Miss. Anonymous - 14
Sachy Collins
"අපි උඹට ආයෙ කියන්නෙ නෑ. උඹ මේක මෙතනින් ඉවර කරේ නැත්තම් ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බැරි තරම් දරුණු වෙයි. ඒ නිසා කතා කරපන් !"
විදුලි සැර වැදීම නැවතුණු විගස ලියන්ගොල්ල සිරකරුගේ හිසකේ වලින් තදින් අල්ලාගෙන එසේ ප්‍රශ්න කලේය. නමුත් ඔහුගේ මුවෙන් වචනයක් වත් පිට නොවීය. එනිසා ලියන්ගොල්ල යලිත් ඔහුට විදුලි සැර වැද්දුවේය.
"තමුන්ට මීට වඩා දෙයක් කරන්න බෑ."
සිරකරු දඟලමින් තිවේන්ට එසේ කියද්දි ඔහුට විදුලි සැර වැදීම නතර විය. නමුත් ඒ වන විට ඔහුගේ හුස්ම රටාව පෙරට වඩා වෙනස් වී තිබුණි. එලෙසම ඔහුගේ නාසයෙන් ලේ ගලාගෙන එමින් තිබුණි.
"මට තමුසෙට මීට වඩා දෙයක් කරන්න බැරි නම්, වෙන ඔප්ශන් එකකට යන්න වෙනවා."
"මට කියනවා.. තමුසෙගෙ දුවත් තමුසෙ වගේම ස්ට්‍රෝන්ග් නේද ?"
කියූ තිවේන්ගේ දෑස් මදක් විසල් වී පසෙක අත පය ගැටගසා සිටි ගැහැණු ළමයා වෙත යොමුව තිබුණි. ඔහු පැවසූ දේ හමුවේ සිරකරුගේ මුහුණේ තිබූ නිර්භය පෙනුම ටිකෙන් ටික වියැකී ගියේ ඔහු සිතූ පරිද්දෙන්ම ය.
"මම හිතනවා එහෙම ඇති කියලා."
සිරකරු බලා සිටිද්දීම ආරක්ෂකයෙකු, පසෙක සිටි ගැහැණු ළමයාගේ එක් අතකට වැඩි මාත්‍රාවකින් යුතු දියරයක් සහිත එන්නතක් ඇතුල් කලේය. එහි තිබූ ප්‍රමාණයෙන් විශාල කටුව අත තුලට යද්දී ඈ දඟලන්නට හා කෑ ගසන්නට උත්සහ කලාය. නමුත් බැඳ තිබූ දෙඅත් නිසාත් මුවට සිර වූ රෙදි කඩ නිසාත් ඈට එය කිරීමට අපහසු දෙයක් විය.
"අපි පොඩ්ඩක් බලමු.. ඔයාගෙ දුවත් ඔයා වගේම ස්ට්‍රෝන්ග්ද කියලා."
තිවේන්ගේ අණ පරිදි ආරක්ෂකයා එන්නතෙන් හතරෙන් එකක් ඇගේ සිරුරට ඇතුළු කළේය. ටික වේලාවක් යන තුරු ඈට එයින් වෙනසක් දැනුනේ නැත. නමුත් මිනිත්තු කීපයකට පසු ඈට දැනුනේ ඇගේ සිරුර එන්න එන්නම උණුසුම් වී ලැව් ගින්නකට දැවෙනවාක් සේය.
"ආහ්.."
"මාව.. පිච්චෙනවා.."
තමාගේ දියණිය වේදනාවෙන් කෑ ගසද්දී පියෙකුට එය බලා සිටිය නොහැකිය. සිරකරුට එක තත්පරයකට හෝ සිතුණේ තමා කල වැරදි වලට තමාගේ දියණිය මෙලෙස තම දෑස් ඉදිරියේම විඳවීම තමාගේම වරදක් බවය. ඉතින් ඇගේ ඒ කෑ ගැසිල්ල ඔහුට තවත් අසාගෙන සිටිය නොහැකි විය..
"මේකෙ ඉතුරු ටිකත් තමුන්ගෙ දුවගෙ ඇඟ ඇතුලට ගිහාම, මේ කෙල්ල තමුන් ඉස්සරහම අළු වෙලා වැටෙන්න ගනී. එහෙම කැමතිද ?"
