඩිපුර කැමති ඉංග්ලිෂ් ෆිල්ම්ස් වලට... අම්මගේ නම සන්ධ්‍යා කොඩිකාර... අම්මට නම් තියෙන්නේ තනිකරම හින්දි ෆිල්ම් පිස්සුවක්... එතකොට මගේ නංගි යසාරා සාවින්දි කොඩිකාරට තියෙන්නේ තනිකරම දකුණු ඉන්දියාවේ කපාකොටාගන්න ෆිල්ම්ස් බැලීමේ පිස්සුවක්... පිස්සුව කොච්චරද කියනවා නම් ටැමිල් ෆිල්ම් බලලා බලලා එයාට ටැමිල් තේරුම්ගන්න වගේම ටිකක් කතා කරන්නත් පුළුවන්... මම තමා මොකාද එකා වගේ එක දෙයකට කැමති නැති එකා... මම ඕනම රටක ෆිල්ම් එකක් මගේ විදියට සෙට් නම් අනිවාරෙන් බලනවා...
අපේ අම්මට හින්දි ෆිල්ම් පිස්සුව බෝ වෙලා තියෙන්නේ එයාගේ අම්මගෙන්ලු... ඉස්සර තාත්තා සමහර වෙලාවල් වලදි අම්මට විහිළුත් කරනවා, අම්මව ඉන්දියන් නළුවෙක්ට බන්දවන්න ඉන්නකොට තමා තාත්තා ප්‍රපෝසල් එකක් අරන් අම්මලගේ ගෙදර ගියේ කියලා... ඔය කොයි විදියට විහිළු කලත් ඒ දෙන්නා තරම් ලව් බර්ඩ්ස්ලා දෙන්නෙක් මං කොහෙදිවත් දැකලා නෑ... තාත්තා එයාගේ තනි කැමැත්තට තමා පාටි එකකදි අම්මව දැකලා අම්මලගේ ගෙදරට ප්‍රපෝසල් එකක් අරගෙන ගිහින් තියෙන්නේ... අම්මගේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකත් අවුලක් නැති නිසා තාත්තගේ ෆැමිලි එකත් වෙඩින් එකට අකැමති වෙලා නෑ... අම්මා පොඩි වයසින් මැරි කලාට මාව හම්බවෙලා තියෙන්නේ මැරේජ් එකෙන් අවුරුදු හතකට පස්සේ... ඉතින් ඒ අවුරුදු හතක කාලේ ඇතුලේ සමහර නෑයෝ කොච්චර කතා කිව්වත් තාත්තා අම්මා එක්ක ඉදලා... කවුරු මොනදේ කිව්වත් තමන්ගේ හස්බන්ඩ්ගෙන් වචනයක්වත් අම්මා අහගෙන නෑ, ඒ අතින් අම්මා මාර වාසනාවන්තයි... හැබැයි සමහර නෑයොන්ව නම් මට පොඩි කාලේ ඉදන්ම එච්චර ඇල්ලුවේ නෑ... සමහර අය කිව්වා මමලු අපේ පවුලට වාසනාව අරගෙන ආවේ... එහෙම කියලා තියෙන්නේ මං ඉපදුනාට පස්සේ තාත්තගේ බිස්නස් තිබ්බට වඩා ගොඩාක් ඉක්මනට දියුණු වෙච්ච නිසා... හැබැයි මං ඒ කිව්ව කතාවට පොඩ්ඩක්වත් කැමති නෑ... ඒක තනිකරම මගෙයි නංගිගෙයි අතරේ දුරක් ඇති කරන්න පුළුවන් කතාවක්... ඒත් එයාලා කියන කතා නෑහෙන විදියට මං හිටියේ අම්මයි තාත්තයි මට අවුරුදු හතරෙදි ගෙනත් දුන්න බෝනික්කට එහෙම නැත්තන් මගේ නංගිට මං ගොඩාක් ආදරේ නිසා... එයා වෙනුවෙන් අම්මයි, තාත්තයි වෙනුවෙන් මට කරන්න බැරිදෙයක් නෑ...
වොශ් එකක් දාගෙන කුස්සියට එද්දි නම් නංගි පේන්න හිටියේ නෑ... ඒ විතරක් නෙවෙයි මං මෙහේ ඉන්න කාලේ කුස්සියේ වැඩ වලට එච්චර උනන්දුවක් තිබ්බේ නැති තාත්තා දැන් පොල් ගානවා...
''අප්පටසිරි! තාත්තා කවදා ඉදන්ද අම්මේ පොල් ගාන්න ගත්තේ? '' අහන ගමන් මං පිහිය අතට ගත්තේ සුද්ද කරලා තිබ්බ ලූණු ගෙඩිය ලුණු මිරිසට කපලා ගන්න...
