Miss. Anonymous - 13

Miss. Anonymous - 13

Sachy Collins
🚫 Do not copy or share without author's permission




Previous


මිශෙල් නිහඬව පිටුපස හැරුණේ ඇගේ සවනට ඇසුණු කාන්තාවකගේ කටහඬ නිසායි. ඇගේ ඉදිරියේ සිටියේ ඈ මීට පෙර එක් වතාවක් පමණක් දුටු ඈට වැඩි දුර තොරතුරක් සොයාගත නොහැකි වුණු අබේනායක පවුලේ සාමාජිකයෙකි.


"මට ඔයාව ඇලජික්. ඒත් යුතුකමක් හැටියට කතා කරලා යන්න ආවා."


මිශෙල්ට වඩා අඟල් කීපයක් උස තලෙලු පැහැ සමක් ඇති පිට මට්ටමට දිගු කළු වරලසක් ඇති ඒ කාන්තාව ඇගේ දෙස බලා සිටියේ තියුණු බැල්මකිනි. නමුත් ඒ වචන හමුවේ මිශෙල්ගෙ මුහුණේ තිබුණේ මද සිනහවකි.


"මට ඩීටේල්ස් ලැබුණා ඔයා Mount Lavinia වල කේස් එකක් බලනවා කියලා. ඒකට තිවේන්ව වත් අපිවවත් ගාව ගන්නෙ නැත්නම් ඔයාට හොඳයි."


දෙඅත් එකිනෙක බැඳගෙන ඈ එසේ කීවේ බැමක් ඔසවාගෙනය. නමින් ඔලීනා ද ලොරන්ට් වූ ඇය ෆෙඩ්රික් ද ලොරන්ට්ගේ නැගණියගේ එකම දුව වූවාය. ඈ එසේ මෙසේ එකියක් නොවන බව මිශෙල් දැන සිටියාය. ඔවුන්ගේ පවුල් වල අය මෙන්ම ඇයත් කරන්නේ තමාගේ බලය පෙන්වා මිනිසුන්ව පීඩනයට පත් කිරීමය.


"මම හේතුවක් නැතුව කාවත් ප්‍රශ්න වලට ගාව ගන්න කෙනෙක් නෙවෙයි."


මිශෙල් එසේ කිව්වේ නිශ්ශබ්දතාවය බිඳිමිනි. තමා ඉදිරියට පැමිණ තමාට කට වචනයෙන් ඔවුන්ගේ බලය පෙන්වීමට උත්සාහ ගන්නා මෙවන් පුද්ගලයින් ඈ දකින පළමු අවස්ථාව මෙය නොවේ. ඉතින් ඇයට මෙවන් පුද්ගලයන්ගේ තර්ජන විහිළුවකට සමය.


"එහෙම උනොත් හොඳයි. නැත්නම් ඔයාට හිතනවට වඩා ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි. අනික ඔයා තිවේන්ගෙ වයිෆ් කියන එක මට අදාල නෑ."


"Have a good day."


එසේ කියූ ඔලීනා මිශෙල් දෙස රවා බලමින් උයනෙන් පිටව ගියේ නිවස තුලට යන්නටය. ඈ ආරක්ෂකයින් සමඟ යන අයුරු බලා සිටි මිශෙල් යලිත් අනෙක් පස හැරී රෝස වැල කප්පාදු කළාය.


ඔලීනා නිවසේ දොර අසල රැඳෙද්දී තිවේන් නිවසෙන් දකුණු පසට වෙන්නට තිබූ වැල් වලින් වට කල දිගු ආරුක්කු මගෙන් පිටතට ආවේ කලිසම් සාක්කු වලට දෑත් දමාගෙනයි. ඇගේ මේ හදිසි පැමිණීම ඔහු අපේක්ෂා කලේ නැත. ඒ නිසා ඔහුගේ දෑස් වල රැඳී තිබුණේ ප්‍රශ්නාර්ථයක් සැඟවුණු බැල්මකි.


"ඔලීනා."


"පෙරේදා මම ලංකාවට ආවේ. ඔයාගෙ වැඩ කොහොමද කියලා බලන්න ආවෙ."


තිවේන් නිවස තුලට යද්දී ඈ ඔහුගේ පසුපසින් විත් සෝෆාවෙන් ඉඳ ගත්තාය. ඒ සමඟම නිවසේ සිටි සේවිකාවක් මුළුතැන්ගෙය දෙසට ගියේ ඔවුන් දෙදෙනාට බීමට යමක් රැගෙන එන්නටය.


