anger issues
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•තරහව කියන්නේ ස්වාභාවික මිනිස් ප්‍රතිචාරයක්. තමන් අකමැති දෙයක් වෙනකොට හෝ කැමති දෙයක් සිදු නොවන විටනේ අපිට තරහා යන්නේ. එදිනෙදා ජීවිතය ගතකරද්දී යම් යම් අවස්ථාවන් සම්බන්ධව අපට තරහ යන එක සාමාන්‍ය දෙයක්.
නමුත් යමෙක්ට තරහා යාම පාලනය කරගැනීමට නොහැකි නම්, තරහා යාම තමන්ට මෙන්ම අන් අයටත් හානියක් ගෙන දෙනවා නම්, ඒ තරහා යාම අහිතකරයි. ඒ කියන්නේ ඒ විදිහට තරහා යාම තුළ ගැටලුකාරී බවක් තියනවා. එවැනි තත්ත්වයක් තිබෙන පුද්ගලයන්ට anger issues තියනවා කියලා අපි කියනවා.
Anger issues තිබෙනවා නම් අනිවාර්යෙන්ම නිසි ක්‍රියාමාර්ග අරගන්න ඕන. එහෙම නොවුනොත් එදිනෙදා ජීවිතය ගත කරද්දී ගොඩක් ගැටලු ඇතිවෙනවා.
අපි දැන් බලමු anger issues, ඒ කියන්නේ කළින් සඳහන් කළ නිසි ක්‍රියාමාර්ග ගත යුතු තරහා යාමේ තත්ත්වය හඳුනාගන්නේ කොහොමද කියලා.
⁃ තරහව පාලනය කරගැනීමට නොහැකි වීම හෝ අපහසු වීම
⁃ සමීප සබඳතා වලදී නිතර ගැටලු ඇතිවීම
⁃ අන් අයට වාචසිකව, කායිකව හිංසා කිරීම
⁃ ඉතා කුඩා දේවල් වලට පවා ගොඩක් තරහා ගැනීම
⁃ ඉක්මනින් කෝපයට පත්වීම
⁃ කෝපය පිළිබඳව පසුතැවීම සහ වරදකාරී හැඟීම් ඇතිවීම. නමුත් කෝපය පාලනය කරගැනීමට අපොහොසත් වීම
පාලනය කරගත නොහැකි තරහා යාමට විවිධ හේතූන් උත්ප්‍රේරකයන් ලෙස (trigger) බලපාන්න පුලුවන්.
⁃ දැඩි ආතතිය
⁃ සහකරු සහකාරිය අතර ගැටලු
⁃ ආර්ථික ගැටලු
⁃ අපේක්ෂාභංගත්වය
⁃ ළමා කාලයේ ලද ඍණාත්මක අත්දැකීම්
⁃ විවිධ හිංසනයන්ට ලක්වීම
⁃ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
⁃ ගත කරන අහිතකර පවුල් සහ සමාජ පරිසරය
ඒ වගේම විවිධ මානසික රෝගී තත්ත්වයන් නිසාද මේ anger issues ඇතිවෙන්න පුලුවන්. ඒ අනුව,
Depression, OCD, ADHD, Alcohol abuse, bipolar disorder, ODD, වැනි මානසික රෝගී තත්ත්වයන් වලදීද මේ anger issues ඇතිවෙන්න පුලුවන්.
එවැනි හේතුකාරණා නිසා ඇතිවන කෝපය පිටකිරීමට පුද්ගලයන් විවිධ ක්‍රමවේද තිබෙනවා.
⁃ outward
ඒ කියන්නේ පුද්ගලයා ඉතාමත් ආවේගශීලි ලෙස තරහව පිට කරනවා. කෑ ගැසීම, බැණ වැදීම, අන් අයට හානි කිරීම, භාණ්ඩ වලට හානි කිරීම වගේ දේවල්.
⁃ inward
තමා වෙත කෝපය යොමුකිරීම තමයි මෙයින් අදහස් කරන්නේ.
තමාට හානි කරගැනීම්, ආහාර පාන වැනි මූලික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීම, අන් අයගෙන් ඈත්ව කටයුතු කිරීම වගේ දේවල්.
