Miss. Anonymous - 15
Sachy Collins
"තමුන්ට මම ආයෙ මතක් කරන්නම්."
"මම මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්.. එදා හිටපු ඒ ඕඩිනරි කෙල්ල නෙවෙයි මම."
"ඒ හින්දා මගෙ ඉස්සරහා කියන දේවල් දෙපාරක් හිතලා කියනවා. නැත්තම් තමුන්ට තව ජීවත් වෙන්න තියෙන කාලයත් අඩු වෙයි වේදනාවත් වැඩි වෙයි."
එසේ කියූ ඇය ඔහුගේ එක් අතකට සිරින්ජය තද කර එන්නත ඇතුලත් කළාය. ඔහු පුටුවේ සිට දඟලද්දී ඈ ඔහුගෙන් ඈතට වී බලා සිටියේ එන්නත ක්‍රියා කරන තුරුය. තත්පර දහයක් පමණ ගත වන විට එය ඔහුගේ සිරුර තුල ක්‍රියා කරන්නට පටන් ගත්තේය.
ඔහුට දැනුණේ ඔහුගේ නහර තුල ගමන් කරන රුධිරය, අම්ලයකට පරිවර්තනය වුවාක් මෙන් ය. කෙටි කාලයක් ඇතුලත තමා පණ පිටින් පිළිස්සෙනවාක් හා සමාන වේදනාවක් දැනෙද්දී ඔහු පුටුවේ සිට දඟලමින් කෑ ගසන්නට පටන් ගත්තේය.
"එදා මට දැනුණ වේදනාව තමයි තමුන්ට ඔය දැනෙන්නෙ.."
"දැන් මතක් කරගන්නවා.. එදා තමුන් ඉස්සරහා කී දෙනෙක් ඔහොම වේදනාවෙන් කෑ ගැහුවද කියලා.."
"මම ආදරේ කරපු මිනිස්සුන්ව මට නැති කරලා දැම්මා වගේ මම තමුසෙවත් නැති කරලා දානවා. සතෙක් ගානට.."
ඈ යලිත් සෝෆාවෙන් ඉඳගෙන කකුලක් පිටට කකුලක් දමා ගත්තාය. ඔහු වේදනාවෙන් දඟලන අයුරු ඇගේ කොළ පැහැ දෑස් සන්සුන්ව බලා සිටියාය. නමුත් එය වැඩි වෙලාවක් නොවේ..
ඇය අත් වැසුම් ගලවා මේසයක් මතින් තබා දොර අසලට ගියේ ට්‍රෑන්ක්විලයිසරය අතැතිවය. දොරේ හැඬලය මතින් අතක් තබාගෙන ඇය ඔහු දඟලන අයුරු අවසන් වතාවට බැලුවාය.
"මේ තමුසෙට විඳින්න වෙන වේදනාවෙ පටන් ගැන්ම විතරයි.."
බංගලාවේ දොර පියන් වේගයෙන් වැසී ගියේය. ඒ වන විට පයිනස් යායේ අඳුරු බව ක්‍රමයෙන් වැඩි වී රැහැයියන්ගේ හඬත් වැඩි වී තිබුණි. අවට ගස් අතු වල සැඟවී සිටින බස්සන් 'හ්ම්' ශබ්දයෙන් කෑ ගසන්නේ පරිසරයේ අඳුරට ගුප්ත බවක් එක් කරමිනි. මිනිත්තු කිහිපයකට පසු පයිනස් වත්ත මැදින් දිවෙන මාර්ගය එළිය කරමින් රතු පැහැ 'Volkswagen beetle' මෝටර් රථය මහා මාර්ගය දෙසට ගමන් කලේය.
........
මිශෙල් යලි නිවසට යන විට හතේ කණිසම පසු වී තිබුණි. ඇය මෝටර් රථයෙන් පිටතට විත් ඇඳ සිටි දිගු කබාය සිරුරට තද කරමින් නිවසේ දොර අසලට ගියාය. දොරෙන් ඇතුළු වන විගස ඇයට ඇසුණේ තමාගේ අඩි උස යුගලයට වීදුරු වැනි දෙයක් පෑගෙන ශබ්දයකි.
