Hee Young - 7

Hee Young - 7

Jade

6- https://telegra.ph/Hee-Young---6-01-09


සතියකට විතර පස්සෙ, හී යන්ග් ජනාකීර්ණ නගරයකට සේන්දු වුණා.

        “මින්ගැන්ග්?” එයා වෙළදසැලක නාම පුවරුවක තිබූ නගර නාමය කියෙව්වා. “නියමයි. කෙනෙක්ව අතරමං වෙන්නෙ නැතිම ජාතියේ නගරයක්.”

        එයා කොහොමහරි වාහනවලයි, මිනිස්සුන්ගෙයි ඝෝෂාව අඩු තැනකට ආවා. හී යන්ග් එයාගෙ මල්ල පිරික්සා බැලුවා. “කෑමත් ඉවරයි. ළගපාත ගහක්වත් නැද්ද දන්නෑ. මුහුදෙ සද්දෙ නං ඇහෙනවා. මං මොනවද මේ කියවන්නෙ? මුහුද කන්නයැ! ආනේ, අර පේන්නෙ කානිවල් එකක් ද?”

        ඔව්. ඒ සැණකෙලියක් තමයි. හී යන්ග් ඒ අසලට ගියා. “මහලොකුවට ගියාට වටෙන් හොස්ස දාල තමා එන්න වෙන්නෙ. සල්ලි නෑනෙ.”

        “ආ, ඇතුළට එන්න.” ගේට්ටුව අසල සිටි තැනැත්තෙක් කිව්වා. “එන්න.”

        “ඒත් මං ගාව සල්ලි නෑනෙ.”

        “අහ්. ඔහ්. ඒකට කමක් නෑ. ඇතුළුවීම නොමිලේ.”

        “ආහ්, ස්තුතියි.” හී යන්ග් වහාම ඇතුළට පැන්නා. එයා වටාපිටාව විපරම් කරමින් වටේට ඇවිද්දා. තැනක බර කිරන එකක්. කැලේ හිටපු මාස හයට එයාගෙ බර වැඩිවෙලාද අඩුවෙලාද කියල බලන්න හිතුණත් එයා එතන නතර නොවී දිගටම ගියා. තවත් තැනක වීදුරු බහුරූපේක්ෂ කුටියක්. තවත් තැනක කැරකෙන ඔංචිල්ලාවක්. තවත් තැනක අශ්වයො පදිනවා. තව තැන්වලට යන්න හිතුණත් ඒ හැම තැනටම වගේ සල්ලි ගන්න නිසා හී යන්ග් ඒ අදහස අත් ඇරියා. අන්තිමට ඉලක්කෙට විදින තරගයක් තියෙන කූඩාරමක් දැකලා එයා නතර වුණා. නොමිලේ!

        හී යන්ග් එතනට ගියා. එතන තරග කරමින් හිටියේ පොඩි පිරිමි ළමයි තුන්දෙනෙකුයි, ගෑනු ළමයෙකුයි විතරයි.

        “අයියෝ!” කොළ පාට ටීෂර්ට් එකක් ඇදගෙන හිටපු, වැලි කහ කොණ්ඩයක් සහ කොළ පාට ඇස් දෙකක් තිබුණු පිරිමි ළමයා මැසිවිලි නැගුවා. “තුන්වෙනි පාරත් වැරදුණා.”

        “මෙන්න මෙහාට ඔික දෙනවා, අහ් ජුං.” දම්පාට ටී ෂර්ට් එකක් ඇදගෙන හිටපු, දම්පාට ඇස් දෙකක් සහ දුඹුරු පාට කොණ්ඩයක් තිබුණු කොල්ලා කයිවාරු ගැසුවා. “මං කරල පෙන්නන්නං ඔික. මගෙන් ඉගෙනගන්නවා.”

        එයාගෙ පළවෙනි ඊතලේ බිත්තියේ වැදිලා පොළා පැන්නා.

        “හරි ලස්සනට කරානෙ, අහ් ෂිං.” අහ් ජුං ඇද කරා. අහ් ෂිං රතු වුණා.

        “ඒක නිකං අත්හදා බැලීමක් විතරයි. මේක බලාගන්න.” ඊළග ඊතලය තෑගි දෙන්න තිබුණු ටෙඩිබෙයා කෙනෙක්ගෙ වැදුණා.

