පෞරුෂ අක්‍රමිකතාව (Personality Disorders) 🤔

පෞරුෂ අක්‍රමිකතාව (Personality Disorders) 🤔

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•




පෞරුෂය (Personality) යනු "Persona" නම් නාට්‍යකරුවන් ඔවුන්ගේ චරිතයට අදාලව යොදාගත් වෙස් මුහුණු නම් තේරුම දෙන ග්‍රීක වචනයෙන් බිඳී ආවකි. ඒ අනුව පුද්ගලයෙක් තවත් අයෙකු ගෙන් වෙන් කර හඳුනා ගැනීමට ඔවුන් සතුව පවතින ඔවුනටම ආවේණික ඔවුන්ගේ රුචි අරුචිකම්, මත වාද, ආකල්ප හැසිරීම්, ප්‍රජානන හා චිත්තවේග ලක්ෂණ සහ ඔවුන් සතුව එම ලක්ෂණ වල විෂමතා අනුව පෞරුෂය ද පුද්ගලකුගෙන් තවත් පුද්ගලයකුට වෙනස් වෙය. මෙය පෙරදී චරිත අක්‍රමිකතාව (Character disorders) ලෙස හඳුන්වන ලදී.

පෞරුෂ අක්‍රමිකතාවය (Personality disorder) යනු පුද්ගලයෙකුගේ පෞරුෂය ඇති ගති ලක්ෂණ වල දුර්වලතාවයක්, අසාමාන්‍යතාවයක්, නොහැකියාවක් ලෙස සරලවම පෙන්වාදිය. එනම් යමෙකුගේ පෞරුෂය ලෙස අපි සලකන පෞරුෂ ගති ලක්ෂණ වල හා ප්‍රජානන,චිත්තවේග හා ඔවුන්ගේ චර්යා යන කුමන හෝ අංශයක අසමානතාවයක් නොහැකියාවක් යම් දීර්ඝ කාලයක් (Long duration), ස්ථාවරව හා අඛණ්ඩව (Stable), අනම්‍යශීලී (Inflexible) ලෙස පුද්ගලයාගේ මුළු පෞරුෂයටම සෘජුව බලපෑම් කරමින් පවතින අක්‍රමිකතාවයක් පෞරුෂ අක්‍රමිකතාවයක් ලෙස පෙන්වාදිය හැකියි. එය සරලව හඳුනා ගැනීමට නොහැකි අසීරු කර්තව්‍යයකි.

ඕනෑම පෞරුෂ අක්‍රමතාවයක ප්‍රධාන ලක්ෂණ ලෙස යම්කිසි පුද්ගලයකුගේ ප්‍රජානන හැකියා (Cognition), ආවේදනාත්මක (Effectives), ආවේග පාලනය (Impulse control), අන්තර් පුද්ගල ක්‍රියාකාරිත්වය (Interpersonal functioning) සඳහා ද බලපෑම් කරන බව මින් පැහැදිලි ව හඳුනාගත හැක. යමෙකුට පෞරුෂ අක්‍රමතාවක් පවතී යැයි හඳුනා ගැනීමට අවම වශයෙන් එම පුද්ගලයා ඉහත කී ලක්ෂණ වලින් දෙකක් හෝ මාස 2 කට නොඅඩු කාලයක් දීර්ඝකාලීනව පෙන්වීම අනිවාර්ය වෙයි.

අන් සියලු මානසික කායික රෝග සේම පෞරුෂ අක්‍රමිකතා ද පුද්ගලයකුගේ පෞද්ගලික සාමාජීය සහ වෘත්තිය ජීවිතයට දැඩි ලෙස ඍණාත්මක බලපෑම් කළ හැකි අතර එය ඔවුනට සේම ඔවුන් වටා සිටින පුද්ගලයන්ගේ ජීවිතවලට ද මහත් ගැටළුකාරි තත්ව ඇති කිරීමට හැකියාව පවතී. මන්ද පෞරුෂ අක්‍රමිකතාවයක් නිසා ඇතිවන පුද්ගලයකු ගේ ප්‍රජානන හැකියා වල දුර්වලතාවය නිසා ඔවුන්ගේ
•සංජානනය කිරීම දුර්වලයි
•අනෙකෙකු තේරුම් ගැනීම අපහසුයි
•නිවැරදි තීරණ ගැනීමට නොහැකියි
•අවබෝධය අවමයි.
• ගැටළු විසඳීමට පවතින නොහැකියාව