හිස මදක් ඇල කර තිවේන් ඔහුගෙන් ඇසුවේය. නමුත් ඔහු තවමත් තමාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සූදානම් නැති බව තිවේන්ට පෙනී ගියේය. ඒ නිසා තිවේන් යලිත් ආරක්ෂකයාට සංඥා කලේ ඇයට එන්නතේ ඉතිරියත් ශරීරගත කරන ලෙසය. ඔහුගේ අණ පිළිපැදි ආරක්ෂකයා යලිත් ඇගේ අතක් තදින් අල්ලාගෙන එන්නතේ කටුව සමට තද කලේය..
"අනේ තාත්තෙ මාව බේරගන්න."
කටුව ඇගේ අත තුලට බැස අවසන් ය. එලෙසම ආරක්ෂකයාගේ මහපටැඟිල්ල, දබරැඟිල්ලටත් මැදඟිල්ලටත් මැදි වී ඇති සිරින්ජයේ දණ්ඩ ඉදිරියට සෙමින් තල්ලු වෙන අයුරු සිරකරුට හොඳින් පෙනුණේය. තමා තවත් ප්‍රමාද වුවොත් තමාගේ දියණිය තමා ඉදිරියේම පණ පිටින් පිළිස්සෙන අයුරු දකින්නට හැකි වන බව සිරකරුට හැඟිණි.
"ඩ්‍රවෙල්ටන් !!"
එකවරම සිරකරු කියූ වචනය ඇසී ලියන්ගොල්ල ආරක්ෂකයාට අතකින් සංඥා කලේ එන්නත ඇගේ අතින් පිටට ගන්නා ලෙසය.
"මොකක්ද ?"
"ඔ...ඔපරේෂන් ඩ්‍රවෙල්ටන්.."
ඔහු කියූ වචනයේ තේරුමක් ඇතැයි කියා ඔවුන්ට සිතුනේ නැත. සමහරවිට ඔහු මෙය තිවේන්ව නොමග යැවීමට කියූ එකක් බව ලියන්ගොල්ලට සිතුනේය. ඒ නිසා ලියන්ගොල්ල සිරකරුගේ ලඟට ගොස් ඔහුගේ හිසකේ වලින් අල්ලා හිස පිටු පසට ඇද්දේය.
"උඹ හිතුවද අපිව එහෙම රවට්ටන්න ?"
"නෑ.. මම.. ඇත්ත කිව්වෙ.. ඔපරේෂන් ඩ්‍රවෙල්ටන් කියලා.. මිශන් එකක්.. අපිට දුන්නා... ඒක දුන්න කෙනාගෙ නම.. ඩ්‍රවෙල්ටන්..."
"උඹ කියන එක ඔප්පු කරන්න උඹ ලඟ එවිඩන්ස් තියෙනවද ?"
"නෑ.. ඌ අපිට කියන්නෙ.. වෙන්න ඕනි දේ.. විතරයි... ඌ කියන විදිහට.. අපි කරේ.. එතනින් එහා.. ඌ ගැන.. දන්නෙ නෑ.. අපි.."
"උඹ එතකොට ඌ වෙනුවෙන් මේක නිකන්ද කරේ.. උඹට දුන්න ගානත් කියපන්."
"ඇඩ්වාන්ස් එකක්.. දුන්නා.. ලක්ෂ පනහක්.. වැඩේ.. ඉවර උනාම.. තව පනහක්.. දෙනවා කිව්වා.."
ලියන්ගොල්ල, සිරකරුගේ හිසකේ අතහරිද්දී සිරකරුවා පුටුවත් සමඟ බිම ඇද වැටුනේ සිහිමූර්ඡා වීය. එසැනින් ආරක්ෂකයෙකු විත් වෙනත් එන්නතක් ගෙන අසල සිටි ගැහැණු ළමයාගේ වේදනාව පාලනය කිරීමට විෂනාශක ඖෂධයක් ශරීරගත කලේය.
"ඩ්‍රවෙල්ටන් කියන්නෙ ස්පෙශල් කෝඩ් එකක් යුරේන්."
