වඩින තුරු සඳ - 13

වඩින තුරු සඳ - 13

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-13

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-12-09-20


එහෙම හිතපු මම ඇහුණෙ නැ වගේ පේපර් එක තවත් හොඳට ලියන්න ගත්තා.

"ස්.. ස්... තනුදි. තනුදි."


ඉමේෂා හෝ ගාලා මට කතා කරනවා. ඇහුනේ නෑ වගේ හිටියත් ඒකිගේ කතාව නිසා මගේ අවධානේ සම්පූර්ණයෙන් ම බිඳිලා ගියා. දැන් නම් පේපර් එක ලියන්න සෑහෙන්න අමාරු වෙලා තියෙන්නේ. සර් වත් එනවා නම්. එහෙම කියලා මං ඉස්සරහ බැලුවත් සර් හිටියෙ ඉස්සරහ ළමයෙක්ගේ ප්‍රශ්නයකට උත්තර දිදී.

"තනුදි තනුදි අනේ බලන්නකෝ මෙහෙ."


ඒ පාර මේකි පිණ්සෙන්ඩුවෙන්න ගත්තා.


"අනේ තනුදි අරකි අහන දේකට උත්තර දෙන්නකො. මහ වදයක් වෙලා තියෙන්නේ. පේපර් එක ලියන්නත් නෑ."


පස්සහින් හිටපු මේධනා කීවා.


සෑහෙන්න වෙලාවක් හිතපු මම අන්තිමට තීරණයක් අරන් ඉමේෂා දිහා බැලුවා.

"අනේ තනුදි ව්‍යුහගත එකේ පළවෙනි ප්‍රශ්නෙ බී කොටසේ හතරවෙනි කොටසට උත්තර කියන්නකෝ."


පේපර් එක පෙරලලා බලපු මම ප්‍රශ්නේ හොයාගත්තා. බන්ධන පාඩමෙන් අහලා තිබ්බ බන්ධන ප්‍රබලතාව ගැන ප්‍රශ්නය කරගන්න බැරුව තමා ඉමේෂා ඉඳලා තියෙන්නේ. උත්තර ටික මතක තියාගත්තු මම ඉස්සරහ බැලුවා. සර් හෝල් එකේ එහා කෙළවරම හිටියේ. උත්තර ටික කියාගන්න හොඳටම වෙලාව ඇති නිසා මං අනික් ඇත්ත හැරිලා ඉමේෂාට උත්තර ටික කියන්න ගත්තා.


"BaCl2,CaCl2, SiCl2, FeCl3"


ඒක කියපු මම ඊළඟ කෑල්ලේ උත්තර ටික කියන්න ගත්තා. අනික් පැත්ත හැරිලා උත්තර ටික කියන්න ලෑස්ති වෙනකොටම දැක්ක දෙයින් මං වෙව්ලලා ගියා.


වෙන මුකුත් නිසා නෙවෙයි. සර් ඉමේෂා ගාව ඉඳන් ඉමේෂාගෙ පේපර් එක බලන ගමන් හිටියේ.


ඒක බලලා ඉවර වෙච්ච සර් මං ගාවට ආවා.


"මොනවද පස්සහ හැරි හැරි බලන්නෙ?"


සර් ඇහුවෙ රහසින් වුණත් තරහෙන්.


"නෑ සර් මේ වෙලාව ඇහුවා."


"ඉතින් මේ තමුන්ගේ අතේ ඔරලෝසුවක් තියෙන්නේ. ඔය කටුත් කැරකෙන්නේ. මොකටද වෙන කෙනෙක්ගෙන් වෙලාව අහන්නෙ ඇයි ඕකේන් බැලුවම වෙලාව පේන්නේ නැද්ද?"

දැන් ඉතින් මුකුත් කියලා තේරුමක් නැති නිසා මම පේපර් එක දිහා බලාගත්තා.


"පේපර් එකක්ද වට මේස සාකච්ඡාවක්ද කරන්නෙ තමුන්. විභාගයක් කියලා තේරෙන්නෙ නැද්ද? වටේ කැරකි කැරකි නටන්නේ? තව එක පාරක් හරි වටපිට බලලා අහු වුණොත් ලකුණු කැන්සල් කරනවා. සෙල්ලම් කරන්න තියාගන්න එපා."


සර් පොඩ්ඩක් සද්දෙට කියවගෙන ගියා.


"නෑ සර් මේ මම නෙවෙයි ....."


"කට වහන් පේපර් එක ලියන්න."


යකෝ මේක හරි වැඩක් උනානේ. කොපි කරේ එකියක් බැනුම් අහගත්තේ තව එකියක්. අරකිටත් බැන්නා නම් තව කමක් නෑ. මට විතරක් බැනලා. රෙද්ද. කොහොමත් ඉතින් ඉමේෂා මුගේ නෑදෑයො නේ. කොහොමත් කවුරු උනත් ගන්නේ තමන්ගේ එකාගේ පැත්තනේ. මං හිතන් හිටියේ මූ හෙන හොඳ චරිතේ කියලා. බැලුවම ඔක්කොම එකයි.

