අඹ කෑම 🤟

එදා ලස්සන දවසක් , ඒ උනාට එච්චර විශේෂයක් නම් නෑ,
උඩහ ගෙදර සුමුදුවා ත් එනව පේනවා.
අද උදේ මමත් සුපුරුදු පරිදි
පයින් ම , පොත් බෑග් එකත් කරේ එල්ලගෙන,
පටිය තියෙන වතුර බොතලේ ත් කරේ දාගෙන බඩ මැදින් එල්ලගෙන
සුමුදුවාත් එක්කන් මම ත් පයින් ම ඉස්කෝලේ ගියා.
ඉස්කෝලේ යන්නේ මොකටද? ,
ඇයි අපිව ඉස්කෝලේ යවන්නේ? ,
හැමදාම ඇයි ඉස්කෝලේ තියෙන්නේ? ,
උදේට කට්ටිය ඉස්කෝලේදී පෝලිම් හැදිලා ගාතා කියන්නේ මොකටද? ,
උදේ නැතුව හවස ඉස්කෝලේ තිබුණා නම් හොදයි නේ, 🤔
ඔය වගේ දහසකුත් ප්‍රශ්න තියාගෙන තමයි මම ඉස්කෝලේ ගියේ ,
වෙලාවකට මට හිතුනා ,
තවත් මං වගේම අය හම්බ වෙන්න පුලුවන් නේ , ඒ නිසා ඉස්කෝලේ යන එකත් මරු වැඩක් කියලා ,
ඒ විතරක් නෙවෙයි,
ඉස්කෝලේ තියෙනවා නේ පේර ගස්, ඇඹිල්ල , මසං ගස් එහෙම, අපේ ගෙදර නෑ ඒවා,
ඒකත් එක හේතුවක් උනා මං ඉස්කෝලේ යන්න කැමති වෙන්න,
චූටිම චූටි පේර ගෙඩියක් කඩාගෙන ,
ඒකේ පොත්ත කටින් ම රැහැලා අයින් කරලා,
ඇතුලේ මදේ කද්දි දැනෙන රහ ට මං ගොඩක් ආසයි ,
ඔය වගේ හේතු හිංදා මම ඉස්කෝලේ ගියා හැමදාම වගේ,
අද ත් ඉතින් ඕම ඉස්කෝලේ ගිහිල්ලා
සුමුදුවා ත් එක්කන් තරගෙට පාර දිගේ දුවගෙන ගෙදර ආවේ
ඉස්සර වෙලාම එක වෙන්න හිතාගෙන,
ඒත් වැඩේ පොඩ්ඩක් අමාරුයි,
සුමුදුවා ට මට වඩා හොදට දුවන්න පුලුවන්,
ඒ උනත් මම වැඩේ අතාරින්නේ නෑ,
කොච්චර කලත් හැමදාම මම දෙවනියා තමයි 😥,
ඒ මොනා උනත්
අදත් ගෙදර ඇවිල්ලා ආපහු දිව්වේ සුමුදුවා හොයාගෙනම තමයි,
ඒ ඉතින් වෙන මොකටවත් නෙවෙයි, එයා ගාව තියෙනවා ජිල් බෝල ගොඩාරියක්,
මං හිතන්නේ 50 ක් විතර ඇති,
හැබැයි මට ගනන් කරන්න පුලුවන් එකේ ඉදන් විස්සට විතරයි,
ඒ නිසා හරියටම ගාන දන්නේ නැ
අපි ඒවත් එක්කන් සෙල්ලම් කරනවා මිදුලට වෙලා
තව එයාලගේ ගෙදර තියෙනවා අර ටෝච් වලට දාලා බැහැපු රවුම් බැට්රි කෑලි ගොඩාක් ,
අපේ ගෙදර එච්චර නෑ,
කිරිඅත්තා ගේ රේඩියෝ එකෙන් බැහැපු බැට්ටි කෑලිත් සුමුදුවාට නේ හම්බ වෙන්නෙ,
මට ඉතින් අපේ ගෙදර ටෝච් එකෙන් බැහැපු බැට්ටි කෑල්ලක් තමයි, ඒකත් මාස 2 කට සැරයක් වගේ ,

රතු පාට බැට්ටි කෑලියි, නිල් පාට බැට්ටි කෑලියි එක පෝලිමට තියලා
මිදුලේ ඉදන් එක අයිනකින් තල්ලු කරගෙන යනවා එහාටයි මෙහාටයි,