''ටික ටික ඇවිදින්න ගත්ත දවස් වල ඉදන්මයි... ''
''වැඩ කර කර හිටපු මනුස්සයෙක් එකතැන් වුනාම දැනෙන වේදනාව දන්නේ ඒ මනුස්සයම විතරයි ආලියා... ගෙදර ඉදන් කරන්න දෙයක් නැති නිසාමයි මං මේ ගෙදර වැඩවලට අම්මට උදව් වෙන්න ගත්තේ... ''
''ඉතින් තාත්තට මහන්සි වෙන්න එපා කියලනේ තියෙන්නේ... ''
''ඒ ඉස්සර දරුවෝ... හැමදාම එකතැන් වෙලා ඉන්න බැරි හින්දා දැන් ඩොක්ටර්ස්ලා ඉස්සර වගේම ඇවිදලා කරලා ඉන්න කියලා කියන්නේ... ''
''ඔව් ඒකත් ඇත්ත? කෝ නංගි? ''
''එයා පහන තියන්න මල් කඩන්න ගියා... අද ඉතින් අවුරුදු ගානකට පස්සේ ඔයාලා දෙන්නම ගිහින් පහන තියලා වැදලා එන්න... '' අම්මා කියද්දි අනික් පැත්තෙන් තාත්තත්,
''එයා මොකද්ද මූවි නයිට් එකක් ගැනත් කියව කියව ගියේ... '' කිව්වා...
''අනේ ඒක වෙන දවසකට දාගමු අප්පා... අද රෑම කොහොමහරි බෑග් ටික අස් කරමු, චොකලට් දියවෙලා ඇති... '' කියලා මං යුද්ධය ඉස්සරහ දවසකට කල්දාගත්තා...
පහන තිබ්බට පස්සේ නංගියි මායි පොඩි රණ්ඩුවකුත් දාගෙන පස්සේ ඒකත් බේරගෙන හතරදෙනාම සාලෙන් වාඩිවුනේ මගේ බෑග් ටික අස් කරන්න... අම්මත් හදපු රොටි ටිකයි ලුණු මිරිස් එකයි අරගෙන ඇවිත් අපි තුන්දෙනාටම කවන්න ගත්තේ මායි නංගියි බෑග් එකේ තිබ්බ දේවල් එලියට ගන්න අතරවාරේ...
''ආලියා ඔයා දැන් ඉස්සරහට මොකද කරන්න හිතාගෙන ඉන්නේ? ''
''ලයිෂන් එක අලුත් කරගන්න ඕන, මෙහෙන් අලුතෙන් ජොබ් එකක් හොයාගන්න ඕන තාත්තේ... ''
''ඔයා දැන් අපිට දේවල් කලා ඇති ආලියා... ඔයා දැන් ඔයාට දෙයක් කරගන්න ඕන... ''
''අම්මේ කලින් කිව්ව දේවල් දෙකම කරන්නේ ඔයාලා වෙනුවෙන් විතරක් නෙවෙයි මටත් එක්ක... ඒක නෙවෙයි කාර් එක ගෙදරමද තියෙන්නේ? ''
''සෙනසුරාදා ඉරිදට විතරයි ඒක පාවිච්චියට ගන්නේ... චූටි කොච්චර කිව්වොත් කැම්පස් යන්නේ එන්නේ බස් එකෙ නේ... ''
''චූටි! ඇයි කාර් එකෙන් ගියොත් සීනියර් උන් මොනවහරි කියනවද? ''
''එහෙම එකක් නෑ, ඒක ඔයාගෙනේ අක්කේ... අනික සිනීයර් අය මොනවහරි කිව්වත් ඔයා එයාලට ගහන්නද? ''
''මට බැරි නෑ කියලත් ඔයා දන්නවනේ... ''
''ආ ඇති ඇති... අනේ ඇත්තමයි මොහාන් අවුරුදු විසි අටක කෙල්ලෙක් වෙලත් තාමත් පරණ රෙකෝඩ් ගැන උජාරුවෙන් කියවන හැටි බලන්නකෝ... ''
''හරි හරි දැන් වෙන්න ඕන මෙච්චරයි... මට එක්සෑම් පටන් ගන්න කලින් අපි හතරදෙනා ට්‍රිප් එකක් යමු... '' නංගි කියද්දි
''මං ඒ යෝජනාව ස්ථීර කරනවා...'' කිව්ව මම අම්මට කියල තවත් රොටි කෑල්ලක් කටේ දාගත්තා...
