Hee Young - 4

Hee Young - 4

Jade

3- https://telegra.ph/Hee-Young---3-01-09


“එහෙනම් අනිත් අය දැනටමත් ගිහිල්ල ඇති. අපිත් යමු.”සෝහුල් කිව්වා. තුන්දෙනාම පූජනීය නුග රුක ළගට එද්දී එතන සෙනග පිරිලා.

“පුදුම සෙනගක්නෙ!” ජේක් විස්මයෙන් කිව්වා.

“දෙයියනේ!” හී යන්ග්ට කියවුණා. “කොම්බාත් ඇවිත්!” විශාල කොටියා සිනාසෙමින් හී යන්ග් වෙත පැමිණියා.

“කොම්බා! එයාල බය නැතුව ඔයාටත් මෙතනට එන්න කිව්ව ද?”

“ඒක තමයි හී යන්ග් මාත් මේ බැලුවෙ. මොකක් හරි ලොකුම ප්‍රශ්නයක් වෙන්න ඇති.” කොම්බා හිස සලමින් කිව්වා. ඒත් හොරැහින් වටපිට බැලූ හීයන්ග්ට දැකගන්න පුළුවන් වුණේ එයාල එක්ක කතා කරන්න එන සතුන් කොම්බාව දැකීමෙන් බියපත්ව ආපසු හැරී එතනින් මාරු වෙන අන්දමයි. එයාලට දොස් කියන්නත් බැහැ කියල හී යන්ග්ට හිතුණා.

“නිශ්ශබ්ද වෙන්න හැමෝම!” නයගර් ගර්ජනා කළා. එයා ලොකු, කළු කේසර තියෙන සිංහයෙක්. “දැන් තාරකා ඉබ්බා ඔයාලට කතා කරන්නයි යන්නෙ.” තාරකා ඉබ්බා ගල් පතුර මතට නැග්ගා.

“මං මේ රැස්වීම කැදෙව්වේ බරපතළ ආරංචියක් කියන්නයි.” තාරකා ඉබ්බා කතාව ඇරඹුවා. අනෙක් අය සැලකිල්ලෙන් අසා සිටියා. “ඊළගට එන්නෙ සීත ඍතුව කියල මේ අය දන්නවනෙ. සීත ඍතුවෙදි බොහොම දරුණු කුණාටුවක් එනවා. ඒක කවදාවත් නොදැකපු තරම් ලොකු කුණාටුවක් වෙයි. මාස තුනක් එක දිගට මේ කුණාටුව හමන්න නියමිතයි. ඒ නිසා ඉක්මනටම ඒකට සූදානම් වෙන එක හොදයි.” තාරකා ඉබ්බා අවධාරණය කළා. මේ ප්‍රකාශයෙන් කැළඹීමට පත් සතුන් විසිර ගියා.

“හපොයි, එච්චර ලොකු කුණාටුවක් ආවොත් නං අපි ඉවරයි.” සෝහුල් කිව්වා.

“වලස්සු එහෙම නං දැන්මම එයාලගෙ ගුහාවලට කෑම එකතු කරනවා. එයාලට නං කිසි ප්‍රශ්නයක් වෙන එක් නෑ. වදුරන්ටත් රිංගගෙන ඉන්න මාලිගාවක්ම තියෙන්නෙ. ගස් යට ඉන්න අපිට තමයි...” ජේක් මැසිවිලි නැගුවා. 

“මං කියන්නං වැඩක්,” කොම්බා සතුටෙන් කියන්නට වුණා. “ඔයාල එන්න මගේ ගෙදරට. මගේ ගුහාව ගොඩක් දුරට විහිදෙනවා. ඔිනි තරං ඉඩ තියෙනවා. මොන තරං දරුණු සීත කුණාටුවක් ආවත් ප්‍රශ්නයක් නෑ.”

“හානේ, ඔයාට ගොඩක් ස්තුතියි!” හී යන්ග් ස්තුතිපූර්වකව කිව්වා.

“එතකොට අනිත් සත්තු? එයාල මොකද කරන්නෙ?”

“මගේ සීයා කියල තියෙනවා එයාල පුංචි කාලෙත් ලොකු සීත කුණාටුවක් ආවලු. එතකොට ඒ හැමෝම සැගවුණු වනයට ගියාලු.” සෝහුල් මතක් කළා.

