Dear Kandell 🤎
Sachy Collins
Episode 03 🍂
🚫 Do not copy or share without author's permission | Previous
"නෙවාන්.."
"සර්.."
"නෙවාන්ට කම්ප්ලේන් එකක් තියෙනවා."
මම අද දවසට තියෙන පාර්සල් ටික ගන්න යද්දි සර් එහෙම කිව්වේ මාව ඔෆිස් එකට ගෙන්නලා. මේ මොකක්ද දෙයියනේ මේ වෙන්නේ. මම දන්න හැටියෙන් නම් මම වැරැද්දක් කලේ නෑනේ 🙄.
"මොකක්ද සර්.. මගෙ අතින් වැරැද්දක් උනාද ?"
"මගෙ යාළුවෙක්ගේ දුවෙක්ගේ පාර්සල් එකක් ඔයා ඩිලිවරි කරලා තියෙනවා."
"ඉතින් සර් ඒකෙ මොකක් හරි වැරැද්දක්ද ?"
"ඔව්.. මෙහෙන් හොඳට තිබ්බ පාර්සල් එක ඔයා කුරියර් කරද්දි කැඩිලා තියෙනවා."
සර් පොතක් බල බල එහෙම කියද්දි මම බිම බලාගත්තා. වෙන්න බැරිකමක් නෑ. වලවල් තියෙන පාරවල් වල යද්දි, බෑග් එක එහෙට මෙහෙට වෙද්දි පොඩි පොඩි අයිටම් කැඩෙන්න පුළුවන්නේ.
"අපිට මේකට ඔයාට ඇක්ෂන් එකක් ගන්න වෙනවා."
"ගොඩක් වටින එකක්ද කැඩිලා තියෙන්නෙ සර් ?"
"ඔව්.. මේ මිනිස්සුන්ගෙ සල්ලි නෙවාන්. එයාලා අපි වගේම දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි. ඩිලිවරි මෑන් කෙනෙක් උනාම ඔයා දැනගන්න ඕනි මේක වෙන විදිහ. පොඩි පොඩි පාර්සල් ඔයාලා ඕගනයිස් කරගන්න ඕනි පරිස්සමට."
දැන්ද මට ඕක කියන්නේ. කලින් ඔයාලා අපිට උපදෙස් දීලා තිබුණා නම් මම ඒ විදිහට වැඩ කරනවානේ. කලින් මේ වගේ ජොබ් එකක් කරලා තිබුණෙ නැති මම මේ දේවල් දැනගන්න සක්කරයගෙ පුතා යෑ. අනික මගෙ අතින් විතරද මෙහෙම බඩුවක් කැඩිලා තියෙන්නේ. මට නම් පේන්නෙ සර් කාරයාට මාව අයින් කරන්න කවුරු හරි කොන්ත්රාත්තුවක් දීලා.
"ඒත් සර්ලා මට එහෙම උපදෙස් දීලා තිබුණෙ නෑනේ."
"මොළයක් තියෙනවානෙ නෙවාන්. මොළෙන් හිතලා ගේමක් ගහන්න පුළුවන් නම් මේක ඔයාට හිතා ගන්න බැරි වෙන්න ඔයා පොඩි බබෙක්ද."
"හරි හරි සර්.. මට කියන්න දැන් මම මොකක්ද කරන්න ඕනි."
"මට සිද්ධ වෙනවා ඔයාව ජොබ් එකෙන් අයින් කරන්න. මම කැමති නෑ මට මෙහෙම කම්ප්ලේන් එනවට."
හිතක් පපුවක් නැති එකා වගේ සර් එහෙම කියලා පුටුවෙන් නැගිටිද්දි මම රූම් එකෙන් එළියට යන්නයි ගියේ. ඒත් පොරම ඇවිත්,
"අද ගාන අරන් යන්න."
සර් එහෙම කියද්දි මම මුකුත් නොකියා එළියට ආවා. මාව මෙහෙම අයින් කරන්න පුළුවන් නම් මම මොකටද උන්ම නිකන් දෙන සල්ලි බාරගන්නේ. මටත් පෞරුෂයක් තියෙනවා.
බයික්කෙට නැග්ග මම දමලා ගහලා ගෙදර ආවා. ගිය පයින්ම මම එනවා දැකපු අම්මා ගේ අස් කරන එකත් නවත්තලා මගෙ කාමරේට ආවා. ඇඳුමක් මාරු කරගත්තු මම කාමරෙන් එළියට ආවේ තරහා නිවෙන්නත් එක්ක අම්මා අතින් හදපු තේ එකක් බොන්න.
"ඇයි පුතේ.. මොකක්ද ප්රශ්නේ ?"