අන්තිමේදි බෑග් ඔක්කොම ටික අස් කරල ගෙනාව දේවලුත් වෙන් කරගෙන අපි ඉදගෙන හිටපු තැන් වලින් නැගිට්ටේ අනිද්දම නුවර යමු කියන තීරණේ... ඒත් ඊට කලින් අපේ අම්මට හෙට කොළඹ යන්න ඕන කිව්වා... ඉතින් නුවර යන්න කලින් හෙට උදේම කොළඹ යන්නයි තියෙන්නේ... නංගි නම් පාඩම් කරන්න තියෙනවා කියලා මං එයාට ගෙනත් දුන්න තෑගි ටිකත් අරගෙන කලින්ම කාමරේට ගියා... අම්මයි තාත්තයි කුස්සියට යද්දි මං ආවේ අපේ ෆොටෝස් එල්ලලා තියෙන බිත්තිය ලගට... සාලේ එක බිත්තියක්ම අම්මා වෙන් කරලා තිබ්බේ අපේ ෆෝටෝස් එල්ලන්න...
අපි හතරදෙනාගේ ටිකක් ලොකුවට ෆ්‍රේම් කරපු ගෲප් ෆොටෝ එකක් වටේට ආච්චිලා, සීයලගේ ෆොටෝස්, අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ෆොටෝ එක, අපි හතරදෙනාගේ තනි තනි ෆෝටෝස් වගේ ගොඩාක් ෆොටෝස් ඒ බිත්තියේ අම්මා ලස්සනට පිළිවෙලට එල්ලා තියෙනවා... හැබැයි එතන තිබ්බ ෆොටෝ වලින් දැන් මගේ අත ගියේ මගේ විසිඑක්වෙනි බර්ත්ඩේ එකට වෙතාරාගෙන් හම්බවෙච්ච ෆොටෝ එකට... ඉස්සර මං සෙනසුරාදා වෙනකන් බලාගෙන ඉන්නවා ඩවුන් සවුත් පැත්තට ගිහින් සර්ෆ් කරන්න... හැම සෙනසුරාදම පුරුද්දක් විදියට ඒ පැත්තට යන නිසා ගොඩාක් වෙලාවට මං තනියම තමා කාර් එකේ ගියේ... ඒත් මගේ තාරා පැටියත් එක්කගෙන ගියපු දවසක එයා අතින් වැදිච්ච මගේ රැන්ඩම් ෆොටෝ එකක් තමා මේ ෆ්‍රේම් කරලා බිත්තියේ තියෙන්නේ...

''මොනවද ආලියා ඔච්චරටම ඔය ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරන්නේ? ''
''තාත්තා මට බනින්නේ නැද්ද මේ ෆොටෝ එකේ තියෙන කළු පාට කොණ්ඩේ මෙරූන් පාටින් කලර් කලාට? ''
''ඒ මොකටද මං බනින්නේ? ඔයා කොණ්ඩේ කලර් කලේ ඔයා හම්බ කරපු සල්ලි වලින් නේ... අනික ගෑනු ලමයෙක් බොහොම ටික කාලයයි නේ ගෙදර අයත් එක්ක ඉන්නේ? ඔයාලා දෙන්නා අපිත් එක්ක ඉන්න ටික කාලේ ඔයාලට උපරිම නිදහස දෙන්න මායි අම්මයි තීරණේ කලේ ඔයාලා ඉපදෙන්නත් කලින් ඉදන්... අද වෙනකන් ඔයාවත් නංගිවත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැති එකට මට සතුටුයි... '' කිව්ව තාත්තා මගේ අත් දෙකේම අල්ල ඉඹලා,
'' මගේ අතට ඔයාව හම්බවෙනකොට ඔයා රෝස පාටයි... සිනිදුවට තිබ්බ මේ අත් ඉස්සරටත් වඩා ඝොරෝසු වෙලා...'' කිව්වා...
''අනේ යන්න තාත්තේ බොරු නොකියා... ඉස්සර ඉදන්ම අත පය සිනිදුවට තියෙන්න මං මලෙන් ඉපදිලා නෑනේ... අනික ඔයා මාව එච්චර සෝමාරි විදියට හැදුවේත් නෑනේ... එහෙම හදපු එකත් හොදයි නැත්තන් මෙච්චර දෙයක් කරන්න මට කොහෙන්ද හයියක්? ''
''මටයි අම්මටයි කවදාවත් දරුවන්ගේ සල්ලි වලින් ජීවත්වෙන්න ඕනවුනේ නෑ පුතේ... කොහෙද ඉතින් එක පාරට හෙනහුරා පාත්වුනා නේ... ''
''අයියෝ තාත්තේ ජීවිතේ හැටි එහෙම තමයි... ඒක නෙවෙයි මං බැලුවේ සමහර දේවල් ආපහු පටන් ගන්න... ''
''සමහර දේවල් කිව්වේ? ''
''මං චාටඩ් කම්ප්ලීට් කලේ නෑනේ... ඉතුරු එක්සෑම් ටිකත් ගොඩදාගත්තොත් මේ ඩිග්රි ෆොටෝ එක එහා පැත්තෙන් එල්ලන්න අම්මට තවත් ෆොටෝ එකක් දෙන්න පුළුවන්... ආයේ සර්ෆින් යන්නත් ඕන... '' කියලා මං කිව්වේ නිල් පාට ලෝගුවක් දාගෙන ඉන්න මගේ ඩිග්රියේ ෆොටෝ එක පෙන්නලමයි... මට තියෙන්නෙ ප්‍රයිවට් කැම්පස් එකකින් කරපු ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඩිග්රියක්...
