විරාග හෝරාව

විරාග හෝරාව

12

~ අවසන් කොටස ~

RL
මතකනෙ. ශෙහානයත් එක්ක ඩබල් ඩේට් එකකට ගියානෙ අපි. එතනදි මම සෙනූට proposal කලා. ඉතින් සෙනූත් එකපයින්ම කැමති උනා.


කලින් කොටසට



එතැන් සිට...


"හො හෝ. ජෝඩුව සැපත් උන වගයි ඔෆිස් එකට"


මොකාගෙන් බේරිලා ඔෆිස් එකට ආවත් ශෙහානයගෙන් බේරෙන්න බෑ.


"කෑ ගහන්න එපා බං. අද අපිට වැඩක් තියෙනව පොඩි"


"කියහං ඉස්සා"


"කට්ටියම එන්න රූම් එකට"


මම කාමරේට ගිහිල්ල මගෙ පුටුවෙන් වාඩි උනා. ඔෆිස් එකේ පස් දෙනාම ආව ඇතුලට. සෙනූ නං ඉන්නෙ නිකං වෙනම ලෝකෙක වගේ.


"ලොක්කට හෙඩ් ඔෆිස් එකෙන් වැඩක් බාර දීල. අපිවම විශේෂයෙන් නිර්දේශ කරල තියෙන්නෙ. වැඩේ කියන්න කලින් මම කියන්නෙ, මේකට ෆුල් කැපෑසිටි දාල වැඩ කරන්න ඕනෙ. තේරුනාද"


"සර් යස් සර්...."


ශෙහානය උදේම army ෆිල්ම් එකක් බලල වගේ.


"හරි දැන් මේකයි වැඩේ. අපේ කම්පැනියෙ ගිය මාසෙ ටිකක් ලොකු ගානක මුදල් අක්‍රමිකතාවක් වෙලා තියෙනව. ගිණුම් අංශෙන් ඒක සනාථ කරලත් තියෙනව. හැබැයි විමර්ශනයක් පටන් ගන්න කලින්ම කිසිම අඩුවක් නැතුව ආපහු ඒක බැලන්ස් වෙලා. ඒ කියන්නෙ දැන් කිසිම අක්‍රමකිතාවක් නෑ"


"ඉතින් එහෙනං අපිව ඕන්නෑනෙ"


"ඉඳපංකො ඉතින්. හෙඩ් ඔෆිස් එකෙන් කියල එවල තියෙනව, ඒ උනාට ඒකට හේතුව හොයාගන්න ඕනෙ කියල. වැඩේ භාරදුන්නෙ අපිට. රෙඩීනෙ එහෙනං"


කට්ටියම ඔලුව නවල වැඩේට සෙට් කිව්ව.


මමයි ශෙහානයයි සෙනූයි ගිණුම් අංශෙට යන්න ලෑස්ති උනා. මෙතුනියි අනිත් දෙන්නවයි යැව්ව බැංකුවට ඒ විස්තර ටික බලාගන්න.


"ඉස්සා මේ. දැන් උඹට හිතෙන්නෙ මොකක් වෙලා ඇති කියලද"


"තාම කියන්න බෑ බං. රෙකෝඩ් ටික බලල තමා කි......."


මම කියල ඉවර කරන්නත් කලින් ශෙහානය මාතෘකාව වෙනස් කලා.


"ආ සෙනුවෝ... දැන් විවාහකයි නේද"


සෙනූගෙ මූණ රතු වෙලා ගියා.


"ඇති ඇති. වැඩ කරන වෙලාවෙ වැඩේ කරහංකො"


තුන් දෙනාම ගිණුම් අංශෙට ඇවිල්ල රෙකෝඩ්ස් ටික චෙක් කලා. දවස් තුනක් ඇතුලත අඩු උන සල්ලි ටික ආපහු recover වෙලා.


පැය කාලක් විතර චෙක් කරන් යනකොට සෙනූ ආව ෆයිල් එකකුත් උස්සන්.


"සර්.... මේ මෙතන බලන්න... මේක නේද අවුල"


"කොයි කොයි" කියාගෙන ශෙහානය ඒ වෙලාවෙම පැත්තකට වෙලා බල බල හිටපු කාටුන් එකත් පැත්තකට දාල ආව නිකං වැඩ්ඩ වගේ.


