Hee Young - 8

Hee Young - 8

Jade

7- https://telegra.ph/Hee-Young---7-01-10


සතියකට විතර පස්සෙ හීයන්ග් ආයෙමත් වෙරළක් ළගටම ආවා.

        “නියමයි.” හීයන්ග්ට කියවුණා. “ෂාඔි හීයන්ග් ආයෙමත් වෙරළකටම ආවා වගේ.”

        එයා ඉදිරියටම ගියා. එකපාරටම එයාට මහ අමුතු ගුප්ත හැගීමක් දැනෙන්න ගත්තා. කවුරුහරි එයාට කතාකරනවා වගේ..

        ඒ හැගීමත් එක්ක හීයන්ග් කුතුහලයෙන් වටපිට බැලුවා. මේ පාළු වෙරළෙ එයාට කවුරු කතා කරන්නද? ඔන්න මුහුදට අධිපති දෙවියා නං තව කමකුත් නෑ. දෙවි කෙනෙක් වෙනුවට හීයන්ග්ට දැකගන්න පුළුවන් වුණේ ලොකු ගලක් උඩ වාඩිවෙලා ඉන්න මනුස්සයෙක්. කොළ පාට ඇස් දෙකක් සහ කළු කොණ්ඩයක් තිබුණු එයාව පෙනුණේ වෙරළේ අව්ව තපින්න ආපු කෙනෙක් වගේ.

        “ෂාඔි හීයන්ග්.” එයා කතා කළාම හීයන්ග් අඩියක් උඩ විසිවුණා.

        “මාව-දන්නවද?”

        ආගන්තුකයා යන්තමින් සිනාසුණා. “ඇත්තටම, ඔව් දරුවා. ඔයා එනකල් මම සෑහෙන කාලයක් තිස්සෙ බලන් හිටියා.”

        “අ-ම්..” එයා මේ ලෝකෙට ආවෙත් මාස හයකට විතර කලිනුයි. ඒත් ඒ ගැන නොකියා ඉන්න එක ඇගට ගුණයි කියලා එයාට හිතුණා. “මේ, ඔයා කවුද-සර්..?”

        “ඒක ඔයා පස්සෙ කාලෙක දැනගනී. හීයන්ග්, කිසිම දෙයක් අහම්බෙන් සිද්ද වෙන්නෙ නෑ. ඔයා මෙහෙට ආපු එකත්, ඊටපස්සෙ වුණ හැමදේමත්. ඔයා මේ ලෝකෙට අතිශයින්ම වැදගත් වෙන කාලයක් උදාවේවි. මේ ඒකට පටන්ගැන්ම විතරයි. හීයන්ග්, මම ඔයාට එක ත්‍යාගයක් ලබාදෙනවා. ඒක ඔයාගෙ ඉදිරි ගමනට පිටුවහලක් වේවි.”

      “මොකක්ද-” හී යන්ග් කටවහගත්තා. ඔිනැ එකක්. “ස්තුතියි, සර්.”

        අද්භූත තැනැත්තා හීයන්ග් ළගටම ආවා. “පරිස්සමෙන් පාවිච්චි කරන්න. මතක තියාගන්න බලයන් හැමතිස්සෙම හොද වෙන්නෙ නෑ. ඒ වගේම හැම බලයක්ම නරකත් නැහැ. ඒක හරියට පාවිච්චි කරනව නං ඒක ආශිර්වාදයක්.”

        එයා හීයන්ග්ගේ හිස මත අත තැබුවාම හී යන්ග් හෙල්ලෙන්නවත් බැරුව බලාගෙන හිටියා. එයාට දැනුණේ වතුරට බැස්සා වගේ හැගීමක්. සීතල, ආසා හිතෙන වතුර, ඇග පුරා දුවනවා වගේ.

        “ඔයාගෙ අත දිග අරින්න.” ආගන්තුකයා කිව්වා. හී යන්ග් අත්ල දිග හැරියා. එයාගේ අතැගිලි කෙළවර පොපියනවා වගේ දැනුණේ, හරියට ඒවාට අවදිවෙන්න ඔිනි වෙලා වගේ. තත්පරයක් යද්දි හීයන්ග්ගේ අත්ල මත හිම පියලි රැසක් නටන්නට වුණා.

        හී යන්ග් බියෙන් බෙරිහන් දෙමින් අත ගසා දැම්මාම, අයිස් දහරාවක් විසි වුණා. “මොකක්ද-”

        “ඔයාට ඉස්සරහට ඔිනැ වෙයි.” පිරිමි කෙනා කිව්වා. “පරිස්සමෙන් පාවිච්චි කරන්න. හරි කාලය එනකල්, ඔයාට වැඩියෙම ආරක්ෂිත තැනට යන්න. ඒ වගේම..” එයා නිකට කැසුවා. “ගින්නෙන් පරිස්සම් වෙන්න. ගින්නෙන් අයිස් දියවෙනවා. ඔයාට ගින්දරේ බලපෑම අනිත් අයට වඩා දෙගුණයක් වැඩියි.”

