Miss. Anonymous - 9
Sachy Collins
"ගෑනු පලි ගන්න පටන් ගත්තම පිරිමි පලි ගන්නවට වඩා අන්තයි. තමුසෙ ලබන ආත්මෙවත් ඒක මතක තියාගෙන ජීවත් වෙනවා."
ජෝගුව මේසයක් මතින් තැබූ ඇය ක්ෂණිකව කුඩා පිහියක් අතට ගෙන ඔහුගේ දකුණු කන් පෙත්ත හිසෙන් වෙන් කලාය. යලිත් වරක් ඔහු මර හඬින් කෑ ගසද්දී ඈ කලේ නිහඬව බලා සිටීම පමණි. කුඩා කල තමාගේ අතේ සිදු වූ තුවාලයකින් මතු වූ ලේ බිංදුවකටත් බිය වූ ඈ අද ඔහුගේ කනෙන් ගෙල හරහා ගලා යන රුධිරය දෙස බලා සිටියාය. අද වන විට ඈ ඇගේ සීමාවටත් එහා වෙනස් වී ඇත. සමහර අවස්ථා වල කායිකව දැනෙන වේදනාවට වඩා මානසිකව දැනෙන වේදනාව අන්තය. ඈ එය අවුරුදු ගණනක් දිගින් දිගටම වින්දාය. නමුත් ඒ විඳවීම ඈව අද ශක්තිමත් ගැහැණු ළමයෙකු කල බවට සැකයක් නැත.
ඈ ඔහුගේ අනෙක් කනත් කපා පිහිය පසෙකට විසි කර පිටුපස බිත්තිය මත තිබූ ඔරලෝසුවේ සටහන් වේලාවට දෑස් යොමු කලාය. එහි වෙලාව රාත්‍රි හත පසු වී තිබුණි. තවත් වෙලා මෙතන රැඳුනහොත් තිවේන් තමා ගැන සැක හිතන බව සිතූ ඇය නිහඬව තම අත තිබූ අත් ආවරණ ගලවා දොර අසලට ගියාය.
"තමුසෙ ආසම කැලෑවකටද ගඟකටද ?"
ඈ දොර උළුවස්සට අතක් තබාගෙන හිස පමණක් ඔහු දෙසට හරවා ඇසීය. නමුත් කන් පෙති වෙන් වූ වේදනාවෙන් දඟලන ඔහුට එයට උත්තර දීමට සිතාගන්නට වත් නොහැකිය.
"If you have no choice, then It's my choice."
ඔහු පුටුවේ සිට දඟලන ආකාරය දෙස මදක් බලා සිටි ඈ එසේ කියමින් රතු පැහැ දෙතොලගින් සිනහා වුනාය.
"Have a nice day."
ඈ අවසාන වරට ඔහු දෙස බලා දොර වසා දැමුවේ එතැනින් පිටව යන්නට ය.
........
"මිශෙල් කොහෙද ?"
තිවේන් ආලින්දයෙන් පිටතට පිය නැගුවේ ඇඳ සිටි කළු පැහැ බ්ලේසරයේ බොත්තමක් දමමින් ය. ඔහුගේ ප්‍රශ්නය හමුවේ යුරේන්ට කීමට ඉතිරිව තිබුණේ 'මිශෙල් නිවසේ නැති බව' පමණයි.
"මැඩම් ගෙදර නෑ සර්."
"හ්ම්ම්.. මිස්ටර් ලියන්ගොල්ල."
තිවේන්ගේ ආමන්ත්‍රණය හමුවේ ලියන්ගොල්ල ඔහු දෙසට හැරුණේය.
"සර් ?"
"මිශෙල් යන එන හැම තැනක්ම ගැන මට හොයලා කියන්න. ස්පෙෂලි, එයා දුර කොහෙ හරි යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න."
"හරි සර්."
"මම ආයෙ එනකම් එයාට සීරීමක් වත් වෙලා තියෙන්න බෑ."
"මම මැඩම් ගැන බලන්නම්. සර් පැනික් නොවී ගිහින් වැඩේ කරගෙන එන්න."
ලියන්ගොල්ල කියා අවසන් වෙනවාත් එක්කම ඔවුන් දැක්කේ ඉදිරිපස තිබූ විසල් ගේට්ටු පියන් දෙක විවෘත වී මෝටර් රථයක් නිවසට ඇතුළු වෙන අයුරු ය. ඒ තිවේන් බලාපොරොත්තු වූ ඇගේ මෝටර් රථයයි. ඉතින් ඔවුන් නිහඬව බලා සිටියේ ඈ එයින් පිටතට පැමිණෙන තුරුය.
