ආදරේ තීරු(keti katha)
By Shaviruni Nawarathne
තද කොළ පාට උස තීරුවකට උඩින්,ඊට වඩා ලා කොළ පාට හීනි තීරුවක් අතුරපු තේ වත්තක අයිනේ පිපිච්ච තාරුකා මල්,තව කහ පාට තීරුවක්,කොළ පාටට යටින් එකතු කරනවා.
තේ කියන්නේ ප්රධාන අපනයන භෝගවලින් එකක්..තේ,පොල්,රබර්...තේ පර්යේෂණ ආයතනය තියෙන්නෙ...හොඳයි ආයෙම අමතකයි..ඇත්තටම කිව්වොත් අච්චු පොතෙන් ඒක කියවන් යන මොහොතෙම ඇරෙන්න,වෙන කිසිම වෙලාවක මන් ඒක දැනන් හිටියෙ නෑ.
එතකොට තාරුකා මල්.වැඩකට නැති ජරාවක්.එයා ඇග්රී පොතේ හිටියෙ තාරුකා මල් කියන එයාගේ ලස්සන නමත් නැතිකරගෙන,ආක්රමණික ශාක කියන කොටසෙ.
ඒත් ඒ දෙන්නා එකතු වුණාම කොච්චර ලස්සනද.මට විතරක් හරි.ඒක කොච්චර ලස්සනද.
ඒත් වැස්ස ටිකක් අඩුවෙච්ච ගමන්ම තාරුකා මල් ගස්වලට,හොඳ වල් බෙහෙත් පාරක් වදී.ඊට පස්සෙ ආයෙමත් කොළ පාට තීරු දෙක විතරක් ඉතුරු වෙයි.
ආයෙමත් ආයෙමත්,කොච්චර තාරුකා මල් පිපුණත්,අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ කොළ පාට තීරු දෙක විතරයි.
ඒ වුණාට හැමදාම දකින හින්දද මන්දා,ඒ දෙක විතරක් තියෙනකොට මට ඒ දිහා බලාගෙන හීන මවන්න හිතෙන්නෑ.
ඒත් අද නම් ඒ දර්ශනේ ලස්සන බලනවා මිසක්,මට හීන ලෝකවලට යන්න හිතෙන්නෙ නෑ.
ඒ ලෝකේ ගේට්ටුව අගුළු දාලා.විකාර දොරටුපාල කෙනෙක් ඉන්නව ගේට්ටුව ගාව.
හීන ලෝකෙදි එයා ඉන්නෙ ගේට්ටුව ගාව වුණත්,දැන් එයා ඉන්නෙ මගේ කකුල් දෙක ගාව.
එයා බඩගිනි වෙච්ච සුදු පාට පූස් කොල්ලෙක්.කන ගාව දුඹුරු පාට පැල්ලම් දෙක්කුයි,සුදු පාටින් වයිරම් වැටිච්ච දුඹුරු පාට නැට්ටකුයි තියෙන.
එයා කොච්චර සන්සුන්ද,ඔතෑනිද කියනවා නම් එයා මෙහෙම හුරතල් වෙන්නේ හරි කලාතුරකින්.ඒ කියන්නෙ එයාට එයාගේ නිදිමතට වඩා ලොකු බඩගින්නක් ඇවිත්.
ගෙදරින් යන වෙලාවටයි,ගෙදරට එන වෙලාවටයි,උදේ නැගිට්ටමයි,රෑට නිදාගන්නකොටයි,එයාට හිතෙන හිතෙන වෙලාවටයි,ඇවිල්ලා ඇඟේ එල්ලෙන වූෆි ඈතට වෙලා බලන් ඉන්නවා.
එයා දන්නව දැන් මගේ ළඟට ආවොත්,එයාට උල් වෙච්ච නියපොතුවලින් හොඳ පාරක් කන්න පුළුවන් කියල.ඒ වගේම ඒකට බැණුම් අහන්න වෙන්නෙත් එයාට කියල.
හැමදාම තියෙන තේ ගස්වලට වඩා කලාතුරකින් පිපෙන තාරුකා මල් වටිනවා වගේම තමා, කලාතුරකින් හුරතල් වෙන කිටීට,කියන්න බැරි නමක් තියෙන වූෆියට වඩා තැනක් එවෙලෙට හම්බෙනව.
ඒක කොහොම වෙනවද කියලා නම් මන් දන්නෑ.ඒත් ඒක එහෙම වෙනවා.
නිතරම ආදරේ පෙන්නනවට වඩා කලාතුරකින් ආදරයක් පෙන්නන එක වටිනවා වෙන්නෙ කොහොමද.
එක්කො ඒ දෙකම එක ගාණට වටිනවා වෙන්නැති.
කිටී එක පාරට මාව අතෑරලා දුවගෙන ගියා.ගේට්ටුව දිහාවෙන්න් ඇහුණු අඩි සද්දෙට.
