ගමේ කෙල්ල
02~ දෙවන කොටස ~

මතකනෙ... නැන්දලගෙ ගෙදර එන ගමන් කුණාටුවක් කඩා පාත් උනානෙ ඇඟට. ඊට පස්සෙ නැන්දලගෙ ගෙදරට ආවට පස්සෙ ඒ කුණාටුව එහෙටත් ඇවිල්ල කුස්සියෙ දොර ගාවට වෙලා නැන්ද එක්ක කයිය ගගහ ඉන්නව.
එතැන් සිට...
ඒ රාක්ශ මූණ දැක්කම දවල් තරු පේන්න ගත්ත. නැන්දට මුකුත් තේරුන්නෑ. එයා දන්නෑනෙ මේකි මට පාරෙදි හේතුවක් නැතුව ලොවෙත් නැති බැනිල්ලක් බැන්න කියල.
"ආ සදේශ්... මේ ඉන්නේ නෙත්මි.... මට ගේ දොරේ වැඩ කරන්න උදව් කරන්නෙ මේ දරුවා තමා"
නැන්ද කුස්සියෙ සින්ක් එක ගාව මොකක්ද කර කර මට කතා කලා.
මම ඒ කෙල්ල දිහාට හැරිල , පට්ට අමාරුවෙන් හිනාවක් දැම්මා. ඒකිත් මූණ රතු කරගෙන මං දිහා බලල හිනාවක් දැම්මා. ඒකි හිනාවෙනවද දත්මිටි කනවද කියලත් හිතුන මට.
"නෙත්මි. මේ ඉන්නෙ අපේ අක්කගෙ පුතා. මම අර කලින් දවසක කිව්වෙ. මෙහෙ එනව කියල ටික කාලෙකට. ඔයාලගෙ වයසෙමයි මම හිතන්නෙ"
නැන්දා අර කෙල්ලට කතා කරලත් කිව්ව.
"හමුවීම සතුටක්.."
මගෙ කටින් ටොයින් ගාල පැන්නා වාක්‍ය කණ්ඩයක්. අර ෆිල්ම් වල වගේ. නෙත්මිත් අමාරුවෙන් වාක්‍ය කීපයක් ගැටගගහ කිව්ව ඒකට ප්‍රතිචාරයක් හැටියට. හැබැයි සාමාන්‍ය විදිහට ඉන්න උපරිම ආයාසයක් දීල ඒක කිව්වෙ.
"සු... සුභෝදා නැන්දා කිව්වා ඔයා එනවයි කියල. හමුවීම සතුටක්..."
මම කලින්ම කිව්වනෙ. මේකිගෙ කඳ සුපිරී කියල. කඳ බලන්න උන්නෑනෙ. අතු කඩාවැටෙන්න ගත්තනෙ හම්බුනු පළවෙනි මොහොතෙ ඉඳන්ම. දැන් තමා කඳ පේන්නෙ. නිකං ඇම්බැක්කෙට ට්‍රාන්ස්පෝට් කරන්න පටවන්න කපපු දේවදාර කඳක් වගේ. අරටුව ඒම හොඳට ඇති.
"නෙත්මි. එහෙනං ඔයා හොදි ටික හදනවද?. මම ගිහින් එන්නං. මේ... මෙයා ආස මොනා හරි තිබ්බොත් හදල දෙන්න"
කියාගෙන නැන්දා මාවත් පෙන්නං ගේ ඇතුලට යන්න ගියා එකපාටම.
"හා සුභෝද නැන්දේ... පරිස්සමට ගිහින් එන්න..."
මෙතන මම නොදන්න ප්‍රොටොකෝල් එකක් ක්‍රියාත්මක වෙනව කියල අවබෝධ උන නිසා මමත් නැන්දට කතා කලා.
"නැන්දේ ඔයා කොහේ හරි යනවද?"
නැන්ද එයාලගෙ කාමරෙ ඉඳන්ම ආපහු කතා කලා මට.
"ඔව් සදේශ්. බඩු ටිකක් ගන්න ටවුන් යනව මං. ඔයාට ඕනෙ මොනා හරි තියෙනවද?"