දණහිසට වඩා දිගු කළු පැහැ කබායක් ඇඳ සිටි ඇය එක් අතකින් බෑගයක්ද රැගෙන ඔවුන් දෙසට පිය මැන්නාය. තිවේන්ට ඇගේ වෙනසක් පෙනුණේ නැතත් ලියන්ගොල්ලට ඇගේ වෙනසක් පෙනුණේය. ඒ ඈ මේ ගමන යන්නට පිටත් වෙද්දි ඇඳ සිටි ඇඳුම දැන් පොරවා සිටින කබායට වඩා හාත්පසින්ම වෙනස් එකක් වූ නිසායි.
"කොහෙද ගියෙ ?"
"වෙනදා යන තැන."
"හ්ම්ම්.. මම දැන් යනවා."
ඈ නිහඬව හිස වැනුවාය. තමා මොන දේ කිව්වත් ඈ හිස පමණක් සොලවා නිහඬව ඉන්න බව තිවේන් එදා සිට දන්නා දෙයකි. නමුත් යුරේන්ටත් ලියන්ගොල්ලටත් ඇගේ මේ ගතිගුණ නොපුරුදුය.
"පරිස්සමින් ඉන්නවා."
එක්වරම ඔහු ඇගේ ඉනෙන් අල්ලා ඒ නළලත මත සිප ගැන්මක් තැබුවේ ඇගේ නිහඬතාවය දරාගෙන සිටීමට අපහසු නිසායි. ඇගේ සිනිදු මුහුණ දිගේ අත යැවූ ඔහු ඒ කොළ පැහැ දෑස් දෙස බලද්දී ඈ දෑස් සම්බන්ධතාව මඟ හරවා ගත්තාය.
"Let's go Yuren."
යැයි කියූ ඔහු යුරේන් සමඟ මෝටර් රථයට නැග්ගේය. ලියන්ගොල්ලත් ඇයත් බලා සිටියේ ඔවුන් නිවසෙන් පිට වෙන තුරුය. ඉතින් ඔහුගේ මෝටර් රථය මාර්ගයේ ඈතට ඇදෙද්දී ඈ නිවස දෙසට හැරුණේ නිවස තුලට යන්නට ය.
"මැඩම්ට එහෙදි ප්‍රශ්නයක් උනාද ?"
මිශෙල් මදක් නැවතී හිස හරවා බැලුවේ ලියන්ගොල්ල ඇසූ ප්‍රශ්නය නිසායි. ඔහු තමා ඇඳගෙන සිටි කබාය දෙස බලද්දී ඈට ඔහු එවන් දෙයක් ඇසූ හේතුව වැටහී ගියාය.
"අහ්.. එහෙදි මගෙ අතින් ඇඳුමෙ කොෆී හැළුනා. ඒ හින්දා අම්මගෙ ඇඳුමකට චේන්ජ් උනා."
"එහෙනම් කමක් නෑ. මැඩම්ට ප්‍රශ්නයක් උනොත් මෙහෙ කාට හරි කෝල් එකක් දෙන්න."
මිශෙල් හිස සොලවා නිවස තුලට ගියාය. ඈ බලාපොරොත්තු වුනේ තමාගේ නිදහසේ ගෙවෙන ජීවිතයකි. නමුත් තිවේන්ගේ මේ ඕනෑවට වඩා රැකිල්ල ඈට සමහර අවස්ථා වල බාධාවක් බවට පත් විය.
"ප්‍රසිඩන්ට්."
ඈ තම කාමරයට ඇවිත් දොර වසා ගෙන සයනය මතින් ඉඳ ගද්දී ඇගේ තැඹිලි පැහැ සුරතලා ඈ අසලට ආවේ 'පුරු පුරු' ගාමිනි. ඉතින් ඇය තවත් බලා නොසිට ඌව අත් දෙකට ගත්තාය. ඇගේත් තිවේන්ගේත් විවාහයට අවුරුද්දකට පෙර ඈට මේ බළලාව හමු වූයේ පාරට විසි කර දැමූ කුඩා පැටවෙකු ලෙසිය. ඌට අනුකම්පා කල ඈ එදා සිට ඌව තමාගේ සුරතලා ලෙස ලඟින් තබා ගත්තාය.

විවාහයෙන් පසු ඈ ඌව තිවේන්ගේ නිවසට රැගෙන ආවේ තම කාමරයේ පාළු මැකීමට ය. ඈ ඌට ප්‍රසිඩන්ට් යන නාමය තැබුවේ ඌ මේ කාමරයේ නායකයා ලෙස කටයුතු කරන නිසායි. මිශෙල් නිවසේ නැති අවස්ථා වලදී ඌ මේ කාමරයට වී හෝ ඒ අසලට වී එය රකින්නේය. එලෙසම ඌ කාමරයේ ඇති රහස් ලාච්චු වල යතුරු සඟවා තිබෙන තැන් ගැන පවා දන්නේය. ඉතින් ඔහුට නායකයෙකු යන අරුත පිළිබිඹු වන පරිදි නමක් යෙදුවාට වරදක් නැති බව ඈට සිතුණාය.