එච්චර වෙලා බලාගෙනම හිටපු කලුයි සුදුයි බලු කුක්කා ඇවිල්ලා මගේ ඇඟට පැන්නා.එයාගේ විකාර දැඟලිල්ලට මන් හරි ආසයි.අර සන්සුන්කමට වඩා ඒකේ ශෝක් ගතියක් තියෙනව.
"හපෝ බල්ලගේ ඉරිසියාව..මගේකා ඔයාගේ කෑල්ලක් කඩා ගත්ත වගේනෙ"
මන් එයාට හිනාවකින් විතරක් උත්තර දුන්නා.ආව ගමන් පූස්වත් බදාගෙන ගෙට ආව එයාගේ අයිතිකාරයට.කිටී කලාතුරකින් මට ආදරේ කරාට එයාව දුරින් දැක්කත් අර පුරු පුරුව මහා සද්දෙට ඇහෙන්න ගන්නව.
මගේ කකුලෙන් එයාගේ හොම්බ තියාගත්ත වූෆි "මේ මොන විකාරයක්ද..අපි වගේ ඉන්නකො" කියන බැල්මකින් අර දෙන්න දිහා බලන් ඉන්නව.
"අයියා එනකම්ද බලන් ඉන්නෙ.එද්දි හවස් වෙයි කිව්ව."
මන් හිනාවෙලා ඔළුව වැනුව.
තේ ගස්වල කොළ පාට තීරු දෙක හැමදාම දකින නිසා එපාවුණාට,වූෆිගේ හුරතලේ ඒ හැටිම ගාණක් නැතිවුණාට,ඒක එයා සම්බන්ධයෙන් එහෙම නෑ.මිනිස්සු කවුරුවත් සම්බන්ධයෙන් එහෙම නෑ.
"මන් එනකම්ද හිටියෙ?"
එයා බොරුවට පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා අහනවා.
"ඕ..ඔයා ඇවිල්ලා ඔය සුදු පාට මැටි ගොඩට කන්න දෙනකම්"
වූෆිට මන් කියපු එක තේරුණා වගේ එයා හයියෙන් නැට්ට වනන්න ගත්ත..මන් එයාගේ ඔළුවට සැර තට්ටුවක් දැම්මා.
පූසව අල්ලන්නෙ කැඩෙන බිඳෙන බඩුවක් ගාණට මන්..ඌ තරහ වෙයි කියල..ඒත් වූෆිට ඒ මුකුත් නෑ..මොකද ඌ මගෙත් එක්ක තරහ වෙන්න හිතන්නෙවත් නෑ..ඌ පොඩි කාලේ ඉඳන්ම මගේ..ගෙදර ඉන්න හැමෝගෙන්ම එයා වැඩියෙන්ම ආදරේ වෙන්න තෝරගත්තෙ මාව..
පුරු පුරු ගාන සුදු පාට මැටි ගොඩත් වඩාගෙන එයා ගියාට පස්සෙ,වූෆි මගෙන් හොම්බ අහකට ගත්තා.
එයා දන්නවා මන් තවත් දොර ගාව ඉන්නෙ නැති බව.මන් නැගිටලා කුස්සියට යනකොට එයත් මගේ පස්සෙන්ම ආවා.
හඳ හැමදාම අහසේ තියෙනවා තමයි.ඒ වුණාට මන් හැමදම බලන් ඉන්නේ හඳ පායනකම්.කවුද හඳ එපාවුණත් අමාවකට කැමති..
කාලෙකට සැරයක් පිපෙන කහ පාට තාරුකා මල් තීරුවකට හැමදාම තියෙන හඳ එළියෙන් තීරුවක් එකතු වුණාම කොච්චර ලස්සන වෙයිද කියලා අද රෑට බලාගන්න පුළුවන්..
ඒ තීරු දෙක හරි වෙනස්..ඒත් එකතුවක් විදියට ලස්සනයි.
ආදරේ හැම තීරුවක්ම අපි වටේට පිරිල සම්පූර්ණ වෙලා තියෙන දවස්..
ඒව තමයි ජීවිතේ ලස්සනම දවස්.
........................................................................................................
ආදරේ විවිධාකාරයිලු...
මන් කියන විදියට ආදරේ ස්තරීභවනය වෙලා....
ඒත් ඉතින් ඒ හැමේකක්ම ලස්සනයි..
මෙහෙමයි..කතාවෙ කොතනකවත් පූසගේ අයිතිකාරයා හරියටම කවුද කියලා නෑ..ඔයාලට පුළුවන් ආදරේ ඕනම තීරුවක් ඒ වෙනුවෙන් ආදේශ කරගන්න...මටත් කියන්න කැමති නං..මොකද මටත් එකක් කියල නෑ ඒ ගැන..😂
ඒ වගේ පොඩි අදහසකින් මට සෑහෙන්න සතුටු හිතෙන එක ඇරෙන්න වෙන මුකුත් වෙනේකක් නෑ ඉතින්..
සුභ දවසක්..
(තාමත් අච්චාරුව එඩිට් කරන්න බැරිවුණානෙ..හෙ..හෙ)