Miss. Anonymous - 16

Miss. Anonymous - 16

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"මිශෙල්ගෙ අකුරු රවුම් නේද ?"


මිශෙල් මදකට නැවතුණේ මිශ්කා කියූ දේ නිසායි. ඒ වන විට මිශෙල් ඇගේ අත්සනින් ලියා තිබුණේ භාගයක කොටසක් පමණි.


"ඔයාට බැරිද ඔයාගෙ අත් අකුරු වෙනස් කරලා ලියන්න ?"


මිශ්කා තමාගේ අත්සන දෙස බලමින් කියන දේ හමුවේ මිශෙල් වියවුල් විය..


"ඔයා හිතනවද එහෙම ලියන්න පුළුවන් අය ඉන්නවා කියලා ?"


"ඔව්."


මිශ්කා එසේ කියද්දි මිශෙල් හිස වැනුවාය..


"ඔයා හරි. මේ ලෝකෙ ඉන්න බහුතරයකටම පුළුවන් ෆොන්ට් එක වෙනස් කරලා ලියන්න."


‍කියමින් මිශෙල් ඇගේ අත්සන නිවැරදි කර විජයවර්ධනට ෆයිල් කවරය බාර දුන්නාය..


"නේම් ටැග් කිලර්ට විතරක් නෙවෙයි."


දකුණු පසින් සිටින මිශ්කාගේ දෑස් දෙස එක එල්ලේ බලමින් මිශෙල් එසේ කීවාය. තමාගෙ දෙසට හැරී ඇති, මිශෙල්ගේ තියුණු කොළ දෑස් මිශ්කාට ගෙන ආවේ වෙනදා නොදැනෙන අමුත්තක් ය. නමුත් මිශෙල් බොහෝ අවස්ථාවලදී මිනිසුන් දෙස මේ අයුරින් බලන බව මතක් වූ විට මිශ්කාට එය තවදුරටත් අමුතු දෙයක් ලෙස පෙනුණේ නැත.


"ඔයාට හෙල්ප් එකක් ඕනි උනොත් කියන්න."


යැයි මිශ්කාට කියූ මිශෙල් විජයවර්ධනට හිස නවා සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටව ගියාය. මිශෙල්ගේ ගතිගුණ වලට මිශ්කා හැර අන් කිසිවෙකුත් අකමැති නැත. එතැන සිටින සියල්ලන්ම මිශ්කා මිශෙල් සමඟ සෑම විටෙකම අමනාපයෙන් සිටින බව හොඳින් දනී.


"ඔයාට අර වචනෙ තේරුමක් හොයාගන්න බැරි උනාද ?"


"කවින්ගෙ ඇඟේ ගැට ගහලා තිබුණ ටැග් එකේ විස්තර මේ තියෙන්නෙ."


මිශ්කා විජයවර්ධනගේ අතට දුන්නේ වාර්තාවකි. එහි උඩම සඳහන් වී තිබූ Y!Z#Ɛ1 යන්න නඳුන්ගේ ඇඟිල්ලක ගැට ගසා තිබුණු ටැග් එකෙහි තිබූ රහස් වචනයයි. ඊටත් පහල සඳහන් වූ ZƐ15!И∆ යන රහස් වචනය ඔවුන්ට ලැබුණේ ගගේ පාවෙමින් තිබූ කවින්ගේ සිරුරු කොටසක ගැට ගසා තිබිය දීය. මේ වචන දෙකෙහිම නිශ්චිත තේරුමක් සොයා ගන්නට ඔවුන් සිදු නොකල දෙයක් නැත. නමුත් එහි සඳහන් අක්ෂර වලට ගැලපෙන වෙනත් භාෂාවක රටාවක් වත් ඔවුන්ට හම්බ වූයේ නැත.


"මම හිතන්නෙ මේ කෝඩ් ගැන කවිනුයි නදුනුයි දෙන්නා දැනගෙන ඉන්න ඇති. එයාලා දෙන්නා විතරක්ම නෙවෙයි. මේ කිලර්ගෙ ඊලඟ ටාගට් එකත් ඒ ගැන දන්නවා ඇති."