උට බඩිගිනි බව පෙනුන නිසා ඈ උගේ කෑම පිඟානට පැකට්ටුවකින් කෑම ටිකක් පුරවා නාන කාමරයට ගියාය. සාමාන්‍යයෙන් ඇයත් ඔහුත් නිදන්නේ වෙන වෙනම කාමර වලය. ඈ ඔහු සමඟ එකඟතාවයකට ආ විවාහ ගිවිසුමේ තිබූ කොන්දේසි අයුරින් ඔවුන් දෙදෙනා වෙන වෙනම කාමර වල නිදන්නට තීරණය කලහ. සමහර අවස්ථා වල ඒ කොන්දේසිය ඔහු විසින්ම කඩා දැමුවේය. නමුත් ඒ හමුවේ ඈ නිහඬව සිටියාය.
"Feelings."
ඈ නාන කාමරයේ තිබූ කැඩපත ඉදිරියේ සිට තනිව කතා කලේ තමාගේ නිරුවත් ශරීරය දෙස බලමිනි. ඔහු නිවසෙන් පිටව ගියත් ඔහුගේ මතක ඇගේ ශරීරයේ සෑම තැනකම රත් පැහැ සලකුණු ලෙසින් ඉතුරු වී තිබුණි. මේවා තව දින දෙකකට වත් මැකී නොයන බව ඈ දනී.
"You left me lost in my feelings."
ඇගේ ඇඟිලි තුඩු ඉන දිගේ ලැමට ගමන් කලේය. රෝස පැහැයෙන් වර්ණ වූ පැල්ලම් සහිත මදක් ඉදිමුණු පියයුරු දුටු ඈට මතක් වූයේ ඔහු ඒවා උමතුවෙන් මෙන් සිප ගත් හැටි ය. ඔහුගේ ඒ රළු ස්පර්ශ හමුවේ ඈට හැඟීම් නොඉපදුනොත් එය පුදුමයක් ය. සමහරවිට ඈට එසේ සිදු උනත් ඈ නිහඬවම ඒ හැඟීම් තමා තුලම හංගා ගත්තා වෙන්නට පුළුවනි.
ඈ වෙනදා මෙන්ම ට්බ් එකට බැස ඉඳගද්දී ඇගේ දුරකථනයට ඇමතුමක් ආවේ සොනායා ගෙනි. ඉතින් ඈ ඇමතුම ගෙන දුරකථනය පසෙකින් තැබුවාය..
"ශෙලී.. හෙට තමුසෙ එනවා හරිද මං එක්ක Mount Lavinia යන්න. මේ යන විදිහට එහෙ පොලිසියේ ඉන්න ඔෆිසර්ස්ලා කීප දෙනෙකුත් interrogation එකකට ගන්න වෙනවා."
"හ්ම්ම්.. මං එන්නම්."
මිශෙල් ඒ ගැන වැඩි විස්තර නොඅසා වචන තුනකින් පිළිතුරු දීම සොනායා වියවුල් කලාය..
"තමුසෙට මොකද වෙලා තියෙන්නෙ. මගෙන් අහන්නෙ නැද්ද අද විස්තර ගැන ?"
"ඒවා අපි හෙට කතා කරමු."
"ඇයි දැන් කතා කරන්න බැරි. අද තිවේන් තමුසෙ එක්ක රණ්ඩු උනාද. නැත්නම් තමුසෙගෙ හිත රිදෙන්න මොනා හරි කිව්වද ?"
සොනායා ප්‍රශ්න කරද්දී මිශෙල්ගෙ ලා රෝස පැහැ දෙතොල් වල සිනහවක් රැඳුණි..
"හැබැයි තිවේන් තමුසෙගෙ හිත රිද්දලා තිබුණොත් මම ඇවිත් තිවේන්ව ඩිනර් එකට ගන්නවා BBQ කරලා."
තිවේන්ට සොනායාගේ අකමැත්තක් නැත. නමුත් ඒ කාලයේ සොනායා ඔහුගේ ක්‍රියා නිසා තමාගේ යෙහෙළිය මිශෙල්ව ඔහුට බාර දෙන්නට බියෙන් සිටියාය. ඊට හේතුව සොනායා මිශෙල්ට ඇගේ ජීවිතයේ එක් තැනක් හෝ වරදිනවාට අකමැති නිසාය.
"එහෙම එකක් නෑ සොනා.."
"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ ?"
