Miss. Anonymous - 21
Sachy Collins
"තිවේන් මොන වගේ මනුස්සයෙක්ද කියලා දැන දැනමයි තමුසෙ එයාව මැරි කලේ."
යලිත් නිහඬ වූ මිශෙල් දෙස බලා සොනායා ප්‍රශ්න කළාය. ඈ තමා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට අකමැති උනත් සොනායා මෙය නවත්වන්නට සිතුවේ නැත.
"Well.. තමුසෙ කතා කරන්නෙ නැත්තම් මම කතා කරන්නම්. මම තමුසෙව මෙතෙන්ට එක්කගෙන ආවෙ තමුසෙ කවදාවත් දැනගෙන හිටපු නැති, මම මෙච්චර කාලයක් හංගගෙන හිටපු දෙයක් කියලා අපි අතර තියෙන රහස් නැති කරලා දාන්න."
"තිවේන් කියන්නෙ අපරාධකාරයෙක්. එයා ඊයෙ මිනිස්සු දෙසිය ගානක්ම එක සැරේ මරලා දැම්මා."
එකවරම සොනායා කියූ දේ හමුවේ මිශෙල්ට දැනුණේ මොහොතකට ඇගේ හදවතේ ගැස්ම නතර වූවාක් මෙනි. එකට තද වී තිබූ ඇගේ දෙතොල් පෙති ලිහිල් වී ඇගේ වටකුරු දෑස්ද මදක් විසල් වූයේ සොනායාට ඒ මුහුණ කියවන්නට පහසු කරමින් ය.
"මම තිවේන්ට මාෆියා හස්බන්ඩ් කිව්වෙ එයාගෙ පෙනුම නිසා නෙවෙයි. මම දන්නවා එයා ජරා විදිහට මිනිස්සු මරලා සැනසීමෙ නිදාගන්න ඩාර්ක් කැරැක්ටර් එකක් කියලා."
මිශෙල් දිගින් දිගටම සොනායා දෙස බලා සිටියා පමණි..
"මම මගෙ ජීවිතේ පළවෙනි වතාවට, මනුස්සයෙක් කිසිම හැඟීමක් අනුකම්පාවක් නැතුව තව මනුස්සයෙක්ව සතෙක් ගානට මරලා දානවා දැක්කෙ තිවේන්ගෙන්."
අවුරුදු කීපයකට පෙර සිදු වූ ඒ සිදුවීම සොනායාට අද වූවාක් මෙන් හොඳින් මතක ය. එය මිශෙල්ට කියන්නට ඈ බලා සිටියේ මිශෙල් තිවේන් සමඟ විවාහ වෙන බව දැනගත් දින සිටය.
"මගෙ අපාර්ට්මන්ට් එකට යන පාරෙ හොර කැළෑවක් මැද තට්ටු ගාණක පරණ බිල්ඩින් එකක් තිබුණා. ඒක අතෑරලා දාපු වැඩිහිටි නිවාසයක්...."
⏳ අතීතයට..
එදා වැහිබර දිනයකි. අවුරුදු පනහකටත් වඩා පැරණි අතහැර දැමූ පාළු ගොඩනැගිල්ලේ දෙවනි තට්ටුවේ සිටි සොනායා බලා සිටියේ වහලයේ සිදුරකින් තාලයට සිමෙන්ති පොළව උඩට වැටෙන වතුර බිංදු දෙසය. සොනායා විවිධාකාරයේ ගවේෂණ කිරීමට කැමති කිසිම දෙයකට නිර්භය ගැහැණු ළමයෙකි. ඉතින් සෑම දිනෙකම ගමන් බිමන් යද්දී හමුවන මේ අඳුරු භයංකාර ගොඩනැගිල්ල පරීක්ෂා කරන තෙක් ඇයට නින්දක් ලැබුණේ නැත.
