සිතුවිලි සිර වී.....

සිතුවිලි සිර වී.....

Ravindu T. Chandrasekara

සිතුවිලි සිර වී.....(කෙටිකතාවකි)


සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් මම දුරකථනය පසෙකින් තැබුවේ තවදුරටත් එහි රැඳී සිටීමට තරම් සිතේ ශක්තියක් නොවූ බැවිනි.ඇගේ whats app ගිණුමේ status දුටු විට එහි ඇති වීඩියෝව වනාහි මා පිළිබඳව ඇගේ සිතේ වූ හැඟීම් විහිදාලන අවස්ථාවක් ලෙස මට හැඟී තිබුණු බැවිනි. ඇයට කෙසේ එය පැහැදිලි කර දෙන්නද? කෙසේ තේරුම් කරවන්නද? දන්නා සියළු ක්‍රමෝපායන් යොදා ගත්තද ඉන් ඵලක් ලැබුනු බවක් මේ වනතෙක් මට හැඟි නොමැත.

ඈ මා හට පෙම් කරන බව ඈ මා පතන බව අවස්ථා කීපයකදී මට ඇඟවූවද මම ඒවා නුදුටු සේ සිටියේ ප්‍රේමය නැමැති කුණාටුවෙන් කීපවරක්ම බැට කෑ මට යලිත් එවැන්නකට අත පෙවීමට තරම් උවමනාවක් නොමැති වූ බැවිනි. කෙසේ වූවද අවසානයේ මා ඍජුවම ඇගෙන් ඒ පිළිබඳව විමසුවෙමි. තරමක පසුබෑමකින් පසුව ඈ මට සත්‍ය හෙළි කළද එමගින් මා තවත් අසරණ වූයෙමි. මන්දයත් ඇගේ සිතේ පැවැති සෙනෙහස දුටු විට ඇගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමට තරම් මසිතේ ශක්තියක් නොතිබුණු බැවිනි.

කෙමෙන් කෙමෙන් ඈ මා හා ආස්‍රය තීව්‍ර කලේ රැය පුරා ඈ සමග දුරකථන සංවාදයෙහි යෙදිමට තරම් සමීප වෙමිනි. ඈ සමග ගත කරන සෑම මොහොතකම මම ප්‍රේමයක අනවශ්‍යතාවය ඇයට පැහැදිලි කළ විට ඇය කෝප වූ සිතකින් මගෙන් මොහොතකට සමුගත්තද යළි ඈ ළං වූයේ පෙරටත් වඩා සෙනෙහසිනි. මගේ සිතේද කෙමෙන් කෙමෙන් ප්‍රේමයක උණුහුම සොයන්නට වූ අතර එහෙත් අතීතය දෙස බලා එම හැඟීම් මා යටපත් කර ගත්තෙමි. දෙතුන් වරෙක සිතේ ගිලන් බව උපරිම වූ විට මා නිවැසියන්ට හොරෙන් මධුවිත ගෙනැවිත් පානය කොට යහනට ගොඩ වූයෙමි. ඒ සෑම විටකදීම මගේ මනෝභාවයන් පාලනයකින් තොරව ඇගේ නිරුවත සොයන්නට විය.

 ඒ සෑම විටකදීම ඈ චකිතයකින් යුතුව වුවද මා සමග සසඟ වූයේ සිතේ ඇතී අසීමිත සෙනෙහස මට පෙන්වමිනි. වල්කමත් ප්‍රේමයත් අතර වෙනස මා ඇගෙන් දුටුවෙමි. කෙසේදයත් ඈ පතා එන සෑම අයෙකුගේම වතගොත සංවාද මා හට ඉදිරිපත් කිරිමට ඈ මැළි නොවූ බැවිනි. ඊටත් වඩා ඔවුන් සමග chat කිරිමට ඇය උනන්දු නොවූ බැවිනි. පියවි සිහියට මා එනවිට මා කළ වරද මට සිහිවන්නේ එතෙක් මෙතෙක් මා කළ විශාලතම වරද ලෙසයි. කුමන හෝ වාසනාවකට අප හමුවීමට නොහැකි තරම් දුරකින් අප නිවෙස් පිහිටා තිබිණි. නැතිනම් ඇය අනිවාර්යයෙන්ම ඇගේ පතිවත් ඇගේ කන්‍යාභාවය මා වෙත පුදන්නට ඉක්මන්  වනු නොඅනුමානය. කෙසේ කෙතරම් රිදුම් දුන්නද අවසානයේ මා ඈ ප්‍රතික්ෂේප කළෙමි. ඈ හට පෙම් නොකර බව ඍජුවම පැවසුවෙමි.