"ආ නෑ නෑ ඒම මුකුත් ඕන්නෑ..."
"හරී... පස්සෙ ගමු ඕන්නං මොනා හරි. ඔය නෙත්මිට කියල , ආස කරන ජාතියක් තියෙනව නං හදාගන්න... මම එන්න ටිකක් පරක්කු වෙයි"
නෙත්මිට කියල ආස කරන ජාතියක් හදාගන්න? වහ කන්න වෙන්නෙ වහ.
"හ... හරි නැන්දේ..."
නැන්ද කුස්සියෙන් ගිය ගමන්ම වගේ අර නෙත්මි කියන කෙල්ල ඇවිල්ල ලූණු සුද්ද කරන්න ගත්ත. මූණවත් ඉස්සුවෙ නෑ.
නැන්ද බත් එක විතරයි හදල ගිහින් තියෙන්නෙ.
ටිකකින් නැන්දා , ස්කූටරේක නැගල දූවිලි කාගෙන එලෝගෙන ගියා. මමත් ගේ ඉස්සරහට ඇවිල්ල බලන් හිටිය නැන්ද යන දිහා. නැන්දත් ගියාට පස්සෙ මමයි අර යක්ස කෙල්ලයි විතරක් ගෙයි තනි උනා.
ඉස්සර ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම , කෙල්ලො ටෝක් කිරීම සම්බන්ධව මම තරන් පොරක් හිටියෙ නෑ අපේ පංති වල. ඒ නිසා අපේ උන්ගෙ අසහාය වීරයා වගේ මම හිටියෙ. මට මහ ලොකු පෙනුමක් නැති උනත් , කෙල්ලො ටෝක් කරන සාස්තරේ මම පුරාණ ග්‍රීක ශිෂ්ඨාචාරය සම්බන්ධව, ගේ පිටිපස්සෙ කරපු කැණීම් වලින් හොයාගෙන තිබ්බෙ.
'අනුරාධපුරේ කෙල්ලොන්ට වෙනම සිලබස් එකක්ද දන්නෑ' , කියල හිතන් මං සේපට ආපහු කුස්සිය දිහාට ආව. මාස තුනක් විතර මෙහෙ ඉන්න එකේ , ළඟම කෙල්ල හොඳම කෙල්ල න්‍යාය භාවිත කරල මේකිටම පොඩ්ඩක් ටෝක දාල ගන්නෝනෙ. ආදරයක් ඇති වෙලා පතාගෙන ආපු ප්‍රේම වංශකතාවක් ලියන්න නෙවේ. ආතල් එකට.
සාමාන්‍යයෙන් බං හුඟක් කොල්ලො , මමත් ඇතුලුව , කෙල්ලො ටෝක් කරන්නෙ සිරාවටම ආසාවකට මිසක් ආදරේකට නෙවේ. හැබැයි කෙල්ලව ටෝක් උනාට පස්සෙ සමහරවෙලාවට ආදරයක් ඇති වෙනව. සමහරවෙලාවට එහෙම වෙන්නෑ. ඒක තීරණය වෙන්නෙ ඉතින් කොල්ලගෙ තියෙන අසහනයයි , කෙල්ලගෙන් ඒ සම්බන්ධෙට හම්බෙන සපෝට් එකයි මත තමා.
මෙතනත් මම මේ ආතල් එකට ටෝක් කරන්න හිතුව මිසක් , සත්‍ය ප්‍රේම බෘංගරාජ සීන් එකේ නෙවේ ඉන්නෙ ඈ.
මම ආපහු කුස්සියට එනකොට ඒ කෙල්ල ලූණු සුද්ද කරල ඉවර වෙලා , එලවලු කපනව.
මෙහෙ ගෑස් එකෙන් උයනව අඩුයි. දර ලිපම තමා එකම ඔප්ශන් එක හැටියට තියන් ඉන්නෙ.
"මේ..... මොනාද හදන්නෙ?"
කතාවට එන්ටර් වෙන්න කියල හිතන් මමම ආරම්භය ගත්ත.