මුළු ගොඩනැගිල්ලේම අස්සක් මුල්ලක් නෑර පරික්ෂා කළ ඇය කැළය පුරා කුඩයක් අතින් ගෙන ඇවිද්දේ එහි තිබූ වටිනා ගස් වැල් බලන්නටය. ඈ සිටි තැනට මදක් ඈතින් පෙනුණු වැස්සෙන් තෙත් වූ මාර්ගය වෙනදාට වඩා වාහන රහිතව හිස්ව තිබුණි. නමුත් ඒ හිස් බව තිබුණේ මිනිත්තු කීපයක් පමණි.
Screech..
වාහනයක් මාර්ගයේ තදින් තිරිංග ගසන හඬ ඇසෙද්දී සොනායා යලිත් ගස් අතරින් පෙනෙන මාර්ගය දෙස බැලුවාය. ලඟ තිබූ උස් මහෝගනී ගසකට මුවා වුණු ඈ බලා සිටියේ කළු පැහැ ජීප් රථයකින් පිටතට ආ පුද්ගලයින් කිහිප දෙනෙක් කෑ මොර දෙන මැදි වයස් පුද්ගලයෙක් මාර්ගය දිගේ ඇදගෙන එන අයුරුය.
ඔවුන්ට නොපෙනෙන පරිද්දෙන් ඈ කුඩය හකුලාගෙන දිගින් දිගටම බලා සිටියාය. සුළු මොහොතකින් එතැනට ආවේ හැඩිදැඩි ශරීරයක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ පිළිවෙළකට පීරා ඇති කොණ්ඩය දිළිසෙන කළු පැහැතිය. මුහුණේ හකු රේඛා පරිපූර්ණය. එලෙසම අඩි හයක පමණ උසය.
කළු පැහැ කබායෙන් පිටතට ආ ඔහුගේ නිල් නහර ඉලිප්පී තිබූ අතේ ඇඟිලි අතර කළු ගල් කැබැල්ලක් තද වී තිබුණි. පෙනුමෙන් ඔහු එසේ මෙසේ එකෙකු නොවන බව සොනායාට සිතුණේ වටේ සිටි ආරක්ෂකයින් හා ජීප් රථයෙන් එහාට තිබූ සුඛෝපභෝගී මෝටර් රථ කීපය දුටු විටය.
"මාව මරන්න එපා මම වඳින්නම්!"
"මට ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්නවා සර්. මම හැමදෙයක්ම කරේ සල්ලි ඕනි නිසා!"
"මම සර් කියන ඕනි දෙයක් කරන්නම්!"
බිම වැටී සිටි මැදි වයස් පුද්ගලයා හඬමින් කෑ ගැසුවේය. නමුත් එතැන සිටි ඔවුන්ටත් සොනායාටත් හැරෙන්නට ඒ කෑ ගැසිල්ල වෙනත් කිසිවෙකුටවත් ඇසුණේ නැත.
"උඹට ඒක හිතන්න තිබ්බෙ හැමදෙයක්ම කරන්න කලින්!"
එය ගැඹුරු කටහඬකි. සොනායා ඇසිපිය ගසන ක්ෂණයෙන් ඔහුගේ අත තිබූ කළු ගල බිම සිටි පුද්ගලයාගේ හිස මතට වැදී හමාරය. ඒ සමඟම පහර කෑ පුද්ගලයා යටිගිරියෙන් කෑ ගැසුවේය. නමුත් ඒ ලතෝනිය ඔහුව නතර කළේ නැත. දිගින් දිගටම ඔහු ඒ පුද්ගලයාගේ හිසට ගලෙන් පහර දුන්නේය.
"ආහ්හ්!"
ගුටි කෑ පුද්ගලයාගේ මුහුණ නොබැලිය හැකි තරම් සම ගැලවී ලේ ගලමින් තිබුණි. නමුත් ඔහුගේ ශක්තිමත් දෑත් ඒ පුද්ගලයාගේ හිස සිදුරු කර මිසක් නවතින ලකුණක් තිබුණේ නැත. කිසිවෙකුටත් නොපෙනෙන තැනක ඉඳ මේ සිදුවීම මුල සිට බලා සිටි සොනායාගේ ඇඟම අමුතුම ශීතලකින් හිරි වැටී ගියාය.
