ගමේ කෙල්ල
10~ දසවන කොටස ~

මම ගමට ඇවිල්ල සති දෙකකුත් ගතවෙලා ගියා දන්නෙම නැතුව...
එතැන් සිට...
මම ඒ ගෙවුන දවස් කීපය ඇතුලත, ගොයම සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ව අඳුනගත්ත. සමීරය තමා ඒ විදිහට ගොඩක්ම මාත් එක්ක සෙට් උනේ. මාමල උගෙ හොර හේනට කේස් ඇද්දත්, මිනිහ සවුත්තු එකෙක් නොවන නිසා මට මුකුත් කිව්වෙ නෑ.
අනිත් පැත්තෙන්, කලින් දවසක මාම මට කියපු, නෙත්මි සම්බන්ධ කතා කීපය නිසා මට නෙත්මි ගැන ලොකු කැක්කුමක් ඇති උනා. "දුක අහන අයියා" සංකල්පයටත් එහා ගිය සිරාම කැක්කුමක්. පොඩි පොඩි කේස් ඇති උනත්, නෙත්මියි මමයි යාලුවො විදිහට මේ ගෙවිල ගිය ටික දවසට ගොඩක්ම එකිනෙකාට ළං උනේ, මම එයා ගැන හොඳ අවබෝධෙකින් හිටපු නිසා කියලයි මට නං හිතුනෙ. ඒ වගේම මම නෙත්මිගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් උපරිමේ කිරීමත් ඒකට හේතුවක් උනා.
නෙත්මිත් මට පුප්පල සැර කලාට, එයා හැමදාම වගේ දවල්ට මම කන්න කැමති ඒව හදල දුන්නා. ඒ වගේම මම ගමේ යන එන තැන් ගැන හොයල නිතරම වගේ මට අවවාද අනුශාසනාත් දුන්නා. ඒව මට වදයක් වගේ දැනුනෙ නෑ. මට ඒව දැනුනෙ එයා මම ගැන හොයල බලන නිසා කියන දේවල් වගේ.
හංසිව ටෝක් කරන එකටත් මුල ඉඳලම පාර වැහුනෙ වෙන මුකුත් නිසා නෙවෙයි. එයා දිගින් දිගටම මාව එයාගෙ රූපලාවන්‍යය කටයුතු වලට යොදාගන්න "ටෙස්ට් සබ්ජෙක්ට්" හැටියට විතරක්ම සලකල වැඩ කරපු නිසයි. එයාගෙ එක්ස්පෙරිමන්ට් වලට සතියට දවස් දෙක ගානෙ මාව එහෙ ගෙන්නගත්ත.
ටෝක් කලා හෝ නොකල හෝ කෙල්ලෙක් සියුම් අතකින් මගෙ මූණ අල්ලනකොට දැනෙන හැඟීම විඳගන්න ඕනෙ නිසා මාත් උගුඩුව වගේ කියන පමාවට ඒකට ගියා.
කුඹුරු යායෙත් ගොයම පැහිල, ගොයම් කපන කාලය ළං වෙමින් තිබ්බේ....
------------------
මෙහෙ අස්වැන්න නෙලන්න කලින්, අදාළ කන්නෙ වගා කරපු හැම පවුලම එකතු වෙලා, ගමේම සහභාගිත්වයෙන් පන්සලට ලොකු දානයක් දීල රෑට බණක් කියවනවා. ඒ පුරුද්ද නං සංස්කෘතියටත් වඩා විශ්වාසයන් නිසා කරන දෙයක් කියල මට හිතුනෙ. ඉතින් අනිත් අය වගේම මාමලත්, ඒ දානෙට එක්කහු උනා මාවත් අඬගහගෙන.
"පොඩ්ඩෝ... මල් ටික ගත්තා නේ..."
මාම 'යකා' ගහපු සරමකුත් ඇඳන් ගෙයි ඉස්සරහ පුටුවක වාඩි වෙලා මගෙන් ඇහුව.
"මල් ටික නෙත්මි ගත්තා මාමෙ... දැන්ම යන්නෑනෙ..? දානෙ තියෙන්නෙ 11ට නේ.."
"ඔව් ඔව්.. ඒ උනාට එහෙ ගිහින් වැඩ වලට පොඩ්ඩක් උදව් උනාම අපිට හොඳානෙ... කෙල්ලේ... ලෑස්ති නං යමූ..."