        “අහ් ෂිං, ඔයා විදින්න ඔිනි ඉලක්ක පුවරුවට මිසක් තෑගිවලට නෙවෙයි.”රෝස පාට කෙටි කොණ්ඩය පෝනිටේලයකට බැදගෙන හිටපු, තද රෝසපාට ඇස් දෙකක් තිබුණ, කළු ටීෂර්ට් එකක් සහ ජින්ස් එකක් ඇදලා දණහිස වෙනකල් දිග රෝස පාට කබායක් ඇදගෙන, දම්-රෝස රාමුවක් තියෙන උපැස් යුවළක් පැළදගෙන හිටපු ගෑනු ළමයා කිව්වා.

        “හහ්. ඔයා ඉන්නකො. මේ පාර නං..” ඊතලය අතෑරිලා ගිහින් ළග හිටපු ගෑනු කෙනෙක්ගේ කොණ්ඩා මෝස්තරයේ වැදුණා. කොණ්ඩ මෝස්තරේ ගැලවිලා වැටුණා. එයා රැව්ව රැවිල්ලට අහ් ෂිං ට කෙළ ගිලුණා. “අහ්, සමාවෙන්න..”

        අනෙක් ළමයි අමාරුවෙන් හිනාව තදකරගත්තා. “දැන් මගේ වාරෙ.” රතු ටී ෂර්ට් එකක් ඇදගෙන හිටපු, කළු කොණ්ඩයක් හා නිල් ඇස් දෙකක් තිබුණු පිරිමි ළමයා කිව්වා. එයාගෙ ඉලක්ක තුනෙන් දෙකක් පුවරුවට වැදුණා.

        “මැදට වැදුණෙ නෑ!” එයා මැසිවිලි නැගුවෙ හරියට ක්‍රිකට් ගහලා පැරදුණා වගේ.

        “ඉතින්, මටත් දෙන්න.” ගෑනු ළමයා දුන්නයි ඊතල තුනකුයි ගත්තා. එකක් පුවරුවේ යාන්තම් ඇමිනුණා. අනිත් දෙකම පොළා පැන්නා.

        “සමහරුන්ට වඩා නම් මම හොදයි.” එයා පළවෙනි තරගකාරයා දිහාට බැල්මක් හෙළුවා.

        “අපිට තෑගි දෙන්නෙ නැද්ද?” රතු ටී ෂර්ට් එකක් ඇදගෙන හිටපු ළමයා එතන බාරකාරයාගෙන් ඇහුවා. එයා සිනාසෙමින් රතු ටීෂර්ට්කාරයාටයි, ගෑනු ළමයටයි රතු හා රෝසපාට ටෙඩිබෙයාර්ලා දෙන්නෙක් තෑගි කළා.

        “අපිට නැද්ද?” අහ් ජුං මැසිවිලි නැගුවා.

        “ඔයාල හරියට විද්දෙ නෑනෙ.”

        “මටත් විදල බලන්න පුළුවන්ද?” පැත්තකට වෙලා බලාගෙන හිටපු හීයන්ග් ඉදිරියට ආවා.

        “ඔහ්, අනිවාර්යයෙන්ම.”

        හී යන්ග් දුන්න අතට ගත්තා. පළවෙනි ඊතලේම ඉලක්ක පුවරුවේ මැද රතු රවුමට වැදුණා.

        අහ් ෂිංගේ සහ අහ් ජුංගේ කටවල් බාගෙට ඇරුණා. ගැහැනු ළමයාගේ ඇස් මහත් වුණා. “වාව්.”

        දෙවනි ඊතලයත් මැදටම වැදුණා.

        තුන්වෙනි ඊතලයත් මැද රවුමට වැදුණා. එයා හැරිල බලද්දි අනෙක් ළමයි හතරදෙනාම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. ගෑනු ළමයා අතේ තිබුණු ටෙඩිබෙයා බිමට වැටුණා.

        “වාව්!!” රතු ටීෂර්ට්කාරයා මොර දුන්නා. “ඒක නං සුපිරියි!”

        “ස්තුතියි.” එයා තක්බීර් වෙලා බලන් ඉන්න බාරකාරයා දෙසට හැරුණා. “මටත් තෑගි ලැබෙනවද?”

