♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


හයවන කොටස

ධර්මෙ මාමගෙ බිස්නස් වලට මුල් වතාවට මම සම්බන්ධ උනානෙ. වැඩේ කරන්න ගිය ගෙදර කෙල්ලෙකුත් ඉඳියනෙ පොඩ්ඩක් විසේ වැඩි.


කලින් කොටසට



එතැන් සිට...


"අනේ ඕයි. තමුසෙනම්......"


ඒ සතියම සේප් එකේ ගෙවිල ගිහින් , සිකුරාද හවස ධර්මෙ මාම එක්ක බයික් එකෙ ඇවිල්ල ගෙදරට ගොඩ උන ගමන් අක්ක කෑගහගෙන ඇවිල්ල මගෙ කනෙන් ඇල්ලුව.


"ඌයි. රිදෙනව බං"


"රිදෙන්න නෙවේ. තමුසෙව හමගහන්න ඕනෙ. ගෙදර මිනිස්සුන්ට කියන්නෙවත් නැතුව රස්සාවලට යනවද දවස් පහ හය. තමුසෙට නිකමටවත් මට කියල යන්න තිබ්බ මල්ලි"


අක්කට මල පැනල තියෙන්නෙ මම එයාට කියන්නැතුව ගිය එකට වගේ.


"හරි හරි සොරි. සුභෝද මැඩම් කිව්ව නිසා ගියේ ඉතින්. මහ ලොකු දෙයක් නෑ"


"මහ ලොකු දෙයක් නෑ..? තමුසෙට මම කිව්ව ඔය මිනිස්සු එක්ක ගණුදෙනු එපා කියල. ඒ උනාට තමුසෙ ගිහින් දැන් පැලවෙලා එතන"


අක්කගෙ කච කචේ ඉතින් ගෙදර ආපු ගමන්.


"හරි හරි බං මම මේ ගෙදර ආවෙ. කටවහන් ඉඳිංකො දැන්"


"ඕනෙ මගුලක් කරගනින්"

කියල අක්ක මටත් ගස්සල දාල එයාගෙ කාමරේට ගියා.


අම්මටත් නැති අමාරුවක් මේකිට තියෙන්නෙ. මල මගුල.


රෑටත් බත් පිඟානක් ගහල ඇරල එහෙම්ම නින්දට වැටුන මං. ඩ්‍රැයිවර් වැඩේ උනත් දවසම වාහනේනෙ ඉතින්. කට්ටක් තමා. ලබන සතියෙ පඩි සල්ලි හම්බෙන නිසා මම ආතල් එකේ හිටියෙ.


පහුවෙනිද උදෙන්ම අම්ම හදල තිබ්බ රොටි දෙකකුත් ලුණුමිරිසක් එක්ක කාල ශර්ට් එකක් දාන් එලියට බැස්ස. තාත්ත දවස් දෙක තුනකින් ගෙදර ආවෙ නෑ කියපු නිසා කෝකටත් ගම වටේ සර්ච් පාර දාන්න හිතාගෙන එලියට බැස්සෙ.


වැව පැත්තට යනකොට නිකේශ නංගියි තව කෙල්ලෙකුයි වැව් බැම්ම ගාව හිටගෙන කතා කර කර ඉන්නව දැක්ක.


සක්කිලි කම තිබ්බට කෙල්ලො ඉස්සරහ ඩීසන් පිට ඉන්න ඕනෙ නිසා මම ඔලුව කෙලින් කරන් ගැම්මට ඇවිදන් ගියා.


"අමරෙ අයියා....."


නිකේශ නංගි මං දිහා බලල කතා කරනව.


'ඇයි මගෙ සුදු නංගෝ' කියල දිය කිඳුර වගේ යන්න හදලත් තත්වෙ තියන් ඉන්න ඕනෙ නිසා රෙස්පෙක්ටබල් මෑන් කෙනෙක් වගේ , නංගි දිහා බලල ඔලුවෙන් ඇයි ඇහුව.


"මොකෝ බං අයියෙ කතා නැත්තෙ. දැන් ලොකු තාත්ත ගාව වැඩ කරන නිසා හෙන සයිස් නේ උඹලගෙ"

නංගි කින්ඩියට වගේ ඇහුව මගෙන්.