මාමා, නැන්දට කතා කරපු පාර, නැන්දයි නෙත්මි දෙන්නම එකම වගේ සුදු ඇඳුම් ඇඳන් එලියට ආව. නෙත්මිගෙ අතේ සෑහෙන මලු මලු තොගයක් තිබ්බා. ව්‍යෑංජන වෙන්නැති. නෙත්මිගෙ පුංචි දානෙට එන්නෑ කියපු නිසයි එයා අපි එක්කම යන්නෙ.
"අපි හරි අයියේ... යමු..."
නැන්දා දොරත් වහල දාල මාමට කිව්ව නිසා, මාමත් නැගිටල පෙරමග ගත්තා.
මම නෙත්මි ගාවට සෙට් වෙලා එයා උස්සන් හිටපු මලු වලින් ටිකක් අතට ගත්ත.
මාමලගෙ ගෙදර තියෙන්නෙ 'පන්සල පාරෙ' උනාට පන්සල තියෙන්නෙ මාමලගෙ ගෙවල් පාරෙ නෙවෙයි. පන්සල තියෙන්නෙ ටිකක් එහයින් තිබ්බ පාරක, පයින් යන දුරක.
ටිකකින් අපි හතරදෙනාම පන්සලට එනකොට එතන මහ සෙනගක් හිටිය. දායකත්වය කොහොම උනත්, මුලු ගමම එකතු වෙන වැඩක්නෙ මේක.
"වජිර අයියේ... පොඩ්ඩක් මේකට එන්නකෝ..."
"වජිර මල්ලි.... මෙතන වැඩේ පොඩ්ඩක් බලන්න...."
"වජිරයො... අර ටික ගේන්න කිව්ව නේද..?"
මාම පන්සලට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳල, එක එකා ඇවිල්ල මාමට කතා කරනව. මාමත් ගම්මුලාදෑනියා වගේ, එහෙට මෙහෙට ඇවිද ඇවිද, ෆෝන් එකෙන් උපදෙස් දිදී වැඩට බැස්සා.
ඒ අස්සෙ නෙත්මි පිහියකුත් දික් කරන් මගෙ ඉස්සරහට ඇවිත් කතා කලා.
"වැඩක් නැත්තං පළතුරු කපන්න උදව් වෙන්න. එතන කට්ටිය නෑ."
"ඈහ්... පිහියෙන්ද කපන්නෙ?"
"නෑ කැටපෝලෙකින්. මෝඩ ප්‍රශ්න අහන්න එපා. වෙන වැඩක් නෑනෙ දැන්. එන්න..."
"වෙන කවුරුත් නැද්ද ඉතින්..."
"මෙහෙ එනවා..."
මම කැමති උනා නැතා හෝ, නෙත්මි පිහිය උරුක් කර කර කියපු විදිහට, "මට බෑ" කියන එක ඔප්ශන් එකක් නෙවෙයි කියල තේරුනා මට. ඒ නිසාම මම බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන්, නෙත්මිත් එක්ක පළතුරු කපන තැනට ගියා. පන්සලේ දානෙ පිළියෙල කරන තැනට එහායින් තිබ්බ පොඩි කාමරේක පළතුරු තියල තිබ්බෙ.
දානෙ පිළියෙල කරන තැනත්, මිනිස්සු වේගෙන් ඇවිද ඇවිද ඉන්නව වැඩ කරනව වගේ. ඒත් කෙරෙන වැඩක් නෑ.
(Pro tip :- පිරිසක් එකතු වෙලා කරන වැඩකදි, ඔයාට වැඩ කරන්න කම්මැලි නං, වැඩකට සම්බන්ධ මොකක් හරි අතේ තියන් වේගෙන් ඇවිදින්න අනිත් අයට පේන්න. ඔයා වැඩක් නොකළා උනත්, ඔයා ඇවිදිනව දැකපු මිනිස්සු හිතන්නෙ ඔයා බැහැලම වැඩ කලා කියල)
"ආ මේ අන්නාසි ගෙඩි ටික සුද්ද කරන්න. පොඩි කෑලි වලට කපන්න එපා. ලොකුවට කපන්න..."