වෙලාවකට හිතෙනවා, මේ බැට්ටි කෑලි ටික ඔක්කොම මට තිබ්බා නම් කියලත්,
ඒත් වෙනසක් නෑ,
දැනුත් ඒවා මගේ වගේ තමයි,
සුමුදුවා යි මමයි කියන්නේ එක්කෙනෙක් වගේ තමයි,
මේ දවස් වල අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා හැමෝම,
එතකොට ඉතින් සුමුදුවාගේ ගෙදර අඹ ගහේ ඔංචිල්ලාව වරදින්නේ නෑ,
වෙලාවකට එයා පදිනකොට මම තල්ලු දානවා,
මං පදිනකොට එයා තල්ලු දානවා,
වෙලාවකට ඩබල් දාලා ,
' ඩබල් ' කියන වචනේ තේරුම ඒ කාලේ නොදැන හිටියට , දෙකක් වගේ අදහසක් තියෙනවා කියලා තේරෙනවා
හැබැයි ඩබල් දාලා පදිනකොට ටිකක් අමාරුයි ඔංචිල්ලාවේ හිටගෙන ඉන්න කෙනාට,
එතකොට පැදුම් ගන්න ටිකක් අමාරුයි නේ 😊,
ඒත් ඔංචිල්ලාව එච්චර වැඩක් නෑ,
ඔංචිල්ලාව බැඳලා තියෙන්නේ රට අඹ ගහ නේ,
ඒකේ ගෙඩි ගොඩක් ඉදිලා,
අඹ ගහේ කද ලොකු උනත් එක අත්තක් බිමටම පාත් වෙලා තියෙන්නේ,
අපිට ඒක දිගේ ටිකක් නගින්න පුලුවන්,
සුමුදුවා හැම දේකටම හපනා ,
එයා ගහ දිගේ ගොඩක් උඩට යනවා,
ඒත් මට එච්චර උඩ ට නගින්න බෑ 😥,
මම මගක් නැගලා බලාන ඉන්නවා,
සුමුදුවා උඩින් ඉදිච්ච අඹ කඩලා මට එවනවා,
එකක් දෙකක් මග ඇරුනත් කීපයක් අල්ල ගන්න පුලුවන් මට 🤗,
ඊට පස්සෙ අපි දෙන්නම ගහේ ඉදන්ම ඒවා කනවා,
ගොඩක් රහයි, හෝදලා නෑ, පිහියක් නෑ, මොකුත් ම නෑ,
අඹ කෝට්ටේ කද්දින්,
ඉස්සරහ දත් අස්සෙ කොහු හිර වෙනවා නේ, ඒවා අයින් කරන්න හෙන ගේමක් දෙන්න ඕන
සමහර වෙලාවට නම් පණුවො ඉන්න අඹයක් අහු වෙනවා 🤪,
එතකොට ඒ අඹේ විසික්කලා අලුත් එකක් ගන්නවා,
අපි අඹ කකා ඉන්නකොට ඔය අහල පහල ගෙවල් වල අයත් වෙලාවකට සුමුදුවාලාගේ ගෙදරට එනවා,
ඒ එන්නේ ඉතින් කොකිස් අච්චුව ඉල්ලං යන්න එහෙම තමයි,
ඒ වෙලාවට ඉතින් අපි දැකලා අඹ ඉල්ලනවා, මට දෙන්න විදිහක් නෑ නේ ඉතින්,
මට මේ ඉන්න තරමට වඩා උඩට නගින්න බෑ,
ඒ නිසා සුමුදුවා තමයි එයාලටත් ගෙඩියක් දෙකක් කඩලා දෙන්නේ,
එතකොට ඒ අය සුමුදුවා ට ස්තූති කරලා මට අවුල් හිනාවකුත් දාලා යනවා,
මං හිතනනේ ඒ තමයි මට චාටර් උනා වගේ හැගීමක් දැනුන මුල් වතාව, ඒ හැගීම් කියා ගන්න බෑ ,ඒක මහ අමුතු එකක්,
කොහොම කොහොම හරි ඉතින් අඹ කෑමත් අහවර උනා ,
ඊට පස්සෙ ඉතින් කෝච්චි පදින එක තියෙන්නේ,
මං කවදාවත් කෝච්චියක ගිහිල්ලා නැති උනත්, දැකලා නැති උනත්,