"මම ටයර්ඩ් වෙලා ඉන්නෙ. දැනුයි North woods ගිහින් ගෙදර ආවෙ."
"ඉතින් මට කලින් කියන්න එපැයි. මං එහෙනම් තියන්නම්. හෙට උදේම එන්නකෝ. ඊට පස්සෙ මේවා ගැන බලමු."
"හ්ම්ම්.."
සොනායා ඇමතුම විසන්ධි කරද්දි මිශෙල්ගෙ දුරකථනයට වෙනත් අංකයකින් කෙටි පණිවිඩයක් ආවේය. එය එවූ පුද්ගලයාගේ නම 'අශේන්' ලෙස තිරයේ සඳහන් වී තිබුණි.
❝ Api kawdd kohedid meet wnne. Mt location ewnn ❞
ඈ ඔහුගේ පණිවිඩය දෙස මදක් බලා සිටියාය. පසුව ඇගේ ඇඟිලි තුඩු නතර වූයේ තිරයේ යතුරු පුවරුව මතය.
❝ The day after tomorrow, pass the Angel Lake and call me again ❞
ඈ ඔහුට පණිවිඩයක් යවා තිරය දෙස බලාගෙන සිටියාය. තත්පර කීපයකට පසු යලිත් වරක් ඈට ඔහුගෙන් පණිවිඩයක් ආවේ ඔහු එයට එකඟ බව දන්වමින් ය. එසැණින් ඈ දුරකථනය පසෙකට විසි කර ටබ් එකේ කෙලවරින් හිස තබාගෙන ලඟම තිබූ භාජනයෙන් කුඩා ස්ට්‍රෝබෙරි ගෙඩියක් ඇඟිලි අතර තද කරගත්තා ය.
"හෙට තමුසෙ සැනසීමෙන් ඉන්න අවසාන දවස.. අශේන්.."
ස්ට්‍රෝබෙරි ගෙඩිය සෙමෙන් දසන් වලට තද කරගද්දී ඇගේ දිවට දැනුණේ ඈ කැමතිම රසය හා සුවඳය. නමුත් ඇගේ සිහිය තිබුණේ ඇගේ ඊලඟ ඉලක්කය මතය.
නව දිනයක ඇරඹුමකි. උදේ අහසේ තැනින් තැන ලා නිල් පැහැ හා තැඹිලි පැහැ සේද වෙලා තිබුණි. නගරයේ මාර්ග වල ඇදෙන වාහන වල ඝෝෂාව නිසාවත් තවම පරිසරය නින්දෙන් ඇහැරී නැති හැඩය. ඒ බව දකින සියල්ලන්ටම පෙනුණේ සමහර ගස් වල තවමත් ඇකිලී ඇති පත්‍ර නිසායි. අළුයම ලැබුණු පොද වැස්ස නිසා පාර දෙපස හා ගොඩනැගිලි ඉදිරියේ තිබූ කුඩා මල් ගස් වතුරෙන් තෙත් වී හිරු එළියට දිලිසෙන්නේ කුඩා දියමන්ති මෙන් ය.
"Good Morning.."
මිශෙල් ගොඩනැගිල්ලේ වීදුරු දොරෙන් ඇතුළු වෙද්දිම පසෙක, වෙනත් ගැහැනු ළමයෙකු සමඟ කතා කරමින් සිටි සොනායා එසේ කියමින් ඈ අසලට ආවාය.
"විජයවර්ධන සර් කිව්වා ඔයාට ගමන යන්න කලින් එයාව හම්බ වෙන්න එන්න කියලා."
"හ්ම්ම්."
මිශෙල් විදුලි සෝපානයට නැග එහි තුනේ ඉලක්කම සඳහන් බොත්තම එබුවාය. තත්පර කීපයකට පසු විදුලි සෝපානයේ දොර වැසෙද්දී ඒ අතරට එක අතක් තැබූ සොනායාත් ඒ තුලට ආවාය.
"තමුසෙ මොකක් හරි එකකට ප්‍රෙශර් වෙලා ඉන්නේ."
"නෑ."
"නෑ නෙවෙයි ඔව්.. මට ඒක තමුසෙගෙ මූණෙන්ම පේනවා. මතක තියා ගන්නවා ශෙලී. මම තමුසෙව ආශ්‍රය කරන්නෙ අවුරුදු දෙක තුනක ඉඳන් නෙවෙයි කියලා."
"ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ සොනා."
"ඒ උනාට තමුසෙ තිවේන්ව මැරි කරපු දවසෙ ඉඳන් අමුතුයි. ඒකත් එයා ආයෙ රෂියා ඉඳලා ආවම. ඉස්සර මම ගන්න කෝල්ස් පවා ඉක්මනින් ආන්ස්වර් කරන කෙනා මම දකුණෙ ඉන්න කාලෙ මැසේජ් විතරමයි කලේ. ඒකත් බාගෙට."