"මාව මරන්න එපාහ්!"
මදකට නැවතුණු ඔහු බිම ලේ මැද වැතිර සිටි පුද්ගලයා දෙස බැලුවේය. තරහින් වෙවුලන ඔහුගේ අත ලේ වලින් නැහැවී තිබූ අතර කම්මුල් දිගේද ලේ බිඳු පහලට පල්ලම් බසිමින් තිබුණි. එලෙසම ඔහුගේ හුස්ම රටාවද පෙරට වඩා වේගවත් වී තිබුණි.
එකවරම ඔහු ඒ අසල තිබූ විශාල ප්‍රමාණයේ කළු ගලක් අතට ගත්තේ අත තිබූ කුඩා ගල අතහැර ය. පහර කෑ පුද්ගලයා හිස දෙපසට සොලවමින් පසු පසට ඇදෙද්දී ඔහු හැඟීම් විරහිත එකෙකු ගාණට ඒ පුද්ගලයාගේ හිස මතට ගල අත හැරියේය.
"......"
හිස ගලට තද වන ශබ්දය ඇසෙද්දීම සොනායාගේ සවනට ඇසුණේ නොනවතින බීප් නාදයකි. තම සිරුර පණ නැතිව යන්නාක් මෙන් දැනෙද්දී ඈ ලඟ තිබූ ගස තදින් අල්ලා ගත්තාය.
"මුගෙ ගෑනිවයි ළමයවයි මරලා දාපන්!"
"හරි සර්."
ඔහු එතැනින් යන්නට හැරෙද්දි සොනායා ඔහුගේ මුහුණ පැහැදිලිව දුටුවාය. එතරම් කඩවසම් පෙනුමක් ඇති ඔහු මෙතරම් අමානුෂික වීමට හේතුව එසේ මෙසේ එකක් නොවනු ඇතැයි ඈට මොහොතකට සිතුණාය.
ඒ සොනායා තම දෑස් අභියස සාහසික අපරාධයක් වෙනු දුටු පළමු අවස්ථාවය. ඔවුන් සියල්ල කිසිවක් නොවුනාක් මෙන් එතැනින් ගියත් ගලට යටවී මියගිය පුද්ගලයාගේ සිරුර තවමත් ඇයට පෙනෙන්නට මාර්ගයේ පසෙක වැටී තිබුණි. එදින ඈ නිවසට ගියේද සිහිවිකල් වූ අයෙකු ලෙසින් ය. මේ සිදුවීමෙන් දිනකට පසුව මිය ගිය පුද්ගලයා ගැන සියල්ලන්ම දැන ගත්තේය. පොලිසිය පවා මේ ගැන තොරතුරු දන්නා අයෙක් සෙව්වත් සොනායා නොදන්නා අයුරින් නිහඬව සිටියේ තමා ඔහුට විරුද්ධව සාක්ෂි දුන් හොත් මිය ගිය පුද්ගලයා මෙන් මීලඟට තමාටත් මාර්ගයක හෝ පාළු කැළෑවක සාහසික අයුරින් මිය යන්නට වෙන බව දන්නා නිසාය.
⏳ වර්තමානයට..
"දවසක් තමුසෙ මගෙ ඉස්සරහට ඇවිත් මේ ඉන්නෙ මම මැරි කරන්න ඉන්න කෙනා කියලා තිවේන්ව පෙන්නද්දි මගෙ ඇඟ ආයෙම පාරක් කූල් වෙලා ගියා එදා වගේම. මට මතක් උනා එදා තිවේන්ගෙ මූණ ලේ වලින් නෑවිලා තිබ්බ හැටි."
