ගමේ කෙල්ල

ගමේ කෙල්ල

09

~ නවවන කොටස ~

මතකනෙ හංසි එක්ක පවුල් කන්න ගිහිල්ල අන්තිමට සිද්ද උනේ මම හොඳ පරිප්පුවක් කාපු එකනෙ.


කලින් කොටසට




එතැන් සිට...


බියුටි කචල් එකත් නරකම නෑ. එකම අවුල මූණ පොඩ්ඩක් රිදෙනව. හංසි එක්ස්පර්ට් කෙනෙක් වගේ අරව ගාල මේව ගාල ඇස් දෙකට පිපිඤ්ඤා පෙති දෙකකුත් තියල ඔක්කොම සලිත කරල ගත්ත. ආයෙ නෙප්චූන් වගේ බැබලෙන මූණක් හදාගත්තෑකි.


ඒ වැඩෙන් පස්සෙ මම , එයාට ස්තූති කරල , ඊලඟ ට්‍රීට්මන්ට් එකට දවස් තුනකින් එන පොරොන්දුව මත එතනින් පැනල ගෙදර ආව.


මම මූණ අතගගා ටිකකින් මාමලගෙ වත්තට එනකොට නෙත්මි මිදුල අතුගගා ඉන්නව දැක්ක. දොරත් වහල දාල ඒ උනාට.


මම පොල්මුඩ්ඩා වගේ වැනි වැනි එනව දැකල නෙත්මි අතුගාන එකත් නවත්තල දාල මට කතා කලා.


"කොහෙද ගියේ... මම මේ පොලිසියට කෝල් කරන්න හැදුවෙ. කවුරු හරි කුදලන් ගිහින් කියල හිතල. දොරවලුත් වහල දාල."


"මාමගෙ හේනට පොඩ්ඩක් ගියා. වතුර ඇරල එන්න.."


"ඈහ්... තනියම ගියා..? කාගෙ හේනටද දන්නෑ වතුර ඇරල ආවෙ මේ පාර..."


"නෑ නෑ සමීර අයියා එක්ක ගියේ. ඌ ඔක්කොම කලේ. මම නිකං උදව් කලා විතරයි..."


සමීරයව මතක් කරපු ගමන් , නෙත්මිගෙ අර තිබ්බ මිත්‍රශීලී පෙනුම නැතිභංගස්ථාන වෙලා ගියා. එයා ඊළඟට කතා කලේ අවවාදාත්මක ස්වරූපයකින්.


"මේ.... ඔය මිනිස්සු එක්ක වැඩිය ඇයි හොඳැයිකම් එපා හරිද...!"


"හරි හරි..."


"පයින්ද ගියෙ හේනට. ගොඩක් දුරනෙ?"


"නෑ ට්‍රැක්ටරේ. හංසිලගෙ ගෙදරින් අරන් ගියා..."


හංසිගෙ නම ඇහුනු ගමන් නෙත්මිට ආපහු හිනාවක් ගියා.


"හංසි ගෙදර හිටියා නේ. එයා මුකුත් කිව්වෙ නැද්ද. මම කිව්ව ඔයා එයා කරන දේවල් වලට ආසයි කියල"


"ඔව් ඔව් කියල තිබ්බා. මරේ මරු. මූණ කෑව මාව එහෙ නවත්තගෙන. තාම පුපුරු ගහනව මේ..."

කියල මම මූණ පෙන්නුව විතරයි නෙතමි මහ හයියෙන් කටත් වහගෙන හිනා වෙන්න ගත්ත.


"ඔය ඉන්නෙ කුමාරය වගේ... ආපහු දවසක යන්න.... එයා හොඳ කෝස් එකක් කරල ඉන්නෙ ඕව සම්බන්ධව..."


"හා හා කියනකං හිටියෙ... මම ඇතුලට යනව... මහන්සී..."


"යන්න යන්න."


නෙත්මි එක්ක ෆිට් වෙන්න කලින්, අපි දෙන්න වතුරයි ගින්දරයි වගේ උනාට , පොඩ්ඩක් ෆිට් උනාට පස්සෙ ඉතින් වතුරයි ඇල්කොහොලුයි වගේ තමා.