“සැගවුණු වනය ඒ මොකක්ද?” හී යන්ග් විස්මයෙන් ඇසුවා.

“ඒක නිකංම කන්දක් අස්සෙ තියෙන එකක්ලු. කොහෙද කියල මාත් හරියට දන්නෙ නැහැ. සමහරවිට රාජා හරි නයගර් හරි දන්නවා ඇති.”

සීත ඍතුව එළඹෙත්ම නයගර් වනාන්තරයේ ඉතුරු වෙලා ඉන්න හැම සතෙක්වම සැගවුණු වනයට අරගෙන යන්න තීරණය කළා. සෝහුල් කිව්ව විදිහටම ඒක හදල තිබුණෙ කන්දක් හාරා දැමීමෙන්. ඒක හෑ‍රුවෙ කවුද කියල හරියටම දන්නෙ නැතත් ඒක සෑහෙන ලොකු ගුහාවක්. ඒකෙ බිත්ති පුරාම මැණික් වගේ පාෂාණ පිරිලා තිබුණා. ඒ නිසා ගුහාව පුරාවටම ආලෝකය පරාවර්තනය වුණා. ඒක හදලා තිබුණේ කෝටා හා වදුරු රංචුව ජීවත්වෙන මාලිගාවේ අනාදිමත් උරුමකරුවන් වුණු රජවරුන්. සතුරු බියක් ඇතිවූ වහාම මාලිගාවේ හිටපු සියලුම දෙනා මේ රහස් ගුහාවට විත් සැගවුණා. වසර සියයක් පමණ කාලය ගතවීමත් සමග එතුළ ගස්කොළන්වලින් වැසී තිබුණා. ඒ ගුහාවට සතුන් ‘සැගවුණු වනය’ යැයි නම තැබුවේ ඒ නිසයි.

“ඔයාල කොම්බා එක්ක හොදින් ඉදීවි කියලා හිතනවා.” නයගර් සැගවුණු වනයට යන්න කලින් බරපතළ බැල්මෙන් යුතුව හී යන්ග්ට කිව්වා.

“බය වෙන්න එපා.. සැගවුණු වනය තරමටම කොම්බාගෙ ගුහාවත් ආරක්ෂිතයි.” හී යන්ග් සිනාසුණා. ඊටපස්සෙ නයග‍ර් පෙරටු කරගත් සතුන් හැම දෙනෙක්ම සැගවුණු වනයට ඇතුළු වුණා. අන්තිමට රාජා සහ ජිනා එකතු වෙලා ගුහා දොරටුව ලොකු ගලකින් වසා දැමුවා. ඊටපස්සෙ එතනට වෙලා බලාගෙන හිටපු හී යන්ග්, ජේක්, සෝහුල් සහ කොම්බා යන්නට හැරුණා.

“එයාල හොදින් ඉදීවි නේද?” සෝහුල් ඇසුවේ  එයාගෙ අම්මාව මතක් කරමින්.

“බයවෙන්න එපා. එයාලට මුකුත් වෙන්නෙ නෑ.” ජේක්, සෝහුල්ව සැනසුවා.

හතරදෙනාම එකතුවෙලා කොම්බාගේ ගුහාවට සීත කාලය පුරාවටම සෑහෙන ලෙස ආහාරපාන ගොඩගැසුවා. කොම්බාගේ ගෙදර - ගල්ගුහාවේ දොරටුව පුංචියි. සීතල ඇතුළට එන එක වළක්වන්න හී යන්ග් සහ ජේක් එකතු වෙලා දැනටමත් මිදී තිබුණු ගගෙන් ලොකු අයිස් පතුරක් කඩාගෙන ඇවිත් දොර හරස් කළා. දැන් එයාල ආරක්ෂිතයි. සීතල ඇතුළට එන්න ක්‍රමයකුත් නැහැ.

“පොඩි පොඩි සිදුරුවලට මොකද කරන්නෙ?” ජේක් ඇසුවේ අයිස් කුට්ටිය මගින් නොවැසුණු තැනින් තැන ඉතිරි වී තිබුණු සිදුරු දෙස බලමින්.

“ඒව එහෙම්ම තිබ්බදෙන්. පිරිසිදු වාතය ඇතුළට එන්නත් එපැයි.” හී යන්ග් කිව්වා.