නිකේශ නංගි 'ලොකු තාත්ත' කියන්නෙ ධර්මෙ මාමට. නිකේශ නංගිත් දන්නව ඒ කියන්නෙ මම දැන් ධර්මෙ මාම ගාව වැඩ කරනව කියල.


"ඒම මගුලක් නෙවේ. මොකෝ කතා කලේ කියහං"


"මේන් මේකිට නෙලුම් මල් දෙක තුනක් කඩල දිහංකො. ඉවුර පැත්තෙන් යන්න බයයි. එරුනොත් එහෙම"

කියල නිකේශ , අනිත් කෙල්ලව පෙන්නුව.


නිකේශ නංගිට වඩා පොඩ්ඩක් කොට හුරුබුහුටි කෙල්ලෙක්. දැන් ලකුණු ටිකක් දාගත්ත නං පහුවෙලා ටෝක් කරන්න හරි බැරියෑ කියල හිතල ශෝට තව ටිකක් උස්සන්, වැව් බැම්ම වටෙන් ඇවිත් ඉවුර පැත්තෙන් , දණක් එනකං වතුරට බැහැල මල් හතරක් කඩාගෙන ආව.


මල් ටික නිකේශ නංගිගෙ යාලුවට දීල මගෙ සර්චින් වැඩේට බැස්ස ආපහු.


ගම වටේම ඇවිද්දත් තාත්තව දැක්කෙ නෑ. අහපු අහපු එකා කිව්වෙම තාත්තව ඊයෙත් දැක්ක කියල. ශුවර් එකටම එක්කො කොහේ හරි බොනව ඇති. නැත්තං ගෑණියෙක්ව අල්ලං , කුලී වැඩ කරල හම්බකරපු සේසතම ඒකිට පුද පුද සුදියක් දානව ඇති.


"අඩෝ අමරයා. මං උඹ එනකං ඉඳියෙ. ආරංචිද සීන් එක?"


ගම වටේ තාත්තව හොයල හොයල , අන්තිමට ගයානයගෙ ගෙවල් පැත්තට එනකොට ඌ දුරතියාම මාව දැකල කතා කලා.


"මොකක්ද බං"


"කසිප්පු මාටිං නැති උන ආරංචිය දන්නැද්ද යකෝ. ඊයෙ හවස බොඩිය හම්බෙලා උඩහ කැලේ අස්සෙ තිබිල"


කසිප්පු මාටිං කියන්නෙ ගමටම කසිප්පු සප්ලයි කරන එකෙක්. මිනිහගෙ වාඩිය තියෙන්නෙ ගමේ කැලෑවෙන් එපිටහ 'උඩ කැලෑව' කියන පැත්තෙ. කසිප්පු මාටිංගෙ අයියා එහා ගමේ මැරයෙක්. ධර්මෙ මාම එක්ක ඇටෑක් එකට ඉන්න එකම මිනිහ මේ පැත්තෙ.


ගයානයගෙ නිව්ස් එකෙන් මම ගැස්සුනේ මාටිං නිසා නෙවෙයි. තාත්තත් නිතරම ඔය ගුබ්බෑයම අස්සෙ රිංගනව කියල දැනන් හිටපු නිසා.


කෝකටත් තාත්තව ගාවගන්නැතුව තව විස්තර ටිකක් ගයානයගෙන් අල්ලගන්න ඕනෙ.


"ගයානයො. ඉතින් මොකෝ කේස් එක. මිනීමැරුමක්ද. කසිප්පු විස වෙලාද"


"ආරංචිය නං ආවෙ පිහි කොටයක් ඇඟේ පැත්තක ඇනිල තිබ්බ කියල. මිනීමැරුමක් කියලලු සැක කරන්නෙ. ධර්මෙ මාමගෙන් අහල බලහන් කෝකටත්. මෑන් දන්නව ඇති"


ගයානය එක්ක ටිකක් වෙලා කතා කරල මම එහෙම්ම අඩිය ඉක්මන් කරල ගියා ධර්මෙ මාමගෙ මහ ගෙදර පැත්තට.