"පරිප්පු හොද්දකුයි , අල බැදුමකුයි , මෑකරල් මාලුවකුයි"
"ආ... හරි... මේ..... සෝයා මීට් එහෙම තියේද මෙහෙ?"
"ඔව්"
"සෝයා පොඩ්ඩක් හදන්නැද්ද... මේ... නැන්ද කිව්ව ඔයාට කියල හදාගන්න කියල ඕන්නං.. ඔයාටත් ඇහුන නේද.. හෙ හෙ.."
"ඕන්නං හදාගන්න එකයි ඇත්තෙ"
දුන්නා මගෙ කණ හරහා උණ්ඩුකපුච්ඡයටම ශොට් එක....
මේකිගෙ ලයින් බලහංකො. හිතන් ඇත්තෙ නිකං ඩයනා කුමාරිය කියලද කොහෙද.
"ඔයාගෙ නම නෙත්මි කිව්ව නේ. මගෙ වයසෙමද? මට නං 20යි"
ඒ ගමන නෙත්මි , අත ගහල දාල මගෙ දිහා හැරුනා මූණත් පපඩම් කරගෙන.
"මේ මහත්තය. මට තමුන් එක්ක ඇයි හොදැයිකමක් ඇති කරගන්න කිසිම උවමනාවක් නෑ. මට පාඩුවෙ උයාගන්න දීල යනවද මෙතනින්"
"අමෝ අමෝ වනිතා සම්මේලනේ... හා හා... මමත් මේ මනුස්සකමට කතා කලේ. ඔය මහත්තය මහත්තය ගාන්න ඕන්නෑ. මම යන්නං"
"හා යනව."
තවත් ලයින් බලන්න බැරි කමටම මම සාලෙට ආව.
යකෝ මුන්ගෙ ලයින්. හරියට නිකං 2022 අවුරුද්දෙ දඹානට ගිහින් වැදි කෙල්ලෙක්ගෙන් , "කැකුලි උදේට ආහාර කොටාබාලද ඉන්නෙ ඇහුවම" , ඒකිට මල පැනල , "ewww ගොඩයෝ... breakfast ගත්තද අහපං... nonsense..." කිව්ව වගේ වැඩක් උනේ.
මාර මගුලක් මේක.
නෙත්මිට හිතින් බැන බැන මම ඇඳට වැටුනා. අපේ ගෙදර වගේ ඩබල් ලේයර් මෙට්ටයක් නං නෙවේ. ඈවරයි දෑවරයි කියල , දඩ ලෑලි දාපු කොහු මෙට්ටයක්. මොනා උනත් කූල් එකේ ඉඳතෑකි.
ගමන් මහන්සියටම , පොඩ්ඩකින් මගෙ ඇස් පියවුනා.
දුරක් ගෙවාගෙන... දුක සැප අහගෙන....
කෝච්චියෙන් එන.... ලල ලල ලා ලල...
ආත්ම ගණනක පෙමක් පතාගෙන....
අලිමංකඩ මම ඉන්නම් වන වන...
ලස්සන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක මම මල් වත්තක් ගාවින් යන කෝච්චි පෙට්ටියක් උඩ නටනව. අර සල්සා නටන කිට් එකක් ගහන් ඉන්නෙ.
දැන් හරිනං සීන් එකට කෙල්ලෙකුත් එන්ටර් වෙන්න ඕනෙ ඇන්ජින් පෙට්ටිය ගාවින් හරි.
හිතුව වගේම මල් මල් ගවුමක් හුළඟට වැනෙනව දැක්කා....
ඒත්....
ඒ හිටියෙ නිකංම කෙල්ලෙක් නෙවේ....
පත සාස්පානකුත් අමෝරගෙන ඇන්ජින් පෙට්ටියෙ උඩ ඉඳන් මම ඉන්න පෙට්ටිය දිහාට දුවන් එන්නෙ වෙන කවුරුත් නෙවේ.... අර නෙත්මි කියන රාක්ශ කෙල්ල.....
"ඌයිහ්හ්හ්හ්හ්හ්....."
