Miss. Anonymous - 29
Sachy Collins
මේසයේ ඉඳගෙන සිටි සොනායා ඉබේටම නැගිට්ටේ මිශෙල්ගේ දෑස් වලින් දෙකම්මුල් වලට වැටෙන කඳුළු දුටු විටය. ඇය මීට පෙර මිශෙල් මේ අයුරින් හඬන අයුරු දැක තිබුණේ නැත. අතීතය මතක් වෙද්දී මිශෙල්ටද ඇගේ දෑස් වලින් වැටෙන කඳුළු නවතන්නට නොහැකි විය.
"මම තමුන්ට මතක් කරන්න ඕනිද තමුන් මට කරපුවා. මම හිතුවා ඒ තමුන් ආදරේ පෙන්නන විදිහ කියලා. ඒත් මට කල් ගිහින් තේරුනේ. තමුසෙ තමයි මම මේ ලෝකෙ දැකපු නරකම අම්මා."
මිශෙල්ගේ කොළ පැහැ දෑස් වලින් නොනවත්වා මතු වෙන කඳුළු ඇගේ රෝස පැහැයට හැරුණු කම්මුල් දිගේ ගලාගෙන ගොස්, උකුල උඩ තිබූ ගුලි වූ දෑත් මතට වැටුණි. ශයිනි එවූ ලියුම කියවා එය කුණු බඳුනට දමා, මෙතැනට ඇයව හමුවීමට නොආවා නම් අද තමාට මෙතරම් වේදනාවක් දැනෙන්නේ නැති බව සිතා මිශෙල් පසු තැවුනාය.
"එච්චර දේවල් කරලත් තමුන්ට ලැජ්ජාවක් නැද්ද මගෙ ඉස්සරහට එන්න. තමුන් ආවෙ මාව රිද්දන්න නම් ප්ලීස් මගෙ අලුත් ජීවිතෙන් යන්න. යුරාට නැතත් මිශෙල්ට හරි මේ ලෝකෙ සතුටින් ඉන්න ඉඩ දෙන්න."
ශයිනිට මිශෙල්ව හඬවන්නට අවශ්‍ය වුනේ නැත. ඇයට අවශ්‍ය වුණේ මිශෙල්ව දකින්නට පමණි. නමුත් දරුවෙකුට තම මව අවශ්‍යම කාලයේ නොසිට පසුව කුමකටද. මිශෙල් සිතුවිල්ල වූයේ එයයි.
"I am so sorry. මට ඔයාව අඬවන්න ඕනි උනේ නෑ. ඔයාගෙන් සමාව අරගෙන ඔයාව බලලා යන්නයි ඕනි උනේ.. මම කරපු වැරදි වලට සමාව දෙන්න බැරි නම් කමක් නෑ. මම ඒක බාර ගන්නම්."
මිශෙල්ට සිතුණේ තවත් ඇය කියන දේ අසාගෙන සිටිනවාට වඩා මේ මේසයෙන් නැගිට යාම සැනසීමක් කියාය. අද ශයිනි කුමක් කීවත් මිශෙල්ගේ සිත වෙනස් කල නොහැකිය. අතීතයේ සිටි අහිංසක යුරා දැන් ජීවතුන් අතර නැත.
"මමී.."
එකවරම ශයිනි ලඟට ගැහැණු දරුවන් දෙදෙනෙකු දුවගෙන එද්දී මිශෙල් හිස ඔසවා ඒ දෙස බැලුවාය. ඒ දරුවන්ගේ පෙනුම ශයිනිට සමානය. ඒ සිටින්නේ විවාහයෙන් පසු ශයිනිට ලැබුණු දරුවන් දෙදෙනාය. මිශෙල් කඳුළු පිරි දෑස් වලින් ගැහැණු ළමුන් දෙදෙනා දෙස නිහඬව බලා සිටිද්දී ශයිනි ඔවුන්ගේ හිස අතගෑවාය.
'එතකොට මමද වැරැද්ද'
සිතූ මිශෙල් දිගින් දිගටම ශයිනි සමඟ සිටින දරුවන් දෙස බලා සිටියාය. එකල ආදරය, සෙනෙහස වෙනුවට වේදනාව පමණක් දුන් තමාගේ මව අද ඇගේ අනෙක් දරුවන්ට අදරය කරන අයුරු දකින විට මිශෙල් ඇතුලාන්තයෙන් කඩා වැටුනාය.