නෙත්මි අන්නාසි ගෙඩි හය හතක් දාපු බේසමකුයි, පිහියකුයි මට දික් කරල කිව්වා. එයත් මට පිටිපස්සෙ මේසෙක තියාගෙන, මට පිටුපාල අඹ ගෙඩි ටිකක් සුද්ද කරන්න ගත්ත ඊට පස්සෙ.
මේ සති දෙකට මම පිහි ශිල්පය, විට ශිල්පය , ගොවිතැන් ශිල්පය වගේම නෙත්මිව සන්සුන් එකේ තියාගන්න ශිල්පයත් ප්‍රගුණ කරල තිබ්බෙ.
ඒ නිසා අන්නාසි සුද්ද කරන එක මහා දෙයක් නෙවෙයි.
මම අන්නාසි ගෙඩියකුත් අරන් කෙලින් කරල කපන්න හැදුව. ඒත් පිහිය නිකං ලිස්සල යනව විතරයි. එක්කො අන්නාසි ලෙල්ල සැරටම ලිග්නීභවනය වෙලා ආයෙ ගැලවෙන්නැති වෙන්නම, නැත්තං පිහිය සැරටම මොට වෙලා ආයෙ පිහියක් කියල අඳුරගන්න බැරි ගානටම.
"මේ නෙත්මි...."
"මොකද ඒ ගමන... ඒකවත් බැරිද...?"
"නෑ නෑ මේ... පිහියෙ කැපෙන පැත්ත මොකක්ද? මිටෙන්ද කැපෙන්නෙ...?"
"මොකක්... මෙහෙ දෙනව කපල පෙන්නන්න... පිහියකින් මුකුත් කපල නෑ වගේ නිකං... මහ ලොකු..."
"ඔව් ඔව් ටවුමෙ මිනිස්සු... අපි ටවුමෙදි අන්නාසි ලෙලි ගහන්නෙ පිහියෙන් නෙවේනෙ... අන්නාසි ගෙඩිය, තමන්වම ලෙලි ඇරගන්නවා. අපි බලන් ඉන්නකොට..."
නෙත්මි ඒක අහල මටත් පුප්පන්, කටත් ගස්සල මගෙන් පිහිය උදුරන් අන්නාසි ගෙඩිය අතට ගත්තා.
"ඕන් බලාගන්නවා... මහ ලොකු වීරයා..."
"හරි හරි බලන් ඉන්නෙ... කපල පෙන්නන්නකො..."
නෙත්මිත් මම වගේම උඩ ඉඳන් පිහියෙන් ලෙල්ල අරින්න හැදුවට, පිහිය නිකංම ලිස්සල ගියා. මම බලන් ඉන්න නිසා, පිහිය පැත්තකට නොකර, නෙත්මි ආයෙ ආයෙ කපන්න හැදුව.
"හා... හා... ඇති ඇති... මේ... ගිහින් පිහියක් හොයන් එනවද..?"
නෙත්මි පිහියයි, අන්නාසි ගෙඩියයි දෙකම දමල ගහල එයා කර කර හිටපු වැඩේට ආපහු ගියේ,
"ඕන්නං ගිහින් හොයාගන්න එකයි ඇත්තෙ"
කියාගෙන.
"යකඩෝ නිකං මම වැරැද්දක් කලා වගේනෙ හරියට"
නෙත්මි ඔරවල මගෙ දිහා බලපු විදිහට මට ඊට වඩා මුකුත් කියන්න හිත දුන්නෑ. මොකද එයා අඹ කපන පිහිය සැරටම කැපෙන නිසා.
හොඳ වෙලාවට හැබැයි මොට්ට පිහියක් සෙට් උනේ. දැන් පිහියට බැන බැන ඉඳියෑකිනෙ කවුරු හරි ඇවිල්ල අන්නාසි ටිකත් කපල යනකං.
"ආ... මේකෙන් කපන්න... මම එකක් හොයන් එන්නං..."
මගෙ යටිකූට්ටු ප්ලෑන එතනම ශට් ඩවුන් කරන ගමන් නෙත්මි කිව්වෙ, එයාගෙ පිහිය මට දික් කරන ගමන්.
"ආ... නෑ.. නෑ... මම හොයන් එන්නම් එකක්... හෙ හෙ..."