"පුළුවන් උපරිමය කරන්න. කොහොමහරි මේ කිලර්ව අපි අල්ලගන්න ඕනි."


"හරි සර්.."


එක ලඟ පුද්ගලයින් හතර දෙනෙකු සාහසික අයුරින් ඝාතනය වූ නිසා ‍රටේ සියල්ලම සිටින්නේ කැළඹීමෙනි. මෙය විසඳීමටත් ඝාතකයාගේ ඉදිරි සැලසුම් සියල්ල නතර කිරීමටත් මිශ්කා ඇගේ කණ්ඩායම සමඟ උපරිමයෙන්ම කටයුතු කරන්නේ බලාපොරොත්තු සහගතවය. නමුත් මේ සාහසික මිනී මැරුම් සිදු කරන ඝාතකයා ඔවුන් අසලම සිටින බව ඔවුන් තවමත් දන්නේ නැත.


මිශ්කා විජයවර්ධනව හමුවී මූලස්ථානයෙන් පිටතට ආවා පමණි. එකවරම ආ කළු පැහැ BMW මෝටර් රථයක් ක්ෂණිකව තිරිංග ගසමින් ඇගේ ඉදිරියෙන් නතර කලේය. ඒ සමඟම තවත් කළු පැහැ මෝටර් රථ දෙකක් ඒ දෙපසින් නතර කලේය. ඇය නිහඬව අතේ තිබූ ෆයිල් කවරයත් ඇඟිලි වලට තද කරගද්දී කළු පැහැ කබායක් පැළඳ සිටි ආරක්ෂකයෙකු පැමිණ ඇය ඉදිරියේ තිබූ මෝටර් රථයේ පිටුපස දොරක් විවෘත කළේ වයස්ගත පුද්ගලයෙකුට පිටතට පැමිණෙන්නට ඉඩ සලස්වාලීමිනි.


"Hello.. ඔයා මාව දන්නෙ නැතුව ඇති."


ඔහු එසේ කියමින් මිශ්කාගේ ඉදිරියෙන් සිට ගත්තේ කලිසම් සාක්කු වලට දෑත් දමාගෙන ය. ඔහුට පිටුපසින් සිටි ආරක්ෂකයින් මිශ්කාගේ පාදාන්තයේ සිට හිස මුදුන දක්වා දෑස් යැවීය.


"මම ආවෙ කෙනෙක් හොයාගෙන."


"කව්ද ?"


මිශ්කා ප්‍රශ්න කළාය..


"මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්."


"බංගලාවත්ත කේස් එක බාරව හිටපු ඉන්වෙස්ටිගේටර්. මට එයාව පොඩි කාරණාවකට මීට් වෙන්න ඕනි."


ඔහු මොනයම් කාරණාවකට මිශෙල් ගැන විමසනවාද කියලා මිශ්කාට අදහසක් නැත. නමුත් තමා ඉදිරියේ සිටින මේ පුද්ගලයින්ගේ අමුතු පෙනුම ඇගේ සිතේ සැකයක් ඇති කලේය.


"මිශෙල් මේ දැන් මෙතනින් ගියා මම හිතන්නේ."


"ඕහ්.. අපිට මිස් උනාද එයාව. ඔයා දන්නවද එයා මෙවෙලෙ කොහෙද ඉන්නෙ කියලා ?"


"එයා මෙවෙලෙ ඇත්තෙ කයිසු රෙස්ටුරන්ට් එකේ."


"එහෙමද."


"මොන වගේ කාරණාවකටද ඔයා එයාව හොයන්නෙ ?"


ඇය කියූ දේ හමුවේ ඔහු මදක් සිනාසුනේය..


"මට එයාට ඉන්ෆොමේෂන් එකක් දෙන්න තියෙනවා. එයාගෙ කේස් එක සම්බන්ධව."


"මෙතන එයා එක්ක වැඩ කරන අය ඉන්නවා. එයාලට දෙන්න ඕනි ඉන්ෆොමේෂන් එක දෙන්න."


"මේක පර්සනල් එකක්, එයා විතරක්ම දැනගන්න ඕනි."