        “අහ්- මො- ඔව්.. ඔයා තුනම හරියටම විද්ද නිසා එකක් දීල හරියන්නෙ නෑනෙ. ඔයා කැමති තෑගි තුනක් තෝරගන්න.”

        හී යන්ග්ට වැඩක් වෙන ජාතියේ දෙයකට එතන තිබුණේ - හොදයි, කිසිම දෙයක් නෑ. නිකංම යන්න ඔිනැකමකුත් නැති නිසා...

        “ටෙඩිබෙයාල තුන් දෙනෙක් දෙන්නකො, කරුණාකරල..”

        හී යන්ග් පිටුපසින් සිටි හතරදෙනා දිහාට බැල්මක් හෙළුවා. “අපිට නැද්ද?” අහ් ජුං මැසිවිලි නැගූ හැටි එයාට සිහිවුණා.

        “නිල් පාට එකයි, කොළ පාට එකයි, දම් පාට එකයි.” බාරකරුවා ඒ ජාතියේ සෙල්ලම් වලස්සු තුන්දෙනෙක්ව හී යන්ග්ට තෑගි කළා. “සුබ පැතුම්.”

        “ස්තුතියි..” එයා අනික් ළමයි දෙසට හැරී දම් පාට සහ කොළ පාට වලස්සු දෙන්නා අහ් ෂිංට සහ අහ් ජුංට තෑගි කළා. “මෙන්න ගන්න.”

        “අර්හ්..” ඒ දෙන්නා අන්දමන්ද වුණා. “ස්තුතියි!”

        හී යන්ග් නිල්පාට වලහාව මල්ලට දාගෙන යන්න හැරුණා. දැන් එයාට ඔිනි කළේ තෑගි විදියට බනිස් එකක්වත් දෙන තැනක්. එහෙම තැනක් නං නෑ වගේ.

        “මේ, ඔයා, පොඩ්ඩක් ඉන්ඩෝ..” හීයන්ග් පිටිපස්ස බැලුවාම ඒ අර ළමයි හතරදෙනා.

        “ඔයා හරි වේගෙන් ඇවිදිනවනේ. ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයි නේද?” ගෑනු ළමයා ඇසුවා.

        “අ-නෑ.. මං මෙහෙට ආවෙ ළගදි. අද පැයකට කලින් කිව්වත් වැරදි නෑ.”

        “ඔයා තනියෙන්මද ආවෙ?”

        “ඔව්.”

        “පවුලෙ අය ගෙදර ද?”

        “නෑ..” හී යන්ග්ගේ මුහුණ වේදනාවෙන් ඇකිළුණා. “එයාල-හොදයි. මං අනාථ ළමයෙක්. මේ ලෝකෙ කවුරුත් නෑ. මං ඔහේ ඇවිදිනව.”

        “මොනවා?? ඔච්චර පොඩි ළමයෙක්!”

        මට දැන් ඔික අහල ඇති වෙලා. හී යන්ග් නොරිස්සුමෙන් හිතුවා.

        “මොකක්ද ඔයාගෙ නම?” රතු ටීෂර්ට්කාරයා ඇහුවා. “වයස කීයද?”

        “මම ෂාඔි හී යන්ග්. අවුරුදු හතයි.”

        “ෂා නියමයිනේ! අපිටත් අවුරුදු හතයි! අපි එකම වයසේ!” අහ් ජුං මොර දුන්නා.

        “ඔහ්, කටවහගන්නවා අහ් ජුං.” රතු ටීෂර්ට්කාරයා කිව්වා. “ඔයා එයාව බයකරනවා. දැන් එයාට හිතෙනව ඇති හත කියන්නෙ මහ එපා කරපු ඉලක්කමක් කියලා. මම වැන්ග් යොන්රේ.” එයා ගෑනු ළමයාව පෙන්නුවා. “මේ චෙන්ග් චෝ.” යොන්රේ දම්පාට ටීෂර්ට්කාරයා දිහාට අත දිගු කළා. “මේ සොන්ග් ෂිං.” ඊටපස්සෙ එයා කොළ ටීෂර්ට්කාරයාව පෙන්නුවා. “මේ පිස්සෙක් වගේ බෙරිහන් දෙන්නෙ ලින් ලී ජුං.”