මම ගෙයි ඉස්සරහ දොර ගාවට ගිහිල්ල ඒක ඇරගෙන ඇතුලට යන්න හදලත් , ආපහු කකුලක් පස්සට අරන් නෙත්මිට කතා කලා.


"අද උදේ ආවෙ නැත්තෙ ඇයි..."


"මොකක්ද....."

නෙත්මි අතුගාන එක නවත්තල මගෙ දිහා හැරිල ඇහුව.


"අද උදේ ආවෙ නැත්තෙ ඇයි කියල ඇහුවේ..."


"මම ටවුමට ගියා උදේ..."


"ආ හරි හරි"

කියාගෙනම මම සාලෙට ඇවිත් පුටු සැටියට වැටුනා.


මදෑ.... නමෝ විත්තියෙන් "මනුස්සයෙක්" වෙන්න ගියා. තව ඩිංගෙන් මූණත් තියල එන්න වෙන්නෙ එහෙ.


නෙත්මි මිදුල අතුපතු ගාල ඉවර කරල , කුස්සියට ගිහින් වළං පිඟන් හෝදන්න ගත්ත. මම ඉතින් බාධා කරන්න ගියෙ නෑ. මොකද පොඩ්ඩ මිස් උනොත් පුප්පනවනෙ.


කේස් එක එහෙම උනත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ නෙත්මි මාමලගෙ ගෙදර වැඩ කරන්නෙ කියන එක. එයාට සමහරවිට පඩියක් ගෙවනව ඇති. ඒත් "මුදලට" වැඩ ගන්නවට වඩා , "ලෙන්ගතුකමට" වැඩ කරනව කියලයි මට නං හිතෙන්නෙම. මේ ප්‍රශ්නයේ ගැඹුරටම බැහැල බලන්න ඕනෙ. කුතුහලේ තියන් ජීවත් වෙන්න බෑ ඕයි. මට ඇත්තටම විසඳගන්න බැරි උන ප්‍රශ්න දෙකයි තියෙන්නෙ. එකක් තමා මේ නෙත්මිගෙ කේස් එක. අනික තමා , ඔය සමහර වීඩියෝ වල ඇන්ටිල, අක්කල කොහොමද වොශින් මැශින් එකක් අස්සෙ හිර වෙන්නෙ කියන එක.


--------------------------


මාමයි නැන්දයි පහමාරට විතර ගෙදර එනකොට මම සාලෙට වෙලා ටීවි බල බල හිටියෙ. නෙත්මිත් වළං පිඟන් හෝදල තියල ගිය නිසා කම්මැලි කමේ හිටපු මම ටීවි එකේ කාටුන් එකක් දාගත්ත බලන්න. ඉස්සර වගේ දැන් අර පට්ට කාටුන් යන්නෑනෙ. කසිකබල් මගුල් ටිකක් යන්නෙ ටීවි එකේ. බයිසිකලේක යන පොඩි එකෙක් හතරවටේ කිය කිය යනව "ළමය කියල නං කියන්න එපා අංකල්" කියල. හිතන් ඉන්නෙ ඌ මහ එකා කියල. 2000න් පස්සෙ උන් ඔහොම්මනෙ.


මාම ආපු ගමන් කාමරේට ගියා ඇඳුම් මාරු කරන්න කියාගෙන.


"පොඩ්ඩෝ... ශර්ට් කෑල්ලක් දාන් යං හේනට... දවල් ගියා නේ සමීර එක්ක... මිනිහ මට කෝල් කලා..."


මාම ඔෆිස් කිට් එක අයින් කරල ශෝටකට බැහැන් ඇවිල්ල මට කිව්ව.


"ආ ඔව් මාමෙ... වතුර ඇරල ආවෙ අපි."


"හරි හරි දැන් ගිහින් වහල එමු. ශර්ට් එකක් දාගනින්කො..."


"හරේ..."


මම ඇඳුමකුත් දාන් , මාම එක්ක බයික් එක ගාවට ගියා. නැන්දත් තකහනියෙම උයන්න ගත්ත රෑට කන්න.


"කෙල්ලෙ... සරාට කෝල් එකක් දෙන්නද මම..?"