සිහිමූර්ඡා වී බිම වැටී සිටින පුද්ගලයා දෙස බලා යලිත් හැරී ගරාජයේ දොර අසලට ගිය තිවේන් එලෙසින් ප්‍රශ්න කරද්දී යුරේන් තම අත තිබූ දුරකතනයේ තිරයෙන් පිටතට දෑස් ගත්තේය.
"ඔව් මටත් තේරුණා සර්. ඒත් ඒකෙන් කියවෙන වෙන දෙයක් හොයාගන්න අමාරුයි."
"ලෙටර්ස් රිප්ලේස් කරලා බැලුවද ?"
"ඔව්, ඒත් ඒක හරියන්නෙ නෑ. නම්බර්ස් බැලුවා. ඒකත් හරියන්න නෑ."
"එහෙනම් අපිට ලොකු ගේම් එකකට රෙඩි වෙන්න වෙනවා."
යැයි පැවසූ තිවේන් තරප්පුව නැග වැල් වලින් වට කර තිබූ අඳුරු කුටියට ඇතුළු විය. එතැන් සිට නිවස දෙසට ඇත්තේ වැල් වලින්ම ආවරණ කරන ලද දිගු ආරුක්කු මඟයි.

ආගන්තුක පුද්ගලයෙකු එම ආරුක්කු මඟ දිගේ කුටියට ඇතුළු වුවද ඔහුට හෝ ඇයට එතැනින් සිරකරුවන් සඟවාගෙන සිටින ගරාජයට යා හැකි පඩිපෙළ සොයාගත නොහැකිය.
"මගෙ වයිෆ් කොහෙද ?"
ගෙවත්තේ සිට නිවසට යමින් සිටි සේවිකාවක් දැක තිවේන් ප්‍රශ්න කලේ මිශෙල් පෙනෙන මානයේ නැති නිසායි..
"මැඩම් ගෙදර යන්න ඇති සර්."
එසේ කියා සේවිකාව නිවස තුලට පිය මනිද්දී තිවේන් තමාගේ දුරකථනය අතට ගෙන මිශෙල්ගෙ මෝටර් රථය පිහිටි ස්ථානය පරික්ෂා කර බැලුවේය. එවිට ඔහු දුටුවේ එය ඇගේ දෙමව්පියන්ගේ නිවසේ තිබෙන බව සිතිමේ රතු පැහැ සලකුණකින් පෙන්වන අයුරුය.
"අරූගෙ ප්ලේස් එක චෙක් කරාද යුරේන් ?"
"ඔව් සර්.. අපිට කිසිම දෙයක් හම්බුණේ නෑ."
"ආයෙ පාරක් චෙක් කරන්න."
"හරි සර්."
තිවේන් රථගාල දෙසට පිය මනිද්දී යුරේන් ඒ ලඟ සිටි රියදුරන්ට හා ආරක්ෂකයින්‍ට සංඥා කලේ සියල්ලන්ටම මෝටර් රථ වලට ගොඩ වන ලෙසටය..
........
පයිනස් ගස් අතු පතරින් ආ තද සුලඟ බංගලාවේ ඉදිරිපස ඉස්තෝප්පුවේ තිබූ විසල් කණු අතරින් හමා ගියේ සංත්‍රාසය මුසු වූ හඬකිනි. ඊට හේතුව බංගලාව කන්ද මුදුනේ තිබූ නිසායි. දහවලට පොළවට පතිත වන තද හිරු රශ්මියට පවා බාධා කරමින් අවට තිබූ පයිනස් ගස්, වගාවේ තිබූ අඳුරු බව තවත් වැඩි කළේය..
තමා මෙතැන මේ ආකාරයෙන් සිටින බව වත් කිසි කෙනෙකු නොදන්නා නිසාදෝ ඇයට මොහොතකට මේ පරිසරය මානසික නිදහසක් ගෙන දුන්නේය. බංගලාව ලඟ තිබූ ගල් පේළියක් මත ඉඳගෙන සිටි ඇගේ රත් දෙතොල් අතර තිබූ දුම් වැටියෙන් පිටවන දුමාරය, හමන සුලඟට ක්ෂණිකව ගසාගෙන ගියේය. නමුත් ඇගේ සිතේ සිරවී තිබූ නොයෙකුත් සිතුවිලි එතරම් ඉක්මනින් ඒ සිතින් යලි නොඑන්නම ගසාගෙන යන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
"......"