"මට නිදහසේ ඉන්න ඕනි.. එච්චරයි.. වෙන කිසිම දෙයක් නෑ."
"ඕ.. එහෙමත් එකක්ද.. හාකො.. මම ආයෙ තමුසෙගෙ මහ ලොකු නිදහසට කරදර කරන්න යන්නෙ නෑ."
"මගෙ නිදහසට බාධා කරන මිනිස්සුන්ව මම ඉතුරු කරන්නෙත් නෑ."
සෝපානයේ දොර විවෘත වෙද්දී මිශෙල් එසේ කියුවේ සොනායා දෙස බලාගෙන ය. නමුත් සමහර වෙලාවට ඈ මෙවන් විහිළු කරන බව සොනායා එකල ඉඳන් දැන සිටියාය.
"තමුසෙට ඉස්සර වගේ, එකපාරටම Dramatic වෙන්න අමතක වෙන්නෙ නෑ නේද ?"
සොනායා මුවගින් සිනහා වෙමින් සෝපානයෙන් පිට වෙද්දි මිශෙල්ද විජයවර්ධනගේ කාර්යාලයේ දොර අසලට ගියේ සිනහවක් සහිතව ය. ඈ දොරට තට්ටු කරද්දී විජයවර්ධන 'Come in' යැයි කියමින් ඇයට ඇතුලට එන්නට කීවේය. මිශෙල් ඔහු සමඟ කතා කර යලි එන තුරු සොනායා ඒ ලඟම තිබූ පුටුවකින් ඉඳගත්තේ ඔවුන් දෙදෙනා යන්නට සැරසෙන නගරයේ කාළගුණය ගැන දුරකථනයෙන් සොයමින් ය.
"සර්.."
"ආහ්.. මිශෙල්.. ඔයයි සොනායයි දැන්ම එහෙ යන්න පිටත් වෙන්න. යන්න පැය දෙකක් තුනක් යයිනේ. ඒ යද්දි මගින් නෝර්ත් වෙස්ටර්න් ඉන්න මගෙ යාළුවා මීට් වෙලා යන්න. එයා Mount Lavinia ඩිවිෂන් එකට ඔයා එහෙ එනවා කියලා දන්වයි."
"හරි සර්.. එතන ඉන්න අයගෙන් මම පොඩි පොඩි දේවල් ප්‍රශ්න කරන්නම්. සැක හිතෙන කෙනෙක් හිටියොත් මම එයාලව Interrogation එකකට ගන්නවා. මොකද එයාලගෙ බොස් බංගලාවත්ත කේස් එකට අනියම් විදිහට සම්බන්ධ කෙනෙක්."
"ඔව් ඒක හොඳයි.. වොරන්ට් එක පෙන්නලත් ඔයාට එහෙ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න අය ප්‍රශ්නයක් දැම්මොත් මට කෝල් එකක් අරන් දෙන්න. මම ඒ ගැන බලා ගන්නම්."
"හරි සර්."
එකවරම දොර විවෘත කරගෙන කෙනෙකු කාර්යාලය තුලට ආවාය. ඔහුගේ කාර්යාලයට එද්දි තට්ටු කර අවසර නොගෙන ඇතුළු වන කෙනෙකුට සිටින්නේ මිශ්කා පමණි. හේතුව ඈ ඔහුගේ ඥාති දුවෙකු නිසාය..
"මිශ්කා.. What's the matter ?"
"අන්කල් මට දෙයක් කියන්න තියෙනවා. ඔයා ඉම්පෝර්ටන්ට් වැඩක්ද ?"
"නෑ එහෙම නෑ.. කියන්න."
ලී මේසය මත තිබූ ලා රෝස පැහැ පියනි මල් දෙස බලා සිටි මිශෙල්ට මිශ්කාගේ දැස් යොමු විය..
"මේක පර්සනල් දෙයක්.. මගෙ පර්සනල් දේවල් වෙන අය ඉස්සරහා කියන්න මම කැමති නෑ කියලා ඔයා දන්නවනෙ අන්කල්."
මිශ්කා එය කියා අවසන් වෙනවාත් සමඟම මිශෙල් ඈ දෙස බැලුවා ය. තමා එක්ක හොඳින් කතා කලද මිශ්කා මෙවන් දේ සමහර අවස්ථා වල කියන බව මිශෙල් දනී.
"සර්ට තව මුකුත් මට කියන්න නෑනෙ.. එහෙනම් මම සොනායා එක්ක යන්නම්."