"මට මේ ගැන තමුසෙ එක්ක කතා කරන්න ඕනි උනා. මොකද මම ආස උනේ නෑ තමුසෙව තිවේන් වගේ හැඟීම් දැනීම් නැති එකෙක්ට දෙන්න. එදා අර මිනිහව සතෙක් වගේ පාර අයිනෙ මරලා දාලා ගියපු විදිහ මතක් වෙද්දි මට හිතුණෙ තිවේන් තමුසෙට කොහොම සලකයිද කියලා. ඒකයි මම වෙඩින් එකට පැයකට කලින් තමුසෙගෙන් ඇහුවෙ මේක හොඳට හිතලා බලලා ගත්තු ඩිසිෂන් එකක්ද කියලා."
සොනායා කියූ කතාව මෙතෙක් වෙලා නිහඬව අසා සිටි මිශෙල් දෑස් බිමට හැරෙව්වාය. ඔහු මීට වඩා අන්ත දේවල් මින් පෙර කල බව ඇය දැන සිටියාය.
"අපේ මැරේජ් කන්ට්‍රැක්ට් එකේ රූල්ස් තිබුණා. එයාට මට කරදරයක් කරන්න බෑ. මට එයාගෙන් වෙන් වෙලා යන්න ඕනි කියලා හිතුණොත් එයා ඒකට මට Allow එක දෙන්නම ඕනි."
කල්පනාවක සිටි මිශෙල් එකවරම එසේ කීවාය..
"එතකොට අද වෙනකම් එයා ඒ රූල්ස් නොකඩා තියා ගත්තද ?"
ඒ ප්‍රශ්නය හමුවේ යලිත් මිශෙල් නිහඬ වූවාය. ඉතින් සොනායාට වෙන සිතන්නට යමක් ඉතිරි වී නොතිබූ නිසා ඈ මිශෙල්ගෙ එක් අතක් මතින් තම අත තැබුවාය.
"ශෙලී.. තමුසෙ මනුස්සයෙක්. ඒ වගේ අමනුස්සයෙක් තමුසෙට ගැලපෙන්නෙ නෑ."
"තමුසෙට හොඳටම විශ්වාසද තමුසෙ මේ බැඳීම ඇතුලෙ සතුටින් ඉන්නෙ කියලා."
තමා ඔහු සමඟ සතුටින් ජීවත් වෙනවාද දුකින් ජීවත් වෙනවාද කියා මිශෙල්ට අදහසක් නැත. නමුත් ඇය ඔහුගේ ජීවිතයේ විශේෂ කෙනෙකු නිසා ඔහු ඇයට අනෙකාට මෙන් නරක අන්දමින් සලකන්නට සිතුවේ වත් නැත.
"එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ."
"Sure ?"
මිශෙල් හිස වැනුවාය. තමා මොන ආකාරයේ ප්‍රශ්නයක් විමසුවත් ඈ එයට ධනාත්මක පිළිතුරක් දෙන බව සොනායාට තර්කයකින් තොරව කිව හැකිය.
"Lets go."
සොනායා බංකුවෙන් නැගිට මිශෙල්ව පසු කරගෙන දොර දෙසට ඇවිද ගියාය. මිශෙල් තවමත් තම වෙදඟිල්ලේ තිබූ විවාහ මුදුව දෙස බලාගෙන කල්පනාවක ය..
'ඔයාට කියන්න ගොඩක් දේවල් මගෙ හිතේ තියෙනවා සොනා. ඒත් ඒවා ඔයාට කියන්න හදනකොටම, නොකියා ඉන්න තරමටම හොඳයි කියලා මට හිතෙනවා' මිශෙල්ගේ සිත කීවාය.
කල්පනාවෙන් පිටට විත් ඇය බංකුවෙන් නැගිට දොර දෙසට පිය මැන්නාය. එහෙත් මන්දිරය තුලින් පිටතට යන්නට නොදී තම දෙපා කවුරුන් හෝ තදින් අල්ලාගෙන පසු පසට අදිනවාක් මෙන් ඇයට දැනුණි. ඇගේ පපුවට දැනෙනන බරද එන්න එන්නම වැඩි වුණි. තම සිතේ සිරවී ඇති සියල්ලම සොනායාට පවසන්නට අනේක වාරයක් ඇගේ සිත ඇයටම කීවාය.