කෝච්චිය කියද්දිම ඒ වචන වල අමුතු , ගොඩක් දිග, සද්දෙ වැඩි , වගේ අදහස් තියෙනවා කියලා මට හිතෙන්නේ,
අපේ අම්මත් එක පාරක් කෝච්චිය ක ගිහිල්ලා තියෙනවාලු කියලා මට කිවා මතකයි,
මමත් ආසයි කෝච්චියක ගමනක් යන්න, මම ලොකු උනාම යනවා කියලා හිතා ගත්තා,
ඒත් ඉතින් අපේ කෝච්චි සෙල්ලම කරන්න එපැයි,
ඉවර උනු ගිණි පෙට්ටි ටික එකතු කරලා , දිගම කෝච්චියක් හදන්න ඕන,

ඊට පස්සෙ ඒ කෝච්චියේ එක කෝච්චි පෙට්ටියක් වත් ගැලවෙන්නේ නැති වෙන්න බිම දිගේ ඇදගෙන යන්න ඕන,
ඒක නම් කරන්නේ ගේ ඇතුලේ , මොකද මිදුලේ කරොත් එහෙම ඇදගෙන යන්න බෑ, ඉක්මනට ගැලවෙනවා ,
ගේ ඇතුලේ ත් ලේසි නෑ, ගොම ගාපු බිම තියෙන
පුංචි පුංචි දාර හිංදා ඉස්සරහට ඇදගෙන යන්න අමාරුයි,
ඉස්සරහට අදිද්දින් ඒකට ප්‍රතිරෝධී බලයක් එනවා නේ,
මට හිතෙන්නේ ඒක තමයි ඝර්ෂණ බලය කියන එකේ මුල් ම අත්දැකීම; මට තියෙන,
වෙන ඒවත් ඇති, ඒත් මට මතක නැහැ,
--ඒක මතක් උනු ගමන් මට චුට්ටක් හිනාත් ගියා, --
මේ දවස් වල ඉතින් ආස්මී හදනවා නේ ගෙදර, ඕකට ඕනේ වෙනවා කොල ජාතියක්, දවුල් කුරුදු කියලා කිරි අම්මා කියන්නේ,
කන්දෙන් ඒවා කඩාගෙන ඇවිල්ලා, වංගෙඩියේ දාලා කොටනවා , සමහර වෙලාවට නම් චූටි චූටි කෑලිබ්වලට ඉරලා වතුර ටිකක් දාලා කොරහට දාලා පොඩි කරනවා
ඒකෙන් තමයි නානු ගන්නේ,
ඒක තමයින් මං කැමතිම වැඩේ ඉතින්, ඒ නානු එනකම් කොල පොඩි කරන්න ආසයි, අනික ඉතින් ඒ නානු වල තියෙන ඇදෙන ගතිය මරු,

නානු අනලා ඉවර උනාම මගේ අත් දෙක බලන්න වැඩේ,
මගේ අත් දෙක සුදුම සුදු පාටයි, අත් වල තිබුනු කුණු ඔක්කොම යනවා නානු වලට,
ඒ නිසා අපි අනන ඒවා ආස්මී හදන්න නම් ගන්නේ නෑ,
කොහොම කොහොම හරි මට දවසක් ඉස්කෝලෙදි කිව්වා මම පංතියේ පලවෙනියා ලු කියලා,
ඒත් මට නම් ගානක් වත් නෑ, මට කන්න දෙයක් වත් හම්බ උනා නම් කමක් නෑ,
හැබැයි මම සුමුදුවා ට වඩා පාස් වෙලා කියලා යංතම් තේරුම් ගිය හිංදා ද කොහෙදෝ පුංචි සතුටකුත් නැත්තෙමත් නැහැ,
මොකද අනික් හැම දේකින් ම සුමුදුවා එක, මම දෙක නේ 😁
හැබැයි මට ඇර අනික් ඔක්කොටම සතුටුයි මම පලවෙනියා උනු එකට ☹️,
" අයියේ, අයියේ ?, තනියම මොකෝ හිනා වෙන්නේ "
කියලා තේජා මගෙන් අහනවා
"නෑ මැණික, පුංචි හීනයක් දැක්කා, මං පුංචි කාලේ "
