Hee Young - 6

Hee Young - 6

Jade

5- https://telegra.ph/Hee-Young---5-01-09


“මොකක්?” ඒ එක්කම පිටත සිටි මිනිසාට තමන්ගේ අත්වල මොනවහරි ඉහෙනවා දැනුණා. එයා වහාම දෑත් දෙස බලා බියෙන් බෙරිහන් දුන්නා. “මේ මොකද? කොහොමද මගේ අතේ ලේ ගෑවුණේ? කවුරුහරි අපිත් එක්ක සෙල්ලම් කරනවා!”

කදවුර පුරාත්, නායකයාගේ දෑත් මතටත් රතු සායම් ඉස්සේ හී යන්ග්.

“ඔය තුවක්කු ටික අරන් එනවා!”

හතරවටෙන්ම පදුරු සර සර ගාන්නට වුණා. හී යන්ග් සහ ජේක් හූ කියන්නට වුණා. සෝහුල් භයංකර උඩුබිරීමක් නිකුත් කළා. ගස් කපන්නන් පිරිස සෑහෙන්න කලබල වුණා.

“මො - මොකක්ද මෙතන වෙන්නෙ?”

“කවුද ඔතන ඉන්නෙ?”

ඊටපස්සෙ හී යන්ග්ගේ සංඥාවකට අනුව සියලු දෙනාම පුයර ගෙඩි බිමට දමලා ගැහුවා. පරිසරයම පුයර - නැත්නම් ගස් කපන්නන්ට පෙනුණ විදිහට මීදුමක් - පැතිර ගියා.

“දෙයියෝ සාක්කි! මොකක්ද මේ? හොල්මන්!”

හී යන්ග් මල්වෙඩි ගෙඩියක් බිමට දමා ගැහුවා. මීදුම හා ගිනි පුපුරු අතරින් මිනිස්සු දැක්කේ ලේ පෙරාගත්ත සුදුපාට යක්කු රැළක්! අවතාර!

“බූ හු හූ.. කවුද මේ කැලේට අත තියන්න ආවේ.. බූ හු හූ... අපිට කරදර කරන්න ආවේ?..”

“මොක්කුද මේ.. කැලේට මිනිස්සු ඇවිල්ල ද..”

“අපිට හොදටම බඩගිනියි..”

“අවුරුදු දාහකින් මුකුත් කාල නෑ....මිනිස් මස් රසයි, හොදයි..බූ හු හූ..”

“බය නැතුව කැලේට ආව ද..”

“අපේ අපිව මරන්න එපා..” ගස් කපන්නන් පිරිස වැද වැටුණා.

“බෑ.. බෑ..අපි උඹලව කනවා..”

“බේරෙන්න ඔිනි නං මෙතනින් තොලොංචි වෙනවලා.. ආයෙ මේ පැත්ත පළාතෙ පස් පාගන්න එන්න හිතන්නවත් එපා..”

“දුවනවා!” හී යන්ග් තවත් මල් වෙඩිල්ලක් බිමට දමා ගැසුවා.

“අනේ වදින්නං, ආයෙත් නං එන්නෙ නෑ..”

“ගන්නවල බඩු සේරම! යනවල යන්න!” මිනිස්සු වහ වහා කදවුරු තුළට වැද බඩු පොදි ගසා ගත්තා.

“පලයල්ලා..!” ඒ එක්කම මිනිස්සු පණ එපා කියල දුවන්න පටන් ගත්තා. හී යන්ග් දිගටම එයාල දිහාවට මල්වෙඩි දමලා ගැහුවා. පලා යන්නවුන් එයාලගෙ ගෙවල්වලටම ගිහිල්ල තමයි නැවතුණේ. එයාල මෙච්චර බයවෙලා වෙව්ලන්නෙ ඇයි කියලා ගමේ මිනිස්සු පුදුමයෙන් කල්පනා කළා.

“හුරේ! ඒක හරිගියා!” ජේක් උඩ පනින්නට වුණා.

“දෙවියනේ.. ඔයාල දැක්කද එයාලගෙ මූණු?” හී යන්ග් බඩ අල්ලාගෙන දෙකට නැවිලා හිනාවෙනවා. “අනේ අයියෝ.. මට හුස්ම ගන්නත් බෑ වගේ.. ඒ වුණත් අපි කවදාවත් මෙච්චර හිනාවෙලා පණයන වැඩක් කළා ද?”

“ආයෙ කවදාවත් එයාල මේ පැත්ත පළාතෙ එන්නෙ නැතිවෙයි..” නයගර් පවා සිනාසෙමින් හිටියා. “මං හිතන්නෙ එයාලට හොද තොවිලයක්වත් නටන්න වෙයි!”