"මට ආරංචි උනා ඔයාට ශොට් කරා කියලා."


"ඒක අවුලක් නෑ."


"කරන්න ඕඩර්ස් දුන්න කෙනාව හොයා ගත්තද ?"


"හොයන ගමන් ඉන්නෙ."


"What a shame. දැන් සතියකටත් වැඩියි. ඒ වගේ පොඩි දෙයක් හොයා ගන්න බැරිද. ඉස්සර හිටපු තිවේන් අබේනායකට මොනාද කරන්න බැරි. ඒත් මැරේජ් එකෙන් පස්සෙ මනුස්සකම් මතු උනාද ?"


"මනුස්සකම්.. මට Betray කරපු එකෙක්ව වත් මම අද වෙනකම් ඉතුරු කරලා නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට වැඩ කරන උන් මැරුවත් දෙයක් කියන්නෙ නැති එක."


"එහෙමයි කියලා උන්ට ඔයාගෙ ඔළුව උඩින් යන්න දීලා ඔයා නිකන් ඉන්න එක හරිද ?"


"කවදාවත් වෙන්න ඉඩ තියන්නෙ නැති දේවල් ගැන මගෙත් එක්ක කතා කරන්න එපා."


"Ok fine."


සේවිකාව විසින් මේසය මතින් තැබූ තේ කෝප්පයේ අඬුව ඇඟිලි අතරට තද කරමින් ඔලීනා එසේ කීවාය. සාමාන්‍යයෙන් ඇගේ කතා විලාසයට ඈව හඳුනන බහුතරයක් දෙනා අකමැතිය. එලෙසම ඈ කියන දේවල් වලින් සමහර අවස්ථාවල තිවේන්ගේ තරහා ඇවිස්සෙන්නට වැඩි වෙලාවක් ගත වෙන්නේද නැත.


"මම ඔයාගෙ ෆොරීන් වයිෆ්ට කතා කරලා ආවේ. මම ආසම නැති ගතිගුණ එයාට තියෙන්නෙ. ඔයා දන්නවද. ඔහොම සයිලන්ට් වෙලා ඉන්න මිනිස්සු අපි හිතන ජාතියේ අය නෙවෙයි කියලා."


"ඔව්.. මිශෙල් ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි. එයාට පුළුවන් ඔයාව මෙතනම උනත් මරලා දාන්න."


"Huh.. In her dreams."


ඔහු කියූ දේ හමුවේ ඔලීනාගේ මුවගේ තිබුණේ සමච්චල් හිනාවක් පමණි. නමුත් එයින් වැඩිවන්නේ ඔහුගේ තරහව පමණි. ඔලීනා එදා සිට මිශෙල්ට අකමැතිය. ඊට හේතුව ඇය අපරාධ විමර්ශකයෙකු වීමත් පෙනුමෙන් අනන්‍ය වීමත් කියා ඔහු නිර්ණය කළේය. කාන්තාවන් තවත් කාන්තාවකු කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව පිට කරන්නේ වචන වලින් බව ඔහු හොඳින්ම දැන සිටියේය.


"ඔලීනා.. මම දෙපාරක් කියන මනුස්සයෙක් නෙවෙයි කියලා දන්නවනේ. ඔයා අදින් පස්සෙ මිශෙල්ට හොඳින් කතා කලොත් හොඳයි. එයා කවදාවත් මට පිටු පාන්නෙ නෑ. ඒකයි මම එයාව තෝර ගත්තෙ."


"ඩිටෙක්ටිව්ස්ලාට ඉන්වෙස්ටිගේටර්ස්ලාට අන්ඩර්කවර් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි."


"ඔලීනා.. මේක මෙතනින් නවත්තනවා. මගෙ ලිමිට් එක පන්නගන්නෙ නැතුව."


තිවේන් ඇයට කිව්වේ එය අවසන් තර්ජනය ලෙස සිතාගෙන ය. ඔහුගේ මදක් විසල් වී ඇති තද පැහැ දෑස් දුටු ඔලීනා ඔහුව ගණන් නොගත් අයුරින් සිනහවක් පා තේ කෝප්පය අවසන් කර මේසය මතින් තැබුවාය.


"ඔයා ගොඩක් වෙනස් වෙලා මල්ලි."


"සමහරවිට, ඔයා කොහෙවත් යන දේවල් පටලගෙන දුර්වල වුන නිසා ඔයාට මෙච්චර පසුබෑමක් වෙන්න ඇති. නැත්තම් ඉස්සර හිටපු තිවේන් මෙහෙම තමන්ට ශොට් කරන්න ඕඩර් එක දුන්න මනුස්සයාව දවසක් වත් ජීවත් කරන්නෙ නෑනෙ."