"බලන්න.. මේ ඉන්නෙ ඔයාලගෙ අක්කා. එයා බාබි ඩෝල් කෙනෙක් වගේ නේද?"
මිශෙල් කල්පනාවෙන් පිටතට ආවේ ශයිනි එසේ කියමින් දරුවන්ට ඇයව හඳුන්වා දෙද්දී ය. මිශෙල්ගේ වෙනස් පෙනුම දුටු ඒ දරුවන් දෙදෙනා ඇය දෙස බලා සිටියේ මදක් විසල් වූ දෑස් වලිනි.
"වාව්.. එයා හරියට නිකන් රපුන්සල් වගේ."
එක් දරුවෙක් එසේ කියද්දී මිශෙල් ශයිනි දෙස බැලුවාය. මෙය මෙතැනින් නවත්වා දමන්නට සිතුණු මිශෙල් බෑගයත් රැගෙන පුටුවෙන් නැගිණි.
"මම ඔයාලගෙ අක්කා නෙවෙයි."
"ඒ වගේම මම ඩෝල් කෙනෙක් වත් රපුන්සල් කෙනෙක් වත් නෙවෙයි. මම එයාලා වගේ වෙන්න ආස උනත් ඔයාලගෙ අම්මා මට ඒකට ඉඩ දුන්නෙ නෑ."
කියූ මිශෙල් දරුවන් දෙසට හැරී තිබූ දෑස් ශයිනි වෙතට ගත්තාය..
"තමුන් ආයෙ මාව මීට් වෙන්න එන්න හිතන්නවත් එපා. මොකද මම කලින් හිටපු කෙනා නෙවෙයි."
මිශෙල් උත්සහ කළේ එතනින් පිටව යන්නටය. නමුත් ඇය යන්නට කලින් ශයිනි පුටුවෙන් නැගිට්ටේ ඇයව පැරණි නමින්ම ආමන්ත්‍රණය කරමින් ය.
"යුරා.."
"මම යුරා නෙවෙයි!"
මිශෙල් උස් හඬින් කියා යලිත් ශයිනි දෙසට හැරුණි..
"මම තමුන්ගෙ දුව යුරා නෙවෙයි. මම මිහිත් ඇන්ඩර්සන්ගෙයි ලිලී ඇන්ඩර්සන්ගෙයි එකම දුව මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්. ඒක හොඳට මතක තියා ගන්නවා."
ශයිනි දරුවන් දෙදෙනා සමඟ බලා සිටිද්දී මිශෙල් සොනායා පසු කරමින් ඇවිද ගියාය. සොනායා බලා සිටියේ ශයිනි දෙසය. මිශෙල් මේ තරම් ශයිනි ඉදිරියේ හඬන්නට, ඇයට කුමක් හෝ නරක දෙයක් ජීවිතයේ සිදුව ඇති බව සොනායාට සිතුණි. ටික වෙලාවකට පසු ශයිනිද මේසයෙන් නැගිට අවන්හලෙන් පිටතට යද්දී සොනායා කල්පනාවෙන් පිටට ආවාය. ඇය රථගාල දෙස බලන විට දුටුවේ මිශෙල් මෝටර් රථය අසලට වී වැව දෙස බලා සිටින අයුරුය. එසැනින් සොනායා ඇය අසලට ගියාය.
"මොකද උනේ? කව්ද ඒ ලේඩි?"
සොනායා මිශෙල්ව ඇගේ දෙසට හරවා ගත්තාය. මිශෙල්ගේ කම්මුල් දිගේ ගලා යන කඳුළු දැක සොනායා මොහොතකට නිහඬ වුණාය.
"I don't want to see her again."
ප්‍රථම වතාවට සොනායාට මිශෙල් ගැන දුකක් දැනුනේ අදය. ඉතින් ඈ තවත් බලා නොසිට මිශෙල්ව පපුවට තුරුළු කර ගත්තාය.
"අපි ගෙදර යමු."
සොනායා කීවේ මිශෙල්ගේ හිස අතගාමිනි. නමුත් මෙවැනි මොහොතක මිශෙල්ට තිවේන් ලඟට යන්නට අවැසි වුනේ නැත.
"මාව අම්මලගෙ ගෙදර එක්ක යන්න පුළුවන්ද ?"