මදක් පිය වී ඇති කොළ පැහැ දෑස් වලට සියුම් කඳුළු පටලයක් එකතු වන තුරුම ගැඹුරු කල්පනාවක සිරවී සිටි ඇය ක්ෂණිකව පිටුපස හැරුණේ බංගලාවේ දොර දෙසින් ඇසුණු කුඩා ශබ්දය නිසායි.
දෙව්දුවක් ලෙසින් ඉපදුනත් මෘගයන් සමඟ සටන් කරන්නට සිදුවීම ගැන ඇගේ සිතේ තිබුණේ කළකිරීමක් මිස දුකක් නොවේ. ඒ කළකිරීම නිසාදෝ ඈට ඇගේ ඉදිරිය ගැන බලාපොරොත්තු තිබුනේ නැති තරම් ය. නමුත් මෑතක සිට ඇගේ අවට සිටින පුද්ගලයින් ඇයට බලාපොරොත්තු එකතු කරන්නට උත්සහ ගන්නේය. එය ඈට විටින් විට දැනුනාය.
දුම්වැටියේ අවසන් කොටස වතුර රැඳි බිමට වැටෙද්දී ඇය්අ තණකොල්ල දිගේ ඉදිරියට ඇදුනේ සියුම් ශබ්දයක් වත් නොනැගෙන අයුරින් ය. අවසානයේ ඇගේ කළු පැහැ අඩි උස යුගලය නතර වූයේ බංගලාවේ දොර පියන් දෙකට අඩි කීපයක් දුරිනි. ඈ නිහඬව ඇගේ අතේ තිබූ ට්‍රෑන්ක්විලයිසර් පිස්තෝලයේ, ද්‍රවය පිරුණු ඊටක් සූදානම් කරගත්තාය.
එක් දොර පියනක් යටින් පෙනෙන විදුලි පහන් එළියෙන් ඈට පෙනුනේ දොර අසලම සිටින කෙනෙකු මදක් සෙලවෙන බවය. ඇය මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා සිට දොරට සමීප වූවාය.
Thud..
දොර අසල සිටි පුද්ගලයාද විසි වන ලෙසින් දොර විවෘත කල මිශෙල් ඔහුට ට්‍රෑන්ක්විලයිසරය ඉලක්ක කලාය. ඒ සැනින්ම ඔහු ඇයට පිහියකින් පහර දීමට උත්සහ කරද්දී ඈ ඔහුගේ පපුව ප්‍රදේශයට පා පහරක් එල්ල කලේ ඔහුව බිමට ඇද වැටෙන ලෙසිනි.
ඔහු යලිත් නැගිටින්නට පෙර ඇය තුවක්කුවෙන් එක් ඊටක් ඔහුගේ එක් කකුලකට විද්දාය. එය ඔහුව ක්ෂණිකව අඩපණ කරන්නට තරම් ප්‍රමාණවත් නොවූ නිසා ඔහු පාදය අල්ලාගෙන වැටුණු තැනින් නැගිට යලි දෙපයින් සිට ගත්තේය.
"මම දැනන් හිටියා ඒ උඹ කියලා.. මිශෙල් සෙලීනියා කියලා ආවෙ ඒ කෙල්ල කියලා මම දැනන් හිටියා."
එසේ කියූ ඔහු අත මිට මොලවා ඇගේ මුහුණට පහර දෙන්නට උත්සහ කළේය. නමුත් ක්ෂණිකව ක්‍රියා කල ඇය ඔහුගේ අත, තම මුහුණට ස්පර්ශ වීමට වියතක් තබා නතර කළේ රතු පැහැ දිගු නිය සහිත ශක්තිමත් අතකිනි.
"අනිත් මිනිස්සු එක්ක සෙල්ලම් කරනවා වගේ මං එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.. අශේන්.."
