Miss. Anonymous - 28

Miss. Anonymous - 28

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


🚫 This episode contains child abuse and suicide themes


"මගෙ දුව..."


"මම තමුන්ගෙ දුව නෙවෙයි."


ශයිනි කියූ දේට පෙරලා මිශෙල් එසේ කීවේ තරහා මුසු වූ හඬිනි. ඇයට දැනුණේ ඇගේ සිරුර ගිනි ගන්නවාක් සේ රස්නයකි.


"ඔයා මං එක්ක තරහින් ඇත්තෙ. ඒත් දැනට පරණ දේවල් අමතක කරලා මෙතනින් ඉඳගන්න."


වෙනත් මේසයක ඉඳගෙන සිටි සොනායා දුටුවේ මිශෙල්ගේ මුහුණ වෙනදා නොමැතිව තරහින් රතු වී තිබෙන අයුරුය. ඇය ඉදිරියේ සිටින මේ කාන්තාව ඇගේ අතීතයට සම්බන්ධ ඇතැයි කියා සොනායා සිතුවාය.


මිශෙල් කිසිවක් නොකියා පුටුවක් ඇද ඉඳ ගත්තාය. අවන්හලට ආ පසු වේලාව ඉබි ගමනක යනවාක් මෙන් ඇයට දැනුණි. ඊට හේතුව තමා ඉදිරියේ සිටින කෙනා නිසාද කියා ඇය කල්පනා කළාය.


"ඔයා ඔයාගෙ තාත්තා වගේමයි යුරා.. ඔයාව දැක්කම මට මතක් උනේ එයාව."


මිශෙල් නිහඬව ඈත බලා සිටියාය..


"මම දන්නවා. අම්මෙක් දරුවෙකුට කරන්න හොඳ නැති දේවල් මම ඔයාට කළේ. මට සමාව දෙන්න දුව. පරණ දේවල් පොඩ්ඩකට අමතක කරන්න."


ශයිනි එසේ කියද්දී මිශෙල් ඇගේ දෙස හැරුණාය. තමා ඉදිරියට විත් ඇය මෙලෙසින් සැහැල්ලුවට සමාව ඉල්ලන්නේ කෙසේද. අතීතය මුල සිට අගට මතක් වුණ මිශෙල් කළකිරීමෙන් ශයිනි දෙස බැලුවාය.


"සමාව.. මට සතෙක් ගානට සලකලා මාව තනි කරලා තමන්ගෙ සතුට හොයාගෙන ගිය තමුන්ට සමාව දෙන්නද කියන්නේ? තමුන් හිතන් ඉන්නෙ ඒවා සමාව දෙන්න පුළුවන් වැරදි කියලද? අනික පරණ මතක අමතක කරන්න? තමුන්ට වෛර කරනවා ඇරෙන්න මගෙන් සමාවක් නෑ."


මිශෙල් කීවේ තරහිනි..


"ඒත් ඔයාව බිහි කලේ මම. එදා ඔයාව මම ඇබෝෂන් කලා නම් අද ඔයා කියලා කෙනෙක් නෑ."


ශයිනිගේ වචන හමුවේ මිශෙල් කට කොනින් සිනාසුනාය. තම දෑස් වල පිරී තිබූ කඳුළු තවමත් කම්මුල් දිගේ පල්ලම් නොබැස්සේ ඇයි කියා මිශෙල් පුදුම වුණාය.


"ඉතින් ඇයි කලේ නැත්තෙ? ඉපදෙන්න කලින් ඇයි මාව මැරුවෙ නැත්තෙ? ඒ හින්දද මම ජීවත් වෙලා ඉන්නකම් මාව මෙහෙම විඳවන තත්වෙට පත් කළේ? තමුන් මට මොනාද නොකළෙ? තමුන් නිසා මම මිනිස්සුන්ගෙන් කොච්චර අපහාස වින්දද? එදා තමුන් මාව මරලා දැම්මා නම් අද මට මෙහෙම වෙන්නෙ නෑ."


මැය වැනි අයෙකු ඉදිරියේ තම කඳුළු බිම හෙලන්නට මිශෙල්ට අදහසක් නැත. මිශෙල් සෑම විටෙකම සිතුවේ ඇගේ දුර්වලකම කිසිඳු අයෙකු ඉදිරියේ නොපෙන්වා ඉන්නටය. නමුත් අද ඇයට, ඇගේ දුර්වලකම වූ මේ කඳුළු බිම හෙලන්නට සිදු වනු ඇත. ශයිනි ඉදිරියට ආ විගස ඇගේ මනස තුල යටපත් වී තිබූ ඒ අඳුරු මතක යලි ගොඩ ආවේ ඇගේ සිත වේදනාවෙන් පොඟවමින් ය..


