Hee Young - 11

Hee Young - 11

Jade

10- https://telegra.ph/Hee-Young---10-01-10


ඊළග දවසෙ උදේ හීයන්ග් සහ යොන්රේ අම්මා එක්ක සාප්පු සවාරියක් ගියා. ඒ එක්කම එයාල මින්ගැන්ග් ප්‍රාථමික විද්‍යාලයටත් ගිහිල්ලා හීයන්ග්ව ඉස්කෝලෙට ඇතුළත් කරලා, එයාට නිල ඇදුමකුත් අරන් ආවා.

       සති දෙකකට පස්සෙ පාසලේ තුන්වෙනි වාරය පටන්ගත්තා. ඒ වෙද්දි යොන්රේ, චෙන්ග් චෝ සහ අම්මා හීයන්ග්ට මග ඇරුණු පාඩම් සේරම උගන්නලයි තිබ්බෙ.

        මාස හතකට පස්සෙ පාසල් යන්න ලෑස්තිවෙද්දි හීයන්ග්ට දැනුණෙ මහ අමුත්තක්. එයා පාසල් නිලඇදුම ඇදලා හැඩ බැලුවා. නිල් පාට කොලරය, සුදු පාට කමිසය, නිල් පාට සාය. එයාටම කියලා හදවපු එකක් වගේ. කළු සපත්තු.

        අම්මා කාමරයට ආවා. “ෂාහ්, ලස්සන බලන්නකෝ. ලස්සන චිත්‍රයක් වගේ. ඉස්කෝලෙ වැඩත් හොදට කරන්න ඔිනෑ.. එන්න, මම කොණ්ඩෙ පීරන්නම්.” අම්මා හීයන්ග්ගේ කොණ්ඩෙ දෙකට බෙදලා ගැටගැහුවා. “අනේ, ඔයාව දැක්කම ගිලින්න හිතෙනවා.”

        එයාල පහළට බහින්න ලෑස්තිවෙද්දි හීයන්ග් වටපිට බැලුවා. “කොයි රේ?”

        අම්මා තවමත් වසා ඇති යොන්රේගේ කාමරයේ දොර දෙස බැලුවා. “මම දැන් මේ කොල්ලට කී පාරක් කතා කළාද? බලන්න දුව, එයා තාමත් නිදිද දන්නෑ.”

        “නිදි-” හීයන්ග්ට වෙලාව බැලුණා. අටයි. ඉස්කෝලෙ පටන්ගන්නෙ අටහමාරට. එයා යොන්රේගේ කාමරේට ගියා. යොන්රේ තාම ඇතිරිල්ලත් පොරවගෙන හොදට ගුලිගැහිල නිදි.

        “හේයි නිදිකුම්බරයා, වැන්ග්, නැගිටිනවා.” හීයන්ග් යොන්රේව සෙලෙව්වා.

        “හ්ම්ම්ම්.. නිදිමතයි.. තව විනාඩි පහයි අම්මා..” යොන්රේ නිදිමරගාතේම කියෙව්වා.

        “මම හීයං, මැට්ටෝ. හොදටම පරක්කු වෙලා.. අද ඉස්කෝලෙ පටන්ගන්නවා නේද? නැගිටිනවා!” හීයන්ග් ඇතිරිල්ල ඇදලා දාලා අත් දෙක යොන්රේගේ උරහිස මත තැබුවා. උරහිසේ අයිස් මිදෙන්න ගත්තා.

        “ආාාර්හ්! සීතලයි මෝඩියේ! මොකද වෙලා තියෙන්නෙ හීයං තව- වෙ-ලා තියෙන-ව-නේ..” යොන්රේ අනිත් පැත්තට හැරිලා ආපහු නිදාගත්තා.

        “හරි.” හීයන්ග් කෙළින් වුණා. “මම ඉස්කෝලෙ යනවා, මිස්ටර්-වැන්ග්-යොන්-රේ. ඒ වගේම දැනගත්තොත් හොදයි, දැන් වෙලාව අටයි.”

        එයා දොර ළගට ගිහින් හිතෙන් ගණන් කළා. “එකයි,”

        “හ්ම්ම්ම්..” යොන්රේ කෙදිරි ගෑවා. “හොදයිනේ..”

        “දෙකයි,”

        යොන්රේ තවත් ගුලිවුණා.

        “තුනයි!”

        “මොකක්?!” යොන්රේගේ ඇස් වේගයෙන් ඇරුණා. එයා ඇද මත හිදගත්තේ වේගයෙන් දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ. “අටයි!!”