"හ්ම්ම්, ඒ මොකක්ද ඒ "
කටත් උල් කරන් , මම නිදාගෙන ඉද්දින් මාව ඇහැරවලා ,
දැං ඇදේ වම් පැත්තට පැන්නා
"☹️"
මම මොකුත් කීවේ නෑ
"කියන්නකෝ අයියෙ ඉතිම්, 😊 "
මගේ ඇග උඩින් අතත් දාගෙන ඒ පාර හුරතල් වෙනවා

" ඔයා මට හීනේ ඔක්කොම බලන්න දුන්නේ නෑ නේ තේජා ,
ඇහැරෙව්වා නේ මාව ,හ්ම් ☹️ "
මම පොඩ්ඩක් අවුලෙන් කිව්වෙ
" බත් උයලා ඉවරයි නේ අයියේ , කන්න ඔයාව එක්කන් යන්න නේ ආවේ 😒"
කියලා මගේ පපුවට ඔලුව තියාන දුකෙන් වගේ එයා කියනවා
" හරි හරි මැණික, විහිලුවක් නේ කලේ මං ඉතින්, " කියලා ඔලුව අත ගෑවා
ඒ පාර නම් තේජා ට ටිකක් සතුටුයි, මගේ හොද කෙල්ල ඉතිම්
"ඔයාම මට බත් කවන්නකෝ මැණික, එතකොට රහයි " කියලා මම කීවා,
සමහර විට තේජා හිතනවා ඇති,
බොරු චාටු කතා කියලා එයාව රවට්ටලා, එයාට කියලා බතුත් කවා ගන්නවා කියලා,
ඒත් ඇත්තටම එහෙම නෑ,
එයා කවද්දින් මොන හේතුවක් ද දන්නේ නෑ, රහයි , අනික ඔක්කොම කෑවහැකි එතකොට
කෙල්ල දුවගෙන ගිහින් බතුත් බෙදාගෙන එනෝ, මං තාම නැගිටින ගමන් ඇදේ ඉදන්ම
මාවත් ඇදගෙන කාමරෙන් එලියට ඇවිල්ලා
පඩිපෙල දිගේ පල්ලෙහා තට්ටුවට ඇදන් ආවා,
සාලේ සෝෆා එකේ වාඩි වෙලා
" හ්ම් , දැන් හොද ලමයා වගේ කතාව කියන්න, බත් කවනකම් " කියලා තේජා කියනවා
දැන් ඉතිම් මොනා කරන්නද, කාට ද අප්පා රෑට දකින හීන මතක තියෙන්නේ, අමතක වෙලා යනවානේ
ඒත් එහෙම කිව්වොත් එහෙම තේජා ගේ හිත ගොඩක් රිදෙයි,
මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා ද එයා ,
උදේම නැගිටලා බතුත් උයලා වැඩ ගොඩාරියක් ම කරලා,
තව මට බතුත් කවනවා නේ , මහන්සි නැද්ද දන්නේ නෑ එයාට නම්
ඊට පස්සෙ මම මට මතක විදිහට කතාව කීවා ,
එයත් ආසාවෙන් අහං හිටියා මට කවන ගමන්ම,

බත් එකත් ඉවර වෙලා ,මම ඔක්කොම ටික කාලා 😊
ඔක්කොම ඉවර උනාට පස්සෙ , තේජා මගෙන් අහනවා
" නැගිටපු ගමං , කුණු කෙල පිටින් ම කට හෝදන්නෙත් නැතුව බත් කෑවා නේද? " කියලා,
අප්පට සිරි කිව්වලු,
ඒ පාර තමයි මටත් මීටර් උනේ සීන් එක, දැන් මොනා කරන්නද ඉතින් 😒,
" මගෙ හොද බබා , ඕක තව ටිකක් දවල් වෙලා කියන්න එපැයි "
තේජා ගේ නිකටෙන් අල්ලන් එහෙම කියලා
මම වතුර බොන්න කුස්සිය ට ගියා,☹️
Copyright © NipunSGeeTH
End .