වඩින තුරු සඳ- 7

වඩින තුරු සඳ- 7

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-7

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-6-09-09


දඩ බඩ ගාලා පුටුවත් පෙරළන් නැගිටලා කෑ ගහපු මගේ කට වැහුණේ මං ගාව හිටන් හිටපු කෙනාගේ මූණ දැකලා.

සුදු ෂර්ට් එකක් ඇඳලා අත් දෙක නවලා හිටපු කොල්ලෙක් මගේ ඉස්සරහ හිටියා. කොල්ලෙක් කීවට මට වඩා අවුරුදු හතරක් පහක් වැඩිමල් ඇති. පුදුම වෙලා වගේ මං දිහා බලන් හිටපු එයා යන්තම් හිනාවක් දාලා පන්තිය ඉස්සරහට ගියා.


"හරි දැන් ඔයා පන්ති නායිකාවද?"

එයා තත්සරණිගෙන් ඇහුවා.


"ඔව් සර්"


"හරි ඔයා යන්න."


එහෙම කීවට පස්සේ තත්සරණි මං ගාවින් ඇවිත් හිටගත්තා.


"හරි මුලින්ම හැමෝම තමන් වාඩි වෙලා ඉන්න තැනට යන්න."


එහෙම කීවම මුළු පන්තියම යන්තම් හිනා වුණේ බාගෙට බාගයක් වෙන වෙන තැන්වල හිටපු නිසා. එහෙම හිටපු අය හිටපු තැන් වලට ගියාට පස්සෙ සර් කතා කරා.


"හරි දැන් හැමෝම තම තමන් ඉන්න තැන් වල වැටිලා තියෙන රොඩු කොළ අරවා මේවා ඇහිඳින්න. අද අතුගාන්න ඉන්නේ කවුද?"


අතුගාන්න හිටපු සෙට් එක අත උස්සව්වා.


"කොස්ස අරන් අතුගාන්න පන්තිය. ඉක්මණට. ජනේල ඇරලා දාන්න."


සර් එහෙම කියද්දි හැමෝම මේස උස්ස උස්ස අතුගාන්න උදව් කරා.


"එක්කෙනෙක් ෂොපින් බෑග් එකක් අරගෙන කුණු ඒකට දාන්න."


මලින්දි ඩස්ට්පෑන් එකක් අරන් කුණු ඔක්කොම ෂොපින් බෑග් එකකට දැම්මා.


කම්මැලි නිසයි නිදිමතයි නිසා මට ලොකු ඈණුමක් ගියා. ඒක දැකලා සර් මං දිහා ඇස් පුංචි කරලා බැලුවා.


"ඔයා ඕයි දැන් ඕයි ගිහින් ඕයි මූණ ඕයි හෝදන් ඕයි එන්න ඕයි. තාම ඕයි ඔයාගේ ඕයි මූණේ ඕයි නිදිමත ඕයි තියෙනවා ඕයි"


ඕයි ඕයි කියලා මං බැනපු නිසාද කොහෙද ඕයි කියන වචනේ දාලා සර් මට හින්ට් එකට කීවා.


ඒක අහපු ගමන් ඉමේෂා හයියෙන් හිනා වුණා.


" ඒකේ හිනාවෙන්න තරම් දෙයක් නෑනේ?"


සර් ඇහුවේ ඉමේෂා දිහා බලලා.


මුළු පන්තියම ඒකට හයියෙන් හිනා වුණා.


"ඒකේ නම් හිනාවෙන්න දෙයක් තියෙනවා"


හිනාවෙවී සර් කියපු එකට මටත් යන්තම් හිනා ගියා.


"හරි තව අත් හෝදාගන්න ඕනේ අය ඉක්මණට ගිහින් අත් හෝදන් එන්න. කුණු ටික පන්ති නායිකාව ගිහින් දාලා එන්න. හැමෝටම විනාඩි පහක් දෙනවා."


සර් කීවම කීපදෙනෙක් ඇරෙන්න අනික් හැමෝම පන්තියෙන් එළියට ගියා.


මාත් නැගිටලා පන්තියෙන් එළියට ගිහින් සින්ක් එක ගාව හිටගත්තා. අත් දෙක හෝදපු මම තත්සරණි එනකන් බලන් හිටියා.


"කවුද බන් ඒ?"


සින්ක් එකෙන් අත හෝදන ගමන් හිටපු තත්සරණිගෙන් මං ඇහුවා.


"ඕලෙවල් පන්ති වලට උගන්නන සර් කෙනෙක් බන්. රිලීෆ් පීරියඩ් එකට ආවා වෙන්න ඇති."