        හී යන්ග්ට එයාගෙ ප්‍රියතම කාටුන් චරිතය-එල්සාව මතක් වුණා. වාව්! මට හැමදාම ඔිනි කළේ එයා වගේ වෙන්නයි!

        ඔහ්, කටවහගන්නවා! මේක විහිළුවක් නෙවෙයි!

        එයා ඉස්සරහට අත දිගු කළා. එයාගෙ අතින් විහිදුණු හිම ගොඩක් එකතුවෙලා හිම මිනිහෙක්ව හැදුවා.

        “ඒක මාරයි!” එයාට කියවුණා. “නරකම නැහැ. ඒත් ඇයි-”

        එයා හැරිල බලද්දි අද්භූත ආගන්තුකයා යන්න ගිහින්.

        “එයා නිකංම යන්න ගියාද?” හීයන්ග් තමාගෙන්ම අසාගත්තා. “බූම්! මෙන්න ඔයාට තෑග්ගක්! බායි බායි මං ගියා. එහෙමද?”

        කිසිම ප්‍රතිචාරයක් නෑ. හරියට එයා මුහුදට දියවෙලා ගිහින් වගේ.

        “අහන්න,” හී යන්ග් කෑගැහුවා. “මට-මේක-එපාා!”

        කොච්චර කෑගැහුවත්, එයා නාකි වෙනකල්ම මෙතන උඩබලාගෙන හිටියත් වැඩක් වෙන්නෙ නෑ කියලා අන්තිමට එයාට තේරුණා.

        “හරි එහෙනං.” එයා උරහිස් ඇකිළුවා. “දැන් නම් මට කොහෙත්ම නවතින්න තැනක් හොයාගන්න බැරිවෙයි. මායාකාරියක් නවත්තගන්න කැමතිවෙන්නෙ කවුද? මට කැලේ තමයි ඉන්න වෙන්නෙ..”

        හී යන්ග්ගේ දෑස් උඩ ගියා. “කැලේ! ඔව්මයි! මම ආපහු යනවා. දැන්වත් මම හොරකම් කළේ නෑ කියලා ඔප්පුවෙලා ඇතිනේ..”

        හීයන්ග් ආපහු හැරිලා, ආපු පාර දිගේම යන්න පටන් ගත්තා.

******

සති දෙකකට විතර පස්සෙ අතරමං නොවී කොහොමහරි කැලේට යාගන්න හීයන්ග්ට පුළුවන් වුණා.

        “දෙවියනේ, ආයෙත් නං පිටුවහල් කිරීමක් නං එපා.” එයා කොම්බාගේ ගුහාව හොයාගෙන ගියා. ගුහාව ළගට එද්දිම එයාට කොම්බාගේ සද්දෙ ඇහුණා.

        “ඔයා මට උගන්නන්න එන්න එපා, කොල්ලෝ. ඔයා මේ ඊයෙ පෙරේද ඉපදිලා මට දඩයම් කරන හැටි කියාදෙනවද? පැත්තකට වෙලා ඉන්නවා. ඔයාට අහන්න බැරි මං කියන දේ තමා. හීයන්ග් කියන දේ නං යසට අහනවා..”

        “එයා ගැන කියන්න එන්න එපා මට!” ජේක් බෙරිහන් දුන්නා. “එයා නැති පාළුව මටත් දැනෙනවා. ඒත් කේල් එක්ක තියෙන තරහ මගේ පිටින් අරින්නෙ ඇයි?”

        “හෝ හෝ ඔයාල දෙන්නා.” සෝහුල් කිව්වා. “ඔික නවත්තගන්නකො.”

        හීයන්ග් ගුහාව පේන තරමට ඉස්සරහට ආවා. ජේක් අත් දෙක වනවනා ගුහාව පුරා ඇවිදිනවා. සෝහුල් එපා වෙලා වගේ මාළු කට්ටක් ලෑටිගානවා. කොම්බා තරහෙන් පුපුරනවා.

        “හායි.” හීයන්ග් කිව්වා.

        “හායි නෙවෙයි.” කොම්බා කිව්වා. “ඔයා එන්න එපා මෙතන-” එයාගෙ ඇස් ලොකු වුණා. “ඒ කටහඩ හරියට-”

        “හීයන්ග්!!” සෝහුල් මාළුකට්ට පාගාගෙන ඉස්සරහට දුවගෙන ඇවිත් හීයන්ග්ගේ ඇගට පැන්නා. “ඔයා ඇවිල්ලා!”

        “ඔව්.” බිම නොවැටී ඉන්නට සමත් වූ හීයන්ග් සිනාසුණා. “ඈෑක්.. මාව ලෙවකන්න එපා සෝහුල්.. මම ආව තමයි!”

        “ෂාඔි හීයන්ග්!” ජේක් ඉස්සරහට ආවේ පුදුම සතුටකින්. “දෙවියනේ, අපි ඔයා ගැන සෑහෙන්න බයවෙලා හිටියේ. කොහේද මාසයක් විතර ගිහින් හිටියේ?”