භයානක් හීනෙන් මිදිල මම ගැස්සිලා ඇහැරුනේ කවුරුහරි කෑගහනව ඇහුනු සද්දෙකට.
සැනික ඇඳෙන් බැහැල කුස්සියට ගියා. කුස්සියෙ කවුරුත් නෑ! කෝල් ඔෆ් ඩියුටි කේස් එකක්වත්ද?
එහෙම්ම කුස්සියෙ දොරෙන් එලියට ඔලුව දාල බැලුව මොකක්ද ඒ ඇහුන සද්දෙ කියල. නෙත්මි ඉන්නව , ගෙයි පිටිපස්සෙ වත්තෙ ටැප් එකක් ගාව ලොකු මුට්ටිටකුත් තියාගෙන පාත් වෙලා. එයා කකුලෙ යටිපතුල අල්ල අල්ල ඉන්නව වගේ මම නං දැක්කෙ.
"මොකෝ උනේ..?"
මගෙ සද්දෙ ඇහිල , නෙත්මි මං දිහා බලල , පුප්පල අහක බලාගත්ත.
අර පොඩි එකීව ගහෙන් බස්සන්නැතුව මගෙ පාඩුවෙ ආව නං මේ රෙස්පෙක්ට් මුකුත් නෑනෙ. එහෙනං මෙලහකට දීග කනව මේකි එක්ක.
"මේ.... ලොකු නෝනා... අර කෑගැහුවෙ ඔයාද...?"
"තමුන්ට වැඩක් නෑනෙ ඒක"
කියාගෙන නෙත්මි කෙලින් වෙලා ඇවිදන් එන්න හැදුව.
ඒ උනාට ඒකි කොර ගහනව.
නෙත්මිගෙ කකුල යට බැලුවම දැක්කෙ මං...
හෝ ගාල ලේ එනව යටිපතුලෙන්.
"ඒ.... මේ.... ඔ... ඔය ලේ එනවා... මොකක් හරි කරන්න... ඉක්මනට"
"අනේ මේ.. මම බලාගන්නං මං ගැන"
"මගුලක් කතා කරන්නැතුව , කකුල පොඩ්ඩක් හෝදගෙන ඕකට බේත් ටිකක් දාගන්නව. මොකක්ද උනේ?"
"මම මොකද ඔයාට කියන්නෙ. මට පුලුවන් මං ගැන බලාගන්න!"
ආසියාවේ යකඩ ගැහැණිය වගේ කියෝ කියෝ ආවට ඇවිදගන්නත් බෑ කොර ගහනව. නෙත්මි අමාරුවෙන් කුස්සියෙ පිලිකන්නට ආපු ගමන් මම පටන් ගත්ත මගෙ ක්‍රියාදාමය.
"කෝ ඔතනින් වාඩි වෙනව"
කියාගෙන මම එයාගෙ උරහිස් දෙකෙන් අල්ලල පහලට තද කරා.
එයත් වාරු නැතුව එතනම බිම පිලිකන්නෙ පඩිය උඩින් ඉන්දවුනා.
"ඒයි මොනාද කරන්නෙ. තමුසෙගෙ ආසාවල් වලට අපි පලි නෑ මිනිහෝ... අතාරිනවා..."
"බොරුවට කෑ නොගහ ඉන්න පොඩ්ඩක්. කකුල දික් කරන්න ඉස්සරහට"
"යනවා යන්න මම කෑගහන්න කලින්.. ඔහේට බෑ මාව මෙහෙ...."
ඒකි වාක්‍ය කියල ඉවර වෙන්න කලින් මම එයාගෙ කකුලෙන් අල්ල ඉස්සරහට ඇදල කකුල කෙලින් කරල බැලුව යටි පතුල දිහා.
පළවෙනි පාරට කෙල්ලෙක්ගෙ කකුලක් ඇල්ලුවෙ.
(ඔන්ලි ෆෑන්ස් ෆුට් පික්කො ටිකට උපහාර පිණිස මෙම සිදුවීම කතාවට එක් කරන ලදී)
"මාව අතාරිනවා...... අතාරිනවා කිව්වම..."