මාම නැන්දගෙන් ඇහුවෙ , නැන්ද කලබලේට පොල් ගානව දැකල. මාමට ඔලුව වනල "පුලුවන් නං කියන්න අයියෙ" කියපු නැන්ද දිගටම ඒ වැඩේ කලා.


මාමත් ෆෝන් එකෙන් කෝල් එකක් අරන් මොනාද මොනාද කියල මාවත් ස්කූටරේට දාගෙන ආව. දවල් දෙපාරක්ම එහාට මෙහාට ගිය නිසා මට හේනට යන පාර ලාවට මීටරේ තිබ්බා.


"පොඩ්ඩෝ..."


අපි හංසිලගෙ ගෙදරත් පහු කරන් එනකොටම වගේ මාම ඉස්සරහ ඉඳන් කතා කලා. හුළඟ නිසා ඒක ඇහෙන්නෙ කුණුහරපයක් වගේ.


"කියන්න මාමේ..."


"ට්‍රැක්ටරේ ගිහින් දැම්ම නේ සාමෙ අයියලගෙ ගෙදරින්..."


"සාමයක් නං දන්නෑ... අර හංසි කියල කෙල්ලෙක් ඉන්න ගෙදරකට ගිහින් දැම්මා..."


මම දන්නෑනෙ සමීරය ට්‍රැක්ටරේ ගිහින් දැම්මද නැද්ද කියල. හංසිලගෙ ගෙදර තියෙන්නෙ හේනයි , මාමලගෙ ගෙදරයි අතර. ඉතින් මාමලගෙ ගෙවල් ගාවින් ට්‍රැක්ටරේ යන්නෑ. ඒත් ඌ කිව්වනෙ ගෙනත් දාන්නං කියල හවස් වෙන්න කලින්.


"ආ හරි හරි... බලන්න ඕන්නෑනෙ එහෙනං..."


"මේ... ඕන්නෑ නේ...."


"හරි හරි..." කියල මාම පිකප් කරල ගත්ත බයිසිකලේ.


මාම ස්කූටරේ පිකප් කරන කිරිල්ලට , ස්කූටරේ උඩින් වගේ යන්නෙ.


විනාඩි කීපෙකින්ම අපි හේනට ආවෙ , අර මහා කණ්ඩිය උඩින් බයිසිකලේ දාල. එතන සිද්දිය දන්න නිසාම මම හයියෙන් බයික් එක අල්ලගත්ත නිසා හොඳට ගියා. නැත්තං අඩි හයක් උඩින් ගිහින් වැටෙන්නෙ.


අපි මාමගෙ කුරක්කන් වගාවත් පහු කරල කලින් බටේ සෙට් කරපු තැනට ඇවිල්ල නැවැත්තුව. ඒත් බටේ කලින් විදිහට හයි කරල නම් නෙවේ තිබ්බෙ. දැන් බටේට ගහල තිබ්බෙ වෙන ගැටයක්. ගහල තිබ්බ බටෙත් වෙන එකක් කියල මට නං හිතුනෙ. කලින් සමීරය ගහපු බටේ නෙවේ...


"මේ... මාමෙ..."


"කියන්න පොඩ්ඩො"


"මේ... සමීර අයිය දවල් ගැහුව ගැටේ නෙවේනෙ මේ..."


මාම ගැටේ දිහා බලන්නෙවත් නැතුව කලකිරුණු ස්වරූපයකින් කතා කලේ.


"හම්ම්... මේ අපේ එක නෙවේ... මට හිතුන ඕකා මේ පාරත් මේ බලු වැඩේම කරයි කියල..."


"කවුද මාමෙ..."


"අර උක්කුන් කියල එකෙක් බං. පහළ හේනෙ උගෙ වගාව තියෙන්නෙ. ඒ යකා අපේ මුරේටත් වතුර ගන්නව."


"ඉතින් මුකුත් කරන්න බෑද ඒකට..."


"මිනිස්සු එක්ක ප්‍රශ්න දාගෙන බෑ බං. ඒකට කමක් නෑ. දැන් වතුර ඇරල යමුකො ටිකක්. මේන් මේ ලණු කෑල්ල අල්ලගනින්"

කියල මාම මට එයාගෙ සාක්කුවෙ තිබ්බ ලණුවක් දුන්නා.