එසේ කියූ ඔහු මදක් හිස නවා යලිත් මෝටර් රථය ලඟට ගොස් එයට ගොඩ වුනේය. මිශ්කා කිසි දෙයක් සිතාගත නොහැකිව බලා සිටිද්දී ඔවුන් මෝටර් රථ රැගෙන ගේට්ටුවෙනුත් පිටතට ගියේය. කෙසේ උවත් මෙය තමා පමණක් දැන නොසිට ඒඩ්‍රියන්ට හෝ කියා දැමීම හොඳ දෙයක් බව ඈට සිත් විය.


----


මිනිත්තු දහයක් ගත විය. නගරයෙන් කිලෝමීටර පහක් පමණ එහා තිබූ කයිසු අවන්හලේ ඇතුල් වීමේ දොරටුව ඉදිරියෙන් හදිසියේ පැමිණි කළු පැහැ මෝටර් රථ තුනක් නැවැත්වීය. අවන්හලේ වැඩ කරමින් සිටි සේවිකාවන් හා සේවකයින් මොහොතකට නැවතී බලා සිටිද්දී දෙපස මෝටර් රථ දෙකෙන් පිටතට ආ ආරක්ෂකයින්, මැදි වූ මෝටර් රථයේ පිටුපස දොර විවර කළේය.


මෝටර් රථයෙන් පිටතට පැමිණි පනස් දෙහැවිරිදි නදීර් හුසයිෆා තම බ්ලේසරයේ බොත්තම දමමින් බැලුවේ කයිසු අවන්හලේ ගොඩනැගිල්ල දෙසය.


කොළ පැහැයෙන් පෙනෙන අවන්හල ස්වභාදහම හා ස්වාභාවිකත්වය මූලික කරගෙන සෑදූ එකක් ය. එහි අවට ඇත්තේ විසල් ගස් වැල් ය. එලෙසම අවන්හල සාදා ඇත්තේ දැව වලින් ය. වැහි අඳුර පැතිරුණු වටපිටාවත් සමඟ අවන්හලේ තැනින් තැන එල්ලා ඇති විදුලි පහන් කහ-තැඹිලි පැහැයෙන් දැල් වී කැපී පෙනුණි.


Kaisu Restaurant 🍂✨️


නදීර් ආරක්ෂකයින් සමඟ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විය. අවන්හලේ ඇතුලත මිදුලේ ඉහල, ගස් අතු වලින් ආවරණය වී තිබූ නිසා වහලයක් තිබුණේ නැත. නමුත් එය වටා තිබූ ගොඩනැගිල්ල දැව වහලයක් සහිතව, විශාල වීදුරු කවුළු වලින් සමන්විත රස්ටික් පෙනුමට නිර්මාණය කර තිබුණි. මැද මිදුලේ තිබූ විවිධ වර්ගයේ ගස් වැල් හා බිම රටාවකට ඇලවූ තෙතමනය සහිත ගල් එහි ශීත බව තවත් වැඩි කළේය.


අවන්හලේ අඳුරු වටපිටාව බලමින් ඉදිරියට ඇදුන නදීර් දුටුවේ ඔහු දෙසට පිය මනින තද නිල් පැහැ නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙක් බැමක් ඔසවාගෙන විත් නදීර්ගේ දෙපතුලේ සිට හිස දක්වා දෑස් කරකවා බැලුවේය.


"අද රෙස්ටුරන්ට් එක වහලා. දැක්කෙ නැද්ද නෝටීස් එක ?"


"මම ආවෙ රෙස්ටුරන්ට් එකට නෙවෙයි. කෙනෙක් හොයාගෙන."


"මොකක්ද තමුන්ට මෙතන තියන බිස්නස් එක ?"


අනෙක් පොලිස් නිලධාරියා ඔහුගේ දුඹුරු ඇස් වලින් නදීර් දෙස බලා එලෙසින් ප්‍රශ්න කළේය.


"මට මිස් ඇන්ඩර්සන්ව මීට් වෙන්න ඕනි. මම එයාව හොයාගෙනමයි ආවෙ."


"මොන හේතුවකටද ?"


"දෙයක් කියන්න තියෙනවා. මම හිතනවා මම එයාට දෙන්න හදන ඉන්ෆොමේෂන් එක එයාට ලොකු හෙල්ප් එකක් වෙයි කියලා, එයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට."


පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු දෙස මද වේලාවක් බලා සිටියේ ඔහු ගැන සැකයක් ඇති වූ නිසායි..


"මම ගිහින් මැඩම්ගෙන් අහලා එන්නම්."


එක් නිලධාරියකු එතනින් පිටව ගියේය. ඒ මොහොතේ මිශෙල් සිටියේ ඇය සමඟ එතැනට පැමිණ සිටි රහස් පරීක්ෂකවරිය සමඟ කතා කරමින් ය. ඇය ඉඳගෙන සිටි එළිමහන් මේසයේ ඇයට ඉදිරියෙන් අවන්හලේ මත්පැන් විකුණන ස්ථානයේ සිටි ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඉඳගෙන සිටියේය.


"මැඩම්.."


රහස් පරීක්ෂකවරිය ප්‍රකාශ සටහන් කරගන්නා අයුරු නිහඬව බලා සිටි මිශෙල්ට ඇසුනේ හෝටලයේ ගොඩනැගිල්ලෙන් පැමිණි පොලිස් නිලධාරියෙකු කතා කරන හඬයි. ඒ සැනින් ඇය හැරී බැලුවාය.


"මැඩම්ව මීට් වෙන්න ඕනි කියලා, කෙනෙක් එළියෙ බලාගෙන ඉන්නවා.".


මෙවැනි වේලාවක තමා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයා කවුරුන්ද කියා ඈට අදහසක් නැත.


"එන්න කියන්න."


ඇය කියූ විගස පොලිස් නිලධාරියා එතනින් පිටව ගියේය. රහස් පරීක්ෂකවරිය ප්‍රශ්න කිරීම නැවත ආරම්භ කරද්දීම අවන්හලේ ගොඩනැගිල්ලෙන් මැදි මිදුලට ආවේ නදීර් ය. ඔහු මිශෙල් ඉදිරියට පිය මනිද්දී ඔහුගේ ආරක්ෂකයින් අවන්හලේ සෑම තැනකටම බෙදී ගියහ.


"මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්.. මේ ඔයානෙ ?"


මිශෙල් දෑස් හරවා ඔහු දෙස බැලුවාය. ඔහු වැනි අයෙකු ඈ මීට පෙර කොතනකදී වත් දැක තිබුණේ නැත.


"Yes It's me."


"මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න තියෙනවා."


"කියන්න."


යැයි පැවසූ මිශෙල් පුටුවට හේත්තු වී දෙඅත් එකිනෙන පටලවා ගත්තාය.


"මම කැමති ඒක තනියම කතා කරගන්න තියෙනවා නම්."


රහස් පරීක්ෂකවරිය මිශෙල් දෙස බලද්දී මිශෙල් ඇහිබැමක් ඔසවා නදීර් දෙස බලා සිටියාය.


"Don't worry. ඔයාට මගෙන් කිසිම කරදරයක් වෙන්නෙ නෑ. මට ඕනි ඔයා එක්ක කතා කරන්න විතරයි."


ඔහුගේ හකු ගිළුණු මුහුණේ මද සිනහවක් රැඳී තිබුණි. මිශෙල් නිහඬව කල්පනා කලේ ඔහුට තමා සමඟ තනිව කතා කරන්නට ඉඩ දීම තමාටම තර්ජනයක් වේද කියාය.


"......"


මිශෙල් තමා අසල සිටි රහස් පරීක්ෂකවරියගේ මුහුණ දෙස බලා සංඥා කලේ අවන්හලෙන් පිටතට යන ලෙසයි. නමුත් ඇගේ මුහුණෙන් පෙනුනේ ඇය එතනින් යන්නට අකමැති බවයි. තත්පර ගණනක් ගෙවුනත් ඇය එතනින් නොගිය නිසා මිශෙල් යලිත් ඇගේ දෙස බැලුවේ මෙයින් තමාට ප්‍රශ්නයක් නොවනු ඇතැයි කියා හිස වනමිනි.