ඕනෙ තරන් කෑ ගහපු දෙන් කියල මම හොඳට බැලුව ලේ එන තැන දිහා.
මොකක්ද මංද පෙත්තක් වගේ එකක් ඇනිල තියෙන්නෙ. තාම තියෙනව ඒක.
මම හිමීට නියපොතු වලින් ඒක අල්ලල බුස් ගාල ඇද්දා එලියට. ඒ ගමන කලින්ටත් වඩා ලේ එන්න ගත්ත.....
(කරුණාකර ශරීරයේ ඇනෙන දේවල් ඉහත සිදුවීමේ වගේ නිසි පුහුණුවක් නැතුව එලියට අදින්න එපා. වෛද්‍ය උපකාර කරා යොමු වෙන්න. මොකද ඒ එලියට අදින වෙලාවෙත් අවට අවයව වලට හානි වෙන්න පුලුවන්)
මම නෙත්මිගෙ මූණ දිහා බැලුවෙ කෑ ගහන එක නැවතුනේ ඇයි බලන්න.
එයා අතකින් කට වහන් ඇස් පොඩි කරන් මං දිහා බලන් ඉන්නව. හරියට නිකං පළමු වතාවට යහන් ගත උනා වගේ. ඇහෙන් කඳුලුත් එනව. මම අර ඇනිච්ච එක අදිනකොට රිදෙන්නැති. හොඳ වැඩේ.
"වතුර කොහෙද තියෙන්නෙ?. මේක හෝදන්න ඕනෙ"
"කු....සි..යෙ"
"කොහේ...?"
මොකක්ද මංද කෙඳිරුව ඇහුනෙත් නෑ.
"කුස්සියෙ... බාල්දියක"
දැන් උඹලට හිතෙයි මම වතුර කොහෙද ඇහුවෙ පිස්සුවටද කියල. මෙහෙ ටැප් වතුර එන්නෙ ලොකු ලිඳකින්. ඒක එච්චර පිරිසිදු නෑ. ඉතින් බොන වතුර ගන්නෙ වෙනම උල්පතකින්. ඒකයි සීන් එක.
නෙත්මි අරම කිව්වට පස්සෙ මම නැගිටල ගිහින් කුස්සියෙ බැලුව. කිව්ව වගේම ප්ලාස්ටික් බාල්දියක වතුර එකක් පුරවල තියෙනව. මම පොඩි ජෝගුවකට වතුර එකක් පුරවන් ආපහු ඇවිල්ල , නෙත්මිගෙ කකුල් දෙක ගාව පාත් උනා.
නෙත්මිත් සට පට ගාල ගවුම දණහිසෙන් පහළට දාගත්ත.
ඒ කරල එයාගෙ කකුලක් අරන් උස්සල වතුර හිමීට වත් කලා තුවාලෙට. දැන් නං නෙත්මිගෙන් මහ ලොකු විරෝධයක් නෑ. තාම ඔරවන් අහක බලන් ඉන්නෙ ඒ උනාට.
"ගාන්න බේතක් මොනා හරි තියේද?"
"මම දන්නෑ"
"හම්ම්. පොඩ්ඩක් ඉන්න එහෙනං"
මම එතනින් නැගිටල ජෝගුවත් කුස්සියෙන් තියාගෙන කාමරේට ගියා. ගිහිල්ල මගෙ බෑග් එකෙන් ප්ලාස්ටරයක් අරන් ආපහු ආව.
ප්ලාස්ටරේ කවරෙ කඩල , ඒක අරන් තුවාල උන තැනට තියල අලවල මම නැගිට්ටෙ නිකං , පැය 107ක පතරංග ශල්‍යකර්මයක් කරල , ලෙඩාව බේරගත්ත ඩොකෙක් වගේ ගැම්මෙන්.
"ස්....තියි..."
නෙත්මි මොනාද මුනු මුනු ගානව වාඩි වෙලා ඉඳන්ම.
"මොකක්?"
"ස්තූතියි කියල කිව්වෙ. කන් ඇහෙන්නැද්ද?"