"ඔව් මිශෙල් ඔයා යන්න. ලේට් වෙන්න එපා. ආයෙ හවසත් ඔයාට ඉම්පෝර්ටන්ට් ගමනක් යන්න තියෙනවා කිව්වනේ."
"හරි.."
මිශෙල් මිශ්කාටද සිනහවක් පා කාර්යාලයෙන් පිටතට ගොස් දොර වසා දැමුවාය. ඈ පුටු දෙස බලද්දී සොනායා ඉඳගෙන සිටි තැනින් අතුරුදන් වී තිබුණි. නමුත් ඒ වෙනුවට වෙනත් සේවකයෙකු ඈ අසලට පිය නැගුවේ ය.
"මැඩම්.. සොනායා මැඩම් ගවේෂ සර්ව මීට් වෙන්න සර්ගෙ රූම් එකට ගියා. මැඩම්ට පොඩ්ඩක් ඉන්න කිව්වා මෙතන."
සේවකයා එසේ කියා එතනින් පිටව යද්දී මිශෙල් හිස නවා විදුලි සෝපානය තිබූ තැන දෙසට සෙමෙන් පිය මැන්නාය. නමුත් ඈ හදිසියේ ජනේලයක් ලඟ නතර වූයේ ඈතින් පෙනෙන විශේෂ දෙයක චායාවක් ඇගේ දෑසට යන්තමින් පෙනුණු නිසායි. ඉතින් ඈ ජනේලයේ වීදුරුවෙන් ඒ දෙස බැලුවාය.
එය සාමාන්‍ය දුරින් පෙනෙන අරලිය ගහකි. එහි ලා රෝස පෙති පහ මධ්‍යයේ තැඹිලි පැහැයක් මිශ්‍ර වී ඇති මල් හැම අත්තක් නෑරම පිරී තිබුණි. ඒ මල් අහස දෙසට හැරී ඇත්තේ පෙති මත තිබූ වතුර බිඳිති හිරු එළියෙන් දිළිසෙන්නට හැර ය. ඈ ජනේලය අසලට පිය මැන ඒ ගස දෙස බලා සිටියේ තමාගේ හුස්ම ඉහල පහල ගන්නා හඬද අසාගෙනය. පිවිතුරු බව හා සන්සුන් බව සංකේතවත් කරන මේ අරලිය මල් මෙන්ම තමාගේ සිතත් සන්සුන් වූවා නම් යැයි තමාටම කියා ගත් මිශෙල් සුසුම් හෙළුවාය.
කුඩා කල සිටම ඇගේ ජීවිතයේ කටුකොහොල් මිස සුමට තැනක් නොතිබුණු තරම් ය. ඈ ඇගේ ළමා කාලයේදී කී දෙනෙකුගෙන් නම් අපහාස විඳ දරාගෙන ඇත්ද. සමහර අවස්ථා වලදි ඈට ජීවිතය අතාරින්නට සිතුනත් ඈ ඒ සෑම විටකම තමාව ශක්තිමත් කරගත්තේ කඳුළු අතරිනි. ඈ සිතුවේ ඇය වයසින් වැඩි වන විට සැනසීම පිරුණු ජීවිතයක් ලැබේවි කියායි. නමුත් ඈ වැරදි ය. තවමත් ඈ සිටින්නේ තමාගේ සිතේ තිබෙන දේ තවකෙකුට කියා ගන්නට බැරි තරම් පීඩනයක ය. තමාට දැනෙන මේ පීඩනය වෙන අයෙකුට ඇත් නම් ඔහු හෝ ඇය මේ වන විටත් හුස්ම නොමැතිව ජීවත් වෙන ශරීර කඳක් හා සමාන වෙන බව ඈ සිතුවාය.
මඳ සුළඟට පවා සෙලවෙන මේ අරලිය මල් සේම තමාට සැනසීමෙන්, නිදහසේ ජීවත් වීමට පුළුවන් නම් ඒ හැරෙන්නට වෙනත් වටිනා කිසිම දෙයක් තමාගේ ජීවිතයේ නැති බව ඈ සිතුවාය.
"අපි යමු."
සොනායාගේ කටහඬ පිටුපසින් ඇහුණු නිසා ඈ කල්පනාවෙන් මිදී ජනේලය අසලින් ඈතට ගියේ නිහඬව ය. තමන්ගේ ඉතිරි ජීවිතයේ කෙදිනක හෝ තමාට සැනසීමක් ගෙනෙන හේතු කාරණාවක් හම්බ වේවි යන බලාපොරොත්තුව ඇගේ සිතේ කොනක රැඳී ඇත..
