ගමේ කෙල්ල
03~ තෙවන කොටස ~

මතකනෙ. නෙත්මි එක්ක පටන් ගත්ත අසාර්ථක ආරම්භය මම වැඩකිඩ දාල යහපත් අතට ගත්තා.
එතැන් සිට...
සෙනෙහසේ මුට්ටියේ... තම්බලා ආදරේ....
නිරතුරු ඔබට පොවන්නම්...
හදේ වේදනා... දල්වලා ගින්දරින්...
මුට්ටිය රත් කරලන්නම්...
නැන්දා මාමවත් එක්කන් හවස පහමාරට විතර ගෙදර එද්දි මම ටීවි එක බල බල හිටියෙ. නෙත්මි උයල පිහල ඉවර කරල , වත්තත් අතුගාල ගියේ.
"අප්පටබොල... කොල්ලා ලොකු වෙලානෙ අම්බානකට... ඉතින් ඉතින් මොකෝ වෙන්නේ..."
මාම ගෙට ගොඩ උන ගමන්ම වගේ ඇහුව මාව දැකල.
"හොඳින් ඉන්නව මාමේ..."
"ඒනං එච්චරයි... කෑවද බීවද?"
"ඔව් මාමෙ. දවල්ට කෑව."
"හරි හරි. ඇඳුමක් දාන් එන්නං කොල්ලෝ. මේ... කෙල්ලේ... බත් එකක් බෙදුවනං..."
මාමා, කෙල්ල කෙල්ල කියන්නෙ නැන්දට. මෙහෙ එහෙම තමා. ආයෙ නැලවිලි නෑ. රොමෑන්ස් නං රොමෑන්ස් , හාඩ්කෝර් නං හාඩ්කෝර්. තුන්කොන් නං තුන්කොන්.
"බෙදනවා අයියේ... ඇඳුමක් දාන් එන්න..."
මාම එයාලගෙ කාමරේට ගියාට පස්සෙ , මමත් ටීවි එක වහල දැම්ම. ඒකෙ බලන්න තරන් මගුලකුත් නෑ. බටපොල වර්ශන් නෙ. අඟල් 32 ටීවි එකේ අඟල් 30ක්ම සුදු පාට ඩොට් වලින් වැහිල.
"කොල්ලෝ... අලිපේර ගෙඩියක් කඩාගන්න. ඔය පිටිපස්සෙ ගහේ ඇති"
පරණ ශෝටකුයි , ජරාජීර්ණ උන කමිසෙකුයි ගහගෙන මාම කාමරෙන් එලියට ආවෙ එහෙම කියාගෙන.
"ආ... පස්සෙ කමු මාමෙ. දැන් නං බෑ. බත් හැලියක් ගහල ඉන්නෙ."
"අප්පටසිරි. ඒමද. ආ සරා ආව නේ උයන්න. ඔයාලගෙම වයසෙ මම හිතන්නෙ"
"කවුද සරා කියන්නෙ?"
"ඇයි නෙත්මි ආවෙ නැද්ද?"
"ආ ඔව් ඔව්. එහෙම කෙනෙක් නං ඇවිල්ල සෝයා මීට් එකක් ඩෙවල් දාල හදල දුන්නා. ඒකත් එක්ක කෑවෙ"
"යකඩෝ. අපිටවත් ඕව හදල දෙන්නෑනෙ. කෝකටත් ට්‍රයි එකක් දාල බලහන්"
කියාගෙන මාම කුස්සියට ගියා.
මාම හෙන ආතල් බුවෙක්. බොරුවට ඉතින් ලැජ්ජා ගතිය පෙන්නන්න ඕනෙ ඔය වගේ එව්ව කියනකොට. නැත්තං හිතයි මං නොම්මර එකේ අසහනකාරය කියල.
මාම පස්සෙන් මාත් කුස්සියට ගියා ඕපදූපයක්වත් අහන්න බලාගෙන. මාම නැන්ද එක්ක කතාවක.
"කෙල්ලේ... කාංචන මාමට ට්‍රැක්ටරේ ලබන සතියෙ ඕනෙ කිව්ව. දෙන්නද?"