"මම යන්නම්.. ඒත් මතක තියාගන්න. මේ ආපු ප්‍රශ්න වලට වඩා ඔයාට ගොඩාක් ප්‍රශ්න මතුවෙයි ඉදිරියට. ඒවටත් නිදහසට කාරණා කියන්න දැන්ම රෙඩි වෙලා ඉන්න."


සෝෆාවෙන් නැගිට දොර දෙසට යන ඔලීනාගේ 'Cesare paciotti' වර්ගයේ අඩි උස යුගලයේ ශබ්දය ඇසෙද්දී තිවේන් හිසකේ පිටුපසට ඇද සෝෆාවට හේත්තු විය. ඈ තවත් මෙතැන සිට තමා අකමැති දේ කියවනවාට වඩා නිවසෙන් පිටව යෑම තමාට සැනසීමක් බව ඔහුට මොහොතකට සිත් වුණි.


Cesare Paciotti නොදන්න අයට ❤️


ඔලීනා ඉදිරි දොරෙන් ඉස්තෝප්පුවට එනු දුටු මිශෙල් නිහඬව තම අත තිබූ රෝස මල් නටු වල කොළ කුඩා කතුරකින් කපා දැමුවේ එළිමහනේ පිහිටි මේසයක ඉඳගෙන ය. නමුත් ඇගේ සිහිය තිබුණේ තමා ඉදිරියෙන් මෝටර් රථය දෙසට යන ඔලීනාට ය. ඇගේ සිතුවිල්ල අනුව ඔලීනා දැන් ඈ ඉදිරියේ නැවතිය යුතුය..


"පරිස්සමින්.."


ඈ සිතූ අයුරින්ම ඔලීනා ඈ ඉදිරියේ නැවතී එසේ කීවේ දුම් වැටියක් දල්වා දෙතොල් අතර තබා ගනිමිනි. මිශෙල් එය බලාපොරොත්තු වූවාය. එනිසාදෝ ඇගේ රත් පැහැ සිහින් දෙතොල් වල රැඳී තිබුණේ මද සිනහවක් ය.


"ඔයත්."


මිශෙල්ගේ වචනයට ඔලීනා සිනහවක් නැගුවේ සමච්චලයට මෙන් ය. ඔලීනාගේ ඒ ගතිගුණ වලට මිශෙල්ගේ සිත සතුටු වුණේ නැත.


"Really.. huh.."


දුම් වැටිය දබරැඟිල්ලත් මැදඟිල්ලත් අතරට ගත් ඔලීනා මිශෙල්ගෙ පාදාන්තයේ සිට හිස දක්වා බැල්මක් යොමු කළාය.


"මම කෙනෙක්ට ලේසියෙන් Interest වෙන්නෙ නෑ. හැබැයි එහෙම උනොත් ඒ කෙනාට ඒක ලේසි වෙන්නෙත් නෑ."


මිශෙල් පැවසුවේ හිස් වචන ටිකක් පමණක් බව සිතූ ඔලීනා බිමට දෑස් යොමු කර සිනහා විය. ඇයට අවධානය නොදී මිශෙල් තව දුරටත් මල් නටු වල අතු කපා දැමුවාය.


"ස්වීට් ත්‍රෙට් එකක්ද ?"


"ස්වීට් ත්‍රෙට් එකක් සමහර වෙලාවට Disaster එකකින් ඉවර වෙන්න පුළුවන්."


ඔලීනා ඇසූ දේට පිළිතුරු දී මිශෙල් ඈ දෙස බැලුවේ මල් නටු කැපීම මදකට නතර කරය. ඇගේ මුහුණේ පෙර තිබූ සිනහව නැතිව ගොස් ඇති බව ඔලීනාට පෙනි ගියාය. යලිත් ඇයට කිසිවක් කියන්නට හිත නොදුන් නිසා ඔලීනා ගොස් ඇගේ මෝටර් රථයට නැග්ගේ ආරක්ෂකයින් සමඟය. ඔලීනා කලින් වතාවෙත් මේ වතාවෙත් මිශෙල් සමඟ කතා කරන අයුරු ආරුක්කු මග ලඟ සිට බලාගෙන සිටි ලියන්ගොල්ල යලිත් එය තුලට ගියේය.