"ඕන්නෑ ඕන්නෑ... තමුන්ගෙ වැඩ ගැන හොඳටම දන්නව මම.... ඔහේ පිහි හොයන් එනකොට මෙතන වැඩ ඉවර වෙලා තියෙයි. දැන් මේකෙන් අන්නාසි ටික සුද්ද කරල දාන්න ඉක්මනට. මම එකක් හොයන් එන්නං.."
නෙත්මිගෙ මූණ වැඩියෙන්ම ලස්සන, එයා සැරවැර කරනකොට. ඒත් එයා හිනාවෙනකොට නං, ඒ පුංචි හිනාව පරද්දන්න පුලුවන් කෙල්ලෙක් ටවුමකවත් මම දැකල නෑ.
නෙත්මි දීපු පිහියත් අරන් මම අන්නාසි කපන අතරෙ, එයා වෙන කොහෙන්ද පොඩි පිහි තලයක් හොයන් ඇවිල්ල තිබ්බ. අපි දෙන්නම විනාඩි විස්සක් විතර පළතුරු ටික සුද්ද කලා.
"නෙත්මි...."
"මොකෝ..."
"හිත ගිය කොල්ලෙක් ඒම නෑද..."
ඇත්තටම මම ඒ වෙලාවෙ ඒ ප්‍රශ්නෙ අහපු හේතුව අදටත් හිතාගන්න බෑ මට. සමහර විට මම නෙත්මිව දැකපු පළවෙනි දවසෙ ඉඳලම අසහනකාරී විදිහට එයාව ටෝක් කරන්න හදපු නිසා වෙන්නැති.
"ඔහේට මොකටද ඒක... වැඩේ ඉවර නං යන්න..."
"හෙ හෙ... නිකං ඇහුවෙ... කලබල වෙනවනෙ ඉතින් පොඩි දේටත්..."
"සදේශ් මේ... ආපු වැඩේ කරනවද විකාර කියවන්නැතුව..."
"හා හා ඉතින්... යැයි යැයි තමා..."
නෙත්මි සැරෙන් වගේ කතා කලාට, මම ඇස් කොනින් දැක්කා එයාගෙ කටේ ලාවට ඇඳුන හිනාවක් තියෙනව කියල.
"සදේශ්... ඉන්නවද...."
හංසි එක පාරටම අපි දෙන්න හිටපු කාමරේට ආවෙ එහෙම කියාගෙන. මමයි නෙත්මි විතරක් ඒ කාමරේ හිටපු නිසාද කොහෙද, හංසි අමුතු හිනාවක් දාල මට කතා කලා ආපහු.
"සදේශ්... පොඩ්ඩක් මෙන්න මේ ෆෝන් එක සාක්කුවෙන් දාගන්නවද... හවසට දෙන්න..."
"ආ දෙන්න දෙන්න..."
"තැන්කූ.... මම යනව නෙතූ..." කියල, හංසි ආව වගේම වැනිශ් වෙලා ගියා.
ඒ දීල ගියේ හංසිගෙ ෆෝන් එකද කොහෙද. මේ ගමේ හදිස්සියකට කන්න රෝස් පාන් ගෙඩියක් වත් නැති උනාට, මුන්ට තියෙන්නෙ අඟල් 32 පත ෆෝන්. මම ඒක අමාරුවෙන් ඉස්සරහ සාක්කුවට ඔබාගන්න අතරෙ නෙත්මි කතා කලා මට.
"දැන් හංසි පස්සෙ යන්නැද්ද. එපා උනාද..."
"ආහ්... එහෙම එකක් නෑ ඉතින්... හෙ හෙ... එයානෙ දිගටම මාව ටෙස්ට් සබ්ජෙක්ට් එකක් හැටියට සලකන්නෙ..."
"හොඳ වැඩේ... දකින දකින එක පස්සෙ යනවට..."
"ඔයාට මොකෝ කැක්කුමක් ආවෙ ඉතින් ඒ ගැන... ඊරිසිය හිතුනද... මම වෙන කෙනෙක්ගෙ පස්සෙන් ගියාම... මටත් හිතුන හැබැයි... කෙල්ලො කො..."
වෙන මුකුත් කියන්නත් කලින්ම, නෙත්මි ඔලුව කරකවල, පිහියත් දික් කරන් මගෙ දිහා දාපු බැල්මට මගෙ ඇඟම රීබූට් වෙන්න ගත්ත.