"ම්ම්ම්ම්... වෙලාවට ඉල්ල ගන්න පුලුවන් නං දෙන්න. ගිය කන්නෙත් මතකනෙ. දෙනවයි කියපු දවසට සති ගානකට පස්සෙ හම්බුනේ. අන්තිමට අපේ කොටහට තමා වස් වදින්නෙ"
"හරි හරි මම ඉල්ලගන්නං. මිනිහත් අසරණයිනෙ මේ වෙලාවෙ"
"අයියා කැමත්තක් කරන්නකො. ඕන් මම නං කලින්ම කිව්ව , වෙලාවට ඉල්ලගන්න ඈ."
"හරි හරි."
අනුරාධපුරේ කියල වෙනසක් නෑ. කාන්තා ආධිපත්‍යය සැරටම නැගල තියෙන්නෙ ගෙවල් වල. එක අතකට ඒක හොඳයි. ගෑණුන්ට බයේ ඉන්න කියල නෙවේ මම මේ කියන්නෙ. පිරිමි ස්වභාවයෙන්ම පාලනයෙන් තොරයිනෙ. ඉතින් පොඩ්ඩක් කවුරු හරි , පොඩියට පාලනය කරන එක ඇත්තටම හොඳයි. වෙන පිරිමි නං මං දන්නෑ. මගේ පෞද්ගලික අත්දැකීම.
"මේ කොල්ලෝ..."
මාම මට කතා කලා.
"කියන්න මාමේ"
"කුඹුරට යමන්. වැඩක් නෑනෙ මුකුත්"
"ආ යං අවුලක් නෑ. මෙහෙම්ම එන්නද?"
"ඇඳුම් ජරා වෙයි. කෙල්ලේ... සදේශ්ට මගෙ අර පරණ ශෝට දෙන්න. කමිසෙ නං ඕකම උනත් කමක් නෑ."
නැන්ද කුස්සියෙන් ගිහිල්ල ආපහු ආවෙ අලු පාට ශෝටක් අරගෙන. මම ඒක අරන් ඉනට තියල බැලුව. සෙට් වගේ.
"ඕක ඇඳගෙන එන්නකො එහෙනං. බයික් එකේ යං"
"ආ හරේ. මම ඇඳන් එන්නං"
මාම දැන් වැඩට ගිහිල්ල ඇවිල්ල , කාල බීල ආපහු එහෙම්මම යනව කුඹුරට. මේ පැති වල මිනිස්සු ඔක්කොම වගේ එහෙම තමයි. දවසම රස්සාවට ගිහින් මැරිල මැරිල ගෙදර ඇවිල්ල පොඩි ඇලට් එකක් දාන්න , ඩ්‍රින්ක්ස් ගන්න අනං මනං කරන්නෑ. ගෙදර ආව , කෑව බිව්වා , ආපහු කුඹුරට බැස්සා. රෑ එලිවෙනකං කුඹුරෙ වැඩ කරල මහ පාන්දරට ගෙදර ඇවිත් , ආපහු උදේ හයට රස්සාවට යනව.
මාම කාල ඉවර වෙලා හයයි තිහට විතර හෙල්මට් එකත් දාගෙන ලෑස්ති උනා. මමත් ශෝට ගහන් ස්කූටරේ ගාවට ගියා. කලුවර වැටිල එතකොටත්. ඉතින් මාමා ටෝච් දෙකකුත් අරන්.
"කෙල්ලේ...."
නැන්දා ඒ සද්දෙට ඉක්මනට එලියට ආව.
"මේ... සරාට කියල බත් දෙකක් එවන්න එහෙනං ඈ."
"හරි අයියේ. මම එවන්නං"
මෙයාල මේ සරා සරා කියන්නෙ නෙත්මිටනෙ. එතකොට රෑට කෑම ට්‍රාන්ස්පෝට් කරන්නෙත් නෙත්මිමයි. තනියම එහෙ මෙහෙ ඇවිදින්න බය නැද්ද මංද. සමහර විට ගමේ කෙල්ලොනෙ. මෙයාලට යෝධ බල යෝධ හක්තිය ඇති.