"එහෙනම් අපි මේ තේරුමක් නැ නැති වැඩක් නේ කරලා තියෙන්නේ

 මං ආයෙ ඔයාට කතා කරන්නෙත් නෑ මැසේජ් කරන්නෙත් නෑ."

 ඒ ඇගේ පිළිතුර විය.

එදා ඒ වචන පවසන මොහොතේ මගේ ඇඟිලි තුඩු යතුරු පුවරුවේ ස්පර්ශ වෙමින්

" යන්න එපා මැණික. මං ඔයාට ආදරෙයි. ම්ං මගෙ හිත කොහොමහරි නම්මාගන්නම්. ඈත් වෙන්න එපා මගෙන්"

ලෙස සටහන් කිරීමට උත්සාහ දැරුවද දැඩි ආයාසයෙන් එය නවත්වාගත්තේ සිත එවැන්නකට සූදානම් නොවූවොත් යන සැකය ඇති වූ බැවිනි.


 එතැන් පටන් ඈ දින කීපයක් මා හා සම්බන්ධකම් පැවැත්වූයේ නැත. නමුත් ඈ බොහෝවිට සමාජ මාධ්‍ය හරහා වක්‍රාකාරයෙන් මා හට වේදනාත්මක පහර දීම් සිදුකලා ය. වරෙක ඈ මගේ නම කියමින් මා බෙදා ගත නොහැකිව මරාගන්නා කෙල්ලන් කීපදෙනකු අඩංගු මීමරයක් පළ කලා ය. තවත් වරෙක මා කළේ වංචාවක් බව පෙන්වීමට වීඩියෝ පළ කළා ය. අද මා එසේ කම්පා වූයේ ඈ පළකල එවැනි වීඩියෝ පටයක් හේතුවෙනි.


"කොහෙදෝ කියලා විහිලුවෙන් ඇහුවා

කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්

ඔහු හා ඔබ යන්නට මත්තෙන් 

ඔය දෑත දාලා යන්න මට තිබුනා.."


ඈ පළකල ඒ පැදිපෙලින් මහද ප්‍රකම්පිත කරවීය.

 

එදා පටන් අද වන තුරු මා සිතේ රජ කළේ, මා හද පත්ලෙන් නැගුනු ප්‍රශ්නය වූයේ 

රැවටීම,මුලාව යනු

*මවාගත් බොරු ප්‍රේමයක් පෙන්වා ඈ සතු සියල්ල සූරා කා ජීවිතයක් සමග සෙල්ලම් කිරීමද?


* එසේ නොමැති නම් ප්‍රේමය නොපතන ලබා දිය නොහැකි බව පවසා ඉවත්ව යාමද ? 


යන්නයි. 

ඒ සොඳුරු කෝමළ රුවැති යුවතිය මෙය දකී නම් මා ඇයගෙන් අසන එකම ප්‍රශ්නය නුඹ පවසන පරිද්දෙන් මා වැරදි කරුවෙකු නම් ඒ වරද මා අත පමණමද? මා නුඹ මුලා කලාද නැතිනම් මා නුඹව මුලාවකින් බේරාගත්තාද?


පිළිතුරක් නොමැති ප්‍රශ්නයක් අභියස දිවියේ හිස් පිටුවක් තුළ මා අසරණ ව සිටිමි.......

(සත්‍ය සිදුවීමක් ඇසුරිනි. කරුණාකර කර්තෘ අයීතින් සුරකින්න)
-විදූ
------------------------------------------------------------------------------------------------------------------------
හරි ඉතින් කට්ටිය. කාලෙකින් නේද? ලියන්න කියලා යාලුවෙක් බල කරලා කරලා අන්තිමට බැරිම තැන ලිව්වා. ඒත් මාතෘකාවක් නැතුව අන්තිමට ඌටම එච්ච සිද්ධියක් අකුරු කරලා දැම්මා. කමෙන්ට් එකක් අනිවාර්ය්යෙන් දාගෙන යන්න. එහෙනම් හැමෝට සුබ අනාගතයක්..!

Report Page