⏳ වසර ගණනාවක් අතීතයට..


වේලාව උදේ නවය පසු වී තිබුණි. ශයිනි ලැහැස්ති වෙමින් සිටියේ ඇගේ මවට හොරෙන් සුපුරුදු පරිදි අදත් කොළඹ යන්නටය. තම මව වන ඉවෝන් රැකියාවට යන්නට ලැහැස්ති වෙන අතරතුර ශයිනි කාමරයට වී තම බෑගයට අවශ්‍ය දේවල් දමා ගත්තාය. එකවරම, බිම බලාගෙන සිටි ඇයට දැනුනේ කැරකිල්ලකි.


ඉවෝන් කෑම කාමරයේ මේසය මතින් ශයිනිගේ කෑම පිඟාන තබා බෑගයත් රැගෙන ඉස්තෝප්පුවට ආවාය. එවිට ඉවෝන් දුටුවේ ශයිනි මිදුලේ කොනක තිබූ ජකරන්ද ගස අසලට වී වමනය කරන බවය. ඒ සැනින් ඉවෝන්, ශයිනි අසලට ගියාය.


"ශයිනි ඇයි මේ?"


"මං දන්නෙ නෑ."


ඉවෝන්ට ශයිනි කතා කරන්නේ එලෙසය. ශයිනි උදයේ වමනය කරන අයුරු දුටු විට ඉවෝන්ගේ මුළු සිරුරම සීතල වී ගියේය.


"ශයිනි තමුසෙ ප්‍රෙග්නන්ට්ද?"


ශයිනිගෙන් පිළිතුරක් නැති නිසා ඉවෝන් ඇයව නිවස තුලට ඇදගෙන ගියේ අවට මිනිසුන් මේ සිද්ධිය දකින නිසාය.


"ශයිනි මට කියනවා තමුසෙ ප්‍රෙග්නන්ට්ද?"


ශයිනිගේ නිහඬතාවය ඇගේ පිළිතුර බව දන්නා ඉවෝන් මුවට අතක් තද කර ගත්තාය. ඇය මෙවන් දෙයක් කරගන්නා බව ඉවෝන් දැන සිටියාය.


"මම දැන ගත්තා තමුසෙ මේක කරගනී කියලා. මට කියනවා කාගෙද මේ ළමයා?"


ඉවෝන් ශයිනිගේ අතකින් අල්ලා ඇයව සෙලවූවාය. ශයිනි තවමත් ගල් ගැසී බිම බලාගෙන ය.


"ශයිනි මට කියනවා කාගෙද මේ ළමයා? තමුසෙට ඒකත් ශුවර් නැද්ද?"


"එයා ජර්මන් කෙනෙක්."


ශයිනි පිළිතුරු දුන්නාය. ඉවෝන් ඇගේ අත අතහැර හිසකේ පසුපසට අදිමින් වෙනත් අතක් බලා ගත්තේ දැනුණු තරහව පාලනය කර ගන්නටය.


"දැන් කොහෙද ඒ මනුස්සයා ?"


"එයා දැන් මෙහෙ නැතුව ඇති."


ශයිනි එය කියා අවසන් වෙද්දී ඉවෝන් ඇගේ කම්මුලට ගැහුවේ ඇයව පසෙකට විසි වී යන ලෙසයි.


"කරලා ඉවර වෙලා කියන ලස්සන? තමුසෙ හැමදාම කළේ මාව මිනිස්සු ඉස්සරහා ලැජ්ජ කරපු එක."


ඉවෝන් බෑගයත් රැගෙන ඉස්තෝප්පුවට ගියාය..


"තමුසෙ මං එනකම් කොහෙවත් යන්නෙ නෑ!"


කියූ ඉවෝන් බිම වැටී සිටි ශයිනි දෙස බලා නිවසේ දොර අගුළු දමා නිවසෙන් පිටත් වුනාය. මෙයට කුමක් කරන්නද කියා ශයිනිට අදහසක් නැත. ඇගේ මේ කුසේ සිටින දරුවාගේ පියා දැන් ලංකාවේ නැති බව ඇය හොඳින්ම දනී..