මාමා ඊළඟට මාවත් බයිසිකලේට දාගෙන කඩාගෙන බිඳගෙන ගියේ ඊයෙ යන්න තිබ්බ ගමනක් යනව වගේ. කුඹුරට මහ ලොකු දුරක් තිබ්බෙ නෑ. විනාඩි 5න් වගේ කුඹුරු යාය අයිනෙ තිබ්බ , පත කුඹුක් ගහක් ගාවට ඇවිත් මාමා බයික් එක නැවැත්තුවා. ඒ නවත්තල එයා එතනින්ම බැස්සා කුඹුරට. මාත් මාම පස්සෙන් සේපට නියරකට සෙට් උනා.
"කොල්ලෝ... පොඩි උදව්වක් ඕනෙ..."
"කියන්න මාමෙ"
"වතුර හරවන්න ඕනෙ පහළ ලියැදි ටිකකට. පුලුවන් නං පා වක්කඩවල් ගහගෙන යනවද උඩහ ටිකේ. ඇල වහල අද. හෙටලු වතුර දෙන්නෙ. පහළ ගස් ටික වේලුනොත් ඔක්කොම කරල හබක්"
"හෙ හෙ. පොඩ්ඩක් කරන විදිහ කියල දෙනවද?"
"ආ බලාගනින්කො"
කියල , මාම ඒ ළඟම තිබ්බ නියර උඩට ගිහින් පයින් කෙලගෙන කෙලගෙන ගියා නියරට.
ටිකකින් එතන නියර කැඩිලා වතුර ටික පහළට බැස්සා.
"හරිනේ. ඔන්න ඔහොම. මම යනව එහාපැත්තට. කුරුලු පාලුවක් ගැහුවනෙ මේ පාර. ඉතින් ඒක නඩත්තු කරන්න ඕනෙ ගිහිල්ල. මම පෝර ටික ඉහල එනකං ඔහොම වක්කඩවල් ගහගෙන යන්න. එක ලියැද්දට දෙක තුන එපා. එක ගානෙ ගැහුවම ඇති."
"ආ හරි හරි මම දෙන්නං දොඹෙන් යන්න"
පොර වගේ වැඩේ බාරගත්තට කකුලෙන් දෙක අනිනකොට කකුල නිකං කැඩෙන්න වගේ ආව.
මාමලගෙ කාශ්ඨක ඇඟවල් වගේ නෙවේනෙ. මම ටවුන් එකේ හමටි ලපටියෙක්නෙ.
පස්සෙ හිමින් හිමින් ටෝච් එකත් අරගෙන මම නියරවල් කඩ කඩ ගියා. මාමත් ටෝච් එකක් ගහන් කුඹුර මැදින් දිගටම ගියා.
ටිකකින් මාම නොපෙනීම ගියා. කුඹුරු කුඹුරු කිව්වට අක්කර ගාණක පත කුඹුරක්නෙ. ඉතින් එහා මෙහා පේන්නෑ. කුරුලු පාලුවට වෙන් කරන්නෙ කැලේ අයිනෙම තියෙන ලියැදි තුන හතරක්. මොකද කුරුල්ලො එන්නෙ ඒ පැත්තෙන් නිසා , උන් එතනින්ම නවතිනව.
එක නියරක් කැඩුවට පස්සෙ හොඳ ගනන්. මම එක නියරක් කඩල විනාඩි පහක් විතර වාඩි වෙලා ෆෝන් එක ඔබනව. ආපහු එකක් කඩල ආපහු ෆෝන් එක ඔබනව.
ඔහොම ඔහොම පැය දෙකක් විතරම ගෙවිල ගියා. වතුර තිබහ තිබ්බට , මම දන්නෑ ඇල යන්නෙ කොහෙන්ද කියලවත්. මාම මාව දාල ගියානෙ. lone survivor සීන් එකේ ඉන්නෙ මං.
කට්ට කලුවරයි කුඹුර. වෙන මොකාවත් ඇත්තෙත් නෑ. පාලු සොහොන් පිටිය වගේ. හුළඟට ගොයම් ගස් හෙල්ලනකොට එන්නෙ නිකං මහ මූසල සද්දයක්.
ටිකකින් මම දැක්කා කුඹුර මායිමේ, පාර ගාවින් ලාවට එලියක් එනවා. හොල්මනක් වෙන්න බෑ. මොකද හොල්මන් වලට රෑට ඇස් පේනවනෙ. උන්ට නයිට් විශන්නෙ තියෙන්නෙ. අමුතුවෙන් එලියක් ඕන්නෑ.