“අනේ.. මේක නං.. වෘක දෙවියනේ.. මට බෑ.. හයියෝ.. මට හිනාව නවත්තගන්න බෑ..” සෝහුල් බිම පෙරළුණා.

“හැමදේම නියමෙට වුණා. මල් වෙඩියි, මීදුමයි, රතු සායමුයි! හොද වැඩේ. ආව මෙතන ගස් කපන්නයි සත්තු අල්ලන්නයි..” කොම්බා හුස්ම අල්ලන්නට දගලමින් කිව්වා.

“අපි මැරෙන්න කලින්ම හොල්මන් වුණා නේද..” හී යන්ග් ආයාසයෙන් සිනාව පාලනය කරගෙන ඇසුවා. “අපොයි අර මහලොකු දඩයක්කාරයො.. දැන් පණ බයේ වෙව්ලනව ඇති, වනාන්තරයට අධිගෘහිත හොල්මන්වලට බයේ!”

******

මේ වෙද්දි හී යන්ග් ‘කාටුන් ලෝකෙට’ කඩාගෙන වැටිලා මාස හයක් විතර ගතවෙලා. දවසක් එයා කොම්බාගේ නිවසේ රාත්‍රිය ගතකරලා එයත් එක්ක එනකොට ජේක් සහ සෝහුල් මුහුණු කළු කරගෙන ඈ එනතුරු බලා සිටියා.

“ඇයි?” හී යන්ග් ඇසුවේ අසුබ පෙරනිමිත්තක් ඉවෙන් වගේ දැනුණු නිසා. “මොකද නිකං දාහට අරං සීයට දුන්නා වගේ බලන් ඉන්නෙ?”

“හී යන්ග්,” ජේක් කිව්වා. “ඔයා මේ ගැන වැරදියට හිතන්න එපා. මගේ පිහිය අද උදේ බලද්දි තිබුණෙ නුග ගහ යට ඔයාගෙ හදිසි බෑග් එක ඇතුළෙ. ඒ කොහොමද කියන්න පුළුවන්ද?”

හී යන්ග් සහ කොම්බා මුහුණෙන් මුහුණ බලාගත්තා. “මං කොහොමද දන්නෙ?”

“ඒ විතරක් නෙවෙයි,” සෝහුල් කිව්වා. “නයගර්ගෙ රාජකීය මුද්‍රා ගලයි, රාජාගෙ පෞරාණික ගජමුතු එකතුවයිත් ඒකෙ තිබිලා අහුවුණා. ඒ දෙකම ඊයෙ රෑ නැතිවෙලා. අද නයගර් කැලේ පුරාම හොයද්දි තමා ඒව හම්බවුණේ.”

හී යන්ග්ට ටිකෙන් ටික මෙයාල මේ කියන දේ තේරෙන්න පටන් ගත්තා. “ඔහ්,” එයා කෝපයෙන් කිව්වා. “ඔයාල ඔය කියන්න හදන්නෙ මම ඒව හොරකම් කළා කියලද? මම හොරෙක් කියලද හිතන්නෙ? ඔයාල හිතාන ඉන්නෙ මම කවුරු කියල ද?”

“නෑ, නෑ,” ජේක් ඉක්මනින් කිව්වා. “ඒත් ඒව ඔයාගෙ බෑග් එකටම ආවෙ කොහොමද? ඒව නිකංම ඇවිදගෙන ගිහිල්ලා ඔයාගෙ බෑග් එකට වැටුණ වෙන්න බෑනෙ.”

“ඔහ්, ඔව් ඇත්ත වශයෙන්ම!” හීයන්ග් කඩාපැන්නා. “එහෙම වෙන්න බෑ තමයි!”

“අනේ මන්දා හී යන්ග්,” සෝහුල් කිව්වා. “නයගර් කිව්වා ඔයා ආවම ගල්පොත්ත ළගට එන්න කියන්න කියලා.”

        “හරි එහෙනං.” හී යන්ග් තදින් කිව්වා. “මම ම මේක විසදගන්නංකෝ.”

        පස්දෙනාම ගල්පොත්ත ළගට එද්දි එතන කීපදෙනෙක් රැස්වෙලා හිටියා. නයගර්, රාජා, ජිනා, තව කේල් කියලා නරියෙකුත්.

        “ෂාඔි හී යන්ග්,” නයගර් කතා කළා. “ඔයා ඊයෙ රෑ හිටියෙ කොහෙද?”

        “කොම්බාත් එක්ක, එයාගෙ ගුහාවෙ.” හී යන්ග් ඍජුවම පිළිතුරු දුන්නා.

        “හොදයි. ජේක් සෝහුල් දෙන්න ඔයාට එල්ලවෙලා කියෙන චෝදනාව කියන්න ඇතිනේ. නේද? ඔයා හොරකම් කළා කියල චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.”