ඈ බිමට දෑස් යොමු කළාය. ආලින්දයේ ඇති දිළිසෙන ශැන්ඩලියර් පහනේ එළියෙන් ඇය දුටුවේ තම පාද අසල කුඩා වීදුරු කටු රාශියක් විසිරී තිබෙන අයුරුය. ඈ ඒ දෙස බලා සිටිද්දී කළු පැහැ ගවුමක් ඇඳ සිටි සේවිකාවක් ඒ අසලට ආවාය.
"මැඩම් ඔතනින් අයින් වෙලා ඉන්න. ඔතන ග්ලාස් එකක් බිඳුනා."
එය හිතා මතාම බිඳ දැමූ එකක් මිස කාගේ හෝ අත්වැරදීමකින් බිඳී ගිය එකක් නොවේ කියා ඈට වීදුරු කටු විසිරී ඇති ආකාරය දුටු විගසම තේරුම් ගියාය.
"තිවේන් කොහෙද ?"
"සර් එයාගෙ රූම් එකට ගියා මැඩම්. සර්ට හොඳටම තරහා ගිහින් හිටියේ."
සේවිකාව සුමුදු ස්වරයකින් කීවාය. එවිට මිශෙල් අඩි උස යුගලය දෙතුන් වතාවක් බිම ගසා ආලින්දය මධ්‍යයෙන් තරප්පුව දෙසට ගියාය. ඈ තරප්පුව නැග ඉහල මහලට යන අයුරු බලා සිටි සේවිකාව තම අත තිබූ පත්තර කොළයෙන් වීදුරු කටු භාජනයකට එකතු කරන්නට පටන් ගත්තාය.
මිශෙල් ඇගේ කාමරයට ගොස් නිදහසේ තිබූ කොණ්ඩය ගුලි කර කටුවක් ගසාගෙන ඇඳුම් එකින් එක ගැලෙව්වාය. අඩි උස යුගලයට සිර වී තිබූ ඇගේ දෙපා වල කුඩා ඇඟිලි වල තැනින් තැන රතු පැහැ වී රිදුම් කමින් තිබුණි. නමුත් අවුරුදු ගණනාවක සිට ඇයට එය සාමාන්‍ය දෙයක් විය. ඇය සෑම විටෙකම සිතුවේ ඇගේ තේරීම් ගැන මිස එයින් ඇතිවන පීඩනය හෝ වේදනාව ගැන නොවේ.
වතුර මල යටට ගොස් ඇය එහි කරාමය විවෘත කලාය. එකවරම වැටුණු වතුර බිඳු වලින් සිරුරට සීතලක් දැනුණ නිසා ඇය දෑත් එකට බැඳගෙන ටයිල් පොළව මත ඉඳ ගත්තේ බිත්තියට පිටුපා ය. තිවේන් තරහින් සිටින හේතුව කුමක්ද කියා ඇගේ සිතේ ඇත්තේ කුතුහලයකි. එය ඇය ඔහුගෙන්ම අසා දැනගතහොත් මිසක ඔහු ඔහුගේ ප්‍රශ්න ඈ සමඟ කතා කරන්නේ නැත. එලෙසම ඔහු මේ දිනවල සිටින්නේ කැළඹුණු මනසක් ඇතිවය. එනිසා ඇය ඔහුව මදකට හමු වෙන්නට තීරණය කලේ තමාට ඔහු වෙනුවෙන් කල හැකි එකම දෙය එය නිසායි.
සුදු පැහැ නිදන ගවුම වැසෙන්නට එහි කබාය පොරවා ගත් ඇය කොණ්ඩය පීරා කටුවක් ගසා ගත්තාය. ගෙවුණු අවුරුදු ගණනට ඈ ඔහු ගැන නොදන්නා දෙයක් තිබුණේ නැත. අවුරුදු 19 ක සිට සිටම ඇය ඔහුව රහසේම ලුහුබැඳ ඔහුගේ සියළුම විස්තර අකුරක් නෑර සොයා ගත්තාය. තිවේන් ලේසියෙන් තරහා ගන්නේ නැත. ඔහු සෑම විටෙකම සන්සුන්ව තමාගේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නෙකි. නමුත් මොනයම් හේතුවකට හෝ ඔහුට තරහා ගිය විටෙක ඔහුව සන්සුන් කිරීමට ඇති එකම විකල්පය ගැන පවා ඇය දැනුවත් ය.