මම ඒ වැඩෙත් නවත්තල ටෝච් එක , ඒ එලිය එන දිහාටම අල්ලන් හිටියා. ඒ ආපු කෙනා කවුරු උනත්, එයා පාරෙන් කුඹුරට පැනල, මම හිටපු පැත්තට ආවෙ. නියරක් දිගේ හිමින් හිමින් එනව.
"ක..... කවුද ඔය....?"
මම කෝකටත් දුර තියාම ඇහුව. මෝහිනි වගේ නං දුවන්න ගැප් එකක් තියාගන්න එපැයි.
ඒ ආපු කෙනා මගෙ සද්දෙට ටිකක් වෙලා නැවතිලා ඉඳල ආපහු එන්න ගත්ත.
"ක... කවුද ඔය එන්නේ..."
"මහසෝනා"
හුටා... අහල පුරුදු කටහඬක්.
ඒ නෙත්මි.... සිරාවටම මහසෝනා සීන් එකේ ආවෙ. හිමින් හිමින්.
"ආහ්... මේ රෑ තනියම මෙහෙ මොකෝ... මාමා නං , ඔය පහලට යනව කියල ගියා ගියාමයි තාම ආවෙ නැ."
නෙත්මි පොඩි ටෝච් එකක් අරන් ඇවිල්ල තියෙන්නෙ. එයා නියර දිගේ කෙලින්ම ඇවිල්ල මම හිටපු ලියද්ද ගාවින් නැවතිලා මට කතා කලා.
"බත් දෙක දෙන්න ආවෙ. වතුර බෝතලේකුත් දුන්නා සුභෝදා නැන්දා ඔයාට දෙන්න කියල. මේ ඇලේ වතුර දිරවන්නැතුව ඇතිලු ටවුන් වල අයට. මෙතන මොකද කරන්නෙ?"
"එහෙම මගුලක් නෑ. ඇල හොයාගන්න බැරුව මම හිටියෙ. මාම කිව්ව මට උඩහ ලියැදි වල වක්කඩවල් ගහන් යන්න කියල. පහලට වතුර බහින්න. මම මේ ඒක කලා මෙච්චර වෙලා."
"ඉතින් මෙතන ඉන්නෙ ඇයි?"
"මෙතන නියරක් තියෙන නිසා"
මම ඒක කියපු ගමන් නෙත්මි ඇස් දෙක ලොකු කරල , මම කඩ කඩ ආපු නියර පේලියටම ටෝච් එක ගහල බැලුව.
"ඔය කරල තියෙන්නෙ"
"ඇයි. මොකෝ සීන් එක. ඔහොම කඩන්න කියල තමා මාම කිව්වෙ"
"ඈ මෝඩයො මේ වජිර මාමගෙ කුඹුරද? මේක සෝමපාල මාමගෙ කුඹුර. බරපන්තියෙන් කුණුහරප අහගන්න වෙන්නෙ උදෙන්ම හෙට"
"අප්පටසිරි. එතකොට මේ ඔක්කොම මාමගෙ නෙවේද?"
"නෑ මෝඩයො. ඔය කඩපු ඔක්කොම සෝමපාල මාමගෙ. අර එහා කෙලවරේම කඩපු එකේ ඉඳන් අනිත් පැත්තට , වජිර මාමගෙ කුඹුර තියෙන්නෙ"
"මල හත්තිලව්වයි. දැන් මොකෝ කරන්නෙ?"
"මුකුත් කරන්න එපා. මේ ටික මෙහෙම්ම තියල එහා පැත්තෙ ඒවා කඩන්න. මේ බත් එක බයිසිකලේ ගාවින් තියන්න. ඔයාල බයිසිකලේක නේ ආවෙ?"
"ඔව් ඔව්. අතන ගහ ගාව"
"මේක එතනින් තියල , එහා පැත්තට කඩාගෙන යන්න"
හෙ හෙ. වැඩක් කලොත් වවාගෙන කන්නෙ අපි. ගැම්මක් තමා.