අම්මට කියම්දෝ නොකියම්දෝ කියලා මට හිතුණා. ඒත් එයාට ඇත්ත නොකියාත් බෑ. මොකද අපේ පවුලම ජීවත් උනේ මගෙ මේ පොඩි පඩියෙන්. ඊට අමතරව අම්මා වතු වැඩ කරන්න ගිහිනුයි තව පන්සීයක් දාහක් හොයාගත්තේ.
"මාව ජොබ් එකෙන් අයින් කරා අම්මේ."
"හත් දෙයියනේ. ඒ මොකද පුතේ 😨."
"මම දුන්න පාර්සල් එකක් ඩැමේජ් වෙලාලු අම්මේ."
"කොහොමද ඒක ඔයා දුන්න පාර්සල් එකක්මයි කියන්නේ ?"
"සර්ගෙ යාළුවෙක්ලු ඒ."
"අපොයි දෙයියනේ. අනේ අපි දැන් මොකද කරන්නේ."
"කරන්න දෙයක් නෑ අම්මේ. ඔයා කිව්ව අර ඉන්ටර්විව් එකටවත් ගිහින් බලනවා. ඒක හරි ගියොත් තමයි අපිට අනාගතේ ගැන බලාපොරොත්තුවක් හරි තියාගන්න වෙන්නේ."
මට නම් මේක කාගෙ හරි ප්ලෑනක් කියලා තේරුණා. ඒ නිසා මම ඒ ගැන ගණන් ගත්තෙ නෑ. ඒත් අම්මට අවුල් වගේ මම කරපු ජොබ් එක ගහලා ගියාට.
"පුතේ."
හවස මම ඉස්තෝප්පුවට වෙලා ඉඳගෙන ඉද්දි අම්මා ඇවිත් ළඟින් වාඩි වුනා. තාත්තා නැති අපිව තනි නොකරපු එකම කෙනා අපේ අම්මා තමා. මම වැටුණු හැම වෙලාවකම මගෙ අම්මා මගෙ ලඟම හිටියා.
"පුතා කිව්වා නේද අර වයසක මනුස්සයෙක් ලොකුකම් දැම්මා කියලා."
"ඉතින් ?"
"මට හිතෙනවා ඒ මනුස්සයා පුතා එක්ක තරහකට මෙහෙම සර්ට බොරු කියලා ඇති කියලා."
අම්මා එහෙම කියද්දි මම අම්මා දිහා ක්ෂණික පටස් හැරිලා බැලුවා. අර කණ්නඩි කෙල්ලගෙ සුදු සීයා මං දිහා ඔරවලා බලලා ලොකු ලයින අල්ලලා ගියපු හැටි මට මතක් උනා.
"ඒ මනුස්සයාට මොකක්ද මං එක්ක තියෙන තරහා අම්මේ. මම එයාලට වරදක් කරේ නෑනේ."
"සල්ලි තියෙන මනුස්සයෙක්නේ පුතේ. අර ගෑණු ළමයා ඔයා ගැන මොනා හරි කේලමක් වත් කිව්වද දන්නෙ නෑනේ. ඒ තරහට කරාද කව්ද දන්නේ."
"ඒ කණ්නඩි පොළඟි එහෙම කරයිද ?"
මම හීනිවට මුමුණලා ඈතින් එන මීදුම දිහා බලාගෙන හිටියා. කණ්නඩි මිස්ගේ ග්රෑන්ඩ්පා මට එහෙම කරලාද එතකොට. නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒ කෙල්ල හරි අහිංසකයිනේ පෙනුමෙන් නම්. එයා එහෙම සීයාව අවුස්සන්න නැතුව ඇති.
"සමල් පුතා දන්නවද මේ ගැන."
"ඔව්.. පොරත් සර්ට එකේක ඒවා කියන්න ගිහින් උගෙ ජොබ් එකත් ගහගෙන ඇවිත් තියෙන්නේ."
"හපොයි."
සමලා මං වෙනුවෙන් කතා කරන්න ගියා. ඒත් පොරට සර් බැනලා මාව සුද්ද කරන්න එපා කියලා. සමලාට තරහා ගිහින් ඌත් දමලා ගහලා ඇවිල්ලා ගෙදර. දැන් මටත් ජොබ් එකක් නෑ, මගෙ එකාටත් ජොබ් එකක් නෑ.
"අපි බලමුකො වෙන දෙයක්. පුතා ඉන්ටර්විව් එකට යන්න ලෑස්ති වෙන්න සමල් පුතා එක්ක. මම හිතන්නෙ නෑ මේක වරදියි කියලා."
"හ්ම්.."