එසේම ඔවුන්ගේ ආවේග පාලනය හා ආවේදනාත්මක බව අවම නිසා,
• විනීතව හැසිරීමට නොහැකියි
• චිත්තවේග පාලනය දුර්වලයි
• අන් අය ගැන නොතැකීම
• ආත්මාර්ථයෙන් කටයුතු කිරීම
• සදාචාරයට හා නීතියට අනුගත නොවීම

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අන්තර් පුද්ගල සබඳතා මනාව පැවැත්වීමට නොහැකි වන අතර එහිදී ඔවුන්, •සමාජයෙන් කොන්වීම
•සමාජය ඔවුන්ව මග හැරීම
•නිරන්තරයෙන් ඔවුන්ට චෝදනා එල්ලවීම •දඬුවම් එල්ලවීම
වැනි දේවල් වලට මුහුණ පෑමට සිදුවෙයි.

එවැනි පෞරුෂ අක්රමිකතා සහිත පුද්ගලයන් සමාජගත වීම තුළින් ඇති වන්නා වූ හානිදායක මට්ටමට අනිකුත් මානසික රෝග සහිත අයවලුන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. නමුත් සැලකිය යුතු සාධකයක් වන්නේ පෞරුෂ අක්‍රමිකතා සහිත පුද්ගලයන් සමාජගත වීම අනෙකුත් මානසික අක්‍රමිකතා සහිත පුද්ගලයන්ගේ සමාජගත වීමට සාපේක්ෂව ඉහළ අගයක් ද පැවතීමයි. මන්ද පෞරුෂ අක්රමිකතා සහිත පුද්ගලයන් තුළ පවතිනුයේ උසස් මානසික හැකියාවල පවත්නාවූ දුර්වලතාවයක් සහ පෞරුෂය තුලින් හෙලිවන ලක්ෂණවල දුර්වලතාවක් පමණක් හේතුවෙන් ඔවුන් එම අසාමාන්‍ය වූ ලක්ෂණත් සමඟම යම් මට්ටමකට හෝ සමාජය තුළ කටයුතු කිරීම දැකිය හැකි අතර විවිධ වූ සමාජ සංස්කෘතික මතවාද හා හේතු පදනම් කොට ගෙන ඔවුන්ගේ අක්‍රමිකතා ලක්ෂණ නොසලකා හැරීමත් නිසා ඔවුන් සමාජය තුළ නිදහසේ හැසිරෙන ආකාරයත් එමඟින් අන් අය ලබන හානිදායක තත්වයන්ද අපිට සමාජය තුළින් දක්නට හා හොඳින් හඳුනාගැනීමට හැකිය.

පර්යේෂණ හා අධ්‍යයන ගණනාවක තොරතුරුවලට අදාළ ව බොහෝ පෞරුෂ අක්‍රමිකතා පුද්ගලයෙකුගේ යොවුන් වියේදී සහ වැඩිහිටි වියේ මුල් කාල වකවානු තුළ වර්ධනය ආරම්භ වන බව හෙළිවෙයි. එමෙන්ම තවත් පෞරුෂ අක්‍රමිකතා පුද්ගලයෙකුගේ ළමා අවධිය තුළ ආරම්භ වී කාලයත් සමඟ එම ලක්ෂණ සැඟ වී යාම නිසා හා පසුකාලීනව ඔවුන්ගේ වැඩිහිටි අවධිය තුළදී නැවත වර්ධනයට ලක් වීම නිසා පෞරුෂ ආබාධ නැතහොත් පෞර්ශ අක්‍රමිකතාව නැවත පෙරට වඩා උග්‍ර ලෙස හඳුනා ගත හැකි බවත් වැඩිදුරටත් පැවසයි.