        “හදුනාගැනීම සතුටක්.” හී යන්ග් සිනාසුණා.

        “ඉතින්, හී යන්ග්. ඔයා තනියම නං ඉන්නෙ මෙහෙ මොනවද කරන්නෙ?” සොන්ග් ෂිං ඇසුවා.

        “නිකං ආවා. මං මේ ලෝකෙ වටේ යනවා.”

       “ලෝකෙ - වටේ..?” අනිත් හතරදෙනා විස්මයෙන් මිමිණුවා. “ෂහ්. නියමයිනේ.”

        “එහෙනං හී යන්ග්, ඔයා දවල්ට කාලද ඉන්නෙ?”

        “කන්න ඉන්නෙ.”

        ළමුන් සිව්දෙනා මුහුණෙන් මුහුණ බලාගත්තා.

        “වාව්, මට නියම අදහසක් ආවා. හී යන්ග් ඔයා එන්න අද අපි එක්ක දවල් කෑමට!” යොන්රේ උද්‍යෝගයෙන් කිව්වා. “බෑ කියන්න බෑ. ආරාදනා කරල ඉවරයි.”

        “ඒත්-”

        “කිව්වනේ. බලෙන්ම හරි ඇදගෙන යනවා. හරි ද?” එයා ඇගිල්ල උරුක් කළා.

        “එහෙමයි, උතුමාණෙනි. මං ඔබතුමාගෙ නියෝගය පිළිපදින්නං.” හීයන්ග් දෙකට නැවී ආචාර කළා. “ඔබේ කාරුණික ආරාධනයට බොහොම ස්තුතියි.”

        “අන්න, මං වගේ කෙල්ලෙක්.” ලී ජුං ඇහැක් ගැහුවා.

        “ආපෝ ඔිනි ඔට්ටුවක් හී යන්ග්ට නම් මේ වගේ පිස්සුවක් නැතුව ඇති.” සොන්ග් ෂිං සමච්චල් කළා.

        “අනේ, මේ. ඔය දෙන්න ඔික නවත්තගන්නවද?” චෙන්ග් චෝ අත් දෙක වැනුවා. “එහෙනං එන්න යමු හීයන්ග්.”

        එයාල හී යන්ග්ව යොන්රේගේ නිවසට කැදවාගෙන ගියා. ඒක හරිම සාමාන්‍ය දෙමහල් නිවසක්.

        “අම්මා.. අපි ආවෝ!”

        “ආ.. මෙච්චර කලින්. කානිවල් එක හොද නැද්ද?” නිල් පාට ඇස් දෙකක් සහ දිග අළු පාට කොණ්ඩයක් තිබුණු ගැහැනු කෙනෙක් දොර ළගට ආවා. “ආ, ඔය සේරම කට්ටිය ඇවිල්ල ඉන්නෙ.. ම්.. එතකොට මේ කවුද?”

        “අම්මා, මේ ඉන්නෙ ෂාඔි හී යන්ග්. හී යන්ග් මේ මගෙ අම්මා.”

        “හමුවීම සතුටක්.” හී යන්ග් වැන්ග් මහත්මියට ආචාර කළා. වැන්ග් මහත්මියත් ඇයට පෙරළා ආචාර කළා.

        “අනේ.. එන්න ඔය පස්දෙනාම ඇතුළට. මං ඔයාලට දවල් කෑම හදලත් ඉවරයි.”

        දිවා ආහාරය ගන්නා අතරේදී වැන්ග් මහත්මිය හී යන්ග්ගේ තොරතුරු විමසුවා. හී යන්ග් අනාථ ළමයෙක් කියලත්, එයා තනියම ලෝකෙ වටේ යන්න අදහස් කරගෙන ඉන්නවා කියලත් අහපුවම එයාගෙ ඇස් උඩ ගියා.

        “මොකා-ක්?!” අනිත් හැමෝම කරනවා වගේ එයත් මොර දුන්නා. “ඔච්චර පොඩි ළමයෙක්? හී යන්ග් ඔයාට පිස්සුද?”

        ටිකක් විතර. හී යන්ග් නිහඩව බලා සිටියා. වැන්ග් මහත්මිය විනාඩියක් විතර කල්පනා කළා.