මිශෙල් කියද්දී සොනායා හිස වැනුවාය. ටික වෙලාවකින් ඔවුන් දෙදෙනාම එතැනින් පිටත් වුණේ මිශෙල්ගේ මවත් පියාත් ජීවත් වන නිවසට යන්නට ය. එදා තමන් හිත් වේදනාවකින් සිටිද්දී එයට තවත් වේදනාවක් එකතු කල ශයිනිට වඩා අද තමා වෙනුවෙන් ඕනෑම දේකට පෙනී සිටින, තමා ගැන වදවෙන ලිලී කෙතරම් වටින පුද්ගලයෙක්ද කියා මිශෙල් එදා සිට අද වෙනතුරුම දහස් වරකටත් වඩා සිතුවාය. මවක් වීමේ අගයවත් නොදන්නා ශයිනි වැනි අයෙකු සමඟ තමාට පළමු වරට මවකගේ ආදරය කියා දුන් ලිලීව සංසන්දනය කරන්නට තරම් වත් මිශෙල් අකමැතිය. කුඩා කල ගෙවූ වේදනාත්මක ජීවිතයෙන් ඇයට වුණු තුවාල සියල්ල ආදරය සහ සෙනෙහස යන බෙහෙතෙන් සුව කලේ ලිලී ය.
මීට විනාඩි පහකට පෙර මිශෙල් දුරකතනයෙන් අමතා, ඇය තමාව හමුවීමට එන බව කියූ නිසා ලිලී ආලින්දයට වී හිස්වූ බිත්තියක් දෙස ඔහේ බලා සිටියාය. මිහිත්ද දවසේම කාර්යාලයේ සිටින නිසා ඇය තනිව සිටියේ මිශෙල් ගැන කල්පනා කරමින් ය. නමුත් එකවරම ඇගේ කල්පනාව බිඳුණේ දොර දෙසින් ඇසුණු හුරු පුරුදු අඩි උස යුගලයේ ශබ්දය නිසායි.
"අම්මේ.."
ලිලී සෝෆාවෙන් නැගිටිද්දීම මිශෙල් ඇය ලඟට ඇවිද ඇයව තුරුළු කර ගත්තේ දෑස් වල කඳුළු රඳවාගෙන ය. මිශෙල් මොන හේතුවකට අඬනවාද කියා ලිලීට සිතා ගන්නට නොහැකි විය.
"ශෙලී.. ඇයි මේ?"
"මට මගෙ බර්ත් මදර්ව මීට් උනා."
එකවරම දොර දෙසින් මතු වුණේ සොනායා ය. ඇයත් එතන සිදු වූ දේ නිවැරදිව දන්නේ නැත. ඇය අවන්හලේ සිටි කාන්තාව කව්ද කියා දැන ගත්තේ මිශෙල් ලිලීට කියූ දේ ඇසුණු විටයි. සොනායා සෙමෙන් ආලින්දයට පිය මනිද්දී ලිලී මිශෙල්ව සෝෆාවකින් ඉන්දවා ඇයට එහා පසින් ඉඳ ගත්තාය.
"එයා ඔයාට හිත රිදෙන්න මොනවා හරි කිව්වද?"
"නෑ.. ඒත් එයාව දැක්කමත් මගෙ හිත රිදෙනවා."
ලිලී මිශෙල්ගේ දෑස් වලින් වැටුණු කඳුළු පිස දමා ඇයව යලිත් තුරුළු කර ගත්තාය. ඒ අසලින් ඉඳගත් සොනායාද මිශෙල්ගේ හිසට අතක් තැබුවාය.
"ඔයා මට කිව්වා නම් මම ඒ ගෑනිට කතා කරනවා ආයෙ නොඑන්නම."
සොනායා කියද්දී මිශෙල් දෑස් හරවා ඇගේ දෙස බැලුවාය. ඒ සමඟම ලිලී මිශෙල්ගේ අතින් ඇල්ලුවාය..
"එයාව කොහොමද ඔයාට මීට් උනේ ?"
"අද උදේ මට ලෙටර් එකක් ලැබුනා එයාගෙන්. මාව බලන්න ඕනි කියලා. මම ගියෙ එයාට ආයෙ එන්න එපා කියන්න. එයා දැන් වෙනස් වෙලා. දුවලා දෙන්නෙකුත් ඉන්නවා. ඒත් එයා ඉස්සරහට ගිහාම එයා ඒ කාලෙ මට සලකපු විදිහ මතක් උනා."