ඒ දීල මාම , කරාමෙට ගහල තිබ්බ බටේ වෙලුම ලෙහල , බටේ අයින් කරල , මාමගෙ කුරක්කන් කෑල්ල දිහාට සෙට් වෙලා තිබ්බ බටේ අරන් හයි කලා. ඊට පස්සෙ මට බටේ අල්ලගන්න දීල , එයා ලණුව ඉල්ලන් හොඳට ගැටගහල කරාමෙ ඇරියා.


හේනෙ වෙන කවුරුත් හිටියෙත් නැති නිසා , මගෙ හිතේ බුර බුරා නැගුණු ප්‍රශ්න කීපෙට උත්තර හොයන්න හිතාගත්ත මම.


"මාමෙ... මේ..."


"ම්ම්ම්ම්ම්... කියන්න පොඩ්ඩො..."


"නෙත්මි... මම කිව්වෙ මේ... අර සරා... ඇයි එහෙ ගෙදර වැඩපල කරන්නෙ. මම කියන්නෙ මිදුල අතුගානව.. උයන්න උදව් වෙනව... අනං මනං කරන්නෙ ඇයි..."


"ආ... ඒ නං ඒකිට ගෙදර ඉන්න කම්මැලි නිසා බං... අපි පඩි දීල වැඩ කරවගන්නව නෙවේ ඈ... ඒකිව ඒ ගානට දාන්න එපා.."

මාම හිනාවෙලා කිව්ව.


"නෑ නෑ... හෙ හෙ... එහෙම අදහසකින් කිව්ව නෙවේ.. නිකං දැනගන්න නිසා ඇහුවෙ... එයා නිකං අර කාවවත් විශ්වාස නොකරන අමුතුම කෙනෙක්නෙ. මාමල එක්ක විතරක් හිතවත් ඇයි කියල බැලුවෙ"


මාම වටපිට පොඩ්ඩක් බලල හිමීට කතා කලා මට.


"පොඩ්ඩො... මම කිව්ව කියලවත් , පොඩ්ඩා මේ ගැන දන්න බවවත් කාටවත් කියන්න එපා ඈ..."


"මොකක්ද මාමෙ..."


කෙල්ලෙක් ගැන කේලමක් අහන තරන් ලල් එකක් තවත් නෑ.


"සරා පොඩිම කාලෙ මෙහෙ හිටියෙ. මම කියන්නෙ අවුරුදු හතක් අටක් විතර වෙනකං. පස්සෙ එයාලගෙ අම්මලත් එක්කම එයා දඹුල්ල ටවුන් එකේ පදිංචියට ගියා."


"ඉතින් ඉතින්"


"එහෙ ඔය මේකි මොකක්ද ආදර හුටපටයක් දාගෙන , පස්සෙ ගෙවල් වලින් කේස් ගිහිල්ල ලොකුවට. ඒ කොල්ලා තමා අවලං වැඩේ කරල තියෙන්නෙ. මේකි එක්ක බොරුවට යාලු වෙලා. ඔය ප්‍රශ්න නිසා කොහොමහරි ගෙදරිනුත් දිගටම කේස් දාල මෙයාට. ඒකයි එයා මෙහෙ පුංචිලගෙ ගෙදර ඉන්නෙ දැන්"


"අප්පටසිරි... එච්චර දරුණු කේස් එකක්ද...?"


"හම්ම්... ඔය රූපක්කා... සරාගෙ පුංචි... කියපු විදිහට නං ප්‍රශ්නෙ සෑහෙන දුරදිග ගිහිල්ල. දන්නවනෙ... ඔය වගේ ඒවගෙන් අන්තිමට ඇහෙන දේ.."

කියල මාම බඩට තට්ටුවක් දාල පෙන්නුව.


මම නිකං අමාවකට පායපු හඳ දිහා බලනව වගේ , මාමගෙ මූණ දිහා කටත් ඇරන් බලං හිටපු නිසා , මාම හිනාවක් දාගෙන ආපහු කතා කලා.