----
මිශෙල් තම කාර්යාලයෙන් පිටතට ගිය පසු ජෝන් බැලුවේ මිශ්කාගේ දෙසය. ඈ මිශෙල්ට කතා කල අයුරු ඔහුට එතරම් ඇල්ලුවේ නැත. මිශ්කාගේ යටි හිතේ තිබෙන අදහස් වචන වලින් පිටට එන බව ඔහුට තේරුම් ගියේ ඈ සෑම විටම මිශෙල් ගැන කතා කරන අයුරු අසා සිටින විටය.
"දුව.. මිශෙල් කියන්නෙ පිට කෙනෙක් නෙවෙයි. ඔයාට එයා ඉස්සරහා ඔයා කියන්න ආපු දේ කියන්න බැරි ඇයි ?"
"මම අන්කල්ට මේ දේ කියන්නමයි හිටියේ. අන්කල් මිශෙල්ට ඔච්චර ස්පෙෂල් උනේ මිශෙල්ගෙ තාත්තා අන්කල් එක්ක කනෙක්ෂන් තියෙන නිසා වෙන්න ඇති. ඒත් එහෙමයි කියලා එයා මෙතන වෙන හැම දෙයක්ම දැනගන්න ඕනි නෑ. එයා නෙවෙයි මගෙ චීෆ්."
"ඔයා ඔයාගෙ අලුත් කේස් එක හින්දා ප්‍රෙශර් වෙලා කතා කරන්නෙ මිශ්කා. මිශෙල් මට විතරක් ස්පෙෂල් කෙනෙක් නෙවෙයි. එයාගෙ වැඩ ගැන මුළු ඩිපාර්ට්මන්ට් එකම දැන් දන්නවා. ඒ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. ඒත් ඔයා ලඟකදි ඉඳන් මිශෙල්ට කැමති නෑ කියලා මට පේනවා ඔයා කතා කරන විදිහෙන්."
"මම මොකටද එයාට අකමැති. එයා මට මුකුත්ම වරදක් කරලා නෑ අන්කල්. ඒත් මම කැමති නෑ එයා මගෙ වැඩ වලට අත දානවට."
"මිශෙල් එහෙම කරලා නෑනෙ ඔයාට ?"
"නෑ.. ඒක ඉදිරියටත් නොවුනා නම් හොඳයි. අනික අන්කල් මාව මිශෙල් එක්ක කම්පෙයා කරන්න එපා. මම ඒකට කැමති නෑ."
මිශ්කාගෙ බස එන්න එන්නම වෙනස් වෙන නිසා ජෝන් නිශ්ශබ්දව ඇයට මේසය මත තිබූ වතුර වීදුරුව ලං කලේය. ඔහු බලා සිටියදී මිශ්කා මේසය මත තිබූ වතුර වීදුරුව උගුරු දෙකට හිස් කලාය. ඇය යලිත් මේසය මතින් වීදුරුව තබද්දී ඔහුට සිනහවක් ගියේ ඈ කලබල වී සිටින අයුරු දැක ය. එලෙසම ඈ මිශෙල් සමඟ තරහින් සිටින බව අද පළමු වතාවට ඔහුට පෙනී ගියේය.
"හරි.. දැන් දුව මාව මීට් වෙන්න ආවෙ අලුතෙන් ගත්තු රිපෝට් එකක් පෙන්නන්නද ?"
"ඔව්.."
මිශ්කා ජෝන්ගේ අතට වාර්තාව සඳහන් කොළය දෙද්දී ඔවුන් දෙදෙනාටම ඇසුනේ කිසියම් කෙනෙකු දොරට තට්ටු කරන හඬය. ටික වෙලාවකින් කාර්යාලය තුලට ආවේ ඒඩ්‍රියන් ය. ඔහුගේ මුහුණ දුටු විගස, යම් කිසි වරදක් සිදුව තිබේ කියා මිශ්කාට පෙනුණාය.
"What's the matter ඒඩ්‍රියන් ?"
"සර්.. රිහාෂාගෙ කියලා සැක ලේ ගෑවුන ඇඳුම් වගයක් කුණු දාන ඉඩමක තිබිලා හම්බ වෙලා. රිහාෂා අන්තිමට ඇඳන් හිටපු ඇඳුම් වලට ඒ ඇඳුම් වල පාට සමානයි."
"වට්.."
මිශ්කා ඔහුගේ අතින් ඇල්ලුවේ පුදුමයෙනි..
"එතන වැඩ කරන කෙනෙක් ඒ ඇඳුම් සැක සහිත නිසා පොලිසියට කෝල් එකක් දීලා තියෙනවා. අපේ ටීම් එක එතෙන්ට ගියා. මිසිස් බණ්ඩාරනායකටත් එන්න කිව්වා."
"ඒ කියන්නෙ රිහාෂා දැනටමත් පණ පිටින් නැද්ද ?"