මගේ මූණට වතුර බිංදු ටිකක් ඉහින ගමන් තත්සරණි කීවා.


පඩිපෙළ නැගලා අපි පන්තියට යද්දි සර් හිටගෙන ඉන්නවා පන්තිය ඉස්සරහා.


"Excuse me සර්"


" එන්න ඇතුළට."


සර් කීවට පස්සේ අපි දෙන්නා ඇතුළට ගිහින් වාඩි වුණා.


"හරි හැමෝම ආවා නේද?"


වටපිට බලපු සර් ඇහුවා.


"හොඳයි එහෙනම්. මං කවුද කියලා ඔයාලා දන්නේ නෑනේ. ඔයාලාගේ මැඩම් රිටයර් උනා නේ? අද ඉඳලා මං තමා ඔයාලාගේ පන්ති භාර. ඒ වගේම තමා ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකම උගන්නන්නේ මම. මං තාරක අභිසෙස් ගමාරච්චි. මේ ඉස්කෝලෙම ඕලෙවල් පන්ති වලට ඉගැන්නුවා මං. දැන් ඒ පන්ති වලට අමතරව ඔයාලාටත් උගන්නනවා."


එහෙම කීවම මුළු පන්තියම කසු කුසු ගාන්න ගත්තා.ඒ අතරේ මං හොරෙන් බැලුවා සර් දිහා.


සුදට හුරු පෙනුමක් තිබ්බ එයාගේ මූණ පුරාම රැවුල සම්පූර්ණයෙන් කපලා තිබ්බා. කෙට්ටු උස ඇඟක් තිබ්බ එයාගේ නළල සෑහෙන්න ලොකුයි. හරියට ෂර්ලොක් හෝම්ස් එකේ මොරියාටිගෙ නළල වගේ. එක තැන ඉන්නෙ නැතුව නළියන ඇස් දෙකේ තිබ්බේ ආඩම්බරකාර පෙනුමක්.

"හරි හැමෝම සද්දය නවත්තන්න. දැන් මේ මං අලුතින් ආපු නිසා ඔයාලාගෙ ටයිම් ටේබල් එක පොඩ්ඩක් වෙනස් වෙයි. ඒ වෙනස් වෙන ටයිම් ටේබල් එක මම අද ඉස්කෝලේ ඉවර වෙන්න කලින් ගෙනත් දෙන්නම්. ඒක පන්තියේ බෝඩ් එකේ දාන්න. පන්ති නායිකාව ඒකෙ වගකීම ගන්න. හරි දැන් මට ඔයාලා එක්ක කතා කරන්න සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ඊට කළින් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඊට කළින් ඔයාලාගේ පන්තියේ පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ඒවා කතා කරන්න ඕනේ. දැනට ඔයාලාට කෙමිස්ට්‍රි වල පිසිකල් පැත්තයි කර්මාන්ත පැත්තයි අත ගහලා වත් නෑ. ෆිසික්ස් වල තාපයෙන් එහා මුකුත් කරලා නෑ. ඒ කියන්නේ අපට මාස දෙකක් ඇතුළත ලොකු ගමනක් යන්න තියෙනවා. මේ සිලබස් එක කවර් කරගන්න නම් මට ඔයාලාගෙ උදව් ඕනේ වෙනවා. ඒක නිසා අපි ඒක අද හෙටම පටන් ගමු. තව දෙයක් තමා අන්තිමට තිබ්බ වාර විභාගේ පේපර්ස් ටික ඔයාලා හෙට එද්දි අරන් එන්න ඕනේ. ඒකෙත් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක විතරයි. අනිවාර්යයෙන් හෙට ඒක අරන් එන්න. හරි එහෙනම් අද ඔයාලාට මං ගානේ පොඩි පාටියක් තියෙනවා. දැන්වෙලාව 9.24යිනේ. හැමෝටම 9.45 වෙනකන් වෙලාව දෙනවා කෑම එක දැන් කන්න. මොකද අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. කාලා ඉවර වෙලා අත් හෝදලා වොෂ් රූම් එහෙම යනවා නම් ගිහින් එන්න. අනිවාර්යයෙන් 9.45 වෙද්දි හැමෝම පන්තියේ ඉන්න ඕනේ.


ආයෙත් පන්තිය පුරා කසුකුසුවක් යන්න ගත්තා.


"මොනවද බන් මේ වෙන්න යන්නේ?"


ත්‍යාග්‍යා ඇහුවේ ඇස් ලොකු කරන් බලන්.


"කවුද බන් දන්නේ? මේකා දීප්ති මැඩම්ටත් වඩා පිස්සෙක්ද මන්දා?"