"හරි හරි ඕක සීරියස් ගන්න එපා. කවුරු මොනව කිව්වත් මම සරාව දන්නව පොඩි කාලෙ ඉඳලම. ඕකි මගෙ අත උඩනෙ නිදාගත්තෙ. ඔය ගතිගුණ වෙනස් උනාට ඒකි එහෙම කෙල්ලෙක් නෙවේ. වගකීමෙන් ඉන්න කෙල්ලෙක්. මම මේ ඒ සිද්ධිය කිව්වෙ , පහුවෙලා හරි ඕක පොඩ්ඩට කණ වැකිල , පොඩ්ඩා ඒකි දිහා නරක අදහසකින් බලයි කියල හිතල"


"ඈහ්... අ.. අනේ නෑ මාමෙ... මම ඒම එකෙක් නෙවේ... ඒ ගැන බය වෙන්න එපා..."


නෙත්මිගෙ හැසිරීම මට පුදුමයක් වෙලා තිබ්බත් , මාමගෙ කතාවෙන් පස්සෙ මට හොඳටම තේරුම් ගියා එයා ඇයි එහෙම හැසිරෙන්නෙ කියල.


මම මුලින්ම ගමට ආපු දවසෙ ඉඳන් උන සිදුවීම් ටික මතක් කරගෙන හිතල බැලුවම , මට නං තේරුනේ... එයා සම්බන්ධකම් ඇතිකරගන්න බය බවක්. සහ මිනිස්සුන්ව නිතරම අවිශ්වාස කරන බවක්. ඒ වගේම අලුත් මූණක් දැක්කම එයා බය වෙනව.


කොහොමත් ඒ බව දැනගත්ත එක හොඳයි. නැත්තං ඒකි සැරින් සැරේ බනින විදිහට බෙල්ල විකාගෙන ජලගත වී මඩගත වෙන්න හිතෙනවනෙ.


මම නෙත්මි සම්බන්ධ දාර්ශනික මතවිමසුමක් කරන අස්සෙ, චීත්තෙකුයි හැට්ටෙකුයි ඇඳගත්ත, මාමලට වඩා ගොඩක් වයස පාටක් පෙනුන ගෑණු කෙනෙක් හේන මැද්දෙන් එනව දැක්කා. එයා ආවෙ නං අපි බයිසිකලේ දාපු පැත්තෙන් නෙවේ. සමහරවිට හේනට එන්න වෙන අඩිපාරක් ඇති.


මාමත් ඒ ආපු කෙනා දිහා බලල කටපුරා හිනාවක් දාල කතා කලා.


"ආ රූපාක්කේ... හේන බලන්න ඇවිල්ල වගේ..."


ආහ්.... මෙයාද එතකොට මේ රූපාක්කා කියන්නෙ. නෙත්මිගෙ පුංචි අම්මනෙ මේ.


ඒ රූපාක්කා කියන කෙනා, මගෙ දිහත් බලල අහිංසක හිනාවක් දාල මාමට කතා කර කර ළඟට ආව.


"හේන නං දැන් බලන්න දේකුත් නෑ මල්ලියේ... මේ පාර බලන්න තරන් අස්වැන්නක් නෑ නෙවෙ..."


"ඒ මොකෑ... ඔය තියෙන්නෙ ගස් හැදිල හොඳට"

කියල මාම, කුරක්කන් කෑල්ලට එහා ඈතින් තිබ්බ පැත්තක් දිහා බලන් කිව්ව.


"ගස් හැදුනට ඵලදාවක් නෑ මල්ලියෙ... මේ අර සදේශ් පුතාද..."


රූපා නැන්දා මගෙ දිහා බලල ඔලුව වනල ඇහුව මාමගෙන්.


"ඔ.. ඔව් නැන්දේ... හී..."


"අපේ පොඩි කෙල්ල කිව්ව කලින් දවසක මේ පුතා එයාට ගහෙන් බිමට බහින්න උදව් උනා කියල. මම ඔය කෙල්ලට කොච්චර කිව්වත් අහන්නෑ පුතේ... පුතා හොඳ වෙලාවට ඒවෙලේ එතන හිටියෙ... නැත්තං මේකි ගහෙන් වැටුන නං එහෙම මොන දෙයියන්ට කියන්නද... නේද මල්ලියෙ..."


මාම සීන් එක දන්නැති උනත්, රූප නැන්ද දිහා බලල හිනා වෙලා ඔලුව වැනුව.