"මොකක්ද කිව්වෙ... ආයෙ කියනව බලන්න... ඊරිසියා...? මහ ලොකු මිනිහෙක්නෙ කිව්වෙ... ඊරිසිය හිතෙන්නම එක්කෙනා.."
"හෙ හෙ... මෙයාට විහිලුවක් වත් තේරෙන්නෑනෙ.."
"සුද්ද කරල ඉවරද..."
"ආ ඔව් ඔව්... මේ... අවුලක් නෑනෙ..."
"ඔය කරල තියෙන්නෙ වැඩක්... අන්නාසි ගෙඩිය සුද්ද කරන්න කිව්වෙ. නැතුව පොතු ගහන්න නෙවේ... දැන් මොනව කරන්නද... ඔය ටිකත් අරන් එන්න.."
යකෝ මොනව කළත් වැරදී මේකිට.
මම, සුද්ද කරපු පළතුරු ටිකත් අරන් නෙත්මි එක්ක දානෙ පිළියෙල කරන තැනට ආව. එතනට ආපු ගමන් කවුද නැන්ද කෙනෙක් ඇවිල්ල ඒ ටික අරන් ගියා. සමහරවිට කෑලි කපන්න වෙන්නැති.
දානෙ පිළියෙල කරපු තැන හිටපු ගොඩක් නැන්දල, මගෙ දිහා හිනා වෙලා බැලුවත්, එයාල හැමෝම නෙත්මිව මග හරිනව කියල හොඳටම තේරුනා මට. නෙත්මිත් ඒක තමයි මම හිතන්නෙ, වෙනම තැනකට ගිහින් පළතුරු සුද්ද කලේ.
මාමා නෙත්මි ගැන කියපු කතාව ඇත්ත හෝ නැතා හෝ මගේ මතේ නං කෙල්ලෙක්ව එහෙම කපන එක නොකළ යුතු වැඩක්. මිනිස්සු අතින් වැරදි වෙන්නැතුව නෙවේනෙ.
"සදේශ්... මම උල්පත ගාවට ගිහින් එන්නං... සුභෝද නැන්ද ඇහුවොත් කියන්න මං වතුර ගේන්න ගියා කියල..."
"මම එන්නං ඉන්න... තනියම උස්සන් යන්න බෑනෙ..."
"එපා එපා... මිනිස්සු ඔයාට එක එක ඒව කියයි මාත් එක්කම හිටියොත්..."
"ඒ කිව්වෙ...?"
"නෑ නෑ මුකුත් නෑ අමතක කරල දාන්න. සුභෝද නැන්දට කියන්න මම ඉක්මනට එනව කියල..."
කියල, නෙත්මි ගිහින් දානෙ පිළියල කරන තැන අයිනෙ තිබ්බ ලොකු හිස් වෙච්ච කෑන් තුනක් අරන් එලියට බැස්සා.
මමත් එලියට බැහැල නෙත්මි පස්සෙන් ගිහින්, එයාගෙ අතේ තිබ්බ කෑන් දෙකක් උදුරගත්ත.
එයා සැර කරන්න හදලත් ආපහු මගෙ මූණ දිහා බලල සද්ද නැතුවම පන්සලෙන් එලියට ඇවිත්, උල්පත දිහාට යන්න ගත්ත.
උල්පතට යන්න කැලේ හැමතැනින්ම අඩිපාරවල් තියෙන නිසා, මහ වෙලාවක් යන්න කලින්ම අපි දෙන්න උල්පත ගාවට ආව. අද ගමේ ඔක්කොමලම වගේ පන්සලේ නිසා උල්පත ගාව කවුරුත් හිටියෙ නෑ.
කතාවක් බහක් නැතුවම අපි දෙන්න ගෙනාපු කෑන් දෙකට වතුර පුරවගත්ත.
"සදේශ්...."
"යෙස්... කියන්න..."
"පන්සලේදි ඔයා සුභෝද නැන්දලත් එක්ක ඉන්න... හරි නෑනෙ නැත්තං..."
"ඇයි මොකෝ කේස් එක..."
මාම කියපු කතාව නිසා මම තත්වය ගැන පොඩ්ඩක් දන්නව උනත්, කිසිම දෙයක් නොදන්න පාට් එකේ ඇහුවා.