මිශෙල් කැඩපත ඉදිරියේ වාඩි වී වෙනදා මෙන්ම ඇගේ දෙපා වල ස්ට්‍රෝබෙරි සුවඳ ආලේපනය ගල්වමින් සිටිද්දි, කාමරයට සේවිකාවක් ආවේ කෝපි කෝප්පයක් සහිත බන්දේසියක් රැගෙන ය. නමුත් මේ අවස්ථාවේ මේ කෝපි කෝප්පය ලැබිය යුත්තේ තමාට නොවන බව ඇගේ සිත කීවාය.
"ට්‍රේ එකත් එක්ක තියන්න."
ඇගේ අණ පිළිපැදි සේවිකාව බන්දේසිය මේසයක් මතින් තබා හිස නවා කාමරයෙන් පිටට ඇවිද ගියාය. අත තිබු බෝතලය කැඩපත අසලින් තබා ඇය ගියේ දුම් නගින කෝපි කෝප්පය අසලටයි..
----
තිවේන්ගෙ කාමරය ඉදිරියේ කල්පනාවක රැදී සිටි යුරේන් දුටුවේ මිශෙල් ඒ දෙසට එන ආකාරයයි. සිදු වූ දේ පිළිබඳව ඇයට කුමක් කියන්නද කියා යුරේන් කල්පනා කරේ ඇගේ අතේ තිබූ කෝපි කෝප්පය දෙස දෑස් යොමාගෙන ය.
"යුරේන්."
"මැඩම් ?"
"තිවේන්ට මොකද උනේ ?"
ඇය ප්‍රශ්න කරද්දී යුරේන් නළල දෙපස ඇඟිලි තුඩු වලින් තද කරමින් අසල සිටි ප්‍රධාන ආරක්ෂකයා දෙස බැලුවේය. ඇයට මෙය නොකියා සිටීමට නොහැක. ඈ තිවේන්ගේ බිරිඳය.
"සර් ට්‍රින්කො හාබර් එකෙන් පන්නපු වෙපන්ස් ටික මගදි පොලිසියට අහුවෙලා. කවුරු හරි කෙනෙක් ඔත්තුවක් දීලා තියෙනවා. ඒත් කවුරුත් දැනගෙන හිටියෙ නෑ ඒකෙ ගේන්නෙ වෙපන්ස් කියලා."
"එයාලා දැන ගත්තද ඔයාලා මේක ගෙනාවෙ කියලා ?"
"තවම නෑ. උන් හොයාගන්න එකකුත් නෑ. ඒත් වෙපන් ටිකට ගියපු මුළු වියදමත් එක්ක මේක ලොකු පාඩුවක්. අනික මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නෑ."
"ඒ කියන්නෙ ඔයාලගෙ එනමි මේ ගැන කලින් දැනගෙන තියෙනවා."
"ඔව්.. උන් අපි හිතපු ජාතියෙ උන් නෙවෙයි."
යුරේන් කියූ දේ ගැන කල්පනා කරන විට ඇයට සිතුණේ තිවේන් මේ අවස්ථාවේ සිටින්නේ කේන්තියෙන් හා පීඩනයෙන් කියායි. නොසන්සුන් ඔහුව තමාට මේ කෝපි රසයෙන් හෝ සන්සුන් කරන්නට හැකි වේවි යැයි ඇය මොහොතකට සිතුවාය.
"මට එයාව මීට් වෙන්න ඕනි."
මිශෙල්ගේ වචනයට සවන් දී යුරේන් තිවේන්ගේ කාමරයේ දොර විවෘත කරද්දී ඇය කෝපි කෝප්පයත් රැගෙන ඇතුලට ගියාය. ඒ සැනින් යුරේන් කාමරයේ දොර වැසුවේ ඔවුන්ට තනිව කතා කරන්නට ඉඩ දෙමිනි.
මිශෙල් මදක් නැවතී බලා සිටියේ තිවේන් සඳලුතලයේ දොර අසල කවිච්චියේ ඉඳගෙන, දෙපාවලට වැලමිට තබා බිමට හිස හරවන් කල්පනාවක සිටින අයුරු ය. ඔහු මෙලෙස ගැඹුරු කල්පනාවක සිටිනු ඇය මීට පෙර දැක තිබුණේ නැත. තවත් බලා නොසිටි ඇය අඩියක් ඉදිරියට තැබුවේ ඔහු අසලට යන්නටය. නමුත්,
Crash..