ඒත් මට තිබ්බ ගැටලුව උනේ, ඒ සීන් එකට මම නෙත්මිගෙන් රටේ නැති ඒව අහගෙනත්, ඒ කෙල්ලගෙ අම්ම මට හොඳ කියන එක.


ඒ කියන්නෙ මේක ගමේ අවුලක් නෙවේ. නෙත්මිගෙ අවුලක්. එයා සමහරවිට දැන් අඳුරන්නැති හැම පිරිමියටම සලකන්නෙ ස්තිරී දූසකයෙක් ගානට දාලද කොහෙද. මොනව කොරන්නද ඉතින්.


"අක්කේ... මේ පාර කිලෝ එක කීයටද දාන්නෙ කඩේට..."


මාම, රූප නැන්දගෙන් ඇහුවා.


"උන් කුනුකොල්ලෙට ගන්නෙ මල්ලියේ... මම බැලුවෙ දඹුල්ලට ගිහිල්ල මමම විකුණල එන්න. මහා අස්වැන්නක් නෑනෙ මෙදා සැරේ..."


"ඔව් නේද.. ඒකත් හොඳයි... මම ඕන්නං එකෙක් සෙට් කරල දෙන්න ඇහුවෙ. ළඟදි දවසක අයිය කෙනෙක් හම්බුනා දේවහූවෙ. මිනිහ කොළඹට එළවලු පටවනව. ඇවිල්ලම අරන් යන්නං කිව්ව සාධාරණ මිලකට. අක්ක කැමති නං කතා කරල දෙන්නං"


රූපා නැන්දගෙ මූණෙන් පෙනුනෙ, මොකක් කරනවද කියල හිතාගන්න බැරි බවක්.


"මම කල්පනා කොරල බලල කියන්නං මල්ලියේ... මට මුකුත් කරගන්න බැරුව හිරවෙලා ඉන්නෙ මේ පිටගං කාරයෙක් ගෙදර පදිංචි වෙලානෙ... සල්ලි ගස්වලින් කඩනව කියල හිතන් ඉන්නෙ ඒකි..."


රූපා නැන්දා ඒ අන්තිමට කියපු වාක්‍යයෙන් අදහස් කලේ නෙත්මි ගැන කියල ඉවෙන් වගේ තේරුනා මට. ඒක තහවුරු කරගන්න කියල හිතල මම මාමගෙ මූණ දිහා බැලුව. මාමගෙ ඇස් වලින් තරහක් පෙනුනත්, එයා මගෙ දිහා බලල ඔලුව දෙපැත්තට වනල බිම බලාගත්ත.


"මම යන්නං මල්ලියේ... හවස් වෙන්න කලින් ගිහිල්ල උයන්නත් ඕනෙ... මම යන්නම් පුතේ... ඕනෙ වෙලාවක එහෙ එන්න... පොඩි එකී නං හරි උජාරුවෙන් පුතා ගැන කියවන්නෙ..."


රූපා නැන්දා යන්න ලෑස්ති වෙවී කිව්ව.


"ආ මම එන්නං නැන්දෙ... හෙ හෙ... තාම අඳුරන්නෑනෙ... හෙ හෙ...."


"අයියෝ අඳුරන්න ඕන්නෑ පුතේ... මේ ගම් වල අපි ඔය මිනිස්සුන්ව සැක කොරන්නැනෙ..."


"ඒක තමා නැන්දේ..."


"මම යනව පුතා..."


"හරි නැන්දෙ..."


රූපා නැන්ද අපිව පහු කරන් ටිකක් දුර යනකං ඉඳල මම මාම ගාවට ගිහින් කතා කලා.


"මාමෙ... නෙත්මිට එහෙන් කේස්ද...? ඒ කියන්නෙ මේ රූපා නැන්දා එයාට කේස් දානවද..? මෙයා නේ නෙත්මිගෙ පුංචි අම්මා.."


මාම බිඳුණු කටහඬකින් මට කතා කලා.


