Hee Young - 12

Hee Young - 12

Jade

11- https://telegra.ph/Hee-Young---11-01-10


මාසයක් විතර ගතවෙලා ගියා. කොහොමත් හොද මොළයක් තිබුණු හීයන්ග්ට පාසලේ වැඩ එච්චර අමාරු වුණේ නැහැ. පළමුවෙනි මාසික පරීක්ෂණයෙන්ම එයා පන්තියේ තුන්වෙනි තැන ගත්තා. පළමුවැනියා චෝ. දෙවනියා යොන්රේ. සොන්ග් ෂිං දහවැනියාත්, ලී ජුං දොළොස්වෙනියාත් වුණා.

        දවසක්, පන්තියේ එක කාලච්ඡේදයක් අවසානයේ පන්තිභාර ගුරුතුමිය, යුන් මෙනවිය වැදගත් දැනුම්දීමක් කළා. “ළමයි, සද්දෙ නවත්තලා මං කියන දේ පොඩ්ඩක් අහන්න. මේ අවුරුද්දෙත් මින්ගැන්ග් අන්තර් පාසල් ගායන තරග තියෙනවා. ගිය වතාවෙ ගියේ යොන්රේයි පේයොලුයි. මේ වතාවෙත් ඒ දෙන්නවම දාන්නද? නැත්තං අලුතින් ආපු ළමයි හරි, වෙන ඒකට යන්න කැමති ළමයි හරි ඉන්නවද?”

        කවුරුත් නැහැ.

        “හරි එහෙනම්, මම ඔයාල දෙන්නගෙ නම් දෙක ලියාගන්නම්.”

        සකුරා පේයොල් උද්ධච්ච හිනාවකින් මුව සරසාගෙන එයාට අභියෝග කරන්න තරම් කෙනෙක් ඉන්නවද බලන්න පන්තිය වටේට බැලුවා. එයාට උරහිස ළගට වෙනකල් දිග කළු කොණ්ඩයක් සහ කොළ පාට ඇස් දෙකක් තිබුණා. ඔව්, එයා ලස්සනයි. ඒත් එයාගෙ නපුරුකම නිසා ලස්සන යටපත් වෙලයි තිබුණෙ.

        “මේ, හීයං.” යොන්රේ හීයන්ග්ට පැන්සලෙන් ඇන්නා. “ඔයාට පුළුවන් නේද? යනවා, ගිහින් නම දෙනවා.”

        “මට බැහැ!”

        “යන්නකෝ.” චෙන්ග් චෝ කෙදිරුවා.

        “බැහැ. වැන්ග් මට පැන්සලෙන් අනින එක නවත්තනවා.”

        “මොකක්ද හීයන්ග්. යන්නකො. බලන්න අර පේයොල් අපි දිහා බලන්නෙ හරියට කුණුගොඩක් දිහා බලනව වගේ.” සොන්ග් ෂිං ද සහය වුණා.

        “අනේ මට බෑ..”

        “මිස් යුන්,” ලී ජුං හීයන්ග්ට ආයාචනා කරන්න තරම් මහන්සි නොවී කෙළින්ම නැගිට්ටා. පන්තිය සූ සූ ගෑවා.

        “ලින්ග් ලී ජුං,” මිස් යුන් පුදුමයෙන් ඇස් ලොකු කරලා බැලුවා. “මම දන්නෙ නෑනෙ ඔයාට සිංදු කියන්න පුළුවන් කියලා.”

        “නෑ නෑ,” ලී ජුං රතු වුණා. “මම නෙවෙයි. මම කියන්න හැදුවේ-හීයන්ග්ට පුළුවන් කියලා.”

        “මැට්ටා!” හීයන්ග් සිතෙන් දෙස් දෙවොල් තියද්දි පන්තියම හීයන්ග් දෙසට හැරුණා. පේයොල් රැව්වා. මේ කොහෙන්වත් ආපු කෙල්ලක් මේ මට පාට් දාන්න එනවද?

        “ඇත්තද, හීයන්ග්, නැගිටින්න.”

        හීයන්ග් නැගිට්ටා.