බිම තිබූ වීදුරු කටු කිහිපයක් තමාගේ කකුළට පෑගෙනවාක් සේ ඇයට දැනුණි. ඈ බිමට දෑස් යොමු කරන විට දුටුවේ තමා උදයේ කැඩූ වැල් රෝස මල් වලින් පුරවා, ඔහුගේ කාමරයේ තිබූ වීදුරු මල් පෝච්චිය බිම වැටී කුඩා කැබලි වලට කැඩී තිබෙන අයුරු ය. ඒ අසලම තැනින් තැන, මැලවී ගිය රෝස මල්ද විසිරී තිබුණි.
වීදුරු කටු පයට පෑගුණත් වාසනාවකට මෙන් පතුල් වලට තුවාලයක් සිදු නොවූ නිසා ඈ දිගු සුසුමක් හෙලා ඔහු අසලට ගොස් මේසය මතින් බන්දේසිය තැබුවාය. ඒ සමඟම ඔහුගේ දෑස් ඇය වෙත යොමු විය..
"අද දවසට හොඳයි කියලා හිතෙන එක දෙයක් වත් උනේ නැද්ද ?"
ඇය එසේ ප්‍රශ්න කරමින් පොරවා සිටි කබාය ගලවා ඔහු සිටි කවිච්චියේ කොනකින් වාඩි වුනාය. ඔහුද හිස ඔසවා ඇගේ දෙස බලා සිටියේ තත්පර ගණනක නිහඬතාවය රැකගෙන ය.
"මාතලේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙකුට වෙඩි තිබ්බා කියලා නිව්ස් එකක් යනකොටම මම දැන ගත්තා ඒ ඔයා කියලා."
ඇය කෝපි කෝප්පය බන්දේසිය මතින් ගෙන ඔහුගේ දෙසට දික් කලාය. ඇගේ මේ අහඹු පැමිණීම ඔහුව මදකට සන්සුන් නොකලාම නොවේ..
"ඒත් ඔයාට එච්චර දෙයක් කරන්න පුළුවන් එකේ මේක පිට ගියෙ කොහොමද ?"
ඔහු ඇගේ අතින් කෝපි කෝප්පය ගද්දි ඇය එසේ අසමින් ඒන්ජල් විලේ පාවෙන බෝට්ටුවක් දෙසට දෑස් යොමු කරගත්තාය. බෝට්ටුවේ ඉදිරි කෙරවළේ තිබූ පන්දම් එළිය විලේ වතුර මත බොඳ වී තිබෙන අයුරු ඈ දුටුවාය.
"උන්ට ඒ පොලිස් ඔෆිසර්ස්ලා එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. ඒකයි උන් දුන්න ඔත්තුවකට කාටවත් සැක නොහිතෙන ට්‍රක් එකක්ම ඇල්ලුවෙ."
ඔහුට සිතාගත නොහැක්කේ මෙතෙක් කල් තමාගෙන් හැංගෙමින් තමාටම කුමන්ත්‍රණ කිරීමට තරම් ධෛර්යයක් තිබෙන පුද්ගලයා කව්දැයි කියායි. ඔවුන් සූදානම් වන්නේ ඔහු එක්ක සෙල්ලම් කර සියල්ලම ව්‍යසනයක් බවට පත් කරගන්නට ය.
"ඒක අහම්බෙන් දුන්න ඔත්තුවක් නෙවෙයි. එච්චර ෆුල් පැක් කරපු ට්‍රක් එකක් අල්ලලා ඇතුලෙ තිබ්බ වෙපන්ස් හොයා ගත්තා කියන්නෙ මෙතන කොහෙන් හරි ඩීටේල්ස් පිට ගිහින් තියෙනවා."
"හැබැයි ඒක කරපු උන් ගැන මම හොයා ගත්තොත්, උන්ට තව එක් විනාඩියක්වත් හුස්ම ගන්න දෙන්නෙ නෑ."
අඳුරු වූ පරිසරයේ තද නිල් පැහැයෙන් පෙනෙන ඒන්ජල් විලේ ගසා යන රැළි දෙස දෑස් යොමන් නිහඬව සිටි මිශෙල් සෙමෙන් ඔහු දෙසට හිස හැරෙව්වාය.