මිශ්කා ඒඩ්‍රියන්ගෙන් ප්‍රශ්න කරද්දී ජෝන් පුටුවෙන් නැගිට ඔවුන් අසලට ආවේ කලිසමේ සාක්කු වලට අත් දමාගෙන ය..
"කිලර් ටිකක් දරුණුයි සර්. මම හිතන්නෙ නෑ රිහාෂායි කවිනුයි පණපිටින් ඇති කියලා."
ඒඩ්‍රියන් එසේ කිව්වේ ජෝන්ගේ දෙස බලාගෙන ය..
"එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහරවිට කිලර් අපිව නොමග යවන්න මේක කරනවා වෙන්නත් පුළුවන්. කෝකටත් ඔය දෙන්නා එතෙන්ට යන්න."
"හරි සර්."
ඒඩ්‍රියන් මිශ්කා සමඟ කාර්යාලයෙන් පිට වෙද්දී ජෝන්, ලඟ තිබූ ජනේලය අසලට ගියේය. ඔහු මීට පෙර මෙතරම් දරුණු දාම ඝාතකයෙකු මේ රටේ සිටිනු දැක තිබුණේ නැත. ඝාතකයා තමාගේ පළමු මිනී මැරුම් දෙකම ඉතා සාර්ථකව නිම කර ඇති නිසා ඔහු සිතුවේ ඒ ඝාතකයාව කොටු කර ගැනීම අපහසු කාර්යක් වන බවය..
සවස් විය..
මිශෙල් හා සොනායාට ගල්කිස්ස ප්‍රදේශයෙන් ඔවුන් සෙවූ අයගෙන් දෙන්නෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නට හැකි විය. එලෙසම ඔවුන් දෙදෙනා මේ දින වල අපරාධ රැසකට මුල පුරන ඒ ප්‍රදේශයේ සිටින මාෆියා කල්ලිය ගැන තොරතුරු රැසක් සොයා ගත්තෝය.
ඔවුන් ගිය සමාජ ශාලාවේ අයිතිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය පැමිණ තිබුන නිසා මිශෙල් ඔවුන් සමඟ කතාවකට කොටු වෙද්දී ඈ එනතුරු සොනායා මෝටර් රථය අසලට වී බලා සිටියාය. නමුත් හදිසියේම,
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
ඇගේ අතේ තිබූ මිශෙල්ගේ දුරකථනයට ඇමතුමක් එද්දී ඇය එහි තිරය දෙස බැලුවාය. එහි සඳහන් වූයේ 'Thiwen' ලෙසය. ඈ මග බලා සිටියත් ඇමතුම අවසන් වනතුරු මිශෙල් ආවේ නැත. ටික වේලාවකින් ඔහුගෙන් දෙවන ඇමතුමත් ආවේය..
"මෙන්න තමුසෙගෙ මාෆියා හස්බන් කෝල් ගන්නවා."
මිශෙල් තමා අසලට එද්දී සොනායා ඇයට දුරකතනය දික් කරමින් කීවාය. නමුත් ඈ නොසිතූ පරිදි මිශෙල් දුරකතනය අතට ගෙන එය විසන්ධි කර මෝටර් රථයේ ඉදිරිපස ලොකර් එකකට දැමුවාය.
"හස්බන් ගන්න කෝල් එක ආන්ස්වර් කරන්නෙ නැත්තෙ ඇයි ?"
"මට මෙවෙලෙ එයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ."
තමා කියූ දේ කමකට වත් නොගෙන මිශෙල් එසේ කියමින් මෝටර් රථයට නගින්න ලැහැස්ති වෙද්දී සොනායා ඇගේ අතින් ඇද එය වැලැක්වුවාය. ඇගේ මේ හැසිරීම් සොනායා අකමැතිම දෙයක් ය.
"But he is your husband."
"ඉතින් ?"
"ඉතින් කියලත් අහන්නෙ. තමුසෙගෙ හස්බන් දුර ගමනක් ගිහින් ඉන්නෙ. ඉතින් එයාට එච්චර දුර ඉඳන් තමුසෙව මතක් උන වෙලාවට කෝල්ස් ගද්දි ආන්ස්වර් කරන්න බැරි ඇයි ?"
........................................................... 🖤 ...
Sachy :- මං අහන්නෙ ඇයි ?
Mishel :- එයා කෝල් කරාම නරක දේවල් කියලා ලැජ්ජ කරනවා 😪
❗ළමයි මට ඊලඟ Episode එක ගේන්න පරක්කු උනොත් පොඩ්ඩක් ඉවසන්න හොඳද. මොකද මේ ටිකේ මට Assignment වගයක් ගොඩ ගැහිලා. මෙවන් Assignment දෙන අයව බාර දෙන්න ඕනි මිශෙල්ට 😑🔪
Sachy Collins