        “දන්නවා.” හී යන්ග් කිව්වා. “සාක්ෂි තියෙනවද? මගේ බෑග් එකේ තිබුණ වෙන්න පුළුවන්. ඒත් මම ඒව ගත්තෙ නෑ. සත්තයි. මම දිවුරනවා.”

        “කේල්, කියන්න.”

        කේල් වෙව්ලමින් කට ඇරියා. “ම-මම දැක්කා මේ ගෑනු ළමයා ඊයෙ රෑ තැනිතලාව හරහා දුවනවා. එයාගෙ අතේ මොකක්ද දිලිසි දිලිසි තිබුණා. හරියට ගජමුතු වගේ.”

        හී යන්ග්ගේ දෙනෙතින් ගිනි පිටවුණා. “මොකක්?! කේල් කියන්නෙ බොරු! ඔිනි නං කොම්බාගෙන් අහන්න!”

        “කොම්බා,” නයගර් කොම්බා දෙසට හැරුණා. “ඊයෙ මුළු රෑ පුරාම හීයන්ග් ඔයත් එක්ක හිටිය කියල විස්වාස ද?”

        “ඔව්.” කොම්බා එක එල්ලේම පිළිතුරු දුන්නා.

        “හොදයි. ඒත් මට කනගාටුයි හී යන්ග්, හොරකම් කිරීමේ චෝදනාවට ඔයාට විරුද්දව තියෙන සාක්ෂි ප්‍රබලයි. හොරකම් කිරීමට දෙන දඩුවම ඔයාට දෙන්න වෙනවා.”

        මොනවා? මේ කතා කරන්නෙ නයගර් ම ද? නයගර් මෙච්චර මෝඩ විදිහට ද වැඩ කරන්නෙ? නයගර් හොදටම දන්නවනෙ හී යන්ග් කවදාවත් මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නෑ කියලා. අනික එකම සාක්ෂිකාරයා කේල්. අර බොරුකාර නරියා. ඇයි එහෙනං.. ඒත් මේ සිද්ධියට පිටුපසින් තවත් හේතුවක් තිබුණා.

        “නයගර්.” ජේක් මැද්දට පැන්නා. “කේල් දකින්න ඇත්තේ සමහරවිට වෙන කෙනෙක් වෙන්න ඇති.”

        “නැත්තං එයා බොරු කියනවා ඇති.” සෝහුල් එක් කළා.

        නයගර් ඒ දෙන්නව නොසලකා හැරියා. “මට කනගාටුයි, ෂාඔි හී යන්ග්. ඒත් ඔයාව පිටුවහල් කරන්න වෙනවා.”

        “නෑ!” හී යන්ග් විරුද්ධ වුණා. “ඒක අසාධාරණයි!”

        “නයගර් කරුණාකරලා,” ජේක්, සෝහුල් සහ කොම්බා යන තිදෙනාම ඒ තීන්දුවට විරුද්ධව නැගී හිටියා. “මේක වැරදීමක්. කරුණාකරල ආපහු හිතල බලන්න.”

        “දඩුවම නියම කරල ඉවරයි.” නයගර් තදින් කිව්වා.

        හී යන්ග් ඊට විරෝධය පාන්න සූදානම් වුවත්, එයාට අම්මගේ අවවාදයක් සිහිවුණා. “කරන්න තියෙන හොදම දේ ඔයාට කරන්න සිද්ද වෙන දේ නම්, මොන කැපකිරීමක් කරල හරි ඒක කරන්න.” එයා නයගර්ගෙ ඇස් දෙක දිහා බලද්දි ඒ කාරුණික ඇස් අස්සෙ තමන්ව පිටුවහල් කරන්න වෙන එක ගැන දරුණු වේදනාවක් සැගවී තියෙන බව හී යන්ග්ට වැටහුණා. නයගර් කිසිම දවසක හිතන්නෙ නැතුව වැඩ කරන්නෙ නැහැ. මේ පිටුවහල් කිරීමටත් මොකක්හරි ලොකු හේතුවක් ඇති. ඉතින් එයාට නයගර්ට විරුද්ධව කතා කරන්න අයිතියක් නෑ. නයගර් දිහායි, පොරකුකුල්ලු වගේ බලන් ඉන්න එයාගෙ යාළුවො දිහායි බැලුවාම හී යන්ග්ට කරන්න ඔිනි දේ තේරුණා.

        “හරි.” එයා කීවේ අනිත් හැමෝවම පුදුමයට පත් කරවමින්. “මං යන්නං.”

        “ආ. ඒක හොදයි.” කේල්ට කියවුණා. රතු කට්ට පැන සිටි කොම්බා කේල් මතට කඩා පනින්නට සූදානම් වුවත් හී යන්ග් කොම්බාගේ පිට මත අතක් තැබුවා. එයාගෙ දෑස්වල ලියැවී තිබුණු පණිවිඩය පැහැදිලියි. එපා.