මේධනා කීවේ අපි ඔක්කොම හිනා ගස්සන ගමන්.


"හැබැයි මොනවා උනත් පට්ට බන්. මං සාගතෙන් වගේ හිටියේ"


මං කීවෙ ලොකු ඈනුමකුත් යවන ගමන්.


ඉක්මණට කන්න ඕනේ නිසා අපි වැඩි කතාවක් නැතුව කෑවා. කාලා වොෂ් රූම් ගිහින් ආපු අපි පන්තියේ වාඩිවෙලා හිටියා.


හරියටම 9.45 වෙද්දිම වෙඩිල්ල වගේ සර් පන්තිය ඇතුළට ආවා.



"හරි දැන් හැමෝම නැගිටලා වතුර බෝතලේ එක්ක පෙන්සිල් කේස් එකත් අරන් පෝලිමක් ගහන්න සද්ද කරන්නෙ නැතුව"


මුළු පන්තියම මූණට මූණ බලාගනිද්දි සර් කීවා.


"මොනවා කරනවද මන්දා?"

තනියෙන් මුමුණපු මම බෝතලෙයි පෙන්සිල් කේස් එකයි ගත්තා. ඒකත් අරන් පෝළිමට හිටගෙන අපි සර්ගෙ පස්සෙන් ඇවිදන් ගියේ main hall එකට.


Main hall එක පුරාම තිබ්බේ විභාග ශාලාවක් විදිහට හදපු මේසයි පුටුයි. පනහක් විතර තියලා තිබ්බේ පෝළිම් පහකට කඩලා.


ආපහු විභාගයක් වත් ද......?

----------------------------------------------------------

කමෙන්ට් එකක අහලා තිබ්බා "කෝ තාමත් සඳ වැඩියේ නෑනේ? මොකද මෙච්චර පරක්කු?" කියලා. මේ වැඩියේ සඳ ද? අපි බලමු නේද. කලින් එපිසෝඩ් එකක කමෙන්ට් එකකින් අහලා තිබ්බා ඉමේෂායි යෂෝගයි අතර සම්බන්දයක් තියෙනවාද කියලා. ඒකට උත්තරේ ලැබුණා කියලා මං හිතනවා. තව Deleted Account කියලා එක්කෙනෙක් අහලා තියෙනවා බෝනස් දෙන්න බැරිද කියලා. දෙන්න බලන්නම් ෂුවර් නෑ හරිද? Comment කරන්න ළමයි. ගොඩක්ම ස්තූතියි, ඒ වගේම පින්. කමෙන්ට් කරනවට. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු.

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

"මතක......

මතක අමතක කරන්න අපි නොකරන්නේ මොනවාද? කවි ලියන්නෙමු ගී ලියන්නෙමු. මතක පාරවල් මගහරින්නෙමු. මිහිරි ආදර ගීත මග හරින්නෙමු. ආදර කතා වලට හිනැහෙන්නෙමු.ශරීරයට දරන්නට බැරි තරමට අවිවේකි වන්නෙමු. නින්ද ගන්නට තුන් යාමේ වෙහෙසෙන්නෙමු.වේදනාව කියන්නට කෙනෙක් නැතිම තැන හිස් අහස හා සිනාසෙන්නෙමු. "හිත මේ බලාපන්, මම සතුටින්" යැයි අපේ හිතටම කෑ ගසා කියන්නෙමු. මතක අමතක කරවන බෙහෙතක් සොයන්නෙමු.

මේ සියලු දේ අවසානයේ මතක අමතක වූවායැයි සිතා හිත හදා ගන්නෙමු. නමුත් හිත පුදුමාකරය. මොළය බලහත්කාරයෙන් අමතක කල සියලු මතක සිහිනයෙන් නැවත අප වෙත රැගෙන එයි.

ඒ නිසා මම ඔබට කියමි. මතක අමතක නොකරන්න. එය නිෂ්ඵල ය. මතක ලන්තෑරුම් එළියෙන් ජීවත් වන්න.

සැබෑ ලෝකයේ තහනම් දේ මනෝ ලෝකය තුළ සර්ව සාධාරණ ය. එහි ප්‍රේම විනිශ්චයකරුවන් නොමැත, එහි ප්‍රේමයට උසාවි නොමැත.

මම මරණයට වෛර කරමි.

ඒ......

ඔබේ මතකයත් සමග මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා බැවිනි.....

--අභී! "

උපුටා ගැනිමකි. හිමිකම මුල් කර්තෘන් සතු ය.

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

ලස්සන නිසදැසක් හම්බුණා. ඔයාලාගෙ අදහසත් කියාගෙන යන්න. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.

Report Page