Hee Young - 5

Hee Young - 5

Jade

4- https://telegra.ph/Hee-Young---4-01-09


“මේ බලන්නකෝ. අපි කවදාවත් මේ පැත්තට ඇවිල්ල නෑ නේද?” සෝහුල් විස්මයෙන් ඇසුවා.

“අපි විතරක් නෙවෙයි, කිසිම කෙනෙක් මෙහෙට ඇවිල්ල නෑ වගේ..” ජේක් කිව්වා.

සෝහුල්, ජේක් සහ හී යන්ග් වනාන්තරයේ කිසිම කෙනෙක් ඇවිල්ල නෑ වගේ පේන විස්මිත අඩවියකට අහම්බයෙන් වගේ ඇවිල්ල හිටියේ. ඒ පැත්ත පිටසක්වල ජීවීන් ඇවිල්ලා හැදුවා වගේ පුදුමාකාරයි. කවදාවත් දැකලා නැති පාටවලින් දිලිසෙන ගස්වැල්, පාවෙන මල්, පියාඹන ජෙලිෆිෂ්ලා වගේ දේවල්වලින් පිරිලා.

“මේක නං - කියන්න බැරි තරම් නියමයි!” හී යන්ග් අසල ගහක එල්ලෙමින් තිබුණු රතු පාට ගෙඩියක් කඩාගත්තා. “වස ද දන්නෙත් නෑ.” එයා ඒක දෙකට පැලුවාම ඒ ඇතුළේ සුදු පාට පුයර පිරී තිබුණා.

“ආව්!” හී යන්ග් ඒකෙන් ටිකක් අල්ලේ ගා ගත්තා. “කිසි ප්‍රස්නයක් නෑ.” එයා ඒ පලු දෙකම හිසට උඩින් අල්ලලා අනිත් පැත්ත හැරෙව්වා. සුදු පුයරවලින් නෑවී ගිය හී යන්ග්ව දුටු ජේක් සිනාසෙන්නට වුණා.

“අපොයි හී යන්ග්, ඔයා නං දැන් නියම හොල්මනක්. ඒ සෝහුල්, මේ බලන්නකො!”

දිලිසෙන කුරුමිණියෙක්ට කුරුමානම් අල්ලමින් සිටි සෝහුල් ඔවුන් දෙසට හැරුණා. සුදු පාට හොල්මන දැක්කා විතරයි එයා බියෙන් කෑ ගසමින් ජේක් පිටුපස සැගවුණා. හී යන්ග් සහ ජේක් බඩ අල්ලාගෙන හිනාවෙන්න ගත්තා.

“අයියෝ සෝහුල්, මේ ඉන්නෙ හී යන්ග්. නැතුව හොල්මනක් නෙවෙයි.” සෝහුල් ලැජ්ජාවෙන් පිටතට ආවා. හී යන්ග් පුයර ගසා දමා තවත් නිල් පාට ගෙඩි වර්ගයක් කඩා ගත්තා.

“මේකත් හරි පුදුමයි. දිලිසෙනවා.” හී යන්ග් ඒක සෝහුල් දෙසට විසි කළා. “සෝහුල්, අල්ලගන්න.”

ඒත් සෝහුල් ඒක අල්ලගන්න පනිනකොටම වැලක පැටලී බිම ඇද වැටුණා. ‘පන්දුව’ බිම වැටෙනවාත් එක්කම ඒක මල් වෙඩිල්ලක් වගේ පුපුරා ගියෙන් තිදෙනාම අඩි දහයක් උඩ විසි වුණා.

“දෙයියෝ සාක්කි! ඒ මොකක්ද?” ජේක් බියපත්ව බෙරිහන් දුන්නා.

“මොනව වුණත් හරිම ෂෝක්!” හී යන්ග් තවත් ගෙඩියක් කඩාගෙන ඒකත් බිමට දමලා ගැහුවා. ඒකත් කහ පාට පුපුරු විසුරුවමින් මල් වෙඩිල්ලක් වගේ පුපුරා ගියා.

“නියමයි!” හී යන්ග් මල්වෙඩි ගෙඩි කිහිපයක් හා පුයර ගෙඩි කිහිපයක් කඩාගෙන එයාගෙ මල්ලට - හදිසි බෑගයට - දාගත්තා.

“මොකක්ද මෙතනට දාන නම? පිටසක්වල රාජධානිය වගේ නමක් හොදද?” සෝහුල් ඇසුවා.

