Kidnapped by Love-14

Kidnapped by Love-14

ඕෂධී🌸✍


Chapter-13



🍓Chapter-14



''මදාරාට ඉපදුන දුවගේ නම තමයි මන්දෝදරී හෙට්ටිආරච්චි...''



ඉතින් තත්පර ගානකට ආදිත්‍යගේ මුහුණේ හැගීම් වෙනස් වෙච්ච විදිය දැකලා ශනායා හිනාවුනා...



''ඔයාද ඒ ලමයා...එතකොට ඔයාගේ මමාගේ ලමයා කෝ...අනික් එක ඔයා මන්දෝදරී නම් ශනායා කියන්නේ කවුද...



''මදාරා කියන්නේ මගේ අම්මා...මං මගේ අම්මව මරාගෙන ඉපදිච්ච කාලකණ්ණි කෙල්ලෙක්...ඒ කාලකණ්ණිකම කොච්චරද කියනවා නම් මං ආදරේ කරපු මිනිස්සුන්ගෙන් මට ආදරේ හම්බවුනේ හරිම අඩුවෙන්...මම ආදරේ කරන මට ආදරේ කරන අය බොහොම ටිකයි ඉන්නේ ආදිත්‍ය...ටිකයි කියන්නේ අතේ දෙකේ ඇගිලි ගානටත් අඩුවෙන් ඉන්නේ...''



''මට ඔයාගේ කතාව දැනගන්න ඕන...ඒත් ඔයාට ඕන නම් හිමීට ඉතුරු ටික කියන්න...''



''මං දැන් ඕවට අඩන්නේ නෑ ආදිත්‍ය...අඩලා අඩලා මට දැන් ඒවා ගානක් නෑ...මම ඉපදිලා සතියකට පස්සේ ඒ කියන්නේ මගේ අම්මගේ හත් දවසේ දානේ දුන්න දවසේ මහ රෑ හදිසියේම අපේ තාත්තා අත්තව හොයාගෙන ගෙදර ඇවිත් මාව ඕන කියලා ඉල්ලලා...''



''අත්තා කිව්වේ...''



''අත්තා කිව්වේ සීයට...මං දිගටම සීයා කියලම කියන්නම්...එදා තමයි මමාට එයාගේ දරුවා ලැබිලා තියෙන්නේ...ඒත් ඒ ලමයා මැරිලා...මමාට ඔපරේෂන් එකකුත් කරාලු...ඒ ලමයා වෙනුවට මාව ගෙනියන්න තමයි තාත්තා එදා රෑ ගෙදර ඇවිත් තියෙන්නේ...ඒ ආවේ මගේ තාත්තා, අනික අයිතිය කියන්න උසාවි ගියත් තාත්තා තමයි කොහොමත් දිනන්නේ...ඒ නිසාම කෝසල, ඒ කියන්නේ මගේ මාමා අකමැති වෙනකොට සීයා තාත්තට මාව භාරදීලා...එහෙමයි මං ඔය ලොකු ගෙදරට ගියේ...මන්දෝදරී කියන නමට ශනායා කියන කෑල්ල එකතු කලේ තාත්තමයි...හැබැයි ශනායා කියන නමට වඩා මම මන්දෝදරී කියන නමට කැමති...''



''අම්මා දාපු නම නිසාද...ඒ නමට තේරුමක් තියෙනවද...''



''ඉපදුනේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්නත් කලින් අම්මා මැරුනා ආදිත්‍ය...මට මේ නම දාලා තියෙන්නේ සීයා...ඒ විතරක් නෙවෙයි අම්මට මාමාට දෙන්නටම නම් දාලා තියෙන්නෙ සීයා...මන්දෝදරී කියන නමේ තේරුම 'මෙලෙක් උදරයක් ඇති කුමරිය' එහෙම තමා සීයා මට කිව්වේ...රාවණා රජ්ජුරුවන්ගේ බිසවගේ නමත් මන්දෝදරී...ඔයා දන්නවද ඒ මන්දෝදරීට මදාරා කියන නමත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා...''



නෑ කියන්නට මෙන් ආදිත්‍ය උරහිස් ඇකිළුවේය...