"Don't worry ශෙලී.. එයා ආයෙ එන එකක් නෑ ඔයා ඉස්සරහට. මම තාත්තට කියන්නම් මේකට මොකක් හරි කරන්න කියලා. අපි ඉන්නකම් ආයෙ ශයිනිට ඔයාට කරදර කරන්න ඉඩ දෙන්නෙ නෑ."
ලිලී මිශෙල්ගේ හිස අත ගෑවාය. මිනිත්තු ගණනක්ම මිශෙල් නිහඬව ලිලීගේ පපුව මතට වී කල්පනාවක සිටියාය. කම්මුල් වල රැඳී තිබූ කදුළු වියලී ගොස් ඇතත් ඇගේ සිත තුල පැතිරී තිබූ වේදනාව තවමත් නැති වී ගොස් නැත.
"පොඩ්ඩක් ඉන්නකෝ.. මම ඔයාට කොෆී එකක් හදන් එන්නම්."
කියූ ලිලී එතනින් නැගිට මුළුතැන්ගෙට ගියාය. ඒ සමඟම සොනායා මිශෙල් අසලින් වාඩි වුනාය. මිශෙල් මේ අයුරින් තිවේන්ගේ නිවසට රැගෙන ගියොත්, අද ගිය ගමනේදී කුමක් හෝ සිදු වූ බව තිවේන් නිසැකයෙන්ම දැනගනී කියා සොනායා සිතුවාය.
"ශයිනි මොනවද කලේ ඔයාට?"
සොනායා මිශෙල්ගේ හිස අතගා ප්‍රශ්න කරද්දී මිශෙල් ඇගේ දෙස බැලුවාය..
"එයා මාව මරපු නැති එක විතරයි. මට ගැහුවා, හැමදාම මම මොකක් හරි අහන්න ගිහාම මගෙ කොණ්ඩෙන් ඇදලා මාව තල්ලු කරනවා, මට අවජාතක කෙල්ල කියලා කතා කලේ එයාගෙම දුව වෙලත්. ස්කූල් යන්න කලින් කෑවට පස්සෙ මට ආයෙ කන්න වෙන්නෙ රෑට. මම දෙයක් ඉල්ලුවට එයා දෙන්නෙ නෑ. ආච්චිට කියන්න එපා කියලා මගෙ අතපය අඹරනවා. සමහර වෙලාවට සිගරට් වලින් පුච්චනවා.."
ඈ සොනායාට සියල්ලම කීවාය. ඇගේ දෑස් වල කඳුළු ඉතිරිව නැත. නමුත් ඇය කතා කරන්නේ හිත තුල වේදනාවක් සඟවාගෙන බව සොනායාට ඒ හඬින්ම තේරුම් ගියාය. සමහරවිට ඇය මේ තරම් නිහඬ වෙන්නටත්, මිනිසුන් අතරට යන්නට අකමැති වීමටත් හේතුව කුඩා කල වුණු මේ අපයෝජන වෙන්නට ඇතැයි සොනායා සිතුවාය.
"ඒ ගෑනිට නම් මෙන්ටල් ඩිසෝඩර් එකක් තිබිලද කොහෙද. මොන අම්මෙකුටද පුළුවන් තමන් බිහි කරපු ළමයට එහෙම කරන්න?"
"එයා මං එක්ක තරහින් හිටියෙ මාව ඇබෝෂන් කරන්න බැරි උන නිසා. අනික මම නිසා එයත් ලැජ්ජ උනා."
"ඔයා නිසා නෙවෙයි ඒ ගෑනි ලැජ්ජ උනේ. ඒ ගෑනිගෙ වැඩ නිසා තමයි ඔයා ලැජ්ජ උනේ."
"ඔව්.. හැමෝම දන්නවා මගෙ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා. අම්මව දන්න මිනිස්සු මගෙ දිහත් බැලුවෙ ඒ විදිහට."
මිශෙල් එසේ කියද්දී සොනායා මිශෙල්ගේ අත උඩින් තම අත තැබුවාය..
"ඔයාගෙ අම්මා ලිලී ඇන්ඩර්සන්. එයා ගොඩක් හොඳ කෙනෙක්. අද ඔයාට ඔයාගෙ අම්මට දෙන ගෞරවයම මිනිස්සුන්ගෙනුත් ලැබෙනවා. එච්චරයි."