මිශෙල් ඔහුගේ අත අනෙක් පසට අඹරා තුවක්කුව මගින් හිස පිටු පසට තද පහරක් එල්ල කළාය. ටික වේලාවක් හිස අල්ලාගෙන සිටි ඔහු යලිත් අපහසුවෙන් නැගිට ඇගේ දෙසට හැරුණේය. මීට අවුරුදු එකොළහකට පෙර දුටු ඇගේ පෙනුමේ අද යම් යම් වෙනස්කම් සිදුවී තිබූ නමුත් ඇගේ දෑස් වල තිබූ තියුණු, හැඟීම් විරහිත බැල්ම අදටත් ඇගෙන් ගිලිහී ගොස් නැති බව ඔහුට සිතුණේ ඇය දෙස බැලූ විටය.
"උඹ කවින්වයි නදුන්වයි මැරුවා. ඒ මදිවට උන් දෙන්නගෙ අහිංසක කෙල්ලො දෙන්නවත් මැරුවා. උඹ මහ අවජාතක කෙල්ලෙක්."
ඒ වචන හමුවේ ඇගේ රත් පැහැ සිහින් දෙතොල් වල රැඳී තිබුණි. නමුත් ඔහුගේ දෑස් විසල් වී රත් පැහැයට හැරී තිබුනේ ඈ තමාගේ වචන සත පහකට හෝ ගණන් නොගෙන සිනාසෙන නිසාය.
"ඔව්.. මම මැරුවා.. මම ආවෙ තමුසෙලා සේරම එක එකා ගානෙ මරලා දාන්න."
මිශෙල්ගෙ මුහුණේ තිබූ සිනහව ක්‍රමයෙන් නැතිවී ගියේය..
"උඹේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මිශෙල්.. මම එදා කරන්න බැරි උන දේ අද මෙතනම කරනවා.. බලාගනින්!!"
එසේ කියූ ඔහු අඩපණ වූ එක් පාදයත් ඇදගෙන විත් ඇයට ලං විය. නමුත් ඇය නිහඬව ඔහුට පිටුපස ඇති බිත්තිය දෙස බලා සිටිද්දී ඔහු ඇයට ඉදිරියෙන් ඇගේ දෙපා මුලම ඇද වැටුණේය. ඊට හේතුව වූයේ ඔහු ඇය විදි ඊටෙන් දුර්වල වූ නිසායි.
"මාව මරන්නෙ නැද්ද ?"
ඈ සෙමෙන් හිස හරවා බිම වැටුණු ඔහු දෙස බැලුවාය. ඇගේ දෙතොල් අග තිබූ සියුම් සිනහව දෙස බලා සිටීම හැරෙන්නට ඔහුට තම අතක් වත් තවත් ඔසවන්නට ශක්තිය ඉතිරිව තිබුණේ නැත.
"තමුසෙ එදාම මාව මරලා දැම්මා නම් අද මිශෙල් කියලා කෙනෙක් නෑ."
"මම මෙච්චර විඳවන්නෙත් නෑ."
"ඇත්තටම කිව්වොත් මම නෙවෙයි මැරෙන්න ඕනි. තමුසෙලා වගේ උන්."
එසේ කියූ ඇය ඔහුගේ ගෙල මතට අඩි උස සහිත තම පාදය තද කළාය. එසැනින් ඔහුගේ දෑත් ඇගේ නිරාවරිත වළලුකර මත වටා තද වුණේය.
"You deserve to die."
අඩි උස යුගලයේ ඉදිරි කොටස ගෙලට තද වන විට ඔහුට හුස්ම ගැනීමට අපහසු විය. තමාගේ වළලුකරින් අල්ලාගෙන බිම වැතිරී දඟලන ඔහුව මෙතැනම මරා දැමීමට සිත් වුවත් ඈ ඒ අදහස නොසලකා හැරියේ ඔහුට එවන් ක්ෂණික මරණයක් ලබා දුන් විට තම සිත සතුටු නොවන නිසායි.
"But not like this."
මිශෙල් ඔහුගේ ගෙල මතින් පාදය ඉවත් කරගනිද්දී ඔහු ගෙල අල්ලාගෙන, කහිමින් දැඟලුවේය. කවින්ගෙත් නදුන්ගෙත් මරණ වලින් පසුව ඇයට තව ඉතිරි වී ඇති ඉලක්ක අතරින් දරුණුම පුද්ගලයා මොහුය. අපරාධ රැසකට වගකිවයුතු මොහුව අල්ලාගන්නට පොලිසියටත් නොහැකි වෙද්දී ඇය එය සාර්ථකව සිදු කර හමාරය. එය ඇගේ සිතට සැනසීමක් ගෙන දුන්නේය.