        “සිංදු කියන්න පුළුවන්ද?”

        “ටිකක්-විතර.”

        “තරග හෙම දිනල තියෙනවද?”

        “කලින් ඉස්කෝලෙ-හොදම ගායිකාව නං වුණා මිස්..” පේයොල් කොයිතරම් තදින් රැව්වද කියනවනං චෙන්ග් චෝට ඇත්තටම හිතුණේ එයාගෙ රැවුම කවදාවත් අයින් කරගන්න නං මේ ආත්මෙදි බැරිවෙයි කියලා. පන්තියේ ළමයි කටවල් ඇරගෙන බලන් හිටියා.

        “ආ, ඔය තියෙන්නේ.” මිස් යුන් නියෙව්වා. “කියන්න බලන්න සිංදුවක්.”

        හීයන්ග්ට කැස්සක් පැන නැගුණා. “මෙතන?”

        “ඔහ්, ඔව් ළමයෝ. ඔයා පේයොල්ට වඩා හොදද බලන්නයි ඔිනි. සකුරා හීයන්ග්ට රවන එක නවත්තන්න. හීයන්ග් සිංදුවක් කියන්න.”

        හීයන්ග් පුංචි ගීතයක් ගායනා කළා. පන්තියම වශී වෙලා වගේ හෙල්ලෙන්නෙවත් නැතුව අහගෙන හිටියා.

        “විශිෂ්ටයි!” අවසානයේදී, මිස් යුන් හඩ නැගුවා. “පුදුමාකාරයි! මම හිතන්නෙ ඔයාව මේ පාර තරගෙට යැව්වොත් හොදයි.”

        “මොකක්?! නෑ!” පුටුවෙන් උඩ විසිවුණු පේයොල්ට කෑගැස්සුණා. “මමයි ගියපාරත් ගියේ, ඒ නිසා-”

        “සකුරා පේයොල්, ඉදගන්නවා. ඔහොමද හැසිරෙන්නෙ?” මිස් යුන්ගේ තරවටුවෙන් පසුබැස්ස පේයොල් හිදගත්තා. “ඔයා ගිය සැරේ ගියා තමයි. ඒත් මට පේන විදියට හීයන්ග් ඔයාට වඩා ගොඩක් දක්ෂයි. ඔයා තව ටිකක් පුරුදු වුණොත් ඊළග සැරේ යවන්න පුළුවන් වෙයි. මේකෙදි අපි හොදට කෙනාවයි තරගෙට යවන්නෙ.”

        “ඒත්-”

        “මං ඔයාලගෙ නම් දෙක ලියාගන්නම්.” පේයොල්ගේ විරෝධය සත පහකට ගණන් නොගත් මිස් යුන් යොන්රේ සහ හීයන්ග් දෙසට හැරුණා. “ඔයාල දැන්ම ඉදන් ලෑස්ති වෙන්න.”

        “අහ්.” හීයන්ග් පුපුරන්න ඔන්න මෙන්න වගේ ඉන්න පේයොල් දෙස නොබලන්න උත්සාහ කරමින් හිදගත්තා. ඔිහ්, නියමයි ෂාඔි. ඔයා මේ දැන් තවත් හතුරෙක්ව හදාගත්තා.

        “දැක්කද පේයොල්ගෙ මූණ?” පාසල ඇරිලා ගේට්ටුව ළගට යනකොට ලී ජුං ඉගිමැරුවා. “කරත්තෙට අහුවුණ සුදුළුෑණු ගෙඩියක් වගේ.”

        “තරගෙ තියෙන දවසට ඉරිසියාවෙ මැරෙයි!” සොන්ග් ෂිං එකතු කළා.

        “ඔන්න බලාගෙන එයාට ඇහෙයි.” චෙන්ග් චෝ අනතුරු ඇගෙව්වා. පේයොල් එතනින් ගියේ ගිනි ඇවිලිච්ච මිරිස් කරලක් වගේ.

        “අනේ, ඇහිච්චදෙන්.” සොන්ග් ෂිං කිව්වා. “එයාගෙ තාත්ත කෝටිපතියෙක් වුණා කියල අපි එයාට දණ්ඩ නමස්කාරය කරන්න ඔිනියැ.”