පල්ලියේ දොර අසලටම ගොස් මිශෙල් තමා ඉදිරියේ සිටි සොනායා දෙස බැලුවාය. ඈද මිශෙල් දෙස බලා සිටියේ කිසිවත් නොකියාය. නමුත් ටික වෙලාවකට පසු ඈ තම දෙඅත් මිශෙල්ගේ දෙසට දික් කළාය.
"......"
කිසිවක් නොකියා මිශෙල් සොනායාගේ පපුවට තුරුළු වුණි. සොනායාද පෙරලා ඇයව වැළඳ ගත්තේ ඇගේ හිසට නිකට තබාය. සිතේ ඇති දේ වචනයෙන් කියන්නට නොහැකි වූවත් මේ වැළඳගැනීමෙන් වත් තමාගේ සිත තුල වූ ගින්න නිවේවි යැයි මිශෙල් සිතුවාය.
"තමුසෙට මම ඕනි වෙලාවක ඉන්නවා."
"තමුසෙ කැමති වෙලාවක ඔය හිතේ පුරෝගෙන ඉන්න සේරම කියලා දාන්න. මම කැමති නෑ මං ආදරේ කරන මිනිස්සු කාටවත් නොකියා හිත ඇතුලෙ ගින්දර තියන් පිච්චෙනවට."
සොනායාගේ පපුව මතින් හිස තබාගෙන ඈ පවසන වචනයක් පාසා මිශෙල් නිහඬව අසා සිටියාය. කෙදිනක හෝ තම සිතේ ඇති දේ අකුරක් නෑර සොනායාට කියන බවට මිශෙල් තමාටම පොරොන්දු වූවාය.
"Thank you."
කියමින් මිශෙල් සොනායාගෙන් ඈත් වුනාය..
"For what ?"
"අවුරුදු ගාණක් මං එක්ක හිටියට."
මිශෙල් කියද්දී සොනායා ඇගේ උරහිස මතින් අතක් රඳවාගෙන ඇය සමඟ අඩි පාර දිගේ මෝටර් රථය දෙසට ගමන් කළාය.
"අවුරුදු ගාණක් හිටියා විතරක් නෙවෙයි. මම හැමදාම ඉන්නවා තමුසෙ එක්ක."
මෝටර් රථය ඉදිරියෙන් නැවතුන සොනායා මිශෙල්ගේ හිස අතගා එසේ කිව්වේ කරුණාවන්ත බැල්මක් හෙලා ය. කෙතරම් ආක්‍රමණශීලී චරිතයක් වුවත් සොනායා ඈ ආදරය කරන පුද්ගලයින්ගේ සතුට පමණක්ම දකින්නට ආසා එකියකි. මිශෙල් ඇගේ සිතේ සෑම දෙයක්ම සඟවාගෙන තනිව කල්පනා කරමින් සිටින අයුරු දුටු විට සොනායාගේ සිතටත් දැනෙන්නේ පීඩනයක් ය.
ඔවුන් දෙදෙනා එතැනින් පිටත් වුණේ යලි ඔවුන් සිටින නගරයට යන්නටය. යන මඟදී සොනායා මිශෙල්ට නොයෙකුත් කෑම වර්ග බීම වර්ග දුන්නාට ඈ ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළාය. ඊයේ රාත්‍රියේ සිටම මිශෙල් තවමත් කෑමක් හෝ බීමක් ගත්තේ නැත. ඊට හේතුව ඇගේ තොලේ වු තුවාලය නිසාය. දැනටමත් ඇගේ යටිතොලේ තිබූ ඒ පැල්ම ඉදිමී හමාරය.