සුළග එන්න එන්නම වැඩි වුණා. වනාන්තරයේ ගස්වලින් බාගයක්ම කුණාටුවට ඇදවැටුණා. හිරුඑළිය කිසිම වේලාවක වනය තුළට පැමිණියේ නැහැ. එනිසා මුළු වනාන්තරයම අළු පැහැයෙන් දිස්වුණා. කුණාටුව එන්න එන්නම දරුණු වුණා. දිනපතාම අයිස් කූරු සහ හිම කැටිති පොළවට පහර දුන්නා. ගංගාව පතුලටම වගේ අයිස් මිදුණා. අයිස් කුට්ටියකින් දොර වහල තිබුණත් ගුහාව ඇතුළට සීතල ගලා ආවා. කල්තියා රැස්කරගත් දරවලින් හී යන්ග් සහ ජේක් නිතරම ගිනිමැල ගැසුවා. විටෙන් විට කන් අඩි දෙදරවමින්, වනාන්තරයම එළිය කරවමින් අකුණු පිපිරුවා.

“මං - නං - ජීවිතේට - මෙහෙම සීත කාලයක් දැකල නෑ..” කොම්බා කිව්වේ වෙව්ලමින්.

“අනිත් අය කොහොම ඉන්නවද මන්දා.” සෝහුල් කීවේ සැගවණු වනයට ගිය පිරිස සිහි කරමින්.

තාරකා ඉබ්බා අනාවැකි පැවසූ ලෙසම දරුණු සීත කුණාටුව මාස තුනක් පුරා පැවතුණා. අන්තිමට කුණාටුව නැවතුණාම සීත ඍතුව කෙමෙන් කෙමෙන් වියැකී ගොස් වසන්තය පැමිණියා. හැමතැනින්ම අයිස් දියවෙන හඩ ඇසුණා. හීයන්ග් සහ ජේක් ගල්ගුහා දොරටුව වසා තිබුණු අයිස් තට්ටුව කඩා දැම්මා.

“ෂා!” හී යන්ග් උඩපනිමින් පිටතට දිව ගියා. “කුණාටුවට පස්සෙ නැවුම් ලෝකයක්!”

ටිකෙන් ටික වනාන්තරයේ හිම දියවෙලා ගිහින් වනය නැවත දළුලන්න වුණා. හතරඅතම මල් පිපෙන්න පටන්ගත්තා. වනාන්තරය ‌කොළ පාටින් වැසී යද්දී       තැන් තැන්වල ඉතිරිවෙලා තිබුණු හිම කැටිති සුන්දර පෙනුමක් ගෙන ආවා.

ඒ හැමදෙයක්ම මැද්දෙ හී යන්ග්, කොම්බා, ජේක් සහ සෝහුල් නොඉවසිල්ලෙන් බලා සිටියේ සැගවුණු වනයට පිටත්වුණු පිරිස ආයෙමත් එනතුරුයි. කැලෑවේ ඉතිරිව හිටියේ ගුහාවේ හිටපු සිව්දෙනාත්, සීත ඍතුවේ නිදාගැනීමට හුරුව සිටි බෝලා වගේ අයත් විතරයි. සැගවුනු වනයේ පිරිස නොපැමිණියේ ඒ ගුහා දොරටුව ඇරගන්න බැරිවුණ නිසා බව දැනගන්න තරම් එයාලට දිවැස් නැහැ.

සීත ඍතුව අවසන් වීමට කලින්ම සැගවුණු වනයට ගෙනවිත් තිබුණු කෑම බීම සේරම අහවර වුණා. ඉන් සැමදෙනෙක්ම පීඩාවට ගත්වුණා. හැමෝම බලාගෙන හිටියේ වසන්තය එනතුරුයි.

සැගවුණු වනය ඒ වෙද්දි ‘වනයක්’ නෙවෙයි. තණකොළයක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ. හැම කෙනෙක්ම කුසගින්නෙන් පෙළුණා. සීතල පහව ගොස් වසන්තය පැමිණි බව දැනුණු විට හැමෝම පිටතට යන්න නොඉවසිලිමත් වුණා. රාජා සහ ජිනා එකතු වී දොරටුව වසා තිබුණු තඩි ගල අයින් කරන්න උත්සාහ කළා. අවාසනාවක්! ඒ වනවිටත් අයිස් දියවෙලා තිබුණෙ නැහැ. ගුහා දොර වටේටම ගල හොල්ලන්නවත් බැරි විදිහට අයිස් මිදිලා තිබුණා.