සමහර පෞරුෂ අක්‍රමිකතා තත්ත්ව පුද්ගලයකු තම ජීවිතය තුළ ලබන සෘණාත්මක අත්දැකීම් වල බලපෑමක් ලෙසත් ඇතිවිය හැකි බව කිව යුතුයි. ලොව සෑම පෞරුෂ අක්‍රමිකතාව තුළම එම අක්‍රමිකතාවයට ආවේණික වූ ලක්ෂණ පැවතියත් එය පුද්ගලයන් තුළින් හඳුනා ගැනීමේදී විවිධ අසීරුතාවලට මුහුණ දීමට සිදුවනු අතර එයට හේතුව ලෙස එය ඔවුන් ප්‍රදර්ශනය කරන ආකාරයේ විෂමතාව හා ඔවුන් තුළින් පිළිබිඹු වන එම ලක්ෂණ හඳුනා ගැනීමට පවතින අසීරුතාවය ද අති මහත් වීමයි.

සාමාන්‍යයෙන් පෞරුෂ අක්‍රමිකතාවක් සහිත පුද්ගලයෙකුට තමා සතු අක්‍රමිකතා ලක්ෂණ හෝ පෞරුෂ ආබාධ තත්ත්වයන් ස්වයංව හඳුනා ගැනීමට අපහසු වන අතර, ඔවුන් තමා සතු පෞරුෂ අක්‍රමිකතාවය පිලිබඳව දැනගෙන එය පිළිගැනීමට පවා අපොහොසත් වෙයි. මෙයට හේතුව ලෙස ඔවුන් සතු ප්‍රජානමය දුර්වලතාවය පෙන්වාදිය හැකියි.

එසේම පෞරුෂ අක්‍රමිකතා වලට මූලය ලෙස වෙනත් මානසික අක්‍රමිකතාවයක බලපෑම පවතින බව විද්වත් මතය වෙයි. නිදසුනක් ලෙස භින්නෝන්මාදය නමැති සයිකෝසියා මානසික අක්‍රමිකතාවය සහිත පුද්ගලයින් පෙන්නුම් කරන ප්‍රකෝපකාරී හැසිරීම්, ආවේගශීලී කතා විලාශය සහ හැසිරීම් රටාව, අදෘශ්‍යමාන හේතු පෙන්වා දීම, නුසුදුසු හැසිරිම වැනි ලක්ෂණ පසුකාලීනව ඔහු තුළ පෞරුෂ අක්‍රමිකතාවක් වර්ධනය වීමට ඉඩ සලසයි.

DSM-5 රෝග වර්ගීකරණයට අනුව හඳුනාගෙන ඇති පරිදි ලොව පෞරුෂ අක්‍රමිකතාව රාශියක් අතුරෙන් ප්‍රකට වන පොදු සාධක මත අක්‍රමිකතා වර්ග 10ක් නම් කර ඇති අතර ඒවා ප්‍රධාන නිර්ණායක තුනක් යටතේ මෙලෙස පෙන්වා දිය හැකිය.

A කාණ්ඩය - අමුතු හෝ විකාර පෞරුෂ අක්‍රමිකතාව
1- පීඩනෝන්මාදය අක්‍රමිකතාවය
2 - භින්නාවේගික පෞරුෂ අක්‍රමිකතාවය
3 - ස්කිසෝටිපල් පෞරුෂ අක්‍රමිකතාවය

B කාණ්ඩය - නාට්‍යමය චිත්තවේගී හා දෝෂ සහිත පෞරුෂ අක්‍රමිකතාවය
1- සමාජ විරෝධී පෞරුෂ අක්‍රමිකතාවය
2 - සීමාස්ථ පෞරුෂ අක්‍රමිකතාවය
3 - නාට්‍යමය පෞරුෂ අක්‍රමිකතාවය
4 - නාසිස්ම පෞරුෂ අක්‍රමිකතාවය

C කාණ්ඩය - කාංසාමය හෝ බිය සහිත පෞරුෂ අක්‍රමිකතාව
1 - මඟ හැරීමේ පෞරුෂ අක්‍රමිකතාව
2 - පරාධීන පෞරුෂ අක්‍රමිකතාව
3 - ග්‍රස්තිය අනිවාර්ය පෞරුෂ අක්‍රමිකතාව

🔴 මෙම කාණ්ඩවල පෞරුෂ අක්‍රමිකතා
පිළිබඳව කරුණු විමසා දැන ගැනීමට මීළඟ කොටස තෙක් රැඳී සිටින්න!

උමයංගනී ද සිල්වා.
මනෝ විද්‍යා විශේෂවේදී උපාධි අපේක්ෂක,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

Report Page