අඹ අච්චාරු

අඹ අච්චාරු

Ishanka



          පුරුදු විදියට ඩෙනිමයි ටී ශර්ට් එකයි දාන් මං ලෑස්ති උනේ ශනූගෙ ගෙදර යන්න.කොන්ඩෙ පෝනි ටෙල් එකක් දැම්මෙ ගොතන්න කම්මැලිකමට. ගොඩක් දිගත් නෑ ඒත් පිට මැදට වගේ තියෙනවා ඉතින්. කපන්න හිතිල ඉන්නෙ. කැපුවොත් ඉතින් අපේ අම්මා මගේ කොන්ඩෙ තට්ටෙ ගානවා ෂුවර්.

 මගේ පන් මල්ලත් අරන් පාරට බැස්සා ඉතින්. දැන් හිටපන්කෝ බස් එක එනකන්. ආහ් විනාඩි පහයි ගියෙ. ඔය එන්නෙ එකක්. මං පස්සහා දොරෙන් නැග්ගා ඉතින්.

            අඩේ පස්සහ ෂීට් එකට ඉස්සරහ තුනේ ෂීට් එකේ ඉන්න එකාව දැකල පුරුදුයි නේ. ඕහ් නෝ ගෝඩ්.. මේ යකා මගෙ කලින් BF නෙ. මගෙ ෆර්ස්ට් ලව් එක. මූ වෙන එකියක් එක්ක ඉන්නවා දැකල මංම ඒක නතර කලේ. ආය කොල්ලෙක් ගැන තාම හිතුවෙ නෑ.

     අප්පටසිරි.. අලුත් එක්කෙනෙක් වගේ. දෙන්නම් පුතේ උබට වැඩක්. මං එතනම හිටගත්තා. මූ මාව දැකල හිනා උනා ඉතින්.

   " ආහ් තනුජ. කොහොමද ඉතින්. එදා වැව රවුමේ හිටිය නංගිද මේ. මං එදා ඔයාලට කතා කලේ නෑ ඉතින් ඩිස්ටර්බ් කරන්න බෑ නෙ ඉතින්. මේ මං යන්නම් ආ ඉස්සරහට. බායි"

උට කතා කරන්නත් වෙලාවක් දෙන් නැතුව මං ආවා ඉස්සරහට. පව් ඉතින් මූ.. ඕකා ගිය සතියෙ වෙන කෙල්ලක් එක්ක හිටිය මං දැක්කා තමා. ඒත් මේ ඉන්නෙ ඒ කෙල්ල නෙවේ කියල ෂුවර් නිසා මං එහෙම කිව්වෙ.. ෂේප් එකේ රබර් ඇහැ තනුජ පැත්තට දැම්මෙ මොකද වෙන්නෙ බලන්න. අඩේ පේන විදියට වලියක් වගේ. හොඳ වැඩේ ඕකට. 

        ආහ් ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕනි නේ. තව පොඩ්ඩෙන් මුන්ගේ නාඩගම් බලන්න ගිහින් ඒකත් අමතක වෙනවා. ශෙනූගෙ ගෙදර තියෙන්නෙ පාර ළඟම නිසා හොඳයි ඉතින්. මං මේ යන්නෙ නිකන් කාලෙ ගෙවල එන්න. ශෙනුත් තනියම ගෙදර ඉන්නෙ. එයාගෙ අම්මයි අප්පච්චියි අයියයි තුන් දෙනාම ජොබ් කරනවා. මේකි තනියම ඉන්න නිසා මාත් එහෙ යනවා ඉතින්. 