ඔලුවත් මඤ්ඤං වෙලා ගියේ වෙච්ච සිද්ධියත් එක්ක. ඉමේෂා ආයේ කතා කරෙත් නෑ මට. කොහොම වුණත් එච්චර වෙලාවක් හිතේ තිබ්බ ගැම්ම එහෙම් පිටින්ම වාෂ්ප වෙලා ගියා. බොහොම අමාරුවෙන් හිත හදාගෙන ආපහු ලියන්න හැදුවත් හිතේ තිබ්බ කලබල ගතියට දන්න ටිකත් අමතක වෙලා ගිහින් තිබ්බේ.


පැය තුන ඉවර වෙලා පේපර් එක දුන්න මම තවත් එතන නොඉඳ ආවෙ අපේ සෙට් එක දිහාවත් නොබලා. මං පන්තියට ගියාට පස්සේ ත්‍යාග්‍යා මං ගාවට ආවා.


"තනූ මොකද මේ?"


"ඇයි?"


"මං ඇහුවේ කිසිම ගානක් නැතුව.


"මොකද අපිත් එක්ක තරහා වෙලා?"


"තරහා නෑ."


"බොරු කියන්නෙපා. අපි දැක්කනේ ගස්සගෙන පෙරළගෙන ආපු හැටි."


මුකුත් නොකියපු මම ජනේලෙන් එළිය බලාගත්තා.


"සර් බැනපු එකටද දැන් අවුල?"


මේධනා ඇවිත් මගේ අතින් අල්ලාගෙන ඇහුවා.


"අනේ ඌ බැන්නට අවුල් යන්න ඌ මගේ මිනිහද?"


"මිනිහා නෙවෙයි තමා. අපි අහන්නේ මොකටද මල පැන්නේ කියලා."


"අනේ උඹලගෙන් තියෙන වදයක්."


"වදයක් තමා අපි. කියපන්කෝ මොකද අවුලෙන් කියලා?"


" නෑ බන් මං අරකිට කියලා දුන්න එකට බැනලා ඒකිටත් බැන්නා නම් තව කමක් නෑ. ඒත් මට විතරක් බැනලා අරකිට මුකුත් කීවේ නෑ. වැරැද්ද ඒකිගේ වෙලත්. ඒකි කොපි කරේ. මං බැනුම් ඇහුවේ."


මං ටිකක් අවුලෙන් කීවා.


"ඒක නම් එහෙම තමා බන්. මටත් ප්‍රශ්නයක් ඇයි ඉමේෂාට බැන්නේ නැත්තේ කියලා."


තත්සරණි කීවා.


"වෙන මගුලක් නෙවෙයි බන්. අරකි උගේ නෑයොනේ. ඒකයි. උගේ එකීව බේරලා වටේ ඉන්න උන්ව මාට්ටු කරනවා."


"හැබැයි බන් ඊයේ සර් බැන්න විදිහට උඹ හිතනවද ඉමේෂාට සර් ඔය විදිහට හොඳින් සළකයි කියලා? ඒ සර් එච්චර නරක නෑ බන්."


මේධනා කීවා.


"සර් ඉතින් උඹේ පණ නේ. උඹට වැරැද්දක් පේන්නෙම නෑනේ? ඕකා උඹව මරලා දැම්මත් උඹ කියයි අනේ නෑ සර් මරන්නේ නෑ මාව සර් වගේ වෙන එකෙක් මාව මැරුවේ ගාලා."


මල පැනලා හිටපු මම කීවා. ඊටපස්සේ නම් කවුරුත් මුකුත් කීව්වෙ නෑ.

ඉන්ටවල් එකට කාපු අපි ලෑස්ති උනේ බයෝ ඩබල් පීරියඩ් එකට ලෑස්ති වුණා. බෙල් එක ගහලා විනාඩි 10කට විතර පස්සේ ආව සර් උගන්නන්න පටන් ගත්තා.


සෛලීය අභ්‍යන්තර ක්‍රියාවලිය පැහැදිලි කර කර හිටපු සර්ගෙ පාඩම එපා වෙන්න ගත්ත නිසාද කොහෙද පන්තියේ තැනින් තැන කසුකුසුවක් එන්න ගත්තා.


"ළමයි සද්දෙ නවත්තලා පාඩම අහගන්න."


සර් කීවා.


ටික වෙලාවකින් ආපහු සද්දෙ පටන් ගත්තා. මයිට්‍රොකොන්ඩියමෙ රූපයක් අඳින ගමන් හිටපු මම ත්‍යාග්‍යාගේ මකනේ ඉල්ලා ගන්න ත්‍යාග්‍යාට කතා කරා.

අවාසනාවක මහත. කයිය ගහපු එකට මාට්ටු උනේ මාව.


"ගම්ලත්...... නැගිටිනවා."


සර් කතා කරද්දි මං හෙමීට නැගිට්ටා.


"මං මොකක්ද කීවෙ? ආ මං මොකක්ද කීවේ? කතා කරන්න එපා කියලා කී පාරක් කීවද? තමුසෙට කවද්ද කියන දේ අහන්න පුලුවන්? මට ඒක කියනවකෝ."