සොනායා කියද්දී මිශෙල් ඇගේ දෙස බලා දෙතොල් ඇද සිනාසුනා ය. තම කුසින් වැදූ දරුවෙකුගේ අගයක් නොදන්න මවකගෙන් වෙන් වී ලිලී වැනි කාන්තාවක් ලඟට පැමිණ ආදරය ලබන්නට මිශෙල් වාසනාවන්ත වූවාය.
පැයක් පමණ ගත විය..
කිසිවක් නොවුනාක් මෙන් මිශෙල් වෙනදා සේම සාමාන්‍ය මුහුණකින් සිටියාය. ලිලී ලඟට පැමිණ ඇයව තුරුළු කරගත් පසු මිශෙල්ට දැනුණේ ශයිනි විසින් අවුස්සා දැමූ වේදනාත්මක මතක යලි හිත යට තැන්පත් වෙන බවය. ඒ තැන්පත් වූ මතක යලි අවුස්සන්නට ශයිනි තමා ඉදිරියට නොඒවා කියා මිශෙල් සිතින් ප්‍රාර්ථනා කළාය.
සොනායා මිශෙල්ව යලි තිවේන්ගේ නිවසට රැගෙන ගියාය. දිගු වෙලාවක් මිශෙල් සමඟ ඇගේ කාමරයට වී කතා කරමින් සිටි සොනායා යන්නට සිතුවේ පෙර මෙන් ඇගේ මුහුණේ දුක්බර පෙනුමක් නැති නිසායි. නමුත් මිශෙල් ඇගේ ජීවිතයේ වැඩියෙන්ම කල දේ නම් අනෙක් මිනිසුන්ට, තම හිතේ තිබෙන දේ මුහුණෙන් නොපෙන්වන්නට උත්සහ ගත් එකය. හොඳම මිතුරිය වන සොනායාගෙනුත් එය සඟවන්නට මිශෙල් දක්ෂ වූවාය.
"මම යන්නම්.. මොනා හරි උවමනාවක් උනොත් මට කෝල් එකක් දෙන්න. මම රෑටත් කෝල් එකක් දෙන්නම්."
මිශෙල් ඇඳ මත වාඩි වී සිටිද්දී සොනායා ඇගේ හිස අතගා කාමරයෙන් පිටතට ගියේ දොරත් වසාගෙන ය. ඇය මෙවන් රහසක් තමාට වත් නොකියා අවුරුදු ගණනක් හිත තුල සඟවාගෙන සිටියේ කෙසේද කියා සොනායා සිතුවාය. සමහරවිට මෙවන් දෙයක් තමාට සිදු වුනා නම් තමන් අදටත් එදා වුණු දේවල් වලින් ලැබුණු ප්‍රථිපල මානසිකව අත් විඳින බව සොනායාට සැකයක් නැත.
"තිවේන්."
තිවේන් එළිමහන් මේසයක ඉඳගෙන කිසිවෙකු හෝ සමඟ දුරකතනයෙන් කතා කරන අයුරු දුටු සොනායා එතැනට ගොස් ඔහුට කතා කළාය. ඇමතුම නවතා ඔහු සොනායා දෙස බැලුවේය.
"මට ඔයා එක්ක දෙයක් කතා කරන්න තියෙනවා."
සොනායා මෙලෙසින් තමා ඉදිරියට එන බව දැන සිටි තිවේන් කිසිවක් නොකියා හිස වැනුවේය..
"මොන වගේ දෙයක්ද ?"
"මිශෙල් ගැන."
සොනායා කියද්දී තිවේන් ඇයට පෙන්නුවේ ඔහු ඉදිරියේ තිබූ හිස් පුටුව ය. සොනායා තම අත තිබූ යතුර මේසය මතින් තබා පුටුවෙන් ඉඳ ගත්තාය. මින් පෙර මේ නිවසට පැමිණෙන සෑම විටෙකම ඔහු පෙනෙන්නට සිටියේ නැති නිසා ඇයට ඔහු සමඟ කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැත.
රාත්‍රිය උදා විය..