        මං නම කිව්වේ නෑ නේ මෙච්චර දුර ඇවිල්ලත්. මගේ නම අමායා තත්සරණි. කිව්වා ගමන් මතක් උනා නේද

" අයින් වෙන්න.. අයින් වෙන්න සෑම් සීයට බෙහෙත් ගෙනියනවා... අමායාගෙ ප්‍රථමාධාර ." නෑ නෑ ඒ අමායා නෙවේ. එයා ඉන්නෙ ටීවී එකේ නෙ. මට ඉතින් ස්කෝලෙ යන කාලෙ ඔය වාක්‍ය අහලම එපා වෙලා. කොල්ලොන්ගෙ කටේ තියෙන්නෙම ඕක. 

මං මේ A/ L ලියල ඉන්නෙ. එක්සෑම් ඉවර වෙල තාම සතියයි ගියෙත්.

" ශෙනූ..ශෙනූ.." කතා කරාට මේකිට කන් ඇහෙන එකක් ඈ. කන උඩ නෙ ඕකි හිටන් ඉන්නෙ. මං බැරිම තැන බෙල් එක ඔබාන හිටියා දොර අරිනකන්. මේකි ජෙට් එක වගේ ආවෙ නැතෑ. " යකෝ ඕක කැඩෙයි බන්. මොනවද කරන්නෙ. මගෙ කන් ඇහෙනවා ඕයි" ශෙනූ බෙරිහන් දුන්නා ඉතින්.

" අනේ උබෙ කන් දෙක කොහෙද දන්නෑ තියෙන්නෙ. මං කොච්චර කතා කරාද " 

" හරි හරි ගෙට යමු දැන්."

දැන් ඉතින් ගෙදර රජ කරන්නෙ අපි දෙන්නා. මං සාලෙන් ඉඳන් ටීවි එක දාගෙන ඉඳගත්තෙ මගේ ගේ වගේ. 

ශෙනු කුස්සියෙ ඉඳන් කිරි එක්කුයි, බිස්කට් එක්කුයි අරන් ආවෙ එතකොටම. 

" ආ උබ ආගන්තුක සත්කාර දන්නවා නෙ. ගේන්ට ගේන්ට ඉක්මනට. බඩගින්නෙ හිටියෙත්." මං හිනා වෙවී කිව්වා ඉතින්. 

" යකෝ උබේ ගේ වගේ නේ ඉන්නෙ, කාගෙන් අහලද ටීවි එක දැම්මෙ " මේකි කිව්වෙ ඉතින් විහිළුවට.

" මගේ ගේ කරගන්නත් බැරි නෑ. කොහෙද උබෙන් සපෝට් එකක් නෑ නෙ මට මේ ගෙදරට ලේලි වෙල එන්න" 

" අපෝ මගෙ අයියාව පරිස්සම් කරගන්න ඕනි. වෙලාවට එයා වැඩට යන්නෙ ඉතින්." ශෙනූ මට ඇද කර කර හිනා වෙවී කිව්වා.

" අයියව සෙට් කරන් මම කේලම් කියල මගෙ නැන්දම්මත් අල්ලගෙන උබව මේ ගෙදරින් ඉක්මනටම පන්නනවා. " ශෙනුව අවුස්සන්න මං කිව්වා. 

         අපි ටික වෙලාවක් ටීවි බල බල හිටියා. " ඒ කම්මැලියි බන්. මේ මගුලෙ බලන්න දෙයක් යන්නෙත් නෑ නෙ." 


" සිංදු අහමුද එහෙනම්"

" හා"

 මං හා කිව්වෙ වෙන කරන්න් දෙයක් නැති නිසා. සින්දු අහන්න කියල මේකි ලැප් එක ගෙනාවට අපි බැලුවෙ ටික් ටොක්. මේවා බැලුවම තමා තේරෙන්නෙ ලන්කාවෙ ඉන්න කොච්චර ගොබ්බයොද කියල. මොන විකාරද මන්දා. ඒත් ඉතින් උන්ගේ විකාර අපිට ආතල් ඉතින්. මැරෙන්න හිනා යනවා මේවා දැක්කම.

       පැය 2ක් ගිහින් දැනුනෙත් නෑ. දවල්ට කාල අපි දෙන්න පොඩි කයියක් දාන් හිටියා. 

