අධික වේදනාවක් මැද වැලි කැටයෙන් උපදින මුතු ඇටයේ කතාව..! 🌊 🐚 🌊
"මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා"
මුතු මාල පොටක් ගෙලේ බැඳලා, අපූරුවට ආදරේ කලාට මොකද, අපේ අය නොදන්න වේදනාවක් ඒ පිටිපස්සෙ තියෙනවා.
ඇත්තටම මොකක් ගැනද මේ කියන්න යන්නේ..?
වටිනාකමට උපමාවක් දෙනවනම්, එකපාරටම මතක් වෙන්න පුළුවන් දෙයක් තමයි, #මුතු කියල කියන්නේ. හැබැයි, මං දැන් කතාකරන්නේ මුතු ඇටයක වටිනාකම ගැනනම් නෙවෙයි. මේ කියන්න යන්නේ මුතු ඇටයක් හැදෙන්නේ කොහොමද කියලා.
ඔන්න එහෙනම් අහගන්නකෝ..!
බෙල්ලා කියල කියන්නේ, සොබාදහමට ලැබුණු හරි අපූරු සතෙක්.
ඒත්, ඇයි එහෙම කියන්නේ..?
"මේ අපූරු සත්ත්වයා තමන්ට අයිති නැති දෙයක් වෙනුවෙන් හිතාගන්න බැරි තරම් වේදනාවක් දරාගෙන තමයි, අදහගන්න බැරි තරම් වටින මුතු ඇටයක් ජනිත කරන්නේ..!"
කියල කිව්වොත්, විශ්වාස කරන්න පුළුවන්ද..?
ඇත්තටම ඔය කියන මුතු හැදෙන්නේ කොහොමද..?
කවුරුත් නොදන්න මේ මුතු ඇටයේ උපත වෙන්නේ, වැලි කැටයකින්. හරියටම කියනව නම්, දූවිලි අංශුවකින් තමයි මුතු ඇටයක් උපදින්නේ.
මෙච්චර කල් හිතන් හිටියේ මුතු බෙල්ලො තමයි මුතු ඇට හංගන් ඉන්නේ කියලනේ. ඒත්, ඇත්තටම වැලි කැටයකින් කොහොමද මෙච්චර දෙයක් වෙන්නේ. ඔන්න එහෙනම් අහගන්නකෝ..!
මේ කියන බෙල්ලන්ගෙ ඇතුල හරිම මෘදුයි. ඉතින්, ඒ මෘදු බෙල්ලගෙ ඇතුළට වැලි කැටයක් එහෙමත් නැත්නම්, දූවිලි අංශුවක් ඇතුල් වුණහම මේ බෙල්ලට අසීමිත වේදනාවක් දැනෙන්න ගන්නවා.
හරියට අපේ තුවාලයකට වැලි කැටයක් ගියහම අපිට දැනෙන වේදනාව වගේ. ඉතින් මේ බෙල්ල ඒ දැනෙන වේදනාව අඩු කරගන්න කියල, #Nacre කියන ද්‍රාවණයක් වැලි අංශුව වටේට නිකුත් කරනවා.
ඉතින්, මේ විදිහට බෙල්ලට වේදනාව දැනෙන්න දැනෙන්න මේ ද්‍රාවණය සැරින් සැරේ නිකුත් කරන්න ගන්නවා. ඉතින්, බෙල්ලගෙ බාහිර කවචයේ ඇතුල් පැත්තෙ හැදෙන මේ රසායනිකය තුළ #Aragonite [ඇරොගොනයිට්] ලවණය සහ #Conchiolin [කොන්කිඔලීන්] කියන ප්‍රෝටීනය තමයි අන්තර්ගත වෙන්නේ.
දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදුවෙමින්, ස්වභාවිකව මුතු ඇටයක් වර්ධනය වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 15-20 ක්වත් යනවා. ඒ කියන්නේ, මුතු බෙල්ලෙක් ඒතරම් කාලයක් පුරාවටම මේ වේදනාව විඳිනවා. ඒවගේම, මේ වේදනාවත් එක්ක ලැබෙන මුතු ඇට එකිනෙකට වෙනස් වගේම, කවදාවත් සර්ව සම්පුර්ණ නිමැවුමක් විදිහට එළියට එන්නෙ නෑ. ඒත්, එහෙමයි කියලා, වටිනාකමේ අඩුවක් වෙන්නෙත් නෑ.