"හදිස්සි වෙන්න එපා. ටයිම් එක ගන්න."
"මට Betray කරපු උන්ව මරන්න ටයිම් එක එනකම් මම බලාගෙන ඉන්නෙ නෑ. උන් මැරෙන්නෙ මට ඕනි වෙලාවට."
ඇයට ඔහුගේ තීරණ නැවැත්විය නොහැකිය. වෙඩි තැබීමෙන් පසුව යලිත් ඔවුන් තමාගේ ක්‍රියා වලට අතගැසූ නිසා, ඔවුන්ව ලේසියෙන් අතහැර දැමීමට නොහැකි බව තිවේන්ගේ සිත තරයේම ඔහුටම කිව්වේය.
"ඔයා කරන දේවල් වලින් මට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම් හොඳයි."
එසේ කියූ මිශෙල් සෝෆාවෙන් නැගිට කබාය අතට ගත්තේ කාමරයෙන් පිටව යන්නටය. එහෙත් එයට ඉඩ නොදී තිවේන් ඇගේ එක් අතකින් ඇද්දේ ඇයව ඔහුගේ දෙපා මතට වැටෙන්නට ය.
"තමුසෙගෙ කරියර් එකට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ මම."
ඇගේ කොණ්ඩය පිටුපස රඳවා තිබූ සුදු පැහැ කටුව ගලවමින් ඔහු එසේ කීවේය.
"අදටත් හැමෝම දන්නෙ තිවේන් අබේනායක කියන්නෙ Pharmaceutical company එකක ඕනර් කෙනෙක් කියලා විතරයි. එයා ඇත්තටම කව්ද කියන එක කාටවත් දැන ගන්න තියන්නෙ නෑ මම."
ඔහු ඇගේ ගෙල මතින් දෙතොල් තද කර ඇයට තමාගේ දෑත් වලින් නිදහස් වී යන්නට ඉඩ දුන්නේය. කවිච්චියේ එක් අතක තිබූ කබාය පොරවා ගත් ඈ නැගිට දොර අසලට පිය මැන්නාය..
"ශෙලී.."
තිවේන් යලි කතා කළ නිසා ඇය මදකට නැවතී හැරී බැලුවේ කුතුහලයෙනි..
"බිම වීදුරු කටු.. පරිස්සමින්.."
"මං නිසා තමුසෙට සීරීමක් වත් වෙනවට මම කැමති නෑ."
තිවේන් එසේ කියුවේ ඔහු විසින්ම මේ වීදුරුව බිඳ දැමූ නිසා වෙන්නට ඇතැයි ඈ සිතුවාය. ඔහුට කිසිවත් නොකියා ඇය නිහඬව කාමරයෙන් පිටතට ගොස් දොර වැසුවාය. ඒ සමඟම යුරේන් ආරක්ෂකයින් සමඟ කාමරය අසලට ආවේය.
"තිවේන් එක්ක දැන්ම කතා කරන්න එපා. එයාට ටිකක් ෆ්‍රෙශ් වෙන්න ඉඩ දෙන්න."
"ඔව්.. සර් මෙවෙලෙ මොන වගේ තීරණයක් ගනීද කියන්න බෑ මැඩම්. අපි මේ ගැන අපිට පුළුවන් හැම විදිහකින්ම හොයනවා. සමහරවිට අපිට හෙට උදේ වෙන්න කලින් දෙයක් හොයා ගන්න පුළුවන් වෙයි."
"Thats good."
එසේ කියූ මිශෙල් නිහඬ වී එතැනින් පිටව ගියාය. තිවේන් සමඟ තමා මේ පිළිබඳව කතා කරන්නට ආවේ ඇයිදැයි කියා ඇයටත් සිතාගත නොහැකි විය. නමුත් ඔහු තවදුරටත් නොසන්සුන්ව සිටියේ නම් ඔහු මෙය අමානුෂික අන්දමින් අවසන් කරන බවත් ඇය හොඳින් දැන සිටියාය.
"Good Night ප්‍රසිඩන්ට්.."