        එයා ඇදෙන් බැහැලා, ඇතිරිල්ල දෙකට තුනට ඔහේ නවලා දාලා, හීයන්ග්වත් තල්ලු කර‌ගෙන දත් මදින්න සාලයට දුවන්න ගතකළේ තත්පර දෙකයි. “අම්මා! ඇයි මට කලින් කතා කළේ නැත්තෙ?”

        “මං කතා කළා.” අම්මා කිව්වා. “ඒ හැම පාරම ඔයා කිව්වා දැන් ඇහැරිලා ඉන්නෙ කියලා.”

        “මට මතක නෑ!”

        හීයන්ග් තනිවම සිනාසෙමින් පහළට බැස්සා. ඒ බහින අතරේ යොන්රේ ආපහු ඇදුම් මාරුකරගන්න උඩට දිව්වා. හීයන්ග් කාලා ඉවරවෙද්දිම වගේ තමයි එයා කෑම කන්න පහළට දුවගෙන ආවෙ. එයා ඇදගෙන හිටියෙ නිල් පාට කොලරයක් තියෙන සුදු කමිසයක් සහ නිල් කලිසමක්.

    “ට්රීං-ට්රීං..” එළියෙන් බයිසිකල් සීනුවක් නාද වෙනවා ඇහුණා.

        “හී-යන්ග්! යොන්-රේ!” ලී ජුං තාලෙකට බෙරිහන් දෙනවා ඇහුණා. “ඉක්මනට එන්-ඩෝ!”

        “මම නං ලෑස්තියි.” හීයන්ග් බෑගය පිටේ එල්ලගත්තා. “ඉක්මන් කරන්නකො රේ!”

        යොන්රේ කටට දෙකට කෑම ටිකක් කටට ඔබාගත්තා. “අම්මා අපි යනවා..” එයා කටේ කෑම පුරවගෙනම කිව්වා.

        “අපි යනෝ නැන්දේ..”

        හීයන්ග් සහ යොන්රේ එයාලගෙ පාපැදි දෙක පාරට ගත්තා.

        “සුබ උදෑසනක්!”

        “සුබ උදෑසනක්!”

        යොන්රේගෙ කටේ කෑම පිරිල තිබුණ හින්දා එයා කිව්ව එක ඇහුණේ ‘ශුප හුදෑහනප්’ වගේ එකක්.

        සොන්ග් ෂිං ඇස් කැරකුවා. “එක්කෙනෙක්ට අදත් පරක්කු වෙලා වගේ නැගිටින්න.”

        එයාල ඉස්කෝලෙ ළගට ආවා. ඒකත් ඇත්තටම පුංචි ඉස්කෝලයක්. ළමයි හෝ ගාලා ඇතුළට යනවා. මේ පස්දෙනත් පාපැදි පැත්තකින් නවත්තලා ඒ සෙනග අතරට ඇතුළු වුණා.

        “එන්න යමු.” එයාල හීයන්ග්ව පන්තිය වෙත කැදවාගෙන ගියා.

        “හලෝ කට්ටිය!” ලී ජුං මොර දුන්නා.

        “හායීයීයී ලී ජුං! අලුත් වාරෙට පිළිගන්නවා!”

        “හේයි යොන්රේ!”

        “සුබ උදෑසනක් චෙන්ග් චෝ!”

        “අහා, කොහොමද සොන්ග් ෂිං?”

        “ඉතා සැපසනීපෙන් ඉන්නවා!”

       “ළමායි, ටිකක් වාඩිවෙන්නකෝ හැමෝම!” යොන්රේ මොරගෑවා. “අපිට අලුත් ළමයෙක් ඉන්නවා!” එයා පිටිපස්සෙන් හිටපු හීයන්ග්ව ඇදලා ගත්තා. “මේ ඉන්නෙ ෂාඔි හීයන්ග්. මගේ දුර ඥාති සහෝදරියක්.”

        ඥාති සහෝදරියක්?

        ඔව්, ඇත්තටම. අම්මා ඒ ගැන පස්දෙනාටම උපදෙස් දීලයි තිබුණේ. හීයන්ග් අනාථ ළමයෙක් කියල දැනගත්තොත් එයාව කොන් වෙයිද කියලා අම්මා බය වුණා. ඒ නිසා එයා හැමෝටම කියල තිබුණෙ මේ එයාගෙ නෑදෑයෙක් කියලා.

        ඉතින් ඔය විදිහට, හීයන්ග්ගේ අලුත් පාසල් ජීවිතය ඇරඹුණා.


Report Page