"මගෙ ඇස් ඉස්සරහම, මගෙ හීන මගෙ සැනසීම විනාශ කරලා දැන් තමුසෙ කියන්නෙ මැරෙන්න ඕනි කෙනා මම කියලද ?"
ඇය ඔහුගේ දෙපා මධ්‍යය අඩි උස සහිත පාදයෙන් තද කරද්දී, වැතිර සිටම ඔහු කෑ ගැසුවේ සිට ගැනීමට තරම් ශක්තියක් ශරීරය සතු නොවූ නිසාය.
"මැරෙනවට වඩා මනුස්සයෙක් පණ පිටින් විඳවද්දි දැනෙන ඒ වේදනාව මොන වගේද කියලා මම තමුසෙට කියලා දෙන්නම්.."
ඔහු අවසානයට දුටුවේ ඇය ආලින්දය මැද තිබූ ලණු පැටලී ඇති පුටුව දෙසට යන අයුරුය. ඇය ලණුව අතට ගෙන පිටුපස බලන විට ඔහු සිහිමූර්ඡා වී වැටී සිටියේය. නමුත් ඔහු එලෙසින් දුර්වල වී සිටින්නේ තව මිනිත්තු කිහිපයක් බව දන්නා නිසා ඇය යලිත් පුටුව සකස් කළාය.
ඈ ඔහුව මෙතැන සිරකර තබා ගියේ පුටුවක බැඳ දමාය. නමුත් ඔහු ශක්තිවන්ත කෙනෙකු නිසා කෙසේ හෝ එය ගලවාගෙන ඇයට පහර දෙන්නට ඇය එනතුරු දොර අසල බලා සිටියේය. ඔහු එසේ මෙසේ එකෙකු නොවන නිසා ඈ ඔහුගේ ශරීරයට සෑම විටෙකම අඩපණ වීමට බෙහෙත් එන්නත් කළාය. එහෙත් සමහර අවස්ථා වල ඔහුව දුර්වල කිරීමට ඒ එන්නතේ මාත්‍රාව ප්‍රමාණවත් නොවුණි.
මිනිත්තු විස්සක් පමණ ගෙවී ගියේය..
ඔහුට දෑස් විවර කරගත හැකි වුවත් ශරීරයට දැනෙන විඩාව නිසා සෙලවීමටවත් නොහැකි විය. සවසට වැටෙන හිරු එළිය නිසා ආලින්දයේ ඉහල වහලයේ තැනින් තැන තිබූ වීදුරු කොටස් වලින් ගලාගෙන ආ හිරු රැස් බිම තැනින් තැනට පතිත වී තිබුණි. බිම තිබූ හිරු රැස් දෙස බැලූ ඔහු තමා ඉදිරියේ සෝෆාවක වාඩි වී සිටි ඇය දෙසට දෑස් යොමු කළේය.
"සමහර තුවාල වලින් ලේ එන්නෙ නෑ.. ගැඹුරටම කැපිලා තිබුණත්.. ඒවගෙන් ලේ එන්නෙ නෑ.."
"හැබැයි ඒ තුවාල මතක් කරනවා ඒක උනේ කොහොමද කියලා."
වහලයේ එක් වීදුරු කවුළුවකින් ගලාගෙන ආ හිරු රැස් ඇය ඉඳගෙන සිටි සෝෆාවටද පතිත වී තිබුණි. කහ පැහැ ආලෝක තීරුව හරහා යන දූවිලි කුඩු අතරින් ඔහු දුටුවේ, හිරු රැස් නිසා ඇගේ කොළ පැහැ දෑස් 'Emerald' මැණික් ගල් යුගලයක් මෙන් දිළිසෙන අයුරුය. එසේම කකුලක් පිට කකුලක් තබා හිඳි ඇය ඇඳ සිටි ඇඟට තද වූ කළු පැහැ දිගු ගවුමේ විවරයෙන් පිටට ආ ඇගේ කළවාද හිරු එළිය වැටී බටර් පැහැයට හැරී තිබුණි.