''එතකොට ආයේ කරාටි ඉගෙන ගන්න අදහසක් නැද්ද? ''
''ඉගෙන ගත්ත ටික ඇති නේ... නැත්තන් මං ආයේ කරාටි ක්ලාස් යනවා කියලා දැනගත්තොත් ඔයාගේ සුදු දෝණි කේස් දායි... මතකයිනේ දැන් ටිකකට කලිනුත් බැන්නා... ඇත්තටම ඇයි තාත්තේ ඒ ප්‍රශ්න වලදි අම්මා මට බනිද්දි ඔයා මට මුකුත් කිව්වේ නැත්තේ? ''
''අම්මා බනින්නේ ආදරේට, හැබැයි නොකිව්වට එයා ඔයා ගැන ආඩම්බර වෙනවා... මමත් එහෙමයි, මගේ කෙල්ලට එයාව තනියම බලාගන්න පුළුවන්... ''
''ඒ වුනාට මට හිතෙනවා මං අම්මට වද දුන්නද කියලත්... ඒ අතින් බලනකොට නංගි කොච්චර හොදයිද? මිනිස්සුත් එහෙම කියනවා ඇති... ''
''එහෙම හිතන්න එපා දුව... අපි ඔයාලට දුන්න නිදහස ඔයාලා ඔයාලට කැමති විදියට පාවිච්චි කලා... ඔයාලට ඒහෙම කරන්න අයිතියක් තියෙන නිසාමයි මං නංගි කරාටි, ස්ව්මින් අතරමගින් නතර කරද්දිත් මුකුත් නොකිව්වේ... ''
''මොනවද තාත්තයි දුවයි ඔච්චරටම කතා කරන්නේ? '' අහන ගමන් අම්මා අපි ලගට එද්දි මං කතාව වෙනස් කරන්න හිතුවා...
''අම්මේ මට මෙතනට ගැලපෙන ෆැමිලි ෆොටෝ අයිඩියා එකක් ආවා... ''
''මොකද්ද? ''
''අපි හෙට කොළඹ යන ගමන් නංගිවත් මගින් දාගෙනනේ යන්නේ... ඊට කලින් ස්ටුඩීයෝ එකකට ගිහින් ෆැමිලි ෆොටෝ එකක් ගමු... නංගිට ස්ක්‍රබ් එක ඇදලා ස්ටෙත් එකත් අතේ තියාගෙන ඉන්න කියමු... මමත් ඔෆිස් වෙයා එකක් ඇදගෙන ඉන්නම්, හාද? ''
''හොද අයිඩියා එකක්... හැබැයි ඒක හෙට කරන්න ඕන වැඩක්... දැන් ගිහින් නිදාගන්න ලමයෝ... '' කියද්දි මං අම්මටයි තාත්තටයි වැදලා උඩට ආවේ දෙන්නගෙම කම්මුල් වලට කිස් එකක් දීලමයි... නංගිගේ කාමරේටත් ටිකක් ඔළුව දාලා බැලුවා... එයා කතිරිනාට පාඩම් උගන්වනවා... ඉතින් ඒ වැඩේට බාධා නොකර මං කෙලින්ම ආවේ මගේ කාමරේට...
🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭
තුන්සිය ගාණක්ම කතාව කියෙව්වට රියැක්ට් නෑ... මං ගොඩාක් වෙලාවට වැඩට යන එන ගමන් ටයිප් කරන්නේ... එහෙම කතාව දීලත් හිත හැදෙන්න රියැක්ට් එකක් දාන්න බැරි නම් වැඩක් නෑනේ... රියැක්ට් අඩු වුනාම මටත් කම්මැලි මේක ලියන්න... මේකට වැටෙන රියැක්ට් ගාන අනුව තමා මං බදාදා එපිය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ...
04 කොටසින් හමුවෙමු...
මගේ චැනල් එකට 👇
මම ඕෂධී...✍️