“විනාසයි! දොර අරින්න බැහැ!!” ජිනාට කෑගැස්සුණා. නයගර්ටත් ඉහින් කනින් දහඩිය දැම්මා. ඇත් රංචුවේ හිටපු හැම ඇතෙක්ම දොර කඩන්න උත්සාහ කළත් පලක් වුණේ නැහැ. එයාලගේ මහන්සිය වැඩි වුණා විතරයි.

සතුන් විලාප තියන්න පටන් ගත්තා. කන්න බොන්නවත් කිසිම දෙයක් නැහැ. හැම දෙනාම එක පොදියට මැරී යනු ඇත.

“හැමදෙනාම නිශ්ශබ්ද වෙන්න..” නයගර් මොර දුන්නා. “කෑගැහුවා කියලා කිසිම වැඩක් වෙන්නෙ නැහැ. හැමෝම සන්සුන් වෙන්න..”

“සන්සුන් වෙන්න?” සෝහුල්ගේ අම්මා, සායා ප්‍රශ්න කළා. “අපි මෙතන හිරවෙලා. සන්සුන් වෙන්නෙ කොහොමද?”

“මම දන්නවා, මම දන්නවා, ඒත් එළියෙ කට්ටියක් ඉන්නවා. එයාල අපිව බේරගනී.” නයගර් විශ්වාසයෙන් යුතුව පැවසුවා.

“එයාල අපි හිරවෙලා කියල ඉක්මනට දැනගත්තොත් හොදයි.” නයගර් තනිවම කල්පනා කළා. “නැත්නම් මේ සත්තු බඩගින්න වැඩිවෙලා එක එක්කෙනාව මරාගනී.”

මේ ගැන හාංකවිසියක්වත් නොදන්න පිටත සිටියෝ සැගවුණු වනයට ගිය පිරිස නැවත නොපැමිණෙන්නේ ඇයිදැයි පුදුමයෙන් කල්පනා කළා.

“පේන විදිහට එයාලට එතන සෑහෙන්න හිතට අල්ලලා වගේ.” දීර්ඝ නින්දෙන් අවදිව කොම්බාගේ ගල්ගුහාවට පැමිණි බෝලා අනුමාන කළා.

සතියක් පමණ ගෙවී ගියා. තවමත් එයාල නැහැ.

“මේ මොන මල සමයමක් ද? මම හිතුවෙ එයාල වසන්ත කාලෙට එයි කියලනේ..” හී යන්ග් නොඉවසිලිමත්ව කිව්වා. “මම හිතන්නෙ අපි කෝකටත් ගිහින් බැලුවොත් හොදයි. එයාල දන්නෙ නැතුව ඇති වසන්තෙ ඇවිල්ල කියල. ගිහිල්ලා දැනුම් දෙන්න වෙයි.”

ඒ අනුව ජේක්, සෝහුල්, කොම්බා සහ බෝලා සැගවුණු වනය කරා පිටත්වුණා. එයාල එතනට යද්දි දැක්කෙ භයානක දර්ශනයක්. ගුහා දොර සම්පූර්ණයෙන්ම අයිස්වලින් වැහිල ගිහින්. ඒ මදිවට අඩුපාඩුවක් පිරිමහන්න වගේ කුණාටුවට අහුවුණ තඩි ගහකුත් දොර හරස් කරගෙන වැටිලා.

“අපොයි දෙයියනේ.. දොර වැහිල ගිහිං නේද?” බෝලා බියෙන් ඇසුවා.

“එහෙනං ඒකයි වෙලා තියෙන්නෙ. එයාලට දොර ඇරගන්න බැරිවෙන්න ඇති. අනේ පව්! අපි ඉක්මනට දොර අරිමු..”

සෝහුල් අඩන්න ගත්තා.

“අඩන්න එපා සෝහුල්.. ඔයාගෙ අම්මලට මුකුත් වෙන්නෙ නෑ.. එන්න හැමෝම මේක අරින්න බලමු.”