ඇය ශයිනි ජයවර්ධනයි. කුඩා කල සිට ඇගේ ආශාව තිබුණේ රංගන ශිල්පිනියක් වීමටය. ඇගේ ඒ සිහිනය සැබෑ කරන්නට බලාපොරොත්තුවක් දෙමින් මීට මාස කිහිපයකට පෙර ඇයට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලැබුණි. ඒ අවස්ථාව මඟ නොහැරි ශයිනි ඇගේ මවගේ අකමැත්තෙන්ම රූගත කිරීම් වලට කියා නිවසෙන් පිටත් වුණි. නමුත් ඇය රැවටුනාය. ඇයට ආරාධනා ලැබුණේ සාමාන්‍ය චිත්‍රපට නිශ්පාදකවරයෙකුගෙන් නොවේ. ඔවුන් බලහත්කාරයෙන් ශයිනිව අසභ්‍ය චිත්‍රපටයකට යොදවා ගත්තේ ශයින්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින් ය. දින ගණනක් ඔවුන් ශයිනිව සිර කරගෙන එවැනි වීඩියෝ වලට යොදාගෙන තිබුණි. අවසානයේ එම වීඩියෝ පට අසභ්‍ය දර්ශන පළ කරන වෙබ් අඩවි වල සංසරණය වී ශයිනිව විනාශයට පත් කළේය.


එදයින් පසුව ශයිනිට සියල්ලන්ගෙන්ම ලැබුණේ නින්දා, අපහාස පමණි. ශයිනිගේ මේ මෝඩ ක්‍රියාව නිසා ඉවෝන්ද ලැජ්ජාවට පත් වුනාය. එපමණක් නොවේ. ශයිනිට පාසල් යෑමද නතර කරන්නට සිදු වුනාය. නමුත් සිදුවූ කිසිවක් යලි වෙනස් කල නොහැකි නිසා ඉවෝන් ශයිනිට තරවටු කලේ යලිත් මෙවන් දෙයක් නොකරන ලෙසයි. ශයිනි කළු පැහැයට හුරු තලෙළු සමක් ඇති කළු පැහැ ඉන මට්ටමට දිගු කෙස් කළඹක් ඇති උස ගැහැණු ළමයෙකි. මෙය සිදු වෙද්දී ඇයට වයස දහසයකි. ඇගේ මේ පෙනුමත්, අඩු වයසත් නිසාත් සමහර පුද්ගලයින් ඇයව සොයාගෙන නිවසට ආවේ ඇගෙන් ප්‍රයෝජන ගන්නටය.


අවසානයේ ශයිනි විවිධාකාරයේ මිනිසුන්ගේ ලිංගික ආශා සංසිඳවා මුදල් ලබා ගන්නා වෛශ්‍යාවක් බවට පත් වූවාය. ඉවෝන් මේ ගැන දැනගෙන සිටියේ නැත. හේතුව ඉවෝන් ඒ ලඟම නගරයේ කාර්යාලයක රැකියාවට යන නිසාය. ඉවෝන් නිවසේ නැති කාලයේ ශයිනි විවිධාකාර පිරිමි පුද්ගලයින්ගේ මෝටර් රථ වලට නැග ගමන් යන බව අසල් වැසියන් ඉවෝන්ට කියා තිබුණි. පසුව ඉවෝන් ශයිනි ගැන දැන ගත්තාය. ඉතින් තව දුරටත් ඉවෝන්, ශයිනි කරන දේ ගැන සොයා බැලුවේ නැත.


ඇගේ මව, ඉවෝන් ජයවර්ධන පොහොසත් පවුලකින් ආ ගැහැණියකි. ඇයට ශයිනිව ලැබුණේ අවුරුදු විස්සකදි ය. අවාසනාවන්ත ලෙස ශයිනිට අවුරුදු පහක් වන විට ඇගේ පියා පිළිකාවකින් මිය ගියේ ඔවුන්ව තනි කර දමාය. එදයින් පසුව ඉවෝන් කාර්යාලයක රැකියාවට ගොස් ශයිනිව තනිව රැක බලා ගත්තාය. නමුත් ඉවෝන් නිවසේ නැති වීම ප්‍රයෝජනයට ගත් ශයිනි, ඇය සිතූ දේවල් කළාය. අද ශයිනි මෙවැනි තත්වයකට වැටුනේ එකල සිට ඇය කල වයසට නොගැලපෙන ක්‍රියා නිසායි..