''මදාරා කියන්නේ මල් ජාතියක්...රාවණගේ ඉතිහාසය පැත්තෙන් ගත්තොත් රාවණ රජ්ජුරුවන්ගේ හිතේ මන්දෝදරීට තියෙන ආදරේ පෙන්නන්න එතුමා කරපු science experiment එකක ප්‍රතිඵලයක් තමා ඒ මදාරා මල් හැදෙන ගහ...ඒ ගහ ලංකාවේ ලේසියකට හොයාගන්න පුළුවන් ගහක් නෙවෙයිලු...හොදම දේ තමා ඒ ගස් ලගට අඩුම ගානේ කුරුමිණියෙක්වත් යන්නේ නෑලු...අනික් පැත්තෙන් ගත්තම මං කියවල තියෙන බණ පොත් වල තියෙනවා මදාරා කියලා මල් ජාතියක් ගැන...ඒ මල් ගහ තියෙන්නේ තව්තිසා දිව්‍යලෝකයේ,ඒකේ මල් පිපෙන්න ගන්නේ බුදු කෙනෙක් ලෝකයේ පහලවෙන්න ඕන කාලේ ලං වුනාමලු...''



''ඔයා කොහොමද මෙච්චර වෙලා මට කිව්ව දේවල් ගැන දැනගත්තේ...අනික් එක ඔයාගේ තාත්තා ඔයාව සීයාගේ ගෙදරින් අරන් ගියා නම් සීයා කොහොමද ඔයාගේ නමේ තේරුම කියලා දුන්නේ...''



''සීයා මට මන්දෝදරී කියලා නම තිබ්බට ඒ වෙනකන් උප්පැන්න සහතිකයක් හදලා තිබිලා නෑ...ඒත් සීයා මගේ හදහන හදලා මන්දෝදරී හෙට්ටිආරච්චි කියලා...ඒ නිසා තාත්තා උප්පැන්න සහතිකෙට ශනායා කියන නමත් දිලා අම්මගේ නම විදියට මමාගේ නමත් දීලා...මමාගේ ලමයට වෙච්ච දේ නොකියන්න තාත්තා ඒ හොස්පිට්ල් එකේ ස්ටාෆ් එකවත් කැමති කරවගෙන...ඔය දේවල් කොච්චර කලත් වැඩක් නෑ ආදිත්‍ය අම්මලට තමන්ගේ ලමයින්ව දැනෙනවා...මමා කොහොම හරි ඇත්ත දැනගන්න ඇති...හැබැයි මොකක් හරි දෙයක් නිසා මමා ඒ ගැන වෙන කාටවත් කියලත් නෑ...මට තේරෙන කාලේ ඉදලා මමාගෙන් මට වුනේ වෙනස්කම්...මමාගේ කතාව මට කිව්වෙ ජේඩන් අයියා...අයියා ඇත්ත දන්නවා වුනාට එයා මට කවදාවත් වෙනස්කම් කරලා නෑ...''



''ඔය දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා කියලා මට තේරුනා ජේඩන් කතා කරපු විදියෙන්ම...''



''මං ආදරේ කරන මට ආදරේ කරන එක මනුස්සයෙක් තමා අයියා...නිධානයක් කිව්වම ඔයාට මොනවද මතක් වෙන්නේ...''



''රත්තරන්,මුතු,මැණික්...''



''ගොඩක් මිනිස්සු හිතන්නේ නිධානයක් කිව්වම ඒ තැන්වල ඕවා ඇති කියලා...''කට කොනින් සිනාසී ශනායා කීවාය...



''අම්මගේ මාර්ගෙන් ගන්න බැරි වෙච්ච නිධානය තාත්තට මගේ මාර්ගෙන් ගන්න ට්‍රයි කරන්න හිතෙන්න ඇති...ඒකේ ෆස්ට් ස්ටෙප් එක විදියට මට තේරෙන කාලේ ඉදන් මාව සීයලගේ ගෙදර එක්කගෙන ගියා...සමහර දවස් වලට මං එහේ සති ගනන් නැවතිලා හිටියා...ඔහොම ඉන්නකොට මාමා මටත් අංගම්පොර කියලා දෙන්න ගත්තා පොඩි කාලේ ඉදන්...සීයා ඒ වැඩේට කැමති වුනේ නෑ තාත්තා නිසා...ඒත් මාමා සීයා එක්ක රණ්ඩු වුනා මගේ හදහනේ හැටියට ඒවා ඉගෙන ගන්න පුළුවන් කියලා...මාමා මාව එක්කගෙන ගියා භාවනා කරන්න ගල්තලාවක් උඩට...මට එතකොට අවුරුදු හයක් විතර ඇති,එදා මාමා මට කියලා දුන්නා මම කාගේ කවුද,මගේ තාත්තා කොච්චර පහත් මිනිහෙක්ද කියලා...එයාට ඕන නම් තිබ්බා මගෙන් ඒවා හංගලා අංගම්පොර කියලා දෙන්න...ඒත් අංගම්පොර වලදි අසාධාරණයට තැනක් නෑ...මං එදා ඇඩුවා ගොඩක් වෙලා...මාමා කිව්වා ඇති තරම් අද අඩන්න හැබැයි හෙටින් පස්සේ ශක්තිමත් වෙන්න කියලා...''