අවන්හලේ සිටි සේවකයින් සහ පොලිස් නිලධාරීන් දෙදෙනාත් එතනින් පිටව යද්දී රහස් පරීක්ෂකවරිය නදීර්ටවත් ආරක්ෂකයින්ට වත් නොපෙනෙන අයුරින් තමා ලඟ තිබූ පිස්තෝලය මිශෙල්ගෙ දෙකලවා මතින් තබා පිටව ගියාය.


"Sit."


මිශෙල් තමා ඉදිරියේ තිබූ හිස් පුටුව පෙන්වද්දී නදීර් එය ඇද ඉඳ ගත්තේය. ඒ සමඟම ඇය ඇගේ දෙකලවා මත තිබූ පිස්තෝලය කලිසමේ සාක්කුවක සඟවා ගත්තාය.


"මම බ්ලැක් ඊගල් ක්ලබ් ඕනර් නදීර් හුසයිෆා."


ඔහු එක් අතක් දික් කරද්දී මිශෙල් ඒ දෙස බලා එය ගනන් නොගෙන හිස මදක් සැලුවාය. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහු අත ඉවතට ගත්තේය.


"දවස් දෙක තුනකට කලින් Mount Lavinia ආවා නේද ?"


"ඔව්."


"කේස් එකට එවිඩන්ස් එහෙම CCTV footage හොයා ගත්තා නේද. වෙන මොනාවත් මදි උනේ නැද්ද."


ඔහු කතා කරන අයුරින් ඇයට සිතුනේ ඔහු තමාට ඔහුව හඳුන්වා දීමට පැමිණ ඇති බවයි. සමහරවිට ඔහු තමාට තර්ජනය කිරීමට ලැහැස්ති වනු ඇතැයි සිතුණු ඇය දුරකතනය අතට ගත්තාය. නමුත් ඒ සමඟම පැමිණි ආරක්ෂකයෙක් ඇගේ අතින් දුරකතනය උදුරාගෙන පසෙකට විය. ආරක්ෂකයා දෙස බැලූ මිශෙල් මුවගින් සිනහා වී නදීර් දෙස බැලුවාය.


"මට එක දෙයක් මදි උනා මිස්ටර් හුසයිෆා."


"මොකක්ද ?"


"ඔයාව."


ඇය කියූ දේ හමුවේ ඔහු සිනාසුණි. අවට පරිසරයෙන් හමා ආ සුලඟ, ඔහුත් ඇයත් ඉඳගෙන සිටි මේසය මධ්‍යයේ තිබූ රවුම් ඉටිපන්දමේ දැල්ල නිවන්න උත්සහ කළේය.


"බ්ලැක් ඊගල් ක්ලබ් එකේ වැඩිපුරම විකිණෙන්නෙ ඩ්‍රග්ස් මිස ඇල්කොහොල් නෙවෙයි. ඒ වගේම ඒ පැත්තෙ ගොඩක් මිනීමැරුම් කරන්න ඩීල් ගැහුවෙ ඒ ක්ලබ් එකේ. මාෆියා රන් කරන අයත් හැමදාම වගේ එතනට රහස් සාකච්ඡා තියන්න එනවා."


"ස්පෙෂලි.. ඒ ක්ලබ් එක ඇතුලෙ අවුරුදු දහයෙ ඉඳන් අවුරුදු විසි දෙක වෙනකම් වයස කාත් කවුරුත් නැති ගර්ල්ස්ලා මිනිස්සුන්ට විකුණනවා. මොනා හරි උනොත් එයාලව මරලා දානවා. මරන වීඩියෝ එක ඩාර්ක් වෙබ් වල අප්ලෝඩ් කරනවා. මම හරි නේද මිස්ටර් හුසයිෆා ?"


මිශෙල් සන්සුන්ව කියූ සෑම වචනයක් නෑර අසා සිටි නදීර් බිම බලා සිනහ වූවේය. ඔහුගෙන් එවන් ප්‍රකාශනයක් ඇය බලාපොරොත්තු වුනාය.


"මම දන්න මිශෙල් මෙච්චර Talkative නෑ."


"මම කතා කරන්නෙ අදාල වෙලාවට විතරයි. මට එච්චරයි ඔයාට කියන්න තියෙන්නෙ."