පස්දෙනාම දොර විවර කරන්න උත්සාහ කළත් ඒක විවර වුණේ නැහැ. එය සදාකාලයටම වැසී පවතින හැඩයි.

“මෙහෙම හරියන්නෙ නැහැ..” හී යන්ග් හඩ නැගුවා. “සෝහුල්, ඔයා ඉක්මනට ගිහිල්ලා කැලේ ඉතුරුවෙලා ඉන්න හැම සතෙක්වම මෙතනට එක්කගෙන එන්න. ඒ එද්දි හොද හයිය වැල් පොටවල් ගොඩක් අරන් එන්න. කොම්බා ගරාවැටිච්ච මාලිගාවේ ඉන්න වදුරො ටික එක්කගෙන එන්න. එන්න බෑ කිව්වොත් මම එන්න කිව්වා කියන්න. (ඔව්, වදුරොත් එක්ක යාළු වෙන්න පුළුවන් වුණු එකම කෙනා හී යන්ග්) ජේක්, බෝලා, මේ ගහ පුළුවන් තරම් කෑලිවලට කඩන්න. ඉක්මන් කරන්න.” එයා අණ කළා. සෝහුල් සහ බෝලා වහා පිටවී ගියා.

“ඔයා මොකද කරන්න යන්නෙ?” ජේක් ඇසුවා.

“මම ගග ළගට යනවා.” හී යන්ග් පිළිතුරු දුන්නා. ජේක් ඇස් ලොකු කරලා බැලුවා. “ඒ ඇයි?”

“අයිස් කඩන්න අපිට තව කට්ටියකගේ උදව් ඔිනි වෙයි.” හී යන්ග් ගග ළගට දුවන්න පටන් ගත්තා.

******


ගං ඉවුර ළගට ආපු හී යන්ග් මහ හඩින් බෙරිහන් දෙන්න පටන්ගත්තා. “ලිස්තියා.. ඔයා ඉන්නව ද? ලි-ස්-ති-යා!” තත්පර පහකට විතර පස්සෙ ජලය දෙබෑ කරගෙන ලිස්තියා මතු වුණා. හී යන්ග් ඇස් පුංචි කළා. ජල දෙවගන එයාගෙ සේද ගවුමට උඩින් ඇදගෙන හිටියෙ සීත ලොම් කබායක් ද?

“ඔයා? ඇයි කතා කළේ?” ලිස්තියා විස්මයෙන් ඇසුවා.

“අ-හ්--මේ..” හී යන්ග් හිම කබායෙන් දෑස් ඉවතට යොමු කරන්න උත්සාහ කරමින් කිව්වා. “අපිට ඔයාගෙ උදව් ඔිනෑ..”

“ඒ ඇයි?”

හී යන්ග් ලිස්තියාට විස්තරය කිව්වා. “අනේ පුළුවන් උදව්වක් කරන්න. එයාල බඩගින්නෙ මැරිල යයි. ඒ ගල හොල්ලන්නවත් බෑ අයිස් මිදිලා.” ලිස්තියා ටිකක් කල්පනා කළා.

“මම නිකංම නිකං ජල දෙවගනක් විතරයිනේ.. මම මොනව කියල කරන්නද?”

“ඔයාලට පුළුවන් අයිස් ටික අයින් කරන්න.” හී යන්ග් යෝජනා කළා. අන්තිමට ලිස්තියා ඊට එකග වුණා. “හරි එහෙනම්. මං අනිත් අයටත් කතා කරන්නංකෝ.”

ලිස්තියා අතුරුදහන් වුණා. එයා ආයෙ ආවෙ එයා වගේම ජල දෙවගනන් කිහිපදෙනෙක්ව කැදවාගෙනයි.

“යමු.”

හැමෝම සැගවුණු වනයට පැමිණියා. ඒ වනවිටත් සෝහුල් හා කොම්බාගේ දැනුම් දීම මත ඉතිරිවෙලා හිටපු හැම සතෙක්ම එතෙන්ට ඇවිල්ලා, මුදාගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙලා හිටියා. එයාල ජේක් සහ බෝලා කපන කපන ලී කෑලි පිටතට විසිකළා. හී යන්ග් එතනට එද්දිම වගේ තමයි, එයාල යෝද ගහ කපලා ඉවර කළේ.