අතීතය, චිත්‍රපටයක් මෙන් මනසේ මැවෙද්දී ශයිනි ඇගේ කාමරයට ගියාය. මීට සති කිහිපයකට උඩදී ඇයට 'Honey blonde' පැහැ හිසකේ ඇති, කොළ පැහැ දෑස් හිමි ජර්මානු ජාතික පුද්ගලයෙකු හමු විය. ඔහු ඇය සමඟ දින දෙකක් පමණ සිටියේය. නමුත් එයින් පසුව ඇය ඔහුව යලි දුටුවේ නැත.


එදින සවස ඉවෝන් නිවසට එද්දී ශයිනි සිටියේ පිහියක් උදරය අසලට තබාගෙනය. ශයිනිට අවශ්‍ය වූයේ තම කුස තුල සිටින දරුවා මරා දමන්නටය. එහෙත් ශයිනිව ඉවෝන් විසින් නවතා දැමුවාය.


"තමුසෙට පිස්සුද ශයිනි?"


"මට මේ ළමයව එපා! මට මේක කරන්න දෙන්න!"


"ඉපදිලාවත් නැති දරුවෙක්ව මරන්න හිතක් පපුවක් නැද්ද තමුසෙට?"


යලිත් වරක් ඉවෝන්ගෙන් ලැබුණු අතුල් පහර නිසා ශයිනි ඇඳ මතට වැටුණි. ඉවෝන් මෙයට බාධාවක් වූ නමුත් ශයිනි ඇගේ උත්සහය අතහැරියේ නැත. පසු දිනෙක ශයිනි වෛද්‍යවරයෙකු හමුවෙන්නට ගියේ මේ දරුවා ගබ්සා කරන්නටය.


"මිස් ජයවර්ධන. ඔයාට තාම වයස දාසයයි. ඔයාට මෙච්චර පොඩි වයසකින් ඇබෝෂන් එකක් කරන්න බෑ. එහෙම උනොත් අනාගතේට ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔයාට ඔයාගෙ වූම්බ් එක අයින් කරන්න වෙයි. ඒ නිසා මේක කරන්න එපා. පුළුවන් නම් ඔයා මේ දරුවාව අපිට දෙන්න. අපි සල්ලි වලට දරුවව අරගෙන වෙන පවුලකට බාර දෙන්නම්."


මුදල් යොදවා වත් ඇයට මේ දරුවා මරා දමන්නට වෛද්‍යවරුන්ගෙන් අවසරයක් ගන්නට නොහැකි විය. ඇයට ඉතිරිව තිබුණේ එකම එක විකල්පයකි. එය නම්, මේ දරුවා බිහිකර මුදල් වලට විකිණීමය. ඉතින් ඇය එය කරන්නට තීරණය කළාය. නමුත් ඉවෝන්ට සිතුණේ ඇගේ මේ දරුවා හදා ගන්නටය. ශයිනි කළ දෙයට ඇගේ මේ කුසේ සිටි දරුවා පළි නැත.


කාලයක් ගත විය..


ශයිනිගේ කුසේ සිටින දරුවාට මාස නවයක් ගත වෙන්නට ලඟය. මුල් කාලයේ ඈ ගැබිනියක් බව නොකියා පෙර කල දේම සිදු කරමින් මුදල් ඉපයුවාය. නමුත් පසුව ඇයට, පිටට නෙරා ආ උදරය නිසා කිසිවක් කරන්නට හැකියාවක් ලැබුණේ නැත. එක් දිනෙක නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඉවෝන්ට රැකියාවට යෑමට සිදු විය. එදින ශයිනිට දරුවා ලැබෙන්නට අමාරු වුණේ ඈ වත් නොසිතූ අයුරිනි. ශයිනි ඇගේ අධිමානය නිසා අවට කිසිවෙකුගෙන් උදව් නොගෙන තනිව දරුවා බිහි කළාය.


එදින ඉවෝන් නිවසට එද්දී රෙදි කඩකින් ඔතා ගත් අලුත උපන් දරුවා සමඟ ශයිනි සිටියේ ඇඳ මත වේදනාවෙන් කෙඳිරිගාමින් ය. දරුවාගේ පෙනුම දුටු ඉවෝන්ට සිතුණේ එදා ශයිනි කියූ දේ සත්‍යක් බවය. රෝස පැහැයට හුරු සුදු පැහැ සමක් ඇති, බ්ලොන්ඩ් පැහැ හිසකේ ඇති ඒ බිළිඳියට තිබුණේ විදේශීය පෙනුමකි. ශයිනි ඉවෝන්ට බල කළේ මේ දරුවා මුදල් වලට විකුණන ලෙසය. නමුත් ඉවෝන් එයට ඉඩ දුන්නේ නැත. ඉවෝන්ට මේ දරුවා හදා ගන්නට අවැසි වුනාය.