මිශෙල් සිටියේ ඇඳ මත වැතිරී ය. ඇගේ හිස ඇඳෙන් පහලට එල්ලෙමින් තිබූ නිසා ඇගේ කොණ්ඩයද බිම වැදී විසිරී තිබුණි. පිටතින් ඇසෙන රැහැයියන්ගේ හඬ අසාගෙන ඇය කල්පනාවක සිටියේ අද වුණු සිදුවීම ගැනය. ඉදිමී තිබූ ඇගේ දෑස් වලින් යලිත් කඳුළු මතු වී, ඇසිපිය දිගේ ගලාගෙන ගොස් බිමට පතිත විය.
❝ අවජාතක කෙල්ල ❞
❝ තමුසෙගෙ තාත්තා කව්ද කියලා තමුසෙගෙ අම්මටවත් හිතා ගන්න බැරුව ඇති. ඇයි ඉතින් කී දෙනෙක් එක්ක සල්ලි වලට නිදියනවද ❞
❝ මට ඔයා එක්ක කතා කරන්න එපා කියලා මගෙ අම්මා කියලා තියෙන්නේ. ඔයා එක්ක හිටියොත් මමත් නරක් වෙයි කියලා අම්මා මට බැන්නා ❞
❝ මට නම් තාත්තා බර්ත්ඩේ එකට සප්‍රයිස් එකක් දුන්නා. ආ මට අමතක උනානෙ. ඔයාට එහෙම දේවල් කරන්න තාත්තෙක් නෑනෙ. අඩුම ඔයා තාත්තා කව්ද කියලාවත් දන්නෙ නෑනෙ ❞
ඇය පාසල් යන කාලයේ ඇගේ පංතියේ සිටි සමහර ළමයින් ඇයට කීවේ එවැනි දේවල් ය. ඔවුන් සෑම විටෙකම කලේ ඇයව සියල්ලන්ම ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමත් ඇයට අපහස කිරීමත් ය. මේ නිසා ඇය පීඩනයට පත් වූවාය. ඇය මේ ගැන ඉවෝන්ට වත් නොකීවේ ඇයත් මේවා අසා පීඩනයට පත් වෙන නිසායි.
ළමයින් විසින් කරන මේ හෑල්ලුවට ලක් කිරීම් හා අපහාස දරාගන්නට බැරි තැන යුරා කලේ පාසලේ ගුරුවරුන් ලඟට ගොස් ඒ ගැන කීමය. නමුත් ගුරුවරුනුත් ඇය කියූ දේ ගණන් ගත්තේ නැත. ඔවුන් කලේ ඇයට මුවගින් සිනහා වීමය. සමහර අවස්ථාවල ගුරුවරුන් ඇගෙන් ප්‍රශ්න අසා පංතියේ සියළු ළමුන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට හා අපහසුතාවයට පත් කළේ ඇය පසෙකට වී නිහඬව සිටින නිසාය. තමාට වුණ අසාධාරණකම් හමුවේ නිහඬව සිටි ඇයට සිදු වුනේ බෙහෙත් නොගන්නා මානසික ලෙඩෙකු වීමටය.
අතීතය මතක් කළ මිශෙල් කඳුළු පිසදාගෙන ඇඳ මත ඉඳ ගත්තාය. අද දිනය තමා කඳුළු වලටම වෙන් කලත් හෙට දිනය වෙනදා මෙන්ම සාමාන්‍ය මුහුණකින් ගෙවෙන දවසක් විය යුතුය කියා ඇය සිතුවාය. ඇය දැන්, මීට වසර ගණනාවකට පෙර සිටි අපහාස ලද පීඩනයට පත් යුරා නොවේ. අවුරුදු දහයකට පෙර ඇයට ලැබුණු මේ නව ජීවිතය සහ නව අනන්‍යතාව සමඟ ඇය දැන් ජීවත් වන්නේ ශක්තිමත් ගැහැණු ළමයෙකු ලෙසිනි.
........
ඊයේ දිනය පුරාම මිශෙල් සිටියේ කාමරයේ දොරගුළු දමාගෙනය. ඇයව හමුවීමට යන්නට තිවේන්ට උවමනාව තිබුණත් එය කරන්නට ඔහුට හැකි වුනේ නැත. ඉතින් ඔහු සවස් යාමයේදී ඇගේ කාමරය දෙසට ඇවිද ගියේ අදවත් ඇයව හමු වෙන්නට හැකි වේවි කියාය.