''එතකොට ඔයා ඉස්කෝලේ ගියේ කොහෙද...''



''තුන වසර වෙනකන් මම ගියේ කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට...නිවාඩු මාසේ හම්බවෙච්ච ගමන් ගමේ ගිහින් නතර වෙනවා...ඒ මාසෙට මමා හිතේ සැනසීමෙන් ඉන්නවා ඇති මාව දකින්නවත් නැති නිසා...ගමේ ගියාම ඉතින් මාමා එක්ක අංගම්පොර පුරුදු වෙනවා,එහෙ ලමයි එක්ක සෙල්ලම් කරනවා,සීයා මාමත් එක්ක එකතුවෙලා රජ කතා කියලා දෙනවා...මම එහේ අයට කොළඹ ගැන විස්තර කියනවා...ඒ කාලේ හරි ලස්සනයි...ඒත් ඒ ලස්සන දවස් වැඩිකල් මගේ ජීවිතේ තිබ්බේ නෑ ආදිත්‍ය...''



ඒත් සමගම පලාතක්ම ආලෝකමත් කරමින් මහ හඩින් අකුණක් ගැසු අතර නිවසේ විදුලි පහන් සියල්ල නිවී ගියේය...



''F#ck...''



''සමහරවිට ට්‍රිප් එක ඕෆ් වෙන්න ඇති ආදිත්‍ය...''



''ඉන්න මං බලන්නම්...''කියා ආදිත්‍ය එතනින් නැගිට ගියේය...වෙලාව දහවල් එකට ලං වී තිබුණද වැහිබර කාලගුණයත් ආදිත්‍යගේ නිවස වටා ඝනව වැවී ඇති කැලය නිසාවෙනුත් ගේ ඇතුලේ සම්පූර්ණයෙන් නොවුනත් තරමක ඝන අදුරක් දකින්නට ලැබූණි...



''ට්‍රිප් එක ඕෆ් වෙලා නෑ...මම පොඩ්ඩක් එලියේ තියෙන ස්විච් බෝඩ් එක බලලා එන්නම්...''ආදිත්‍ය කුඩයක් රැගෙන විත් කීවේය...



''ඔහොම ඉන්න මාත් එන්නම්...''



''එක අඩියක් එලියට තිබ්බොත් බලාගෙනයි...'' කියූ ආදිත්‍ය කුඩය දිගෑඇරගෙන ජනේලයෙන් එලියට බැස්සේය...ඔහු එනකන් ශනායා ජනේලය අසලට වී බලා සිටි අතර ඔහු නැවත ගේ ඇතුලට පැමිණියේ,



''ස්විච් බෝඩ් එකෙත් ප්‍රශ්නයක් නෑ...සමහරවිට පාරේ අතු කඩාගෙන වැටිලා ඇති...''කියන ගමන්ය...



''ඔහොම ඉන්න ආදිත්‍ය...''කියූ ශනායා ආදිත්‍යගේ කකුල දිගේ උඩට නගිමිනි සිටි කූඩැල්ලකු කිසිදු පැකිලීමකින් තොරව ගලවා ජනේලයෙන් ඉවතට විසිකලාය...



''අපිට දවල්ට බත් කන්න වෙන්නේ නෑ...කරන්ට් එක නැතුව රයිස් කුකර් එක වැඩ කරන්නේ නෑනේ...කරන්ට් එක ඉක්මනට ආවේ නැත්තන් දිගටම බඩගින්නේ තමා ඉන්න වෙන්නේ...''



''මට නම් අවුලක් නෑ...''



''අපි දැනට නූඩ්ල්ස් පැකට් එකක්වත් හදාගමු...''කියූ ආදිත්‍ය කුස්සිය දෙසට පියවර නැගුවේය...