"මම ඔය ළමයට කිරි දෙන්නෙ නෑ."


දරුවා අඬන විට ශයිනිගේ පිළිතුර වූයේ එයයි. ශයිනි පෙර පරිදිම සමාජ ශාලාව වල නවතිද්දී ඉවෝන් නිවසේ සිට දරුවාට කිරි දී උස් මහත් කළාය. සමහර අවස්ථාවල ඇය දරුවා රැගෙන කාර්යාලයට ගොස් රැකියාව කළාය. ඉපදුන දා සිට දරුවා ලඟට ශයිනි ගියේ නැත. ඇය සිතුවේ මේ දරුවා නිසා ඇගේ ජීවිතය විනාශ වූවා කියාය. ඉතින් ඇගේ සිතේ දරුවාට දශමයකවත් ආදරයක් තිබුණේ නැත.


කාලය ගෙවී ගොස් දරුවා උස් මහත් විය. ඇගේ නම යුරා එලිනෝර් ය. ශයිනි කියූ පරිදිම යුරාගේ පෙනුම ඇගේ පියා හා සමානය. ආමන්ඩ් හැඩයේ කොළ පැහැ දෑස් සහ දිගු 'Honey blonde' පැහැ හිසකේ යුරාට වෙනස්ම ලස්සනක් එකතු කළේය. ඉවෝන් අහිංසක යුරාට ආදරය කළේ තමාගේ කුසෙන් වැදූ දරුවෙක් හා සමානවය. නමුත් ඒ ආදරය යුරාට ශයිනිගෙන් ලැබුණේ නැත. යන්තමින් ඇවිදින කාලයේ යුරා ශයිනි ලඟට දිව යද්දී ශයිනි කළේ ඇයට බැන වැදී තල්ලු කිරීමය. බිම වැටී අඬන යුරාව ඔසවා ඉවෝන් ශයිනිට බැන වැදුණේ දරුවාට එතරම් කෲර නොවන ලෙසය. නමුත් ඉවෝන්ගේ බසට ශයිනි අවනත වුණේ නැත. ශයිනි යුරාව දකින්නටවත් අකමැතිය.


යුරා පාසල් යන වයසට ආවාය. නමුත් ඇගේ මේ පෙනුම ඇයට නිවසෙන් පිටට යන්නට බාධා කළේය. අසල්වැසියන් වත් යුරාව දැක තිබුණේ නැත. ඉවෝන් යුරාව නිවස තුල තියා ගත්තේ නිවසේ මිදුලට වත් යන්නට නොදී ය. නමුත් ඇය තවත් මේ ලෙස සඟවාගෙන සිටින්නද. ඇයට අනිවාර්යයෙන්ම ඉගෙනුම ලබා දිය යුතුය. දැනටමත් යුරා චිත්‍ර වලට දක්ෂ ය. ඇය තවදුරටත් මේ නිවසේ සැඟවී සිටියහොත් ඇගේ මේ හැකියාවන්ට තවත් වටිනාකමක් එකතු නොවනු ඇත. එනිසා ඉවෝන් ඇයව නගරයේ තිබූ පාසලකට යවන්නට කටයුතු කළාය.


පාසල් යන්නට ප්‍රථම ඉවෝන් යුරාගේ හිසකේ කළු පැහැයෙන් වර්ණ ගැන්වුවාය. කුඩා දරුවෙකුට එය නොසුදුසු වුවත් ඇය ඇගේ පෙනුම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් වේවි කියා සිතේ තිබූ බයට ඉවෝන්ට එය කරන්නට සිදු වුණාය. පාසලේ වෙනත් පන්ති වල යුරා මෙන් උපතින් කොළ පැහැ දෑස් ලැබුණු වෙනත් ළමයි කිහිප දෙනෙකු සිටින නිසා ඇගේ දෑස් වල පැහැයත් හංගන්නට අවශ්‍ය වුණේ නැත. යුරා උපතින්ම චිත්‍ර අඳින්නට දක්ෂ ගැහැණු ළමයෙකි. සමහරවිට එය ඇයට, ඇගේ පියාගෙන් ආ හැකියාවක් වෙන්නට ඇති කියා ඉවෝන් සිතුවාය. ඇය පාසලේ තිබූ චිත්‍ර තරඟ වලින් ප්‍රථම ස්ථානය ලබා ගත්තාය. ඒ හැම අවස්ථාවකම ඉවෝන් යුරාව අගය කළේ ඇය කැමතිම බාර්බි බෝනික්කන් තෑගි කරමින් ය. නමුත් ශයිනි, යුරාව එලෙසින් අගය කළේ නැත.