අම්මා කිව්ව නිසාම මම බලාපොරොත්තු තියාගත්තා. කොච්චර කෙරුවත් මට නම් අර වයසක ලොක්කා අල්ලන්නෙ නෑ. මම එයාගෙ දුවට ලයින් දායි කියලා බයටවත් පොර මම එහෙ එන එක නැවැත්තුවද දන්නෙ නෑනේ.
........
හිතුවා වගේම දවස් දෙක තුනකින් මට ඉන්ටර්විව් එන්න කියලා මැසේජ් එකක් ආවා. ඉතින් මම ලෑස්ති උනා ඉන්ටර්විව් එකට යන්න.
"පුතේ.. එහෙනම් අද ඉන්ටර්විව් එක සාර්ථක වෙන්නම ඕනි."
මම බෑග් එකත් අරගෙන එළියට බහිද්දිම අම්මා මලක් දාපු වතුර එකක් අරගෙන ඇවිත් මට බොන්න දුන්නා. හැම ඉන්ටර්විව් එකටම යද්දි මම මල් දාලා වතුර බිව්ව නිසාද කොහෙද ඉන්ටර්විව් බෝඩ් එකේ හිටපු අයත් නියඟලා මල් වගේ පෙනුණේ. සමහරවිට අදත් මට අහගන්න වෙයිද දන්නෑ අර ඉස්සර අහපු වාක්යේ.
"මං යන්නම් අම්මේ."
"හරි පුතේ."
අම්මට වැඳලා මම බයික්කෙට නැග්ගා. සමලත් මං එක්ක බයික්කෙම ආවා ටවුන් එකේ ෆයිනෑන්ෂල් කම්පැනි එකට. උස බිල්ඩින් එකේ පිටිපස්සෙන් බයික්කෙ පාක් කරපු අපි ඉන්ටර්විව් තියෙන තැන ඇතුලට ගියා.
"නම්බර් ටුවෙන්ටි ටූ.. නෙවාන් දෙව්සිඳු වීරවර්ධන."
ඇතුලට යන්න චාන්ස් එක එනකම් ඉඳලා ඉඳලා මගෙ නම ඇහෙද්දි මම උඩ ගියා වගේ. අනේ මගෙ දෙවියනේ දැන් නම් My time has come 😬.
"මාසෙකට පනහක් බන්.. ගේම දීපන් කොහොම හරි."
සමලා මගෙ පිටට තට්ටු කරලා එහෙම කියද්දි මම පොර දිහා බලලා ෆයිල් ටිකත් අරගෙන ගැම්මට රූම් එක ඇතුලට ගියා. ඉන්ටර්විව් බෝඩ් එකේ මැඩම්ලා දෙන්නෙකුයි එක සර් කෙනෙකුයි හිටියා. සාමාන්යයෙන් මැඩම්ලාගෙ හිත උණුවෙන නිසා මට ඉන්ටර්විව් පාස් වෙන්න බැරි කමක් නැතිවෙයි.
"නෙවාන්.. අපිට ඔයාගෙ ඩීටේල්ස් ටිකක් කියමුකෝ ඉන්ග්ලිෂ් වලින්."
"Okay sir."
ඉස්සර General English වලට හිටපු ටීචර්ට පිං සිද්ධ වෙන්න අපි ඉගෙන ගත්තා ඉන්ටර්විව් එකකට ගිහින් තමා ගැන ඉංග්රීසියෙන් කියන විදිහ. ඉතින් මම දන්න විදිහට මම ගැන එයාලට කිව්වා. මම කියපු දේවල් එයාලා හොඳට අහගෙන හිටියා.
"නෙවාන් ඒ ලෙවල් වලට පස්සෙ මොනා හරි කලාද."
"ඔෆිස් කෝස් එකක් කරා සර්. මේ තියෙන්නේ ඒකෙ සෙටිෆිකට් එක."
"හ්ම්.. අන්තිමට නෙවාන් ජොබ් එකක් කළාද ?"
"ඔව් සර්.. මම ඩිලිවරි මෑන් කෙනෙක් විදිහට ජොබ් එක කලෙ."
එයාලා මොනවද මංදා කතා වෙලා කතා වෙලා මගෙ අතට ආයෙමත් ෆයිල් ටික දුන්නා. ඒ කියන්නෙ මේ ඉන්ටර්විව් එකත් මකබ්ලාස් වෙලා ගියාද, ඉස්සෙල්ලා ඒවා වගේ ?
.................................................. 🤎 ...
කොල්ලගේ ඉන්ටර්විව් එක සක්සස් වෙයිද ළමයි..
නැත්නම් ආයෙ අලුත් ජොබ් එකකට යන්න වෙයිද..
හමුවෙමු Episode 04 න්…
Sachy Collins