ධර්මෙ මාමගෙ මිනිස්සු දෙන්නෙක් වැට ගාව බංකුවක ඉඳන් කයියක් ගගහ ඉන්නව. මම උන් දෙන්නට හිනාවකුත් දාගෙනම වත්ත ඇතුලට ආව.


මම දැන් ධර්මෙ මාම ගාව වැඩ කරන නිසා මට මේ ගෙදරට ඕනෙ වෙලාවක යන්න එන්න අවසර ලැබිල තිබ්බෙ. ගේ ගාවටම ගිහින් ධර්මෙ මාමට කතා කලා මං.


"ධර්මෙ මාමා... ඉන්නවදෝ...."


ටිකකින් සුදු ශර්ට් එකක බොත්තම් දාන ගමන් ධර්මෙ මාම ගේ ඇතුලෙ ඉඳන් එලියට ආවෙ මාව දැකල සැනසුම් සුසුම් හෙලුව වගේ සීන් එකේ.


"අමරෙ මම මේ උඹව හම්බෙන්න කියල හිටියෙ. ආපු එක හොඳයි."


"ධර්මෙ මාමෙ මේ කසිප්පු......"


"ඔව් ඔව්. මාටිං ව මරල දාල. ඒක ගැන තමා උඹට කතා කරන්න හිටියෙ මං. නැගහංකො බයික් එකට. පොඩි දෙයක් පෙන්නන්න තියෙනව"


ධර්මෙ මාම මොකකට හරි කලබලෙන් ඉන්නෙ. මිනිහ බයික් එකේ නැගල මාවත් දාගෙන කෙලින්ම ඇද්දුවෙ උඩහ කැලේට යන පාර ගාවට.


"මෙතනින් බැහැං බං. පයින් යමන් දැන්"


ධර්මෙ මාම බයික් එක ගහක් යට නවත්තල දාල යතුර අතට ගත්ත.


"අමරෙ..."


"කියන්න මාමෙ"


"උඹලගෙ තාත්ත බොන්නෙත් ඔතන නේද"


"ඔව් මාමෙ. ගොඩක් දවසට මෙතනට තමා එන්නෙ"


"උඹ දන්නවද උඹලගෙ තාත්තා මාටිංට හෙන ගානක ණයයි කියල"


ධර්මෙ මාම කෙලින්ම සීන් එකට එන්ටර් වෙන්නැතුව වටෙන් වටෙන් එන්නෙ. අනිවාර්යෙන් මොකක් හරි මගුලක්.


"එහෙම මුකුත් නං දන්නෑ මාමෙ"


"හම්ම්. මම මුලින්ම උඹට දෙයක් පෙන්නන්නං. ඊට පස්සෙ උඹලගෙ තාත්ත කියපු හැටියට මම විස්තරේ පැහැදිලි කරන්නං"


මොකක්...? තාත්තව ධර්මෙ මාමට මුණගැහිලද ඒ කියන්නෙ.


වෙන දේ තේරුන්ගන්න හද හදම මම ධර්මෙ මාම පස්සෙන් කැලේ ඇතුලට ආව. මගක් දුර ආවම හොඳට කැලේ කපල හදපු අඩි පාරක් හම්බුනා. එතන ඉස්සරහ තව මිනිස්සු දෙතුන් දෙනෙක් ඉන්නව දැක්ක ඈත තියාම.


"අමරෙ. කලබල කරන්න එපා. පාඩුවෙ ඉඳහන් ඒ මහත්තුරුන්ට වැඩේ කරගන්න දීල"


"හරි මාමෙ"


ඒ පොලීසියෙ මහත්තුරු කියල තේරුම් ගන්න මට මහලොකු වෙලාවක් ගියේ නෑ. ඒ දෙන්න ධර්මෙ මාමට හිනාවක් දාල එයාලගෙ වැඩේ පාඩුවෙ කරන්න ගත්ත. එයාල මොකක් හරි හොයනව කියල තමා මට තේරුනේ.


"අමරෙ මෙහෙන් වරෙන්"


ධර්මෙ මාම වටපිට බලල කැලේ අස්සට යන පොඩි අඩි පාරක් වගේ තැනක නැවතිලා මට කිව්ව.