යුරාව අගය කරන්නට තියා ඇයව දකින්නට වත් ශයිනි අකමැතිය. උපයන මුදල් වලින් ඇය යුරාට කිසිවක් අරන් දුන්නේ නැත. ශයිනිගේ එලෙසින් හැසිරුණත් යුරා කිසිදිනෙක ශයිනිට ආදරය කිරීම නතර කළේ නැත. ඊට හේතුව ඇයට ශයිනිගේ වෛරය ආදරයක් ලෙස පෙනීමය.


"අම්මා?"


දිනක් යුරා ශයිනි අසලට ආවේ ඉවෝන් රැකියාවට ගොස් නිවසේ නැති වෙලාවක ය. යුරාට අවැසි වුණේ ශයිනි සමඟ කතා කරන්නට පමණි.


"තමුන්.. යනවා යන්න මෙතනින්!"


ශයිනි මදක් දෑස් විසල් කරගෙන දසන් තද කරගෙන යුරා දෙස බලමින් කීවාය. ඇගේ ඒ බසේ මුසු වී ඇති තරහව හඳුන ගන්නට අහිංසක යුරා දන්නේ නැත.


"මම කිව්වා නේද යනවා කියලා!"


එකවරම ශයිනි යුරාගේ අතක් තදින් අල්ලාගෙන එය පසුපසට ඇඹරුවේ යුරා වේදනාවෙන් කෑ ගසද්දීය.


"තමුන් තමයි මගෙ ජීවිතේ කෑවෙ! මට වද නොදී තමුන් මැරිලා යනවා! අවජාතක කෙල්ල."


ශයිනි අත හරිද්දී යුරා බිම ඇදගෙන වැටුණේ වේදනා දෙන අතත් අල්ලාගෙන ය. යුරාගේ දෑස් වල කඳුළු දුටුවත්, ඉකිබිඳුම් ඇසුණත් ශයිනිට දුකක් දැනුනේ නැත. ඒ තරම්ම ඇය යුරාට වෛර කළාය. මේ සිදුවීම යුරා ඉවෝන්ට කීවේ නැත. සමහර අවස්ථා වල ශයිනි පැමිණ යුරාට තර්ජනය කරන්නේ ඇය කරන කිසි දෙයක් ඉවෝන් එක්ක නොපවසන ලෙසය. කිසිදෙයක් නොතේරෙන යුරා ඇයට තිබූ ආදරය නිසා ඒ පොරොන්දුව රැක්කාය.


ඊට පසු දිනෙක රාත්‍රියක ශයිනි යුරාගේ කාමරයට ගියේ කොට්ටයකුත් රැගෙනය. ඉවෝන් නිදි අතරේ ශයිනි යුරා ලඟට ගොස්, නිදා සිටින ඇගේ මුහුණට කොට්ටය තද කළාය. ශයිනි සිතුවේ එදා යුරා හුස්ම සිරවී මියයයි කියාය. නමුත් යුරාගේ කෑ ගැසිලි ඇසී ඉවෝන් ඇඳෙන් නැගිටින ශබ්දය ඇසෙත්ම ශයිනිට එතැනින් යන්නට වුණාය. ඉවෝන් එතැනට පැමිණියේ නැත්නම් යුරා ජීවතුන් අතර නැත. යුරා සිටියේ නින්දෙන් නිසා ඇයට මෙය කලේ ශයිනි බව මතක නැත. ඉවෝන් සෑම දිනෙකම රැකියාවට යන නිසා දහවල් කාලයේ යුරා වැඩිපුරම නිවසේ සිටින්නේ ශයිනි සමඟය. ඉතින් යුරාට කරදරයක් කරන්නට ශයිනිට අවස්ථාවන් ඇති තරම් තිබුණි.