“ඒක නියමයි. ඒත් අපරාදෙ කියන්න බෑ පිටසක්වලයො නං නෑ.” ජේක් කිව්වා. “දැන් යමු, රෑ වෙනවා. මට නං යකෙක් කන්න බඩගිනියි. මං කියන්නෙ, අද නං නුග ගහ යට පලතුරු කන්න බෑ. මොකද කියන්නෙ කොම්බාගෙ ගෙදර යමුද?”

“හහ්. ඔව් එතකොට ඒ අසරණයගෙ කෑම ටික සේරම සුද්ද කරල එන්න බැරියැ.” හී යන්ග් ඇනුම්පදයක් එල්ල කළා.

“හොද සංවර කෙල්ලනෙ මේ කතා කරන්නෙ. අනේ මගෙ කට. ඇත්තටම එහෙ යංකො.”

“හරි හරි. යංකො.”

එයාල යන්න පිටත් වුණා. ඒ අතරමගදී එයාල දැක්කේ සිත් කම්පා කරවන දර්ශනයක්.

“දෙවියන් බලත්වා!” හී යන්ග්ගේ මුවින් නිතැතින්ම පිටවුණා. “මොන යකෙක්ද මේ ගස් ටික කපලා දාල තියෙන්නෙ?”

ඒ හරියෙ ගස් විස්සක් තිහක් විතර කපල දාලා. හරියට අවුරුදු හතක නියගයකට අහුවුණා වගෙයි පෙනුම.

“කවුද දන්නෙ.” ජේක් උරහිස් ඇකිළුවා. “ සමහරවිට මොකක්හරි හදන්න මිනිස්සු තමයි ඔිව කපන්න ඇත්තෙ. කැලේ වටින්නෙ අපිට මිසක් එයාලට නෙවෙයිනෙ.”

එයාල කොම්බාගේ ගුහාවට යන අතරමගදී නයගර්ව මුණගැහුණා. නයගර් හිටියේ කුරුල්ලන් කීපදෙනෙක්ගේ පැමිණිල්ලකට සවන් දෙමින්.

“උදේ යනකොට තිබුණ ගස් ටික හවස් වෙද්දි නෑ. අනේ අපේ ගෙවල් විනාසයි!”

“මොනවහරි කළේ නැත්නම් කැලේ ඉවරයි!”

“අපිත් ඒක දැක්කා.” සෝහුල් කිව්වා. “මොනවමහරි කරලා මේ වැඩේ නවත්තන්න ඔිනි.”

“ඔයාල බයවෙන්න එපා.” නයගර් කුරුල්ලන්ට කිව්වා. “අපි මොනව හරි කරන්නං.”

ඊටපස්සෙ නයගර් යාළුවො තුන්දෙනාත් එක්ක කොම්බාගේ නිවස කරා ගියා. කැලේ රජා තමන්ගේ දුප්පත් පැලට වඩිනු දුටු කොම්බා හිදගෙන හිටි තැනින් බිමටම වැටුණා.

“ඔිහ්, නයගර්. මේක කලාතුරකින් ලැබෙන ගෞරවයක්.”

කාලෙකට කලින් නං නයගර්ට කොම්බා මහ හිසරදයක්. ඒත් දැන් හී යන්ග්ගේ ආගමනයෙන් කොටියා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉන්න හින්දා දෙන්නම සමගි වෙලා හිටියේ.

ආහාර ගත් පසු එයාල සිදු වී ඇති විනාශය ගැන සාකච්ඡා කළා.

“මේ කරදරකාර මිනිස්සුන්ව මට පේන්න බෑ.” නයගර් කෙදිරුවත්, ඒ කතාවෙන් හී යන්ග්ගේ සහ ජේක්ගේ මුහුණු නරක් වූ බව එයාට පෙනුණා. “ඔහ්- ඔහ්- සමාවෙන්න. මම ඔයාල ගැන නෙවෙයි කිව්වෙ.”

“පැය කීපෙකට මෙච්චර ගස් තොගයක් කපලා දාලනෙ. විස්සක් විතර කපල තිබුණා.” ජේක් මුහුණේ වූ රැවුම ඉවත් කරගනිමින් කිව්වා.

“මොකක්ද අපි දැන් කරන්නෙ. මට හිතෙන විදිහට අපිට එන ඊළග ප්‍රශ්නෙ තමයි-” කොම්බා ඒක කියල ඉවරකරන්න කලින් එතනට කුරුල්ලො කීපදෙනෙක් කඩා වැදුණා.