        “මට ඇත්තටම සමාවෙන්න හී යන්ග්.” නයගර් කිව්වා. රාජා හා ජිනා ගල්ගැසී බලා සිටියා.

        හිස නමා ඔවුන්ගෙන් සමුගත් හී යන්ග් වචනයක්වත් නොකියා එතැනින් පිටවී ආවා.

        “හී යන්ග් ඔයාට එහෙම නිකංම යන්න බෑ.” කොම්බා කීවේ හී යන්ග් යන්න ලෑස්තිවෙන දිහා බලමින්.

“කොම්බා, ඒකට කමක් නෑ.” හී යන්ග් හිනාවෙන්න උත්සාහ කළා. “කැලේ නීතියට මටත් ගරු කරන්න වෙනවා. ඔයාල හොදින් ඉන්න.” එයා පැත්තකට දාලා තිබුණ සපත්තු දෙක අතට ගත්තා. “මාස හයකට පස්සෙ සපත්තු දානව. කකුල පැටලිල වැටෙයිද දන්නෙත් නෑ.”

        “ඔයාට කිසිම ගාණක් නෑනේ!” ජේක් කෑගැහුවා.

        “ඉතින් මම මොනව කරන්නද? නිකං උඩ පැන්න කියල මගේ නිර්දෝෂිකම ඔප්පු වෙන්නෙ නෑනෙ. මමත් මේක සතුටින් කරන දෙයක් නෙවෙයි. ඒත් වෙන කරන්න දෙයක් නෑ.”

        “ඔච්චර පොඩි ළමයෙක් තනියෙං මොනව කරන්නද?” සෝහුල් කන්කෙදිරි ගෑවා.

        “මොනවහරි කරන්න බලනවා. මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනික මම මෙහෙට එද්දි හිටියට වඩා මාස හයක් ලොකු වෙලානේ!”

        “ඒත්-”

        “ජේක්.” හී යන්ග්ගේ ස්වරය ජේක්ව නිහඩ කළා. එයාල කැලෑ මායිම - ගග ළගට ආවා. හී යන්ග් අවසන් වතාවට මිතුරන්ව වැළදගෙන සමු දුන්නා.

       “මං ගිහින් එන්නම් යාළුවනේ. ප්‍රශ්න දාගන්නැතුව ඉන්න බලන්න, හරි ද?” දෑසට කදුළු බිදු දෙකක් නැගෙද්දී හී යන්ග් කිව්වා. ජේක් සහ කොම්බා නොහඩා සිටීමට සමත් වුණත් සෝහුල් නම් ලෝබ නැතුව ඇඩුවා.

        “ඉක්මනට එනවා නේද?” කොම්බා වේදනාවෙන් ඇසුවා. “ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ හී යන්ග්. කොච්චර කල් ගියත් ඔයා තමයි මගේ හොදම යාළුවා.”

        “මං ආපහු එනවා. පොරොන්දුවක්, හරි ද?”

        “පොරොන්දුවක්.”

        “පරිස්සමෙන් ඉන්න හී යන්ග්.”

        හී යන්ග් ගගෙන් එගොඩ වී ආපසු හැරුණා.

        “යන්නම්.” එයා අත වනා සමුගත්තා.

        “එයා ඇත්තටම ගියා.” කොම්බා කෙදිරුවා. “ඇත්තටම ගියා.”

        “එයා කොහෙද යන්නෙ?” ගැහැනු කටහඩක් ඇසුණා. ගංගාවෙන් මතු වූ ලිස්තියා ඈතින් නොපෙනී යන හී යන්ග් දෙස බලමින් විස්මයෙන් ඇසුවා. කොම්බා සිදු වූ දෙය විස්තර කළාම ලිස්තියා බෙහෙවින් කම්පාවට පත්වුණා.

        “එයා පරිස්සම් වෙයි. හී යන්ග් කියන්නෙ ගොඩක් සිහිබුද්ධිය තියෙන කෙල්ලෙක්. මං දන්නවා එයා කිසිම අනතුරක් නොවී ආපහු එයි.”

        “අපිත් ප්‍රාර්ථනා කරන්නෙ ඒකම තමයි.” ජේක් කනගාටුවෙන් කල්පනා කළා.


ඇත්තටම හෙට වෙද්දි මම කතාව ලියල ඉවර කරන්නයි ඉන්නෙ. ඒ නිසා මට හිතුණා මේ එපාවෙන කොටස් ටික (ඇත්තටම මේ මුල කොටස් ටික මටත් එපාවෙනවා) ඉක්මනට දවසට කොටස් දෙක ගාණෙ දීල ඉවර කරන්න. ඉතින් එහෙම දෙද්දි කමෙන්ට් නොකර යන්නෙපා හොදේ..

Report Page