තවත් දිනෙක ශයිනි තම අතේ තිබූ දුම් වැටියෙන් යුරාගේ සිරුරේ තැනින් තැන තුවාල කළාය. සෑම දිනෙකම රාත්‍රියේ ඉවෝන් නිවසට එන තුරුම ශයිනි යුරාට කන්නට කිසිම දෙයක් සාදා දෙන්නේ නැත. ඉතින් යුරා සිටින්නේ පැය ගණනක් කුසගින්නේය. ඇය කෑම ඉල්ලූ විට ශයිනි කරන්නේ ඇයව අන්ධකාරයෙන් වැසුණු ගබඩා කාමරයට දමන එකය. එසේත් නොමැති නම් ඇයට පහර දෙන එකය. යුරා අන්ධකාරයත් දූවිල්ලත් පිරුණු ඒ කාමරය තුල හඬන අයුරු ඇසුනත් ශයිනිට කිසිදිනෙක ඇය ගැන අනුකම්පාවක් දැනුනේ නැත. ශයිනිට අවශ්‍ය වුණේම යුරාගෙන් පලි ගන්නටය. පසුව ශයිනිගේ මේ රිදවීම් දරා ගන්නට බැරි නිසා යුරා ඇය ඉදිරියට යෑම සීමා කළාය.


"අම්මා.. මට හැමෝම අවජාතක කෙල්ල කියනවා. ඒ වචන වල තේරුම අම්මා දන්නවද?"


එක් දිනක් යුරා පැමිණ ශයිනිගෙන් ඇසුවාය. ශයිනි තමාගේ කම්මුලට හෝ ගසාවිද යන බියෙන් යුරා බියෙන් මුහුණ පහළට හරවාගෙන සිටියාය. පාසලේ සිටින සමහර ළමුන් සහ අසල්වැසියන් තමාට 'අවජාතක දරුවෙකු' යැයි කියන හේතුව යුරා දන්නේ නැත. එහි තේරුම වත් තේරුම් ගන්නට ඇය පරිණත නැත.


"ඔව් මම දන්නවා."


කියූ ශයිනි යුරාගේ බ්ලොන්ඩ් පැහැ හිසකේ එක් අතකින් ඇද්දේ යුරාගේ මුවින් කෙඳිරියක් පිට වෙද්දියි..


"ආහ්.."


"තාත්තා කව්ද කියලාවත් දන්නෙ නැති තමුන් වගේ කරුමෙට ඉපදුන, වැඩකට නැති ළමයින්ට කියන නමක් ඒක. මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරන්න ආපු තමුන් වගේ ළමයි තමයි අවජාතක!"


ශයිනි කියූ දේ නොතේරුනත් ශයිනි තමාට මෙතරම් රිද්දන්නේ ඇයි කියා යුරා, රිදුම්කන හිස අල්ලාගෙන සිතුවාය. එදයින් පසුව මසක් පමණ යුරා ශයිනි ඉදිරියට ආවේ නැත. යුරා ඇගේ වයසේ අනෙක් ළමුන්ට වඩා කෙසඟ ය. ඉවෝන් සිතුවේ එසේ වූයේ ශයිනි ගැටවර වියේ යුරාව බිහි කල නිසා කියායි. නමුත් සත්‍ය හේතුව එය නොවේ. ශයිනි කරන කායික හා මානසික දඬුවම් නිසා යුරා සිටියේ හෙම්බත්ව ය.


ශයිනි දහස් වරක් පැතුවේ යුරා කෙසේ හෝ තම ජීවිතයෙන් ඈත් වෙන ලෙසය. නමුත් අවසානයේ ඇයටම යුරාගෙන් ඈත් වෙන්නට අවස්ථාවක් ලැබුණි. ඒ වනවිට යුරාට වයස අවුරුදු අටකි. ශයිනි රැකියාවේදී හමු වූ මැදි වයස් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් පටන් ගත්තාය. ඔහුට අවශ්‍ය වුණේ ශයිනිව මේ ජීවිතයෙන් ගොඩ ගන්නටය. කාලයක් ගෙවෙද්දී ඔහු ශයිනිට විවාහ යෝජනාවක් ගෙනවිත් ඔහුගේ ලඟ නවතින ලෙස ආරාධනා කළේය. ශයිනිට අවශ්‍ය වුණේත් එයමය. යුරාගෙන් සදහටම මිදෙන්නට ඇත්නම් එය තරම් වටින දෙයක් තම ජීවිතයේ නැතැයි කියා ශයිනි සිතුවාය.


"මේ ඉන්නෙ මගෙ හස්බන්ඩ්. මම අද එයා එක්ක යනවා. මට දැන් වත් මගෙ පාඩුවේ ඉන්න දෙන්න ඔයාලා. මේ ළමයත් එක්ක ආයෙ මගෙ ඉස්සරහට එන්න හිතන්නවත් එපා."