" ඒ අඹ තියෙනවා කඩමුද" ශෙනූ කිව්වෙ ජනෙලෙන් අඹ ගහ දිහා බලන්.

" හා කඩමු. අච්චාරුවක් දාමු."

අපි දෙන්නා අඹ කඩන්න එලියට ගියේ වීරයෝ වගේ ඉතින්. 

" ගොඩක් උඩ නෙ තියෙන්නෙ අප්පා" මං එහෙම කිව්වෙ උඩ තියෙන අඹ පොකුරක් දිහා බලන්. 

"කෙක්කක් තියෙනවා දිග ඇතිද බලමු. " ශෙනූ එහෙම කියල දිග ලීයක් උස්සන් ආවා. ඒක උස්සන් අපි දෙන්නා විනාඩි 15ක් තිස්සෙ අඹ කඩන්න දඟලනවා. දැන් නම් මට හොඳටම තරහා. ඇයි අප්පා මේ මගුල එක අඹයක් කැඩෙන් නෑ නෙ. 

 බැරිම තැන කෙක්ක පැත්තක දාල මං තඩි ගලක් දමල ගැහුවෙ අඹ පොකුරකට. මට තරහට පෙනුනෙ අඹ පොකුර මං දිහා බලන් හිනා වෙනවා වගේ. දෙවෙනි පාරත් ගලක් අරන් ගැහුවා. අඹ පොකුර බිම. හිතාගන්නත් බෑ. මට සාමාන්‍යයෙන් ඉලක්කෙට ගහන්න බෑ. වාසනාව කොච්චරද කියනවා නම් ගල අඹ පොකුරෙ වැදිල කෙලින්ම ගිහින් තියෙන්නෙ එහා ගෙදර ජනේලෙට. සලාං.. ගාන සද්දෙ ඇහෙනවා විතරයි මතක. ශෙනුයි මායි අඹ පොකුරත් අරන් ගේ ඇතුලේ.


" මොකාටද යකෝ අත පය තියන් ඉන්න බැරි. මෙව්වා තොපේ අම්මලා අප්පලා හැදුවා කියල හිතුවද? හිටපල්ලා මං තොපේ මහ එවුන්ට කියන්නම්" ඒ ටකරමකට ගල් ගහනවා වගේ වොයිස් එකට මායි ශෙනුයි දෙන්නම බය උනා. නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. ඒ ගෙදර ඇන්ටි බනින්නෙ පාරෙ ක්‍රිකට් සෙල්ලම් කර කර හිටිය පොඩි උන් සෙට් එකට. පව් හැබැයි. උන් ටික අහු උනේ.

         අච්චාරුවක් හදන් අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න ඉඳගත්තා. " අච්චාරුව නම් මරු නේ" මං එහා ගෙදර කැඩිච්ච ජනෙලෙ දිහා බලන් හිනා වෙවී ශෙනූට කිව්වා. අපි දෙන්නටම හිනා ඉතින්. සැරින් සැරේ දෝංකාර දෙන්නෙ අර ටකරම් වොයිස් එක.

      " ඒක නෙවේ.. මේ අහනවකො" කියල මං පටන් ගත්තෙ බස් එකේදි උන තනුජගේ කතාව කියන්න.

   "මරු වැඩේ ඕකට. ඔහොම කරල මදි බන්." ශෙනු හිනා වෙවී අන්තිම අඹ කෑල්ලත් කටේ දාගත්තා. 

 කොහොම හරි හවස් වුනා දැනුන් නෑ. මං ආය මගේ පන් මල්ල හොයාගත්තේ ගෙදර එන්න. ශෙනුත් පාරට ආවා. එනකොටම ආව බස් එකේ නැගල මං ගෙදර ආවා.


කතාව ඉවරයි ඉතින්.. බායි..


✍️ By Amali

Report Page