        “අන්න බලවු, සකුරා පේයොල්ගෙ රාජකීය මහා මෝටර් රථය.” යොන්රේ ගේට්ටුවෙන් එපිටට අත දිගු කළා. රත්තරන් පාට ලැම්බොගිනියක් ඇවිල්ලා ගේට්ටුව ළග නැවැත්තුවා.කළු කබායක් සහ දිග කලිසමක් ඇදගෙන හිටපු ඒකෙ රියදුරා එළියට බැහැලා පේයොල්ට දොර ඇරලා දුන්නා. තවමත් තරහෙන් පිපිරෙමින් සිටි ගෑනු ළමයා දඩස් ගාලා ඉදගත්තම රියදුරා කාරයට නැගලා යන්න ගියා.

        “අපිට නම් අපේ හද්දා පරණ බයිසිකල් කටු හොදයි.” ලී ජුං කිව්වා. “ඉහේ ඉදන් ආඩම්බරකම බේරෙන කුමාරිකාවකගෙ රත්තරං ලැම්බොගිනියකට වඩා.”

        සකුරා නිවස තට්ටු හයක් උස සුපිරිම ගණයේ නිවසක්. ඇත්තටම, ඒකෙ මුළු උඩ තට්ටුවම අයත් වුණේ පේයොල්ට. පහළ තට්ටුව අම්මාගෙ. ඊටත් පහළ තට්ටුව තාත්තාගෙ. යටම තට්ටුවේ සේවක කාමරයි, කුස්සියයි. දෙවනි සහ තුන්වෙනි තට්ටුවල අමුත්තන්ගේ කාමර.

        කාරයෙන් බැස්ස පේයොල් අඩි හප්පමින් ගේ ඇතුළට යද්දි එයාගෙ අම්මා ආවා. සකුරා මහත්මිය කොණ්ඩෙට කැරලි කටු ගහලා, මූණෙත් මොනවද-යෝගට් වෙන්න ඇති-තලියක් ගාගෙන තමයි පේයොල්ව පිළිගන්න ආවෙ. එයාගෙ නියපොතු තද රතු පාටින් පාට කරලා. දාගෙන හිටියෙත් අඩි හයක් විතර උස අඩි සෙරෙප්පු දෙකක්. “පේයොල්, දුව මොකද තරහින් වගේ.”

        පේයොල් අවුරුදු හතේ කෙල්ලකට කරන්න පුළුවන් හොදම දේ කළා. එයා හූ කියකිය අඩන්න පටන් ගත්තා.

        “ඈ-ඈ- ඈෑ..”

        “පේයොල්, මගෙ රත්තරන් චූටි පැටියා..” සකුරා මහත්මිය ඉස්සරහට ඇවිල්ලා එයාගෙ දුවව බදාගත්තා. “මොකද වුණේ? ඇයි ඔයා අඩන්නෙ පැටියෝ?”

        පේයොල් එදා සිද්දවුණ දේ එයාට පුළුවන් නරකම විදියට කිව්වා.

        “අම්මී.. අර ඉස්කෝලෙට අලුතින් ආව ගෑනු ළමයා.. මිස් යුන් එයාව සිංදු කියන තරගෙට දැම්මා.. මාව පොඩ්ඩක්වත් ගණන් ගත්තෙ නෑ..”

        පේයොල්ගේ වාසනාවට, නැත්නම් අවාසනාවටද? එයාගෙ අම්මත් මහ අහංකාරයි.

        “මොකාාක්?!” එයා බෙරිහන් දුන්නේ හරියට එයාගෙ දුව ඉස්කෝලෙන් අස්කළා වගේ. “ඒකට වෙන කෙනෙක්ව දාලා? අනේ පැටියෝ, මට හරිම දුකයි. අපි මේකට මොකක්ම හරි කරන්න ඔිනෑ. මම ගිහින් ඔය මිස් යුන්ව හම්බවෙලා එන්නං. නෑ, අපි තාත්තිට කියමු, හරිද?”