"හම්ම්... මට හිතුන පොඩ්ඩටත් තේරුනා කියල මූණ දිහා බලපු විදිහෙන්. සරා කෙල්ල ඔය සිද්ධිය වෙලා මෙහෙට ආපුම දවස් වල නං අවුලක් උන්නෑ මුකුත්. ඒත් පස්සෙ පස්සෙ රූපාක්කා එයාට අවලාද තියන්න ගත්ත. රූප අක්කම තමා ඔය නෙත්මි අරම වෙලා මෙහෙම වෙලා, මෙහෙ ආව කියල ගම වටේම කිය කිය ගියේ. දැන් නෙත්මිටත් මේ ගෙවල් දෙකෙන් එහාට යන්න බෑ. මිනිස්සු අමුතු විදිහට බලනව."


නෙත්මි ගැන අනුකම්පාවකුත්, එයාගෙ පුංචි අම්ම උන රූපා නැන්ද ගැන කේන්තියකුත් එකම වෙලාවෙ මගෙ හිතේ ඇති උනා, මාමගෙ ඒ කතාව අහල.


"හේතුව මොකක්ද මාමෙ... නෙත්මි මෙහෙ ඇවිල්ල මුකුත් ප්‍රශ්න හදාගත්තෙ නෑනෙ?"


"මම හිතන්නෙ දැන් රූපා අක්කට, නෙත්මිටත් වියදම් කරන්න වෙලා ඇතිනෙ. රූප අක්කට වැරැද්දක් කියන්නත් බෑ. මිනිහත් නැතුව, ඔය හේන් කොටෙන් හම්බෙන ආදායමෙන්නෙ අර පොඩි එකීවත් ඉස්කෝලෙ යවන්නෙ."


"ඉතින්... එයාට වෙන රස්සාවක් මුකුත් කරන්න බෑද..."


"මොනව කරන්නද පොඩ්ඩො මේ මූකලානෙ... පොළව කොටන එක විතරනෙ කරන්න තියෙන්නෙ. පුලුවන් නං සරා කෙල්ලව මම අපේ ගෙදර නවත්තගන්නව. ඒත් මිනිස්සු ඒකටත් පද හදන්නෙ ඒකිටමනෙ. මුකුත් කරන්න බෑ ඉතින් මට."


නෙත්මි කියන්නෙ කොච්චර හිත හයිය කෙල්ලෙක්ද කියන එක එවෙලෙයි මට හරියටම තේරුනේ.


මම ගමට ආපු දවසෙ ඉඳලම, නෙත්මිව ළඟින්ම ආශ්‍රය කරනව කියල දැක්කෙ හංසි විතරයි. නෙත්මිවත්, මාමල එක්ක මිසක් වෙන අය එක්ක කිසිම ගණුදෙනුවක් තියෙනව මම දැක්කෙ නෑනෙ.


"පොඩ්ඩෝ... මේ ඕව දැන් සරා එක්ක කියවන්න යන්න එපා ඈ... දත් ඇඳි කඩාගෙන එන්න වෙන්නෙ. ඕකිට මල පනිනව පොඩ්ඩ ගැවිච්චම..."


මාම හෙලි කරපු අඳුරු රහසට, පාලු වෙලා ගිය හේනට, ආපහු එලියක් ගන්න වගේ, මාම පොඩි කොමඩි කෑල්ලක් ඇදල ගත්ත.


"අපෝ ඔව් ඔව්... ඒ ගැන මම නොදන්නව ඇ.."


"මොකක්ද අර රූපාක්කා කියපු, පොඩි එකීට උදව් කරපු කතාව... මම දන්නෑනෙ ඒම එකක්.."


"ආ මම ආපු දවසෙ, අර ලොකු අඹ ගහේ එල්ලිලා හිටිය ඒ නංගි. බැහැගන්න බැරුව. මම ඉතින් බහින්න උදව් කලා. එදත් නෙත්මි මට බැන්නනෙ, පොඩි එකීට කරදර කරන්න ගියා කියල..."


"ආ... සරා ඒම තමා.. හඃ හහ්..."


මාමට නං හිනා. මමනෙ පරිප්පුව කෑවෙ.


"පොඩ්ඩො ගෙදර යං... මම බැලුවෙ පුස් අල්ලලද කියල. ඒම අවුලක් නෑ... වතුර එකත් වහල දාමු දැන්...


"හරි මාමෙ..."


මතු සම්බන්ධයි...

Report Page