"මම අවුරුදු ගාණක් බලාගෙන හිටියා.. මට ඒ තුවාල කරපු මිනිස්සුන්ව මගෙ අතින්ම විඳවන්න දීලා මරලා දාන්න."
"ඉතින්.. මේ ගෙවෙන්නෙ මගේ අවස්ථාව.. තමුසෙලා හැමෝටම සයිලන්ට් වෙන්න කාලෙ හරි.. අශේන්.."
මිශෙල් සෝෆාවෙන් නැගිට ඔහු ඉදිරියට ආවේ ප්‍රමාණයෙන් විශාල සිරින්ජයක් සහිත එන්නතක් අතැතිවය. ඇය ලඟට එන විට ඔහු පුටුවෙන් ගැලවෙන්නට උත්සහ කළේය. නමුත් අත් පිටුපසට එකතු කර තදට බැඳ තිබූ කේබල් ටයි නිසාත්, බෙහෙත් වලින් වලින් ඇති වූ මත් ගතිය තවමත් සම්පූර්ණයෙන්ම අඩු වී ගොස් නොමැති නිසාත් ඔහුට කතා කිරීම හැරෙන්නට වෙනත් කිසිම දෙයක් කිරීමට නොහැකි විය.
"උඹට කොහොමත් ගැලවුමක් නෑ මිශෙල්. මම මෙතන ඉද්දි මගෙ උන් නිකන් ඉන්නෙ නෑ."
"එහෙනම් උන්ටත් වෙන්නෙ මැරෙන්න තමයි."
ඔහු තරහින් කිපී කියූ දේ හමුවේ ඇය තම අත් වලට අත් වැසුම් දමමින් සිනහා වී එසේ කීවාය. ඇගේ සිහින් රත් දෙතොල් වල රැඳි සිනහව දෙස ඔහු තමාගේ රත් පැහැ වූ දෑස් වලින් තියුණු බැල්මකින් බලා සිටියේය.
"උඹට එදා උන දේම අදත් කරගන්න ඕනි වෙලා වගේ.."
ඔහු කියූ දේ හමුවේ ඇගේ දෙතොල් වල රැඳි සිනහව ක්‍රමයෙන් අඩු වී ගියේ නොසිතූ අන්දමින් ය. සිරින්ජය ඇගේ අතේ ඇඟිලි තුඩු වලට තද වෙද්දී ඔහු මදක් විසල් වූ ඇගේ දෑස් දෙස නොනවත්වාම බලා සිටියේ සමච්චල් සිනහවක් සහිතවය.
ඔහුට ඔහු කියූ දේ ගැන යලි සිතන්නට වත් කාලයක් නොතබා ඇය ඔහුගේ මුහුණට තදබල පහරක් එල්ල කලාය. එසැනින්ම ඔහුගේ මුවින් රුධිරය බිඳු කිහිපයක් ලී පොලව මතට වැටුනේ සියුම් ශබ්දයකිනි. යලිත් ඔහු හිස ඔසවන්නට පෙර ඇය ඔහුගේ හිසකේ වලින් ඇද මුහුණට ලං වූවාය.
"තමුන්ට මම ආයෙ මතක් කරන්නම්."
"මම මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්.. එදා හිටපු ඒ ඕඩිනරි කෙල්ල නෙවෙයි මම."
"ඒ හින්දා මගෙ ඉස්සරහා කියන දේවල් දෙපාරක් හිතලා කියනවා. නැත්තම් තමුන්ට තව ජීවත් වෙන්න තියෙන කාලයත් අඩු වෙයි වේදනාවත් වැඩි වෙයි."
........................................................... 🖤 ...
ඔයාලා හිතන්නෙ මිශෙල් මේ අයගෙන් පලිගන්නෙ මොන වගේ හේතුවකට කියලද ?
අනික මිශෙල් නිශ්ශබ්ද & රහස් ගබඩාවක් කියලා දැනෙනවද ඔයාලට ?
React දාන්න කෝඩ් එකේ විදිහට. ඊලඟ එපිසෝඩ් එක මීට කලින් ගේන්න බලන්නම් ♥️🌹
Sachy Collins