ඒ පාර දිගේ කෙලින්ම ආවම අපිට හම්බුනේ කසිප්පු වාඩිය. ධර්මෙ මාම වාඩිය ඇතුලට ගිහින් ආපහු ආවෙ රෙද්දක ඔතාගෙන ආපු දෙයක් මට දික් කරල කතා කරන ගමන්.


"අමරෙ මේක ලෙහල බලහන් මේක මීට කලින් දැකල තියෙනවද කියල."


මම ඒක ලෙහල ඇතුලෙ තියෙන දේ දැක්කම පපුව ගැහෙන්න ගත්ත.


ලේවලින් වැහිල තිබ්බෙ තාත්තගෙ පොඩි පිහිය.


"මෙ.... මේක.... තා..."


"හරි හරි මෙහෙ දිහං ඕක. මම කියන දේ හොඳට අහගනින්. උඹලගෙ අම්මවත් අක්කවත් මේක දැනගන්නවද නැද්ද කියන එක උඹට භාරයි"


මොකක්ද මේ වෙන්නෙ කියන එක පොඩ්ඩ පොඩ්ඩ මට තේරෙන්න අරන් තිබ්බෙ.


ධර්මෙ මාම ඒ පිහිය රෙද්දෙම ඔතල දාල කතාව පටන් ගත්ත.


"උඹලගෙ තාත්ත පෙරේද මෙතනට ඇවිල්ල. වෙනද වගේම. දන්නවනෙ බොන්න පුරුදු උන එකාට කොහොමත් බොන්නම ඕනෙ කියල. ඉතින් පෙරේද මාටිං කසිප්පු පෙරල නෑ. බඩු නැති නිසා.

ඒ උනාට උඹලගෙ තාත්ත ඇවිල්ල මෙතන කෑ ගහල. අතේ ගාණකුත් තිබිල. ඉතින් ඒකෙන් සල්ලි ටිකක් මාටිංට දීල මාටිංගෙන් බෝතලයක් ඉල්ලන් බීල මෙතන ඉඳන්ම.

මම කිව්වනෙ උඹලගෙ තාත්ත මාටිංට ණයයි කියල. මාටිං කාරය ඒකට කේස් එක ඇදල අර ඉතුරු සල්ලි ටිකත් අරගන්න හදල තියෙන්නෙ. උඹලගෙ තාත්ත ඌ එක්ක බැණගෙන වෙරිමතේම උට ඇනල ඉනේ තිබ්බ පිහියෙන්."


ධර්මෙ මාම ඒක කියනකොටනං මම අම්බානකට බය උනා. තාත්ත එක්ක මහ ලොකු සම්බන්ධයක් මට තිබිල නෑ පොඩි කාලෙ ඉඳන්ම. මට එහෙම තාත්තයි කියන්න තරන් දෙයක් එයා කරලත් නෑ.


ඒ උනාට මේක.....


"ධ.... ධර්මෙ මාමෙ. ඉතින්.. පොලි.... පොලිසියෙන් හොයාගෙනද"


"හම්ම්. එතන ඉඳපු එකෙක් ඔත්තුව දීල. මට බය තියෙන්නෙ ඒක ගැන නෙවෙයි"


"එ... එහෙනං මාමෙ"


"මාටිංගෙ අයියව දන්නව නේද. අල්ලපු ගමේ රාජාව. ඌ දැන් මාටිංව මැරුව එකට උඹලගෙ තාත්තගෙන් ඇරියස් කවර් කරයිද කියල."


මගෙ මූණ සුදුමැලි වෙනව දැකල ධර්මෙ මාම මගෙ ඔලුව අතගෑව.


"උඹ බය වෙන්න එපා. මම ඒක බලාගන්නං. උඹලගෙ තාත්ත ගමේ නෑ දැන්. මිනිහ ඊයෙ රෑම ගමෙන් පැන්න. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මම බලාගන්නං"


ධර්මෙ මාම ඒක කියන වෙලාවෙ එයාගෙ මූණෙ තිබ්බ තියුණු පෙනුමට , මට හිතුනා ධර්මෙ මාම ඒක කිව්වෙ හදවතින්මයි කියල. තාත්ත ගැනවත් නැති සෙනෙහසක් මට ධර්මෙ මාම ගැන ඇති උනා ඒ වෙලාවෙ.


මතු සම්බන්ධයි


Report Page