මෝටර් රථය නිවසෙන් පිට වෙද්දී මිශෙල් රෝස මල් නටු සියල්ලම සුද්ද කර නිවස තුලට රැගෙන ගියාය. ඈ ඇගේ කාමරයට ගොස් සඳලුතලයේ කවිච්චිය මතින් ඉඳගද්දී ඇගේ දුරකතනයට සුපුරුදු පරිදිම ඇමතුමක් ආවේ සොනායාගෙනි.


"සොනා.."


"ඊයෙ රෑ මාතලේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙකුට වෙඩි තියලා. දෙන්නම මැරිලා."


"ඒ පාර කව්ද ඒ ?"


"හිතා ගන්න බෑ. එක දිගට පොලිස් ඔෆිසර්ස්ලයි, ඉන්වෙස්ටිගේටර්ස්ලයි වෙඩි කාලා මැරෙනවා. ඊලඟට අපි දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්."


ඒ සිද්ධියට සම්බන්ධ කවුරුන්දැයි කියා ඈට අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත. නමුත් ඈ එය තමාගේ හොඳම යෙහෙළිය ලෙසින්වත් සොනායාට ඇඟවීමට උත්සාහ කලේ නැත.


"ඊයෙ ජජ් කෙනෙක්ටත් ත්‍රෙට් එකක්. එයත් තව ටික දවසකින් වෙඩි කාලා මැරෙයි."


මීට අවුරුදු ගණනකට පෙර රටේ තිබූ වාතාවරණය අද වන විට නොසිතූ අන්දමින් වෙනස් වී තිබුණි. රටේ බලයට පත් නායකයින්ගේ දුර්වල පාලනය නිසා අපරාධ කල්ලීන් හිස ඔසවන්නට පටන් ගත්තේ සියල්ල බලා සිටිද්දීය. සමහර අවස්ථා වල ඒ අපරාධකරුවන් හා මාෆියා කණ්ඩායම් ඉදිරියේ පොලිසියද දුර්වල විය. අද වෙද්දී ඔවුන් කිසිඳු බයක් සැකක් නොමැතිව පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දේශපාලනික පුද්ගලයින් මරා දමන්නේ කිසිවෙකුටත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වන ආකාරයට ය.


සමහරුන් දුප්පත් මිනිසුන්ගෙන් කප්පම් ගනී. තවත් සමහරුන් තමාට වඩා ඉහලට යන පුද්ගලයින් ඊර්ෂ්‍යාව මුල් කරගෙන මරා දමති. ඇතැම් අවස්ථා වල අධි ආරක්ෂාව යටතේ සිටින පුද්ගලයින් පවා සැක කටයුතු අයුරින් ඔවුන් විසින් මරා දමන්නේය. ඉතින් මෙවැනි වාතාවරණයක මෙවන් ප්‍රවෘත්ති ඇසීම මිනිසුන්ට පුදුමයට කාරණාවක් නොවුණි.


"ඒක නෙවෙයි.. ආන්‍යා ඔයාව හොයාගෙන එනවා කිව්වා දෙයක් ගැන කතා කරන්න."


"මෙහෙ ?"


"ඔව්.. මම හිතන්නෙ තිවේන්ගෙ Pharma කම්පැනි එකෙන් මොකක් හරි දේකට හෙල්ප් එකක් ගන්න."


"හ්ම්ම්.. මම බලන්නම්."


"මම තියනවා. හෙට උදේම එන්න. සර් අද ඔයාව හෙව්වට මම කිව්වා ඔයා හොඳින් නෙවෙයි කියලා."


"හරි Thanks."


සොනායා ඇමතුම අවසන් කරද්දී මිශෙල් දුරකතනය කවිච්චිය මතින් තබා අත් වැට අතරින් පෙනෙන ඒන්ජල් විල දෙසට දෑස් යොමා ගත්තාය. මාතලේ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දමන්නට ඇත්තේ කව්ද කියා ඈට සැකයක් නැත. නමුත් එයට හේතුව, එය සිදු කල පුද්ගලයාගෙන්ම ඇයට දැන ගන්නට අවශ්‍ය විය..


........


වේලාව සවස දෙක හමාරත් පසු විය. පාසල් වේලාවෙන් පසු තිබූ අමතර පංති වලට සහභාගී වූ සිසුවියන් තිදෙනෙක් කැලෑබද ප්‍රදේශයකින් දිවෙන වැලි මාර්ගය දිගේ පිය නගමින් නිවෙස් කරා යමින් සිටියෝය. පරිසරයේ ඇති වැහි අඳුර නිසා තනිව ගිය ඒ ගැහැණු ළමයින් තිදෙනා නොනැවතී ඉදිරියට ඇදුනෝය.