ඔවුන්ගේ කතාබහ නැවත ආරම්භ වුනේ දුම් දමන නූඩ්ල්ස් පිගන් දෙකකුත් සමගිනි...



''එක දවසක් ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර ආවාම තාත්තා කිව්වා ගමනක් යන්න ලෑස්ති වෙන්න කියලා...අපි ආවේ ගමට...ඒ එනකොට සීයගේ ගෙදර ඉස්සරහ ගොක්කොල තොරණක් ගහලා තිබ්බා...ගෙදර ඇතුලට යනකොට මිනිපෙට්ටි එකක් නෙවෙයි දෙකක් තිබ්බා...මාව එක්කගෙන ඇවිත් තිබුනේ සීයගෙයි,මාමාගෙයි මලගෙදරට...තාත්තා මට ඒ වෙලේ කිව්ව විදියට ඒ දෙන්නා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා...හැබැයි මට තීර්ථ කියලා මල්ලි කෙනෙක් කවුරුත් නැති තැන තව දෙයක් කිව්වා...ඊට සතියකට විතර කලින් අර රජමහා විහාරේ තිබ්බ නිධානේ සීයා පූජාවක් කරලා ගොඩ අරන්ලු...එතන තිබිලා තියෙන්නේ පුස්කොලපොත් ටිකක් විතරයි...ගමේ මිනිස්සු කියනවලු ඒකෙන් වස් වැදිච්ච නිසා තමා සීයටයි මාමටයි මේ දේ වෙන්න ඇත්තේ කියලා...ඒකෙන් වස් වැදිච්ච නිසා ඒ දෙන්නා මලේ නෑ, මගේ තාත්තා තමයි ඒ දෙන්නව ඇක්සිඩන්ට් කරවලා තියෙන්නේ...මම ඒක දැනගත්තේ මලගෙදර ඉවරවෙලා ගෙදර ආවට පස්සේ තාත්තගේ ෆෝන් කෝල් එකක් හොරෙන් අහගෙන ඉදලා...මං අර මිනිස්සු දෙන්නව වල දාන වෙලේවත් ඇඩුවේ නෑ ආදිත්‍ය හැබැයි තාත්තා මෙච්චර පහත් වැඩක් කරලා දැනගත්ත වෙලේ මං හොදටම ඇඩුවා...මං ඇඩුවා කියලා දන්නෙ ජේඩන් අයියා විතරයි...එයත් ඒ දවස්වල පොඩි ලමයෙක් නේ...එයා හිතුවේ මං අඩන්නේ සීයයි මාමායි නැති වෙච්ච දුකට කියලා...මාව නලවගන්න එයා මාව වඩාගත්තේ නැති ටික විතරයි...''කියූ ශනායා ඇස් දෙක අතින් පිස දමා නහයත් උඩට ඇද්දා...



''ශනයා ඉතුරු ටික අපි පස්සේ කතා කරමු...''නෙහාරගේ ඇක්සිඩන්ට් එක පිලිබදව ශනායා අනුමාන කල ආකාරය මැනවින් වටහාගත් ආදිත්‍ය කීවේය...



''නෑ අපි අදම මේ ගැන කතා කරමු...මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි ආදිත්‍ය...කොච්චර වුනත් දුවෙක්ට හරි අමාරුයි තාත්තට වෛර කරන්න...හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ඉන්න කිසිම මනුස්සයෙක්ට මගේ තාත්තා වගේ අයව මුණ ගැහෙන්න එපා කියලා...එයා අපි කී දෙනෙක්ගේ ජීවිත විනාස කරලා ඇද්ද...මගේ අම්මව පැත්තකින් තියන්නකෝ,එයා මමාට ජේඩන් අයියට කලේ හරි දෙයක්ද...මං දන්නේ නෑ අනික් දුවලා මෙහෙම කියනවද කියලා...ඒ වුනාට මගේ තාත්තා ගැන මට කියන්න තියෙන්නේ තමන්ගේ අරමුණට යන්න එයා ඕනම මිනිහෙක්ගේ හීන බොද කරලා දාන්න ලෑස්ති මිනිහෙක් කියලා...''



''ඔය ගෙදර ඇතුලේ ඔයාට හොදින් සලකන්න අයියා ඇරුනාම වෙන කවුරුත් නැද්ද...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


පහලොස්වන කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page