"ඇහෙනව ඇහෙනව. Welcome. සෙරෙප්පු දෙකක් දාන් ඇවිදිනව පොඩ්ඩක් වත්තෙ. මං ගාව තව ප්ලාස්ටර් 3යි තියෙන්නෙ"
"අනේ කියනකං හිටියෙ"
කියාගෙන මේකි ඒ ගමන නැගිටල , කොර ගගහම කුස්සිය ඇතුලට ගියා මුට්ටියත් උස්සගෙන.
මමත් කුස්සිය ඇතුලට ඇවිල්ල , එතන තිබ්බ වැල් පුටුවකින් වාඩි උනා වටපිට බලල.
තත්වය පොඩ්ඩක් යහපත් අතට පත් උන වෙලාවෙ , ටෝක දාල බලන්න ඕනෙ. වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඒම අර හයිවේ ගිය පිස්සගෙයි ගෑණිගෙයි කතාව වගේ වැඩක් වෙන්නෙ....
ආ.... උඹල දන්නෑ නේ ඒ කතාව. හිටාංකො කියන්න.
ඔන්න මිනිහෙක් ගමනක් ගිහින් එනගමන් ඉන්නකොට , ඒ මිනිහට , නෝනගෙන් කෝල් එකක් එනව.
"හෙලෝ... මහත්තය දැන් කොහෙද ඉන්නේ.."
"තාම හයි වේ (highway) එකේ එන ගමන්. ඇයි හදිස්සියෙම කෝල් කලේ?"
"ආ නෑ නෑ... මේ නිව්ස් වලට පෙන්නුව කවුද මංද පිස්සු මිනිහෙක් හයි වේ එකේ wrong side කාර් එකක් එලවන් යනව කියල. පරිස්සමට හරිද.?"
"ආහ්.... මාත් මේ කියන්න හිටියෙ. මටත් ඒ වගේ පිස්සො පනහක් හැටක් හම්බුනා දැන්. උන් ඔක්කොම wrong side යන්නෙ. මේ මිනිස්සුන්ට මොනා වෙලාද මංද"
"ආ.... ඒක තමයි මාත් බැලු..... මො... මොකක්?"
සීන් එක මීටර්නෙ... මාරාන්තික පාරක පිස්සෙක් වගේ මේ යන්නෙ..
වා නං වා... පෝ නං පෝ... කම්මග්ගෝ චිකාගෝ කියල හිතන් මම නෙත්මිට ටෝක දාන්න ගත්ත ආපහු.
"මේ..... ඔයාටත් 20ද දැන්?"
"හම්ම්"
"ඒලෙවල් ලිව්වද?"
"ඔව්"
"මේ... සෝයා මීට් ටිකක්..."
"හදන්නං හදන්නං. පොඩ්ඩක් කටවහන් ඉන්නවද?"
"හරි හරි..."
තව ඩිංගෙන් ට්‍රැක පනිනව. නෙත්මි මට පිටුපාල හෝ ගාල වැඩ. එලවලු කපනකොට ඒම ඉතින් ඇඟම ඒ තාලෙට හෙල්ලෙනවනෙ. ගැම්මක් තමා.
ඇස් කොණෙන් ඒ දසුනත් බල බල මම වාඩි වෙලා හිටපු පුටුවට කොට කොට හිටිය ටිකක් වෙලා.
නැන්ද බය සැක නැතුව මාව මේකි එක්ක දාල ගියේ මොන හිතකින්ද මංද. සමහරවිට මේකිගෙ යක්ශ ගති නැන්දත් දන්නව ඇති. ඒ උනාට කියවන තරමට වැඩ නං නෑ කියල මට මීටර් උනා කලින්. ඒත් කවුද දන්නෙ සැඟවුන කුසලතා තියෙනවද කියල.
"කොහොමද හදන්නෙ?"
සිහිකල්පනා ලෝකෙට ආපහු ආවෙ නෙත්මිගෙ කටහඬ ඇහිල.
එයා පිහියකුත් උලුක් කරන් මගෙ දිහා බලන් ඉන්නව.
"එ... ඒ කිව්වෙ?"
"සෝයා මීට් එක කොහොමද හදන්නෙ?"