ඔහු පිටුපස හැරී ආරක්ෂකයින් දෙස බලා යලිත් ඇගේ දෙස බැලුවේය. මෙවර ඔහුගේ මුහුණේ කලින් මෙන් සිනහවක් තිබුණේ තැන.


"එහෙනම් දැන් මම කතා කරන්නම්."


"තිවේන් අබේනායක කැමති නැතුව ඇතිනෙ එයාගෙ ලස්සන වයිෆ්ගෙ බොඩි එක කැලෑවක තිබිලා හම්බවෙනවට. ඒ නිසා මේ කේස් එක මෙතනින්ම නවත්තලා දාන්න. මම ඒ ගැන ඔයාගෙ චීෆ් එක්කත් කතා කරන්නම්."


තත්පර කීපයක් ඔහු දෙස බලා සිටි මිශෙල් මුවගින් සිනහා විය. තමා මොන ආකාරයෙන් කිව්වත් ඇය කරන දේ නවත්වන්නට බැරි බව ඔහු දන්නේය.


"ඔයා ආවෙ මට තර්ජනය කරන්නද ?"


"කෙනෙක් මම කියන දේ පළවෙනි පාරෙන් ඇහුවෙ නැත්තම් මම ඒ ඔප්ෂන් එකට යනවා."


"Okay."


මිශෙල් මේසය මතින් දෑත් තබා, ඇගේ තියුණු කොළ පැහැ දෑස් වලින් ඔහු දෙස බැලුවාය.


"කරන්න ඕනි තර්ජනය කරලා මෙතනින් යන්න මිස්ටර් හුසයිෆා. මොකද මට ගොඩක් වැඩ තියෙනවා."


ඇය තමා කියූ දේ තඹ සතයකටවත් ගණන් නොගත් නිසා නදීර්ගේ සිතේ ඇති වූයේ තරහකි. මේසය මත තිබූ ඔහුගේ දකුණත මිට මෙලවෙන අයුරු මිශෙල් දුටුවාය.


"තර්ජනය කරන්න ඕනි නෑ. මම කරලම පෙන්නන්නම් මිස් ඇන්ඩර්සන්."


"ඔයා වගේ ගොඩක් අය ආවා මගෙ බිස්නස් වලට ඇඟිලි ගහන්න. හැබැයි එයාලාගේ බොඩීස් හම්බුනේ නැති වෙලා මාස ගාණක් ගියාට පස්සෙ. ඔයාට තව කල් තියෙනවා මිශෙල්. හිතලා බලලා තීරණයක් ගන්න. මොකද ඔයා මගෙ ටාගට් එකක් උනොත් ඔයාගෙ Powerless හස්බන්ටවත් ඔයාව බේරගන්න බැරි වෙයි."


එසේ කියූ නදීර් පුටුවෙන් නැගිට, ගැලවී තිබූ බ්ලේසරයේ බොත්තම යලි දමා ගත්තේය.


"මම කතා කරලා ඉවරයි.. එහෙනම්.. Have a nice day."


ඇගේ දුරකතනය යලි මේසය මත තිබුණි. නදීර් එතන විසිරී සිටි ආරක්ෂකයින්ට සංඥා කරමින් එතනින් පිටව යන්නට සැරසෙද්දී මිශෙල් ඇගේ හඬ අවදි කළාය.


"තිවේන්ට වෙඩි තියන්න ඕඩර් එක දුන්නෙ ඔයා නේද මිස්ටර් හුසයිෆා ?"


ආරක්ෂකයින් දෙපසට ඈත් වෙද්දී යලි ඇගේ දෙසට හැරුණු නදීර් දුටුවේ ඇය කළු පැහැ පිස්තෝලයක් අත තබාගෙන ඒ දෙස බලා සිටින අයුරුය. තත්පර කීපයකට පසුව ඇගේ කොළ පැහැ දෑස් ඔහු වෙතට හැරුණි.


........................................................... 🖤 ...


තිවේන් Added to game. So නදීර් හුසයිෆා අන්කල් left 🥹


නරක එපිසෝඩ් එකක් ඕනිද. තිවේන් තරහා ගිහින් ඉන්න වෙලේ හොඳ නෑනෙ. ශෙලී පව්නේ 🫣🍓


Sachy Collins

Report Page