        “ළමයා, ඔයා මෙහෙ නවතින්න. ඔයා වගේ චූටි ළමයෙක්ට තනියම ලෝකෙ වටේ කරක් ගහන්න තරම් හොද තැනක් නෙවෙයි ලෝකෙ කියන්නෙ. ඔයා ඉස්කෝලෙ යන්න ඔිනි. සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න ඔිනි. එහෙම නේද?”

        හී යන්ග් ඒ ගැන කල්පනා කළා. ලෝකෙ ගැන එයා හොදට දන්නවා. එයාගෙ පවුලෙ අය නැතිවුණේ නිකංම නෙවෙයිනේ. මෙහෙ නවතින්න.. නැවතිලා ඉස්කෝලෙ යන්න. තවදුරටත් අනාථ නැති කෙල්ලක්.

        ඒත්..

        “මට බැහැ.”

        “ඇයි ඒ දරුවෝ?”

        “මම-මම ඇත්තටම ඒකට ගොඩක් කැමතියි මිසිස් වැන්ග්. ඒත්.. ඒත්..” හීයන්ග් අපහසුවෙන් කෙළ ගිල්ලා. එයා වෙන ලෝකෙකින් ආපු කෙල්ලක් කියල දැනගත්තොත් එයාල මොනව කරයිද? කෑගගහ පාර දිගේ දුවයි. නැත්නම් තමන් මහ බොරුකාරියක්, කතා හදල කියනවා කියල හිතයි. ඒ මුකුත් නොකිය මෙහෙ නවතින්නත් පුළුවන්. ඒත් එහෙම කළොත් එයාලට තමන් ලොකු බොරුවක් කරනවා වෙන්න පුළුවන්..

        වැන්ග් මහත්මිය සුසුමක් හෙළුවා. “හරි, එහෙනං. මම ඔයාට බලකරන්නෙ නැහැ. ඒත්, කවදහරි ඔයාට ගෙදරක් ඔිනි කියල හිතුණොත්, අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා හී යන්ග්.”

        හී යන්ග් බිම බලාගත්තා.

       දවල් කෑම ඉවරවුණාම යොන්රේ හී යන්ග්ව මිදුලට ඇදගෙන ගියා. “හීයන්ග් ඇයි ඔයා අපේ ගෙදර නවතින්න අකමැති උණේ? මෙහෙ ඉන්න කැමති නැද්ද?”

        “මං කිව්වනෙ යොන්රේ! ඒක-” හී යන්ග් තොල හපාගත්තා. “ඒක මට කියන්න බැරි රහසක්.”

        “අනේ මන්දා. ඔිනි එකක්. හැබැයි, ඔයාට ඔිනි දවසක අපේ ගෙදර දොර ඇරිල තියෙනවා.”

        “ඔයා දැන්මම ඔය යන්නද හදන්නෙ?” සොන්ග් ෂිං ප්‍රශ්න කළා.

        “යන්න ඔිනි.”

        එයාල කවුරුත් ඒ අදහසට කැමති වුණේ නැතත්, එයාල හී යන්ග්ගේ කැමැත්තට පිටින් ගියේ නැහැ.

        එයා වැන්ග් මහත්මියට දෙකට නැවිලා ආචාර කළා. “කෑමට ගොඩාක් ස්තුතියි මිසිස් වැන්ග්. කෑමත් හරිම රහයි. අම්මා හදන කෑම වගේමයි.”

        “පරිස්සමෙන් යන්න..” වැන්ග් මහත්මිය අවවාද කළා. “ඒ වගේම-සුබ පැතුම්. ඔයාට ඒක ඔිනෑ වෙයි.”

        “ස්තුතියි.” එයා තමන් දිහා බලාගෙන ඉන්න යාළුවන් හතරදෙනා දිහා බැලුවා. “ඔයාලටත් ගොඩක් ස්තුතියි. අපි ආයෙ හම්බවේවි.”

        “මම හිතන්නෙත් ඒකම තමයි.” චෙන්ග් චෝ හීයන්ග්ට අතට අත දෙමින් කිව්වා.

        “සුබ ගමන්! පරිස්සමෙන් ගිහින් එන්න!” එයාල හී යන්ග් නොපෙනී යනතෙක් අත වැනුවා.


Report Page