සෙනූ පෙන්නපු money sheet එක දෙතුන් පාරක් බැලුවම මටත් මීටර් උනා සීන් එක. වෙන එකවුන්ට් එකකට සල්ලි ටිකක් මාරු කරල. හැබැයි ඒ එකවුන්ට් එකෙන්ම ආපහු ඒ ගානම කම්පැනියට දාල.


"well done සෙනුවො. ඉස්සගෙ නෝනගෙන් මීට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද ඉතින්"


ශෙහානය හෝ ගාල කියෝනව. සෙනූත් ඌ කියන ඒව හිනා වෙවී අහන් ඉන්නව සතුටින්.

ඒත් ඒ account num එක....


"සෙනූ , ශෙහාන් එක්ක ගිහිල්ල මේ ශීට් හදපු අතුල සර්ගෙන් අහන් එන්න මේව ශුවර් නේද කියල. මට පොඩි වැඩක් තියේ."


"ශුවර් නේද අහන්නෙ බං ඉතින් උට ශුවර් නිසානෙ ඕක අත්සන් කරල තියෙන්නෙ"


"ගිහිල්ල අහපංකො සෙනූ එක්ක පඬිය නොවී. පැය භාගෙකින් විතර එන්නං මං ඔෆිස් එකට."


සෙනූටයි ශෙහානයටයි යන්න කියල මම ආව අපේ ලොක්කගෙ කාමරේට.


"ආ ඉශාර. මොකෝ උනේ කේස් එකට. වැඩේ විසඳුවද"


"තාම නෑ සර්. මේ... ජයසිංහ මාම හිටියද අද"


"ජයසිංහ ආව. මිනිහ කැන්ටිමට ගියා මම හිතන්නෙ. අහ් මේ... ඉශාර. ජයසිංහව හොයන්නෙ කේස් එකට සම්......"


"මම දන්නව සර්. මම කතා කරල බලන්නං"


ලොක්කා ලොකු හුස්මක් පහලට දාල මම දිහා බලල ඔලුව පාත් කලා.


කැන්ටිමට ඇවිල්ල ජයසිංහ මාමව හොයනකොට මිනිහ කාල ඉවර වෙලා ප්ලේන්ටියක් බොනව කොනේ මේසෙකට වෙලා.


"ආ ජයසිංහ මාමා"


"ආ ඉශාර පුතා. සොරි... මේ... සර්... මෙ"


"ආ ඒකට කමක් නෑ. සර්ට වඩා පුතා තමා සෙට් වෙන්නෙ. මොකෝ වෙන්නෙ ඉතින්"


"මොනා වෙන්නද පුතා. මේ ලෝක ප්‍රශ්නෙක ඉඳල යන්තං නිදහසක් ආව විතරයි"


"හම්ම්"


"පුතා මොකෝ මෙහෙ කරන්නෙ"


"මම ආවෙ මාමව හම්බෙන්න. පොඩ්ඩක් කවුරුත් නැති තැනකට යංද අපි"


ජයසිංහ මාමට ඉවෙන් වගේ තේරුනාද කොහෙද මම කතා කරන්න හදපු දේ.


"හම්ම්. පුතා හොයාගෙන ඇති කියල හිතුන මට. විමර්ශනේට සම්මාන හම්බෙන්නෑනෙ නැත්තං"

මාම හිනා වෙවී කතා කරන්නෙ දැන් මොනව උනත් එකයි කියන හැඟීමෙන්.


කලින් මම බලපු money sheet එකේ සල්ලි transfer කරපු account එක, මුලින්ම මම කම්පැනියට ආපු කාලෙ වැඩ කරපු තැන කට්ටිය එකතු වෙලා හදාගත්තු account එකක්. ඒක හැදුවෙ කාටහරි සල්ලි හදිස්සියක් උනොත් හැමෝම ඒ account එකෙන් සල්ලි දැම්මට පස්සෙ සල්ලි අවශ්‍යතාවක් තියෙන කෙනාට ඒක ගන්න.


දැනට අපේ කම්පැනියෙ ඒ ඉස්සර හිටපු සෙට් එකෙන් ඉන්නෙ මමයි ජයසිංහ මාමයි තව එක්කෙනෙකුයි විතරයි. ජයසිංහ මාම තමා ඒ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. ඒ එකවුන්ට් එක කාලෙකින් පාවිච්චි නොකරපු නිසා ජයසිංහ මාම ඒක අරගත්ත.


මාමත් එක්කම එලියෙ බංකුවකට ඇවිල්ල වාඩි උනා.