සර් බැනගෙන බැනගෙන යද්දි මං රවාගෙන බලන් හිටියෙ ඔක්කොම පිට උන් වැරැද්ද කරලා මගේ පිට වැටෙන නිසා.

"යනවා පන්තියෙන් එළියට. යනවා."


සර් අත දොර දිහාට දික් කරලා කීවා.


ඉබ්බා දියට දමන කල ඇන්නෑවෙ කීවලු. පන්තියේ එකෙක්ට වත් නොලැබුන පිනා චාන්ස් එකක් මට සෙට් වුනා.

පුටුව මේසේ අස්සට දාපු මම අඩියට දෙකට පන්තියෙන් එළියට ගියා.


"දණ ගහපන් ඔතන."


දොරකඩ එලියේ හිටන් හිටපු මට සර් කීවා. දූවිලි ගැවෙන්නෙ නැති වෙන්න ගවුම හදාගත්තු මම දණගහගෙන ගැම්මට හිටියා.


"තව එකෙක් හරි කෑ ගහලා අහු වුණොත් එළියේ එක්කෙනාගෙ තනි රකින්න යන්න පුළුවන්."


එහෙම කියපු සර් ආපහු උගන්නන්න පටන් ගත්තා.


විනාඩි පහකට විතර පස්සේ කවුදෝ පඩිපෙළ නැගලා එන සද්දෙ මට ඇහුණා. යන්තම් එබිලා බලපු මම දැක්කේ අපේ සර් උඩට එනවා. ඉක්මණට බිම බලාගත්ත මම සර් එනවා දැක්කෙ නෑ වගේ හිටියා.


"ඕයි. මොකද මේ?"


මං ගාව නැවතිලා හිටපු සර් මගෙන් ඇහුවා.


සර් දිහා නොබලා බිම බලාගෙන හිටපු මම උත්තර නොදී හිටියේ ලැජ්ජාවටයි තරහටයි.


මගෙන් උත්තරයක් ලැබෙන්නෙ නෑ කියලා දැනිලද කොහෙද සර් පන්‍තිය ගාවට ගියා.


"Excuse me sir"


අපේ සර් මයුර සර් ට කීවා.


"ආ මල්ලි. ආපු එක හොඳයි. මේ ඔයාගේ පන්තිය නේ?"


මයුර සර් ඇහුවා.


"ඔව් සර්. ඇයි මොකක්ද ප්‍රශ්නෙ?"


"ප්‍රශ්නෙ? ප්‍රශ්නෙ තමා අර එළියේ ඉන්නෙ. මල්ලි මං එපා කියද්දි පන්තියේ කෑ ගහනවා. පුදුම වදයක් දෙන්නෙ. මල්ලි ඔයා පන්තිභාර නේද? ළමයෙක් හරියට හදන්න බැරිද?"


"සර් ට බාධාවක් වෙච්ච එකට නම් මට කනගාටුයි. ඒත් සර් අනික් හැමදේටම වඩා දැන් මේ ළමයා මෙහෙම එළියේ දණගස්සලා තියෙන එක සර්ට අවුලක් වෙයි නේද? හදිස්සියේ ප්‍රින්සිපල් මැඩම් ආවොත්? ඒ නිසා සර් දැනට මේ ළමයාට සමාව දීලා ඇතුළට ගන්න. මොනවා උනත් ගැහැනු ළමයෙක් නේ"


මූට අමුකැවිලද මන්දා. යකෝ ඒ කම්මැලි පාඩමෙන් එළියට පැනගත්තා බොහොම අමාරුවෙන්. දැන් ආපහු ඇතුළට යන්න.

"ඔව් නේද? ඔයා කීවම තමා මටත් ඒක මතක් වුණේ."


එහෙම කියපු සර් පන්තියෙන් එළියට ආවා.


"ගම්ලත්.. මට නිකන් ප්‍රශ්න දාගන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒ නිසා තමුන් මෙතනින් නැගිටලා යනවා. මොන තූත්තුකුඩියෙ හිටියත් කමක් නෑ. මගේ නම ගාවන්නෙ නැතුව ඕනෙ දෙයක්. දැන්මම යනවා මෙතනින්."


ඒක කියපු ගමන් මං නැගිටලා වේගෙන් පඩිපෙල බැස්සා. බැහැලා ගිහින් සින්ක් එකෙන් මූණ හෝදාගත්තා. ඊටපස්සෙ පොඩ්ඩක් එහෙම්ම ඈත අහස දිහා බලන් හිටියා.


"ඕයි"


ඒ කතා කරපු සද්දෙට කල්පනාවක හිටපු මම ගැස්සිලා ගියා. හෙමීට පස්සහා හැරිලා බලපු මම දැක්කේ ජනේලෙන් එළියට ඔලුව දාගෙන ඉන්න පන්තිභාර සර් ව.....

----------------------------------------------------------

අද ඉඳලා කතාව එක දිගට දෙන්නම්. හැමෝම කමෙන්ට් කරන්න. පරිස්සමෙන් හැමෝම.

--විදූ

Report Page