මම ඊට වැඩිය මුකුත් කතා කරන්නැතුව නෙත්මි ගාවට ගිහිල්ල බත් දෙකයි වතුර බෝතලෙයි තිබ්බ බෑග් එක ගත්තා. එතකොටයි එයා ඇඳන් ඇවිල්ල තිබ්බ එක දැක්කෙ. ටිකක් කොට ශෝටක්. සමහරවිට කුඹුරට ආපු නිසා වෙන්නැති. ඒ උනාට සිකමෝල් වෙනව කකුල් දෙක දැක්කම.
මම කලින්ම කිව්ව්නෙ. නෙත්මිට තියෙන්නෙ ගමේ කෙල්ලෙක්ගෙ ෆිගර් එකකට වඩා ටවුන් එකේ පොශ් ලුක් එකක්.
නෙත්මිගෙ කකුල් දෙකට බැල්ම දාගෙනම මම ආපහු , බයික් එක නවත්තපු ගහ ගාවට ඇවිල්ල , ඒ බෑග් එක බයික් එකෙන් එල්ලුවා.
නෙත්මි දැන්ම යනවද දන්නෑ. තනියම ඉන්න එකේ කයියක් ගහන්න තිබ්බා.
"මේ දැන්ම යනවද?"
"ඈ..."
"දැන්ම යනවද කියල ඇහුවේ"
"මම ඉඳල , කුඹුරු කොටන්න ඈ. මම ආවෙ බත් දෙක දෙන්න."
"ආ හා හා ඉතින්. ඔච්චර නටන්න ඕන්නෑ. තනියම නිසා ඇහුවෙ. මම ගෙනිහින් දාන්න එන්නද?"
පොඩ්ඩක් ජෙන්ටල්මන් වෙන්න එපැයි. හිපාටුවො වගේ ඉඳගෙන කෙල්ලො ටෝක් කරන්න බෑනෙ.
"ඒ මොකටද? මට තනියම යන්න පුලුවන්"
"අම්මෝ හරි හරි. කකුල අවුලක් නෑනෙ. තුවාලෙ වහගෙන ඇවිදින්න හරිද?"
"හා"
නෙත්මි යනව යනව කිව්වට එයත් යන පාටක් නෑ. එයා තාම ටෝච් එක බිමට අල්ලන් , කලින් හිටපු තැනටම වෙලා කුඹුර දිහා බලන් ඉන්නව.
ඇත්තටම මේ වගේ රෑක 'කෙල්ලෙක් එක්ක' කුඹුරක ඉන්න එක හිතට මාර සැනසීමක්. ඒක අමුතුම ෆීලින් එකක්. ගොයම් ගස් හුළඟට හෙල්ලෙනකොට එන සද්දෙට ඇඟ හිරිවැටෙනව.
හැබැයි තනියම ඉන්න වෙලාවට වෙනම ෆීලින් එකක්. ඒක මම උඩදි විස්තර කලානෙ.
මම අර වතුර බෝතලේ අරන් උගුරු තුන හතරක්ම ගැහුව. පැය දෙකකින් විතර වතුර නෑනෙ.
"ආ... මේ... ඔය බෑග් එකේ පොඩි පොතක් ඇති. ඒක අරන් එනවද?"
නෙත්මි හදිස්සියෙම මට කතා කරල කිව්ව.
"ඉන්න..."
මම බෑග් එකේ අඩියටම අත දාල පොඩි නෝට් බුක් එකක් වගේ එකක් ඇදල ගත්ත.
පොතේ මොනාද තියෙන්නෙ කියල බලන්නම හිතුනත් මම ඒ ආසාව මැඩගෙන නෙත්මි ගාවට ගිහින් එයාට පොත දුන්නා.
"මොනා හරි ලියන්නද?"
"ඔයාට වැඩක් නෑනෙ. මෙහෙ දෙන්න"
එයාට ලියන එකක් ලියාගන්න දීලා මම ආපහු එහා පැත්තෙ වක්කඩවල් ටික කඩන්න ගත්තා. මාමගෙන් නං බැනුම් අහන්න වෙන්නෑ. ඒ උනාට අර සෝමපාල කියන එකා ටිපර් වෙලා ආවොත් එහෙම.