සවස ගල්කිස්ස ප්‍රදේශයෙන් ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් හමුවී මිශෙල් තම මෝටර් රථයෙන් නිවසට ගියාය. ඈ මෝටර් රථය මිදුලේ නවතා පිටතට විත් බෑගයත් රැගෙන නිවස දෙසට පිය මැන්නාය. මිශෙල් සිතුවේ විවාහයෙන් පසුව ඇයට පෙර සිටි අයුරින්ම ජීවත් වන්නට හැකි වේව් කියායි. නමුත් ඈ වැරදිය. අද ඇය සිටින්නේ පෙර සිටියාටත් වඩා පීඩනයකින් ය. ඔහු ඇයව ශාරීරිකව රිදවූවත් එයින් වැඩිම බලපෑම වන්නේ ඇගේ මනසටමය. ඈට සෑම විටෙකම අවශ්‍ය වුණේ ඇගේ සිතේ ඇවිලෙන ගිනි දැල් නිවාගන්නට මිස ඒවා වැඩි කරගෙන දිගින් දිගටම ඇතුලාන්තයෙන් පිලිස්සෙන්නට නොවේ.
වැල් ආරුක්කු මගෙන් පිටතට ආ යුරේන් ඇයට හිස නවදදී ඈ ඒ දෙස බලා නිවස තුලට ගියාය. එවිටම ඇගේ සුරතලා කෑ ගසමින් ඈ අසලට දුවගෙන ආවේය. ඈ ස්වභාදහමට මෙන්ම සතුන්ටද ආදරය කරන ගැහැණු ළමයෙකි. නමුත් ඒ ආදරය සෙනෙහස ඇගේ සිතේ මිනිසුන් කෙරෙහි නැත. කුඩා කල සිට ඇගේ සිරුර අභ්‍යන්තරයේ ඇති වූ, අදටත් සුව නොවූ ගැඹුරු තුවාල එයට හේතුව හොඳින්ම දන්නේය.
බළලාවත් රැගෙන කාමරයට ගොස් එහි දොර වසාගත් ඈ බෑගය පසෙක එල්ලා ඇඳුම් සියල්ල එකින් එක ගලවන්නට පටන් ගත්තාය. තවමත් ඇගේ පියයුරු ඉදිමී ස්පර්ශ කරන්නට වත් බැරි තරම් රිදුම් දෙමින් තිබුණි. ඒ තරම් තදින් සිරුර ස්පර්ශ කරමින්, කායිකව හෝ වේදනාවක් ඉතුරු කරන්නේ ඔහු තමාට උමතු වී ඇති නිසා වත්ද. ඇයට සිතා ගත නොහැකිය.
රාත්‍රි අටේ කණිසම පසු විය..
මිශෙල් තවමත් අද දිනයට කිසිවක් කෑවේ නැත. රත් වී ඉදිමී තිබූ යටිතොල ඇයව ඒ තත්වයට පත් කළාය. අද උදේ සිටම ඇගේ සිරුරට පණක් තිබුණේ නැත. එහෙත් මුළු දිනම සෘජුව සිටියේ කෙසේද කියා ඇයටවත් අදහසක් නැත. මේ සියල්ලම ඔහු නිසාය. ඇගේ දෙතොල් හපා තුවාල කරමින් ඔහු ඇයට කියන්නට උත්සාහ කළේ කුමක්ද. ඔහු ඇයට උමතු වී ඇති බවද. නැතිනම් ඈ ගන්නා හුස්මක් පාසා තමාට අයිති බව පෙන්නන්නටද ?
ඔහු තදින් සිපගද්දී තම දිවට දැනුණු ලේ රස ඇයට තවමත් මේ දැන් සිදු වූවාක් මෙන් මතකය. ඇය සිතුවේ තමාට කිසිම කෑමක් කන්නට පිරියක් නොලැබුණේ ඔහු තම දෙතොල් තුවාල කර දැමූ නිසාවෙන් කියාය. නමුත් එය එසේ නොවේ. එයට හේතුව මේ සියල්ලමය. ඔහුගේ වචන. රළු ස්පර්ශ. දෝංකාර දෙන ඔහුගේ හඬ. විශේෂයෙන්ම ඔහු ඊයේ කල තර්ජනය..