සෝයා මීට් එහෙම එක එක විදිහටත් හදතෑකිද? කන්පියුස් උනා.
"එහෙම එක එක විධිත් තියෙනවද? මම හිතුවෙ එක විදිහක් විතරයි තියෙන්නෙ කියල"
"අනේ මේ... මම ඇහුවෙ කිරි දාල හොද්ද වගේ හදන්නද නැත්තං තෙල් දාල ඩෙවල් එක වගේ හදන්නද කියල"
"ආ ඩෙවල් එක වගේ හදන්න. ඒම රසයිද?"
"මම දන්නෑ."
"හා හා ඒම හදන්න අවුලක් නෑ"
"හා... මහ ලොකු ටවුන් එකේ මිනිස්සු... ඒක දන්නෑ..."
හෙ හෙ... අපි ඉන්නෙ ටවුන් එකේ මිසක් කුස්සියෙ නෙවේනෙ. ඉතින් අපි කෝමද ඕව දන්නෙ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඔහේ ඉන්න එකයි තියෙන්නෙ.
එතනම ඉඳන් ඉඳල මටත් කම්මැලි හිතුන. ඒ නිසා ලකුණු පොඩ්ඩක් දාගන්න කියල හිතන් මම දර ලිප ගාවට ගිහින් නෙත්මිට කතා කලා.
"මේ... ලිප නිවෙන්නෙ එන්නෙ. පිඹින්නද?"
එයා සින්ක් එක ගාව ඉඳන් මං දිහා බලල කින්ඩි හිනාවක් දාල,
"ලොකු මහත්තයට ඒවත් පුලුවන්ද?.. ඕන්නං පිඹින්න ඉතින්. පුච්චගන්න ඒම එපා. මට මෙතන පත්තු බඳින්න බෑ"
කියල ආපහු කැරට් ගෙඩියක් සුද්ද කරන්න ගත්ත.
සුපර් මෑන් වෙන්න නං මේක තමා වෙලාව.
මම ගට් එක අරන් වැඩ දාල කිඩ පෙන්නල 'බුරූස්.....' ගාල පිම්බා පිඹිල්ලක්..... ආයෙ එක පාරයි....
ලිප ගාව එක පාරටම පේන්නැතුව ගියා... නිකං මීදුම වගේ. හැබැයි අලු පාටයි.
ලිපේ තිබ්බ අලු ඔක්කොම මම පිඹපු පාරට විසිරිලා!
"අනේ දෙයියනේ..... මේ මොන අපරාධයක්ද මේ කලේ...."
මට ඇහුන සින්ක් එක දිහායින් නෙත්මි කෑගනව. මම කෝමත් ඕක බලාපොරොත්තුවෙන් හිටපු නිසා බය උන්නෑ.
"අයින් වෙනවා... එහාට වෙනවා... තමුසෙල ටවුන් වලට වෙලා කරන්න දන්නෙ වෙන කාට හරි ගින්දරක් දෙන එක විතරයි. එහාට වෙනවා... මහ ලොකු මහත්තුරු... කෑවා ලිප..."
හෝ ගාල බැනගෙන බැනගෙන බැනගෙන ගියා නිකං වෙඩි වරුසා ඇදහැලෙනව වගේ.
මේකිට මේ මාත් එක්ක තියෙන මලක් නෙවේ , ටවුන් එක්ක තියෙන මලක්ද කොහෙද. ටවුන් වලටම බනින්නෙ ආපු වෙලාවෙ ඉඳන්.
"කරුණාකරල මට පාඩුවෙ මේක කරගන්න දීල යනවද තොරොංචි වෙලා"
නෙත්මි මං දිහා බලන් මූණ ඇඹරැල්ලා කරන් කිව්ව.
"හා හා ඉතින්. උදව්වක් කරන්න හැදුවෙ. සොරි. මම යන්නං"
කියාගෙන මම සාලෙට ඇවිත් මගෙ කාමරේට ආව.