"ඒ බන් අපි ගඟෙන් පැනලා යමු."


එක් ගැහැණු ළමයෙකුගේ කීමට අනෙක් දෙදෙනාත් එකඟ වී පාර අසලින් ගිය ගඟේ ඉවුරට බැස්සේ එය ගම්මානයට යන කෙටි මාර්ගයක් නිසායි. පසුගිය දිනයන් වල ලැබුණු වර්ෂාපතනය නිසා ගඟේ වතුර පහර ටිකක් සැඩ වී තිබුණේ වෙනදාට මතු වූ කුඩා ගල් පතුරු පවා වසාගෙන ය.


ගල් වලින් පනිමින් ඔවුන් තිදෙනා ගඟ ගලන දිශාවට විරුද්ධ දෙසට ඇවිද ගියෝය. නමුත් ටික දුරක් යද්දී එතැන සිටි එක් ගැහැණු ළමයෙකු වතුරේ පාවෙමින් ඔවුන් තිදෙනා දෙසට එන ආගන්තුක යමක් දුටුවාය. ඈත තියා හඳුනා ගැනීමට නොහැකි නිසා ඈ එය තමා ලඟට එන තුරු බලා සිටියාය. ඈ වෙනදාටත් මේ ගඟ දිගේ ගසාගෙන එන විවිධාකාරයේ දේවල් එකතු කර තමා සන්තකයේ තබා ගන්නේ කුඩා කල සිට වෙනස් හා පැරණි දේවල් එකතු කරන්නට ඇගේ සිතේ තිබූ කැමැත්ත නිසායි. නමුත් අද ඇය බලාපොරොත්තු නොවූ අන්දමේ දෙයක් ඇගේ දෑස් ඉදිරියේ නැවතුනු නිසා, ඇයට සිහි කල්පනාවක් නැති විය..


"ඈව්ව්.."


ඈ ගල්පරයක් මත ලිස්සා වැටෙද්දී ඇගේ යෙහෙළියන් හිස හරවා ඈ දෙස බැලුවේ විසල් වූ දෑස් වලිනි..


"මොකද උනේ ?"


"මේ..."


ඇයට වචන පැටලෙන්නේ ඇගේ දෙපා ඉදිරියේ ඇති, ගඟෙන් ගසාගෙන විත් ගල්පරයක සිරවූ මිනිස් අත නිසායි. එය දුටු අනෙක් ගැහැණු ළමයි දෙදෙනත් බියට පත් වී පිටුපසට ගියාය.


"කොහෙන්ද මේක මෙතෙනට ආවෙ ?"


"උඩ ඉඳන් ගහගෙන ආවෙ."


ඔවුන් බිය වී බලා සිටිද්දී තවත් ශරීර කොටසක් ඒ අසලින් ගසාගෙන ගොස් ලඟ තිබූ ගල් පරයක වැදී නතර විය. ඔවුන් මින් පෙර චිත්‍රපට වලින් දුටු දසුන් අද ඔවුන්ගේ දෑස් ඉදිරියේ සැබෑ ලෙස පෙනෙද්දී ඔවුන්ට දැනුනේ ඔවුන්ගේ මුළු ශරීරයම පණ නැතිව යන්නාක් මෙනි.


"අපි මෙතනින් යන්. ගිහින් කාට හරි කියමු."


වැටුණු ගැහැණු ළමයාත් රැගෙන අනෙක් ගැහැණු ළමයි දෙදෙනා ඉවුර දිගේම හතිලමින් දිව්වේ ඉක්මනින් ගම්මානයට ගොස් ඔවුන් ගඟ අසල දුටු දසුන ගැන වැඩිහිටි අයට පැවසීමටය..


පැයක් පමණ ගත විය..


මිශ්කා තවමත් ඇගේ මේසය මත වාර්තාවක් දෙසට දෑස් යොමු කරන් කල්පනාවකය. ඈ උදේ සිට ආහාරයක් වත් නොගෙන, රිහාෂාවත් කවින්වත් බේරා ගන්නට තමා ඉදිරියට කල යුතු දේ කල්පනා කළාය. නමුත් එයට තමා පරක්කු වැඩි බව ඈ තවමත් නොදන්නේය.


"මැඩම්.."


එකවරම මිශ්කා සිටි ස්ථානයට ආ නඳුනි ඇයට කතා කලේ ඇය ගැඹුරු කල්පනාවකට සිටිනු දුටු නිසායි..


"ඇයි ?"