“හැමෝම ඔතනින් අයින් වෙන්න!” ලිස්තියා කෑගැසුවා. ගල ළග රොක්වී සිටි පිරිස එතනින් ඉවත් වුණාම ජල දෙවගනන් එයාලගෙ දෑත් ඉදිරියට දිගුකරලා අත්ල වටේට කරකවන්න පටන් ගත්තා. ඊටපස්සෙ ගුහා දොරේ සිරවී තිබුණු අයිස් දියවී ගියා.

“හරි, දැන් වැල් ටික ගන්න. ඔයාලා..” හී යන්ග් සර්පයින් දෙසට හැරුණා. “මේ ගුහාව ඇතුළට යන්න පුළුවන් සිදුරුවලින් රිංගලා ගිහින් මේ වැල් ටික ගල වටේට ගැටගහන්න.”

සර්පයින් එයා කිව්ව විදිහට සිදුරු තුළින් රිංගා ගොස් මුළු ගලම වැල්වලින් ගැටගැසුවා.

“හරි දැන් හැමෝම අදි-මු!” හැමෝම වැල් අතට ගෙන හැකි තරම් වෙර යොදා ගල ඇද්දා. එයාලගේ උත්සාහය මල්ඵල ගන්වමින් ගල ටිකෙන් ටික ගැලවී ගිහින්, අන්තිමට මහ හඩක් නංවමින් ඉවතට පෙරළුණා.

“හුරේ!” පිරිස ප්‍රීතිඝෝෂා කරමින් එතුළට දිවගියා. ගුහාව කෙළවර කුසගින්නෙන් වැහැරී ගිය සතුන් වැතිර සිටියා. එකවරම කඩාවැදුණු පිරිස දුටු ඔවුන් විස්මයට පත්වුණා.

“එන්න! අපි දොර ඇරියා! ඔයාල දැන් නිදහස්!” සෝහුල් මොර දෙමින් නටන්න පටන් ගත්තා. මුදාගන්නා පිරිස විපතට පත් වුවන්ට එළියට යන්න උදව් කළා.

“හැමෝටම ගොඩක් ස්තුතියි..” නයගර් ස්තුති කළේ හදවතින්මයි.

“එහෙනං අපි යනවා. අනේ ජල දෙවගනක් වෙලත් මට මේව කරන්න උණානෙ.” ලිස්තියා මවාගත් නොරිස්සුමකින් කිව්වා.

“අනේ ඔයාලට කොහොම ස්තුති කරන්නද මන්දා.. මේ ඒක නෙවෙයි ඇයි ඔයාල සීත කබා ඇදගෙන ඉන්නෙ?” හී යන්ග් එතෙක් වෙලා හිතේ පැසවමින් තිබූ ගැටලුව ඉදිරිපත් කළා.

“ඔහ්. මේ බලන්නකො මෙයා අහන දේවල්. දන්නවද ගග මිදෙනකොට අපිට කොච්චර සීතලද කියලා?”

“ඒකත් ඇත්ත.”

දෙවගනන් යන්න ගියා. කෝටා හී යන්ග්ව දැක ඒ අසලට පැමිණියා.

“හී යන්ග්.” හී යන්ග් උඩ විසිවුණා. “ඔයා කියපු හින්දයි අපි ආවෙ, හරි ද?”

“ආ, ඔව් ඔව්,” හී යන්ග් සිනාසුණා. “ඔයාලටත් ගොඩාාරියක් ස්තුතියි. ඔයාල නැත්නම් මේක කරගන්න බැරි වෙන්නත් ඉඩ තිබ්බ.” ඒ ප්‍රශංසාවෙන් උද්දාමයට පත් වදුරු රැළ කෑගසමින් යන්න ගියා.

“කොහොමහරි, හැමදේම හොදින් සිද්ද වුණා.” ජේක් කිව්වා. “අපොයි, සැගවුණු වනයට හරි වැඩේ. ඒකට අලුතින් වැවෙන්න වෙනව.”



අයියෝ මොකක්ද අප්පා. කතාව කියවන්න කම්මැලියි වගේ කමෙන්ට් නැත්තෙ. එතකොට මටත් කමෙන්ට් ටිකක් වැටෙනකල් කතාව නොදී ඉන්න හිතෙනවා. 


Report Page