⁃ Passive
ඍජුව දේවල් නොකර වක්‍රාකාරයෙන් හෝ පසුව දේවල් සිදුකිරීම මෙයින් අදහස් වෙනවා. නින්දා කළ හැකි දේවල් සිදුකිරීම, ගරු නොකිරීම, අවධානය ලබා නොදීම, පළිගැනීමේ දේවල්, එවැනි දේවල් මෙයට අයත් වෙනවා.
Anger issues පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතයට ගොඩක් අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ නිසා මොනතරම් ගැටලු ඇති වෙනවාද කියන එක එයින් පීඩනය ලක්වන අය හොඳටම දන්නවා ඇති.
Anger issues නිසා බාහිරට පේන්න තිබෙන ගැටලුකාරී තත්ත්වයන් වගේම අපි වැඩිය නොහිතන තවත් අහිතකර ප්‍රතිවිපාක ගොඩක් තිබෙනවා.
⁃ හිසරදය
⁃ අධිරුධිර පීඩනය
⁃ කාංසාමය තත්ත්වයන්
⁃ නින්ද ආශ්‍රිත ගැටලු
⁃ සම ආශිත ගැටලු
⁃ හෘදයාබාධ
⁃ ප්‍රතිශක්තිය දුර්වල වීම
⁃ නිතර ඍණාත්මක සිතුවිලි ඇතිවීම
⁃ මානසික ආතතිය
⁃ අවධානය යොමුකිරීමේ සහ තීරණ ගැනීමේ ගැටලු
⁃ ජීවිතයේ ගුණාත්මක බව අඩුවීම
වගේ අහිතකර ප්‍රතිවිපාක Anger issues තිබෙන පුද්ගලයාට ඇතිවෙනවා.
ඒ වගේම anger issues තිබෙන පුද්ගලයා නිසා පීඩනය ලක්වන අයට, විශේෂයෙන්ම සමීප අයට මානසිකව දැඩි හිංසනයන් ඇති වෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවන් වලදී ශාරීරික හිංසනයන්ද ඇති වෙනවා.
Anger issues තිබෙන අයට පොදුවේ කරන්න පුලුවන් දේවල් කිහිපයක් මම කියන්නම්.
⁃ ඔයා තරහා අරගන්නේ මොනවාටද කියන දෙය හොඳින් තේරුම් ගන්න
⁃ තරහාඅ යන වෙලාවට දෙයක් කියන්න හෝ කරන්න කළින් නැවත කල්පනා කරන්න ඇත්තටම මොකක්ද වුණේ සහ තමන් කරන්න යන දේවල් හරිද කියලා
⁃ හොඳින් අදහස් සන්නිවේදනය කරන්න.
ඒ වගේම අනිත් අය කියන දේවල් වලට හොඳින් ඇහුන්කන් දෙන්න
⁃ ඔබ ගැටලු වලින් පීඩා විදිනවා නම් ඒවාට නිසි විසඳුම් අරගන්න
⁃ ආතතිමය පරිසරයක නම් ඉන්නේ ඔබට හැකි නම් ඔබ ගත කරන පරිසරය වෙනස් කරන්න
⁃ තමන් කැමති, තමන්ට සතුට දැනෙන විනෝදාංශ වල නිරත වෙන්න
⁃ හිත සැහැල්ලු කරන විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම සිදුකරන්න පුලුවන් (Meditation, Yoga)
එවැනි දේවල් ඔස්සේ පාලනය කරගැනීමට, නිරාකරණය කරගැනීමට නොහැකි තත්ත්වයක් නම් තිබෙන්නේ හොඳම විසඳුම තමයි මනෝ උපදේශන සහය ලබාගැනීමට යොමුවීම.
ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු යම් තත්ත්වයක් තිබෙනවා නම් ඊට අදාළ මඟපෙන්වීමද ඔබට එයින් ලබාගන්න පුලුවන්.
Avishka Sathsara Piyumal

(Mental Health Advocate & Certified Life Coach)