එහෙම හිත හිතම මම හිමින් හිමින් ආපහු කකුලෙන් වක්කඩවල් ගගහ ගියා.
නෙත්මිත් මොනාද මුණු මුණු ගානව ලියැද්දක් උඩට වෙලා අහස බලාගෙන. කවි ලියනවද මංද.
"ඔයා සදේශ් නේද?"
නෙත්මි එක පාටම මට කතා කරල ඇහුව.
"ඔ....ඔව් ඔව්."
"ඇයි මෙහෙ ආවෙ. සුභෝද නැන්ද , ඔයා ආපු හේතුවක් කිව්වෙ නෑ මට"
"අම්මල මාස තුන හතරකට රට ගියා. මට ඕව සෙට් නැති නිසා මෙහෙට ආව. ඇයි එහෙම ඇහුවෙ"
"නිකං... දවල් බැන්නට සොරි"
"ඈහ්..."
"කන් ඇහෙන්නැද්ද?"
"ඇහෙනව ඇහෙනව. නිකං අදහගන්න බැරි උනා ඇහිච්ච දේ"
"ඒ මොකෝ"
"නෑ ඉතින් ඔයා සොරි කියයි කියල හිතුවෙ නෑ"
නෙත්මිගෙ මූණෙ හැඟීම් ප්‍රකාශනයක් පේන්නෑ හරියට. ඒ උනාට එයා ලාවට හිනාවෙනව වගේ දැක්කා.
"අර ඔයාගෙ නංගිද?"
"නැහැ. ඒ මගෙ පුංචිගෙ දුව"
"එතකොට ඔයා මෙහෙ නෙවේද?"
"නැහැ. අපේ ගෙවල් දඹුල්ලෙ."
"මෙහෙ ඉන්නෙ ඇයි ඉතින්. විභාගෙ ලියපු නිසා ජොලියට වගේ ආවද?"
"ඔයාට වැඩක් නෑ ඒකෙන්."
ඕම දෙයක් මගහරිනව කියන්නෙ බීජ මූලයේ අප්සැට් එකක් වෙලා තියෙනව. නෙත්මිගෙ අතීත කතා වස්තුව කොහෙන් හරි අහගන්න ඕනෙ ඉක්මනට. කුතුහලය රජ කරවන පුවත්නෙ ඕව.
කතාව තව පොඩ්ඩක් සසම්භාව්‍ය කරල ගන්න ඕනෙ. අස්සෙන් අස්සෙන් පොටක් පාදගන්නත් බැරි වෙන එකක් නෑ.
"ඔයාට සරා කියන්නෙ ඇයි මේ හැමෝම"
"ආහ්.. ඒක මට නිකං කියන නමක් ලේසියට"
නෙත්මි හිනාවෙවී කිව්ව.
"ඊට වඩා නෙත්මි කියන නම නං ලස්සනයි හැබැයි"
නෙත්මි ලැජ්ජාවටද මංද බිම බලාගත්ත.
ගම්පළාත මොක උනත් , කෙල්ලො ඔක්කොටම තියෙන්නෙ එකම රියැක්ශන් ටිකනෙ.
කතාවෙන් කතාවෙන් තව වක්කඩවල් ගගහ ඉන්නකොට , ඈතින් දැක්කා තව එලියක්. මාමා කලින් ගිය දිහාවෙ. මාම ආපහු එනවද කොහෙද.
මම ඒ දිහාත් බල බලම මගෙ වැඩේ කලා.
හිතුව වගේම මාම තමා. එයා ලියැද්ද දිගේ මං ගාවටම ඇවිල්ල කතා කලා.
"හරිද කොල්ලෝ. කීයක් කැඩුවද. ආ සරා ඇවිල්ල නේ. කෑම ගෙනාවද කෙල්ලෙ"
කියල , නෙත්මි දිහාට හැරුනා.
"ඔව් මාමේ..."
"එහෙනං කාල ඉම්මු. සරා... උඹ ගෙදර පලයන් දැන්. මෙහෙ ඉන්න එපා. තව ටිකකින් සමීරල එනව කිව්ව"
"ආහ්. මම යන්නම් එහෙනං"
"පොඩ්ඩව එවන්නද?. තනියම යන්න පුලුවන්නෙ?"