"නෑ විශේෂයක් නෑ... ඒත් ඔයා එයාල එක්ක ඉන්න... මම බෝධි මලුව පැත්තෙන් ඉන්නං..."
මෙයාගෙන් නං ඇත්ත කතාව අහන්න වෙන්නෑ මේ කපේට.
"නෙත්මි...."
"ම්ම්ම්ම්ම්...."
"මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා... ඒත් ඔයත් මුකුත් නොකියන නිසයි මම මේක අහෙන්නෙ..."
"මොකක්ද සදේශ්..."
නෙත්මි මගෙන් සැකෙන් වගේ ඇහුව.
"ඔයාට මෙහෙට එන්න හේතු උන සිද්දිය මොකක්ද..? මම එහෙන් මෙහෙන් දන්නවා... ඒත් මම හරියටම කතාව දන්නෑ... වැරදියට තේරුම් ගන්න එපා... මම ඔයාව අපහසුතාවට පත් කරන්නවත්, විහිළු කරන්නවත් නෙවෙයි මේක අහන්නෙ... ඔයාගෙ තත්වෙ තේරුම් ගන්න විතරයි..."
වෙනදට මම ඕන්නැති දෙයක් ඇහුවොත්, ළඟ තියෙන ගලක් හරි අහුලල මට විසි කරන එක්කෙනා, අද ඒක අහල නිකංම බිම බලාගත්ත.
"ඔ... ඔයා කො... කොච්චර කල්ද දැනගෙන.."
"දැන් සති දෙකක් විතර... මට ඇත්තටම වැඩක් නෑ ඉස්සර උන දේවල් වලින්... ඔයාට කියන්න බැරි නං ඒක ප්‍රශ්නයක් නෑ..."
"මි... මීට පස්සෙ කෙල්ලෙක්ගෙන් ඔය වගේ දේවල් අහන්න එපා සදේශ්..."
"අයියෝ ඉතින්... හරි හරි ඕන්නෑ... අමතක කරල දාන්න... මම නිකං ඇහුවෙ... හෙ හෙ.."
"නෑ ඒකට කමක් නෑ... පුංචිද කිව්වෙ...?"
"නෑ නෑ... නිකං මිනිස්සු කතා වෙනව ඇහුන..."
මාම කිව්ව කියල කියන්න බෑනෙ.
"ඇයි ඒව අහලත් මාත් එක්ක කතාවට එන්න හැදුවෙ... මාව රවට්ටන්න ලේසී කියල හිතුනද..."
කියල නෙත්මි ඔලුව උස්සල මගෙ දිහා බැලුව.
එතකොටයි දැක්කෙ මම. එයාගෙ ඇස් වලින් කඳුලු නොබේරුනත්, ඇස් දෙකම තෙත් වෙලා කියල.
"අනේ... එහෙම දෙයක් නෙවෙයි... මම ආශ්‍රය කරන්නෙ මනුස්සයගෙ ගතිගුණ නිසා මිසක්, ඉස්සර කරපු හොඳ වැරදි බලල නෙවෙයි... හරි හරි දැන්... අඬන්න එපා ඈ... දෙන්න මම කෑන් ටික ගන්නං... ආ අනික ඔයා බෝධි මලුවෙ ඉන්න ඕන්නෑ... අපි එක්ක ඉන්න... කවුරුත් මුකුත් කිව්වොත් මම බලාගන්නං..."
මම එහෙම කියන ගමන්, එයාගෙ අතේ තිබ්බ වතුර කෑන් එක ගන්න හැදුවත්, එයා මට ඒක ගන්න නොදී අත එහාට කලා.
ඒ කරල එයා කතාවක් බහක් නැතුවම, ඉස්සරහ බලන් ඇවිදන් ගිය නිසා, මමත් අනිත් කෑන් දෙක කර උඩින් තියාගෙන එයාගෙ පස්සෙන් ගියා.
---------------
දවල් දානයක් කිව්වට ඒක නිකං දන්සැලක් වගේ. මම මෙච්චර කල් දැකපු ලොකුම දානෙ ඒක. සමහරවිට අනුග්‍රහය දක්වපු පවුල් ගාණ වැඩි නිසා වෙන්නැති මෙච්චර ලොකුවට දානයක් දුන්නෙ.
දානෙ ඉවර වෙලා, හවස බණට අවශ්‍ය කලමණා සූදානම් කරන්න ඕනෙ නිසා මාමයි අපි තුන්දෙනයි පන්සලේම හිටිය.