මිශෙල් නිදන ගවුමේ කබාය ගලවා තම සුරතලාට පසෙකින් ඇඳේ වැතිරුණේ උගේ හිස අතගාමිනි. අද දිනය ඇයට දැනුනේ නිමක් පෙනෙන්නට නැති ගංගාවක් හා සමානවය. ඉතින් ඒ වෙහෙසකර දිනය හමුවේ තමාට විවේකයක් දෙන්නට ඇය දෑස් පියා ගත්තාය.
නව දිනයක ඇරඹුමක් සනිටුහන් කරමින් හිරු නැගෙනහිරින් නගින්නට විය. අවට තිබූ කඳු පන්ති වල කොළ පැහැය අතරින් කහ පැහැයට හැරුණු ගස් වලට හිරු එළිය වැටී රන් පැහැයෙන් දිළිසුණි. මෝටර් රථයෙන් මූලස්ථානයට යමින් සිටි මිශෙල් පසුපස ආසනයේ සිට අවට පරිසරයේ සුන්දරත්වය ජනේලයට හිස තබාගෙන බලා සිටියාය. පාර දෙපස පසු වන මල් පාත්ති සහ ස්ට්‍රෝබෙරි වගා අතරින් පියාඹන කුඩා 'Ceylon Rose' සමනලුන්ගේ තටුවල කළු සුදු රටාවන්, ඇගේ මනසේ ඇඳෙන්නේ උන්ව ලඟට දුටුවාක් හා සමානවය.
මේ සුන්දර දසුන ඇයට දැකිය හැක්කේ නගරයට ලං වන තුරු පමණි. නගරයට ලං වූ විගස මේ සියල්ලම නැති වී ගොස් අවට පරිසරයේ ඉතුරු වන්නේ උස් ගොඩනැගිලි හා අඩියක් නෑර පිරී තිබෙන සාප්පු ය. ඊටත් වඩා නගරයේ ඒ මේ අතට දිවෙන වාහන පරිසරයේ නිහඬතාවය මුළුමනින්ම විනාශ කර දමන්නේය. තමාගේ කොළ පැහැ දෑස් රස විඳින්නට ආසා කරන ඒ කොළ පැහැ වටපිටාවක් නගරයටත් තිබුණි නම් නගරය දකින විටම හිසේ ඇති වන තද හිසරදය තමාගෙන් සදහටම තුරන් වෙනු ඇතැයි ඈ සිතුවාය.
"ඒ කිලර් අපිව අන්දන්න තමයි රිහාෂාගෙ ඇඳුම් කුණු ගොඩට දාලා තිබ්බෙ."
විජයවර්ධන සිටි සම්මන්ත්‍රණ ශාලාවට ගොස් මිශ්කා ඔහුට පැහැදිලි කලේ රිහාෂාවත් කවින්වත් මරා දමන්නට පහසු වන්නට ඝාතකයා නීතිය පවා රැවටූ හැටිය.
"කිලර්ගෙ ඊලඟ ටාගට් එක වෙන්න ඇත්තෙ කවින්ගෙ යාළුවෙක්. මොකද නදුන්ගෙ යාළුවා කවින් තමයි මේ සැරේ මරලා දැම්මෙ."
"කවින්ගෙයි නදුන්ගෙයි යාළුවො ගැන ඩීටේල්ස් හොයා ගත්තද ?"
විජයවර්ධන ඇසුවේය..
"නෑ සර්.. එයාලගෙ ඩීටේල්ස් පවුලෙ අයවත් කියන්නෙ නෑ. Interrogation එකකට ගත්තත් කියන්නෙ ඒ දෙන්නා කනෙක්ෂන් තියෙන අයව අඳුනන්නෙ නෑ කියලා."
මිශ්කා ඔහුට සියළුම වාර්තා ලබා දුන්නාය. එලෙසම ඇය රිහාෂාගේත් කවින්ගෙත් සිරුරු හමු වූ තැන ඒ සිද්ධිය දුටු අයගෙනුත් පහල නිලධාරීන් ලවා තොරතුරු ගත්තාය. ඒ සියල්ලටම ඇය මහන්සි වුවත් ඇයට ඝාතකයා ලියූ ටැග් එකෙහි සඳහන් කේතයේ තේරුමක් සොයාගත නොහැකි වුණි.
"Excuse me."