"අපි ලේට් උනා මැඩම්. කවින් රිහාෂා දෙන්නම ජීවතුන් අතර නෑ දැනටමත්."


"මොකක්."


"ඔව්.. ස්කූල් ගිය ගර්ල්ස්ලා තුන් දෙනෙක් දැකලා තියෙනවා එයාලා යන පාරෙ ගඟට කාගෙ හෝ බොඩි පාට්ස් එකතු වෙනවා. එයාලා ඒ ගැන කම්ප්ලේන් කරලා. ඒ එකතු වෙලා තියෙන්නෙ කවින්ගෙ බොඩි පාර්ට්ස්."


"එතකොට රිහාෂා ?"


"රිහාෂාගේ බොඩි එකත් ඩැමේජ් එක්ක ඒ ලඟම ගහක් මුල තිබිලා හම්බුණා."


"Let's go."


නදුනිගේ දැනුම්දීමෙන් අනතුරුව මිශ්කා ඇගේ කණ්ඩායම සමඟ සිද්ධිය වූ ස්ථානයට ගියාය. ඒ වනවිට එතැනට අවට ගම් වල මිනිසුන් රැස්ව සිටියේය. එලෙසම මේ තොරතුර අසා විජයවර්ධනත් ආන්‍යාත් එතනට පැමිණ සිටියේ දින ගණනක් අතුරුදහන් වී සිටි රිහාෂාටත් කවින්ටත් අවසානයේ සිදු වූයේ කුමක් දැයි කියා සිය දෑසින්ම දැක ගැනීමට ය.


"මම දැනන් හිටියා මේක වෙනවා කියලා."


"මේක ඒ කිලර් අවසාන වතාවට වින් කරන අවස්තාව වෙන්න ඕනි."


මිශ්කා සුදු පැහැ රෙදිකඩකින් වසා ඇති කවින්ගේ ශරීර කොටස් පරීක්ෂා කරද්දී ජෝන් විජයවර්ධන එසේ කියුවේ ඇගේ දෙසට දෑස් යොමු කරගෙන ය. සාහසික අයුරින් මේ පුද්ගලයින් මරා දැමූ ඒ නිර්ණාමික ඝාතකයා නීතිය හමුවේ කොටු කරගැනීමට තමාට පහසු දෙයක් බව මුලදී මිශ්කා සිතුවත්, වර්තමානයේ ඇයට මේ මරණ දෙපලෙන් පෙනී ගියේ එය තමාට සිදු කිරීමට ලේසි පහසු කාර්යයක් නොවන බවයි. නමුත් එසේ කියා මෙය අත හැරීමට ඇගේ සිතේ අංශු මාත්‍රාවක වත් අදහසක් නැත.


පැය කිහිපයක් ගත විය..


මිශ්කා යලිත් මෝටර් රථයට නැග්ගේ සිරුරු හා කොටස් වැඩි දුර පරීක්ෂණ සඳහා ගෙනයන විටය. ඈ ඉදිරිපස අසුනේ ඉඳගෙන රියදුරු අසුන දෙස බලද්දී එහි වාඩි වී සිටියේ ඒඩ්‍රියන් ය. ඇගේ මුහුණේ තිබූ පීඩනයට පත් ස්වරූපය දෙස බලා සිටි ඔහු සිටියේ අතක් හිසට කරු කරගෙන ය.


"ඊයෙ රෑත් මාතලේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් මරනකම්ම අවට කොච්චර ගෙවල් තිබිලත් ඒ කවුරුත් දන්නෙ නෑ. ඒ වගේම මේ මිනී මෙතෙන්ට ආපු හැටි මේ ලඟ ගම් වල කවුරුත් දන්නෙ නෑ."


මිශ්කා ඔහේ කියවද්දී ඒඩ්‍රියන් ඇගේ හිසට අත තැබුවේය..


"Don't worry baby.. ඔයා කලබල නොවී මේ කේස් එක ගැන බලන්න. දැන් ඉතින් උන දේ වෙලා ඉවරයිනේ. එදා රිහාෂාගෙ ඇඳුම් අර විදිහට හම්බ වෙද්දිම මට හිතුණා මේක දැනටමත් වෙලා ඇති කියලා."


"ඒත් කොහොමද.. මෙහෙම කිලර් කෙනෙක් මම දැකලා තිබුණෙ නෑ. එයා හේතුවක් ඇතුව මේ අයව මරනවා තමයි. ඒත් මෙච්චර දරුණු වෙන්න තරම් හේතුව මොකක්ද. අනික එයා දැන දැනම අපි එක්කත් සෙල්ලම් කරනවා."