        පේයොල්ගෙ තාත්තා එදා ගෙදර ආපු ගමන් පේයොල් තාත්තාගෙ කරේ එල්ලුණා. “අනේ තාත්තී..”

        “පේයොල්,” තාත්තා එයාව ආදරයෙන් වඩාගත්තා. “මොකද මේ.. ඇස් රතු වෙලා. ඇඩුවද?”

        “අනේ තාත්තී..” පේයොල් ඉකිගහන්න පටන් ගත්තා. අම්මත් එතනට ආවා.

        “අනේ, බලන්නකො මෙයාලගෙ ටීචර් කරල තියෙන වැඩේ.” සකුරා මහත්මිය කියවන්නට වුණා. “මෙයා අර සිංදු කියන තරගෙකට ගියේ. ඒකෙන් දිනුවත්නේ. ඒකට මේ පාර වෙන කෙල්ලෙක්ව දාලලු. ඔයාටවත් මේ ගැන පැමිණිලි කරන්න බැරි ද? මේක මහ නින්දාවක්නේ..”

        සකුරා මහතාගේ ඇස් පුංචි වුණා. “පැමිණිලි කරන්න? ඒ අහවල් දේකටද?”

        “තාත්ති එයාල මාව තෝරගත්තෙ නැහැ!” පේයොල් අඩි බිම ගැහුවා.

        සකුරා මහතාට මේ දෙන්න කියවන්නෙ මොකක් ගැනද කියල ටිකෙන් ටික තේරෙන්න පටන් ගත්තා.

        “ඉතින් පේයොල්, එයාට ඔයාට වඩා හොදට සිංදු කියන්න පුළුවන් නිසා වෙන්න ඇති වෙන කෙනෙක්ව ගන්න ඇත්තෙ.”

        “ඒක මහ කැත වැඩක්!” අම්මා කෑගැසුවා.

        “නවත්තගන්නවල දෙන්නම!” තාත්තා සැර දැම්මා. “මම ඔය දෙන්නටම කියල තියෙනවා, අපිට සල්ලි තියෙනව කියල ඔයාල ආඩම්බර වෙලා ගොඩක් වැඩී. පොඩ්ඩක් අනිත් මිනිස්සු ගැනත් හිතන්න. එයාල පණුවො නෙවෙයිනෙ. එක තරගෙකට තේරුණේ නෑ කියලා අඩන්න දෙයක්ද. ලස්සන මූණකුයි කටහඩකුයි තිබුණට වැඩක් නෑ හොද හදවතක් නැත්නම්. ඔයාලගෙ මේ සෝබන වැඩ දැන් මට ඇතිවෙලා. පේයොල්, ආයෙ මේ වගේ කතා කියාගෙන නා‌හෙන් අඩාගෙන හේම එන්න එපා. තේරුණාද?”

        පේයොල් බියපත්ව උඩ තට්ටුවට දිව්වා.

                

        තරග දිනය එළඹුණා. පාසල් නිල ඇදුමෙන් සැරසුණු හීයන්ග් සහ යොන්රේ පාසලට ආවා. මිස් යුන් තමයි කණ්ඩායම බාර ගුරුතුමිය වුණේ.හැම පන්තියකින්ම තරගවලට සහභාගිවෙන ළමයි වෑන් එකට නැග්ගට පස්සෙ වෑන්රිය තරගය පවත්වන ස්ථානයට ඇදුණා.

        ඊළග දවසෙ මැලවුණු මුහුණුවලින් පන්තියට එන යොන්රේ සහ හීයන්ග්ව දැක පන්තියේ ළමයි කෑගසන්නට වුණා.

        “ඒයි ළමයි මෙන්න එයාල එනවා!”

        “කොහොමද තරගෙ ඔයාල දින්නද?”

        “මොකද මූණු බෙරිකරගෙන? පැරදුණාද ආ?”

        “කියනවලකො, මොකද්ද වුණේ?”

        ප්‍රශ්න වැලක්.

        “දැනගන්නම ඔිනිද.” යොන්රේ කලකිරීමෙන් ඇසුවා.

        “එහ්. පැරදුණාද.”