        “හීයන්ග්!” කොම්බා හීයන්ග්ගෙ ඇගට පැන්න පාරට නම් හීයන්ග් බිමටම ඇදගෙන වැටුණා. “ඔයා නැතුව පාළුවෙන් හිටියේ..”

      “ඒක හොදට පෙනුණා. මං ඔයාලගෙ රණ්ඩුව අහගෙනයි හිටියේ.” කොම්බා සහ ජේක් රතු වුණා. “මහ පුදුමාකාර දෙයක් සිද්ද වුණානෙ. ඉන්නකො කියන්න.”

        අද්භූත මිනිසාගේ හමුවීමත්, එයාගෙ අලුත් බලය ගැනත් විස්තර කරපු හීයන්ග් ශ්‍රාවකයින්ගේ ප්‍රතිචාර දැනගන්න ඇහිබැමක් එසෙව්වා. “ඉතින්?”

        අනිත් තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා. “අපිට පෙන්නන්න.”

        හීයන්ග් අත දිගු කළාම හිම බෝලයක් එයාගෙ අත උඩ දිලිසෙමින් මතුවුණා. එයා අත අහකට ගත්තාම ඒක බිම වැටී ඉහිරුණා. අනිත් අය ඒ දිහා කටවල් ඇරගෙන බලන් හිටියේ වචන ගිලිලා වගේ.

        “ඔයා-ඔයා-” සෝහුල් ගොතගැහුවා.

        හීයන්ග් බිම බලාගත්තා. “ඔව්, කියන්න ඔිනි නෑ. මායාකාරියක්නේ..”

        “ඔයා විහිළු කරනවද?” සෝහුල් වෙඩිල්ලක් වගේ නැගිට්ටා. “ඒක නම් මාරයි! ආයෙත් කරන්නකෝ!”

        “නියමයි!” ජේක්ට කියවුණා.

        “පුදුමාකාරයි!” කොම්බා කිව්වා. “ඒත් නයගර් නං කැමති වෙන එකක් නෑ. කැලැවේ තවත් නීතියක් තමයි, මායාවන්ට ඉඩක් නෑ කියන එක.”

        හීයන්ග්ගේ මුහුණ කළු වුණා. “ඒ නැතත් දැනටමත් මාව හොරකමකට පිටුවහල් කරලනෙ තියෙන්නෙ.”

        “නෑ, හීයන්ග්.” ජේක් කිව්වා. “ඔයාව දැන් පිටුවහල් කරල නෑ.”

        “කොහොමද..”

        “ඔයා ගිහිල්ල පැයකට විතර පස්සෙ,” කොම්බා කියන්නට වුණා. “තාරකා ඉබ්බා නයගර්ව හම්බවෙන්න ගිහිල්ලා. එයා කිව්වලු මේක කේල්ගෙ කපටි වැඩක් කියලා. කේල් නරියෙක්නේ. ඔයා ආවම මමත් වෙනස් වුණ එකට එයා කැමති වෙලා නෑ. එයා කැමති රණ්ඩු ඇතිවෙනවටනේ. ඒ එයා කරපු බොරුවක්. කේල්ම තමයි නයගර්ගෙ රාජකීය මුද්‍රාවයි, රාජාගෙ වස්තුවයි දෙකම උස්සලා බෑග් එකට දාල තියෙන්නෙ. ඊටපස්සෙ නයගර්ට හොදටෝම කේන්ති ගිහිල්ලා කේල්ව පිටුවහල් කළා. ඒ වගේ බොරු චෝදනා කරන එක කැලේ නීතියට අනුව ගොඩක් බරපතළ වරදක්. නයගර් ඔයාව හොයන්න හැදුවා, ඒත් එතකොටත් ඔයා ගිහිල්ල.”

        “ඉතින් තාරකා ඉබ්බට ඔික ටිකක් කලින් කියන්න බැරිවුණාද?” හීයන්ග් නොමනාපයෙන් ඇසුවා.

        “ඒකම තමයි අපිත් ඇහුවෙ.” සෝහුල් කිව්වා. “ඊටපස්සෙ තාරකා ඉබ්බා කියපි ‘හීයන්ග්ට ඔයාල හිතනවට වඩා දිග ගමනක් තියෙනවා. මේ කැලේදි ඒක කරන්න බෑ.’ අපිට නං ඒ අපබ්‍රංසෙ තේරුණේ නෑ.”

        “එයා කියන්න ඇත්තෙ හීයන්ග්ට හම්බවුණු බලය ගැනද දන්නෑ.” ජේක් සිහිපත් කළා. “අපිට නයගර්ව හම්බවෙන්න වෙයි. ඔයා ආව කියල කියන්න.”

        “ඒ වගේම මේ ගැනත්.” හීයන්ග් කීවේ බිම දියවෙමින් තිබුණු හිම දෙස බලමින්.


Report Page