"ඔව්.. ඒක නම් එහෙම තමයි. ඒත් මම ඔයාට දෙයක් කියන්නද මිශ්කා ?"


"මොකක්ද ?"


"මට හිතෙන්නෙ ඒ කිලර් පිරිමි කෙනෙක් නෙවෙයි. එයා ගෑනු ළමයෙක් වගේ."


ඔහු කියූ දේ හමුවේ ඇගේ මුහුණ සෙමෙන් සෙමෙන් විශ්මයකින් පිරෙනු ඔහු දුටුවේය..


"මටත් එහෙම හිතුණා. නේම් ටැග් එකේ තියෙන එයාගෙ Handwriting හරිම ලස්සනයි වගේම පිළිවෙලයි. අනික රිහාෂාගේ බොඩි එකේ නියපොතු පාරවල් තිබුණා. මම හොයාගත්තු දේවල් අනුව එයා රයිට් හෑන්ඩ් කෙනෙක්. ගොඩක් දුරට ඒ කිලර් ගෑනු ළමයෙක් වෙන්න ඇති කියලා මම ගෙස් කලා."


"ඔව්.. ඒ වගේම එයා Deep mindset එකක් තියෙන Intelligent කෙනෙක්. නැත්නම් එයා කොහොමද කාටවත් දැක්ක පමණින් හිතා ගන්න බැරි වෙන්න Encrypted විදිහට අපිට මැසේජ් දෙන්නෙ."


"ඔයා හරි. ඒත් මේ මැරුණ අයගෙන් දෙන්නෙක්ම ක්‍රිමිනල්ස්ලා. ඒවගේ අය එක්ක හැප්පෙන්නත් ගෑනු ළමයෙකුට අමාරුයි නේ."


"ඒත් එයා එයාටම කියලා හදා ගත්තු ට්‍රික්ස් යූස් කලොත් මේක අමාරු දෙයක් වෙන්නෙ නෑ."


ඒඩ්‍රියන් මෝටර් රථය පණ නංවාගෙන කැළෑවෙන් අතුරු මාර්ගයට දැමුවේ එසේ කියමින් ය. මිශ්කා මෝටර් රථයේ අසුනට හේත්තු වෙමින් දෑස් පියා ගත්තේ වෙනදා නොමැතිව දැනෙන තද හිසරදය නිසාය..


........


"මම උඹට මේ කියන අවසාන වතාව. උඹ මෙ සැරේ ඇත්ත කිව්වෙ නැත්නම් මම උඹව පණ පිටින් පුච්චලා දානවා."


ලියන්ගොල්ල පුටුවක බැඳ සිටි මැදි වයස පුද්ගලයාගෙන් ප්‍රශ්න කලේ ඔහුගේ ලේ වැගිරෙන මුහුණට අතක් තද කරගෙනය. දින කීපයක් ගෙවුනත් ඔවුන්ට ඔහුගෙන් තිවේන්ට වෙඩි තබන්නට අනුබල දුන් පුද්ගලයා ගැන කිසිඳු තොරතුරක් දැන ගැනීමට නොහැකි විය. ලියන්ගොල්ලටත් යුරේන්ටත් ඔහුව කීප වතාවක්ම මරා දමන්නට සිත් වුවත් ඔවුන් ඉවසාගෙන සිටියේ තිවේන් ඒ පුද්ගලයාට තවත් වද දී ප්‍රශ්න කරන්නට කියූ නිසායි.


හදිසියේම ඔවුන් සිටි පොළව යට තිබූ රහස් ගරාජයේ අඳුර මැද්දෙන් පිය නැගුවේ තිවේන් ය. ඔහුගේ සපත්තු යුගලයේ අඩි ශබ්දය මුළු මහලේම දෝංකාර දුන්නේය.


"තමුසෙට කතා කරන්න ඇති වෙනකම්ම වෙලාව දුන්නා. ඒත් දැන් අපි මේ මැෂින් එකට ප්‍රශ්න අහන්න චාන්ස් එක දෙමු.."


තිවේන්ගේ හඬ ඇසුණු සියල්ල ඒ දෙසට හැරුණි. ඔහුට පිටුපසින් ආ යුරේන් ලියන්ගොල්ල අසලට ගියේ පුටුවේ බැඳ සිටින තිවේන්ට වෙඩි තැබීම සිදු කල පුද්ගලයා දෙස බලමින් ය.


"මම එහෙම හරි මැරෙනවා මිසක් උඹලට මුකුත් කියන්නෙ නෑ !"