        හීයන්ග් සුසුමක් හෙළුවා.

        පන්තිය නිශ්ශබ්ද වුණා. නියමයි. එයාල පැරදිලා.

        “අපි දිනුවා!” හීයන්ග් සහ යොන්රේ වහල උඩ යන තරම් හයියෙන් බෙරිහන් දුන්නා. “අපි දිනුම්! චැම්පියන්! අංක එක!”

        “ඒ කියන්නෙ-”

        “දෙවියනේ..” සොන්ග් ෂිං ඇස් කැරකුවා. “ඒ කියන්නෙ කෙල්ලන්ගෙන් අංක එක හීයන්ග්. කොල්ලන්ගෙන් අංක එක යොන්රේ. පළවෙනි පාරට ඒ ශූරතා දෙකම අපේ ඉස්කෝලෙට! මරු නේද?!”

        “හිප් හිප්- හුරේ!” ළමයි හාස්‍යජනක ලෙස උඩපනිමින් බෙරිහන් දුන්නා. “නියමයි! පාර්ර්ටීටීටීටී!!”

        “ඔයාල බලන්න තිබ්බෙ,” යොන්රේ කිව්වා. “හීයන්ග් පළවෙනි සිංදුව කියද්දි ජජර්ස්ලා පුටු උඩම නැටුවා!”

        “රේ!” හීයන්ග් යොන්රේට ඇගිල්ලෙන් ඇන්නා.

        “ඊළග සිංදුව කියද්දි එයාල හොටු පෙර පෙරා ඇඩුවා!”

        “වැන්ග් කටවහනවා!” හීයන්ග් අනතුරු ඇගෙව්වා. “මිස් යුන්!”

        “ඔව්!” යොන්රේ තවත් උද්‍යෝගිමත් වුණා. “මිස් යුන් ලේන්සුවත් අතේ තියාගෙනයි ඇඩුවෙ!”

        හීයන්ග් තොල හපාගත්තා. දෙවියනේ, මැට්ටෝ, දෙවියන්ගෙ නාමෙන් ඔය හැකර කට වහගන්නවා! නැත්නම් අපිට අඩන්න තමයි වෙන්නෙ දැන්!

        “ළමයි!” එතනට ප්‍රාදූර්භූත වූ මිස් යුන් විස්මයෙන් කෑගැහුවා. “මොකද වෙලා තියෙන්නෙ? මේක පිස්සන් කොටුවක් කියල හිතුවද? වාඩිවෙනවලා හැමෝම!”

        ළමයි සිනාසෙමින් අසුන් ගත්තා.

“හොදයි, ඔයාල දන්නවනේ. දැන් කෑගගහ හිටපු කාරණාව.” ගුරුතුමිය යොන්රේ සහ හීයන්ග් දෙසට ප්‍රශංසාත්මක බැල්මක් හෙළුවා. “ඔය දෙන්නටම මම සුබපතනවා. ඔයාල අපිට ගෙනාවෙ ලොකු කීර්තියක්.”

        ඔයාල හිතනව ඇති මේ තරගයක් දිනුව කියල මෙච්චර උඩපනින්න ඔිනිද කියලා. ඒකට හේතුව තමයි, මේ දෙන්නා පන්තියේ සෑහෙන්න ජනප්‍රිය ළමයි දෙන්නෙක් වුණ එක. ගියපාර පේයොල්ට නම් මේ ජයඝෝෂාවෙන් හතරෙන් පංගුවක්වත් ලැබුණේ නැහැ.

        ඒ අතරේ, සුදුමැලි වූ මුහුණින් යුතුව පේයොල් එයාගෙ අසුනටම ඇලී ගැලී වාඩි වෙලා හිටියේ පොළව ඇතුළට ගිලිල මෙතනින් චුත වෙන්න ඇත්නම් කියල හිතමින්.

        “ඒක මහලොකු දෙයක් නෙවෙයි.” එයා දිගින් දිගටම කියාගත්තා. “මට වඩා එක ප්ලේස් එකයිනෙ වැඩි. මහ දෙයක්යැ.”


Report Page