මිශෙල් සිටියේ බාත් ටබ් එක තුල වැටී කල්පනාවක ය. ඇගේ හිස ටබ් එකෙහි ගැට්ටෙන් පිටට එල්ලී තිබුණි. නිදහසේ එල්ලෙමින් තිබූ ඇගේ 'Honey blonde' කොණ්ඩය බිමද ස්පර්ශ වී නාන කාමරයේ විදුලි පහන් එළියෙන් දිළිසෙමින් තිබුණි.
Creek..
නාන කාමරයේ දොර ඇරන ශබ්දය ඇසෙද්දී වැසී තිබූ ඇගේ කොළ පැහැ දෑස් ක්ෂණිකව විවෘත විය. ඇය ටබ් එකේ දෙපසට අත තබා නැගිට බැලුවේ දොර ලඟ සිටි තිවේන් දෙසය. ඇයට ඔහුගේ දෑස් කියවිය නොහැකිය. එහෙත් ඔහු බලා සිටියේ ඇය දෙසය.
"I need privacy."
මිශෙල් බාල හඬකින් ඔහුට කීවාය. නමුත් ඒ වචන ඔහු ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු වචනයකින් තොරව ඇය ලඟට පිය මැන ඇගේ ඉදිරියෙන් ඉඳ ගත්තේය. ඔහු ඇගේ දෑස් දෙස බැලුවේය. ඈ වචනයෙන් නොකියූ දේ ඇගේ මුහුණෙන් ඔහුට පෙනෙන්නට තිබුණේය.
"ඇයි තමුසෙ ඊයෙ රෑ ඉඳන් කෑවෙ නැත්තෙ ?"
මිශෙල්ගෙන් පිළිතුරක් නැත. නමුත් ඇගේ නිහඬතාවයේ ශබ්දය වැඩිය. ඇගේ කොළ පැහැ දෑස් වෙහෙසත් තරහවත් දෙකම මුසු වූ බැල්මකින් ඔහු දෙස බලා සිටියේය. තත්පර කීපයකට පසු තිවේන් තම අතේ තිබූ 'Cream tube' එකක් ගෙන එයින් ක්‍රීම් ස්වල්පයක් ඇඟිල්ලක තවරා ගත්තේය.
'මාව රිද්දලා මගෙ තුවාල වලට බෙහෙත් කරන්නද ඔයාට ඕනි' ඇගේ සිත කීවේ තරහව මැදි කරගෙනය. මිශෙල් කල්පනාවෙන් පිටට එද්දී ඔහු ඇගේ නිකටෙන් අල්ලාගෙන ඇඟිල්ලේ තිබූ ක්‍රීම් දෙතොල් මත තබන්නට උත්සහ කළේය.
"Don't touch me."
ඇගේ යටිතොලට ලංව ඔහුගේ ඇඟිල්ල නතර වූයේ ඈ කියූ දේ නිසාය..
"ඔයා මගෙ ඇඟට අතක් වත් තියනවට මම කැමති නෑ."
තිවේන් මින් පෙර නොදුටු අයුරින් ඇගේ දෑස් වල තරහවක් පිරී ඇත. ඇගේ දෙතොල් වලට ලං වූ ඔහුගේ අත සෙමෙන් පහත් විය.
........................................................... 🖤 ...
හැමදාම ඉවසන්න බෑලු මිශෙල්ට 😪
දෙන්නව මීට වඩා ලං කරන්න මොකක් හරි අදහසක් දෙන්න බලන්න කට්ටිය 🤔
රියැක්ට් කමෙන්ට් එන්න එන්නම අඩු වෙන්නෙ කතාව Touch වෙන්නෙ නැද්ද් ඔයාලට ?
Sachy Collins