බැස යන තැඹිලි පැහැ හිරු එළියෙන් නැහැවුණු ඇගේ කාමරයේ දොර විවෘතව තිබුණි. ඔහු දොර අසලට ගොස් කලිසම් සාක්කු වලට දෙඅත් දමාගෙන සිට ගත්තේ ඇය ඇඳ මත ඉඳීවි කියා සිතාගෙන ය. නමුත් ඔහු වැරදිය. ඇය ඇඳ මත වත්, කවිච්චිය මත වත් පෙනෙන්නට සිටියේ නැත. අඩි ශබ්දය නෑසෙන්නට, කළු පැහැ ඔක්ස්ෆර්ඩ් සපත්තු ගැලවූ ඔහු මේස් යුගලය පිටින් කාමරය තුලට පිය මැන්නේය.
කාමරයේ කොනක තිබූ ඇඳක ඉඳගෙන සිටි ඇගේ බළලා ඔහු දෙස බැලුවේය. සඳලුතලයට දෙසට ඇවිද ගිය ඔහු එකවරම නැවතුණේ බිම වැතිරී සිටින මිශෙල් දුටු විටය. කවිච්චිය ලඟම, හිරු එළිය වැටී රත් වූ බිමේ ඇය නිදා සිටියේ කොට්ටයක් වත් ඇතිරිල්ලක් වත් නැතිවය. ඇය ඇඳ සිටි සුදු පැහැ ස්කිනර් හැට්ටය ඇඟට තද වී තිබුණි. එලෙසම ඇය ඇඳ සිටි සුදු පැහැ දිගු එම්බ්‍රෝයිඩරි සාය බිම විසිරී තිබුණේ ඇගේ පතුල් පමණක් පෙනෙන අයුරිනි. වෙනදා නොමැතිව ඇය මෙතැන නිදා ගත්තේ ඇයි. සිතූ ඔහු ඇය අසලින් වැතිරී ඇගේ දෙස බැලුවේය.
පිටින් එන සුළඟ නිසා සඳලුතලයේ තිබූ සුදු පැහැ දොර රෙදි කවිච්චියේ ගෑවෙමින් විසිරී ගියේය. හිරු එළියෙන් රන් පාටට දිළිසෙන ඇගේ කොණ්ඩය මත ඔහුගේ දෑස් රැඳී තිබුණේය. කාමරය පුරා අස්සක් මුල්ලක් නෑරම පිරී තිබුණේ නිහඬතාවය පමණි. ඇය දෙස කෙතරම් වෙලාවක් බලා සිටියාද කියා ඔහුට මතක නැත. ඇය නොදැනුවත්වම කරන්නේ ඔහුගේ ජීවිතයට තවත් අමතක නොවන මතක එකතු කිරීමය.
එකවරම ඔහු නොසිතූ ලෙසින් ඇගේ දෑස් විවර වුණි. ඔහු තමා ඉදිරියේ වැතිරී බලා සිටින බව දුටු ඇය ක්ෂණිකව බිම ඉඳ ගත්තාය. තමාට මෙතැන නින්ද ගියේ කීයටද කියා ඇයට මතකයක් නැත. ඇයට අවසානයට මතක තිබුණේ, බාරව සිටින නඩුවට සැකකරුවෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගොස් යලි නිවසට පැමිණ ඇඟ සෝදාගත් බව පමණි.
"......"
ඇය කිසිවක් නොකියා බලා සිටිද්දී ඔහු බිම ඉඳ ගත්තේය. මෙවැනි වෙලාවක තම කාමරයට ඔහු මොන හේතුවකට ආවාදැයි කියා ඇය කල්පනා කළාය. එකවරම ඔහු ඇයව පපුවට තුරුළු කර ගද්දී ඇය කල්පනාවෙන් පිටට ආවාය.
"මට සොනායා කිව්වා ඊයෙ උන දේ."
ඉන වටා බැඳෙන්නට අදිමදි කල ඇගේ දෑත් ඔහුගේ පපුව මත ගුලි වී තිබුණි. නමුත් ඔහුගේ පපුවෙන් ආ රස්නය ඇගේ දෑත් ටිකෙන් ටික ලිහිල් කලේ ඇයවත් නොසිතූ පරිදිය.
"මම මොනවද මේක වෙනුවෙන් කරන්න ඕනෙ?"
........................................................... 🖤 ...
මෙච්චර ලේට් වෙලා කතාව දීලත් තාමත් කතාව කියවන රීඩර්ස්ලාට Thank you so much
කමෙන්ට් එකක් දීගෙන යන්න කතාව ගැන.
Sachy Collins