ශයිනි තමාට එහා පසින් සිටගෙන සිටි මැදි වයස් පුද්ගලයා පෙන්වමින් කියද්දී ඉවෝන්ට දැනුණේ කළකිරීමකි. ඉවෝන්ගේ පිටුපස සැඟවී සිටි යුරා හඬමින් බලා සිටියේ අදින් පසුව තම මව දෑසට වත් දකින්නට නොලැබෙන නිසායි. යුරා සෑම විටෙකම ශයින්ගෙන් සෙව්වේ ආදරය හා සෙනෙහස ය. නමුත් එය කිසිදාක ඇගෙන් නොලැබුණා කියා යුරා ඇයට වෛර කළේද නැත.


"යනවා! අදින් පස්සෙ තමුසෙ මගෙ දුව නෙවෙයි ශයිනි. මට දුවෙක් හිටියෙ නෑ. ඒ වගේම මම ඉන්නකම් යුරාව තමුසෙ වගේ හිතක් පපුවක් නැති ගෑනියක් ලඟට එවන්නෙ නෑ. Get out from my house right now!"


ඉවෝන් කියද්දී ශයිනි, ඇයව විවාහ කරගන්නට සිටි පුද්ගලයා සමඟ නිවසෙන් පිටව ගියාය. තමාව කෙතරම් රිද්දුවත්, තම මව තමාව දමා ඈතට යන අයුරු යුරාට බලා සිටින්නට හැකියාවක් තිබුණේ නැත. එනිසා යුරා හඬමින් දුව ගොස් ශයිනිගේ දෙපා වල එල්ලුනාය.


"අම්මෙ යන්න එපා.. ඔයා අකමැති නම් මම ආයෙ ඔයාගෙ ඉස්සරහට එන්නෙ නෑ.. ප්ලීස් මාවයි ආච්චිවයි දාලා යන්න එපා.. මට ඔයා නැතුව ඉන්න බෑ අම්මේ!"


නමුත් එදත් ඇය කලේ යුරාව තල්ලු කර දමා ඈතට ගිය එකය. ශයිනි ගිය දින සිට කාලයක් යන තුරු යුරා සිටියේ දුකිනි. නමුත් වැඩිකලක් නොවේ..


⏳ වර්තමානයට..


මේසයේ ඉඳගෙන සිටි සොනායා ඉබේටම නැගිට්ටේ මිශෙල්ගේ දෑස් වලින් දෙකම්මුල් වලට වැටෙන කඳුළු දුටු විටය. ඇය මීට පෙර මිශෙල් මේ අයුරින් හඬන අයුරු දැක තිබුණේ නැත. අතීතය මතක් වෙද්දී මිශෙල්ටද ඇගේ දෑස් වලින් වැටෙන කඳුළු නවතන්නට නොහැකි විය.


"මම තමුන්ට මතක් කරන්න ඕනිද තමුන් මට කරපුවා. මම හිතුවා ඒ තමුන් ආදරේ පෙන්නන විදිහ කියලා. ඒත් මට කල් ගිහින් තේරුනේ. තමුසෙ තමයි මම මේ ලෝකෙ දැකපු නරකම අම්මා."


මිශෙල්ගේ කොළ පැහැ දෑස් වලින් නොනවත්වා මතු වෙන කඳුළු ඇගේ රෝස පැහැයට හැරුණු කම්මුල් දිගේ ගලාගෙන ගොස්, උකුල උඩ තිබූ ගුලි වූ දෑත් මතට වැටුණි. ශයිනි එවූ ලියුම කියවා එය කුණු බඳුනට දමා, මෙතැනට ඇයව හමුවීමට නොආවා නම් අද තමාට මෙතරම් වේදනාවක් දැනෙන්නේ නැති බව සිතා මිශෙල් පසු තැවුනාය.


........................................................... 🖤 ...


මිශෙල්ගෙ අතීතයෙන් භාගයක් විතරයි මේ.


මේ කතාවෙන් මම සමාජයේ තියෙන ප්‍රශ්න තුනක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙකක් කිව්වා. තව එකක් ඉතුරුයි❕


(ශයිනිගෙයි ඉවෝන්ගෙයි pics දාන්නම් පස්සෙ වෙලාවක. මට ඒවා හදන්න වෙලාවක් තිබුණෙ නෑ. Sorry)


Sachy Collins

Report Page