“දඩයක්කාරයො! දඩයක්කාරයො!” පැමිණි සැණින්ම එයාල යන්න ගියා.

“ඒකම තමයි මාත් කියන්න හැදුවෙ. කැලේ කැපුවම සත්තුන්ට ඉන්න තැන් නැතිවෙනව. ඊළගට සත්තුන්ව දඩයම් කරන්න පටන්ගනී. බොහෝ විට අද රෑම.”

“හ්ම්. මේක නං ගොඩක් නරකයි.” සෝහුල් කෙදිරි ගෑවා. “මං කැමති නෑ මගේ ලස්සන හම කොහෙවත් තියෙන ගෙදරක පාපිස්සක් වෙලා තියෙනවට. කොහොම හරි මේ මිනිස්සුන් බය කරල එළවගන්න ඔිනි.”

“බය - කරලා..” හී යන්ග් කෙදිරුවා. “අන්න හරි. බය කරලා!”

“ඔයාට - මොකක් හරි අදහසක් තියෙනවද?” නයගර් ප්‍රශ්න කළා.

“කොහොමද අපි එයාලට හොල්මන් පෙන්නුවොත්?” හී යන්ග් කපටි ලෙස ඇසුවා.

“ඈ?” ජේක් ඇහිබැමක් එසෙව්වා.

“මෙන්න මෙහෙමයි.” හී යන්ග් එයාගෙ සැලැස්ම විස්තර කළා. අසා සිටි සිව් දෙනාම ඊට එක පයින් කැමති වුණා.

******

සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබුණේ ඊළග රාත්‍රියේ. දවල් වරුවම ගස් කපන්නන් අසල කැරකි කැරකි රහසේ ඔත්තු බැලූ ජේක් එයාල එදා රෑට සත්තු දඩයම් කරන්න යන බව හොයාගත්තා. රාත්‍රිය උදා වූ පසු ‘නළු නිළියන්’ වහ වහා සැරසුණා. හී යන්ග් එයාගෙ දිග කොණ්ඩය කඩාදැම්මා. ජේක් අත්වලට දිග හබරල කොළ දෙකක් ගත්තා. ඊටපස්සෙ හී යන්ග් එයාගෙත්, ජේක්ගේත්, සෝහුල්ගේත්, කොම්බාගෙත් නයගර්ගේත් හිසේ සිට පාදාන්තය දක්වා ‘පිටසක්වල රාජධානියෙන්’ ගෙන ආ පුයර කුඩු හැළුවා.

“අම්මෝ! දැන් නං අපි ඇත්තම හොල්මන් වගේමයි. මට නං බයේ බෑ.” සෝහුල් සිනාසුණා. ඊටපස්සෙ හී යන්ග් එයාලගේ මුහුණ වටා රතු සායම් ආලේප කළා. තවත් හැඩගැන්වීම් කිහිපයක් කළ පසු සියල්ල අවසන් වුණා.

“මාරයිනේ, ගෑනු ළමයෝ! ඔයා නියමෙටම අපිව මේකප් කළා නේ.” ජේක් ප්‍රශංසා කළා. “ඔයා කොහෙන්ද ඔිව ඉගෙනගත්තෙ?”

හී යන්ග් සිනාසුණා. “ආ, මට මේකප් ගැන පිස්සු විශේෂඥ යාළුවෙක් හිටියනේ.” ඒ එක්කම එයාගෙ මූණ වේදනාවෙන් පිරුණා.

“ඇයි?” ජේක් පුදුමයෙන් ඇසුවා. “මොකක්ද-”

“මුකුත් නෑ,” හී යන්ග් රැව්වා. “එන්න, අර දඩයක්කාරයො යන්න කලින් අපි වැඩේ කරන්න ඔිනි.”

හැමෝම ගස් කපන්නන් සිටි තැනට ගොස් ඒ වටේට සැගවුණා.

“හම්මෝ! මගේ කොන්දත් රිදෙනවා ඩැනී. කොහොමහරි මුවෙක් දෙන්නෙක්ව බාගත්තොත් හරි.” එකෙක් කතා කරනවා ඇසුණා.

“ඒයි! මේ මෙහෙ ඇවිත් බලනවකො! මේ හැම තැනම ලේ පැල්ලම්!” කදවුර තුළ සිටි අයෙක් බෙරිහන් දුන්නා.


Report Page