"අනේ මම තනියම යන්නම් මාමෙ. නැත්තං මේකව ගෙනත් දාන්න ආපහු මට එන්න වේවි"
මාමට හිනා ගියා.
ඩබලම එකතු වෙලා මට කොකා පෙන්නනවා.
නෙත්මි අතේ තිබ්බ පොතත් වහල , පැන්සලක්ද කොහෙද , කලිසම් සාක්කුවට දාගන්න ගමන් නියර දිගේ ඇවිදන් ගියා.
එක පාරක් මං දිහාත් බලල , ආපහු පැත්තවත් නොබල එයා යන්න ගියා.
"මාමෙ.. පහළ ටිකට පෝර ගැහුවද?"
"ආ නෑ බං. පෝර ගෙනල්ල නෑලු. ආණ්ඩුවෙ මහත්තය ට්‍රිප් එකක් ගිහිල්ල. ඒ යකා ගිය දිහාවකින් එනකං ඉන්න ඕනෙ පෝර මල්ල ඉල්ලගන්න"
"එතකොට වෙලා ගියෙ ඇයි මෙච්චර වෙලා"
"ආ මම ඕමි අතක් ගැහුවා අපේ කොල්ලෙක්ගෙ ගෙදරකට වෙලා. ඌත් එනව කිව්ව ටිකකින්"
අප්පට හික්කඩුවෙ යන වැඩනෙ මෙයා කරන්නෙ. මම මේ තට්ට තනියම වතුර පොදක්වත් නැතුව කකුල තැරි ගහනව. මෙයා ආතල් අරන්.
මාමත් මාත් එක්ක එකතු වෙලා දිගටම වතුර ටික පහළට අරින්න , වක්කඩවල් හැදුවා. ඒ අතරෙ මම කිව්වා , වෙන එකෙක්ගෙ කුඹුරකටත් ශොට් එක දුන්න සීන් එක. මාමට නං හිනා ගියා. සෝමපාල කියන එකා හෙන ලයින් ලු. හොඳ වැඩේලු.
අපි දෙන්න ටෝච් දෙකත් ගහන් දිගටම ඒ වැඩේ කරන අතරෙ ආපහු පාරක් ඈතින් දැක්ක කවුද සෙට් එකක් කෑගහගෙන කුඹුරට පනිනව. ටෝච් නං තිබ්බෙ නෑ ඒ කාගාවවත්. ඒ සෙටාර් එකම ආවෙ අපි හිටපු දිහාට.
මාමත් වැඩේ නවත්තල ඒ දිහා බැලුවා.
"ඒ ඇයි මාමෙ"
"ඒක තමා මාත් බැලුවෙ. සමීරල නේද ඒ එන්නෙ?"
"සමීර කිව්වෙ?"
"මම දැන් ඕමිය ගහන්න ගියේ. ඌත් එනව කිව්ව ටිකකින්. මෙච්චර වේගෙන් එන්නෙ ඇයි දන්නෑ."
සමීර කිව්වම මම හිතුවෙ මාමලගෙම වයස් වල ලොකු පොරක් වෙන්නැති කියල.
ඒ උනාට ඒ ආපු සෙට් එකෙන් දෙතුන් දෙනයි වැඩිමහල් අයට හිටියෙ. ඉස්සරහින්ම දුවන් ආපු එකා හෙන තරුණ පාටයි කියල ටෝච් එලියෙන් දැක්ක මං.
මාමත් මුලින්ම කතා කලේ ඒ ඉස්සරහින්ම ආපු ඩයල් එකට.
"ඕයි ඕයි. සමීරයො. මේ මහ රෑ හන්ඩ්‍රඩ් මීටර් දුවන්නෙ ඇයි. ගස් ටික ඉවරයි යකෝ"
"මේ බම්බුවක් කියවන්නෙපා. වැව පැත්තෙන් අලි දෙන්නෙක් පැනල. මෙහාට එනවලු. බයික් එකේ නං ආවෙ ඉක්මනට ගෙදර පලයන්. මම යනව අලිවෙඩි ටික ඉල්ලගන්න ග්‍රාමයගෙන්"
"හුටා..."
මතු සම්බන්ධයි...