විජයවර්ධනත් මිශ්කාත් හැරී බැලුවේ දොර දෙසින් ඇසුණු කටහඬ නිසායි. ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ මිශෙල් ය. කළු පැහැ කලිසමට කළු පැහැම බ්ලේසරයක් ඇඳ කොණ්ඩය ඉහලින් කටුවක් ගසාගෙන සිටි ඇගේ සිත්ගන්නා සුළු පෙනුම දෙස මිශ්කා බැලුවේ පහල සිට ඉහලට දෑස් කරකවා ය.
"ආහ් මිශෙල්."
"සර් මට එන්න කියලා තිබ්බෙ ?"
මිශෙල් මේසය අසලට එද්දී විජයවර්ධන ඇගේ දෙසට ෆයිල් කවරයක දමා තිබූ කොළ කිහිපයක් දික් කලේය.
"ලොකු දෙයක් නෙවෙයි. ඔයාගෙ කේස් එක සම්බන්ධව ඔයා ගෙනාපු එවිඩන්ස් වගයක් ගැන තියෙන ෆයිනල් රිපෝට් එකක් සයින් කරගන්න."
"හරි."
විජයවර්ධනට දුන් වාර්තා කොළ කිහිපය අතට ගෙන මිශෙල් එය හොඳින් කියෙව්වාය. කොළයේ සඳහන් එක වචනයක් නෑර ඇගේ කොළ පැහැ දෑස් කියවන අයුරු මිශ්කා බලා සිටියාය. විවිධ වර්ණයේ හිසකේ හෝ දෑස් ලෙහෙසියෙන් හමු නොවෙන රටක ඇය අනන්‍ය පෙනුමක් ලැබී ඉපදීම පිළිබඳව මිශ්කාගේ හිතේ තිබුණේ පුදුමයකි.
"මිශෙල්ගෙ අකුරු රවුම් නේද ?"
මිශෙල් මදකට නැවතුණේ මිශ්කා කියූ දේ නිසායි. ඒ වන විට මිශෙල් ඇගේ අත්සනින් ලියා තිබුණේ භාගයක කොටසක් පමණි.
"ඔයාට බැරිද ඔයාගෙ අත් අකුරු වෙනස් කරලා ලියන්න ?"
මිශ්කා තමාගේ අත්සන දෙස බලමින් කියන දේ හමුවේ මිශෙල් වියවුල් විය..
"ඔයා හිතනවද එහෙම ලියන්න පුළුවන් අය ඉන්නවා කියලා ?"
"ඔව්."
මිශ්කා එසේ කියද්දි මිශෙල් හිස වැනුවාය..
"ඔයා හරි. මේ ලෝකෙ ඉන්න බහුතරයකටම පුළුවන් ෆොන්ට් එක වෙනස් කරලා ලියන්න."
කියමින් මිශෙල් ඇගේ අත්සන නිවැරදි කර විජයවර්ධනට ෆයිල් කවරය බාර දුන්නාය..
"නේම් ටැග් කිලර්ට විතරක් නෙවෙයි."
දකුණු පසින් සිටින මිශ්කාගේ දෑස් දෙස එක එල්ලේ බලමින් මිශෙල් එසේ කීවාය. තමාගෙ දෙසට හැරී ඇති, මිශෙල්ගේ තියුණු කොළ දෑස් මිශ්කාට ගෙන ආවේ වෙනදා නොදැනෙන අමුත්තක් ය. නමුත් මිශෙල් බොහෝ අවස්ථාවලදී මිනිසුන් දෙස මේ අයුරින් බලන බව මතක් වූ විට මිශ්කාට එය තවදුරටත් අමුතු දෙයක් ලෙස පෙනුණේ නැත.
........................................................... 🖤 ...
මේක තමයි මිශ්කා ඔයාගෙත් පටන් ගැන්ම. මීට කොළ ඇස් 🥱
තිවේන් ශෙලීව වැඩිය ටච් කරන්න ගියෙ නෑ තරහා ගිහින් ඉන්න නිසා. ඊලඟ එපිසෝඩ් වලින් පොඩ්ඩක් ටච් කරවමු නේද 💋
රියැක්ට් එකක් දාගෙන යන්න Code එකට අනුව. කමෙන්ට් එකකුත් දීගෙන යන්න ළමයි 😶
Sachy Collins