සමීරයත් ට්‍රැක්ටරේකින් සවුන්ඩ් සිස්ටම් එකක් උස්සන් ආපු නිසා, මම ඌත් එක්ක එකතු වෙලා බෆල් ටිකයි මයික් එකයි හයි කරන්න ලෑස්ති උනා. නෙත්මිත් නැන්ද එක්ක එක්කහු වෙලා අලුතෙන් ගොක් අතු වියල ඒ ඒ බඩු බාහිරාදිය ලෑස්ති කලා.
හැන්දෑවෙ හතට බණ පටන් ගන්න ළං වෙද්දි, හැමෝම ගිහින් ශාලාවෙ වාඩි උනා. මාමයි නැන්දයි ඉස්සර පේළිවලට සෙට් උනත්, නෙත්මි පිටිපස්සෙන්ම ගිහින් වාඩි උන නිසා, මමත් නැන්දට කියල නෙත්මි ගාවින් වාඩි උනා.
"දැන් මම එන්න කලින් මොකක්ද කියල ආවෙ... නැන්දල එක්ක ඉන්න සදේශ්... මම මෙතනින් ඉන්නං අවුලක් නෑ..."
වාඩි උන හැටියෙම, නෙත්මිගෙ නෝක්කාඩුව පටන් ගත්තා.
"හරි හරි ඉතින්... ඔහේව තනියම තියන්න බැරි නිසා ආවෙ..."
"මිනිස්සු නරකට හිතයි ඒ උනත්..."
"මොකක්ද හිතන්නෙ...?"
"මෙ... මෙ... ඔ..."
"ඈහ්..."
"ඔයයි මමයි යාලුවෙලා ඉන්නව කියල හිතයි මිනිස්සු... අපි දෙන්න දැන් දවලුත් එකට හිටපු නිසා..."
"ඉතින්... එයාල හිතන එකේ වැරැද්දක් නෑනෙ... අපි යාලුවෙලානෙ ඉන්නෙ... ඊට එහා ගියා කියල හිතුවත් මට නං කමක් නෑ... මාත් ඔයාට කැමතී.... ඔයත් මට කැමති ඇති... හෙ හෙ... අනිත් කාරණේ... ඔයාගෙ ඕනෙ දේකට මම ඉන්නවා.... ප්‍රශ්නයක්ම නෑ...."
කියල මම නෙත්මිගෙ ඔලුවට තට්ටුවක් දැම්මා හිනා වෙලා.
නෙත්මිගෙන් මම බලාපොරොත්තු උනේ, මම ගමට ආපු පළවෙනිම දවසෙ එයා මට කෑගහපු වෙලාවෙ දැක්වුව වගේ ප්‍රතික්‍රියාවක්... එයා මට බැනල, කෑගහල, රත්තම් ඉල්ලෙයි කරල ගනී කියල හිතුවෙ මම.
ඒත් උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
එයා නිශ්ශබ්දවම මගෙ මූණ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්. ඊට පස්සෙ එයා වචනයක්වත් නොකියා බිම බලාගත්තා.
ඊළඟ ස්ටෙප් එකත් මෙතනම ඩිප්ලෝයි කරන්න ඕනෙ කියල හිතුන නිසා මමත් හිමීට එයාගෙ අතකින් අල්ලගෙන තද කරගත්තත්, එයා ඒකට කිසිම විරුද්ධත්වයක් දැක්වුයෙ නෑ....
මතු සම්බන්ධයි...
ගමේ කෙල්ල පළමු දිගහැරුම මෙතෙකින් අවසන් වේ. දෙවන දිගහැරුම තවත් ටික කලකින් බලාපොරොත්තු වන්න. ගමේ කෙල්ල සියලුම කොටස් කියවීම සඳහා මෙම පිටුවට පිවෙසන්න. මාගේ අනෙකුත් නිර්මාණ පිළිබඳ දැනගැනීමට Drg No පිටුවට පිවිසෙන්න.
ඒත් සමගම මගේ නවතම කතාව වන "වීදි පුරඟන" කතාවේ Support Editor කෙනෙක් හැටියට එක් වීමට ඔබත් කැමති නම් මෙම comment එක කියවන්න.
ස්තූතියි...!