"වැරදියට හිතන්න එපා මාමෙ. මං දන්නව මාම කම්පැනියට සතයක් වත් වංචා කරල නෑ කියල. ඒ වගේම ලොකු සර්ත් දැනුවත්ව මේ වැඩේ උනේ කියල. මට කියන්න පුලුවන්ද මොකක්ද උනේ කියල."


ජයසිංහ මාම කිව්ව මට සම්පූර්ණ කතාවම.


මාමගෙ නෝනට ඔපරේශන් එකක් කරන්න තිබිල. ඒකට සල්ලි මදි නිසා බැංකුවක ලෝන් එකක් දාල. ඒත් වෙලාවට සල්ලි හම්බෙන්නැති නිසා, වෙන කරන්නම දෙයක් නැති නිසා ලොක්කට කියල. ලොක්ක තමා අර acc එකට සල්ලි යවල තියෙන්නෙ. පස්සෙ ජයසිංහ මාමට ලෝන් එක හම්බුනාම ආපහු ඒ ගාන පියවල.


"පුතාට දැන් කරන්න තියෙන දේ කරන්න. මට මීට වඩා තව කරන්න දෙයක් නෑ. ඉඩමක් විකුණල ලෝන් එකට ගෙවනව"


මම මුකුත් නොකියම ඔෆිස් එකට ඇවිල්ල රිපෝට් එක ලිව්ව.


සම්පූර්ණයෙන්ම ලිව්වට පස්සෙ ලොක්කට ගිහින් දුන්න ඒක. ලොක්ක ඒක අතට ගත්තෙම හිත බිඳුණු විදිහට. ෆයිල් එක ඇරල ටිකක් දුර කියවල ලොක්ක කණ්නාඩිය පාත් කරල මට කතා කලා.


"ඉශාරට විශ්වාසද මේ වැඩේ හරි කියල."


"ඔව් සර්"


ජයසිංහ මාම කලේ සැමියෙක් පියෙක් විදිහට එයාගෙ නෝනට ජීවිතේකුයි ළමයින්ට අම්ම කෙනෙකුයි බේරල දීපු එක. ආයතනයේ සේවකයෙක් විදිහට මගෙ රස්සාව වංචා දූශණ නවත්තන එක. ඒත් මෙතනදි මම රස්සාව පැත්තකට දාල මනුස්සකමට ඉඩ දුන්න.


රිපෝට් එකේ ලිව්වෙ පරිගණක දෝශයක් නිසා සිදු උන දෙයක් කියල. ශෙහානයගෙ අයිය ලව්ව ඒ pc එකට කෙලවන එක මහලොකු දෙයක් නෙවේ.


සර් මුලු රිපෝට් එකම වේගෙන් වේගෙන් කියවල අන්තිමට මට කතා කලා.


"ඉශාර. අපි හොඳ මිනිස්සු වෙන්න පුලුවන්. හැබැයි අපිට හැමදාම හරියන්නෑ. අපි හොඳ මිනිස්සු උන පලියට වෙන අය අපිට උදව් කරන්නෙත් නෑ. ජයසිංහට උනෙත් ඒකයි. කොච්චර අවංකව වැඩ කලත් අන්තිමට මිනිහට මිනිහ විතරයි. ඉශාරට විශ්වාස නැතුව මේ රිපෝට් එක යවන්න එපා. ඉශාර ඇත්ත කියල යැව්වත් කවදාවත් ජයසිංහ ඉශාර එක්ක තරහ වෙන්නෑ"


"මං දන්නව සර්. ඒත් මේ මගෙ අන්තිම තීරණේ"


"හම්ම්. මම ඉශාරගෙන් දෙයක් අහන්නද"


"අහන්න සර්."


"ඉශාර දැන් ළඟදි බඳිනව නේද"


"ඔව් සර්"


"ඉශාර ලෑස්තිද මේ වගේ අවදානමක් ගන්න. ඉශාරට පුලුවන්ද ඒ දේවල් handle කරන්න"


සෙනූට එහෙම දෙයක් උනොත් මම ඇත්තටම මොනව කරයිද.... හම්බෙන පඩියෙන් ඔපරේශන් එකකට ගෙවන්න විදිහක් නෑ. ලෝන් එක පරක්කු උනොත්..... ඉන්න ගේ විකුණන්නත් බැරි නං වෙලාවට..... ඔව්.... මමත් ඒකම කරයි


"මම ලෑස්තී සර්!"


-නිමි-


සියලුම කොටස් | නවකතා | කෙටිකතා

Report Page