ඒකිට මලපැනපු එකත් සාධාරණයි ඉතින්. ඉස්සර අපේ අම්මා දර ලිපේ උයනකොටත් , ලිපයි අම්මයි අතරෙ පට්ට අන්තර් මානසික බැඳීමක් තියෙනව වගේ. ලිප හෙන ආදරෙන් බලාගන්නෙ. හොඳ පිරිසිදුවට තියාගෙන එහෙමනෙ ඉන්නෙ. උඹලගෙ ගෙවල් වලත් දර ලිප් තියෙනව නං දන්නව ඇති සිටුවේශන් එක.
නෙත්මි ගැන ලාවට මනෝ පාරකුත් ගහගෙනම මම ආපහු ඇඳට වැටුන. කලින් නිදාගන්න හම්බුන්නෑනෙ. අරකි මොකක්ද ඇනගෙන හූ කිව්වනෙ.
නෙත්මිට ටවුන් එක්ක මොකක් උනත් ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනව වගේ. පස්සෙ වෙලාවක කදේ දාන්න ඕනෙ.
______________
"මේ..... කන්න පුලුවන්..."
කවුද මංද ලාවට කොඳුරනව ඇහිල මම එකපාටම ඇඳ උඩ ඉන්දවුනා. ඒ ඩිංගට මට ඇහැ පියවිලා.
නෙත්මි , පොල්කටු හැන්දකුත් අතේ තියන් ඇඳ ගාවට වෙලා ඉන්නව.
"කන්න පුලුවන්. ඕන්නං එන්න"
කියාගෙන එයා කාමරෙන් එලියට ගියා.
"ආ... හරි හරි කමු කමු..."
කියල මාත් ඒ පස්සෙන්ම වැටිල වැනි වැනි කුස්සියට ගියා.
හම්මටසිරි වෙනව.
සෝයා ඩෙවල් එකක් දාල දැමිල්ලක්.... යකෝ කඩවල් වලවත් එහෙම එකක් දැකල නෑ මං. පෙරේත කමටයි තෙහෙට්ටුව නිසා ආපු බඩගින්නයි දෙකම නිසා මම කොත ගහල බත් එකක් බෙදාගත්ත. නෙත්මිත් කුස්සියෙ දොර ගාවට හේත්තු වෙලා මං දිහා බලන් හිටිය.
කෑම හම්බුනාම කෙල්ලොන්ව මතක නෑනෙ.
"හොඳයිද?"
මම කනගමන් ඉන්නකොට නෙත්මි මගෙන් ඇහුව.
"ආ ඔව් ඔව්. සුපිරී ඈ. කොහෙන්ද මෙහෙම හදන්න පුරුදු උනේ... කඩේකවත් දැකල නෑ මේම ඩෙවල් එකක් නං. ගෙවල් මාරු කරන්න හිතෙනව මට දැන්. මේවම කකා ඉඳතෑකිනෙ..."
මම අහපු එකේ මොකක් හරි වැරදි දෙයක් කියවුනාද මංද නෙත්මිගෙ මූණ ආපහු අඳුරු උනා.
"ඔහේට වැඩක් නෑනෙ ඒක. කනවනං කන්න"
"ආ හරි හරි. මේ..."
"ඇයි"
"මම ඇත්තටම අර නංගිට ඒම මුකුත් කලේ නෑ හරිද. එයා ගහෙන් බැහැගන්න බැරුව හිටියෙ. ඒකයි මම එයාට උදව් කලේ. වැරදි හිතකින් මුකුත් කලේ නෑ"
"හම්ම්."
"ඒ ඔයාගෙ නංගිද?"
"නෑ"
"එහෙනං?"
"ඒකෙන් වැඩක් නෑ ඔයාට. ඕක කන්න දැන්. මම යනව මිදුල අතුගාන්න."
"හරෙ... ලොකු නෝනා කියන එකක් තමා"
නෙත්මි මූණෙ ලාවට හිනාවකුත් දාගෙන කුස්සියෙන් එලියට ගියා.
මමත් කවදාවත් නැතුව මේකිට නිදහසට කාරණා කියනව. දැක්ක වෙලේම පොඩි ආසාවක් ආවනෙ. සමහරවිට ඒ නිසා වෙන්නැති...
මතු සම්බන්ධයි...