ඒවගේම, වැදගත්ම දේ තමයි, ජීවි සත්ත්වයෙක්ගෙන් ලබා ගන්න එකම මැණික් වස්තුව වෙන්නේ මුතු ඇටයයි.
මේ විදිහට නිර්මාණය වෙන මේ මුතු ඇටය වටා ගෙතුන ලස්සන කතා ගොඩකුත් තියෙනවා. ඔන්න එහෙනම් ඒකත් අහගන්නකෝ..!
චීන මතයට අනුව, ඒ කියන්නේ, චීන්නුන්ගෙ විදිහට මුතු ඇට අයිති වෙන්නේ මකරුන්ට. ඒකට හොඳම නිදසුන තමයි, ඔයාල මකරුන්ගේ රූප දිහා හොඳින්ම බැලුවොත්, ඔයාලට පෙනේවි මකරුන් රවුම් හැඩැති අමුතු දිස්නයක් තියෙන වස්තුවක් රැකගෙන ඉන්නවා.
ඒවාගේම, චීන මිථ්‍යාවන්ට අනුව මුතු ඇට කියන්නේ, උසස් මනසක් වගේම, බුද්ධියේ සංකේතයක්. මකරුන්ගෙන් සංකේතවත් කරන්නෙත් ඒකමයි. ඉතින්, ඒ නිසා තමයි චීනයේ අය මුතු ඇට අයිති මකරුන්ට කියල විශ්වාස කරන්නේ.
ඒවගේම, ඈත අතීතයේ ජපන් ජාතිකයන් විශ්වාස කරපු කතාවකුත් මේ අස්සෙ තියෙනවා. ඔවුන් කියන්නේ නම්, මේ මුතු ඇට හැදෙන්නේ දේව දූතයන්, දිය කිඳුරියන් වගේ මනුස්ස ලෝකයට අයත් නොවන බලසම්පන සත්ත්වයින්ගේ කඳුළු බිංදු වලින් කියලා. ඒවගේම, ටහිටියානු විශ්වාසයට අනුව, ටහිටියානු මුතු ඇට වල උපත සිදුවුණා කියන්නේ, සාමය හා ගර්භණීයත්වයේ අධිපතිවන ඔරෝ කියන දෙවිවරයා දේදුන්නක නැඟලා, පොලිනිසියානු වැසියන්ට උෆි කියන අපුර්ව මුතු බෙල්ලා තෑගී කරන්න ආව අවස්ථාවේදී කියලා.
ඉතින් ඔරෝ විසින් දේදුන්නේ වර්ණ රැගත් ලස්සනම ලස්සන මුතු ඇටයක් උෆි තුළ ජනිත වෙලා තියෙනවා දැක්කලු. ඒවගේම, ඔහු ඒ මුතු ඇටය බෝරා බෝරා කියන කුමාරිකාවට ප්‍රේමයේ මතක සටහනක් විදිහට තෑගි කලා කියලත් කියනවා.
ඒවගේම, ටහිටියානු මුතු ඇට දුර්ලභ වගේම ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වන්නේ ඒ නිසා කියල තමයි මිත්‍යාවේ නම් සඳහන් වෙන්නේ.
ඉතින් ඔය කතා අස්සෙ මුතු බෙල්ලට තියෙන තවත් විශේශ ලක්ෂණයක් තමයි, මොවුන්ට තමන්ගේ ලිංගය මාරු කරගන්න පුළුවන් හැකියාවක් තිබීම.
ඒකනම් පුදුමයක් නේද..?
පුදුම හිතුනත් කාලෙකදී පිරිමි විදිහට ඉඳල පසු කාලීනව ගැහැණු විදිහට මාරු වීමේ අරුම පුදුම හැකියාවක් තමයි මේ මුතු බෙල්ලෙන් සතුවන්නේ.
ඉතින් මුතු බෙල්ලා සොබාදහමට ලැබුණු අපූරු දායාදයක් වෙන එක අහන්නත් දෙයක්ද..?
මුල් ලිපි හිමිකම- © ඉශානී මහේශිනී