ඒ පුද්ගලයාගේ වචන හමුවේ තිවේන්ගෙ දෙතොල් අග රැඳුණ් පැහැදිලි සිනහවකි..


"මම තමුසෙ මැරෙන එක ගැන ඉන්ට්‍රෙස්ට් වෙන්න තරම් මෝඩයෙක් නෙවෙයි."


තිවේන් නිහඬව දුන් අණ පිළිපැදි ලියන්ගොල්ල ඉහල අගයක් සහිත වෝල්ටීයතාවකින් යුතු වයරයක් ඒ පුද්ගලයා බැඳ තිබූ පුටුවට සවි කලේ තවත් වයරයක් තමා අතට ගනිමින් ය. තත්පර කීපයකට පසු එහි තිබු මීටරයේ බොත්තම රතු පැහැ වුණි..


Buzz..


විදුලි සැර ඒ පුද්ගලයාගේ සිරුර තුලින් ගමන් කරද්දි නිකුත් වූ ශබ්දය මුළු ගරාජයේ තිබූ නිහඬතාවය බිඳ දැමුවේය. පුටුවේ තදින් බැඳ සිටි ඔහු දඟලන අයුරු තිවේන්ගේ ගැඹුරු නිල් දෑස් රස වින්දේය.


"මට තමුසෙගෙන් ඕනි මගෙ ප්‍රශ්න වලට උත්තර මිස හිස් වචන නෙවෙයි."


සිරකරුගේ සිරුර හා දෑස් විදුලි සැර නිසා එක දිගට ගැස්සෙන්නේය. නමුත් ඔහු දසන් එක් කරගෙන තම දෑස් තිවේන් දෙසට යොමු කලේය.


"අපි උඹට ආයෙ කියන්නෙ නෑ. උඹ මේක මෙතනින් ඉවර කරේ නැත්තම් ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බැරි තරම් දරුණු වෙයි. ඒ නිසා කතා කරපන් !"


විදුලි සැර වැදීම නැවතුණු විගස ලියන්ගොල්ල සිරකරුගේ හිසකේ වලින් තදින් අල්ලාගෙන එසේ ප්‍රශ්න කලේය. නමුත් ඔහුගේ මුවෙන් වචනයක් වත් පිට නොවීය. එනිසා ලියන්ගොල්ල යලිත් ඔහුට විදුලි සැර වැද්දුවේය.


"තමුන්ට මීට වඩා දෙයක් කරන්න බෑ."


සිරකරු දඟලමින් තිවේන්ට එසේ කියද්දි ඔහුට විදුලි සැර වැදීම නතර විය. නමුත් ඒ වන විට ඔහුගේ හුස්ම රටාව පෙරට වඩා වෙනස් වී තිබුණි. එලෙසම ඔහුගේ නාසයෙන් ලේ ගලාගෙන එමින් තිබුණි.


"මට තමුසෙට මීට වඩා දෙයක් කරන්න බැරි නම්, වෙන ඔප්ශන් එකකට යන්න වෙනවා."


"මට කියනවා.. තමුසෙගෙ දුවත් තමුසෙ වගේම ස්ට්‍රෝන්ග් නේද ?"


කියූ තිවේන්ගේ දෑස් මදක් විසල් වී පසෙක අත පය ගැටගසා සිටි ගැහැණු ළමයා වෙත යොමුව තිබුණි. ඔහු පැවසූ දේ හමුවේ සිරකරුගේ මුහුණේ තිබූ නිර්භය පෙනුම ටිකෙන් ටික වියැකී ගියේ ඔහු සිතූ පරිද්දෙන්ම ය.


"මම හිතනවා එහෙම ඇති කියලා."


........................................................... 🖤 ...


දෙන්න පමා වුනාට සමාව අයදිමි. ඒත් ආයෙ මෙච්චර පමා වෙන එකක් නෑ. මොකද මගෙ Dip එක ඉවර නිසා No more assignment 🥳


දැනුම්දීමක් - මේ කතාවෙ වැඩිපුරම ඔයාලට හම්බවෙන්නෙ මේ වගේ Killer & Mafia තීම්ස් තමයි. S*x සීන් තැනින් තැනින් හම්බවෙයි. කොහොම හරි මේක Mature කතාවක්. එච්චරයි 🥹


❗කියවපු අය රියැක්ට් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. මොකද මේ කතාවට ලැබෙන ප්‍රතිචාර වලින් තමයි මම තීරණය කරන්නෙ මම තවදුරටත් කතා ලියනවද කියලා❗


Sachy Collins

Report Page